Home » මං ප්‍රසිද්ධිය පසුපස හඹාගියේ නෑ

මං ප්‍රසිද්ධිය පසුපස හඹාගියේ නෑ

ප්‍රවීණ ගායනවේදිනී ශී‍්‍රමති තිලකරත්න

by Mahesh
June 20, 2024 12:30 am 0 comment

– ඊළඟ භවයක් ගැන නම් මගේ ප්‍රාර්ථනාවක් ඇත්තේම නැහැ
– මගෙ ගායනයේ නියම සලකුණ සනිටුහන් කළේත් ගැයුමින් නියම ප්‍රයෝජනය ගන්න සමත් වුණේත් සරත් බාලසූරිය මහත්තයායි. මගේ ගැයුමේ නියම ස්කේල් එක අවබෝධ කරවූයේ එතුමායි
– මගේ දරුවනට උගත්කමට වඩා දුන්නෙ බුද්ධ දර්ශනයේ චින්තනයයි
– මං තවමත් මහත්තයා එක්ක මනසින් කතා කරනවා

” මට ඊළඟ භවයක් ගැන නම් මගේ ප්‍රාර්ථනාවක් ඇත්තේම නැහැ..දානයටම හුරු මගේ අත්දෙකයි..දහමට ඇති ශ්‍රද්ධාවයි ගැන සිතමින් අදටත් මම ජිවිතය දෙස සුභවාදීවම සිතනවා..”

එදා ගුවන් විදුලියෙන් සුවහසක් ගීත ශ්‍රාවකයා අමන්දානන්දයට පත්කරවන්නට තරම් ළයාන්විත ගැයුම් ස්වරයකින් සිරිමත් වූ ඕ තොමෝ දැන් පසුවන්නේ මා සමීපයේය…ඇයගේ ගී ගායනා සිරිතට එදා මෙන්ම ආශක්ත වන රසික පිරිසක් අදටත් එහෙමමය…

සරසවිය පාඨක ඔබ වෙනුවෙන් කතාබහට එකතුවන මෙවර අපේ සොඳුරු කතා නායිකාව වනුයේ යුගයක් මිහිරිතම ගැයුම් ස්වරයෙන් සිරිමත් කළ අපේ රණසිංහ ආරච්චිගේ ශ්‍රීමතී හෙවත් ශ්‍රීමතී තිලකරත්න ප්‍රවීණ ගායනවේදිනියය..

“සරසවිය පත්තරේට මාව මතක් වුණ එකට නම් මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා…ඇත්තමයි ..සතුටක්…’

“ඔබතුමිය හමුවන්නට වගතුග දුන් ප්‍රවීණ ගායිකා නාලිනී රණසිංහ මහත්මියටද මම කෘතඥ වන බවද මම ඇයට කීවෙමි.

“ඔව්..නාලිනී රණසිංහ මහත්මිය හරි හොඳ කෙනෙක්…”

අප පිළිසඳරට මුලපුරමින් පැවසූ ඕ තොමෝ සිය ජීවන මාවතේ පැමිණි මඟ පිළිබඳව කියන්නට වන්නීය…

” මම උපන්නෙ මාතර..අපෙ තාත්තාගෙ ගම් පළාතනෙ. මගේ අම්මා නුවර..වග. විජේසිංහ මුදලිගේ සෝමාවතී…ඉතිං. ඒ කාලෙ කොළඹ තිබුණු සියරට හෝටලයේ හිමිකාර රණසිංහ ආරච්චිගේ අර්මෝලිස් අප්පුහාමි තමයි මගේ තාත්තා .. අපේ පවුලේ ඔක්කෝම හතක්නේ. මට හිටියෙ එකම අයියයි. මල්ලිලා දෙන්නයි. මං තමයි පවුලේ පස්වැනි ගැහැනු දරුවා ..අනේ..දැන් මගෙ සහෝදර සහෝදරියන් නැහැ…ඒ ගැන හිතෙන කොටත් හිතට දුකයි…”

අපේ ආදරණීය කතා නායිකාව ශ්‍රීමතී මුලින්ම ඉගෙනුමට ගියේ මාතර, රාහුල විදුහලටය.. තාත්තා සිය දරු පවුල සමඟින් කොළඹ පදිංචියට එන්නට ගත් තීරණයෙන් ඒ වනවිට මාතර රාහුල විදුහලේ ප්‍රාථමික ශ්‍රේණියේ ලබමින් සිටි ඉගෙනුම මාස කිහිපයකින් හමාර වී..අනතුරුව කොළඹ ..බොරැල්ලේ ඕල්සන්ස් විදුහලට ඇතුළත් කළාය.

මේ වනවිට ඇයට අවුරුදු හතක් පමණ ය..අම්මා ඇය ගුවන් විදුලියේ ළමා පිටිය වැඩසටහනකට කැඳවා පැමිණියේ තම දියණියගේ ගායන කුසලතාව පිළිබඳව මැනවින් දැනසිටි හෙයිනි.

සරත් විමලවීර, කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර වැනි දැවැන්තයන් එදා පළමුවරට දුටු අපේ ආදරණීය ශ්‍රීමතී දැන් මදෙස බලා කීයේ “ඒ කාලෙ ගුවන් විදුලියේ හිටපු ඉස්තරම් මිනිස්සුනෙ..” යි කියාය.

ප්‍රතාපවත් හඬකට හිමිකම් කී සිරිල් ඒ. රාජපක්ෂ මහතා ඇතුළු විද්වත් පිරිසක් හමුවේ පැවැති “නවක මඬල” සරල ගී පරීක්ෂණයෙන් අපේ කතා නායිකාව “ඒ”ශ්‍රේණියේ ගායන ශිල්පිණියක ලෙසින් සාමාර්ථය ලබන්නීය.

තවත් ගායනා තරඟයකට ඇයට ඇරියුම් ලැබිණි. එය එළිමහන් වේදිකාවකය. එහි මුලසුනේ ගාන්ධර්වයාණෝ ආර්. මුත්තුස්වාමි මාස්ටර් ය. අපේ චිත්‍රපට ක්ෂෙත්‍රයේ මස්තාන් මහතාද ඒ අසලමය.

“අපෝ..අමල් ..ඒ තරඟය එළිවෙනකම් තිබුණා. තරඟයට පැමිණි අය පන්සීයක් විතර වුණා. මම ගායනා කළේ අමරදේව මහත්තයාගෙ “සසර සැරිසරා ..”කියන ගීතයයි.

එම ගීතය ගයා ප්‍රථම ස්ථානය ලබමින් ඊට තිළිණය ලෙසින් අපේ ආදරණීය ශ්‍රීමතී චිත්‍රපට පසුබිම් ගායනයට වරම් ලද්දාය.. ඒ “අටවන පුදුමය” චිත්‍රපටයටය.

ඒ වනවිට වයසින් අවුරුදු 17ක පමණ තරුණියක වූ ඕ තොමෝ අත ළඟම අම්මා පසුවූවාය..තාත්තා නම් මේවාට අකැමැති ය. එහෙත් අම්මා තාත්තා ට හොර රහසේ ” යං…යං. ඉක්මනට ලෑස්ති වෙන්න යැයි කියමින් දියණියට දිරිය දුන්නීය.. යා යුතුව තිබුණේ හැඳල විජය චිත්‍රාගාරයටය. එහි කේ. ගුණරත්නම්, ආර්.මුත්තුස්වාමි සමඟ ගාමිණී ෆොන්සේකා මහතාද දොර තුනේ රථයකින් පැමිණ බැස්සේය. ඈ නෙත් මානයේ චිත්‍රපට රූපගත කිරීමකට සූදානමින් සිටි ජීවරාණි, ක්ලැරිස්, විජිතා මල්ලිකා, ජෝ අබේවික්‍රමයන් ද සියැසින් දැක ගත්තාය.

“ඉතිං අමල් ඒ ස්ටූඩියෝ එකේදී සංගිතයක් නැතිව නිකං ගායනයක් රැකෝඩ් කළා ” අපේ ශ්‍රීමතී කියන්නීය.

ඒ සමඟම ඇයට ගාමිණී ෆොන්සේකාගේ ගැඹුරු කටහඬ ද ඇසිණි .

“ඔය එක එක ගැහැනු ළමුන් ගෙනැල්ලා සිනමාස් සමාගම සවුත්තු කරන්නෙ නැහැ නේද .”

පිරිස සිනාමුසු මුහුණින් සිටියහ.

ඇයට ගයන්නට ලැබුණේ යුග ගායනයකි.ඒ අපේ ජෝති සමඟිනි.

“රිදී වලාකුළෙන් එබී…බැබළෙන රන් තාරකා” ඒ එම ගීතයය.

“බාරදුන්නදේ ඒ වගේ කළා

කෝ මට තෑගී දෙන්න ඕනමයි…..”

එම ගීතයද ඕ ජේ.ඒ. මිල්ටන් පෙරේරා සමඟින් ගැයුවාය..

ඕ තොමෝ පිරුණු සිනාවකින් මුව සරසා ගනිමින් කීයේ..

“ඔන්න ඉන්පස්සෙ අමල්..මට චිත්‍රපට 10ක් විතර එකදිගට පෝලිමට ගයන්න අවස්ථාව ලැබුණා ”

“මං ගීතයක් ගයන්න ගුවන් විදුලියට ගියා කියමු. මම මගෙ වැඩේට කතා කරනකම් මම පුටුවක වාඩිවෙලා පාඩුවේ ඉන්නවා. කාගේවත් දේවල් අහන්නෙත් නැහැ. හොයන්නෙත් නැහැ…කවදත් මම මගෙ පාඩුවේ මගෙ වැඩේ කළා. මං ගෙදර ආවා…කාගෙන්වත් මේ වනතුරු වැඩ සටහන් ඉල්ලාගෙන ගිහිල්ලාත් නැහැ. මුකුත්ම කාගෙන්වත් ඉල්ලා නැහැ ..”

අපේ ශ්‍රීමතී තිරහඬින් කියන්නීය.

බොරැල්ල කැම්බල් පිටියේ ගී ගායනා තරඟයක් තිබුණු දවසක් ගැන ද කතාබහේදී අතීතයට එබෙමින් ඕ මෙසේද කියන්නීය.

“ඔන්න..ඒ දවසත් කියන්නම්කො. මං එදා එතැනදි ගැයුවෙ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර මහත්මිය ගැයූ ගීතයක්…හාමෝනියම් භාණ්ඩය (සර්පිනාව) ප්ලේ කළේ මහින්ද තිලකරත්න මහත්තයායි. එතුමා දක්ෂයෙක්නෙ. මම එතුමා දකිනවිටදි එතුමා රස්සාව කළේ සිංගර් ආයතනයේ ෆෝමන්වරයකු විදිහටයි. එතුමා ජෝතිපාල මහත්තයාගෙ ළඟම යාලුවනෙ. ඉතිං එදායින් පස්සෙ මම එතුමා දුටුවේම නැහැ”

ගුවන් විදුලියෙන් දැනුම්දීමකි. “මාතෘ භූමි(නම් සංගීත වැඩසටහනකට තංගල්ලට යායුතුය. ඈ උදයෙන්ම ගුවන් විදුලියට ගියේ පිටත්ව යන බසයට එකතුවන්නටය.

ගායක ගායිකාවන්ද එහි සිටී. තවත් එම වැඩ සටහන වෙනුවෙන් ළමුන් ද සිටී. පෙර කී වාද්‍ය ශිල්පී මහින්ද තිලකරත්න මහතාද රියට නැගීමෙන් අපේ ශ්‍රීමතීට අදහාගත නොහැකි දසුනක්ම වී.

දන්නවද අමල්..මම කළුයිනෙ..එයාගෙ ඇස්දෙක මගෙ දිහාටමයි. මට එයා ගැන එහෙම හිතකුත් නැති එකේ මට තේරුනා එයා මා ගැන හරිම උනන්දුවෙන් කියලා. දන්නවද..සමහර අය මං කළු කෙල්ලෙක්නෙ කියල කියපු අයටත් එයා බැනල තියෙනවා..නැහැ..එයා කළු නැහැ කියලා.. ”

අපේ ආදරණීය ශ්‍රීමතී උස්හඬින් සිනාසෙන්නීය.

ඔහු ඇයගෙන් ලිපිනය ඉල්ලා සිටියදී ඈ එය නුදුන්නාය. කෙසේ හෝ ඔහු ඈ සොයා පැමිණියේය …ඔහුගේ මවුපියන් ගායිකාවක වීම නුසුදුසුකමක්සේ සලකා අකැමැති වෙද්දී මවගේ සහෝදරයා වන ඔහුගේ මාමා සිනමා නළු නෙල්සන් කරුණාගම මහතා නවයුවළ තනි නොකරමින් ජයටම කෙරුණු විවාහයටද සිය අස්සන තබා තම ආශීර්වාදය මුළු සිතින් ම ලැබදුන්නේය.

ඒ සුන්දරනීය දවස 1967 පෙබරවාරියේ ය..

ලොකු පුතු දිනංජ තිලකරත්නය. දෙවන පුතු දිමුතු තිලකරත්න ය. අවුරුදු හතකට පමණ පසුව එකම දියණිය ශ්‍රී මධූ තිලකරත්න ය..මේ යුගදිවිපත් මහින්ද සහ ශ්‍රීමතී දෙපළගේ ආදරණීය දූ පුතුන්ය.

“මගෙ දරුවන් ගැන ඇත්තමයි ..ආඩම්බරයි ..මං මගෙ දරුවනට උගත්කමට වඩා දුන්නෙ බුද්ධ දර්ශනයේ චින්තනයයි. අපේ මුළු පවුලම..මගෙ මහත්තයා මහින්ද පවා අප එකට පිරිත් කියනවා. හැමදාමත් පාන්දර නිදි යහනේම සිට අප දෙන්නා පිරිත් කියනවා..පාන්දර 5ට අපි දෙන්නා තබන බුදු පහණට තමයි අපෙ දූ පුතාලා පාසලට යනවිට වැඳල අපට තෙරුවන් සරණ පතා යන්නෙ…දැන් අමල් මං තනියෙන්..මගෙ රත්තරන් දරුවන් හදවතින්ම මා එක්කළ වුණත් එයාලා දැන් ඉන්නෙ පිටරට…මාව බලන්නත් එනවා. අපි පින්වන්තයි ”

“ඇයි නැත්තෙ ..පුතාලා ඉහළටම සංගීතය ඉගෙන ගත්තා..මටත් උවමනා වුණේ එතැනටමයි. නව පරපුරක් රටට ඕනනෙ. මං කාටවත් කැපිලි කෙටිලි නොකළාට මට හිත්රිදීම් ලැබුණානෙ ඔය ගුවන් විදුලියෙම දෙතුන් දෙනකු හැර අනික් අයගෙන්..

මගෙ දරුවන්ගෙන් ඉන්දියාවෙ සංගීත සහතිකයක් ඉල්ලලා. තියෙන්නෙ පාසල් මට්ටමේ සහතික විතරයිනෙ. සංගීතයට සහතික දෙන වෙන තැනක් ලංකාවෙ නැහැනෙ..ඇත්තමයි අමල්. පුතාලට සංගීතය එතැනින්ම එපා කරවූවා. එයාලටත් එපාවුණා.

දැන් අපේ ආදරණීය ශ්‍රීමතී සිය හිමිගේ බසට අවනතව ගායන ලොවින් මිදී ආදරණීය ගෘහණියක ව සිටින්නීය ..

“පොල් ගෙඩියක් ගේන්න වුණත් එයා තමා කඩේට යන්නෙ. මාව යවන්නෙම නැහැ..අපි හරි ආදරෙයි . එයා ගොඩක් මට ආදරෙයි. ඒ ආදරය නිසාම එයාගෙ ඉල්ලිමට සවන් දී ගායනයෙන් සමුගත්තේ”

“අනේ..ශ්‍රීමතී හොඳ කෙල්ල කියා අපේ ජී.එස් බී රාණි අක්කා මාව ගුවන් විදුලියට එක්ක ගිහින් වික්ටර් දළුගමට බාරදුන් පසුවයි ” වාසනා කාලයේ” ගීතය මං ගායනා කළේ…

රාණි අක්කගෙ සංගීත වැඩ සටහනකට මාව ගුවන් විදුලියට එක්ක එන්න කියල මහත්තයාට කියල තිබුණෙත් රාණි අක්කාමයි. සැර වගේ පෙනුමක් තිබුණාට අපෙ මහත්තයා හරිම සංවේදීයි.”

“ඒ නිසාමදෝ යම් යම් සිත් රිදීම් ඇතිවූ නිසාදෝ මගෙ සරල ගී වැඩසටහන බාරව සිටියත් අපේ මහත්තයා රාණි අක්කේ මට බැහැ. මේ වැඩේ වෙන කාට හරි දෙන්න කියල වික්ටර් රත්නායකට දෙන්න කියලත් කියල තියෙනවා. කාලය ගැනත් ප්‍රශ්න නිසා රාණි අක්කා වැඩේ වික්ටර් ට බාර දුන්නා.

“මේ මුළු අහසම මට මදි ඔබ ගැන…එතකොට “ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී..”මේ යුග ගීත අපේ ප්‍රේමකීර්ති එයා ආදරය කළ කාලයේ ලියූ ගීත..”

අපේ ආදරණීය ශ්‍රීමතී එකහුස්මට කියා යන්නීය.

“අර “රත්තරන් මැණික් ” ගීතයට අදහස දුන්නෙ මගෙ මහත්තයා මහින්දමයි. ඒ ගීතය විතරමයි මං දැන උන්නෙ..අනිත් ගීත වික්ටර් එක්ක ගයනතුරු මං දන්නෙවත් නැහැ. ”

ඒ හඬෙහි නොමනාපය මුසුව ඇතැයි මට හැඟේ.

ඈ තවත්දේ කියන්නීය.

සමහරු කියනව මං ආඩම්බරයිලු. මහත්තයා ආඩම්බරයිලු. අනේ අපි එහෙම නැහැ කවදාවත්. ජෝති මහින්ද ගජමිතුරන් වුණාට ගයන්න ඉල්ලගෙන ගියෙත් නැහැ. වැඩසටහන් කාගෙන්වත් ඉල්ලා ගෙන ගියෙත් නැහැ. මේ ලද හැමදේම අපේ දෛවය විසින් අපට ලබාදුන් දේවල්ම විතරයි. මං ගොඩක්ම ගීත ගැයුවෙ නැතිවුවත් වැඩි ප්‍රමාණයක් ගයා තියෙනවා.. මගෙ ගීතවලට තනු නිර්මාණය කරන්නත් මගෙ මහත්තයාට අවස්ථාව ලැබුණා.

“සන්සුන් රුවන් හද මන්දීරයේ…” කේසර සිංහයෝ චිත්‍රපටයට ඈ ගැයූ ගීතය ඇයට අමතකව තිබියදී එය අසාසිටි සැමියා “අන්න ඔයාගෙ යුග ගීතයක්” යැයි දිනෙක තමන්ට කී බව ඇය මට කීවේ මුවපුරා නැඟුණු සිනාවෙනි. ” එයා කියනතුරු මට මතක නැහැ”

“මං ඔය ඕපදූප හොයන්නෙ නැහැ..අහන්නෙ නැහැ. මගෙ වැඩේ කළා..මං ගෙදර ආවා. මගෙ ලෝකය මහත්තයායි මගෙ දරුවන් විතරමයි”

තමන්ට අතහිත දුන් අයට ඇය මහත්සේ කෘතවේදී වන්නීය…ආර්. මුත්තුස්වාමි මාස්ටර් ට, මස්තාන් මහත්තයාට, තබ්ලා වාදක විජේදාස මහතාට, කොටින්ම මට එදා මනුස්සකම දුන් හැමෝටම මං හදවතින්ම ඔවුන් සුවපත් වේවා කියා පින් දෙනවා…”

ඇය වෙත තවත් සරල ගී වැඩ සටහනක් ආවේය. අම්මා දැනුම්වත් කළ ප්‍රකට සංගීතඥ සරත් බාලසූරිය මහතා ගැන ඇය සැමියාට කීවේය. තම සරල ගීත පොදියම ඇය ඔහුට බාරදුන්නාය.

“ආත්ම ගණනක සිතුවිලි අතරේ…” “ආදර සුභා…” “මගේ පුතා සැපට නිදයි..කුටියෙ ඇඳීරියේ ” මවුගුණ ඇතුළු ගීත සරත් බාලසූරිය මහතාගේ තනු නිර්මාණ විය.

“අමල් ..මේ අහන්න ..මගෙ ගායනයේ නියම සලකුණ සනිටුහන් කළේත් ගැයුමින් නියම ප්‍රයෝජනය ගන්න සමත් වුණේත් සරත් බාලසූරිය මහත්තයායි. මගේ ගැයුමේ නියම ස්කේල් එක අවබෝධ කරවූයේ එතුමායි.”

අපේ කතා නායිකාව අවධාරණයෙන් කියන්නීය.

“බලන්න අමල් ..කෘතවේදී මිනිස්සුත් ඉන්නවා..මම එතුමාට මගෙ සරල ගීත දුන් කෘතවෙිදිත්වයට එතුමා චිත්‍රපට තුනකම ගයන්න අවස්ථාව දුන්නා. බොහොමයක් කලාකරුවන් කියන අය බොරුවෙන් ජිවත් වන්නෙ. මම එය අත්දැකීමෙන් දන්නවා.. මේ අතර හිත හොඳ කීපදෙනකුත් ඉන්නවා…”

ඈ ඊළඟට කී දෙයින් මම ඈ දෙස සෘජුව බලා සිටියෙමි.

“මම නම් දැන් සංගීතයට කැමති නැහැ. ආරාධනා ලැබෙනවා. ඉස්සර වගේ රෑ පානේ ගමන් යන්නත් මං කැමති නැහැ. මමයි මහත්තයායි රටපුරා වන්දනා ගමන් යනවා. අපි දෙන්නම බුදුදහමත් එක්කමයි. දරුවන් රටනෙ. ”

අහෝ…! ඒ නිවසෙහි පැලපදියම්ව තිබූ සතුට සොම්නස ගිය වසරේ මාර්තු මස 27 දා වාසුළඟට මුසුව ගියා වැන්න.

80 වනවියේහි පසුවූ අපේ ආදරණීය කතා නායිකා ශ්‍රීමතී තිලකරත්න මහත්මියගේ ස්වාමියා මහින්ද තිලකරත්න ජ්‍යෙෂ්ඨ වාදකයාණෝ ..තම බිරිඳටත් වඩා සර්පිනාවට පෙම්බැඳී එතුමා රෝගාතුරව රෝහලට ඇතුළත් කිරීමේදී නොඑනා ගමන් යන්නටම ගියේ වටපිටාවටද ඇසෙන තරමටම පිරිත් සජ්ඣායනයක පසුවූ ඈ දෑත මතමය..

“උගත්කමට වඩා බුදුදහම මම මගෙ දරුවන්ට දුන්නෙ. රට උන්නත් අපෙ පින්තුරයට වැඳලයි දරුවන් වැඩට යන්නෙ. මා එක්ක එකට පින්දහම් කළ එකට පිරිත් කියූ එකට වන්දනාවෙ ගිය මගෙ තනියට ජීවිතය පුරාම ළඟ සිටි මගෙ මහත්තයා මට අහිමි වුණා..ජීවිතයට සැලසුම් අවශ්‍ය කුමටද කියා හිතෙනවා”

ඈ හඬ දැන් බිඳුණු ස්වරයකි…ඕ දෑස් අග මා කඳුළක් දුටිමි.

“මගෙ හුස්ම ටික යනකොට මං ඔයාව මතක් කරන්නද කියල දවසක් මගෙන් ඇහුවාම ” පිස්සුද ..නැවත සසර දුකට වැටෙන්නද හදන්නෙ කියල මං එකපාරටම එයාගෙන් ඇහුවා..බුදුගුණ සිහිකරන්න කීවා. එදා එයාගෙ දෙපා ඉදිමිලා තිබුණෙ. දුව රට ඉඳන් කීවා තාත්තාගෙ මුහුණත් හරි නෑ. ඉක්මනට රෝහලට ගෙනයන්න කීවා. පිස්සුද මට අමාරුවක් නැහැ..මං රෝහලේ නැවතුනාම අම්මා ගෙදර තනිවනෙ කියලත් එයා දුවට කීවා..

“එදා එයා අන්තිම හුස්ම හෙළන්නට තියෙද්දි ශ්‍රී පාදේ දොළොස් මහේ පහණ එයා දිලිසෙන තරමට සුද්ධ කල හැටි..අන්න සුමන සමන් දෙවියොත් දැන් අර ඔයා දිහා බලා ඉන්නව කියලත් මම කිවා. එතකොට එයාට එයාගෙ සිත පැහැදෙනවනෙ. මගේ බුදුගුණ හඬ එයාට හොඳට ඇහෙන්න මා කීවා. එයා ඒව අහගෙන හිටියා. අනේ අමල් ..මගෙ මහත්තයාගෙ එදා ඇඟ කහම කහපාටට තියෙනව මම දැක්කෙ. දැන් මටත් 76 ක්නෙ. අපට මරණ බය ආවේම නැහැ…මං තවමත් එයා එක්ක මනසින් කතා කරනවා…”

අපේ සොඳුරු කතා නායිකා ආදරණීය ගායනවේදිනිය ශ්‍රීමතී තිලකරත්න මහත්මියගෙන් මම සමුගන්නට ඇයට සරසවිය වෙනුවෙන් නිදුක් නීරෝගී දිවියකට දිගාසිරි පැතුවෙමි.

ඇයට කෘතවේදී වචනයක් කතා කරන්නට රසික ඔබට 0112 73 29 73 ඇයගේ දුරකථන අංකය පිරිනමමි.

ඕ තොමෝ අවිහිංසක සිනාවකින් මට සමු දුන්නාය…

සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT