නිවස විශේෂාංග පුංචි අන්දරේට රන් සිනා පාන රන්සිනා…

පුංචි අන්දරේට රන් සිනා පාන රන්සිනා…

- යොවුන් රංගන ශිල්පිනී සෙලිනි රත්නායක

by Thanushika
September 26, 2024 11:00 am 0 comment

පුංචි බෝනික්කියක් බඳු තම සිඟිති දියණිය ගේ පුරා දුවපැන ඇවිදින විට අම්මාත් තාත්තාත් ඒ දෙස බලා සිටියේ අප්‍රමාණ ප්‍රීතියකිනි. තම රංකැටි දියණිය කවදා හෝ ටෙලි තිරය මත විකසිත වේ යැයි ඔවුන් නොසිතන්නට ඇත. එහෙත් එවැනි සිහිනයක් ඔවුන්ගේ සිත් තුළ තැන්පත් වී තිබුණි.

පුංචි පා පොඩි ඔසවා ඇවිද යන්නට තනන විට රෝස තොල්පෙති සොලවා අම්මා කියන්නට වෙර දරන විට අම්මාගේ මුහුණේ සිනා පිරී ඉතිරී යන්නට ඇති.

කෙමෙන් කෙමෙන් ඇය උස්මහත් වන විට තම ආදරණීය දියණිය අද ටෙලි තිරයේ රඟන යොවුන් රංගන ශිල්පිනියකි. ඒ අපූරු රංගන ශිල්පිනිය සෙනිලි රත්නායකයි. ඇය පුංචි අන්දරේ ටෙලි නාට්‍යයේ අන්දරේගේ අවැස්ස නෑනා රන්සිනාය. ප්‍රේක්ෂකයින්ගේ හදවත් දිනා සිටින රන්සිනාය.

සුන්දර සිනහවක් පාමින් සෙනිලි ඇගේ කතාව සරසවිය හමුවේ හෙළි කළාය.

මම පුංචි කාලේ ඉඳන්ම නැටුමට ගැයුමට හපන්නියක් කියලා අම්මා නිතරම කියනවා. ඇත්තටම මට පුළුවන් නටන්න ගයන්න වගේම රඟපාන්න මම පාසැලෙත් කලා කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නවා. හරිම ආසාවෙන් තමයි මම ඒ දේවල් වලට සම්බන්ධ වෙන්නේ මම මුලින්ම ඉගෙන ගත්තේ දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා පාසලේ. මම ඒ පාසලේ ඉගෙන ගන්නකොට කනිෂ්ඨ නාට්‍ය කණ්ඩායමේ හිටියා.

ඉන් පසුව මම නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකාවට ඇතුළත් වුණා. මම මේ පාසලෙත් ජ්‍යෙෂ්ඨ නාට්‍ය කණ්ඩායමේ ඉන්නවා. අපේ පාසැලෙන් නිර්මාණය කරපු වේදිකා නාට්‍ය දෙකක මම රඟපාලා තියෙනවා. මේ දිනවල තවත් නාට්‍යයක පුහුණුවීම් කරනවා. ර්ඪඤ ඉභථථඥප ව්ඪඨඩබ ච්පඥචථ නාට්‍යයේ.

සෙලිනි ඉතාමත් සිත් ගන්නා අයුරින් ඇගේ රංගන ජීවිතයේ ආරම්භය ගැන විස්තර කළාය. ඇය දක්ෂ රංගන ශිල්පිනියක් බව නම් පැහැදිලියි. සෙලිනි රත්නායක රංගනයට මුලින්ම අත්පොත් තබන්නේ පාසැල් වේදිකාවෙන්.

මම පාසල් වේදිකාවේ රඟපාන අතරේ තමයි මට පුංචි අන්දරේ සඳහා ආරාධනා ලැබෙන්නේ. මට ඕඩිෂන් එකකට එන්න කියලා තිබුණා. ප්‍රියාල් වීරසිංහ මාමායි මයුෂාන් හත්ලහවත්ත මාමායි තමයි මාව තෝරා ගත්තේ පුංචි අන්දරේ ටෙලිනාට්‍යයට. මම ඕඩිෂන් එකට ගියහම මම කරපු නාට්‍යයක පුංචි කොටසක් කරලා පෙන්නන්න කිව්ව මම රඟපාලා පෙන්නුවා. ඊට පස්සේ තමයි මාව තේරුණේ රන්සිනා චරිතයට.

සෙලිනි රත්නායක රංගන ශිල්පිනියගේ මුල්ම ටෙලි නාට්‍ය පුංචි අන්දරේ වුවත් කැපී පෙනෙන රංගනයක් ඇය ඉදිරිපත් කරන්නීය. ඇගේ රඟපෑම සිත් ගන්නා සුළුයි. ඒ රූපගත කිරීම් වලදී සිදු වූ රසබර සිදුවීම් ද සෙලිනි හරි අපූරුවට විස්තර කළාය.

පුංචි අන්දරේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් තිබුණේ රන්මිහිතැන්නේ ටෙලි සිනමා ගම්මානයේ. මම ගිය මුල්ම දවසේ නම් හරි බයක් දැනුණා. මුල්ම කැමරාවක් ඉදිරියට යනකොට හිතේ තිගැස්මක් ඇතිවුණා මට මුලින්ම රඟපාන්න තිබුණ දර්ශනය හත් වතාවක් කරන්න වුණා. කට්ටියක් වටේ ඉන්නකොට දෙබස් එහෙම වරදියි කියලා බය හිතුණා. ඒත් පස්සෙ ඒ බය නැති වුණා. නිෂ්පාදන කණ්ඩායමේ සිටි අය මට සහයෝගය දුන්නා. හරි ආදරෙන් සැලකුවා. සමන්ත මාමා නිම්මි නැන්දා සහ නිලුකා නැන්දා මට ගොඩක් උදව් කළා. වේදිකාවේ රඟපාලා තියෙන නිසා ඒ දැනුමත් මම උපයෝගී කරගත්තා රන්සිනා චරිතය සාර්ථක කරගන්න.

රන්සිනා කියන්නේ අන්දරේගේ අවැස්ස නෑනා ඒ දෙන්නට දෙන්නා ආදරෙයි. අන්දරේත් රන්සිනාත් මැද්දට සඳලතා එනවා. ඉතින් ඒ නිසා රන්සිනාට තරහ යනවා. ඇය නිතරම රණ්ඩු කරනවා. ඒ චරිතයට මම උපරිම සාධාරණයක් කරනවා කියලා මට හිතෙනවා.

ඔබ තවමත් පාසල් යන වයසේ දියණියක්. ටෙලි නාට්‍ය රූගත කිරීම් වලට යෑමේදී ඒ සඳහා පාසලෙන් ලැබෙන සහයෝගය කෙසේද?

මගේ දෙමව්පියන් ඒ සඳහා විශේෂ අවසරයක් පාසලෙන් ලබා ගත්තා. මගේ චරිතයට හානියක් නොවන විදිහටත් පාසලට අගෞරවයක් නොවන විදිහටත් මගේ රඟපෑම් කටයුතු කරගෙන යන්න අවසර ලැබුණා ඒක මට ලොකු දිරියක්.

මම රඟපාන්න ගියත් මගේ ඉගෙනීමේ කටයුතු අතපසු කරන්නේ නැහැ. මම ඉගෙන ගන්නේ දහය වසරේ. ඉතින් මම කරන විෂයන් හොඳීන් කරගෙන යනවා.

සෙනිලිගේ මව ඇගේ සෙවණැල්ල මෙන් ඇයි පිටුපස සිටීම සෙලිනිට මහත් ශක්තියක් බවයි ඇය පවසන්නේ. සෙලිනි ලේක්හවුස් ආයතනයට පැමිණියේද ඇගේ මව සමඟයි. සෙනිලිගේ සෑම දෙයකටම විශාල සහයෝගයක් ලබා දෙන ඇගේ මවද සරසවිය සමගින් කතාබහට එක්වීමට අමතක නොකළාය.

මම තමයි දුවගෙ ආරක්ෂාවට යන්නේ. රූපගත කිරීම් වලදී මගේ දුව ඉගෙනීමට දක්ෂයි, ඇය කීකරු දියණියක්. දුවට පිටපතක් ලැබුණොතින් ඒක මුලින්ම කියවන්නේ මම. ලැබෙන චරිතය දුවට ගැලපෙනවනම් පමණයි මම ඇයව ඒ සඳහා යොමු කරන්නේ.

මවක්, පියෙක් නිතරම සිහින දකින්නේ තම දරුවන් ඔවුන්ගේ දක්ෂතාවයන් මත ඉදිරියට යාම දකින්නටයි. සෙලිනිගේ මවටත් ඒ සිහිනය පැළපදියම් වී ඇත්තේ තම දියණිය කුඩා කාලයේදීමය.

සෙලිනිගේ මව නැවතත් තම දියණියගේ හපන්කම ගැන කතා කරන්නට පටන් ගත්තේ සතුට දෝරේ ගලායන හැඟීමෙනි.

දුව පුංචි කාලෙ ඉඳන්ම නැටුමට ගැයුමට රැඟුමට දක්ෂයි. ඒක අපි හඳුනාගත්තේ ඇය ගොඩක් කුඩා අවධියේදී. මගේ දුවට අවුරුදු දෙකහමාරේදී විතර මංගල උත්සවයට මල් කුමාරිට හිටියා. ලස්සන නිල් පාට ගවුමක් අන්දවල හිටියේ. මංගල උත්සවයට සංගීතය සැප වූයේ ජිප්සීස් සංගීත කණ්ඩායම මගේ දුව ඒ සංගීත රිද්මයට හරි ලස්සනට නැටුවා. ඇයට ගානක්වත් නැහැ. කට්ටිය බලාගෙන ඉන්නවා කියලා සංගීත රිද්මයට දුව ලස්සනට නැටුවා. එදා මම හිතා ගත්තා දුවව කවද හරි කලා ක්‍ෂේත්‍රයට යොමු කරනවා කියලා. මගේ හීනයක් තිබුණා ඇයව කවදා හරි රූපවාහිනී තිරයක දකින්න මගේ දුව මගේ අහිංසක හීනය සැබෑ කළා. ඇගේ මව විදිහට මම එය ගැන ආඩම්බර වෙනවා. ඇය එසේ පවසන විට ඇගේ නෙත් කඳුළින් බර වී තිබුණත් මුහුණේ තිබුණේ ප්‍රීතිමත් සිනහවකි.

තම මව හැඟුම්බරව සිටිනා මොහොතේ නැවතත් සෙලිනි සරසවිය සමග කතා බහට එක් වූවාය.

අම්ම තාත්තා තමයි මගේ ශක්තිය පිටපතක් ලැබුණහම අම්මා තමයි මුලින්ම කියවල තීරණ ගන්නේ. මාව ඒ නිර්මාණයට යවනවද නැද්ද කියලා.

සෙලිනි දැනට රඟපාන්නේ ටෙලි තිරයේ පමණි. එහෙත් ඇයට මේ වන විට සිනමා නිර්මාණයකටද දායක වීමට වරම් ලැබී ඇත. මට චිත්‍රපටයකට ආරාධනා ලැබිල තියෙනවා. ඒක සුනිල් ගල්හේන මහතාගේ සිනමා නිර්මාණයක්. රූගත කිරීම් පටන් ගන්නේ ලබන අවුරුද්දේ ජනවාරි වල. දැනට වැඩකටයුතු සාකච්ඡා මට්ටමේ තමයි තියෙන්නේ.

සෙලිනි තම ඉදිරි නිර්මාණ කටයුතු ගැන කතා කළේ දැඩි උනන්දුවකිනි.

මම මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තමයි වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ. ඉගෙනීම් කටයුතු අවසන් වුණාට පසුව නම් ලැබෙන නිර්මාණ වලට දායකත්වයක් සපයනවා. කවද හරි වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න බලාපොරොත්තුවක් නැහැ. මගේම කියලා ව්‍යාපාරයක හිමිකාරියක් වෙන්න තමයි හීන දකින්නේ. රඟපෑමට මම ආදරෙයි. ඒ හැකියාව හැමෝටම පිහිටන්නෙත් නැහැ. රඟපාන්න පුළුවන් වුවත් ටෙලි නිර්මාණ සිනමා නිර්මාණ හැමෝටම ලැබෙන්නෙත් නැහැ. ඒ අතින් මට වාසනාව ලැබිල තියෙනවට ටෙලි තිරයේ පෙනී සිටින්න. රංගන ශිල්පිනියක් වීමෙන් බොහෝ අයගේ ආදරය ලබන්නට පුළුවන්.

මම එහෙම කිව්වේ රන්සිනා චරිතය නිසා මට ලැබෙන ප්‍රතිචාර නිසා. මගේ පාසලේ ගොඩාක් සිසුවියන් මාව අඳුර ගත්තේ රන්සිනා චරිතය නිසයි මගේ යාළුවො මට කියනවා ඔයා රඟපානවා හරි ලස්සනයි කියලා. එහෙම කියනකොට මට හරි සතුටක් දැනෙනවා හිතට.

දවසක් මම කැන්ටිමට ගිහින් ඉන්නකොට පුංචි නංගි කෙනෙක් ඇවිත් මගේ අතේ එල්ලුණා. ඔයා නේද රන්සිනා කියලා මගෙන් ඇහුවා මට කියාගන්න බැරි සතුටක් ඇතිවුණා. පුංචි නංගි කෙනෙක් වුණත් එයාට රන්සිනා කියන චරිතය මතක තිබිලා තියෙනවා. ඒ වගේ ආදරණීය ප්‍රතිචාර ලැබෙනකොට මම කරපු චරිතය ගොඩක් අයට දැනිලා තියෙනවා කියලා මට හිතුනා.

පුංචි අන්දරේ නරඹන ප්‍රේක්ෂකයා රන්සිනාට මෙන්ම රන්සිනාට පණ දෙන සෙලිනිටත් ඉතාමත් ආදරෙයි.

සෙලිනි තම රසවත් කතා අතරතුර ඇයගේ ඉදිරි බලාපොරොත්තු ගැන ද සරසවිය හමුවේ පැවසුවාය.

මගේ බලාපොරොත්තුවක් තියෙනවා මගේ ඉගෙනීම් කටයුතු වලින් පස්සේ රඟපෑම ගැන ක‍්‍රමාණුකූලව හදාරන්න. මට සුදුසු චරිත කරලා දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න කැමතියි. රංගනයේදී ඉදිරියට යනකොට ඒ පිළිබඳ හදාරලා තිබීම වැදගත් කියලා මට හිතෙනවා.

මේ රංගන ශිල්පිනියට ඇගේ රංගන ජීවිතය ජයගැනීමට උදව් කළ සහයෝගය දැක්වූ පිරිස බොහෝමයි.

මට මේ ගමන යන්න මුලින්ම උදව් කළේ මගේ පවු‍ලේ උදවිය. ඒවගේම සමන්ත කුමාර ගමගේ මාමා සමන්ත මාමා තමයි මට ගුරුහරුකම් දෙන්නේ. කලා ක්ෂේත්‍රයේ හැසිරිය යුතු ආකාරය, සහයෝගයෙන් වැඩකරන විදිහ සහ නිර්මාණ තෝරාබේරා ගන්නා විදිහ කොහොමද ඒ වගේ හැම දෙයක්ම මට කියා දෙන්නේ සමන්ත මාමා.

ඒ වගේම පුංචි අන්දරේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන ප්‍රියල් වීරසිංහ මාමා සහ මාව ඔඩිෂන් එකෙන් තෝරා ගත්ත මදුශාන් හත්ලහවත්ත සර්වත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම පුංචි අන්දරේ නාට්‍ය කණ්ඩායමේ හැමෝටම ආදරෙයි.

සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘ නුවන් නයනජිත් මාමාටත් ගොඩක් ස්තූතිය. මට මේ අවස්ථාව ලබා දුන්නාට. කවදත් මට දිරිය දෙන මම ඉගෙන ගන්න පාසලේ විදුහල්පති තුමිය වන රූපා රෝහිනි සිල්වා මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලය මට දෙන සහය වෙනුවෙන් ස්තුතියි.

සෙලිනි රත්නායක සමඟින් කතාබහ අවසන් කිරීමට මත්තෙන් ඇය රඟන රන්සිනා චරිතය ගැන නැවතත් මතක් කළ යුතුයි. නවක රංගන ශිල්පිනියක් වුවත් ඇගේ රංගන විලාසයේ ආධුනික බවක් නොපෙනේ. දක්ෂ පලපුරුදු ශිල්පිනියකගේ ලක්ෂණ සෙලිනිගේ රඟපෑම තුළ ගැබ් වී ඇති බව කිව යුතුයි.

ඉවසීමෙන් කල්පනාවෙන් ඈ යන මේ ගමනේ කවදා හෝ සම්මානනීය ශිල්පිනියක් වීමට වරම් ලැබේවා යැයි පතමු.

ආදරණීය රන්සිනා, ආදරණීය ලෙස සරසවියෙන් සමු ගත්තේ ඇයටම උරුම වූ සුන්දර රන් සිනහවක් පාමිනි.

නයනාංජලි දෙහිපිටිය

[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT