නිවස සංවාද මගේම උත්සහයෙන් ආපු ගමනක් මේ

මගේම උත්සහයෙන් ආපු ගමනක් මේ

රංගන ශිල්පිනී ප්‍රියංකා ප්‍රියදර්ශනී

by Thanushika
September 12, 2024 12:30 am 0 comment

මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නා ටෙලි නාටයයක් ලෙස ‘ලලයි ලිලයි ලයි’ ටෙලි නාට්‍යය හැඳීන්විය හැකිය. සුපුන් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ටෙලි නාට්‍යයේ සුකුමල්ගේ මව ලෙසින් චරිත නිරූපණයට එක්වෙන ඇය මෙවර අපේ කතා නායිකාවය. ඇය ප්‍රියංකා පි‍්‍රයදර්ශනීය. මින් ඉහතත් ඇය සුපුන් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ටෙලි නාට්‍යය සඳහා සිය දායකත්වය ලබා දි ඇත. ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය සේම සිනමා මාධ්‍ය ඔස්සේද ඇය ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙන්නිය.

ඇය කලාවට පෙම් බඳීන්නට පටන් ගත්තේ සිය පාසල් දිවියේදිමය. නර්තන ශිල්පිනියක ලෙසින් තම ගමේ පාසලේ නමක් දිනාගත් ඇය එවකට පැවති බොහෝ නර්තන තරඟ සඳහාද ඉදිරිපත්වී ජයග්‍රහණ අත්පත් කර ගත්තියකි. එහෙත් ඇය සිය කලා දිවියේ පළමු මං පෙත් විවර කර ගන්නේ සිය විවාහයෙන්ද පසුවය. ඇගේ ගමනට නියමිත වෙලාව දෛවය ඇයට තින්දු කර තිබුණේ එපරිද්දෙනි. පමාවි හෝ තම ජීවිතයේ ආසාවන් පසුපස හඹාගිය ඈ අද වනවිට මෙරට ප්‍රසිද්ධ මාධ්‍යය වෙත පැමිණ සිටින්නිය.

“මගේ ජිවිතේ පුංචි කාලේ ඉඳලා ලොකු ආසාවක් තිබුණා රංගනයට ප්‍රවිෂ්ට වෙන්න. ඒත් ඒකට මට අවස්ථාවක් තිබුණේ නෑ. නමුත් මම පාසල් යන වයසේ ශිෂ්‍යාවක්ව සිටියදිම අසීමිතව චිත්‍රපට බලන්න පෙලඹිලා හිටියා. ඒ මතකයන් එක්ක තමයි මගේ ජීවිතේ ඉදිරියට ගලාගෙන ගියේ.

ජීවිතයේ තමන් පසුපස පැමිණෙන අභියෝගයන් ජය ගනිමින් තම අභිමතාර්ථ ඉෂ්ට කර ගන්නට ප්‍රියංගිකා කුමන මොහොතක හෝ පසුබට වූයේ නැත. ජීවිතයේ බොහෝ දුරක් ගෙවා දැමුවාට පසුව වුවද ඒ බලාපොරොත්තු, ඒ සිහින පසුපස ලුහුබඳීන්නට ඇයට සුවිශාල ශක්තියක් විය.

“මගේ ගම අනුරාධපුරය. අනුරාධපුරය කිව්වට එතැන ඉඳනුත් සැතපුම් ගණනාවක් ගියාට පසු හමුවෙන මැදවච්චිය. මම මුලින්ම අධ්‍යාපනය ලැබුවේ මැදවච්චිය මධ්‍ය මහා විද්‍යාලයෙන්. එතැනින් පස්සේ ශ්‍රාවස්තිපුර නෙළුබැව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. අ.පො.ස උසස්පෙළ සඳහා. ඉස්කෝලෙ යන කාලේ මට නාට්‍ය රංගනය පැත්තට කිසි උනන්දුවක් තිබුණේ නෑ. ඒ කාලේ මගේ ජිවිතය වෙලා තිබුණේ නර්තනය තමයි. මම උඩරට නැටුම් ඉගෙන ගත්තා. පාසල් මට්ටමින්, ගම් මට්ටමින් නර්තන තරගාවලි බොහොමයකට ඉදිරිපත් වෙලා ජයග්‍රහණත් මම අත්පත් කරගෙන තිබෙනවා. ඊට අමතරව මම ඉස්කෝලෙදි ක්‍රීඩා කළා.

ඔබ කොහොමද කලාවට සම්බන්ධ වෙන්න කොළඹ එන්නේ?

මම අ.පො.ස උසස්පෙළ කලාට පස්සේ පවුලේ තිබුණ දැඩි දරිද්‍රතාවයත් එක්ක රැකියාවක් සොයාගෙන කොළඹට ආවා. ඒ කාලේ මට හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනවා. එතැන සුව රැකියාවක් කරමින් ඉන්නකොට තමයි මට විවාහ දිවියට ඇතුළත් වෙන්නේ. ඊට පස්සේ මට දුවෙක් ලැබෙනවා. එයිනුත් පස්සේ තමයි මම කලාවට සම්බන්ධ වෙන්නේ.

විවාහයෙන් පස්සේ කලාවට එනවට සැමියා කැමැති වුණාද?

විවාහයෙන් පස්සේ එයා විදේශගත වුණා. ඉට පස්සේ තමයි මම කලාවට සම්බන්ධ වුණේ. ඒ කාලේ මගේ දුව ගොඩාක් පොඩි නිසා මට දිගටම මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. නමුත් අහම්බයකින් වගේ මට සුමින්ද සිරිසේන මහත්මයාගේ ‘සිවුරඟ සේනා’ කියන නාට්‍ය වැඩමුළුවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. එතනින් තමයි මම රංගනය කියන එක ඉගෙන ගත්තේ. ඉන් පස්සේ වේදිකා නාට්‍ය දෙකක විතර රඟපාන්න අවස්ථාව ලැබුණා. එක ටෙලි නාට්‍යයක සුළු චරිතයක් නිරූපණය කරන්නත් අවස්ථාව ලැබුණා. ඉන් පස්සේ මට කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ.

නැවත වතාවක් කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

2017 වර්ෂයේ තමයි මම නැවත වතාවක් කලාවට එන්නේ. ඒ හිරු ටී වී නාළිකාවේ වාර්තා වැඩසටහනක් හරහා. ඒක පැය භාගයක පමණ වැඩසටහනක්. ඒ හරහා තමයි ආපසු මගේ කලා ආගමනය සිද්ධ වෙන්නේ. එදා ඉදලා මේ වනතුරු මම කලාවේ විවිධ අංශයන් නියෝජනය කරමින් කලාවේ රැඳීලා ඉන්නවා. මේ දවස්වල දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන තුෂාර තෙන්නකෝන්ගේ ‘නිකිණි කුසුම්’ ටෙලි නාට්‍යයේ බණ්ඩාර මැණිකේ ගේ චරිතය රඟපානවා.

ඔබ චිත්‍රපටවලට සම්බන්ධ වෙන්නේ කොහොමද?

මුලින්ම මට චිත්‍රපටයක පෙනී හිටින්න අවස්ථාවක් සැලසෙන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ඝර සරප’ චිත්‍රපටයේ. ඒ චිත්‍රපටයේ මානසික රෝගියෙකුගේ චරිතයකට තමයි මම එක්වුණේ. ඊට පස්සේ මට වාසව බදුගේ ගේ ‘ආදරණිය ප්‍රාර්ථනා’ චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාවක් ලැබෙනවා. මේ දිනවල තිරගතවන වාසවබදුගේ අධ්‍යක්ෂණය කළ ‘ විසල් ආදරේ’ චිත්‍රපටයටත් ඔහු මාව සම්බන්ධ කර ගත්තා. චන්න දේශප්‍රිය ගේ ‘යු ටර්න්’ චිත්‍රපටයටත් මම රංගනයෙන් එක්වුණා. බෙනට් රත්නායකගේ කවුරුවත් දන්නෙ නෑ, සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරගේ ‘ද නිවුස්පේපර්’ යන චිත්‍රපටවලත් මම සුළු චරිත රඟපාල තිබෙනවා.

ඉස්සරහට මොනවද කරන්න බලාපොරොත්තුව?

ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න තමයි මගේ වැඩි බලාපොරොත්තුව. මේ දවස්වල නම් වැඩිපුර තිබෙන්නේ යු ටියුබ් වැඩ. මම ළහිරු මුදලිගේ ගේ යු ටියුබ් නාළිකාවත් සමඟ සම්බන්ධ වෙලා ගොඩාක් වැඩ කරනවා. ඒ අතරම රොෂාන් මල්ලිගේ ‘මිල්ලැව වලව්ව, මෙට්රෝ හීන’ වැනි ටෙලි නාට්‍ය වලටත් සම්බන්ධ වුණා. මේ දිනවල මගේ වැඩි අවධානය යොමු වෙලා තිබෙන්නේ නවකතාවක් ලිවීමටයි. ඒ සමඟම ගීත රචනා පැත්තටත් යොමු වෙලා ඉන්නවා. කොහොම වුණත් මගේ කලා හැකියාවන් වර්ධනය කර ගන්න ඇත්තටම මට හේතු වුණේ මම විසින්ම ඇති කර ගත් උනන්දුව සහ ආසාව තමයි. මම කොළඹින් හුඟාක් දුර පළාතක ඉපදුණත් උත්පත්තියෙන්ම මට කලා හැකියාව ආව කියලා මම විශ්වාස කරනවා. මට මතකයි මම මැදවච්චියේ ඉඳලා බොහෝ දුර ගෙවාගෙන චිත්‍රපට බලන්න ආපු හැටි. ඒ උනන්දුව මුල් කාලේ ඉඳලම මට තිබුණු නිසයි. මේ ගමන එන්න මගේ පසුපස්සෙන් හිටියේ ඇත්තටම මගේ අම්මා තමයි. එයට අමතරව මට චිත්‍රපට හා ටෙලිනාට්‍යවල සුළු චරිතයක් හරි දුන්න හැම දෙනාටම ස්තුති වන්ත වෙන්න ඕන. මොකද ඒ හැම දෙනාගේම උදව්ව නිසා තමයි අද මම මෙතනට ආවේ. ඉතින් ඉදිරියේදීත් මේ ක්ෂේත්‍රය තුළ රැඳී සිටිමින් කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න මම කැමැත්තෙන් ඉන්නවා.

 

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT