නිවස විශේෂාංග මං චරිත තෝරාබේරාගෙන තමයි රඟපාන්නේ

මං චරිත තෝරාබේරාගෙන තමයි රඟපාන්නේ

රංගන ශිල්පිනී පබෝධා සංදීපනී

by Mahesh
July 11, 2024 12:30 am 0 comment

– ගොඩක් ප්‍රේක්ෂකයෝ මාව හඳුනන්නේ ගින්දරී චරිත‍ෙයන්
– ‘බහුබූතයෝ’ චිත්‍රපටයට රංගනයෙන් දායකවීම සතුටක්
– ‘සිතුමිණ’ ටෙලි නාට්‍යය රඟපාන කොට අවුරුදු හතරයි
– මම වැඩිපුරම කැමැති සිනමාවට
– මේ අමාරු කාලේ සිනමා කර්මාන්තය කරගෙන යන එක ගැන ඇත්තටම අපි ගොඩක් සතුටු වෙන්න ඕනෑ
– කුමන සම්මානයක් වුණත් සහතිකයක් වුණත් ලැබෙනවනම් ඒ කරන්නේ අගය කිරීමක්

ඔබට රංගනයට ප්‍රවිෂ්ට වීමට පවුලේ ආභාසය බලපෑවද?

ඔව් අනිවාර්යයෙන්ම. මගේ පවුල කලා පවුලක්. පවුලේ අයත් එක්ක ඉන්නකොට කලාවට යොමු වුණා. අම්මා එක්ක ඵඩධධබඪදඨ යනවා. රේඩියෝ චැනල් එකට යනවා. පවුලේ අයත් එක්ක ඉන්නවා වගේ තමයි හිටියේ. ඒ විදිහට තමයි කලාවත් එක්ක මම එකතු වුණේ.

කලා ජීවිතයට අත් පොත තැබුවේ කොහොමද?

වයස අවුරුදු හතරෙදි තමයි මම “සිතුමිණ” කියන ටෙලි නාට්‍යයට ඉස්සෙල්ලාම සම්බන්ධ වුණේ. අම්මා නිසා තමයි මට ඒ අවස්ථාව හම්බවුණේ. අම්මා කලාකාරිනියක් නිසා ඒ අවස්ථාව මට ලැබුණා. දැනටත් කලාකරුවන්ගේ ළමයි ඉන්නවා නම් ඒ අයත් එක්ක වැඩ කටයුතු කරන්න යොමුවෙනවනේ. “ශක්තිය ඔබයි අම්මේ” කියලා චිත්‍රපටයකටත් මම සහභාගි වුණා කියලා මට මතකයි.   

රංගන ශිල්පිනියක්,මවක් විදිහට කොහොමද එදිනෙදා වැඩකටයුතු කළමණාකරණය කරගන්නේ?

කොහොම හරි කරනවා. පුතාට අවුරුදු එකොළහක් වෙනවා දැන්. පුතාගෙ වැඩයි මගේ කලා ජීවිතයේ වැඩයි මේ හැම දෙයක්ම කොහොමහරි කළමනාකරණය කරගන්නවා. අම්මා ගොඩක් උදවු කරනවා මගේ වැඩවලට. ඒ නිසා ඒ තරම් ගැටලුවක් නෑ.

ඔබ වඩාත් ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියත්වයට පත්වන්නේ “බහුබූතයෝ” චිත්‍රපටයේ “ටිකිරිගේ” චරිතය තුළින්. ඒ පිළිබඳ අදහසක් දැක්වුවොත්?

ඇත්තටම හරි සතුටුයි මට ඒ ගැන කතා කරනකොට. උදය අයියා මම කවුද කියලවත් දැනගෙන නෙවේ මට චිත්‍රපටයට කතා කළේ. මාව පත්තරේ දැකලා තමයි කතා කළේ. ඉතින් මට ඒ තුළින් ලොකු ආලෝකයක් ලැබුණා මගේ චිත්‍රපට දිවියට. ලංකාවේ හැමෝටම මතක තියෙන චිත්‍රපටියක් තමයි “බහුබූතයෝ” කියන්නේ. ඒ වගේ චිත්‍රපටයකට රංගනයෙන් දායකත්වය සපයන්න ලැබුන එක ගැන මට ගොඩක් සතුටුයි. කාමරැල්ලේ චිත්‍රපට අවසාන කාලයේ තමයි මේ චිත්‍රපටය ආවෙ. ප්‍රේක්ෂකයින් ඉතා ආදරයෙන් වැලඳගත් චිත්‍රපටයක් බවට ටික කාලෙකින් පත්වුණා. ඉස්සර වගේ හොඳ චිත්‍රපට බිහිවීමේ ප්‍රවණතාවයක් මේ වෙනකොට තිබුණේ නෑ. දැන් නම් හොඳ චිත්‍රපට බිහි වෙනවා. මේ වෙනකන් ජනප්‍රියත්වය වැඩිවෙමින් පවතින චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙන්න ලැබුන එක මම ලබපු භාග්‍යයක් කියලා මම හිතනවා.

ටිකිරිට පණ පෙවීම අපහසු කාර්යයක් වූනාද?

එහෙම අපහසුවක් ඇතිවුණේ නෑ. මුලදී හැමෝටම වගේ චරිතය හරියට හඳුනාගන්නකම් අපහසුවක් තිබ්බා. ඉස්සෙල්ලාම චිත්‍රපටයේ නම් දෙබස් මට තිබ්බෙ නෑ. අංග චලන මඟින් රංගනය සපයන්න තමයි තිබුණේ. ඒ වගේ අංග චලනයන්ගෙන් පමණක් ප්‍රේක්ෂකයින් ඇද බැඳ ගැනීම ලේසි වැඩක් නෙවෙයි. මට පුළුවන් උපරිමයෙන් කරලා තමයි ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තේ. හැමෝගෙම උදව්වෙන් තමයි චරිතය සාර්ථක කරගන්න පුළුවන් උණේ. ඒ චරිතය සාර්ථකයි කියලා අද වෙනකොට තමයි හිතෙන්නේ. මොකද හැමෝගෙම ආදරයට ප්‍රාත්‍ර වුණ නිසා. ගොඩක් අය මාව අඳුනගන්නේ ගින්දරී කියන චරිතය තුළින්.

ඔබ රග දක්වු චරිත අතරින් වඩා ප්‍රිය කරන චරිතයක් තිබේද?

එහෙම විශේෂත්වයක් දක්වන චරිතයක් නෑ. මම අඩුවෙන් තමයි වැඩ කරලා තියෙන්නේ. චරිත තෝරා බේරා ගෙන තමයි මම භාරගන්නේ. කරපු හැම චරිතයකටම ගොඩක් මම කැමතියි. ඒ කරපු සමහර චරිත ගොඩක් ප්‍රසිද්ධියට පත්වුණා. මම කරපු චරිත අතරින් ඒක චරිතයකට කැමතියි කියලා කියන්න මම කැමති නෑ. එකක් විතරක් නෙමෙයි කරපු හැම චරිතයකටම මම ගොඩක් කැමතියි.

වේදිකාව, සිනමාව, රිදී තිරය අතරින් ඔබ කැමැති කුමන ක්ෂේත්‍රයට ද?

වේදිකාව, සිනමාව, රිදී තිරය කියන තුනටම මම කැමති. හැබැයි වැඩිපුර මම සිනමාවට තමයි කැමති.

වර්තමානයේ බිහිවන ටෙලි නාට්‍ය පිළිබඳ ඔබේ අදහස?

කාලෙන් කාලෙට ටෙලි නාට්‍ය රැල්ල වෙනස් වෙනවා. අලුත් අධ්‍යක්ෂවරුන්ගේ, තිර රචකයින්ගේ හොඳ ටෙලි නාට්‍ය බිහිවෙනවා. ඉතින් අපට තියෙන අපහසුතාවයන් මැද්දේ අපි මේ කර්මාන්තය කරගෙන යන්නේ. සමහර අය ලේසියට, පුරුද්දට, මිනිස්සුත් බලන ප්‍රවණතාවය වැඩි නිසා කරගෙන යනවා. ගොඩක් වෙලාවට කාටවත් ඇඟිල්ල දික් කරලා බනින්න බෑ නාට්‍ය හොඳ නෑ කියලා. මොකද තියෙන ප්‍රශ්න ටිකත් එක්ක සමහර නිර්මාණ කරන්න බැහැ. ලොකු වියදමක් යනවා. මම අගය කරන්නේ මිනිස්සුන්ට රසාස්වාදයක් දෙන නිර්මාණශීලී ටෙලි නාට්‍යයන්. අලුත් තිර රචකයින් ,අධ්‍යක්ෂවරුන් හරි පරණ අය හරි මේ අමාරු කාලේ මේ කර්මාන්තය කරගෙන යන එකට මම ගොඩක් සතුටු වෙනවා. හැමෝම කැමතියි සල්ලි වියදම් කරලා හොඳ නිර්මාණයක් කරන්න. හැබැයි අපට තියෙන විදිහට, අපට පුළුවන් විදියට එපැයි කරන්න. ඉතින් එහෙම බලද්දී හොඳ නරක නිර්මාණ කියල දෙයක් නෑ. මේ අමාරු කාලේ මේ කර්මාන්තය කරගෙන යන එක ගැන ඇත්තටම අපි ගොඩක් සතුටු වෙන්න ඕන.

කලා දිවියේ ඔබ ලැබු ජයග්‍රහණ පිළිබඳ පැවසුවොත්?

මට ලැබුණු ලොකුම ජයග්‍රහණය තමයි ප්‍රේක්ෂක ආදරේ දිනා ගැනීම. මඟදි කවුරුහරි මාව දැක්කත් ඒ අය මාව අඳුර ගන්නවා. ඉතිං ප්‍රේක්ෂක හිත් දිනා ගැනීමම තමයි මගේ වටිනම ජයග්‍රහණය.

ඔබේ මවගේ ගීත ගායන හැකියාව ඔබට දායාදයක් වී ඇත්ද?

අපේ පවුලේ හැමෝටම ගීත ගායනා කරන්න පුළුවන්. මටත් පුළුවන්. හැබැයි දැනට වඩා ඉස්සර ලස්සනට ගීත ගායනා කළා. පුහුණුවීමක් නැති නිසා තමයි දැන් ඒ තරම් ලස්සනට ගීත ගායනා කරන්න බැරි. නමුත් ගීත ගායනා කිරීමේ හැකියාව මට තියෙනවා.

ප්‍රංශයට නෑකම් කියන ඔබට එහි යාමට අදහසක් පවතිනවද?

යන්න එන්න අදහසක් තියෙනවා. දැනටමත් යන එන එක කරනවා. මගේ පුතා ඉපදුණෙත් එහේ. කවද හරි ලංකාවේ ප්‍රේක්ෂකයින්ට මගෙන් වැඩක් නැහැ කියලා දැනුණ දවසකට මම එහෙට යයි.

තාරුණ්‍යයේ නව මාධ්‍ය භාවිතය පිළිබඳ ඔබේ අදහස?

මේ හැමදේම නිර්මාණය වෙලා තියෙන්නේ මනුස්සයාගේ ප්‍රයෝජනයටනේ. අවශ්‍ය දේවල් වලට භාවිතා කරන්න. ඒත් වැඩිපුර වෙන්නේ අවභාවිතා වෙන එක. හරියටම දැනගන්න ඕන අපට තියෙන පහසුකම් මොකටද, කොයි විදිහටද පාවිච්චි කරන්න ඕන කියලා. ඉතින් මොළේ තියෙන මිනිස්සු හරියට හරි විදිහට පාවිච්චි කරනවා. ඒ පිළිබඳ හරි අවබෝධයක් නැති අය තමයි අවභාවිතා කරන්නේ. මම කියන්නේ ඕනම දෙයක් අවබෝධයෙන් පාවිච්චි කරන්න පුළුවන්නම් හොඳයි. තාරුණ්‍යයේ නව මාධ්‍ය හරියට පාවිච්චි කරන අයත් ඉන්නවා. එහෙම පාවිච්චි කරන්න දන්නැති අයත් ඉන්නවා.

රංගන ශිල්පිනියක් වශයෙන් ජනප්‍රියත්වයට හිමි සම්මානය ද වැදගත් හොදම නිළිය සම්මානය ද වැදගත්?

ඔය දෙකම වැදගත්. මොන සම්මානෙත් වටිනවා. සම්මාන දෙකෙන්ම අගය කිරීමක්නේ කරන්නේ. මොන සම්මානයක් වුණත් සහතිකයක් වුණත් ලැබෙනවනම් ඒ කරන්නේ අගය කිරීමක්. ලොකුද පොඩිද කියලා එකක් නැහැ. තමන් කරන චරිතයට හරි නිර්මාණයකට හරි අගය කිරීමක් වෙනවනම් සම්මානවල ලොකු පොඩි කියල දෙයක් නැහැ.

අද ඔබේ සාර්ථකත්වයට උදව් කළ අයට ස්තුතිවන්ත වෙන්න අවස්ථාවක් දුන්ණොත් මුලින්ම ස්තූතිවන්ත වෙන්නේ කාටද?

ඉස්සෙල්ලාම මගේ අම්මට ස්තූතිවන්ත වෙනවා. ඊට පස්සේ මගේ පවුලේ අයට ස්තූතිවන්ත වෙන්න ඕනේ. මොකද අපේ අම්මගේ සහෝදර සහෝදරියෝ එක්ක හැදී වැඩිලා තමයි මම කලාව මුලින්ම ඉගෙන ගත්තේ. මම කලා ක්ෂේත්‍රයට පිවිසුණාට පස්සේ මාත් එක්ක වැඩ කරපු, මගේ අඩුපාඩු පෙන්නලා දීපු ,මගේ සාර්ථකත්වයට උදව් කරපු අධ්‍යක්ෂවරු ඇතුළු අනෙක් සියලුම කාර්ය මණ්ඩලයන්ට මම ස්තූතිවන්ත වෙනවා. මොකද මම පොඩි කාලේ ඉඳල තමයි මේ ක්ෂේත්‍රයේ ඉන්නේ. ඉතින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ අධ්‍යක්ෂකවරුන්ගෙන්, කැමරා ශිල්පීන්ගෙන්, වේශ නිරූපණ ශිල්පීන් වගේ මාත් එක්ක වැඩ කරපු අයගෙන්. තාමත් මම සමහර දේවල් ඉගෙන ගන්නවා. ඉතින් ඒ අයට මම මේ මොහොතේ ස්තූතිවන්ත වෙනවා මගේ සාර්ථකත්වයට හේතු වුණාට. කලාවේ අද මම යම් දෙයක් කරල තියෙනවා නම්, මට හම්බවෙන ප්‍රේක්ෂක ආදරයට අයිතිවාසිකම් කියන්න ඒ හැමෝටම අයිතියක් තියෙනවා.

ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳ පැවසුවොත්?

ටෙලි නාට්‍ය චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ටිකක් තෝරණ බේරන නිසා වැඩ ඉතින් අඩුයි. චිත්‍රපටි රූගත කිරීම් තව මාස දෙකකින් විතර පටන් ගන්නවා. අසංක සායක්කාරගේ නිර්මාණයක රූගත කිරීම් කරලා තියනවා ටෙලි විෂන් එකට දාන්න. ඉදිරියේදී ප්‍රේක්ෂකයින්ට ඒක දැක ගන්න පුළුවන් වෙයි. ඉදිරියට හොඳ චරිත ලැබුණොත් ඒවට රංගනයෙන් දායකත්වය සපයන්න බලාපොරොත්තු වෙනවා.

විද්‍යාර්ථි තිලක්ෂි රත්නායක 
කැලණිය විශ්වවිද්‍යාලය 
ජනසන්නිවේදන අධ්‍යයනාංශය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT