කඩවසම් තරුණ වියේදී කා අතරත් ආකර්ෂණීය තරුණයෙකු විය හැකිනම් ඒ ඔහුට ලැබෙන විටිනාකමක් ලෙස සැලකිය හැකිය. එම ආකර්ෂණීය බවට තම හැකියාවන් මුසු වූ කල වටිනාකම දෙගුණ තෙගුණ වනු ඇත. එවන් කඩවසම් ආකර්ෂණීය තරුණයෙකු පසුගියදා සිනමා තිරයේ දැකගත හැකිවිය. ඔහු සතු කඩවසම් පෙනුම තවත් ත්‍රීව්‍ර වීමට ඔහුගේ සිනහවද ආභරණයක් බව කිවහැකිය. ඔහු සිනමාවට තවමත් නවකයෙකි. එහෙත් රංගනය පිළිබඳ මනා අධ්‍යනයකින්, පුහුණුවකින් පෝෂණය වුවහොත් සිනමාවේ ඔහුට යා හැකි දුර බොහෝය.
පසුගියදා සිනමාවට එක්වූ තවත් නැවුම් සිනමාපටයක් වූයේ විනෝෂා කිරිවන්දෙණියගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වූ Hello From The Other Side සිනමාපටයයි. නවක අධ්‍යක්ෂකවරියක් වූ විනෝෂා ගත් උත්සාහයට ශක්තියක් සැපයූවේද නවක රංගන ශිල්පීන් වීම විශේෂත්වයකි. දමිත් විජයතුංග , දිල්කි දිසානායක ප්‍රධාන චරිත මැවූ මෙම චිත්‍රපටයට තවත් ශක්තියක් සැපයූ කඩවසම් රංගන ශිල්පියා ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඔහු කණිෂ්ක රණබාහු ය.
කුඩාකල රංගනයට ඇලුම් නොකළ ඔහු මේ වන විට සිනමාවට පා තබා ඇත. සිනමාවට අවතීර්ණවීම පිළිබඳ සරසවිය සමඟ සුහද පිළිසඳරක යෙදීමට කණිෂ්ක රණබාහු එක්වූයේ ඉතාමත් උනන්දුවෙනි.
මම සිනමාවට තවමත් නවකයෙක්. Hello From The Other Side චිත්‍රපටයට පෙර මම චිත්‍රපට දෙකක චරිත රඟපාලා තිබෙනවා. එහෙත් ප්‍රධාන සහය චරිතයක් රඟපෑවේ මෙම චිත්‍රපටයෙන්. කුඩාකල නම් මම රංගනයට යොමු වෙලාම නැහැ. එක වසරේ සිට 13 වසර දක්වා මම ඉගෙන ගත්තේ කැලණිය ධර්මාලෝක විදුහලේ. කුඩා කාලේ සිට මම ප්‍රිය කළේ සංගීතයට. මම පාසල් තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙක්. උසස් පෙළින් පසුව තරුණයෙකු විදිහට ජීවිතේ ස්ථාවර කරගත යුතු නිසා මම කැමති දේ ඉගෙන ගැනීමට උනන්දු වුණා. ඒ අනුව මම අලෙවිකරණය පිළිබඳ වැඩිපුර ඉගෙන ගත්තා. එතනදී මට විශේෂ චරිතයක් මුණ ගැසුණා. ඇය මධු චතුරංගි. ඇය ආරාධනා කලා සඟරාවක මංගල ඡායාරූපවලට පෙනී සිටීමට. එයට මම කැමති වුණේ හරිම සතුටින්. ඉන්පසුව මට ඒ සඳහා දිගටම අවස්ථාව ලැබුණා. ඒ අතරතුර මට රූපවාහිනි වෙළඳ දැන්වීම් වලට පෙනී සිටීමට අවස්ථාව හිමිවුණා. ඒ විදිහට තමයි මේ ගමනේ ආරම්භය සිදුවුණේ.
මම මුලිනුත් සඳහන් කළා ජීවිතය ස්ථාවර වියයුතු බව. ඒ නිසා මා උගත් දෙයින් ප්‍රයෝජනයක් ගතයුතු නිසා 2006 දී මම ඖෂධ සම්බන්ධ පෞද්ගලික ආයතනයක රැකියාවකට සම්බන්ධ වුණා. තවමත් මම ඒ රැකියාවේ නිරත වෙනවා. මොන දේ කළත් අපේ ආර්ථික තත්ත්වය යහපත් කරගත යුතුයි කියන මතය මගේ හිතේ තිබෙන නිසා රැකියාවට තමයි මුල් තැන දෙන්නේ.
Hello From The Other Side චිත්‍රපටයේ රඟපාන්න මට අවස්ථාව ලැබෙන්නේ අහම්බෙන්. සිනමා ක්ෂේත්‍රයේ කලා අධ්‍යක්ෂකවරුන් වන හර්ෂ පෙරේරා සහ ලක්මාල් සඳරුවන් මා ගැන විනෝෂා අක්කාට කියල තිබුණා. ඉන්පසු මම ඇයව මුණගැසෙන්න ගියා. පළවෙනි ඔඩිෂන් එකෙන්ම මාව තේරුණා.
චිත්‍රපටයේ දෙබස් සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම තිබෙන බව දැනුම් දුන්නා. ඒත් එය මට ගැටලුවක් වුණේ නැහැ. මට ලැබුණේ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ චරිතය. එයත් මට ගැටලුවක් වුණේ නැහැ. පාසල් කාලයේ මම ක්‍රිකට් ක්‍රීඩා කරපු කෙනෙක් නිසා. කැමරාවත් මට ආගන්තුක වුණේ නැහැ. මම මීට කලින් විදේශීය චිත්‍රපටයක් වන දීපා මෙහෙතාගේ ෆනී බෝයි චිත්‍රපටයේත්, අපේ ප්‍රින්සිපල් චිත්‍රපටයේත් රඟපාල තිබුණා. මට ලොකුම බය තිබුණේ දෙබස් වලට.
පළමු දර්ශනය රූගත කෙරුණේ නුවර වැවක් අයිනේ. මට මුල්ම දර්ශනයට මුහුණ දෙන්න තිබුණේ දමිත් එක්ක. එදා කියන්න තිබුණ දෙබස් ප්‍රමාණයත් වැඩියි. ඒ නිසා පොඩි චකිතයක් හිතේ තිබුණත් පසුව එය සාමාන්‍ය තත්වයට පත්වුණා. එදා තමයි දමිත්ව මට මුල් වරට හමුවුණේ. විනෝෂා අක්කා අපි හැමෝටම හොඳ සහයක් ලබා දුන්නා. ඇයගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වුවත් ඇය ඒ පිළිබඳ මනා අධ්‍යයනයක් ඇති කෙනෙක්.
මෙහි බොහෝ දෙනෙක් ඉතාමත් ප්‍රිය කළ දර්ශනයක් තිබුණා. දමිත් සහ මම බියර් බොන දර්ශනයක්. ඒ වන විට අපි හොඳ මිතුරන් වෙලා අවසානයි. ඒ දර්ශනය හරිම ආකර්ෂණීයයි සහ තාත්විකයි කියා නරඹපු බොහෝ අය කිව්වා. එය රූගත කළේ පාන්දර දෙකට විතර. දමිත් සහ මගේ දර්ශනය තව ටිකක් වෙලා ගලා ගියානම් හොඳබව ලැබුණ ප්‍රතිචාර වලින් දැනී ගියා.
මේ චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවුණේ පසුගිය වසරේ සැප්තැම්බර් වල. රැකියාව කරන අතරතුර තමයි රූගත කිරීම් තිබුණේ. එහෙත් විනෝෂා අක්කා රැකියාවත්, රඟපෑමත් සමබරව කරගෙන යා හැකි පරිදි සති අන්තයේ මගේ රූගත කිරීම් යොදා තිබුණා. විනෝෂා අක්කා අපිට ලබාදුන් සහය ඉතා අගය කළ යුතුයි. ලෝකයේ බොහෝ අවස්ථාවල පෙරමුණ ගන්නේ පුරුෂ පක්ෂය. සිනමාවටත් එය පොදුයි. කාන්තාවක් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේදී වෙනසක් තියෙනවා කියා මට සිතෙනවා. පුරුෂයෙකුගේ ඇසින් සහ කාන්තාවකගේ ඇසින් නිර්මාණයක් කරද්දී ඒ වෙනස දැනෙනවා. ඇය මේ චිත්‍රපටය හරහා කතා කරන්නට තෝරා ගත්තෙත් වැඩි දෙනෙකු කතා නොකරන මාතෘකාවක්. රටේ පවතින ඖෂධ මාෆියාව ගැන. විනෝෂා අක්කා ඒ අභියෝගය බාර ගැනීමම ඇය ලද ජයග්‍රහණයක්. මට හිතෙනවා ලංකාවේ එවැනි මාතෘකාවක් ගැන සිනමාපටයකින් කතා කළ පළමු අවස්ථාව මෙය වන්නට පුළුවන්.
කෙසේ වුවත් Hello From The Other Side චිත්‍රපටය රූගත කළ කාලය කවදාවත් අමතක වෙන්නේ නැහැ. හරිම සුන්දර කාලයක් අපි ගත කළේ. අපට කරදර වලට මුහුණ පාන්නට සිදුවුණේ නැහැ. අපි ඔක්කොම වගේ සම වයසේ පසුවූවන්.ඒ නිසා හරිම විනෝදයෙන් කාලය ගතකළා. චිත්‍රපටය තිරගත වන මේ මොහොත වන විටත් එදා අපි අතර ඇතිවූ ඒ බැඳීම ඒ විදිහටම තිබෙනවා.
මට රංගනය ගැන ඉගෙන ගන්න තව බොහෝ දේවල් තිබෙනවා. රංගන ශිල්පියකු ලෙස ක්ෂේත්‍රයේ රැඳී සිටීමට නම් නිසි පුහුණුවක්, අධ්‍යයනයයක් තිබිය යුතුමයි. සෝමලතා සුබසිංහ රංගන පාසලේ මම ටික කාලයක් ඉගෙන ගත්තා. සිනමාවේ විවිධ චරිත රඟපාන්න ආසයි. ප්‍රේමවන්තයා වගේම දුෂ්ටයාගෙ චරිතය වුවත් මම සතුටින් භාර ගන්නවා. කලාත්මකද, වාණිජ ද කියන තේමාව ගැන මම එතරම් අවධානය යොමු කරන්නේ නැහැ. මට වැදගත් ලැබෙන චරිතය මට ගැළපෙනවාද කියන කාරණය පමණයි. මට ඉඩක් ලැබුණ ගමන් මම චිත්‍රපට නරඹනවා. මම වැඩි වශයෙන් කැමති බටහිර චිත්‍රපට නරඹන්න. මගේ තාත්තා චිත්‍රපට රසිකයෙක්. ඒ නිසාම තමයි මමත් එහෙම පුරුදු වුණේ. අපි බලන්නේ චිත්‍රපටයේ කතාව වුවත් තාත්තා චිත්‍රපටයේ සියලු අංශයන් ගැන අවධානය යොමු කරනවා. ඒ ගැන සොයනවා.
මගේ අම්මා ශිරානි මංගලිකා පෙරේරා. ඇය රංගන ශිල්පිනියක්. ප්‍රවීණ නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑනා වේදිකා නාට්‍යයේත්, ප්‍රවිණ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ මඩොල් දූව චිත්‍රපටයේත් රංගනයෙන් දායක වෙලා තිබෙනවා ඒ වගේම දෑස නිසා චිත්‍රපටයේත් ජෝ අබේවික්‍රමයන් සමඟ චරිතයක් නිරූපණය කර තිබෙනවා. ඇගේ ආභාසය සහ ආශීර්වාදය මටත් ලැබෙනවා.
Hello From The Other Side චිත්‍රපටයෙන් මට ප්‍රේක්ෂකයන් අතරට එන්න පුළුවන් වුණා. චිත්‍රපටයේ මංගල දර්ශනය තිබූ දිනයේ පැමිණි සිටි අයගෙන් මට ලැබුණේ සුබවාදී ප්‍රතිචාර. එවැනි ප්‍රතිචාර මගේ රංගන ජීවිතයට බොහෝ වැදගත් වෙනවා. රංගනයට, රැකියාවට අමතරව මට මගේම කියා ව්‍යාපාරයක් තිබෙනවා. මම වෙනස් ක්ෂේත්‍රන් තුනක නියැළී සිටින කෙනෙක්. එහෙත් සෑමදේම සමබරව කරගෙන යාමට හැකියාව ඇති බව මට විශ්වාසයි.
මම ගැන මේ මොහොතේ කතා කරන්නේ Hello From The Other Side චිත්‍රපටයේ රඟපෑ නිසා. ඒ සඳහා මාව තෝරා ගත්තේ විනෝෂා අක්කා. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරිය වන ඇයව ආදරෙන් මතක් කරනවා. ඒ වගේම චිත්‍රපටයේ නිෂ්පාදකතුමා වන විජේන්ද්‍රන් වොට්සන් මහතා අපට ලබාදුන් සහයෝගයට ස්තූති කළ යුතුයි. එකම පවුලක සහෝදර පිරිසක් වගේ වැඩකළ අනෙකුත් රංගන ශිල්පීන් වගේම කාර්මික ශිල්පීන්වද මම ඉතා ආදරයෙන් මේ මොහොතේ මතක් කරනවා.
මෙය මට විශේෂ මොහොතක්. මෙය මගේ ජීවිතයේ පළමු පුවත්පත් සාකච්ඡාව. එය සිනමාවට සවිය සපයන සරසවිය සමඟ සිදුකිරීමට හැකිවීම මා ලද භාග්‍යයක්.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
නයනාංජලි දෙහිපිටිය