ජීවිතයේ යමකුට තම උපතින්ම ගෙන එන ශිල්පීය ඥානය ලැබෙන්නේ කිහිප දෙනෙකුට පමණි. දක්ෂ නිර්මාණ ශිල්පියෙකු වන්නේ ඔහුගේ දක්ෂතාවය හා හැකියාව ඔපමට්ටම් වීම තුළයි. ඒ ඔහු කුඩා කල සිටම න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නිරත වීමෙනි. ජීවිතය ඕනෑම කෙනෙකුට පෙර පුහුණුවීම අද අත්‍යවශ්‍යයක් කරුණක් බවට පත්වී හමාරය. මුල් ළමා විය අධ්‍යාපනය ලබන කල සිට ඔහු දක්ෂ නළුවකු, ගායකයකු හා නිවේදකයකුද වේ. උපතින්ම ගෙනා දක්ෂතාවය නිසා ඔහු පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යයෙක් බවට කුඩා කල සිටම පත්වන්නට ඔහුට හැකි විය.අද ඔහු මොරටුව වේල්ස් කුමාර විදුහලේ ශිෂ්‍යයෙකි.වේදිකාව,ටෙලි නාට්‍යය,සිනමාව,වෙළඳ දැන්වීම් කලාව කතාබහට ලක්වන චරිතයක් බවට ඔහු පත්ව ඇත.ඔහු නමින් මිතිෂ හෂ්මිකයි. මේ දිනවල මිතිෂ හෂ්මික ගැන වැඩිම කතාබහට ලක්වන්නේ ප්‍රේක්ෂකයන් අතර හිරු නාලිකාවේ විකාශනයවන අකුරට යන වෙලාවේ පොඩි මෑන් ලෙසයි.මේ ළමා නළු මිතිෂ හෂ්මික සරසවිය සමඟ කළ පිළිසඳරයි.
කලා ක්ෂේත්‍රයට එන ගමන කොතනින්ද පටන් ගන්නේ?
මම චූටි කාලේ ඉඳන්ම රඟපාන්න හා සිංදු කියන්න කැමතියි. චූටි කාලේ මම ප්‍රීස්කූල් යනවිට හැමදාම උදේට සහ හවසට සින්දු කියනවා පන්තියේ ඉඳන්. ඒ වගේම ඒකට හරි යන්න රඟපාලා ටීචර් ඉස්සරහා මම පෙන්නනවා. බම එකේ යන නාට්‍ය බලලා මම ගොඩක් ඒ චරිත විදිහට රඟපාන්න පුරුදු වුණා.ප්‍රිස්කූල් වලින් අයින් වුණාට පස්සේ මම ඉස්කෝලෙට ඇතුළු වුණාට පස්සේ නාට්‍ය ගොඩක රඟපාන්නට අවස්ථාව ලැබුණා. ඒ විදිහට තමයි මම රඟපාන්නට එන්නේ.
මිතිෂගේ ඉස්කෝලෙ මොකක්ද දැන් ස්කොලේ මොනවද කරන්නේ කලාව පැත්තෙන්?
මගේ පාසල මොරටුව වේල්ස් කුමාර විදුහලයි. මගේ පාසලෙන් කලාවේ ගොඩක් මාමලා ඉන්නවා. දැනට ඉන්න මගේ හොඳම යාළු මාමලා දෙන්නෙක් තමයි ජගත් චමිල, රජිත හිරාන් මාමා දෙන්නා. පාසලේ නාට්‍යවලට හා නිවේදන කටයුතුවලට මම සහභාගි වෙනවා. විවිධ උත්සව අවස්ථාවල හා පාසලේ ප්‍රසංගවලදී ගිත ගයනාත් කරනවා. ක්‍රීඩා වලටත් සහභාගී වෙනවා. ඒ අතර මම වැඩියෙන්ම ආසා කරන්නේ පිහිනන්නයි. මේ විදියට ඉස්කෝලෙ ඉගෙනගන්න වැඩ ටිකත් කරගෙන යනවා.
මේ දවස්වල ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා නේද ?
හිරු ටීවී මේ දවස් වල අකුරට යන වෙලාවේ ටෙලිනාට්‍යය විකාශය වෙනවා. ඒ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් මම කරන්නේ. ඒ චරිතය තමයි පොඩි මෑන්. පොඩි මෑන් නිසා කවුරුත් මට ආදරේ කරනවා. පාසලේ Principle සර් සහ ටීචර්ස්ලා සර්ලා වගේම යාළුවොත් පොඩි මෑන්ට කැමතියි. ඒ කට්ටිය ඔක්කොම මම හොඳට රඟපානවා කියලා මට කියනවා. එනිසා මේ දවස්වල මට හරිම සතුටක් තියෙන්නේ.
මේ වනවිට මොනවද රඟපාලා තියෙන්නේ?
සුරේෂ් කුමාරසිංහ මාමාගේ දිදුල සහ දෙරණ ටීවි එකේ පෝය නාට්‍ය ගොඩක රඟපාලා තියෙනවා. ආඳා දොළේ නිධානය, ප්‍රධාන චරිතය රඟපාන්නේ මමයි. තණ්හා ජායතී සෝකෝ, පාප මිත්‍තෝ, උට්ඨාන වීර්‍යය, තණ්හා ජායතී භයං, කසාවත, මසුරු දානපතියා පෝය නාට්‍ය ඇරුනාම ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය තුනක් හතරක නන්දෝරිස් බාප්පා, අපූරු සහෝදරයා, අපේ කාලේ සෝපාක. සහ සුදේශ් වසන්ත පීරිස් මාමාගේ සහ තවත් මාමලා කිමිපදෙනෙක්ගේ අලුත් සිනමාපට කිහිපයක රඟපාන්න කතා කරලා තියෙනවා.මීට අමතරව විවිධ බීම වර්ග, බැංකුවල, විවිධ කෑම වර්ග, වල ආයතන වල වෙළඳ දැන්වීම් වල මම රඟපාලා තිබෙනවා.
දැනට මිතිෂ රඟපාන්න ඉගෙන ගන්නවාද?
ඔව් මේ වෙන විට මම රඟපාන්න ඉගෙනගන්නවා. පාසලේ සහ රඟපාන්න යන තැන් වලදිද මාමලා නැන්දලා මට හොඳට රඟපාන්න කියා දෙනවා. මේ දවස්වල ගොඩක්ම හිරු ටීවි එකේ විකාශය වන පොඩි මෑන්ට රඟපාන චරිතයට මාමලා නැන්දලා මට ඒ චරිතය ගැන හොඳට කියා දෙනවා රඟපාන්න ඕන විදිහ ගැන. ඊට අමතරව මේ තාක් කල් රඟපාන කොට අධ්‍යක්ෂණය කරපු මාමලා මට හොඳට හැම චරිතයක් ගැනම ඉගැන්නුවා. මේ ගමන එන්න උදව් කරපු මට ඒ සියලු දෙනාටම ස්තුතියි කරනවා. තව ටිකක් ලොකු උණාම හොඳ රංගන පාඨමාලාවල් කීපයක් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.
අලුත් නිර්මාණවලට ආරාධනා ලැබෙනවාද?
ඔව් මේ වන විටත් සිනමාපට තුන හතරකට රඟපාන්න කතා කරලා තියෙනවා. ඒ වගේම මම රඟපාපු පෝය නාට්‍ය බලලා ටෙලි නාට්‍යවලටත් කතා කරනවා. මේ වන විටත් නිර්මාණ කිහිපයකම රූගත කිරීම් අවසන් කරලයි තියෙන්නේ. හැබැයි තාම විකාශය වුණේ නැහැ. බොහෝ විට මේ මාසේ අන්තිමට හරි ඊළඟ මාසයේ මුල හරි විකාශය වෙයි.
ටෙලි නාට්‍ය වේදිකාව සහ සිනමාව යන තුනෙන් මිතිෂ වැඩිපුරම කැමති?
මම තුනටම කැමතියි. මොකද තුනේම රඟපන ආකාර එකිනෙකට වෙනස්. මේ තුනේම රඟපානවා කියන එක ලේසි නෑ. ඒ නිසා ඉගෙනගන්න ඕනේ හොඳට රඟපාන්න මේ තුනේම. නළුවෙක් නම් ගායකයෙක් නම් ඕනෑම තැනක තමන්ගේ දක්ෂතාවය පෙන්නන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා මගේ අරමුණත් ඒකයි
වැඩපුරම රඟපාන්න කැමති මොන වගේ චරිතද?
එහෙම කියල විශේෂ චරිතයක් මට දැන් නැහැ.මම පාසල් යන ළමයෙක් නිසා මට දෙන ඕනෑම චරිතයක් මම කරන්න කැමතියි. ඒත් තෝරා ගන්න මාමලා හෝ නැන්දලා මගේ වයසට හරියන්න චරිත දෙන්නේ.ඒ දෙන චරිතය මම සතුටින් බාරගෙන රඟපානවා. ලොකු උණාම තමයි චරිත තෝරා බේරාගෙන රඟපාන්න වෙන්නේ. ඒත් නළුවෙක් වෙනවා නම් ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕනෑ.
පොඩි වැඩ්ඩෝ වැඩසටහනට ගිහිල්ලා මොකද වුණේ?
ගිහාන් ප්‍රනාන්දු අන්කල් අහන ප්‍රශ්නවලට උත්තර දීගන්න සමහරක් වෙලාවට බෑ. පස්සේ මම කියපු සින්දුවක් අහලා ගිහාන් අන්කල් ඇඬුවා. ඒ වැඩසටහන පොඩි අපිට නියමයි. මම නිවේදන කටයුතු කරන නිසා මට එතන බයක් නැති උණා. ඒත් සමහරක් කට්ටියට බය හිතුණා, ඒ වැඩේ කරගෙන යනවිට. කොහොම වුනත් හොඳට විනෝද වෙලා අපි වැඩසටහන නිමා කළා.
හොඳට සින්දු කියන්නන පුළුවන්ද?
ඔව්, මම මේ වන විට පාසලෙන් සහ බාහිරව සංගීතය ඉගෙනගන්නවා. ලබන මාසයේ තිළිණ කලා ආයතනයෙන් ප්‍රසංගයක් පැවැත්වෙනවා. ගෑනු ළමයි දෙන්නයි, පිරිමි ළමයි දෙන්නයි ඒ ප්‍රසංගය මේ මාසේ 7වැනිදා බත්තරමුල්ලේදී පවත්වන්නේ. මම එක් පිරිමි ළමයෙක් වෙනවා. එදාට මමත් ගීත ගායනා කරනවා.
වැඩිපුරම කැමති රඟපාන්නද නිවේදනය කටයුතුවලටද සින්ංදු කියන්නද?
මම මේ තුනටම එක හා සමානව කැමති.
කලා ක්ෂේත්‍රයේ දුර ගමනක් යනවනම් ඕනෑම දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕන. අපිට ලේසියෙන් ඒ ගමන එවිට යන්න පුළුවන් වෙනවා. මේ හැම දෙයක්‌ම හොඳට ඉගෙන ගැනීම තමයි මගේ එකම අරමුණ වෙන්නේ.
මිතිෂට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
මට තව අයියා කෙනෙක් ඉන්නවා. ඒ ඇරුනම අම්මයි තාත්තයි, ආච්චියි. අම්මගෙන් තමයි ගොඩක්ම සහයෝගය ලැබෙන්නේ මගේ වැඩ කටයුතුවලට. මේ හැම රඟපෑමකටම සහ සංගීත පංතිවලට වැඩසටහන්වලට අම්මා මාව එක්කන් යනවා. ඒ සියලු දෙනාගෙන්ම හොඳ සහයෝගයක් මගේ වැඩකටයුතු වලට ලැබෙනවා. මම රඟපාන ඒවා බලල මගේ අම්මා, තාත්තා ඇතුළු අයියා අච්චි හරියට සතුටු වෙනවා. ඒ වගේම පාසලේ ප්‍රින්සිපල් සර් ඇතුළු සියලූම ටීචර්ස්ලා සර්ලා මට උදව් කරනවා මගේ මේ ගමනට.
රඟපාන්න ගිහිල්ලා අමතක නොවන දේවල් තියෙනවද?
සමහරක් ටෙලිනාට්‍යය වලට ගිහිල්ල කියන්න කියපු ඩයලොග් අමතක වෙලා තියෙනවා.ඒ වෙලාවට ඩිරෙක්ට අන්කල් බනීයි කියලා බයත් හිතලා තියෙනවා. මේ වගේ දේවල් තමයි වෙලා තියෙන්නෙ.
මොන වගේ ඉදිරි බලාපොරොත්තුවක්ද මිතිෂට තියෙන්නේ?
ලැබෙන චරිත හොඳට කරගෙන හැමෝමත් එක්ක සතුටින් ඉන්න එක තමයි මගේ බලාපොරොත්තුව. හොඳට ඉගෙනගෙන හොඳ දක්ෂ නළුවෙක් සහ ගායකයෙක් වෙන්න තමයි මගේ එකම බලාපොරොත්තු වෙන්නේ.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න