මේ සිරිලක අගනුවර විය යුතුය. උස් ගොඩනැගිලි පෙළක් රසික ඇසට හසුවෙයි. මේවා අවිධිමත්ය. විදුලි රැහැන් ඇද ඇත්තේද පිළිවෙළකට නොවේ. පසුබිමෙන් ඇසෙන්නේ යතුරු පැදියක රළු හඬය. උස් ගොඩනැගිලි පසුකරමින් යතුරු පැදිය ගමන් කරයි.
මාලක දේවප්‍රිය සිය පළමු සිනමාපටය වන ‘බහුචිතවාදියා’ මෙසේ අරඹන්නේ රසිකයා තමා වෙතම රඳවා තබා ගැනීමේ අරමුණට වැඩි වැදගත්කමක් ලබා දෙන අතරය. දුරදිග යන හා සංකීර්ණ ලකුණු සහිත පුවතක් ගෙන හැර පෑම සිය කාර්යය නොවන වග ඔහු පවසන්නේ මුල් රූ සරණියේ පටන්මයි.
නාගරික රූප, යතුරු පැදි හඬ හා යතුරු පැදියේ වේගය ඔස්සේ නාගරික තුරුණු බව පිළිබඳ හැඟීමක් ජනනයට මාලක දරන තැත පැසසුම් කටයුතුය. එහෙත් යතුරු පැදිකරු සම්මුඛ වීමේ වැඩි ඉඩක් රසිකයා වෙත නොපමාව ලබා දීමට ඔහු අදි මදි කරයි. යතුරු පැදිකරු – සසිත එක එල්ලේ රසිකයා දෙස නොබලන්නෙකි. මෙහෙයින් ඔහු හා යම් පමණකින් හෝ අනන්‍ය වීමකට ඇති ඉඩ කඩ අහුරා දැමෙන්නේ ආයාසයකින් තොරවය. සසිත යනු රසිකයාට මුහුණ දිය නොහැකි, ඊට මනාප නොවන තරුණයකුය යන අදහස නොපමාව ඉස්මතුවේ. සසිතගේ ඇතුළාන්තයත්, එහි එන සමාජ හා දේශපාලනික කියැවීමත් සිනමානුරූපීව හසුකර ගන්නට නම් මෙබඳු විලාසයක් සහතික කර ගත යුතු බව සිනමාකරු මාලක අදහන්නේ සහේතුක දැක්මකිනි. කෙසේ නමුදු මෙය සාපේක්ෂ ලකුණු සමඟ අනවරතයෙන්ම ගනුදෙනු කරන බව නොසැඟවිය යුතුය.
සිනමාපටයේ සමස්තය සසිත සමඟම බැඳී පවතින අයුරින් දත හැකිවේ. ඔහු පෙනී නොසිටින රූප රාමු පවා ඔහුගේ සහභාගීත්වය අවධාරණය කරන අන්දම පැහැදිලිය. මෙහෙයින් ‘බහුචිතවාදියා’ යනු සසිතම වන්නේය යන්න සනිටුහන් වන්නේ සැලකිය යුතු බාධාවකින් තොරවයි . නමුත් සසිත යනු හුදු පුද්ගල චරිතයක්ම නොවන වග අමතක නොකිරීම අත්‍යන්තයෙන්ම වැදගත්ය.
කිසියම් අඳුරු පැහැයකින් සියලු දසුන් ප්‍රක්ෂේපණයට සිනමාකරු මාලක දක්වන උනන්දුව තරමක් හෝ බැහැරට යන්නේ ඇතැම් එළිමහන් දසුන් කිහිපයක් වෙතින් පමණි. මඳ අඳුර සසිතගේ දුර්වර්ණ ඇතුළාන්තය පිළිබඳ සානුකම්පිත හැඟීමක් උපද්දවයි. ඔහු ඇසුරට පත් කතුන්ද මේ අඳුරේම කොටස් බඳුය. නොඑසේනම් ඔවුහු මඳ අඳුරම පිළිබිඹු කරති.
සසිතගේ පැවැත්මේ මූලිකාංග සලකුණු කිරීමේදී සැබෑ ලොව සමඟම හැසිරීමට සිනමාකරු මාලක දරන ප්‍රයත්නය නිසැකවම සිනමාපටයේ රිද්මය සියුම්ව තහවුරු කරන්නකි.නිරූපිත සියල්ල අරභයා ප්‍රමාණවත් විශ්වසනීයත්වයක් සහතික කෙරේ. සසිතගේ රැකියාව, ස්ත්‍රී ඇසුර, පවුල් සබඳතා හා මිත්‍ර සබඳතා දිග හැරෙන්නේ අතිශයෝක්තියකින් තොර විලාසයකිනි. කිසිදු ජවනිකාවක් දිගු වේලාවක් තිරය මත පවත්වා ගැනීමට සිනමාකරු මාලක උත්සුක නොවෙයි. ඒ ඒ ජවනිකා අතර සේම ඒ ඒ ජවනිකා විෂයෙහි පවත්වා ගන්නා නිහඬතා සිනමාපටයේ ගැඹුර දැකීමේ අවස්ථා උද්දීපනයට හේතු වන වග පෙනේ. ඒ ඒ චරිත එකිනෙකා දෙස බලා සිටින නිහඬතාවේ ගිලුණු අවස්ථා වහා පැමිණෙන්නේ එකිනෙකා දෙස බලා නොසිටින අවස්ථා කරාය. මෙහිදීද නිහඬතාව රජයන වග දැනේ. අනුචිත දුරවබෝධ බවක් පැන නොනඟිනු පිණිසද සිනමාකරු මාලක මැදිහත් වන අන්දම දක්නට පුළුවන.
තිරරචනයද සිනමාකරු මාලකගේම වීමේ වාසිය අත් පත් කර ගැනීමට ‘බහුචිතවාදියා’ සමත්ව ඇති සැටියකි. තිරරචනයෙන් ඔබ්බට සිනමාපටය වඩවාලීමේ ලකුණු දත නොහැකි තරම්ය. යම් රාමුවක් තුළ සිනමාපටයේ චර්යා දිස්වන්නේ මෙහෙයිනි. සිනමාකරු මාලක විසින් තිරරචක මාලක මත ආධිපත්‍යයක් පතුරුවා හැර ඇත්තේ එහි ප්‍රතිපක්ෂය පිළිබඳ අදහස්ද සහිතවයි. මේ අනුව ඇවැසිම වාචික ප්‍රකාශ පමණක් සියලු චරිත වෙත සැපයෙන අන්දම දත හැකිය. වාචික ප්‍රකාශ සියල්ලම පාහේ පෙර කී නිහඬතාව අබිබවා නොයන සුලුය. එසේම කෙමෙන් දිග හැරෙන පුවතක්ම සනිටුහන් කිරීමට සිනමාකරු මාලක දක්වන අකැමැත්ත සහතික කරලීමට ඉන් ලැබෙන අවකාශය යටපත් කළ යුතුද නොවේ.
තමා වෙසෙන පරිසරයෙන් , මිනිස් සබඳතා වෙතින් සේම තමා වෙතින්ද වියෝ වන පිටස්තරයකු සේ සසිතව හඳුන්වා දීමේ සිනමාකරු මාලකගේ අභිප්‍රාය කුළු ගැන්වෙන්නේ මන්දගාමීවය. සැබැවින්ම සිනමාපටයේ අවසන් අදියර කරා පැමිණෙන තෙක්ම මෙය මැනවින් දකින්නට ඇතැම් රසිකයකු අසමත් වන්නට වුව ඉඩ තිබේ. මෙසේ වනුයේ නා නා නොඑකඟතා හමුවේ සසිත දක්වන ප්‍රතිචාර නිසාවෙනි. සසිත සේවය කරන්නේ වැඩි වැටුපක් නොලැබෙන ආයතනකය. එහෙත් ඒ ගැන ඔහු පමණට වඩා උරණ නොවෙයි. ඔහුගේ එක් අරමුණක් වනුයේ යුරෝපය බලා පියාසර කිරීමය. එයද අස්ථිර තතුම පෙන්නුම් කරයි.යම් වත්කමක් සහිත තැනැත්තියක හා එක වහලක් යටට පැමිණීමටද ඔහු අකමැතිය. මැද පෙරදිග රැකියාවකට යාමේ සියලු අවස්ථා ඔහු වෙත උදාවේ. ඊටද ඔහුගේ වැඩි කැමැත්තක් නොමැති හැඩය. යහන් ගත වන කිසිදු තැනැත්තියක සමඟ භාවමය බැඳීමකට ඔහුගේ සූදානමක් නැත. අතහැර ගිය ඇතැම් එකියක සොයා ඔහු පැමිණෙන්නේ හුදු කායික පහසක් අපේක්ෂාවෙන්ම නොවේ.
සසිතගේ මේ දිවි සැරිය පසුබිමේ පවතින සැබෑ හේතු හසු කර ගැනීමේදී සිනමාකරු මාලක පිහිටන්නේ විවෘත පිළිවෙතකය. මෙබඳු අවස්ථා බොහොමයකදීම උද්ගත වන සුපුරුදු දේශපාලනික කියැවීම් සමඟ එකඟතා සවිමත් කර ගැනීමේ හැඟීම්බර වුවමනා ඔහු තුළ නොවූ බවයි දැකිය හැක්කේ. ඔහු සසිතලා වෙසෙන සමාජයේ අසමමිතික හැඩ ගැසීම් ප්‍රශ්න කරන ආවේගශීලී තැනකට ගමන් නොකරයි. සසිත බඳු අයවලුන් බිහි වීමේ සාධක හා කොන්දේසි පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඉවහල් වන චලන රූප පෙළක් සිනමා තිරය මතට මුදාහැරීම ඔහුගේ කාර්යය වේ. කිසිවක් අවධාරණයට ඔහු වෑයම් නොකරයි. එක් නිදසුනක් සේ දත හැක්කේ සසිතගේ ප්‍රධානියා පැරණි වාමාංශික මතධාරියකුය යන්න සඳහන් කිරීමය. ඒ වග කියැවෙන පින්තුරයක් ඔහුගේ කාර්යාලයේ එල්ලා තිබේ. තැබීමය. සිය මිතුරා නිසා වැඩිමහලු සොයුරිය ගැබ් ගත් වග ඇසීමෙන් අනතුරුව සසිත හැසිරෙන අන්දම වෙතින්ද දැකිය හැක්කේ මෙයමයි.
සසිත පිටස්තරයකුය යන්න පැවසීම සඳහා සිනමාකරු මාලක විසින් ඔහුගේ ස්ත්‍රී සබඳතා වෙත ලබා දෙන්නේ ප්‍රමුඛතාවකි. සිනමාපටයේ නවමු බව කෙරෙහි මෙය නිරනුමානවම බලපාන අයුරු පෙනේ. ඔහු හැම තරාතිරමකම කතුන් ඇසුරු කරයි. මේ අතර කුඩා රැකියාවක නිරත යුවතියක සිටී. විදෙස්ගත රැකියා කරන යුවතියන් දෙදෙනෙකුද සිටිති. සැමියා යුරෝපාගත වීම නිසා හුදෙකලාව දවසරින කතක හා ධනහිමි වියපත් කතකද සිටිති. සසිත මොවුන් සමඟ සමඟ ඇසුරු කරන්නේ අනුක්‍රමයෙන් නොවේ. එකම කාල වකවානුවකය. මේ කතුන්ද එක්තරා අන්දමකින් පිටස්තරවාදී ලකුණු ගම්‍ය කරන වග පෙනේ.
බොහෝ අනුශාංගික අංග වෙතින් සිනමාකරු මාලක වෙත ලැබුණු සහය සැලකිය යුතු තරම්ය. කැමරාකරු චින්තක සෝමකීර්ති තිරරචනයෙන් මඟ පෙන්වූ අන්දමේ රූපරාමු නිර්මාණය කරයි. කලා අධ්‍යක්ෂවරයා වෙසෙසින්ම අභ්‍යන්තර දසුන් විශ්වසනීයත්වයකින් යුතුව සනිටුහන් කරලීමට උනන්දු වෙයි. නාගරික හඬ , නිහඬතාව සහ ඒ අතර එන පරතරය කෙරෙහි සසික රුවන් මාරසිංහ ශබ්ද පරිපාලනයේදී දක්වන අවධානය සැලකිය යුතු තරම්ය. තිරරචනය හා නිමැවුම සමඟ සමීපව කටයුතු කරලීමක් සංස්කරණ කාර්යයේදී විද්‍යමාන වේ.
කිසිදු නළුවකුට හෝ නිළියකට සිය තිරරචනය ඉක්මවීමේ අවස්ථාවක් ලබා නොදීමේ මාලකගේ පිළිවෙත සිනමාපටයේ ඒකමිතිය තහවුරු කරලිමකි. සිනමා රූපණයේ අත්දැකීම් නොමැති වුවද සසිතගේ චරිතය වෙත කලණ ගුණසේකර ලබා දෙන වටිනාකම ප්‍රමාණවත්ය. මෙතැනට වීණා ජයකොඩි, දමිතා අබේරත්න හා නිල්මිණි බුවනෙක කැඳවීමද උචිතය. සිය හඬින් අන් රූපයක් මවන්නටද සමත් ලක්ෂ්මන් මෙන්ඩිස් හසුරුවාලීමේදී සිනමාකරු මාලක පළ කරන සමත්කමද අගනේය.
මෙසමයේ අගනුවර හා තදාසන්න පෙදෙස්හි හැසිරෙන වරප්‍රදාස හීන හා රහිත දිළිඳු තුරුණු පෙළ, බහුචිතවාදීන් සේම පිටස්තරයන්ද වන බව ඉඟිකරමින් ‘බහුචිතවාදියා’ නිම කරලීමේදී සුලබ ලකුණක් ඉස්මතු වන්නේ ඇඟට පතට නොදැනීය. එනම් සිය මැද පෙරදිග පෙම්වතියන් හා ඔවුනගේ යෝජනාද, යුරෝ සිහිනයද, රැකියාව හා යතුරු පැදියද පවුල් සබඳතාද අත්හැරුණු පසුව අන්තර්ජාලයට පිවිසෙන සසිත නව පෙම්වතියක සොයා ගැනීමට දරන තැත නිරූපණයෙනි. එකම දේ යළිත් සිදුවන්නට ඉඩ තිබෙන්නේය යන මෙබඳු නිමා කිරීම් සිනමාවට නුපුරුදු නොවේ. මේ අනුව පෙනී යන්නේ මාලක විසින් ජය ගනු ලැබිය යුතු තවත් යමක් ඉතිරිව ඇති බවය. ඉදිරි සිනමා නිර්මාණයකදී මෙබඳු තවත් දෑ ජය ගැනීම ඔහු අබියස ඇති අලුත්ම අභියෝගයයි. මෙයින් අදහස් කෙරෙන්නේ මාලක නවක සිනමාකරුවකුසේ හමුවන වග නම් නොවේ. ‘බහුචිතවාදියා ’ යනු නාගරික තුරුණු දිවියේ සෝ බර බව, හා එහි අනිටු ඵල පිළිබඳ කෙමෙන් වැඩෙන අවබෝධයකින් යුතු වූවකුගේ නිර්මාණයක්ම යන්න නොසැඟවෙන බවයි.
තුසිත ජයසුන්දර