මාලිනිය දිවමන්ව සිටියදී ඇයගේ සිනමා ජීවිතය අරභයා බොහෝ ශාස්ත්‍රීය නිබන්ධ මම පුවත්පත්වල, සමරු ග්‍රන්ථවල ලියා ඇත්තෙමි. ඇය ඉදිරියෙහිම තබාගෙන ඒ අරභයා සම්මන්ත්‍රණවල බොහෝ ශාස්ත්‍රීය දේශන පවත්වා ඇත්තෙමි. ඇය සමඟ බොහෝ තෙල දසුන් (TV) හා ගුවන්විදුලි වැඩසටහන්වලට සහභාගි වී ඇත්තෙමි. එහෙත් මාලිනිය අරභයා පෞද්ගලික මතක සටහනක් ලියැවෙන්නේ පළමු වතාවටය. මේ සටහන මාලිනියගේත් මගේත් 45 වසරක් ඉක්මවූ දිගු කාලීන ඇසුර ගැනය.
මාලිනියගේ වියෝවෙන් කම්පිතව සිටිද්දී ඇය මා සමඟ පැවති අපූර්ව බැඳීමේ සැමරුම් වරින් වර සිහිපත් වේ. ඇය මගේ පියාණන්ගේ (ඒ.ඩී.රන්ජිත් කුමාර) දිගුකාලීන සමීප මිතුරියකි.
මගේ පියාණන් සහ ඈ එකම වර්ෂයක (1947) එකම මාසයක (අප්‍රේල්) උපත ලැබුවෝය.තාත්තා අප්‍රේල් 7 වැනිදා උපන් අතර ඇය අප්‍රේල් 30 වැනිදා උපත ලැබුවාය. මගේ මව් දමයත්ති ජයසූරිය මුල්වරට චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස දොරට වැඩියේ හේමසිරි සෙල්ලප්පෙරුම අධ්‍යක්ෂණය කළ “සත්වෙනි දවස” (1981) චිත්‍රපටයෙනි. එහි ඈ ටී.එම්. ජයරත්නයන් සමඟ ගැයූ “කුමාරයෙක් ආවා” ගීතයට (ගේය පද රචනය – ආචාර්ය අජන්තා රණසිංහ , සංගීත අධ්‍යක්ෂණය – ආචාර්ය ප්‍රේමසිරි කේමදාස) රඟපෑවේ මාලිනි ෆොන්සේකා වූ බැවින් මගේ මව්ගේ ගී හඬ මුල්වරට යොදා ගැනුණේ ඇය උදෙසාය.
ඉක්බිතිව අම්මා , විජය කුමාරතුංගයන් සමඟ විජය ධර්ම ශශ්‍රීගේ “ආරාධනා” (1981) චිත්‍රපටයට ගැයූ “සිනහවකින් පුතුගේ මුවේ” (ගේය පද රචනය – සුනිල් සරත් පෙරේරා, සංගීත අධ්‍යක්ෂණය – එච්.එම්. ජයවර්ධන) ගීතයෙන්ද හඬ දුන්නේ මාලිනිය උදෙසාය. මගේ කුඩා කාලයේ ඇය මට ආදරණීය මාලිනී නැන්දා විය.එහෙත් ක්‍රමයෙන් මා යොවුන් වියට එළඹෙද්දී විවාහයෙන් ඇයට මගේ වයසේ දරුවන් නොසිටි බැවින්දෝ “මාලිනී නැන්දා” යන වචනය මගෙන් ගිලිහී “මාලිනී අක්කා” බවට පත් වූයේ ඇගෙන් “නුවන් පුතා” යන්න හැලී එය “නුවන්” බවට පත්වීමට සමගාමීවය.
එය සමීප සොහොයුරු, මිත්‍ර බැඳුමකට පෙරළිණ. එහෙත් සැබැවින්ම මියෙනතුරුම ඇය මට තවත් ආදරණීය මවක වූ බව ගෞරවයෙන් සඳහන් කළ යුතුය. ඇය මා රහස් සුරකින විශ්වසනීය කලණ මිත්‍රයකු, සොහොයුරකු හා පුත්‍රයකු සේ සලකා ස්වකීය කලා ජීවිතයේ හා පෞද්ගලික ජීවිතයේ බොහෝ දේ විවෘතව කතා කළාය. එසේ කියන සෑම අවස්ථාවකම මේ වදනද ඇය සඳහන් කිරීමට අමතක නොකළාය.
“නුවන් ඔයා මගේ ජීවිතේ මේ දේවල් දැනගන්නම ඕනේ……..
කවදහරි මං නැති කාලෙක …….
ඔයා මං ගැන ඇත්ත කතා කරයි …..
1984 –
කොළඹ මරදානේ ටවර් රඟහලේ පැවැති “ජෝති රාත්‍රිය” ප්‍රසංගයට දෙමව්පියෝ මා කැටුව ගියහ. එහි ප්‍රධාන ආරාධිත අමුත්තිය වූයේ මාලිනියයි. එච්.ආර්. ජෝතිපාලයන් සජීවී ලෙස ප්‍රසංග වේදිකාවේ ගීත ගයන ආකාරය මසැසින් දැක ගැනීමට මුල්වරට මට අවස්ථාව ලැබුණේ එදිනය. මෙහිදී ජෝතිපාලයන් “හෝ හෝ තුෂාරා” ගීතය ගයද්දී ප්‍රේක්ෂකාගාරයේ සිටි එක් ප්‍රේක්ෂකයකු “ආ…මාලිනී අක්කට විජය අයියාව මතක් වෙනවා ඇති නේද ?” යැයි කියා හඬ නඟා කෑ ගැසූ අතර මාලිනිය ඔහු දෙස බලා සිනාසෙමින් ප්‍රතිචාර දැක්වූ ආකාරය මට හොඳ හැටි මතකය.
නළු නිළි ක්‍රිකට් තරඟවලදී විජය කුමාරතුංගයන් හා මාලිනිය ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරයත් (මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී) ගාමිණි ෆොන්සේකා සූරීන් එය විනිශ්චය කරන ආකාරයත් (Umpire)) දැකගැනීමට අවස්ථාව ලැබුණු ඇත්තෝ මගේ පරපුරේ හිඟ වෙති. ඒ අවස්ථා මතු නොව 1983 – 1986 කාලවලදී විජය – මාලිනී යුවළ සරසවිය සම්මාන උලෙළවල ජනප්‍රිය නළුවා හා ජනප්‍රිය නිළිය ලෙස සම්මාන ලබන අවස්ථාද මා මසැසින් දැක තිබේ. සරසවිය සම්මාන උලෙළේ ඔවුන් සම්මාන ලබද්දි නැගුණු අත්පොළසන් හඬ අතරට මගේ පොඩි අත්පොළසන් හඬද එක් විය. මේ සිදුවීම් මෙනෙහි කරන කල්හි “හතර දෙනාම සූරයෝ” චිත්‍රපටයේ විජය රඟපාමින් ජෝතිගේ හඬින් මාලිනිය දෙස බලා ගැයෙන “මේ දෑස මගේ පින්වන්තයි” ගීතය මා හටද සාධාරණ වෙයි. 80 දශකයේ මුල් භාගයේ මාලිනිය පදිංචිව සිටියේ බම්බලපිටියේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතට මඳක් කොළඹ පසට වෙන්නට තිබෙන ඉන්ධන පිරවුම්හලට දකුණු පස තිබෙන දෙමහල් නිවසේ උඩ තට්ටුවේ කුලී නිවසකය. බොහෝ අවස්ථාවල මගේ දෙමව්පියෝ එහි මා කැටුව ගියහ. මාලිනී, සනත් ගුණතිලක සමඟ එක්ව “සසර චේතනා” චිත්‍රපටය රූගත කරමින් සිටි සමය එය විය. එහි මාලිනී සතු වූ කුඩා එහෙත් වටිනා පුස්තකාලය වෙත මගේ සිත ඇදී ගියේය. එහි බහුලව තිබුණේ ලොව සුප්‍රකට නළු, නිළියන්ගේ අපදාන ග්‍රන්ථ (Biographies) බව මට මතක තිබේ.
1986 –
ඒ 1986 මැද භාගයේ දවසකි. ඇය ලකී ඩයසුන් සමඟ විවාහ වූ අලුතය.එවක අප පදිංචි වී සිටියේ දෙමටගොඩ ඩැනිස්ටර් ද සිල්වා මහල් නිවාසයේ පළමු තට්ටුවේ නිවසකය. එදින රාත්‍රියේ අප නිවසේ පැවැති ප්‍රිය සම්භාෂණයකට මාලිනිය සහ ලකී ඩයසුන් පැමිණියහ. මාලිනිය චිත්‍රපටයක වැඩ කටයුත්තක් සඳහා විදෙස් ගතවී සිට ලංකාවට පැමිණියේ ඉන් දින කීපයකට පෙරය. ඇය එහි සිට අපූර්ව තෑග්ගක් අපට ගෙනාවාය. ඒ මහඟු පුස්තකයකි.
එප්‍රේම් කට්ස් (Ephraim Katz) නමැති සුප්‍රකට ලේඛකයා ලියූ “The International Film Encyclopedia” නමැති අනර්ඝ සිනමා විශ්ව කෝෂයයි. “මෙන්න පුතාට තෑග්ගක්” යැයි කියමින් එවක යාන්තම් 10 හැවිරිදි වියෙහි පසු වූ කුඩා දරුවකු වූ මා දෝතට මේ තරම් විසල් ග්‍රන්ථයක් ඇය තෑගි කළේ මන්ද ? කුඩා මට ඒ මහා පොත බර වැඩි වූ නිසාදෝ මම එය ගිලිහී වැටේ යැයි සිතා, බදා පපුවට තුරුලු කොට ගතිමි. ඇගේ පියකරු සිනහවේ ඇඳී තිබුණේ අනාගත අපේක්ෂාවකි.එබඳු අනාගතයක් ඈ මගෙන් දුටුවේ කෙසේද ? මම එවලෙහිම එහි පිටු පෙරළා බැලුවෙමි.
“ඔය පොතේ අපේ ලෙස්ටර් මහත්තයා ගැන සඳහන් වෙනවා. එතුමා ගැන විතරයි අපේ සිනමාවෙන් මුළු ලෝකයම දන්නෙ”
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිසුන් ගැන සඳහන් 1071 පිටුව මම සොයාගතිමි.
“ශශ්‍රී ලාංකේය සිනමාව ගැන මෙවැනි විශ්ව කෝෂයක් මටත් ලියන්නට ඇත්නම්…. ”
මා සිත තුළ පළමු වරට ඒ මූල බීජය පහළ විය. ඒ ගෞරවය මේ මහාර්ඝ තිළිණයට හිමිය. ඊටත් වැඩිය එය පිරිනැමූ මාලිනියට හිමිය. ම විසින් විරචිත “ශශ්‍රී ලාංකේය සිනමා වංශය” ග්‍රන්ථයට මෙලෙස මට අනුප්‍රාණය (Inspiration) සැප වූයේ මාලිනියයි.අදින් වසර 40 කට පෙර එනම් 1986 දස හැවිරිදි වියේදී මම “ශශ්‍රී ලාංකේය සිනමාවංශය” රචනා කිරීම ආරම්භ කළෙමි. එය 20 වසරකට පසු එනම් 2005 මුද්‍රණද්වාරයෙන් එළිදුටුවේය. 1986 – 2005 අතර කාලයේ මා මෙය රචනා කරමින් සිටියදී මාලිනිය නිබඳවමැ මා දිරිගැන්වූවාය. 1986 ඇය මට තිළිණ කළ ග්‍රන්ථය මා ළඟ සුරක්ෂිතව තිබේ.
1990 –
විනෝදාස්වාදය සඳහා මා සුරතින් ලියූ පුවත්පත් සකස්කරමින් ඒවාට සේයා රූ අලවමින් සුන්දර ළමා කාලයක් ගෙවමින් සිටිනු දැකීමෙන් මාලිනිය මගේ සමරු පොතෙහි මෙසේ සටහන් කළාය..
“නුවන් පුතා….. ඉස්සෙල්ලාම පළ කරන පත්තරේ මා ගැනත් ලියන්න හොඳේ …
ලක් මෑණියගේ අගනා පුත් රුවනක්ම වේවා….
ආදරණීය නැන්දා….
මාලිනි ෆොන්සේකා
1990 පෙබරවාරි 6 වැනිදා
මා අතින් සකස් කළ ඒ සෙල්ලම් පුවත්පත්වල බහුලව අලවා තිබුණේ විජය – මාලිනීගේ සේයා රූ ය. එවක අපේ නිවසට නිතර පැමිණි විජය කුමාරතුංගයන් හැරුණු විට වඩාත් ඒ පුවත්පත් කියවා බැලුවේ මාලිනියයි.
2002 –
2002 වසරේ මා ශශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාද් උපාධි ඩිප්ලෝමාව හදාරද්දී මාලිනිය ස්වකීය නිළි රැජනකම සහ වියපත්බව පසෙක තබා යොවුන් ශිෂ්‍යාවක මෙන් ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමාව හදාළාය. ඇතැම් අවස්ථාවල දේශනවලදී මේ කණ්ඩායම් දෙකම එක් කෙරුණු බැවින් මාලිනිය මගේ “ඕචබජඩථචබඥ” බවට පත් වෙමින් අපි ශාස්ත්‍රෝද්ග්‍රහණය කළෙමු. එහිදී නාට්‍ය විධි ඉගැන්වූ ආචාර්ය ජයලත් මනෝරත්නයෝ විද්‍යාර්ථීන් අතර සිටි මාලිනිය දෙස බලා….
“මේ පාඨමාලාවේ මා දේශකයෙක් වුණාට මා රංගනය ඉගෙන ගත් ගුරුවරියක මේ ශිෂ්‍ය, ශිෂ්‍යාවන් අතර සිටිනවා” යැයි කීහ.
විවේක කාලයේ විශ්වවිද්‍යාලයේ තුරු සෙවණේ අසුන්ගෙන සිනමාව හා ජීවිතය අරභයා බොහෝ දේ අපි කතා කළෙමු. දිනක් විශ්වවිද්‍යාලයේදී ඇය මෙසේ කීවාය.
” නුවන්……හේම නලින් කරුණාරත්න මට කතා කළා. ලබන සතියේ සෙනසුරාදා රූගත කරන සුන්දර සෙනසුරාදා වැඩසටහනට. ඒ වැඩසටහනේ එක අංගයක් තියෙනවා, මම කැමැතිම නව පරපුරේ කලාකරුවා තෝරන්න. ඉතින් ඒ සඳහා මං තෝරා ගත්තේ ඔයාව. ඔයා ලබන සෙනසුරාදා උදේ ස්වර්ණවාහිනියට එන්න ඕනෑ.”
මාලිනියගේ ඒ ඇරැයුමත් සමඟ මගේ ඇහිබැම ඉහළට ගොස් ඇස් ලොකු වී විස්මයාර්ථයක් පළ විය.
“මේ මම”
මෙය මම කීපවරක් පුනරුච්චාරණය කළෙමි. ඊට හේතුව වූයේ නව පරපුරේ කලාකරුවන් සියල්ලම පාහේ සමීපව ඇසුරු කරන, ඔවුන්ගේ ආදරය ලබන මේ නිළි රැජන ඇයගේ මේ විශේෂ වැඩසටහන සඳහා තමා වඩාත් අගය කරන නව පරපුරේ කලාකරුවා ලෙස මා තෝරා ගැනීමය. මෙය ඇය විසින් මට ලබාදෙන ලද විශාල ගෞරවයකි.
“ඔව් ඒ ඔයා තමයි”
ඇය සුන්දර සිනහවෙන් මුව සරසා ගෙන කීවාය. එදින සුන්දර සෙනසුරාදා වැඩසටහනේදී ඇගේ මුවින් ඇය පළමුවරට මගේ “ශශ්‍රී ලාංකේය සිනමා වංශය” පිළිබඳ ප්‍රචාරය ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ මුළු රටටම ලබා දුන්නාය. ඒ මේ ග්‍රන්ථය දොරට වඩින්න වසර තුනකට පෙරය.
“නුවන් …සිනමාව පරපුරෙන් පරපුරට රැගෙන යන්නන් අතර පුරෝගාමියායි”.
සුන්දර සෙනසුරාදා වැඩසටහනේදී මා ගැන එලෙස ඇයගේ මුවින් අසන්නට ලැබීම කෙතරම් නම් භාග්‍යයක් ද ?
2005-
2005 මගේ “ශශ්‍රී ලාංකේය සිනමාවංශය” ජනගත වූදා ඇය කෙටි දෙසුමක් පවත්වමින්……..
“මගේ කිසිම ඡායාරූපයක්වත් එකතු කර තබා ගැනීමේ පුරුද්දක් මට තිබුණේ නැහැ. නමුත් කවදාහරි මං නැති කාලෙක නුවන්ගේ මේ “ශශ්‍රී ලාංකේය සිනමා වංශය” ග්‍රන්ථයෙන් මා ගැන අනාගත පරපුරට කියවන්නට ලැබේවි. එපමණක් නොවෙයි, මා රඟපෑ චිත්‍රපටවල මගේ ඡායාරූප එහි සුරක්ෂිතව තිබේවි. ඒ නිසා මට අනාගතය ගැන බයක් නෑ.”
2006 –
ශශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මඟින් මාලනියට විශේෂ උපහාර සම්මානය පිරිනැමූ අවස්ථාවේ ඇය වෙනුවෙන් හේතු පාඨ රචනා කොට එය වේදිකාවේ ඉදිරිපත් කිරීමට මට ඇරැයුම් ලැබුණුදා ඇය බෙහෙවින් සතුටට පත්වූවාය.
ශශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් මාලිනි ෆොන්සේකා උපහාර චිත්‍රපට උලෙළක් පැවැත්වූ අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “අම්මාවරුනේ” චිත්‍රපටය තිරගත කළදා ඇයගේ විශිෂ්ට රූපණ මෙහෙවර, කාර්ය සාධනය අරභයා ම විසින් පවත්වන ලද දේශනය අවසානයේ සිනහමුසු මුහුණින් මා සමීපයට පැමිණි ඇය “මං එච්චර වටිනවාද ?” යැයි ඇසුවාය.
2015 –
2015 මා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලැබූ අවස්ථාවේ දුරකථනයෙන් මා ඇමතු ඇය….
” මට හරි සතුටුයි, ආඩම්බරයි ඔයා ගැන.
මේ ආචාර්ය උපාධිය ලැබුණේ මගේ මුළු ජීවිත කාලයම කැප කළ සිනමා විෂයට කියලා හිතද්දි මගේ ඒ සතුට දෙගුණ තෙගුණ වෙනවා. අපට තවමත් විධිමත් සිනමා පාසලක් මේ රටේ නැති එක ලොකු පාඩුවක්” ඇය කී කල්හී…….
“මේ රටේ විශ්වවිද්‍යාලවල සිනමාව උගන්වනවා කියලා අඳුරේ අතපතගානවා. මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් විධිමත්ව සිනමා විෂය විශ්වවිද්‍යාලවල ස්ථාපිත වෙන්න ඕනෑ.”
මම පැවසුවෙමි.
මා සරසවිය පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස පත් කෙරුණේ 2015 වසරේදීය. දුරකථනයෙන් මා අමතා ඊට සුබ පැතූ ඇය…..
“ඔයා කවදාහරි සරසවියේ කර්තෘ වුණොත් මං ලේක්හවුස් එකට ඇවිත් ඔයාට සුබ පතලා මගේ Interview එකක් දෙනවා.”
2022 –
ඇයගේ අනාගතවාදී අනාවැකිය සැබෑ විය.
මම සරසවිය කර්තෘ ධුරයට පත් වීමි. ඇය මට දුන් පොරොන්දුව මට මතක තිබුණත් ඇයට මතක ඇතැයි මට සිතුණේ නැත.
මාලිනිය දුරකථනයෙන් මා අමතා මෙසේ කීවාය.
“නුවන් ඔයාට මගේ හෘදයාංගම උණුසුම් සුබපැතුම්….කවදාහරි දවසක සරසවියේ මුල් පුටුවට ඔයා එන බව මං හොඳීන්ම දැනගෙන හිටියා.”
“අක්කේ මට මුලින්ම ඔයාගේ Interview එකක් ඕනෑ. මං අරුණිට (එවක සරසවිය පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරිය වූයේ වත්මන් සුබසෙත කර්තෘ අරුණි මුතුමලී සොහොයුරියයි) කියන්නම් ඔයාට කතා කරලා දිනයක් දාගෙන ගෙදර එන්න කියලා.”
මා පවසත්ම…..
“ඇයි ඔයාට මං දීපු පොරොන්දුව අමතකද ? මතකද මං කිව්වා… ඔයා සරසවියේ මුල් පුටුවට ආ දවසට ලේක්හවුස් එකට ඇවිල්ලා ඔයාට සුබපතලා මං Interview එකක් දෙනවා කියලා.මට එන්න ඔයා දවසක් වෙලාවක් දෙන්න” යැයි ඕ කීවාය.
මේ කතා කරන්නේ ශශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජනදැයි මට සිතුණි. ඇගේ මහා ප්‍රතිභානය සේම පොළොවේ පය ගසා ජීවත්වීම සහ නිහතමානීභාවයත් එකිනෙකට නොදෙවැනිය. ශශ්‍රී ලාංකේය සිනමාවේ ප්‍රථම නිළි රැජන රුක්මණී දේවියත් එබඳුම නිහතමානී කාන්තාවකැයි මම අසා ඇත්තෙමි. මේ ශ්‍රේෂ්ඨ කලාකාරිනියන්ගේ ගුණ සමුදාය නව පරපුරට ආදර්ශයක් වේවා……..
මේ නිළි රැජිනියන් දෙදෙනාටම තමන්ගේම ලෙයින් , මසින් හැදුණු දූ දරුවන් නොසිටියත් ඉර හඳ පවතින තුරා ශශ්‍රී ලාංකේය සිනමාවේ බිහිවන සියලු දූ දරුවන් ඔවුන්ගේ සිනමා ලෙයින් , මසින්, මාතෘත්වයෙන්, ආභාසයෙන් ,අනුප්‍රාණයෙන් බිහිවූවෝ , සුපෝෂණය වූවෝ නොවෙත්ද ?
ඇය මා හට දැක්වූ අපරිමිත ආදරයත්, තමන්ගේ කලා ජීවිතයට ආරම්භයේ සිටම ශක්තිය දුන් සරසවිය පුවත්පතටත් ලේක් හවුස් ආයතනයටත් සරසවිය සම්මාන උලෙළටත් තිබූ ගරුත්වය දීර්ඝ කාලයක සිට මම ප්‍රත්‍යක්ෂ කොට ගෙන සිටියෙමි.
මාලිනිය තම පොරොන්දුව ඉටු කරමින් 2022 අගෝස්තු 25 වැනිදා ලේක් හවුස් ආයතනයේ සරසවිය කර්තෘ මණ්ඩලයට පැමිණ මට සුබ පතා මගේ මේසයේ ඉදිරි අසුනක අසුන් ගත්තාය. ඇයට වම් පසින් තව එක් අසුනක් හිස්ව තිබිණ. දිගු හුස්මක් හෙළමින් මම මොහොතක් ඒ දෙස බලමින් කල්පනාවක නිමග්නව සිටියෙමි. මගේ ඇස් දෙකට කඳුළු පිරී තිබෙනු ඇය දුටුවේදැයි මම නොදනිමි. ඇය මගේ හිත හඳුනාගෙන …..
“ඇයි නුවන්……යැයි අසමින් නිහඬතාව බිඳ දැමුවාය.
“මං මේ කල්පනා කළේ විජය මාමා (විජය කුමාරතුංගයන්) අද ජීවත්ව හිටියනම් එතුමාත් මට සුබ පතන්න ඇවිල්ල මේ අනෙක් පුටුවේ ඉඳගෙන ඉදීවි නේද කියලා. මගේ පුංචිම කාලෙදි මං සෙල්ලමට හදන පත්තර දැකලා ” නුවන් පුතා කවද හරි දවසක සරසවිය පත්තරේ මගේ කවරයක් දාන්න” කියලා විජය මාමා කිව්වා.මට ඒක මතක් වුණා.”
මා එසේ පවසත්ම මාලිනිය මහත් වේදනාවකින් ගල් ගැසුණාය. එවර ඇගේ නිහඬතාව බිඳ දැමීමට සිදුවූයේ මටය.
“අක්කා…… සරසවිය ඩිජිටල් අංශයත් එක්ක එකතු වෙලා මං සරසවිය කධභඊභඡඥ නාළිකාව පටන් ගත්තා. එහි පළමුවැනි ධ්දබඥපමඪඥඹ එක ඔයා එක්ක අද රූපගත කරමු.”
මාලිනියට මැ ආවේණික වූ, ශශ්‍රී ලාංකේය අනන්‍යතාව කුළුගන්වමින් අන්තර්ජාතික තලයට ගිය අග්‍රගණ්‍ය රූපණ කෞශල්‍යය අරභයා “මාලිනී න්‍යාය” මැයෙන් කුඩා වුවත් ඉතා වටිනා ග්‍රන්ථයක් සකල කලා විකුම් පෑ කෘතහස්ත රූපණවේදී ජැක්සන් ඇන්තනී සූරීන් ලියා පළ කිරීම මාලිනියට දැක්වූ විශිෂ්ට උපහාරය කැයි මම සිතමි. මේ ග්‍රන්ථය ජනගත වූදා ජැක්සන් ඇන්තනී සූරීන් විසින්ම පවත්වන ලද පැය දෙක හමාරකටත් වැඩි , සනිදර්ශිත චිත්‍රපට දර්ශන රැගත් සාරගර්භ දෙසුමට සවන් දුන්නෝ සැබැවින්ම භාග්‍යවන්තයෝය. අනෙක් අතට විශිෂ්ට රූපණවේදියකු ස්වකීය ක්ෂේත්‍රයේ විශිෂ්ට රූපණවේදණියක අරභයා ලියූ පුරෝගාමී ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ලෙස මෙය ශශ්‍රී ලාංකේය සිනමා සාහිත්‍යයේ ඉතිහාසගත විය.
2023 –
2023 අප්‍රේල් 10 වැනිදා සරසවිය පුවත්පතට වසර 60 ක් සපිරිණ.ඒ වෙනුවෙන් විශේෂ මුද්‍රිත පුවත්පතක් නිකුත් කෙරිණ. මෙහි පිටකවරය සඳහා මාලිනිය සහ රවීන්ද්‍ර රන්දෙණිය යන ජ්‍යේෂ්ඨ, ශ්‍රේෂ්ඨයන් මැදි කොටගත් තරුණ පරපුරේ නළු, නිළියන්ගේ ඡායාරූපයක් මට අවශ්‍ය විය. ලේක් හවුස් වත්මන් ඡායාරූප කර්තෘ තිලක් පෙරේරා සොහොයුරාට මම මේ කාර්යය පවරද්දී අපට තිබුණේ දින දෙකක කාලයක් පමණි. එවක අසනීප තත්ත්වයෙන් සිටියත් මා ඇරැයුම් කළ සැණින් මාලිනිය සේම රවීන්ද්‍ර රන්දෙණියෝද නිහතමානීව මෙය භාරගත්හ. ඇය හැඩගැන්වීමට උපුල් නිශාන්ත සොහොයුරාද සහාය වූයේය. මම ලේක් හවුස් පිය ගැට පෙළ අසලට වී මාලිනිය එනතුරු බලා සිටිමි. ඇය කාරයෙන් බැස මගේ අතින් අල්ලාගෙන ලේක්හවුස් පියගැට පෙළ නැඟ ආවේ හති දමමිනි.
“මේ ආවේ එන්න පුළුවන් ගමනක් නෙවෙයි නුවන්…. ඔයාවත් සරසවියත් කවදාවත් මට අමතක කරන්න බැහැ”
මගේ ඇසට කඳුළු නැඟී ආවේ මට නොදැනීමය.
“අක්කේ… ඔයාගේ කලා ජීවිතය පටන් ගත්තෙත් 1963 අවුරුද්දෙදි. සරසවිය පුවත්පත ආරම්භ කළෙත් 1963 දී. ඔය දෙන්නම එකම වයසෙ නේ…..”
මා කී කල්හී ඇය විස්මයට පත්ව…
” ඔව් නේන්නං ….සරසවිය අප්‍රේල් 10 පටන් ගන්නේ නැතුව මගේ උපන්දිනය දවසෙම අප්‍රේල් 30 පටන් ගත්තා නම් කොච්චර හොඳයිද ? ඇය සිනහමුසු මුහුණෙන් පැවසුවාය.
” සරසවිය කියන්නේ පත්තර මහ ගෙදර “සිනමා පත්‍තර මහ ගෙදරයි”. මට තවම මතකයි…මං මුලින්ම ලේක් හවුස් එකට ආවේත් 1963 දී. සරසවිය පටන් ගත් ගමන්.එතකොට මාව කවුරුවත් හඳුනන්නේ නැහැ. අනේ ඉතින් මීමන ප්‍රේමතිලක, විමලසිරි පෙරේරා මහත්වරුන්ගේ ඉඳල හිටන් සියලුම කර්තෘවරු මගේ ගමනට ශක්තියක් වුණා….”
ඇය නිහතමානීව හා කෘතවේදීව සඳහන් කළාය.
ඇගේ මේ මුල මතක ඇතිකමෙන් සහ කෘතවේදී භාවයෙන් අංශු මාත්‍රයක්වත් නව පරපුර උකහා ගනිත්වා !
කවර මාධ්‍යවේදියකු හෝ මාලිනිය ගැන ලිපියක් ලියා පුවත්පතක පළ කළහොත් ඒ සෑමකල්හිම ඇය ඔවුන්ට අමතා තම කෘතඥතාව පළ කිරීමට තරම් මාධ්‍යවේදීන්ට විශාල ගරුත්වයක් ඈ සිත තුළ තිබිණ. මාධ්‍ය කලාවට , මාධ්‍යවේදීන්ට එතරම්ම ගරු කළ නිළියක මා ඉන් පෙර හෝ පසු දැක නැත. ඇය කිසිදා ඡායාරූප මාධ්‍යවේදීන්ට “පින්තූර ගන්නේ මෙහෙම” යැයි කියාදෙන්නට ආවේ නැත. නිළි රැජනගේ බලපුළුවන්කාරකම් භාවිත කොට පුවත්පතේ පළ වීමට පෙර තමා ගැන ලියන ලිපි කියවීමට දෙන්න යැයි ඉල්ලා සිටියේද නැත. ඇය මාධ්‍යවේදීන්ගේ වෘත්තියේ ස්වාධීනත්වයට ගරු කළාය. ඇගේ ඇතැම් සුවිශේෂ රංගනයන් සරසවිය සම්මාන උලෙළේ නිර්දේශ නොවුණා යැයි කියා මාලිනිය කිසිදා සරසවිය සම්මාන උලෙළ වර්ජනය කළේ නැත. තම සහෝදර ශිල්පීන්ගේ ජයග්‍රහණ දැක අත්පොළසන් දීම සඳහා ඊට සහභාගි වීමේ මුදිතා ගුණය ඇය සතු විය.
“නමන්ති පාලිතෝ වෘක්ෂං” (පොළොව දෙසට නැමෙන්නේ ඵල ඇති වෘක්ෂයයි) ගොයම් කරල පැසුණු විට නැමෙන්නක් මෙන් මාලිනියගේ මේ විශිෂ්ට, නිහතමානී ගුණ සමුදාය නව පරපුරේ නළු, නිළියන් සැමගේ අවධානයට පාත්‍ර විය යුතුය. එකල්හි ඔවුන්ටද කෙදිනක හෝ මාලිනිය සමතික්‍රමණය කරනු තබා ඇගේ සමීපයටවත් පැමිණීමට වරම් ලැබෙනු ඇත.
2024 – මාර්තු 28
මා සරසවිය කර්තෘ ධුරය ලැබීමෙන් පසු පැවැත්වුණු ප්‍රථම සරසවිය සම්මාන උලෙළේ
ප්‍රධාන ආරාධිත කලාකාරිනිය ලෙස මාලිනිය සහභාගී කර ගැනීමට අවස්ථාව ලැබීම මම මහත් භාග්‍යයක් කොට සලකමි. ඇය ඒ වන විට රෝගාතුරව සිටියත් ඉතා කැමැත්තෙන් මේ ඇරැයුම භාරගත්තාය. අවසාන අදියරේ සම්මාන රාශියක් පිරිනමනතුරුත් අදාළ නිර්දේශිත නාම සඳහා චිත්‍රපට දර්ශන රැසක් පෙන්වනතුරුත් ඇය කිසිදු අපහසුතාවක් නොපෙන්වා වේදිකාවේ සිටගෙන සිටියාය. උලෙළ අවසානයේ මගේ අත අල්ලාගෙන බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ වේදිකාවෙන් බසිද්දී ඇය මට මෙසේ කීවාය.
“හරි අමාරුවෙන් නුවන් මං මෙච්චර වෙලා Stage එකේ හිටියේ. මගේ kidneysවල අපහසුතාව නිසා බඩ රිදෙනවා හොඳටම ……..”
ඒ වචනවලින් මගේ හදවත දැවී ගියාක් බඳු වේදනාවක් ජනිත විය…….
සිනමා කලාව වෙනුවෙන් ඕනෑම අපහසුතාවක් ඉවසිය හැකි සංයමයක්, දැඩි අධිෂ්ඨානයක් සහ ශක්තිමත් පෞරුෂත්වයක් තිබු යකඩ ගැහැනියක් ඇය අභ්‍යන්තරයේ ජීවත් වූ බව දිගු කලක පටන් මම දනිමි. සාර්ථක , ස්ථාවර දිගු ගමනක් යෑමට ඇය ස්වකීය ඥාති පරපුරට මතු නොව , බොහෝ නව පරපුරකට අත හිතදුන්නාය. ඉන් අල්පයක් වූ ඇතැම්හු ඇයට දිවි හිමියෙන් කෘතගුණ සැලකූහ. ඉන් සමහරු මාලිනියගෙන් සුපෝෂණය වී ඇයට ගරහන ආකාරය නොඑසේනම් “ළිඳෙන් වතුර බීලා…ළිඳට ගල් ගසා වතුර බොර කරන ආකාරය” දෙස ඕ උපේක්ෂාවෙන් හා මඳ සිනහමුසු මුහුණින් බලා සිටියාය. ඉන් තවත් සමහරු මාලිනිය කවදාවත් නොදැන සිටි අයුරෙන්ම ඇය අමතක කොට දැමූහ.
2024 දෙසැම්බර් 17 වැනිදා මාලිනියගේ සුව දුක් බැලීමට මම නවලෝක රෝහලට ගියෙමි. ඇය දවස් දෙකකට වරක් ච්ඪචතරඵඪඵ සඳහා රෝහල් ගතවී පැය ගණනාවක් ගතකරද්දී ඇය සමඟ නිදහසේ කතා කිරීමට හැකියාව ලැබිණි. අවසන් වරට ඇය මා දුටුවේ සරසවියේ අප හිතාදර නිශ්ශංක විජේරත්න සොයුරාත් මාත් ඇය බැලීමට ගිය අවස්ථාවේදීය. එදින ච්ඪචතරඵඪඵ නිම වී ඇය නිවස බලා යෑමට රෝද පුටුවෙන් පිටතට එන විට….
ගාථාවකින් සෙත් පතා “බුදු සරණයි අක්කා” කියමින් මම ඇගේ හිස අත ගාද්දී ඇය ඉකි ගසා කඳුළු සැලුවේ අප දකින අන්තිම අවස්ථාව මේ යැයි ඕ හට සිතුණු බැවින්ද ?
2025 –
වරින්වර රෝහල් ගතවී නිවසට පැමිණෙන ඇයගේ සුව දුක් බැලීමට 2025 පෙබරවාරි 22 වැනිදා මම දුරකථනයෙන් ඇය ඇමැතීමි. ඇය ඉතා අපහසුතාවයෙන් “නුවන්” යැයි පිළිතුරු දුන්නාය.
“අක්කේ ඔයා ගෙදරද?”
“නැහැ…නුවන්… Hospita එකේ….
ICU එකේ….”
ඇය මෙසේ කියද්දී මා දැඩි කම්පනයට පත් කළේ එබඳු ශ්වසන අපහසුතා මධ්‍යයෙහිත් ඇය ජංගම දුරකථනයේ මගේ නම සඳහන් වෙද්දි ඊට ප්‍රතිචාර දැක්වූ නිසාය.
“අක්කා….කතා කරන්න එපා මම කියන දේ හොඳීන් අහගෙන ඉන්න…..ඔයාට ආදරේ කරන රසිකාවක් ඔයාට පින් පිණිස චෛත්‍යයක් පූජා කරනවා, මාර්තු 8 වැනිදා මොරටුවේ…. උපුල් නිශාන්ත මටත් ආරාධනා කළා ඒකට …මං එදාට හරි සතුටින් යනවා….ඒ පින්කමට උපරිමයෙන් සහයෝගය දීලා ඔයාට පින් අනුමෝදන් කරනවා …..වීඩියෝ කරපු පින්කම ඔයාට දකින්න ලැබේවි…..ඔයාට ජීවිතය ගැන බයක් ඇති වුණොත් ඒ පින්කම ගැන හිතන්න….අමාරු නිසා ඔයා කතා කරන්න එපා අක්කා…. බුදු සරණයි ”
මාර්තු 8 එකී පින්කමට සහභාගී වූ දා මා සිතට අප්‍රමාණ සතුටක් දැනිණ.
මාලිනිය රැක බලාගත් චන්දික නානායක්කාර සොහොයුරා මට මෙසේ කීවේය.
“මාලිනි අක්කා නුවන් අයියාට ආදරේ කරන්නේ එයාගේම පුතෙකුට වගේ….ඔයා ඕන වෙලාවක කතා කරන්න. එයාට ඒක හරිම සැනසීමක්. ඔයා කතා කළොත් මාලිනි අක්කා අනිවාර්යනේ Phone එක Answer කරනවා….Dialysis කරන්න යන දවසට පැය ගාණක් එයාට ඒ වැඩේ නිමා වෙනතුරු නිකං ඉන්න වෙන නිසා ඒ පාළුව මැකෙන්න නුවන් අයියා ගිහිල්ලා කතා කරලා එන්න…..නිල්හානුත් (ප්‍රකට ඇඳුම් නිර්මාණ ශිල්පී නිල්හාන් සෙනෙවිරත්න) එතන සැරින් සැරේ ඉන්නවා.”
මාලිනිය වෙනුවෙන් පෙර කී මහාර්ඝ පින්කමට සහභාගි වී ඇයට ඒ පින් අනුමෝදන් කිරීම ගැන අවසන් දවස්වල මාලිනිය නිතර මා පිළිබඳ දැඩි සෙනෙහසින් , සතුටෙන් කතා කළ බව , ඥාතීත්වයෙන් ඇයට මස්සිනා වූ ප්‍රසන්න විතානගේ ප්‍රවීණ සිනමාවේදියාණන් මා හට දුරකථනයෙන් පැවසුවේය.
වෛද්‍ය විද්‍යාවට අනුව ඇයගේ වියෝව වළක්වාලිය නොහැකි බව දැනගත් පසුව මාලිනිය වෙනුවෙන් මට කළ හැකි ලොකුම දේ ලෙස මා සිතුවේ ඇයට බුදු දහම මෙනෙහි කිරීමට සලස්වා ඊළඟ භවයේ සුගතියට සූදානම් කරවීමය. මාලිනියගේ අවසන් දිනවල බුදු දහම ගැන හැර, ඇයගේ සිනමා ජීවිතය පිළිබඳවත්, කලාකරුවන් පිළිබඳවත් කිසිවක්ම ඇය සමඟ කතා නොකිරීමට මම තරයේ වගබලා ගතිමි. මෙලොවට සහ කලාවට තිබෙන අසීමිත ඇල්මෙන් ජනිත වන දැඩි වේදනාවෙන් , කම්පනයෙන් ඇය මුදවා නිදහස් කිරීමට මම උපරිමයෙන් වෙර දැරුවෙමි. ඒ ගැන මෙනෙහි කිරීම අද මට මහත් සැනසිල්ලකි.
පෙර කී ලෙස දැඩි සත්කාර ඒකකයේ සිට මාලිනිය දුරකථයෙන් මා සමඟ කතා කළ දා අපූරු සිදුවීමක් පසුව ඈ යළිත් මහත් අපහසුවෙන් මා අමතා හෙළි කළාය.
“හරි වැඩේ නේ නුවන් වුණේ. ඔයා කතා කළාම මං ICU එකේ ඉඳන් ෆෝන් එක Answer කළ නිසා ඇඳේ කොට්ටෙට තද වෙලා ඒ Cal එක Record වෙලා. ඉන්න මං ඒක ඔයාට එවන්න. ” මෙසේ කියමින් ඇය අපේ පටිගත වුණු අනුවේදනීය දුරකථන සංවාදය යළිත් මට එවා තිබුණි.
ඇය මට ලබා දුන් අන්තිම මතක සැමරුම් තිළිණය එය නොවේද ?
ඇය එවූ ඒ දුරකථන සංවාදය මා ළඟ සුරැකිව ඇත…….
ඒ දුරකථන සංවාදයේදීද ඇයගේ සිනමා ජීවිතය හෝ අතීතය පිළිබඳව කිසිවක්ම සිහිපත් නොකොට ඇය වෙනුවෙන් පූජා කෙරෙන චෛත්‍යය පිළිබඳව පමණක් පවසා ඇයගේ සිතට බුදු දහමේ සැනසුම ලබාදීමට හැකි වීම ගැන මම අප්‍රමාණව සතුටු වෙමි.
ආදරණීය මාලිනියෙනි….
ඔබගේ භව ගමන ඉක්මනින්ම කෙටි වේවා……
ආචාර්ය නුවන් නයනජිත් කුමාර