Home » මං මුළා වූ ජීවිතය තුළ “මං හොයන්නේ ප්‍රේමයක්”

මං මුළා වූ ජීවිතය තුළ “මං හොයන්නේ ප්‍රේමයක්”

by Thanushika
February 6, 2025 1:06 pm 0 comment

ආදරය කියන්නෙම ජීවිතය ජීවත් කරවන දිව ඔසුවක්. නිවැරදි අවබෝධයෙන් සංවරව ආදරය වටහා ගතහොත් ජීවිතය පුරාවටම සදාකාලික සතුටක් සැනසුමක් ලැබෙනවා සේම, ආත්මාර්ථකාමී ආදරය තුළ සිත මුලාවේ වැටුණහොත්, ඉතිරි වන්නේ පසුතැවීමක් හා වේදනාවක් පමණයි. මෙම කතාවේදී හමුවන “මේධාන්” නාගරික දිවි පෙවතකට හැඩගැසුණු ධනවත් පවුලක දරුවෙක්. ඔහු ලද අසීමිත නිදහස හා ආර්ථික ශක්තිය නිසාම පාසැල් අවධියේ සිටම විවිධ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ සෙල්ලක්කාර තරුණයෙකු බවට පත් වූ වෙක්. මොන දේ කළත් ඔහුට සහජයෙන්ම උරුම වූ හොඳ ගායන හැකියාවකුත් පිහිටා තිබුණා. භද්‍ර යෞවනයේදීම ඔහු ඔහුට වඩා වයසින් වියපත් නිළියක් සමඟින් අනියම් ප්‍රේම සබඳතාවයකට මැදිහත් වුණා. ඔහුගේ මෙම අයහපත් චර්යාවන් නිසාම පවුලෙන් නෙරපා හැරීමට දෙමාපියන්ට සිදුවුණා. ඉන්දීය නර්තනයට බෙහෙවින්ම දක්ෂ, “යාරා” නම් යොවුන් දැරියක් මේධාන්ට අහම්බෙන් මුණගැසෙනවා. ඔහුට වඩා වයසින් අඩු මෙම දැරිය පිළිබඳව ළෙන්ගතු හැඟීමක් ඔහු තුළ පහළ වෙනවා. යාරාගේ දෙමව්පියන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්. මේධාන් පිළිබඳව දන්නා ඔවුන්, සිය දියණිය ඔහුගෙන් දුරස් කිරීමට උත්සාහ ගන්නවා. මේ සම්බන්ධතාවයන් පිළිබඳව සිදුවන යම් යම් හේතුන් නිසා මේධාන් රටින් පිටවීමට තීරණය කරන්නේ, යාරා කෙදිනක හෝ තමාගේ කරගන්නා අදිටනින්. සිය දිවි පෙවත ධනාත්මක පරිවර්තනයකට ලක් කරගන්නා ඔහු වසර කිහිපයකට පසුව යළි මව්බිමට පැමිණෙනවා. මේ බව දැනගත් යාරාගේ මව්පියන් “ශාක්‍ය” නමැති තරුණයෙකුට යාරා විවාහ කර දීමට තීරණය කරනවා. කලකට පෙර අනියම් ඇසුරක පැටලුන වියපත් නිළියගෙන්ද මේධාන්ට ගැලවීමක් නොලැබෙන පසුබිමක යාරා අයිති වන්නේ කාටද යනු “මං හොයන්නේ ප්‍රේමයක්” තුළින් ප්‍රේක්ෂකයාට වටහා ගැනීමට හැකි වනු ඇත.

තිළිණ සංජීව බොරලැස්ස ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට සහය අධ්‍යක්ෂවරයෙකු ලෙසින් එක් වන්නේ 2007 වර්ෂයේදී ය. සිව් වසරක් පමණ එම ක්ෂේත්‍රයේ නියැළෙමින් ලද මනා පරිචයකින් පසුව සිය ප්‍රථම නිර්මාණ අධ්‍යක්ෂණය ලෙසින් “අග්නි” ටෙලිනාට්‍ය 2011 වර්ෂයේ දී ආලින්දයේ ප්‍රේක්ෂාගාරය වෙත ගෙන ඒමට ඔහු සමත් වූ අතර, එය එම වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය නාම යෝජනා යටතට නිර්දේශ විය. ඉන් අනතුරුව අඛණ්ඩව නිර්මාණකරණයේ යෙදෙමින්, “අත්තම්මා”, ”සිඳූ”, “අම්මා”, “හිතුවක්කාර”, “ශක්ති”, “රාජිණී”, “නොපාර්කින්”, “සිහින සමාගම”, “සිත නිදි නෑ”, “සිකුරු ඇවිත්” වැනි ටෙලි නිර්මාණයන් රැසක් ප්‍රේක්ෂක රසාස්වාදය සඳහා ඔහු විසින් අධ්‍යක්ෂණය කරමින් ඉදිරිපත් කර ඇත. නිර්මාණකරණය වෙනුවෙන් 2017/18 වර්ෂයේ ස්ලිම් නීල්සන් සම්මානය ඔහු විසින් දිනාගනු ලැබුවේ , ජනප්‍රියම ටෙලි නාට්‍ය නිර්මාණය වෙනුවෙනි. එලෙසින් දහ අට වසරක් පුරා ලද අත්දැකීම් තුළින් ඔප නැංවුණ ප්‍රතිභාව උපයෝගී කර ගනිමින් ඔහුගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණය “මං හොයන්නේ ප්‍රේමයක්” නමින් ප්‍රේක්ෂකයා වෙත තිළිණ කිරීමට ඔහු තීරණය කර ඇත.

රංගන දායකත්වය

දර්ශන් තෙවරාජ්, අභිලාෂි සංතුෂ්කි, නිල්මිණි තෙන්නකෝන්, පූජනී භාග්‍යා, අනුරාධ මල්ලවආරච්චි, පසිඳු විතාන්ගේ, ක්‍රිෂාන් පෙරේරා, දිනෙල්ක මුතුආරච්චි, අජිත් වීරසිංහ, දිව්‍යාශ්‍රිකා පිගේරා, දිනිඳු ශේන්, රජිත සූරියආරච්චි, ජයනි වීරසිංහ, චාතුර්යා සඳබරණ, පමුදි සම්භාෂි, ඇල්බිනා කෲස්ට්, ජනක කාංචන මුදන්නායක, තානු රසාංජලී, රනිල් කොතලාවල, අංජලී බුදවත්ත, අනෝමා කුමුදුනී පතිරණ, පාලිත පෙරේරා, මංගල දීගල්ල

කාර්මික දායකත්වය

අධ්‍යක්ෂණය – තිළිණ බොරලැස්ස

නිෂ්පාදනය – යූ.එස්.වයි. අජිත් කුමාර

තිර රචනය – අනෝමා විජේවර්ධන

කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය – ස්ටයිනර් මැක්ලේන් ඇඩැම්ස්

සහාය අධ්‍යක්ෂණය – ප්‍රදීප් මානවඩු

සංස්කරණය – දිනෙල්ක මුතුආරච්චි

වර්ණ සංයෝජනය – මධුශාන් සංජීව

කලා අධ්‍යක්ෂණය – කසුන් සංජය නිර්මාල්

අංගරචනය – බුවනෙක රණවක

නර්තන වින්‍යාසය – බාස්කර් ප්‍රකාශ්

නිෂ්පාදන කළමනාකරණය – සහන් වීරණකුලසූරිය

රේඛීය නිෂ්පාදනය – ඉෂාන් ජයසිංහ

සංගීත අධ්‍යක්ෂණය – තිළිණ තාරක

ගීත රචනය – ශෙහාන් ගලහිටියාව, අනෝමා විජේවර්ධන, ජානක සිරිවර්ධන

ගීත ගායනය – හර්ෂ දනෝශ්, අපූර්වා ආශාවරී

මූල්‍ය පරිපාලනය – රශ්මික ජයවීර

සම්බන්ධීකරණය – අමිල ජයවර්ධන

ඇඳුම් නිර්මාණය – රමේෂා ඕෂිණි

සටන් අධ්‍යක්ෂණය – ඔසඳ සමන් බණ්ඩාර

දෙබස් පටිගත කිරීම – තිළිණ තාරක

නිශ්චල ඡායාරූප – ශාන් ආට්ස් ෆොටෝග්‍රැෆි

කැමරා උපකරණ – ලගීනා මීඩියා

 

[email protected]

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT