ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ පුහුණු විෂයභාර අධ්‍යක්ෂවරයා වශයෙන් වත්මනෙහි කටයුතු කරන චමින්ද ගමගේ අමාත්‍යාංශ ගණනාවක ප්‍රවෘත්ති ලේකම් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කථානායක මාධ්‍ය අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. රූපවාහිනී නිවේදකයකු -හඬකැවීම්. ශිල්පියකු වශයෙන් ද මාධ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීව කටයුතු කරන මොහු ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ ඩිජිටල් මාධ්‍ය සන්නිවේදන පාඨමාලාවේ සහ සන්නිවේදන පාඨමාලාවේ ආචාර්යවරයකු ලෙස ද කටයුතු කරයි. චමින්ද ගමගේ සිය නිවේදන සහ හඬකැවීම් මාධ්‍ය දිවිය පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් සරසවිය හා මෙසේ එක්විය.
ඔබ මුලින්ම මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ආකාරය සිහිපත් කළොත් …..?
මුලින්ම මම මාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණියේ සිරස ගුවන්විදුලි අභ්‍යාස ආයතනය හරහායි. එහිදී හමුවුණු එඩ්වින් ආරියදාස මහතා තමයි ජීවිතයේ මට හමුවුණු විශිෂ්ටතම ගුරුවරයා.. ඒවගේම තිලක් කුමාර රත්නායක මහතා බිහිකළ සිත් රූ සංස්කෘතික කේන්ද්‍රය ඔස්සේ විවෘත ප්‍රසංග වේදිකාවට ද පිවිසියා. ඉන්පසු ස්වාධීන රූපවාහිනියේ මුල්ම උදෑසන විකාශය ආරම්භ කළේ අපියි. රූපවාහිනී නිවේදනයට නවකයන් වුණත් ඒ කාලයේ අතිශයින්ම වගකීම්සහගත ලෙස කටයුතු කිරීමේ අවස්ථාවන්ට සම්බන්ධ වුණා.රටම කම්පනයට පත්කළ සුනාමි ව්‍යසනය වැනි අවස්ථා නිවේදකයකු ලෙස සජීවීව වාර්තා කිරීමට සිදුවුණා..
ස්වාධීන රූපවාහිනියේ උදෑසන විකාශයට ඔබ සමඟ දායකවූ සමකාලීනයන් ගැන මතකය අවදි කළොත් …..?
ඔව්. උදෑසන විකාශයට ප්‍රධාන නිවේදකයන් පස්දෙනෙක් තෝරාගත්තා මා ඇතුළුව. සංජීව එදිරිමාන්න, හිෂාන් සුමීර, ප්‍රියාල් වීරසිංහ, අරුණ වීරසිරි වැනි අයයි ඒ…..කොහොමවුණත් විදුලිබල අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති ලේකම්වරයා ලෙස කාර්යබහුලවීම මත ස්වාධීන රූපවාහිනියෙන් දුරස්වීමට සිදුවුණා .නමුත් ස්වාධීන රූපවාහිනියේ වටිනාම දෙයක් මම ගෙදර අරගෙන ආවා, ඒ තමයි මගේ බිරිඳ සුරංගි සේරසිංහ. ඇයත් අපේ කණ්ඩායමේ හිටපු නිවේදිකාවක්. මා ඉක්මනින්ම ඇයට මාතෘ පදවිය පිරිනැමූ නිසා ඇගේ නිවේදන දිවියත් එතැනින්ම නිමවුණා…
එතැන් සිට ඔබ රජයේ තනතුරු රැසක්ම දරනවා….?
ඔව්. විදුලිබල අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති ලේකම් තනතුරත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති ලේකම් වශයෙනුත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති ලේකම් ලෙසත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මාධ්‍ය අංශයේ ප්‍රධානියා ලෙසත් පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙක් ලෙසත් පළාත් පාලනය පිළිබඳ ශ්‍රීලංකා ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් ලෙසත් ර්ඕඉඹ් රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ලෙසත් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ තනතුරු රැසක වගකීම් මාහට පැවැරුණා. සංකීර්ණ හා වැඩිම වගකීම් සහිත කාර්යභාරයක් පැවැරුණේ පාර්ලිමේන්තුවේ කථානායක මාධ්‍ය අංශයේද . දින 52 ව්‍යවස්ථා අර්බුදය එහි අමතක නොවන අත්දැකීමක්.
රූපවාහිනී මාධ්‍ය තුළ සන්නිවේදකයකු වශයෙන් ඔබේ දායකත්වය පැහැදිලි කළොත් …..?
ස්වාධීන රූපවාහිනියෙන් පසු ජාතික රූපවාහිනියේ උදෑසන වැඩසටහන්වල වසර 02ක් පමණ සේවය කළා. දේශපාලන වැඩසටහන් රැසකටම දායකත්වය ලබාදුන්නා. පසුව සුප්‍රීම් ටීවී නාළිකාවේ දේශපාලන වැඩසටහන් ආරම්භ කරමින් “දියවන්නාවට කලින්” වැඩසටහන ඉදිරිපත් කළේ මමයි. කෙසේවෙතත් මාණ්ඩලික ශ්‍රේණියේ රැකියාවල දිගින් දිගටම නිරතවීම නිසා මාධ්‍ය දිවියේ බොහෝතැන් මඟහැරුණා. මම අදටත් හඬකැවීම් කරන්න වේලාව වෙන්කර ගන්නේ රාත්‍රියේදී පමණයි. ගොඩක් දවස්වලට රෑ දෙගොඩහරියේ එක දෙක වෙනකන් හඬකැවීම් මැදිරියේ ගත කරනවා. නමුත් නිවේදන කටයුතු එහෙම කරන්න බැහැ.
චමින්ද ගමගේ නමැති හඬකැවීම් ශිල්පියාගේ ආරම්භය සිදුවුණේ කොහොමද ……?
අපි ඉපදුණේ ලස්සන ගමක. කොළඹ දිස්ත්‍රික්කයේ වුණත් නවගමුව දේවාලය මූලික කරගත් සැබෑම ගැමි පරිසරයක අපි හැදීවැඩුණා. අපේ ගෙවල් අවට වැඩිදෙනෙක් පහතරට එළවළු වගාකළ ගොවීන්.. හැමපැත්තෙන්ම එළවළු කොරටු. අපේ තාත්තාත් හොඳ ගොවියෙක්…මේ අපූරු ගමේ, ගැමියන් ඔවුන්ට ආවේණික විවිධ ශෛලීන් අනුව කතාකළා. බිම් කළුවර වැටීගෙන එද්දී අපේ ගමේ කොහේහරි කොනක බෙරහඬක් ඇසුණා. වාර්ෂිකව දේවාලයේ ගිනිමඩු පැවැත්වුවා. මම ඒ යාතිකා හඬවල්, ශ්ලෝක, ගැමි උච්චාරණයන් අනුකරණයට උත්සහ කළා. සමහර දවස්වලට ගමේ අයට ඇදකරනවා කියලා මම තාත්තාගෙන් බැණුමුත් ඇහුවා..මම හිතන්නේ චමින්ද ගමගේ නමැති හඬකැවීම් ශිල්පියා ඉපදුණු තැන එතැන. හඬකැවීම් ශිල්පියකු ලෙස මගේ ආරම්භක අවධියට ගියොත් TNL නාළිකාවේ විකාශය වූ “ශ්‍රී ක්‍රිෂ්ණා” නාට්‍යයටයි මුලින්ම හඬකැවීමෙන් දායක වුණේ එහිදී විශාල අත්දැකීම් රැසක් ලැබුණා. ගැමුණු විජේසූරිය, විජේරත්න වරකාගොඩ, සඳුන් විජේසිරි, හිලේරියන් පෙරේරා, රම්‍යා වනිගසේකර, කුසුම් පීරිස්, සන්ධ්‍යා රඹුක්කනගේ වැනි ප්‍රවීණයන් පිරිස සමඟ වැඩ කිරීමට අවස්ථාව ලැබුණා. ඔවුන් ඇසුර හඬකැවීම් ශිල්පයට පමණක් නොව මුළු ජීවිතයටම විශිෂ්ට අත්දැකීමක් වුණා. ඔවුන් සැබවින්ම විශිෂ්ටයන්.
එවැනි ප්‍රවීණයන් සමඟ ලද අත්දැකීම් විස්තර කළොත් …..?
ඇත්තෙන්ම ඔවුන් සමඟ ඇසුර විශ්වවිද්‍යාලයකට ගියා වැනි අත්දැකීමක් වුණා. ඔවුන් හඬකැවීම් කළේ තාක්ෂණය නොමැති යුගයක. දැන්වගේ එක එක ශිල්පියා එකඑක චරිතයට වෙනවෙනම හඬකවලා ඔක්කොම එකට එකතු කරන්නේ නැහැ. සෑම දෙබසක්ම හරියටම ලිප්ස්වලට කියන්න ඕනේ. තත්පරයක්වත් මිස් වුණොත් ආයේ ඇදලා දාන්න බැහැ. දැන්නම් ප්‍රමාදවෙලා කිව්වත් තාක්ෂණය භාවිත කර ඩයලොග් එක එහෙට මෙහෙට කරන්න පුළුවන්. ඒ කාලයේ ඒක අපිට ලොකු වගකීමක් වුණා. ඒවගේම හැඟීම්වලට අනුව කියන්නත් අවශ්‍යයි.කාලය සහ හැඟීම් කළමනාකරණය කරමින් සම්පූර්ණයෙන්ම රඟපෑමක නිරතවුණා. සමහර දවස්වල අපි දවස පුරාම ප්‍රවීණ ශිල්පීන් හඬකවන දෙස බලාගෙන ඉන්නවා. එසේ සති කිහිපයක් ඉන්නවිට ඈතින් යන වෙළෙන්ඳෙක් “කඩල, කඩල” යනුවෙන් කෑගසන ඩයලොග් එකක් පමණක් මට කියවන්න ලැබුණා.
හඬකැවීමේදී විශාල අභියෝග රැසක් ජයගැනීමට තිබෙනවා නේද….?
ඔව්, එහිදී අභියෝග රැසක්ම ජයගන්න තිබෙනවා. එකක් අදාළ චරිතය අපි මුලින්ම හඳුනගෙන තිබිය යුතුයි. ඒවගේම චරිතයට ආවේණික හඬ පෞරුෂයක් අප විසින් නිර්මාණය කරගන්න ඕනේ. එහිදී අපිට විකට චරිතයක්, කාටුන් චිත්‍රපටයක නරියකුගේ චරිතය, පෙම්වතාගේ චරිතය, තවත්විටෙක පෙම්වතාගේ සීයාගේ චරිතය, තවත් විටක දුෂ්ටයාගේ චරිතය ලැබෙන්න පුළුවන්. ඒ චරිතයට ආවේණික පෞරුෂයට ඇතුළත්වීම පහසු කටයුත්තක් නෙවෙයි..හඬකැවීම් ක්ෂේත්‍රයේදී උපකාරී වුණු ඔබේ දිවියට බද්ධ වූ සිදුවීම් තිබෙනවද…..?
මගේ ජීවිතයට බද්ධ වූ සිද්ධියක් ලෙස කියන්න පුළුවන් අපේ තාත්තා අපි කුඩා කාලයේ අපට බුද්ධ ගද්‍යය, සකස්කඩය, මහ පිරිත් පොත වගේ දේවල් හඬනඟා කියවන්න් උගන්වා තිබීම. බුද්ධ ගද්‍යය හා සකස්කඩය කියන්නේ සිංහල භාෂාව නිවැරදිව උච්චාරණය කිරීම සඳහා පවතින විශිෂ්ටතම ස්වර අභ්‍යාසයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එම බුද්ධ ගද්‍යය හා සකස්කඩය වගේම මහ පිරිත් පොතෙන් අඩකටත් වඩා මට කටපාඩමින් කියන්න පුළුවන්. අදටත් අපිට ඉතා හොඳීන් නිරවුල්ව සිංහල භාෂාව වරනගන්න පුළුවන් . ඒ උච්චාරණ ශක්තිය හඬකැවීම් අධ්‍යක්ෂවරුන්ටත් අපටත් ප්‍රියජනක අත්දැකීමක් වුණා.
හඬකැවීම් ශිල්පියකු වීමට බලාපොරොත්තු වන නවකයන්ට උච්චාරණය හා හඬ පාලනය සම්බන්ධ ස්වර අභ්‍යාස වැදගත් වන්නේ කෙසේද….? සහ ඉහත කී ග්‍රන්ථ පරිශීලනය වැදගත් වන්නේ කොහොමද ….?
නවකයන් විශාල පිරිසක් අපට හමුවෙනවා ..ඔවුන් ඉතා දක්ෂයි වගේම උනන්දුයි. හැබැයි කට්ට කාගෙන අල්ලගෙන ඉන්නේ කිහිපදෙනයි.ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වන අය ඉක්මනින් හැලිලා යනවා. බුද්ධ ගද්‍යය, සකස්කඩය, ගණදෙවි හෑල්ල, වෙස්සන්තර ජාතකය, මහ පිරිත් පොත ආදී මේ සෑම එකක්ම විශිෂ්ට ස්වර අභ්‍යාස. මෙවැනි දෑ ගැන අවධානය යොමුකරගෙන හොඳ උච්චාරණ ශක්තියක් ගොඩනඟාගන්න කැපවෙන්න. ක්ෂේත්‍රය ගැන කිසියම් අධ්‍යයනයක නිරතවෙන්න කියලා තමයි අලුත් පරම්පරාවට කියන්න තියෙන්නේ.වර්තමානයේ කසුන් ජයවර්ධන , දයාල් බණ්ඩාර , බුද්ධික වැලිවිට , හේෂාන් හඳුවලගේ වැනි අතිදක්ෂ හඬකැවීම් අධ්‍යක්ෂවරුන් සිටිනවා . ඔවුන් දක්ෂයන් සොයමින් සිටින්නේ.
ශ්‍රී ලාංකේය රූපවාහිනී මාධ්‍යය දැන් දිගු ගමනක් පැමිණ තිබෙනවා .ඔබලා අයත්වන්නේ කවර පරම්පරාවට ද…..?
අපි අයිතිවෙන්නේ සංක්‍රාන්ති පරම්පරාවට. අපි ඉපදෙනවිටම ගෙවල්වල ගුවන්විදුලිය තිබුණා. “මුවන්පැලැස්ස , රන්දෙණිගල මොහොට්ටාල, මේධා” වැනි ගුවන්විදුලි නාට්‍ය ශ්‍රවණය කළ අපි ඒතුළින් පරිකල්පනය අවදිකරගත්තා. අපි එහි අවසන් පරම්පරාව .අපට පෙර පරම්පරාව ගතහොත් ඔවුන් ඩිජිටල් අත්දැකීම් ස්පර්ශ කර නැහැ .ඔවුන් ඇනලොග් යුගයට අයත් පරම්පරාව .අපෙන් පසු පරම්පරාව මුළුමනින්ම ඩිජිටල් පරම්පරාව. අපි අයිතිවෙන්නේ ඩිජිටල් , ඇනලොග් පරම්පරා දෙකේ අතරමැදි සංක්‍රාන්ති පරම්පරාවට .
මේ දිනවල හඬකැවීමෙන් දායක වන නිර්මාණ කාර්යයන් සඳහන් කළොත් ……?
මේ දිනවල විකාශය වන “අනුපමා”‘හින්දි ටෙලිනාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයක් වන “වනරාජ් ෂා”ගේ චරිතයට හඬදෙනවා. එහි අනෙක් ප්‍රධාන චරිතය වන “අනුපමා”ගේ චරිතයට හඬකවන්නේ විශිෂ්ට ශිල්පිනියක් වන මෙලනි අශෝකා මහත්මිය. ඒවගේම “ශ්‍රී ගණදෙවි” වෘත්තාන්තයේ “සින්දූර්”චරිතයටත් , “සුළඟ වගේ ඇවිදින්” දීර්ඝ කතා මාලාවේ “රාජ් නාත් ගොයින්කා”ගේ චරිතයටත් “ස්මර්ප්” කතා මාලාවේ “ගාඝමෙල්” චරිතයටත් “ගේම් ඔෆ් ද ත්‍රෝත් ටිරියෝන්”ගේ චරිතයටත් “හොටෙල් ට්‍රාන්ස් ලැවීනියා” කතා මාලාවේ “වෘකයා”ගේ චරිතයටත් “ගෝස්ට් ඔෆ් කැන්ටවිලා” කතා මාලාවේ “හයිඩ්‍රම් ඕට්ස්” චරිතය ආදී ප්‍රධාන චරිත රැසකටම මෑතකාලීනවත් හඬකැවීමෙන් දායක වෙනවා.
නිවේදන සහ හඬකැවීම් ක්ෂේත්‍රවල ගුරුතත්හිලා සැලකිය හැකි පිරිස හා ඔවුන්ගේ ආභාසයන් ඔබේ කලා සහ මාධ්‍ය දිවියට බලපෑ ආකාරය පැහැදිලි කළොත් …..?
“මුවන් පැලැස්ස ” අහලා අපි කවදාවත් නොදැකපු “කදිරා” කෙනෙක් සිතින් මවාගත්තා. “කෝරළේ මහත්තයා”ගේ කටහඬ අසා අපි ඒ පෞරුෂයට අදාළ කෙනෙක් සිතින් මවාගත්තා. “පිනා”ගේ චරිතයත් එහෙමයි. මේ සෑම චරිතයක්ම අපේ පරිකල්පනය අවදි කළා. ගුවන්විදුලිය අහලා කවදාවත්ම නොදැකපු නිවේදකයන්ගේ හඬ පෞරුෂයට අපි ආකර්ෂණය වුණා.ඔවුන්ගේ ධාරිතාව ගැන ගෞරවයක් ඇතිවුණා . තිස්ස ජයවර්ධන , කරුණාරත්න අමරසිංහ , සීලරත්න සෙනරත් , රොස්මන්ඩ් සේනාරත්න , රම්‍යා වනිගසේකර , චිත්‍රා කුමාරි කළුබෝවිල වගේ අයව අපි අනුකරණය කළා කිව්වොත් හරි.ඔවුන් විදිහට කතා කරන්න උත්සහ කළා.තිලක් කුමාර රත්නායක මාව ප්‍රසංග වේදිකාවට කැන්දගෙන ගියා. අපි ඔවුන්ව ගුරුකොට ගනිමින් අපේ අනන්‍යතාවක් ගොඩනගා ගත්තා.
එදා සහ අද සමාජ පරිවර්තනයන් සමඟ කලා නිර්මාණයන්ගේ පැවැත්ම පිළිබඳව ඔබෙ අර්ථවිග්‍රහය කෙසේද……?
අද තිබෙන්නේ වෙළෙඳපොළ විසින් කලාකරුවාව මිලදී ගත් සමාජයක්. මොන පැත්තකින් හරි විකිණෙන්නේ නැති කලාකරුවකුට පවතින්න බැහැ . එය ඉතාම කනගාටුදායක තත්ත්වයක්. එදා එළිදැක්වුණු නිර්මාණ තවමත් අපේ මතකයේ තිබෙනවා ..එදා ගැයූ ගීත පරපුරෙන් පරපුරට තවම ප්‍රතිරාව නැඟනවා. ඒත් වර්තමානයේ කෙරෙන නිර්මාණ දින කිහිපයකින් පසුව මතකයෙන් ඈත්වෙනවා. වර්තමානයේ එක රැයකින් හිට් වෙන නිර්මාණ ක්ෂණභංගත්වයට හෙවත් ක්ෂණයකින් බිඳවැටෙන තත්ත්වයට ගොදුරුවෙනවා.ඒ නිසා පැවැත්මක් නැහැ . සෑම ක්ෂේත්‍රයකට ඇතිවී තිබෙන පිරිහීම මාධ්‍ය ක්ෂේත්‍රයේ වඩාත් තීව්‍ර වී තිබෙනවා
මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන්ට දියහැකි උපදෙසක් වේ නම්…..?
වත්මන් පරපුරේ අති දක්ෂ පිරිසක් මේ වනවිට ක්ෂේත්‍රයේ සිටිනවා. ඔවුන්ට කියන්න තියෙන්නේ ජනප්‍රියත්වයට පමණක් නොවේ ජනතා ගෞරවයට පාත්‍රවීමත් කලාකරුවකුට උපයාගත හැකි වටිනාම දෙයක් කියලයි.හෘදසාක්ෂියට එකඟව තමන්ටත් රසවිඳීන්න පුළුවන් නිර්මාණවලට දායකවෙන්න. ඒ තුළ ගෞරවය සහ පැවැත්ම තහවුරු කරගත හැකියි.
ලේඛන කලාවේ ඔබේ දක්ෂතාවන් කවරාකාරද……?
ලේඛනය මට කරන්න සිද්ධවුණේ වෘත්තියමය වශයෙන්. ඇතැම් දවස්වල දවසකට ප්‍රවෘත්ති නිවේදන කිහිපයක් සහ තීරු ලිපි කිහිපයක් නිකුත් කරන්න සිදුවුණා. භාෂා තුනෙන්ම වගකීම දරන්න සිද්ධ වුණා..පාර්ලිමේන්තුවේදී නම් දේශීය වගේම අන්තර්ජාතික මාධ්‍ය වෙතත් එම නිවේදන නිකුත් කළ යුතු වුණා. එය විශාල අභියෝගයක්. නමුත් මේ නිසා නිදහසේ ඉඳගෙන ගීපදවැලක්, නවකතාවක් වගේ ලියන්න තිබුණු ආසාවන් යටපත් කරගන්න සිදුවුණා. විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ අධ්‍යාපනය ලැබීමට මා තුළ වූ උනන්දුවත් එයට හේතුවුණා.
ඔබේ අධ්‍යයන චාරිකාව් පිළිබඳව සඳහන් කළොත් …..?
මම මුලින්ම ගියේ නවගමුව බාලිකා ප්‍රාථමික විද්‍යාලයටයි. බාලිකා කිව්වට එය මිශ්‍ර පාසලක්..අදටත් එය දුප්පත් පුංචි පාසලක්.. ඊටපස්සේ නවගමුව සිරි සුමනතිස්ස කනිෂ්ඨ විද්‍යාලයටත් ඉන්පසුව බෝමිරිය ජාතික පාසලටත් ගියා. මා මුල් උපාධිය සම්පූර්ණ කළේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්. ඉන්පසු දේශපාලන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලබාගත්තා.. ඔය අතරම මම ලන්ඩන් එල්.එල්.බී. විභාගයත් සමත්වුණා. මාධ්‍ය හා මනෝවිද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාවන් රාශියක් සාර්ථකව නිමකිරීමට හැකිවුණා. කොච්චර රාජකාරි වැඩ තිබුණත් සෑම වේලාවකදීම මොනම හරි අධ්‍යයන කටයුත්තක නිරතවීම විනෝදාංශයක් කරගන්න මම උත්සහ කළා.
කලා නිර්මාණ රසවින්දනය (90 දශකයේ බිහිවූ විශිෂ්ට කලා නිර්මාණ වැනි) පිළිබඳ ඔබේ දැක්ම පැහැදිලි කළොත් ……?
අපි නැරඹුවේ “දඬුබස්නාමානය, කඩුල්ල, ගිරය, ඉරට හඬන මල්, කඩවර, චරිත තුනක්” වැනි නිර්මාණ. එම නිර්මාණවලින් මිනිසුන්ගේ අධ්‍යාත්මය පෝෂණය කළා.එහෙත් මෙගා නිර්මාණ ප්‍රමාණයෙන් වැඩිවෙද්දී ගුණය පිරිහී ගියා. සමාජ මාධ්‍ය තවදුරටත් එය තීව්‍ර කළා.ඒක සමාජ ඛේදවාචකයක්. මේ සංස්කෘතික කම්පනය අපිට හොඳීන් දැනෙනවා. ප්‍රතිපත්ති සම්පාදකයන්ට හා පාලකයන්ට මේක දැනෙන තෙක් මෙම නාය යාම වළක්වන්න බැහැ.
ඔබේ පවුලේ විස්තර සඳහන් කළොත් …..?
මම ඉපදුණේ ගොඩක් පොහොසත් පවුලක. ඔබට සිතෙයි එකපාරටම අපි ගොඩක් සල්ලි තිබුණු පවුලක් කියලා. ඇත්තටම සල්ලිවලින් නම් අපි ගොඩක් දුප්පත්. අපේ පවුලේ තිබුණු ලොකුම පොහොසත්කම තමයි අම්මාගෙයි තාත්තාගෙයි සමගිය. ඔවුන් එකිනෙකාට ගරු කළා. කිසිම දවසක ගෙදරින් පිටට ඇහෙන්න එකිනෙකාට උස් හඬින් කතා කළේ නැහැ. ආර්ථික අපහසුකම් ඇතිවෙද්දි කිසිවිටෙකත් එකිනෙකාට චෝදනා කළේ නැහැ. අපේ පවුලේ ධුරාවලියක් තිබුණා.
ඊළඟට ඔබ නිර්මාණය කළ පවුල….?
මගේ බිරිඳ සුරංගි සේරසිංහ. මම කලින් කිව්වා අපි හමුවුණේ ස්වාධීන රූපවාහිනියෙන් කියලා. පසුකලෙක ඇය ස්වාධීන රූපවාහිනියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක් ලෙසත් සේවය කළා. දැන් ඇය කොළඹ ආනන්ද විද්‍යාලයේ විශිෂ්ට ගෝල පරම්පරාවක් බිහිකළ ගුරු මවක්. ඇය මාධ්‍ය දිවිය කැපකළේ මා හා දරුවන් වෙනුවෙන්. අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකුපුතා චාග ගමගේ. ඔහු උසස්පෙළ හදාරනවා. අනෙක් පුතා ස්නේහ ගමගේ. ඔහු 10 වසරේ ඉගෙනුම ලබනවා. දෙන්නම කොළඹ ආනන්ද විද්‍යාලයේ.
ඔවුන් කලා ක්ෂේත්‍රයට නැඹුරුවක් නැද්ද…..?
මම දන්නවා දරුවන් දෙන්නාටම හොඳ හැකියාවක් තිබෙනවා කියලා. මාත් එක්ක ඇවිත් යම් යම් ප්‍රමාණවලින් හඬකැවීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලාත් තියෙනවා. එහෙත් මම සිතන්නේ ඔවුන් ස්වාභාවිකව පීදෙන්න අවශ්‍යයි කියලා. ඔවුන්ට හැකියාවක් තිබෙනවා නම් කාලානුරූපීව ඒ ඒ අංශවලට යොමුවේවි..ඔවුන් ස්වාභාවිකව පැළවෙන්න ඕන. මම දැඩිව විශ්වාස කරන දෙයක් තමයි බහුවිධි බුද්ධි න්‍යාය සංකල්පය (Multiple
Intelligence) මහාචාර්ය හොවාර්ඩ් ගාඩිනර් තමයි එය ඉදිරිපත් කළේ..ඔහුට අනුව ලොව බුද්ධි වර්ග 08ක් තිබෙනවා. අපි කවුරුත් මේ බුද්ධි වර්ග 08න්ම සන්නද්ධ සර්වඥලා නෙවෙයි. අපේ කොයි දරුවාටත් තියෙන්නේ මේ 08න් 02ක් හෝ 03ක් පමණයි. මගේ දරුවා ඉපදිලා තියෙන්නේ ගණිතමය බුද්ධියෙන් නම් අල්ලපු ගෙදර දරුවා ඉපදිලා තියෙන්නේ සංගීතමය බුද්ධියෙන් නම් ඒ දරුවා සුපර් ස්ටාර් කෙනෙක් වුණා කියලා මගේ දරුවා අරගෙන උදේ ඉඳන් රෑ වෙනකල් සංගීත ගුරුවරුන් පස්සෙන් ගියාට මගේ දරුවා සංගීතඥයෙක් වෙන්නේ නැහැ. ඒවගේම අල්ලපු ගෙදර දරුවා ගණිතමය බුද්ධියෙන් ඉපදිලා ඉංජිනේරුවෙක් වුණත් මගේ දරුවා ඉපදිලා තියෙන්නේ සංගීතමය බුද්ධියෙන්නම් ඔහුට පීඩාදිදී ඉංජිනේරුවෙක් බිහිකරන්න අසීරුයි. එය අසාර්ථක වෑයමක්.මොකද එහෙම වුණොත් සොබාදහම මට දායාද කරලා තිබෙන සංගීතඥයා අහිමි වෙන්න පුළුවන්.
මනෝජ් රුක්මල් කුමාරසිංහ