Home » පොලිස් චරිත කළා ඇති දැන් වෙනසක් ඕනෑ

පොලිස් චරිත කළා ඇති දැන් වෙනසක් ඕනෑ

රංගන ශිල්පී සම්පත් රන්දෙණිය

by Thanushika
June 12, 2025 1:18 pm 0 comment

කුඩා කල සිට කලාවට සිත යොමු වෙනවා නම් ඒ පෙර පිනකටය. කලාකරුවෙකු වීමටද වාසනාගුණය තිබිය යුතුය. එවැනි වාසනාවක් ලද ඔහු රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් මෙන්ම ගායකයෙකි. වෘත්තීය මට්ටමින් ඔහු පෞද්ගලික ආයතනයක විධායක නිලධාරිවරයෙකි. ඔහු සම්පත් රන්දෙණියයි. ඔහු ටෙලි තිරයේ අප දකින්නේ පොලිස් නිලධාරිවරයකු ලෙසයි. ඔහු සතු පෙනුම නිසා එවැනි චරිත නිතර ලැබුණත් ඔහු සැබෑ ජීවිතයේදී සුන්දර තැනැත්තෙකි. මෙවර සරසවිය සමඟ ඔහු කතාබහට එක්විය.

ඔබ කලාවට සම්බන්ධ වුණේ කෙසේද?

මම කලාවට උනන්දු වුණේ පාසැල් ගිය කාලේ සිටයි. පාසැල් වේදිකාවේ රඟපෑවා. ඒ විදිහට තමයි මම කලාවට අවතීර්ණ වුණේ.

මුලින්ම ඔබ කැමරාවක් ඉදිරියේ කළ රංගනය මතකයේ තියෙනවාද?

ඔව්, ඒ අවස්ථාව මට හොඳට මතකයි. මුලින්ම මම කැමරාවක් ඉදිරියේ රඟපෑවේ මියුසික් වීඩියෝවක. එහි කැමරා ශිල්පියා ලෙස කටයුතු කළේ අනුරාධ දේවප්‍රිය. එයින් පසුව දැඩි ආශාවක් ඇතිවුණා රංගනයට.

ඔබ ටෙලිනාට්‍ය රංගනයට පිවිසුණේ ඉන්පසුවද?

ඔව්, ඒත් මුලින්ම මට ලැබුණේ සුළු චරිත. දෙබසක් කියන්නවත් තිබුණෙ නැහැ. මගේ රංගනයේ වෙනසක් ඇතිවුණේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් සර්ව හමුවීමත් සමඟ. මුලින්ම දෙබස් සහිත චරිතයක් ලැබුණේ සර් නිසා. ඉන්පසු මට ටෙලිනාට්‍ය විස්සක පමණ රඟපාන්න අවස්ථාව ලැබුණා.

රංගන ශිල්පියෙක් විදිහට ප්‍රේක්ෂකයන් මාව හඳුනා ගත්තේ ලලයි ලිලයි ලයි ටෙලිනාට්‍යයේ කළ රංගනය නිසා. ඒවගේම මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන ‘ හේමලයෝ’ , ඊට පෙර රඟපෑ සුපුන් රත්නායකගේ තුන්පනේ , Once a upon time  වැනි ටෙලිනාට්‍ය වලට මම දායක වුණා. ඒ වගේම පොහෝ දින ඒකාංගික නාට්‍ය රැසකට සම්බන්ධ වුණා.

සිනමාව සම්බන්ධයෙන් ඔබේ දායකත්වය කෙසේද?

සිනමාවට නම් තවමත් එතරම් දායකත්වයක් දී නැහැ . මුලින්ම සිනමාවේ චරිතයක් රඟපෑවේ මන්දාරම් කතාව චිත්‍රපටයේ. ඉන්පසු සිංහබාහු, කාලි මහේෂ් මුණසිංහගේ රිවස්ටන් චිත්‍රපටයේත් රඟපෑව.

ටෙලිනාට්‍යවලදී සහ සිනමාවේදී ප්‍රවීණයන්ගෙන් ඔබට ලැබෙන සහය ගැන විස්තර කළොත් ?

රංගනයේදී ප්‍රවීණයන්ගෙන් නවකයන්ට සහය ලැබිය යුතුයි. මම ප්‍රවීණයන් සමඟ වැඩ කරනවා. ඔවුන් සමඟ වැඩ කරද්දී ඔවුන්ගේ අත්දැකීම්, රංගනය පිළිබඳ ඔවුන්ගේ අදහස් හුවමාරු කරගන්න ලැබීම වටිනවා. අපේ රටේ හිටපු ප්‍රවීණ රංගන ශිල්පියෙක් වූ ජැක්සන් ඇන්තනී මහතා සමඟත් මට වැඩ කරන්න ලැබුණා. එහෙත් මේ කාරණාවත් කිවයුතුයි. ඇතැම් ජ්‍යේෂඨයන් ගෙන් එවැනි සහයක් නවකයන්ට ලැබෙන්නේ නැහැ. ජ්‍යේෂ්ඨයන්, නවකයන් දෙපිරිසම එකිනෙකාට සහය දෙමින් කටයුතු කිරීම වැදගත් කියලයි මම සිතන්නේ.

දෙරණ නාලිකාවේ විකාශය වූ ශක්ති නාට්‍ය මාලාවේදී තිළිණ බොරලැස්ස සහ ප්‍රදීප් මානවඩු දෙපළගෙන් මට ලොකු සහයක් ලැබුණා. මම එහිදී රංගනය පිළිබද දැනුම සහ අත්දැකීම් රාශියක් ලබා ගත්තා. එකතරා රූගත කිරීමකදී මම ජ්‍යේෂඨ ශිල්පියෙක්ට කිව්වා මම කරපු කොටස ගැන මම සෑහීමකට පත් වුණේ නැහැ කියලා. ඔහු කිව්වා එහෙම හිතන එක තමාගේ දියුණුව කියල. ඇතැම් නවක ශිල්පීන් හිතාගෙන ඉන්නේ තමාගේ රංගනයෙ අඩුපාඩු නැහැ කියලා. ඔවුන් ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගන්න අකැමැතියි.

මා එසේ සිතන්නේ නැහැ. හැම වෙලාවකම කාගෙන් හෝ උපදෙසක් ලැබෙනවාට කැමතියි. එවිට තමයි මගේ රංගනයේ අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යන්න පුළුවන්.

රඟපාන්න ආසාවෙන් සිටින චරිත මොනවාද?

මට වැඩිපුරම ලැබෙන්නේ පොලිස් නිලධාරියාගේ චරිතය. එසේ වන්නේ මගේ හැඩරුව නිසා වෙන්න පුළුවන්. පොලිස් නිලධාරියාගේ චරිතයත් පිටපතට අවශ්‍ය නම් එයත් සැලකිය යුතු චරිතයක් ලෙසයි මා දකින්නේ. ඉදිරියේදිඋ මට විවිධ වූ ශෛලීන්ගෙන් යුත් චරිත ලැබෙයි කියා මා විශ්වාස කරනවා.

ඔබට ප්‍රවීණ අධ්‍යක්ෂකවරුන් යටතේ රඟපාන්න ලැබී තිබෙනවාද?

ඔව්, මම නිතරම සිතන්නේ මම වාසනාවන්ත පුද්ගලයෙක් කියලයි. මහාචාර්ය සුනිල් ආරියරත්න, ජයන්ත චන්ද්‍රසිරි , ආචාර්ය සෝමරත්න දිසානායක, ජැක්සන් ඇන්තනී වැනි ප්‍රවීණයන් යටතේ මට රඟපාන්න ලැබී තිබෙනවා.

ඔබ වෙනත් වෘත්තියක නියැළෙන කෙනෙක්. කෙසේද රංගනයත්, වෘත්තියත් සමබරව පවත්වාගෙන යන්නේ?

මම රක්ෂණ ආයතනයක විධායක කළමණාකාරවරයෙක් ලෙස සේවය කරනවා. රඟපෑම වෙනුවෙන් මම අනවශ්‍ය විදිහට නිවාඩු ගන්නේ නැහැ . සති අන්තය ඒ සඳහා යොදාගන්නවා. රංගනය වගේම මම නිවේදකයෙක්, ගායකයෙක් ලෙසත් කටයුතු කරනවා. මේ සියලු දේ කරන අතරේ රැකියාවත් සමබරව කරගෙන යනවා.

ඔබ ඉහත සඳහන් කළා නිවේදකයෙක්, ගායකයෙක් ලෙස කටයුතු කරන බව. ඒ ගැන විස්තර කළොත්?

ඔව්, මම නිවේදකයෙක් සහ ගායකයෙක් විදිහට කටයුතු කරනවා. සිරස දඥඹඵ 1ඵබ සඳහා සහභාගී වෙලා තියෙනවා. මිනිසුන්ගේ අභිවෘද්ධිය උදෙසා ගම්බඳව පැවැත්වෙන සමාජ සත්කාරවලට පුරවැසි මාධ්‍යවේදියෙක් ලෙස ස්වේච්ඡාවෙන් සේවය කරනවා. ඒ වගේම ගායකයෙක් විදිහට විවිධ අවස්ථාවල ගීත ගායනා කරනවා. මගේම ගීතයකුත් නිර්මාණය කළා. මා හිතවත් ගීතදේව අයියා තමයි එය නිර්මාණය කරදුන්නේ. ඒත් අතරමඟදි එය නැවතුණා. ඉදිරියේදි එය සම්පූර්ණයෙන් නිමකර මගේම ගීතයක් ලෙස එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

රංගන ශිල්පියෙක් වීම පිළිබද ඔබගේ අදහස?

කුඩා කාලයේ සිට තිබූ ආසාව නිසා රංගන ශිල්පියෙක් වීම ගැන ආඩම්බරයක් තියෙනවා. එය සෑම කෙනෙක්ටම නොලැබෙන වටිනා අවස්ථාවක්. ඒනිසා රංගනය තව තවත් වැඩි දියුණු කරගනිමින් ඉදිරියට යාම තමයි බලාපොරොත්තුව. ඒ වගේම මාව කවුරුත් හඳුනාගන්නවාට මම කැමතියි. සිය දෙනෙක් ඉන්න තැනක සිය දෙනාම මාව දන්න චරිතයක් වෙනවාට කැමතියි.

ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන වැඩකටයුතු මොනවාද?

දිගටම රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.ටෙලි නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න ආසාවක් තියෙනවා. දැනටමත් මගේ හිතවතුන් කීපදෙනෙක් සමඟ එය සැලසුම් කරමින් ඉන්නවා.

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT