Home » භක්ති ප්‍රණාම

භක්ති ප්‍රණාම

by Thanushika
June 26, 2025 12:30 am 0 comment

1964 සිට සිනමා සම්මාන උත්සව සම්ප්‍රදායක් බිහිකළ සරසවිය අද මෙරට කලාකරුවන්ගේ නිර්මාණ ජීවිතයේ සම්භාවනීය ප්‍රමිතිය ලෙසින් ප්‍රසාදයට පාත්‍ර වී ඇත. මේ හේතුව නිසාම සරසවිය සම්මාන උලෙළ ජාතික මට්ටමේ සිනමා උලෙළ ලෙසින් ද සිනමා කලාකරුවන්ගේ අභිමංගල්‍යය ලෙසින් ද හැඳින්වීමට උත්සුකවීම සතුට දනවන කරුණකි.

සිංහල සිනමාව පිළිබඳ උද්යෝගයක් හා උනන්දුවක් සිනමා කලාකරුවන් තුළ මෙන්ම පේ‍්‍රක්ෂකයන් තුළත් ඇති කිරීමට සමත් ශ්‍රී ලංකාවේ ඔස්කාර් සම්මාන උලෙළ ලෙස බොහෝ කලාකරුවන් පේ‍්‍රක්ෂකයෝ සරසවිය සම්මාන උලෙළ හැඳින්වීම ද මෙම උලෙළේ ගම්භිරත්වය කියා පෑමට කදිම නිදසුනකි.

සරසවිය සම්මාන උලෙළ ශ්‍රී ලංකාවේ සිනමාව හා බැදෙන වාර්ෂික උත්සවයක් බව විවාද රහිතය. යම් යම් කාලවල එය නොපැවැත් වූවද හැකි සෑම අවස්ථාවකදීම විවිධ වූ අර්ථපතීන්ගේ නොමසුරු දායකත්වය තුළ සිනමා කර්මාන්තයේ විවිධ ක්ෂේත්‍රයේ නියැළි සිටි අයත්, නිෂ්පාදකවරුන්, නළු නිළියන් සරසවිය සම්මානයෙන් ඇගැයීමට පාත්‍ර කරනු ලැබිණි. සිනමා කර්මාන්තයේ නියැළෙන්නන් පමණක් නොව ශ්‍රී ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයෝ ද මෙම උලෙළ එළැඹෙන තෙක් ඉමහත් උද්යෝගයෙන් පෙරමග බලා සිටිති.

තරු බැබළෙන අසිරිමත් මහා කලා මංගල්‍යය මේ වන විට තිස්පස් වතාවක් පවත්වනු ලැබුවේ මෙරට සිංහල සිනමා කර්මාන්තයේ අභිවෘද්ධියට මහෝපකාරී වූ කලාත්මක හා තාක්ෂණික විශිෂ්ටයන් ඇගැයීමක් වෙනුවෙනි. මේ වන විට මේ අසිරිමත් මහා කලා මංගල්‍ය දශක හයකට එහා ගිය අතීතයකට උරුමකම් කියයි.

මෙවන් වූ අසිරිමත් මහා කලා මංගල්‍යයක නිර්මාතෘවරයා ද මෙහිදී සිහිපත් කළ යුතුය. ලේක්හවුස් ආයතනයේ උරුමක්කාරයකු සේම එහි සභාපතිවරයකුව සිටි රංජිත් විජයවර්ධනයන්ගේ අදහසක් අනුව එතුමන්ගේ සංකල්පයක් අනුව බිහි වූ මේ මහා කලා මංගල්‍යයේ ඇරැඹුම සනිටුහන් වුයේ 1964 මැයි නමවැනිදා කොළඹ අශෝකා සිනමා ශාලාවේය. ලක්ෂ සංඛ්‍යාත සිනමා ලෝලීන්ගේ ප්‍රතිචාර මධ්‍යයේ ලේක්හවුස් ආයතනය අභියසින් ගමන් අරභා අශෝකා සිනමා ශාලාව කරා ඇදී ගිය තාරකා යානය පිළිබඳ මතකයන් ද මේ සම්මාන ඉතිහාසයේ සදා නොමැකෙන මතකා වර්ජනයේ ජීවමාන සාක්ෂිය. සරසවිය සම්මාන උලෙළ ආරම්භය වෙනුවෙන්ම නිර්මාණය කළ සකල කලාවට අධිපති සරස්වතී දේවිය අභිවන්දනය කරනු පිණිස ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් රචනා කළ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සංගීවත් කොට ගායනා කළ ජගන් මෝහිනී… සරස්වතී සුවිශිෂ්ට අභිනන්දන ගීතය අදත් දෙවැනි වනුයේ ජාතික ගීයට පමණි. දශක හයකට එපිට ආරම්භ කෙරුණු මේ මහා කලා මංගල්‍යයේ ඇරැඹුමට මෙහි නිර්මාතෘ රංජිත් විජයවර්ධනයන් විසින් පත් කෙරුණු සංවිධායක මණ්ඩලයේ සභාපතිවරයා වූයේ එවක සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතාය. එහි සෙසු සාමාජිකයන් වූයේ එවක ඔබ්සවර් පුවත්පතේ අලෙවි කළමනාකරු රණපාල බෝධිනාගොඩ, පුවත්පත් කර්තෘවරුන් වූ ධර්මපාල වෙත්තසිංහ, ඩී.එෆ්. කාරියකරවන, ඩී.සී. රණතුංග, එස්. සුබසිංහ, පුවත්පත් බෙදාහැරිම් කළමනාකරු රෝලන්ඩ් අබේසිංහ, සරසවිය පුවත්පතේ ප්‍රධාන ඡායාරූප ශිල්පී නිමල් පෙරේරා අබේවර්ධන මහත්වරුන්ය. දශක හයකට එහා අතීතයකට උරුමකම් කියන ශ්‍රී ලාංකේය සිනමාවේ මහා කලා මංගල්‍යය සරසවිය සිනමා සම්මාන උලෙළ තිස් හයවැනි වරටත් පැවැත්වෙන මේ මොහොතේ මෙරට පවතිනතුරාවට චිරාත් කාලයක් වැජඹෙන්නට සරසවිය සම්මාන උලෙළට යෝධ ශක්තියක් නිදන් කළ මේ අයවලුන් අපි ආදරයෙන් සිහිපත් කරමු.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT