නිවස සංවාද පුවත්පතකට මේ කතාකරන්නේ පළමුවැනි වතාවට

පුවත්පතකට මේ කතාකරන්නේ පළමුවැනි වතාවට

-රංගන ශිල්පිනී මල්කි දිසානායක

by Thanushika
July 18, 2024 12:30 am 0 comment

වයඹ පළාතේ ඇතුගල්පුරවරයේ මොරගොල්ලාගම නම් දුෂ්කර ගමක පිපුණු සුන්දර මලක් වූ ඇය මේ වන විටත් මෙරට මෙන්ම ලොව පුරාම සුවඳවත් වී ඇත. දෙදහස් විසිතුන (2023) වසරේ දී සිරස අවුරුදු කුමරිය ලෙසින් ප්‍රථම ස්ථානය දිනා දිනාගනිමින් ජයග්‍රාහී කිරුළද ඇ හිමිකර ගත්තාය. අනතුරුව මිස් වර්ඩ් වයිඩ් ශ්‍රී ලංකා (Miss world wide Sri lanka) ජයග්‍රහණය කර එහි කිරුළ ද හිමිකර ගනිමින් මෙරට මෙන්ම ලෝකය ජයගැනීමටද මේ සුන්දර ගමේ පිපුණු කැලෑ මලට හැකි වූවාය. මේ දිනවල දෙවෙනි ඉනිම සීසන් ටූ තුළින් දෙරණ නාලිකාවෙන් රාත්‍රී 8.30 ට ඇය අප හමුවට එන්නේ ආරණ්‍යා නම් ජනප්‍රිය චරිතය තුළිනි. රංගනයෙන් මෙන්ම ඉදිරියේදී ගායන ශිල්පිනියක ලෙසින්ද කරළියට පැමිණීමට ඈ මේ වන විටත් ඊට අදාළ වැඩ කටයුතු දියත් කරමින් සිටින්නීය. ඇය යොවුන් රංගන ශිල්පිනි මල්කි දිසානායකයි.

ඔබේ සම්පූර්ණ නම

මල්කි දක්ෂිලා දිසානායක

පවුලේ විස්තර කිව්වොත්

අම්මයි, තාත්තයි, මමයි, මල්ලිලාදෙන්නයි, කිරිඅම්මයි

ඉගෙන ගත් පාසල

ඉබ්බාගමුව මධ්‍ය විදුහල

ඉගෙන ගන්න කාලේ මොනවගේ කෙනෙක් වෙන්නද හිතාගෙන හිටියේ

පුංචි කාලේ නිළියක් වෙනවා කියලා නම් හිතුවේ නැහැ. ගුවන් සේවිකාවක් වෙනවා කියලා තමයි හිතාගෙන හිටියේ. තවමත් ඒ හීනය නැති වෙලා නෑ.

ඒ කියන්නේ මල්කි ඉදිරියේදී ගුවන් සේවිකාවක් වෙනවද?

ඒක කියන්න බෑ සමහර විට වෙන්නත් පුළුවන්

කලාවට එන්නේ කොහොමද?

දෙදහස් විසිදෙක (2022) වසරේ සූර්ය අභිෂේක මංගල්‍යයයේ මම ජනප්‍රිය තරුව බවට පත් වෙනවා. ඒක සංජානා ගමආරච්චි තමා අධ්‍යක්ෂණය කළේ. අනතුරුව මම සිරස අවුරුදු කුමරිය ලෙස ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ජයග්‍රාහී කිරුළ ද හිමිකර ගන්නවා.

ඊට පස්සේ,

ඒ ජයග්‍රහණවලින් පසුව මම මිස් වර්ල්ඩ් වයිඩ් ශ්‍රී ලංකා (Miss world wide sri lanka) තරගයෙන් Miss Sri lanka  කෙනෙක් විදිහට කිරුළක් දරනවා..

එතකොට ඔබේ ප්‍රථම ටෙලි නාට්‍යය රංගනය දෙවෙනි ඉනිමද?

ඔව්, අයියා ප්‍රථමයෙන්ම ටෙලි නාට්‍යයකට කියලා මම රංගනයෙන් එක්වෙන්නේ දෙවෙනි ඉනිම තුළින් තමා.

මේ දෙවෙනි ඉනිමේ රංගනය සදහා ඔබට අවස්ථාව ලැබුණේ කොහොමද?

මගේ අයියාගෙ යාළුවා ළහිරු අයියා චාමිකා මෙන්ඩිස් මිස්ට කතා කරලා ඊට පස්සේ සාරංග සර්වයි චාමිකා මිස්වයි දෙන්නම හමුවෙලා ඔඩිෂන් එකකට (තිර පරීක්ෂණයට) පෙනී සිටියා. එයින් සමත් වීමෙන් අනතුරුව තමා මෙහි රංගනයට මට අවස්ථාව ලැබුණේ.

එහි ඔබේ චරිතය ගැන කිව්වොත්

ආරණ්‍යා කියන්නේ දඟකාර, කටකාර සාමාන්‍ය පවුලක චරිතයක්… ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට ඇය ආදරය කරනවා. ඉස්සරහට තව තවත් වැඩියෙන් ඒ චරිතයෙන් මාව දැකගන්න පුළුවන් වෙයි.

මේ චරිතයේ සමානකම් මල්කිගේ සැබෑ ජීවිතයේදීත් තියෙනවද?

හැම දෙයක්ම නෑ බොහෝ දුරට ඇතැම් ඒවා සමානකම් තියෙනවා. දඟකාරකම, කටකාරකම වැනි දේවල් මටත් තියෙනවා.

කටකාරකම එහෙමත් නැත්තම් කතාවට ඔයා ගොඩක් දක්ෂ බව පේනවා. අර සිරසේ අවුරුදු කුමරිය ජයග්‍රහණයෙන් පස්සේ මල්කිට නිවේදන කටයුතු කරන්න අවස්ථාව ලැබුණේ නැද්ද?

නැහැ අයියේ.

ඉස්සරහට ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් භාරගන්නවද?

බලමු, එහෙම අවස්ථාවක් ආවොත්..

රූගත කිරීම්වලදී අමතක නොවන දේවල් එහෙමත් සිදුවෙලා තියෙනවද?

ඇත්තටම එහෙම කියන්න තරම් විශේෂ දෙයක් නෑ. රූගත කිරීම්වලදී වෙන හැම දෙයක්ම මට ඒ වගේ තමා. මගේ සෙට් එකේ අය සියලු දෙනාගෙන්ම ලැබෙන සහයෝගය හරිම වටිනවා.

මේ දවස්වල මල්කිගේ වැඩ කටයුතු මොනවද?

මේ දවස්වල මං කාර්ය බහුලයි. මගේ බියුටි සැලුන් එකේ වැඩත් එක්ක තමයි මගේ කාලය වැඩියෙන් ගතවෙන්නෙ. ඒත් එක්කම ෂූටින්වල වැඩ කටයුතු මේ ඔක්කොම එක්ක මං කාර්ය බහුල වෙලා තමයි ඉන්නේ.

මල්කි ගායිකාවක් ලෙසත් ක්ෂේත්‍රයට එන්න සූදානමකුත් තියෙනවා නේද?

ඔව්, හේමන්ත අයියා මාව ඉස්සරහට ගායිකාවක් ලෙසත් බලාගන්න පුළුවන් වෙවී. මං ඒ සඳහා දැනටමත් සූදානම් වෙලා ගීත කිහිපයක් හදලා ඉවර කරලා තියෙන්නේ ඉදිරියේදී ඉතා ඉක්මනට මගේ ගීතත් අහන්න ලැබේවි.

මල්කි සංගීතය හදාරලා තියෙනවද?

මම සංගීතය හදාරලානම් නෑ. ඉදිරියේදි මම සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් යටතේ සංගීතය ගැන හැදෑරීමක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ගෙදර අයගෙන් මල්කිගෙ කලා කටයුතුවලට ලැබෙන සහයෝගය කොහොමද?

අම්මා, තාත්තා, මල්ලිලා දෙන්නා යන හැමෝම මට දිගටම ලොකු සහයෝගයක් ලබාදෙනවා. මට මුල ඉදලම මගේ අම්මා ලබාදෙන සහයෝගය හරිම වටිනවා. එයා මාත් එක්ක නිතරම යමින් එමින් මගේ පිටිපස්සෙන් ඉදලා මට රැකවරණය, ආරක්ෂාව ලබාදෙනවා. ඒක මට මහත් ශක්තියක් මොකද මම අලුතින් මේ ෆීල්ඩ් එකට ආපු නිසා. මේ වැඩ කරගෙන යද්දී එහෙම සහයෝගයක් තිබීම හරිම වටිනවා.

ඔයාගේ මල්ලිලා කලාවට සම්බන්ධ නැද්ද ?

ලොකු මල්ලි දැනට නැවක සේවය කරනවා. පොඩි මල්ලි දැනට එයා ක්‍රිකට් ක්‍රිඩකයෙක් ලෙස පුහුණුවීම් කරගෙන යනවා.ඔහුට අදාළ හැම පහසුකමක්ම මං ලබාදෙනවා. එවගේම ඔහුගේ ටා(ර්)ගට් එකට යන්න නිතරම ඔහුට ශක්තියක් වෙමින් පිටිපස්සෙන් ඉදලා ඔහුව මෙහෙයවමින් හැම සහයෝගයක්ම ඔහුට අවශ්‍ය අයුරින් ලබාදෙන්න මම දැන් කැපවෙලා ඉන්නේ.

මල්කි ගමෙන් කොළඹට ආවේ කොයි කාලේ වගේද?

දෙදහස් විසිතුනේ දී තමා (2023) තමා මම කොළඹට එන්නේ.

මෑතකදී ගමේ ගියේ නැද්ද?

මීට මාස කිහිපයකට උඩදී ගිහින් ආවේ.

දැන් ගම මතක් වෙද්දී දුක නැද්ද?

නැත්තෙමත් නැ මගේ අම්මා, තාත්තා, මල්ලිලා දෙන්නා, කිරිඅම්මා යන පවුලේ අය මතක් වෙද්දි එහෙම දුකක් තියෙනවා. දැන් මට කොළඹ පවුලක් එක්ක යාළුවෝ ඉන්නවානෙ අනේ.

පවුලක් ඉන්නවා කිව්වේ මල්කි කසාද බැඳලද?

නැ, අනේ මගේ කොළඹ නෑදෑවෙන ගෙදරක ඉන්නේ. එරන්ද අයියා, අම්මා, ශාමලි අක්කා මේ හැමෝම එක්ක හරිම ආදරයෙන් වගේම සතුටින් සහයෝගයෙන් ජීවත් වෙනවා.

දැන් එතකොට මල්කිගේ වයස කීයද?

මට අවුරුදු විසි දෙකයි (22)

මල්කිට පෙම්වතෙක් ඉන්නවද?

දැන් නම් මට එහෙම කෙනෙක් නෑ. මම ඉස්සරහට ඒ ප්‍රශ්නයට අදාළව උත්තර දෙන්නම්.

ඔබේ විවාහය සිදුවන්නේ කවද්ද?

මගේ කලාවේ වැඩ අනිකුත් වැඩ කටයුතුවලට මට උදව් කරන මාව හොඳීන් තේරුම් අරන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් මට හමුවුණුදාට මම විවාහ වෙනවා.

අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවද?

මම මේ ගමන ඉතාම අමාරුවෙන් ලොකු කට්ටියක් කාලා කැපකිරීම් කරලයි ආවේ. ඒ හැමතැනකදිම වගේ මගේ ශක්තිය වුණේ එරන්ද අයියා මම අද සාර්ථක ජීවිතයක් ගෙවන්නෙ එයා නිසා. ඉතින් ඇත්තටම අද මගේ ශක්තිය එයා. එ වගේම ශාමලි අක්කා මට මගේම සහෝදරියක් වගේ එ අය නිසා තමයි අද මම පරිස්සමට ලස්සන ජීවිතයක් ගෙවන්නේ මං අලුතෙන් මේ ක්ෂේත්‍රයට එන අයටත් කියන්නෙ තනියම එන්න එපා තමන්ට රැකවරණයක් එක්ක අම්මා, තාත්තා එක්ක හරි එන්න කියලා. මම මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනේ. මට නැගිටින්න ශක්තියක් වුණ මගේ දිලිනි අක්කා ඕනෑම වෙලාවක මගේ ළඟ හිටපු ඉසුරු අයියවත් එ අය ආදරයෙන් මතක් කරනවා. කුරුණෑගලදී මට මුලින්ම මට මොඩ්ලින් උගන්නපු ත්‍රිකලා දරණි මිස්ව ඒ මිස් නිසා තමයි අද මට මොඩ්ලින් වලින් අඩියක් හරි ඉස්සරහට යන්න ලැබුණේ. ඉතින් ත්‍රිකලා දරණි මිස්ව මුලින්ම මතක් කරනවා. ඊළඟට රොසෑන් ඩයස් මිස්වත් ඒ වගේම නිර්මාල් බණ්ඩාර සර්වත් ඔවුන් නිසා තමයි අද මම මේ විදිහට වැඩ කරගෙන මේ ක්ෂේත්‍රය තුළ සාර්ථකව මේ ගමන ඇවිත් තියෙන්නේ. දෙරණ මාධ්‍ය ආයතනයටත්, සිරස මාධ්‍ය ආයතනයටත් සරසවිය පුවත්පතටත් ස්තූතිවන්ත වෙනවා. මම ප්‍රථම වතාවට තමයි මේ විදියට පුවත්පතකට කතා කරන්නේ.

 

[email protected]

හේමන්ත බණ්ඩාර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT