නිවස සංවාද මගේ ‘අහිමිතැන්’ ඒකපුද්ගල ගී ප්‍රසංගය ළඟදීම පැවැත්වෙනවා

මගේ ‘අහිමිතැන්’ ඒකපුද්ගල ගී ප්‍රසංගය ළඟදීම පැවැත්වෙනවා

ගායන ශිල්පිනී මධුරි ප්‍රියංවදා

by Thanushika
July 25, 2024 9:17 am 0 comment

මෙලොව එළිය දුටු දවස සිටම ජීවිතය ගීතයක් කරගත් ඇයට සංගීතයෙන් තොර ජීවිතයක් නැත. පාසල් අවධියේම සංගීත ලෝකයට පියමැන්න ඇය ගායනයට මෙන්ම රූපලාවණ්‍ය ශිල්පයටද එක ලෙස පාසල් කාලයේ සිටම දස්කම් දැක්වූ ශිල්පිනියක් විය. දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ බාලයා වීම ඇයට ආශිර්වාදයක් බවයි සියලු දෙනා ඇයට පැවසුවේ. තම කලා හැකියාවන් උපතින්ම රැගෙන ආ ඇය කා අතරත් ජනප්‍රියත්වයට පත් විය. ජයවර්ධනපුර කෝට්ටේ ආනන්ද බාලිකා විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ මධුරී ප්‍රියන්වදා එවකට පාසල් සංගීත කණ්ඩායමේ ශිල්පිනියක බවට ද පත්වීමට හැකියාව ලැබුණි. ළාබාල කාලේම ඇය විසින් ගීත ගණනාවක් ගායනා කිරීමද විශේෂත්වයකි. ඒ ඇරඹි ගමනේ නවතම ගීත හතරක් මේ දිනවල විද්‍යුත් මාධ්‍ය තුළ ජනප්‍රිය කාණ්ඩයේ ඉහළම තැනකට පත්වීමද ප්‍රසංග වේදිකාවේ භාෂා ගණනාවකින් ගී ගයන ශිල්පීන් අතර නැතුවම බැරි ගායිකාවක් බවට පත්වීමද විශේෂත්වයකි. ඇගේ නවතම ගීත සහ කලා දිවිය ගැන සරසවිය සමඟ කළ කතාබහයි.

මේ දිනවල ඔබේ කලා කටයුතු කොහොමද ?

රටේ පවතින නොයෙකුත් වෙනස්කම් හා ආර්ථික අර්බුදකාරී තත්ත්වයන් සමඟ මගේ නවතම ගීත” කල්පනා ලොවින්, නොවටිනා මැණිකට සහ බුදුහිමි වැඩිදා”සුසුමන් සැනසුමක ජනගත කිරීමට පසුගිය දිනවල හැකියාව ලැබුණා. මේ වන විට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය ජාලාවල පමණක් විතරක් නෙවෙයි විද්‍යුත් මාධ්‍ය ජාලාවලත් එක්ක ඒ තුළින් මගේ නිර්මාණ හැකියාවන් තව තවත් දියුණු කරගන්නට අවස්ථාව උදාවෙලා තියෙනවා. ඒ වගේම මේ දිනවල ප්‍රසංග වේදිකාවත් හොඳ මට්ටමක පවතිනවා. ඒක කලාකාරිනියක් හැටියට හොඳ ප්‍රවණතාවයක් ලෙස දකින්න පුළුවන්. හිරවෙලා මිරිකලා ඉන්න මිනිස්සුන්ට පොඩි විනෝදාස්වාදජනක පැත්තට නැඹුරු වෙන්න අවස්ථාවක් උදාවෙලා.

සංගීත ක්ෂේත්‍රයට පිවිසීම සිදු වුණේ කොහොමද ?

මම පාසල් ගියේ ජයවර්ධනපුර කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයටයි.මම හත වසරේ සිටම සංගීත විෂය ධාරාව තමයි හැදෑරුවේ. එවකට පාසලේ සංගීත ගුරුවරුන් වූ කේ.ආර්.කාන්ති හා අප්සරා ජයවර්ධන මගේ හැකියාවන් හොඳීන් හඳුනාගත්තා, මම එදා පාසලේ ගායනා කරපු ගීතවලට හොඳ ප්‍රතිචාර එවකට ලැබුණා. ඒ කාලසිමාවදි ප්‍රසංග වේදිකාවේ ළාබාලතම ශිල්පිනිය ලෙස ජනප්‍රියත්වයට පත්වුණා. ඒ කාලේ කුඩා දරුවන් මගේ ගීතයක් ඇසෙනකම් ආසාවෙන් බලා හිටියේ.

ඔබ ගැයූ ගීත අතරට ඉහළම ප්‍රතිචාරයක් ලැබුණා නේද ?

පාසල් කාලේ ළමයි තුන්දාහක් අතරින් ගායක කණ්ඩායමේ විසිදෙනා අතරට එන්න ලැබුණු මට මම ගැයූ ගීත එකල ජනප්‍රියත්වයට පත්වීම මා ලද භාග්‍යයකි. පාසල්, පළාත් දිස්ත්‍රික්ක හා සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණද මම හිමිකරගෙන තිබෙනවා. 2006 වසරේ නිදහස් දින සැමරුම ගීත ගායනයට අවස්ථාව ලැබුණා. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ විශේෂ අවස්ථා කිහිපයකටම සහභාගී වෙන්න අවස්ථාව හිමි වීමද විශේෂත්වයකි. මේ සියලු ගීත ගායනයන් සජීවීව විකාශය වීමද පාසල් කාලයේ ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් ලබන ලොකුම සතුටක් ලෙසයි මම දකින්නේ.

පාසල් අධ්‍යාපනයෙන් පසු යොවුන් සේනාංකයත් එක්ක ඔබට තියෙන සම්බන්ධතාවය මොකක්ද ?

උසස් පෙළෙන් විෂය නිර්දේශයට අනුව මම තෝරාගන්නේ සංගීත විෂය මාලාවයි. උසස් පෙළ හදාරන කාලවකවානුවෙත් මම නොයෙක් සංගීත කණ්ඩායම් සමගත් සජීවී ප්‍රසංගවලත්, මංගල උත්සවවලත්, තරු පන්තියේ හෝටල් වල බටහිර ගීත,මෙන්ම හින්දි ගීත ගයන ගායිකාවක් බවට පත්වුණා. මේ කාල වකවානුවේ මම ජාතික යොවුන් සේනාංකයට සම්බන්ධ වෙලා ආධුනික ගායිකාවක් ලෙස සංගීතය පිළිබඳ අවුරුද්දක පමණ පාඨමාලාවක් හදාරනවා. ඉන්පසු තමයි නැවත මගේ සංගීත ගමන ආරම්භ වෙන්නේ.

දෙමාපියන් ඔබේ ගමන වෙනස් කරන්නට උත්සාහ කළාද ?

මගේ දෙමව්පියන් දෙදෙනා සහ අක්කලා දෙන්නා ඇතුළු සියලු දෙනා මට හොඳ සහයෝගයක් ලබා දෙනවා මේ සංගීත ගමන යන්න. පියාගේ සිහිනයක බලාපොරොත්තුවක් වෙනුවෙන් මම විතරක් වෙනස්ම මාවතක ගියේ, මගේ කුඩා කාලෙ ඉඳන්ම තිබුණු සහජ දක්ෂතාවය නිසා ගීත ගායනයට ඒ ගැන විරුද්ධතාවයක් ඔවුන්ට තිබුණේ නැහැ. ඒ සියලු දෙනා මගේ හීනවලට යන්න මට උදව් කළා. මගේ මවගේ දැඩි ආශාවත් තිබුණේ මම සමාජයේ හොඳ රැකියාවක් කරලා හොඳ තැනක ඉන්නව දකින්නයි.නමුත් මට ඒ අවස්ථාව උදා කරන්නට හැකියාවක් තිබුණේ නැහැ. ඒත් අද මගේ මාවත දිහා බලලා ඇය සතුටු වෙනවා.

කෙටි කාලයක් ඔබ කලාවෙන් ඈත්ව සිටියා නේද ?

මගේ වැඩිදුර අරාබි භාෂාව සම්බන්ධ අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වෙලයි සිටියේ. මගේ කුඩා අවධියේ සිට තිබුණු බලාපොරොත්තුවක් තමයි මගේම කියලා ව්‍යාපාරයක් කරන එකයි. ඒ අරමුණ ඇතුව ව්‍යාපාරයක් ලෙස රූපලාවණ්‍යාගාරයක් කරගෙන යනවා. පෙරළා මම ලංකාවට පැමිණෙන්නේ අවුරුදු තුනකට පසුවයි. මේ කාලවකවානුවේදී මගේ හිත මිත්‍රාදීන්ගේ ඉල්ලීම හා නෑදෑ හිතවතුන්ගේ දැඩි ඉල්ලීම මත නැවත මම කලා ක්ෂේත්‍රයට පිවිසෙනවා. ඒ ගමන නොනවත්වාම දැන් දිගටම යනවා. ව්‍යාපාර පැත්තත් කලා ක්ෂේත්‍රයත් සමබරව කරගෙන යාම මගේ අරමුණ වී තිබෙන්නේ.

ප්‍රසංග වේදිකාවට ඔබ නැතුවම බැරි ගායිකාවක් බවට පත්වෙලා නේද ?

මුලින්ම ප්‍රසංග වේදිකාවට විදෙස් ගතවීමෙන් පසු පැමිණෙන්නේ උඩහමුල්ල සණස බැංකුව මඟින් පවත්වූ ගායන තරගාවලියකින් ක්ෂේත්‍රයට නැවත එනවා. මේ තරඟය සඳහා තුන්සියයකට අධික පිරිසක් සහභාගි වුණා. එහිදී මම පළමු ස්ථානය හිමිකරගත්තා. ඒ හැරවුමත් සමඟ දෙරණ ඩ්‍රිම්ස්ටාර්, සිරස සුපර්ස්ටාර්, හිරුස්ටාර් සමඟ ස්වර්ණ අභිමානී තරගාවලියට සහභාගි වෙමින් අවසන් දහ දෙනා අතරට එන්නට අවස්ථාව හිමිවුණා. ඉන්පසු දිවයිනේ ජනප්‍රිය හා ජනප්‍රිය වෙමින් පවතින සංගීත කණ්ඩායම් රැසක් සමග වේග රිද්මයේ ගායිකාවක් ලෙස හා භාෂා කිහිපයකින් ප්‍රසංග වේදිකාව වර්ණවත් කරන්නට මට අවස්ථාව ලැබෙනවා. මේ ආගමනයත් සමඟ සුසඳ ටි.වි හරහා මට “නෙරලු තුරේ”ගීත ඇල්බමය එළිදක්වන්නට අවස්ථාව ලැබෙනවා.

පළමු ලාංකේය රූප රචනා විස්සක ගීත ඇල්බමයක් නිකුත් කිරීම ගැන මොකද හිතෙන්නේ?

“අහිමි තැන් නමින් “පසුගිය මස කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී මගේ පළමු වන ඒක පුද්ගල රූප රචනා සහිත ගීත ඇල්බමය ජනගත කරන්නට හැකියාව ලැබුණා. සුසද ටී.වි මෙහි මාධ්‍ය කර්තව්‍ය භාර ගනිද්දී මම හා ගේය පද රචකයින් අර්ථ පතිත්වය දරා රූප රචනා සහිත ගීත විස්සක් සහිත ඇල්බමයක් නිකුත් කරන්නට අවස්ථාව ලැබුණා. සුසඳ ටීවී සුසන්ත රණුක කුමාරසිංහ ඉතාම සාර්ථකව ඔහුගේ කාර්යභාරය නිමා කර එය එළි දක්වන්නට මට අවස්ථාව ලබා දුන්නා. එය මම ලද භාග්‍යයක් කියලා මම හිතන්නේ. ජීවිතයේ වෙනත්ම මාවතකට යන්න ගිහිල්ලා නැවත මාර්ගයක් වෙනස් කරනවා කියන්නේ හරියට අතුරේ යනවා වගේ වැඩක්. මේ සඳහා මාස එකහමාරක වැනි කාලසීමාවක් ඇල්බමය නිම කරන්නට කාලය ගියා. දක්ෂ ගේය පද රචකයෙන් හා තනු නිර්මාපකයන් සංගීතඥයන් මේ සඳහා මට දායකත්වය ලබා දුන්නා. ඒ සියලු දෙනාට මෙය අවස්ථාවක් කරගන්නවා ස්තූති කරන්න. ලාංකේය සංගීත ක්ෂේත්‍රය කළ ලොකුම වෙනස්කමක් හැටියට මේ ගීත ඇල්බමය ගැන කියන්න පුළුවන්. අද වන විට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල මාතෘකාවක් බවට පත්වෙලා තියෙනවා අහිමි තැන් ඇල්බමය කියන මේ ගීත විස්ස.

ඔබ එළිදැක්වූ අහිමි තැන් සංයුක්ත තැටියෙන් පසු නැවත නව නිර්මාණ ගීත කිහිපයක් කළා නේද ?

මගේ තවත් එක් හීනයක් තමයි මගේම කියලා නිර්මාණ ගොන්නක් සමාජයට දායාද කිරීම. ඒ කළ නව නිර්මාණ අතරට “කල්පනා ලොවින්, නොවටිනා මැණිකකට, බුදුහිමි වැඩිදා යනුවෙන් ගීත ත්‍රිත්වයක් ජනගත කළා. පසුගිය මාසයේ තවත් නව නිර්මාණයක් කළා එම ගීතය මේ දිනවල ජනප්‍රියත්වයෙන් ඉහළ තැනක තියෙන්නේ සුසුමන් සැනසුමක ගීතයයි. දැනට ගීත අසූවකට වැඩි ප්‍රමාණයක් මම ගායනා කරලා තියෙනවා. මේ සියල්ලම සමාජ මාධ්‍ය ජාලාවල හා චැනල් වල ප්‍රචාරය වෙනවා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දිමුතු ජයසිංහ, ප්‍රමිතා සුබුද්ධි, නිව්ටන් පෙරේරා. මේ ගීතවල පද රචකයෙන් වෙනවා. මේ තාක්. ගායනා කළ ගීත අතර අහිමිතැන්, සමන් පිච්චමල්, සැන්දෑවේ ගං තීරේ, නැවුම් කවි පොත, ඔබට පමණයි, හිටි හැටියේම, කිරි වෙහෙරට, මහා මායාවෝ, දේවතාවා සංහිඳේ, දෙවොලක් කියයි, වසන්තයේ අග යන ගීත ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වුණා.

දැනට භාෂා කියකින් ගායනා කරන්න පුළුවන් ද?

භාෂා හයකින් මට ගීත ගයන්න පුළුවන්. සිංහල, දෙමළ, හින්දි, ඉංග්‍රීසි හා ජපන්, අරාබි යන භාෂාවලින් ගීත ගායනා කිරීමේ හැකියාව තිබෙනවා. ඒත් ප්‍රසංග වේදිකාවේ සහ ගීත ගායනා කරන විට සිංහල දෙමළ ඉංග්‍රීසි හින්දි යන භාෂා තමයි පාවිච්චි කරන්න වැඩි හරියක්.ගොඩක් දෙනෙක් පැරණි දෙමළ සහ හින්දි ගීතවලට කැමති.

ඔබ වෘත්තීය සංගීත ශිල්පිනියක්ද නැද්ද ?

මේ කාල වකවානුවේ හැටියට ගෙවා දමන අපි කිසිවෙකුට කියන්න බෑ කලාව ජීවනෝපාය කරගෙන කටයුතු කරනවා කියලා. කලාව කියන්නේ විනෝදාස්වාදයක් හැටියට රසවින්දනය කරන්නට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මගේ වැඩි ඉඩකඩක් වෙන් වෙන්නේ ව්‍යාපාර පැත්තටයි. ඒත් ඉඩ ලැබෙන සෑම මොහොතකම කලාවේ නිරත වෙනවා. භාෂා කිහිපයකින්ම ගීත ගායනා කිරිමේ හැකියාව තිබෙන නිසා වේග රිද්මයේ ගායන ශිල්පිනියක් හැටියට හා සරල ගී ගැයුමට ප්‍රසංග වේදිකාව මට ඉඩක් අද තිබෙනවා. එනිසා ප්‍රසංග වේදිකාවේදී මගේ හඬ අවදි කරන්නට අවස්ථාව ලැබෙන ප්‍රමාණය වැඩියි.

ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

මේ ගමනේදී මට ප්‍රවීණයන්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. ආධුනික කාලයේ සිට මේ දක්වා ආපු ගමනේදී මට ප්‍රායෝගික හා න්‍යායාත්මක ආභාසය ඔවුන්ගෙන් ලැබීම ආශිර්වාදයක් වුණා. ඒ නිසා මගේම කියලා නිර්මාණ ගොන්නක් එළිදක්වන්නටත් අවස්ථාව උදා වුණේ ඔවුන්ගේ ආශිර්වාදය මට ලැබුණ නිසයි. ප්‍රවීණයන්ට නිසි තැන ලබා දුන්නොත් අපිට ඒ ගෞරවය පෙරළා ලැබෙනවා. මගේ ඊළඟ ප්‍රයත්නය තමයි පෙර අපරදිග ජන සංගීතය මුල් කරගනිමින් නව නිර්මාණ කීපයක් කිරීමයි. මේ දවස්වල නිශානි එදිරිසිංහ මහත්මිය යටතේ විශාරද විභාගයට සුදානම් වෙනවා. එයින් පස්සේ භාත්කණ්ඩේ විභාගය කිරීමට බලාපොරොත්තු වෙන්නේ .

තනිවම යන ගමනේ මිළඟ අරමුණ මොකක්ද?

මම හිතන විදිහට තමා වටා ඉන්න පිරිස ශක්තිමත් නම් තනියක් දැනෙන්නේ නෑ. ඒ ගැන වැඩිය හිතනවාට වැඩිය සමාජයට කළ යුතු මෙහෙවර ගැන හිතුවොත් ඇති කියලයි මම හැමදාම හිතන්නේ.

නව නිර්මාණ කීපයක් ඉදිරියේදී එළිදැක්වීම හා වේදිකාව ටෙලි නාට්‍යයේ සිනමාව යන ක්ෂේත්‍රයන්හි පසුබිම් ගායිකාවක් වීමත් මගේ අරමුණක්. තාත්තාට ගායන ශිල්පියෙක් වෙන්න නොලැබුණ නිසා මගේ පිටුපසේ සිට යෝධ ශක්තියක් වෙමින් හැම දේකටම නොසැලී මාව බලාගෙන ඉදිරියට ගෙනියන තාත්තාගේ බලාපොරොත්තුව මා තුළින් දකිනවා කියන්නේ මම ලද භාග්‍යයක් කියලයි. ඔහුගේ මීළඟ බලාපොරොත්තුව තමයි මම මේ වසරේ නොවැම්බර්වල අහිමි තැන් නමින් ඒක පුද්ගල ප්‍රසංගයක් පැවැත්වීම. ගීත විස්සක් ඇතුළත් කර පාදුක්ක පියරතන විදුහල් ශ්‍රවණාගාරයේදි පැවැත්වීමට මේ වන විට කටයුතු යොදා ගෙන යනවා. මේ සඳහා මට මගේ ස්වාමියා ඇතුළු පවුලේ සියලු දෙනා සහ හිතවතුන් සියලු දෙනාම උදව් කරනවා. මේ තාක් මේ ගමන එන්නට මට උදව් කරපු සියලු දෙනාටම නොවැම්බර් මාසේ මම කියන දිනය වෙන්කරලා තියාගන්න කියලා මම ආදරයෙන් කියනවා.

සටහන සහ සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT