නිවස විදෙස් සිනමා බොලිවුඩයේ රජගමනකට පාර කපන නිහඬ දඩබ්බරයා – විකී කෞෂාල්

බොලිවුඩයේ රජගමනකට පාර කපන නිහඬ දඩබ්බරයා – විකී කෞෂාල්

by Mahesh
July 11, 2024 12:30 am 0 comment

– Sanju චිත්‍රපටය විකීට ගොඩක් සුවිශේෂයි
– මසාන් චිත්‍රපටය වෙස් වළාගත් ආශීර්වාදයක් වුණා

විකී කියන්නෙ ඇතත්ටම දඩබ්බරයෙක්. පළමු හමුවීමෙන්ම ඕනිම කෙනෙක් තුළ තමන් පිළිබඳ ආදරයක් පිස්සුවක් ඇති කරන්න සමත්වෙන පෙනුමක් තමයි විකීට තියෙන්නේ. 1988 මැයි 16 වෙනිදා ඉපදුණු විකීගේ වයස මේ වෙනකොට අවුරුදු 36ක්. එයා ඉපදෙන්නේ මුම්බායිවල මහාරාෂ්ට ප්‍රාන්තයේ. ශාම් කෞෂාල් කියන්නෙ විකීගෙ තාත්තා. හින්දි සිනමාවේ අති දක්ෂ ස්ටනින් නළුවකු වගේම සටන් අධ්‍යක්ෂකවරයෙක් වන ඔහු තමන්ගෙ දරුවන්ට ගොඩක් ආදරය කළ කෙනෙක්. විකීට තවත් බාල සහෝදරයෙක් ඉන්නවා. ඔහු සනී‘ සනී කියන්නෙත් මේ වෙනකොට රංගන ශිල්පියෙක්. පුංචි කාලෙ ඉදන්ම ගොඩක් අය විකීව හැදින්වූයේ මල්ටි ටැලන්ටඩ් කෙනෙක් හැටියට.

ඉගෙන ගන්න වගේම ක්‍රිකට් සෙල්ලම් කරන්නත් චිත්‍රපටි බලන්නත් විකී ලොකු කැමැත්තක් දැක්වූවා. තාත්තට ඕනි වුණේ විකීව හොඳ පදනමක් සහිතව ගොඩනගන්න. ඒ නිසාම හැම දේටම කලින් ඔහු විකීට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න කටයුතු කළා. ඒ නිසාම වෙන්න ඇති විකීට රජීව් ගාන්ධි තාක්ෂණික පාසැලෙන් සන්නිවේදන තාක්ෂණය පිළිබද ඉන්ජිනේරු උපාධියක් ලබා ගන්නත් හැකියාව ලැබුනේ. රැකියා පුහුණුව ලබන කාලෙ සිදු කරපු ක්ෂේත්‍ර චාරිකාවලදි විකීට තේරුණා මේ වගේ රැකියාවක් ඔහුට කවදාවත්ම ගැළපෙන්නෙ නැහැයි කියල . අන්න ඒ නිසා තමයි ඔහු තීරණය කරන්නේ රංගනය වෘත්තීයක් විදිහට තෝරගන්න.

ඉංජිනේරුවෙක් විදිහට කටයුතු කරන ගමන්ම විකී තමන්ගෙ තාත්තත් එක්ක ෆිල්ම් සෙට් වලට යන්න පටන් ගත්තෙ ඔය කාලෙදි තමයි. විකීට ඕනි වුණා මුලින්ම රංගනය පිළිබද හදාරන්න. අන්න ඒ නිසාම ඔහු කිෂෝර් නමිත් කපූර්ගේ රංගන පාසැලට සම්බන්ධ වෙනවා. ඒ කාලෙම ඔහුට අවස්ථාවක් ලැබෙනවා අනුරාග් කාශ්‍යප් සමඟ සහාය අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කරන්න. විකී අනුරාග් එක්ක එකතු වෙලා Gang of Waseypur, 2012, 2012 චිත්‍රපටයේ වැඩ කරන්නෙත් මේ කාලෙමයි. මේ අත්දැකීම් එක්ක විකීට තමන්ගෙ සිහිනය වෙච්චි රංගන ශිල්පියෙක් වීමේ ආශාවත් ටිකින් ටික ඉස්මතු වෙන්න පටන් ගත්තා. මේ අතරතුර තමයි විකීට මානව් කවුල්ගේ නාට්‍යයක් වූ Äl Pencil වල වැඩ කරන්න අවස්ථාව ලැබෙන්නේ. මේ කාලයේ අනුරාග් නිර්මාණය කරපු චිත්‍රපටි දෙකක පුංචි චරිත රඟපාන්නත් අවස්ථාවක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහු 2013 නම් කෙටි චිත්‍රපටයෙත් වැඩකරන්න අවස්ථාවක් ලබාගත්තා. ඒ විදිහට තමයි විකී තමන්ගේ ගමන හිමින් හිමින් පටන් ගත්තේ.

විකීට නිතරම ඕනි කළේ අලුත් වගේම වෙනස් විදිහේ වැඩ කරන්න. එයා තමන්ගේ පළමුවෙනි ප්‍රධාන චරිතය රඟපාන්නේ 2015 වසරේදී. ඒ නීරඡ් ගායිවන්ගේ Masan-2015 චිත්‍රපටයේ. විකී නීරඡ් එක්ක Gang
of Waseypur චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරලා තිබුණා. මසාන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය විකීට ලැබෙන්නේ ඒ සඳහා තෝරාගෙන හිටපු රාඡ් කුමාර් රාවෝ එම චරිතය ප්‍රතික්ෂේප කරායින් පස්සෙයි. නමුත් විකී ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා වගේම ක්ෂේත්‍රය ඇතුළේ හොඳ නමක් හදාගන්න විකීට එම චිත්‍රපටය වෙස් වළාගත් ආශීර්වාදයක් වුණා. චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් දිළිදු ජීවිතයක් ගත කරන තරුණයෙක් ගැන ඉගෙන ගන්න විකී බනාරස්වල කාලයක් නැවතිලත් හිටියා. ඒ තමයි එයාගෙ කැපවීම.

Masan චිත්‍රපටය මුල් වරට ප්‍රදර්ශනය වුනේ 2015 වසරේදී. එහිදී විකීගේ රංගනය වෙනුවෙන් ඔහුට අයිෆා සහ ස්ක්‍රීන් අවෝර්ඩ්ස්වල හොඳම නළුවාට හිමි සම්මානය හිමිවෙනවා පමණක් නෙවෙයි දකුණු ආසියානු සිනමා උළෙලේ වසරේ නැගී එන නළුවා සම්මානයටත් නිර්දේශ වෙනවා. විචාරකයින් පවසන්නේ විකී සිය පළමු සිනමා රංගනයෙන් ම ප්‍රේක්ෂකයින් පමණක් නොව ජූරි සභිකයින් පවා නිරුත්තර කර තිබෙන බවයි.

වැඩි කල් යන්න කලින්ම විකීට නැචුරල් ටැලන්ටඩ් මෙන් කියන නම ලැබුණෙත් ඒ නිසාම වෙන්න ඇති. අනුරාග් එක්ක නැවත සම්බන්ධවෙන විකී Raman Raghav 2.0 චිත්‍රපටයේ මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවුණු පොලිස් නිලධාරියකු මිනීමැරුම් දාමයක් පසුපස හබායන චරිතයක් රඟපානවා. සාමාන්‍ය ජීවිතයෙන් ගොඩක් වෙනස් වූ චරිතයක් කිරීමේ අභියෝගය භාරගත් විකී ඒ ඔස්සේ සුපිරි තරුවක් බවට පත්වන්නේ එක රැයකින්. අදායම් අතින් මේ චිත්‍රපටි දෙකම අසාර්ථක වුණත් නළුවෙක් විදිහට ශක්තිමත් වෙන්න විකීට හැකියාව ලැබෙනවා.

2018 වසර කියන්නේ විකීට ගොඩක් විශේෂ අවුරුද්දක්. ඒ වසරේ ඔහුගේ මුලින්ම තිරගත වූ චිත්‍රපටය වුණේ රොමෑන්ටික් කොමඩියක් වූ Love per square foot චිත්‍රපටය. එහිදී අන්ගිරා දාස් සමඟ ඔහුගේ සංයෝජනය අපූරු එකක් වුණා. ඉන් පසුව ඔහු මේගනා ගුල්සාර් ගේ Raazi-2018 චිත්‍රපටයේ ආලියා භාට් එක්ක ප්‍රධාන චරිතයෙන් එක් වුණා. මේ චිත්‍රපටි දෙකම ආදායම් අතින් අති සාර්තක වුනා වගේම ඔවුන් සම්මානයට පවා පාත්‍ර වුණා. සත්‍ය කතාවක් පදනම් කරගනිමින් රචනා වූ නවකතාවක් පාදක කරගනිමින් නිර්මාණය වූ එහි පාකිස්ථාන් බුද්ධි අංශ නිලධාරියකු ලෙස අපූරු රංගනයක් ඉදිරිපත් කරන්නට විකීට හැකියාව ලැබුණා. ඉන් පසුව අපිට නැවත විකීව මුණගැසුනේ Lust Stories චිත්‍රපටයෙන්. 2018 වසරේ වැඩිම ආදායම් වාර්තාවට හිමිකම් කියන රාඡ් කුමාර් හිරානිගේ ඉචදණභ චිත්‍රපටයත් විකීට ගොඩක් විශේෂ එකක් වුණා. එහිදී රන්බීර් කපූර් සමඟ ප්‍රධාන සහාය චරිතය රඟ පෑ ඔහු සම්මාන උළෙලවල් කිහිපයකදී ම වසරේ හොදම සහාය නළුවා සම්මානයට පවා පාත්‍ර වුණා. එහි ඔහු නිරූපණය කළේ කම්ලි නම් වූ චරිතයක්.

බොහෝ දෙනා ප්‍රකාශ කළේ ඔහු රන්බීර් කපූර් සමඟ චිත්‍රපටයේ එන සංවේදී ජවනිකා ඉතා අපූරු ආකාරයෙන් නිරූපණය කළ බවයි. ඒ වගේම 2018 වසරේ ඔහු කළ අනෙත් සුපර් හිට් එක වුණේ අභිෂේක් බච්චන්” තාප්සී පන්නූ එක්ක විකී රංගනයෙන් දායක වූ චිත්‍රපටය. ඒ චිත්‍රපටයත් අනුරාග් කාෂ්‍යප්ගේ. ආදර ත්‍රිකෝණයක් වටා ගෙතුණු කතාවක් වූ Manmarasiyan පවා ආදායම් අතින් සාර්තක එකක් වුණා.

2019 වසර ඔහු ආරම්භ කළේ ආදිත්‍ය දර්ගේ Uri:
The Surgical Strike චිත්‍රපටයෙන්. යුද්ධය පදනම්වූ කතාවක් වටා ගෙතුණු ඒ චරිතය වෙනුවෙන් ඔහු මාස 5ක හමුදා පුහුණුවක් පවා ලබා තිබුණා. ඔහු කළ කැපකිරීම නිසාම එක් අවස්ථාවක රූගත කිරීමකදී විකීගේ මස් පිඩු ඉරී ගියා. නමුත් බොක්ස් ඔෆිස් වාර්තා තැබූ එම චිත්‍රපටය විකීව වසරේ හොඳම නළුවා ලෙස සම්මානයට පවා පාත්‍ර කරනු ලැබුවා. 2020 වසරේදී විකී කෞෂාල් චිත්‍රපට කිහිපයකින්ම ප්‍රේක්ෂකයන් හමුවට පැමිනියා. ඒ අතර කරන් ජෝහර්ගේ Bhoot – part One: The Haunted Ship චිත්‍රපටය විශේෂ එකක්. සත්‍ය කතාවක් පදනම් කරගිනිමින් නිර්මාණය Sardar Udham Singh චිත්‍රපටය තිරගත වෙන්නේ 2021 වසරේදී. ඒ වගේමම 2022 වසරේදී Govinda Nam Mera චිත්‍රපටයේ ඔහු අපූරු විකට රංගනයකින් රසිකයින් අතරට පැමිණුනා. 2024 වසර විකීට ගොඩක් විශේෂයි. ඒ ඔහු රංගනයෙන් දායක වූ සිනමාපට 5ක්ම එම වසරේ තිරගත වීම. ඒ තමයි Almost Pyaar with DJ Mohabbat, Sara Hatke- Sara Bachke, The Great Indian family, Sam Bahadur, Dunki යන චිත්‍රපට.

කත්‍රිනා කායිෆ් එක්ක මේ වෙනකොට විවාහ වෙලා ඉන්න විකී ළඟදීම දරු සුරතල් බැලීමටත් සූදානම් වෙනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. මෙම වසරේ ඔහුගේ චිත්‍රපට දෙකක් ප්‍රේක්ෂකයින් අතරට පැමිණීමට නියමිතයි. ඒ තමයි Bad News සහ Chhaav කියන චිත්‍රපට ද්විත්වය. ඊට අමතරව ඔහු සංජය ලීලා බන්සාලිගේ මීළඟ සිනමාපටය සඳහාත් තෝරාගෙන ඉන්නවා කියන නිල නොලත් ආරංචියත් බොලිවුඩ් වලින් අහන්න ලැබෙනවා. ඒ අනුව බලනකොට ඉදිරි කාලයේ විකී හින්දි සිනමාවේ සුපිරි වෙනසක් සහ පෙරළියක් ඇති කරයි කියල තමයි විචාරකයන් කියන්නේ.

අමිල නුවන් මධුසංඛ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT