Home » පින් ඇති සරසවි වරම් ලැබූ මහා මංගල්‍යයක අසිරිය

පින් ඇති සරසවි වරම් ලැබූ මහා මංගල්‍යයක අසිරිය

by Thanushika
March 28, 2024 12:30 am 0 comment

පත්තර මහ ගෙදර ලෙස විරුදාවලිය ලත් ලේක්හවුස් ආයතනයෙන් 1963 සිට පළ කෙරෙන ලංකාවේ පැරැණිතම මෙන්ම දැනට පවත්නා එකම ජාතික කලා පුවත්පත වන සරසවිය පසුගිය වසරේ අප්‍රේල් 10 වැනිදා 60 වැනි විය සම්පූර්ණ කළේය.

එසේම එමඟින් පවත්වනු ලබන සරසවිය සම්මාන උලෙළ මේ වසරේ මැයි 9 වැනිදාට 60 වැනි විය සපුරන්නේය.එය 1964 මැයි 9 වැනිදා ඇරැඹ්ණ. සරසවිය පුවත්පතත් සරසවිය සම්මාන උලෙළත් වජ්‍ර ජයන්තිය සමරද්දී 35 වැනි වරට සරසවිය සම්මාන උලෙළ අති උත්කර්ෂවයෙන් පැවැත්වෙන විට එහි අග සකසු නොඑසේනම් සාමාන්‍ය ව්‍යවහාරයෙන් පැවසුවහොත් ප්‍රධාන කර්තෘවරයා වීමට ලැබීම මම ඉමහත් භාග්‍යයක් කොට සලකමි.මෙරට සිනමාව ප්‍රමුඛ සකල කලාවට, සාහිත්‍යයට, කර්මාන්තයට හා සමස්ත කලාකරුවන්ට අමූල්‍ය යුග කාරක මෙහෙවරක් සරසවියෙන් ඉටු වූ බව මා අමුතුවෙන් කිව යුතුද ? ලාංකේය සිනමාවේ නිළි රැජන ආචාර්ය මාලිනී ෆොන්සේකා වරක් පත්තර මහ ගෙදරින් බිහි වූ “සිනමා පත්තර මහ ගෙදර” සරසවිය යැයි පැවසුවාය. සැබවින්ම ලංකාවේ සිනමා පත්තර මහ ගෙදර සරසවිය ලෙස හැඳීන්වීම සහේතුකය. රොබට් ජයවර්ධන විසින් සංස්කරණය කරන ලද “සිනමා” පුවත්පතෙන් ලංකාවේ සිනමා පුවත්පත් කලාව ඇරැඹිණ. ඒ 1952 ජූලි 1 වැනිදාය.1963 සරසවිය පුවත්පත ඇරැඹීමට පෙර එනම් 1952 – 1963 කාලවකවානුවේදී සිනමා පුවත්පත් 45ක් වරින් වර ඇරැඹී තිබුණු අතර සරසවිය 46 වැනි සිනමා පුවත්පත ලෙස ඉතිහාසගත වී ඇත. මගේ පර්යේෂණවලට අනුව එදා මෙදා තුර සිනමා පුවත්පත් 115 ක් බිහි වී ඇත. අරුමය නම් එකී සිනමා පුවත්පත්වලින් 114 ක් විවිධ හේතූන් මත නතර වී සරසවිය පමණක් අඛණ්ඩව මැ විරාජමාන වීමය.

ප්‍රවීණ ඉන්දීය සිනමාවේදී අදූර් ගෝපාල් ක්‍රිෂ්ණන් අතින් සරසවිය සම්මානය ලබන රවීන්ද්‍ර ගුරුගේ

ප්‍රවීණ ඉන්දීය සිනමාවේදී අදූර් ගෝපාල් ක්‍රිෂ්ණන් අතින් සරසවිය සම්මානය ලබන රවීන්ද්‍ර ගුරුගේ

සරසවිය වූ කලී සකල කලාවට අධිපතිනි සරස්වතී දේවියගේ උතුම් නාමයෙන් නම් කෙරුණු සුපින්වත් සිනමා පුවත්පත විය. පත්තර මහ ගෙදර නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන මහතාට පින් සිදුවන්නට, සරසවිය පුවත්පතේ ආරම්භයට පුරෝගාමී වූ රංජිත් විජයවර්ධන මහතාට පින් සිදුවන්නට, සරසවිය නම් වූ අමරණීය නාමය පුවත්පතට තැබූ පී.කේ.ඩී. සෙනෙවිරත්නයන්ට පින් සිදුවන්නට, එය නොනැසී පවතින්නට සුබ ගණයකින් එනම් ආයු ගණයෙන් නම් තැබීම අනුමත කොට, ප්‍රබල සුබ නැකතකින් එය ආරම්භ කිරීමට මුල් වූ පූජ්‍ය බඹරැන්දේ සිරි සීවලී නාහිමියන්ට පින් සිදුවන්නට සරසවිය, මෙරට කලාව පවතින තුරු වැජඹෙනු ඇතැයි මම සිතමි. සරසවිය කර්තෘ ධුරය හුදෙක් මට වෘත්තියක් ලෙස පමණක් නොදැනේ. සිනමාව සේම සරසවිය සමඟද මට ඇත්තේ ආත්මීය බැඳීමකි. මෙකී ආත්මීය බැඳීම වූ කලී මා විශ්වාස කරන පරිද්දෙන් පෙර ජන්මයක සිට පැමිණ මේ භවයෙහිද පරම්පරාවෙන් මට උරුම වී පත්තියම් වූවකි. මා මතු දිනක සරසවිය කර්තෘ ධුරයෙන් ඉවත් වුවද මියෙනතුරුම මේ බැඳීම එලෙසින්ම පවතිනු ඇත.1976 වසරේ මා උපත ලබන විටත් මා පියාණන් (ඒ. ඩී. රන්ජිත් කුමාර) සරසවිය කර්තෘ මණ්ඩලයේ උප කතුවරයෙකි. 1969 දී සරසවියට බැඳුණු ඔහු පසුව නියෝජ්‍ය කර්තෘ ධුරය හෙබවීමෙන් පසු 1989 – 1994 කාලයේ එහි ප්‍රධාන කර්තෘ ධුරය දැරුවේය. මේ පසුබිමෙහි යන්තම් බහ තෝරන වියේ සිට මගේ අතට හසුවූ පුවත්පත සරසවිය බැව් මා අමුතුවෙන් පැවසිය යුතු නැත. අද සරසවිය සම්මාන උලෙළ 35 වැනි වරට පැවැත්වෙද්දී මා 1980 සිට ඉන් සම්මාන උලෙළ 28 කට සහභාගි වීම අරුමයක් නොවේද ? මට මඟ හැරී ඇත්තේ මගේ උපතට පෙපර පැවති සම්මාන උලෙළවල් පමණි. වසර 30 ක දීර්ඝ කාලයකට පසුව මෙවර යුනිලීවර් සමාගම (ලක්ස්) මේ සඳහා අනුග්‍රහය දැක්වීම අතිශය සතුටට හේතුවකි. දෛවෝපගත සිදුවීම නම් වසර තිහකට ඔබ්බෙන් අවසන් වරට ලක්ස් අනුග්‍රහය දක්වන විට සරසවිය ප්‍රධාන කර්තෘවරයා මගේ පියාණන් වීමය. ලක්ස් වූ කලී සිනමා නිළියන් හා දීර්ඝ කාලයක් පුරා බැඳී සිටි නාමයකි.

ලෝක ප්‍රකට සිනමාවේදීන් දෙපළක් වූ අදූර් ගෝපාල් සහ ආචාර්ය ලෙස්ටර්

ලෝක ප්‍රකට සිනමාවේදීන් දෙපළක් වූ අදූර් ගෝපාල් සහ ආචාර්ය ලෙස්ටර්

යුනිලීවර් සමාගමේ ලක්ස් (100) මේ වසරේ දී ශත ඔඩ්රි සංවත්සරය සැමරීම විශේෂත්වයකි. හොලිවුඩ් සිනමාවේ එළිසබෙත් ටේලර්, ඔඩ්රි හෙප්බර්න්, මැරිලින් මොන්රෝගෙන් අරඹා බොලිවුඩ් සිනමාවේ අයිශ්චර්යා රායි බච්චන්, ලංකාවේ නිළි රැජන මාලිනි ෆොන්සේකා සිට වත්මන් පරපුරේ ජනපි‍්‍රය නිළියන් දක්වා ලක්ස්. ලොවපුර නිළි තරු ප්‍රතිරූප සමඟ අත්වැල් බැඳගෙන සිටී.

මා පියාණන් 1989 – 1994 කාලවකවානුවෙහි ප්‍රධාන කර්තෘ ධුරය දරමින් තම දරුවකු සේ සුපෝෂණය කළ සරසවිය පුවත්පතෙහි කර්තෘ ධුරයට මාද පත්වීම පුවත්පත් කලා ඉතිහාසයේ වාර්තාවක් බව මම මෙහිදී සඳහන් කරනුයේ නිහතමානී සන්තුෂ්ටියකිනි. අනෙක් අතට එය පියා ජීවත්ව සිටියදී පුතෙකු හට තම පියාට පිදිය හැකි වූ සැබෑ උපහාරයකැයි මම සිතමි.කුඩා කාලයේ සරසවිය පුවත්පත හා සරසවිය සම්මාන උලෙළ සමඟ තාත්තා දිවා රෑ නොමැතිව කාර්යබහුල වෙද්දි මා එකම දරුවා ලෙස මවගෙන් මෙසේ අසන බැව් මා හට මතක ඇත.”අම්මේ…… තාත්තා ඇත්තටම ආදරේ මටද ? සරසවිය පත්තරේටද ?” සරසවිය සම්මාන උලෙළ පැවැත්වෙන මේ මොහොතේ සරසවිය කර්තෘ ධුරය හෙබවූ සියලු කතුවරුන් (මීමන ප්‍රේමතිලක – 1963, විමලසිරි පෙරේරා – 1963 -1977, ධර්මදාස බොතේජු -1977- 1979, ග්‍රැන්විල් සිල්වා – 1979 – 1989, ඒ. ඩී. රන්ජිත් කුමාර – 1989 – 1994, තිලකරත්න කුරුවිට බණ්ඩාර – 1994 -2000, සුසිල් ගුණරත්න – 2000 – 2002, අනුර බණ්ඩාර රාජගුරු – 2002 -2003 , දීප්ති ෆොන්සේකා – 2003 – 2005, සුනිල් මිහිඳුකුල – 2005 – 2006, ගාමිණී සමරසිංහ – 2006 – 2010, අරුණ ගුණරත්න – 2010 – 2022) මම ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.

2003 වර්ෂයේදී ප්‍රවීණ සිනමාවේදී මනිරත්නම් මහතා එවක ලේක්හවුස් සභාපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා සමඟ සමරු තිළිණ හුවමාරුවකදී

2003 වර්ෂයේදී ප්‍රවීණ සිනමාවේදී මනිරත්නම් මහතා එවක ලේක්හවුස් සභාපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා සමඟ සමරු තිළිණ හුවමාරුවකදී

1963 සිටම සරසවිය තමන්ටම ආවේණික වූ අනන්‍යතාව , ස්වාධීනත්වය මැනවින් ස්ථාපිත කළ පුවත්පතකි. එය සරසවිය සම්ප්‍රදාය (Sarasaviya Tradition) ලෙස හැඳීන්විය හැකිය. මා පමණක් නොව සරසවියෙහි මුල් පුටුවට පත්වන කවර කර්තෘවරුන් හෝ ක්‍රියා කළ යුත්තේ මෙකී සම්ප්‍රදාය, උසස් ප්‍රමිතියට හානියක් නොවන පරිද්දෙන් එය කාලානුරූපව තාක්ෂණය සමඟද බද්ධ වෙමින් නව්‍යකරණයට ලක් කිරීමය. පසුගිය වසර කිහිපය පුරා අප රටට මුහුණ දීමට සිදුවූ සමාජ, දේශපාලනික ආර්ථික අර්බුද හමුවේ මෙරට පුවත්පත් කලාවද විවිධ අභියෝගයන්ට ලක් වෙද්දී සරසවිය පුවත්පත අඛණ්ඩව පවත්වාගෙන යෑමට උපදේශකත්වය ලබා දුන් සරසවිය සම්මානලාභී චිත්‍රපට නිෂ්පාදක සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, ලේක් හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රි මහතා ප්‍රමුඛ ලේක්හවුස් අධ්‍යක්ෂ මණ්ඩලයටද උසස් නිලධාරීන්ටද මගේ ගෞරවනීය කෘතවේදීත්වය හිමිවේ. සරසවිය පුවත්පතේ මගේ කර්තෘ මණ්ඩලයද මෙහිදී මා අනිවාර්යයෙන් සිහිපත් කළ යුතුය. හේමාලි විජේරත්න, චන්දන දයාසිරිවර්ධන සහ සමුද්‍රිකා වර්ණකුල යන ජ්‍යෙෂ්ඨ මාධ්‍ය සහෝදර සහෝදරියන් මා හට ලබා දෙන අගනා සහායට ස්තූතියි.

ලේක් හවුස් ඡායාරූප අංශයේ සිට සරසවියට අමිල මෙහෙවරක් ඉටු කරන නිශ්ශංක විජේරත්න, තිලක් පෙරේරා සහ ශාන් රූපස්සර සොහොයුරන්ද අනර්ඝ නිර්මාණශීලී රූ රටා සැලසුම් ඔස්සේ සරසවිය හැඩකරන චක්සු අබේවික්‍රම (ප්‍රවීණ මාධ්‍යවේදී, අභාවප්‍රාප්ත, ආචාර්ය රංජිත් එල් .අබේවික්‍රම මහතාගේ පුත්) සොහොයුරාද පරිගණක අක්ෂර සංයෝජනයෙන් සහය වන නිලක්ෂි ආරියරත්න සොහොයුරියද ඩිජිටල් මාධ්‍ය දෙපාර්තමේන්තුවේ සරසවිය විද්‍යුත් පුවත්පතට සහ සරසවිය රධභබභඡඥ නාළිකාවට සහාය වන මංජුල මහින්ද, අයේෂ් රාජපක්ෂ, ගයාන් රත්නායක, තනුෂිකා සෙනෙවිරත්න සහෘදයන්ද සරසවිය මුද්‍රණ ද්වාරයෙන් පළවන මේ මොහොතේ ඊට සහාය වූ දැන්වීම්, මුද්‍රණ හා අලෙවි අංශයේ සියලු මහත්වරුන්ද කෘතවේදීත්වයෙන් මම සිහිපත් කරමි. බාහිර ලේඛිකාවක ලෙස සරසවියට ලියන නයනාංජලී දෙහිපිටිය සොහොයුරිය (අභාවප්‍රාප්ත, ප්‍රවීණ රංගවේදී සෝමසිරි දෙහිපිටිය මහතාගේ දියණිය) සම්මාන උලෙළහි කටයුතු සඳහා සරසවිය කර්තෘ මණ්ඩලයට ලබා දෙන අමිල සහයට ස්තුතියි.

ප්‍රකට දකුණු ඉන්දීය ගායිකා ජමුනා රාණි එවක ලේක්හවුස් සභාපති ජනදාස පීරිස් මහතා, එවක හිටපු ජනමාධ්‍ය ලේකම් ඩබ්ලිව්.බී.ගනේගල මහතා සහ සරසවිය හිටපු ප්‍රධාන කර්තෘ සුනිල් මිහිඳුකුල මහතා හමූ වූ අවස්ථාවක්

ප්‍රකට දකුණු ඉන්දීය ගායිකා ජමුනා රාණි එවක ලේක්හවුස් සභාපති ජනදාස පීරිස් මහතා, එවක හිටපු ජනමාධ්‍ය ලේකම් ඩබ්ලිව්.බී.ගනේගල මහතා සහ සරසවිය හිටපු ප්‍රධාන කර්තෘ සුනිල් මිහිඳුකුල මහතා හමූ වූ අවස්ථාවක්

එසේම චින්තක වාස්, රුක්මල් මනෝජ්, අමල් යශෝමන් ජයසිංහ, සශිනි කාවින්ධ්‍යා, තරුණි නිර්මාණ කර්තෘ මධුර ප්‍රභාත් ගමගේ, ටිකිරි රඹුක්වැල්ල ඈ සහෘද සහෘදිකාවන්ගේ සහය කෘතවේදීව මම සඳහන් කරමි.

අද පළවන මේ පුවත්පතෙහි වැඩි බරක් කරට ගත්තේ චන්දන දයා සිරිවර්ධන සොහොයුරාය. ලේක්හවුස් ජායාරූප කර්තෘ විමල් කරුණාතිලක මහතාටත් ලේක්හවුස් පුස්තකාලයේ සියලු මහත්ම මහත්මීන්ටත් ස්තූතියි.

යම් රටක සම්මාන උත්සව කිහිපයක් හෝ ඊටත් වැඩිය පැවැත්විය හැකි නමුත් ‘සිනමාවේ මහා කලා මංගල්‍යය’ ලෙස ව්‍යවහාර කළ හැකි වන්නේ එයිනුදු ඉතා ප්‍රශස්ත ලෙස පිළිගැනෙන්නා වූ ද, අති උත්කර්ෂවත් ලෙස සංවිධානය කරන්නා වූ ද දීර්ඝ කාලයක් අඛණ්ඩ ලෙස පවත්වාගෙන යමින්, කලාකරුවන්, රසික සහෘදයන් අතරෙහි කීර්ති නාමයක් හිමිකර ගන්නා වූද එක් සම්මාන උත්සවයක් සඳහා පමණි.

ලෝක මට්ටම අනුව සලකා බැලුවහොත් සම්මාන උත්සව රාශියක් අතරින් යුරෝපයේ කාන් සම්මාන උලෙළ ද හොලිවුඩ් පුරවරයේ ඔස්කාර් සම්මාන උලෙළද, බොලිවුඩ් පුරවරයේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළද සිනමාවේ මහා කලා මංගල්‍යයක් ලෙස හැඳීන්විය හැක්කේ මේ අයුරෙනි. ලෝක මට්ටමෙන් තුලනය කළ කල්හි ඉතා කුඩා පරිමාණයේ සිනමා කලාවක් හා කර්මාන්තයක් තිබෙන යන්තම් දශක අටක් ඉක්ම වූ කෙටි සිනමා ඉතිහාසයකින් සමන්විත මේ ශ්‍රී ලංකාද්වීපයෙහි එකල පැවැත්වුණු සහ දැනට පවතින සකලවිධ සිනමා සම්මාන උත්සව අතරින් ‘සිනමාවේ මහා කලා මංගල්‍යය’ ලෙස හැඳීන්විය හැක්කේ කුමක්ද? මවිසින් නඟන ලද මේ පැනයට මෙරට සියලු කලාකරුවන්ගේත්, විචාරකයන්ගේත්, ප්‍රේක්ෂකයන්ගේත් ඒකමතික පිළිතුර වන්නේ සරසවිය සම්මාන උලෙළ බවට කිසිදු සැකයක් නොමැත. මෙරට සිනමා සම්මාන උත්සව ඉතිහාසය අනුව බැලූ කල්හි සරසවිය සම්මානය උලෙළ යනු ලාංකික ප්‍රථම සිනමා සම්මාන උත්සවය නොවේ. එහෙත් පළමුවරට මෙරට සිනමා ත්‍යාග ප්‍රදානෝත්සවයක් පැවැත්වීමට පුරෝගාමී වූයේ සරසවිය උලෙළ ද සංවිධානය කරන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස් ආයතනය) බව දන්නෝ දනිති. ලේක්හවුස් ප්‍රකාශනයක් වන දිනමිණ පුවත්පත මෙහිලා මූලික විය.

ඉන්දීය ජනපි‍්‍රය නිළියන් වූ නූටාන් සහ ශෂිකලා සරසවිය සම්මාන උලෙළකට එක්වී එඩී ජයමාන්න සහ ආනන්ද ජයරත්න සමඟ

ඉන්දීය ජනපි‍්‍රය නිළියන් වූ නූටාන් සහ ශෂිකලා සරසවිය සම්මාන උලෙළකට එක්වී එඩී ජයමාන්න සහ ආනන්ද ජයරත්න සමඟ

දිනමිණ රඟමඬල චිත්‍රපට තරඟය ලෙස හැඳීන් වූ මෙය මවිසින් පූර්වයෙහි ම ත්‍යාග ප්‍රදානෝත්සවයක් ලෙස හඳුන්වන ලද්දේ මෙහිදී පාඨක ඡන්දයෙන් තෝරා ගත් කලා ශිල්පි ශිල්පිනීන්ට සම්මාන වෙනුවට වටිනා ත්‍යාග ප්‍රදානය කළ බැවිනි. 1956 මාර්තු 2 වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයීය ශාලාවේදී මේ ත්‍යාග උත්සවය පැවැත්විණ. මෙය එක් වරකට පමණක් සීමා විය. ප්‍රථම ලාංකික සිනමා සම්මාන උලෙළ ලෙස සැලකිය හැකි වන්නේ ලංකාදීප පුවත්පතෙහි මූලිකත්වයෙන් 1956 මැයි 18 වැනිදා කොළඹ රීගල් සිනමාහලේ දී පැවැත්වුණු දීපශිඛා සම්මාන උලෙළයි.

දීපශිඛා සම්මාන උලෙළ අඛණ්ඩව නොව වරින් වර සිවුවරක් (1956, 1957, 1972, 1974) පැවැත්විණ. ඉන් පසුව අපට හමුවන්නේ එක් වරකට පමණක් සීමා වූ ‘ස්වර්ණ ධාරා’ නමැති ගුවන් විදුලි වැඩසටහනට අනුබද්ධ ‘ස්වර්ණධාරා’ සම්මාන උලෙළය. 1959 වසරේදී මෙය පැවැත්විණ. එක්සත් ලංකා රසික සංගමයේ සම්මාන උලෙළ මෙරට සිවුවැනි සිනමා සම්මාන උත්සවය ලෙස ඇරඹුණේ 1964 ජනවාරි 12 වැනිදාය. ඒ කොළඹ රාජකීය විද්‍යාලයීය ශාලාවේදීය. මේ සම්මාන උලෙළ තෙවරකට (1964, 1965, 1968) සීමා විය. මේ ලිපියෙහි මුඛ්‍ය ප්‍රස්තුතය වන සරසවිය සම්මාන උලෙළ ඇරැඹුණේ 1964 මැයි 09 වැනිදා සිනමා සම්මාන උත්සව ඉතිහාසයේ පස්වැනි සිනමා උලෙළ ලෙසිනි. සරසවිය උලෙළෙහි ආරම්භය හා විකාශනය පිළිබඳ විමංසනාක්ෂිය හෙළීමට මත්තෙන් ඊට අනුප්‍රාප්තික සම්මාන උත්සව පිළිබඳව ද මා සඳහන් කළ යුතුය. 1965 මාර්තු 10 වැනිදා පැවැත් වූ ලංකා කර්මාන්ත චිත්‍රපට උලෙළ එක වරකට පමණක් සීමා වූවකි. ශ්‍රී ලංකා ගුවන් විදුලියෙහි වෙළෙඳ සේවයෙහි විකාශය වූ ස්වර්ණ සංඛ වැඩසටහනට අනුබද්ධ ‘ස්වර්ණ සංඛ’ සිනමා උලෙළ 1966 මාර්තු 07 වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයේදී ඇරැඹුණු අතර, මෙය පැවැත්වූයේ (1966, 1968) දෙවතාවක් පමණි. 1968 සැප්තැම්බර් 4 වැනිදා කොළඹ රියෝ සිනමාහලේදී මුල් වරට පැවැත්වූ චිත්‍රපට විචාරක හා ලේඛක සංගමය විසින් මෙහෙයවන ලද විචාරක සම්මාන උලෙළ මෙරට අටවැනි සිනමා සම්මාන උත්සවය ලෙස වාර්තා වේ.

ප්‍රවීණ සිනමාවේදී මනිරත්නම් මහතා අතින් හොඳම නිළිය වූ නිත්‍යවානි කන්දසාමි සම්මානනීය වූ මොහොත

ප්‍රවීණ සිනමාවේදී මනිරත්නම් මහතා අතින් හොඳම නිළිය වූ නිත්‍යවානි කන්දසාමි සම්මානනීය වූ මොහොත

හරවත් සිනමාවක් බිහි කරනු සඳහා වෘත්තාන්ත සිනමාව මතු නොව විත්ති කථා චිත්‍රපට සඳහා ද සම්මාන පිරිනැමු මේ උලෙළ හත් වතාවකට සීමා විය. ගුවන් විදුලියේ ‘ස්වර්ණ ධාරා’ වැඩසටහන හා අනුබද්ධ වූ ගුවන් විදුලි සම්මාන උලෙළ එක් වතාවකට පමණක් සීමා වෙමින් 1970 වසරේ කොළඹ නව රඟහලේදී පැවැත්විණ. 1972 සිට අද දක්වා පවත්වා ඇති ඕ.සී.අයි.සී සම්මාන උලෙළ (වත්මනෙහි මෙය හඳුන්වනු ලබන්නේ සිග්නීස් නාමයෙනි) සරසවිය හැරුණු කොට මෙරට වැඩිම වාර ගණනක් පවත්වා ඇති සම්මාන උලෙළ වේ. මෙරට සිනමා සම්මාන උත්සව ඉතිහාසයේ දසවැනි සම්මාන උලෙළ ලෙස වාර්තා වන මෙය අන්තර් ජාතික කතෝලික සිනමා පර්ෂදය විසින් වාර්ෂිකව පවත්වා ගෙන යනු ලබයි.

1976 වසරේ මෙරට පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුව වෙනුවෙන් ඒ වසරේ නොවැම්බර් 21 වැනිදා කොළඹ නව රඟහලේදී එක් වරකට පමණක් සීමා වූ සරසවිය ජනතා ප්‍රියතම කලාකරුවන් තේරීමේ තරඟයක් පැවැත්විණ. ලේක්හවුස් ආයතනයේ සරසවිය සහ ජනතා පුවත්පත්වල අනුග්‍රහයෙන් මේ සම්මාන උලෙළ පැවැත්වුණද මෙය සරසවිය සම්මාන උලෙළ හා කිසිදු සබඳතාවයක් නොමැත. 1979 ජූලි 27 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ඇරැඹුණු ජනාධිපති සම්මාන උලෙළ වූ කලී රාජ්‍ය මට්ටමෙන් මෙරට පැවැත්වුණු එකම සම්මාන උත්සවය වේ. ඇතැම් කාල වකවානුවල කොළඹ ජනාධිපති මැදුරේදී ද මේ උලෙළ පවත්වා ඇත. ස්වර්ණ සංඛ පදනම විසින් සංවිධානය කරන ලද ස්වර්ණ සංඛ සම්මාන උලෙළ 1988 දෙසැම්බර් 30 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී මුල්වරට පැවැත්විණ. අට වරක් පැවති මේ උලෙළ 1997න් පසු නොපැවැත්විණි. ශ්‍රී ලංකා සිනමා විචාරක පර්ෂදය විසින් සංවිධානය කරන ලද විචාරක සම්මාන උලෙළ 1994 දී ඇරැඹුණු අතර එය පස් වරක් පවත්වා ඇත. 2000 වසරෙන් පසුව එය නොපැවැත්විණි.

2012 සැප්තැම්බර් 14 වැනිදා කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ඇරැඹුණු දෙරණ සිනමා උලෙළ මේ වන විට හතර වතාවක් පවත්වා තිබේ. 2014 ඔක්තෝබර් 25 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඇරැඹුණු හිරු සිනමා සම්මාන උලෙළ මේ වන විට දෙවරක් පවත්වා තිබේ.

එදා මෙදා තුර මෙරට සිනමා සම්මාන උත්සව 16ක් පැවති බව මවිසින් දක්වන ලද යථෝක්ත විග්‍රහය අනුව පෙනේ. සරසවිය සම්මාන උලෙළ ඇරැඹුණේ පස්වැනි සිනමා සම්මාන උත්සවය ලෙසිනි. 1964 වසරේ සිට අද දක්වාම පැවත එන මේ උලෙළ දැනට ලංකාවේ තිබෙන පැරැණිතම සිනමා උලෙළ බව මේ වන විටත් ඔබ දන්නවාට සැක නැත. අනෙක් අතට සිනමා පුවත්පතක් ඇසුරෙන් එදත් මෙදත් මෙරට පැවැත් වූ එකම සිනමා සම්මාන උලෙළද මෙය වේ. මෙරට සිනමාව ආරම්භක අවධියෙහි සිටම වර්ධනය වූයේ උත්තර හෝ දක්ෂිණ භාරතීය සිනමා පයුරුපාසනයෙනි. මෙරට කලා ශිල්පීහු සිංහල චිත්‍රපට රූගත කරනු සඳහා නිරතුරුවම ඉන්දියාවට ගියහ.

50 දශකයේදී රුක්මණී දේවිය එරට කලාකරුවන්ගේ හා මාධ්‍යවේදීන්ගේ නිබඳ ඇගැයුමට පාත්‍ර වූ දේශීය නිළියකි. ඇගේ මේ ජනප්‍රියභාවය කෙතරම් දුර දිග ගියේ ද යත් ඉන්දියාවේ එදත් අදත් ප්‍රමුඛ සිනමා සඟරාව වූ FILM FARE සඟරාවේ පිට කවරය පවා වරක් ඇගේ රුවින් (1958 වසරේ) සැරසිණි. එහි LIKES and DISLIKES යන විශේෂාංගය සඳහා ද ඇය යොදා ගැනිණි. FILM FARE සඟරාව ලාංකික පාඨකයන් අතර ද අතිශයින්ම ප්‍රියතම සිනමා සඟරාවක් වූ අතර එමඟින් වාර්ෂිකව පැවැත් වූ FILM FARE සම්මාන උලෙළ පිළිබඳව ද මෙරට සිනමා ලෝලීන්ගේ උනන්දුව ක්‍රමිකව වැඩිණ. FILM FARE සිනමා සඟරාව 1952 වසරේදී ආරම්භ විය. එහි ආභාසය ලැබීම නිසාවෙන් 1952 ජූලි 1 වැනිදා ‘සිනමා’ නමින් මෙරට ප්‍රථම සිනමා පුවත්පත ඇරැඹුණු අතර ‘තරුව‘ නමින් 1952 නොවැම්බර් පළමු වැනිදා මෙරට පළමු සිනමා සඟරාව ඇරැඹිණ.

එතැන් සිට සිනමා පුවත්පත්, සඟරා රාශියක් වරින් වර ඇරැඹී නැවතුණුු අතර අද දක්වා අඛණ්ඩව ඉන්ද්‍රකිලයක් සේ වැජඹෙනුයේ සරසවිය පුවත්පත පමණකි. ඉන්දීය FILM FARE සඟරාවේ ආභාසය ලැබ 1963 අප්‍රේල් 10 වැනි බදාදා පත්තර මහගෙදර සිනමා පුවත්පත ලෙස ඇරැඹුණු සරසවියට දැන් වසර 60කි. FILM FARE සඟරාව සිනමා සම්මාන උලෙළක් පැවැත්වීම සරසවිය මඟින් සිනමා උලෙළකට මුල පිරීම සඳහා ආභාසයක් වූ බැව් සිතිය හැකිය.

ප්‍රකට කවියකු, ලේඛකයකු හා චිත්‍රපට කතා රචකයකු වූ හක්ගල්ලේ පී.කේ.ඩී සෙනෙවිරත්නයන් විසින් ‘සරසවිය’ යන නාමය පුවත්පත සඳහා තබන ලද අතර, පසුව එනමින්ම සම්මාන උලෙළද හැඳීන්විණ. සරසවිය උලෙළ ඇරැඹුණේ එවක ලේක්හවුස් සභාපති ධුරය හෙබ වූ රංජිත් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුවය.

රණපාල බෝධිනාගොඩ, විමලසිරි පෙරේරා, ධර්මපාල වෙත්තසිංහ, ඩී.එෆ්. කාරියකරවන, නිමල් පෙරේරා, ඩී.සී රණතුංග යන මහත්වරු මේ සම්මාන උලෙළෙහි ඇරැඹුමට මූලිකව ක්‍රියා කළහ. එදා මෙදා කලාකරුවන්ගේ අතිශය ගරු බුහුමනට පාත්‍ර වූ සරසවිය සම්මානය නිර්මාණය කරන ලද්දේ ප්‍රවීණ මූර්ති ශිල්පී තිස්ස රණසිංහයන් විසිනි. සරසවිය සම්මානයෙන් දැක්වෙන කාන්තා රූපයෙන් සකල කලාවන්හි අධිපතිනිය වූ සරස්වතී දේවිය සංකේතවත් වන අතර සංගීතය, නර්තනය ආදී කලාවන් ද ලාලිත්‍ය හා සෞන්දර්ය ද මනාව එහි සුසංයෝගී වී ඇත. 1964 මැයි 9 වැනිදා කොළඹ අශෝකා සිනමා ශාලාවේ පළමු සරසවිය සම්මාන උලෙළ පැවැත්විණ.

1964 සිට 1970 දක්වා අඛණ්ඩව හත් වරක් සරසවිය උලෙළ පැවැති අතර, 1971 – 1979 අතර කාලයේ එය නොපැවැත් වූ අතර 1980 වසරේ යළි ඇරැඹීමට මූලික වූයේ එවක පත්තර මහ ගෙදර සභාපති ධුරය හෙබ වූ රණපාල බෝධිනාගොඩ මහතාය. සරසවිය සම්මාන උලෙළ මෙවර පැවැත්වෙනුයේ 35 වැනි වරටය. සරසවිය වූ කලී ආරම්භයේ සිටම ඉන්දු-ලංකා කලා සංස්කෘතික සබඳතාවට මාහැඟී රුකුලක් ලබාදුන් උලෙළකි.

1966 සුනිල්දත්, නූටාන්, ශෂිකලා යන ප්‍රකට හින්දි නළු නිළියන්ද, ෆිල්ම් ෆෙයාර් සඟරාවේ එවක සංස්කාරක බී.කේ කරංජියාද, 1968 ප්‍රකට හින්දි නිළි මීනා කුමාරි ද 2003 දී ප්‍රවීණ සිනමාවේදී මනිරත්නම් ද 2004 දී ප්‍රවීණ ඉන්දීය සිනමාවේදී අදූර් ගෝපාල් ක්‍රිෂ්ණන් ද 2005 දී ප්‍රකට දකුණු ඉන්දීය ගායිකා ජමුනා රාණි ද සරසවිය සම්මාන උලෙළේ ප්‍රධාන ආරාධිතයෝ වූහ.

සරසවිය මඟින් ගොඩනැඟූ මේ ඉන්දු – ලංකා සබඳතාවයේ ප්‍රතිඵලයක් වශයෙන් දේශීය නළු නිළියන්ට ද FILM FARE සම්මාන උලෙළේ ප්‍රධාන ආරාධිතයන් ලෙස දෙවරක් සහභාගිවීමේ අවකාශය ලැබුණු බව ඇතැම් විට ඔබ නොදන්නවා විය හැකිය. 1965 දී ෆිල්ම් ෆෙයාර් උලෙළට ලාංකික සිනමාව නියෝජනය කළ ප්‍රථම නළුවා ජෝ අබේවික්‍රමයන්ය. 1968 දී ගාමිණි ෆොන්සේකා සහ අයිරංගණී සේරසිංහ FILM FARE සම්මාන උලෙළට ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ අතර, ඒ සඟරාවේ CEYLONESE VISITORS යන හිසින් ඔවුන් දෙපළගේ විශාල වර්ණ ඡායාරූපයක් සමඟ විශේෂ ලිපියක්ද මේ වෙනුවෙන් පළ කර තිබිණ.

ආරම්භක සරසවිය උලෙළේ සිටම හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂ, හොඳම නළුවා, හොඳම නිළිය ඇතුළු ප්‍රධාන සම්මාන පිරිනැමූ අතර කලින් කල ඔස්කාර්, ෆිල්ම් ෆෙයාර් වැනි සම්මාන උත්සවවල ආභාසය ලබමින් මේ උලෙළට නවාංග එක් කෙරිණි. ඔස්කාර් සම්මාන උලෙළේදී සම්මාන පිරිනැමීමට ප්‍රථම අනුගමනය කරන නිර්දේශිත නාම ප්‍රකාශ කිරීම, ඒ අරභයා සනිදර්ශිත චිත්‍රපට කොටස් (FILM CLIPS) පෙන්වීම වැනි අංග සරසවිය උලෙළට එක් කෙරුණේ 1986 වසරේ සිටය. එතැන් සිට සරසවිය උලෙළේ නිර්දේශ වීම ද ප්‍රමිතියක් බවට පත්විය. OSCAR,, FILM FARE සම්මාන උලෙළ ද්වයෙහිම දක්නට ලැබෙන ජීවිතේ එක් වරක් පමණක් දිනාගත හැකි සිනමාව වෙනුවෙන් දිගු කාලයක් කැප වූ ජ්‍යෙෂ්ඨයන් සඳහා පිරිනමන LIFE TIME ACHIEVEMENT සම්මානය පූර්වාදර්ශයට ගනිමින් සරසවිය උලෙළ ‘රණතිසර’ සම්මානය පිරිනැමීම ඇරඹුණේද 1986 වසරේදීය. ඒ වෙනුවෙන් අදාළ කලා ශිල්පියාගේ සිනමා දිවියේ පිය සටහන් පිළිබඳ කෙටි දර්ශන පෙළක් ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමයද ඒ ආකාරයෙන්ම සරසවියෙහිද භාවිතයට ගැනිණ. FILM FARE සම්මාන උලෙළේ දක්නට ලැබෙන වසරේ හොඳම විකට නළුවාට සහ වසරේ හොඳම දුෂ්ට චරිතය රඟපෑ නළුවාට පිරිනැමෙන සම්මාන යුගල සරසවිය උලෙළට තවමත් එක් වී නොමැත. මේ අතරම OSCAR, FILM FARE උලෙළ දෙකෙහි නොදක්නා ලැබෙන සුවිශේෂ අංගයක් වෙත සරසවිය උලෙළේ අවධානය යොමු විය. එනම් සිනමා සාහිත්‍යය ඇතුළත් වීමය. සිනමා සාහිත්‍යයට විශිෂ්ට සේවාවක් කළ ප්‍රවීණයන්ට රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සම්මානය පිරිනැමීම සරසවියෙන් ඇරැඹුණේ 2002 වසරේදීය. මවිසින් පෙර කියන ලද විදෙස් සම්මාන උත්සවවලින් මතු නොව, අවශේෂ දේශීය සම්මාන උත්සවවලින් ද සරසවිය සම්මාන උලෙළ සරුසාර දේ උකහා ගත් බව කිව යුතුය. සිනමා සාහිත්‍යයට සම්මාන පිරිනැමීමේ වැදගත්කම සරසවිය උලෙළ උකහා ගත්තේ ඕ.සී.අයි.සී සම්මාන උලෙළේ (1999) සිරිල් බී. පෙරේරා අනුස්මරණ සම්මානය පූර්වාදර්ශයක් කොටගෙනය.

කලාකරුවන්ට සම්මාන සමඟ මුදල් ත්‍යාග පිරිනැමීමේ ක්‍රමය මුලින්ම අනුගමනය කළේ 1988 ‘ස්වර්ණ සංඛ’ සම්මාන උලෙළෙහිදීය. එය ජෝ අබේවික්‍රමයන්ගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක වූවකි. මෙසේ ලාංකේය සිනමාවේ මහා කලා මංගල්‍යය වන ‘සරසවිය උලෙළ’ දෙස් විදෙස් සම්මාන උලෙළවල ආභාසය ලබමින් අපේ උරුමය, සම්ප්‍රදාය සමඟ නවාංග සහසංකලනයෙන් ක්‍රමිකව අති උත්කර්ෂවත්භාවයට අද්‍යයනයෙන් පත්ව තිබේ.

එහි ගෞරවය මෙහි ආරම්භයේ සිට නූතනය දක්වා පත්තර මහගෙදර මුල් පුටුව හෙබ වූ සභාපතිවරු ප්‍රමුඛ ලේක්හවුස් කළමනාකාරීත්වයට, මීමන ප්‍රේමතිලකගෙන් ඇරැඹී විමලසිරි පෙරේරා, ධර්මදාස බොතේජූ, ග්‍රැන්විල් සිල්වා, ඒ.ඩී. රන්ජිත් කුමාර, තිලකරත්න කුරුවිට බණ්ඩාර, සුසිල් ගුණරත්න, අනුර බණ්ඩාර රාජගුරු, දීප්ති ෆොන්සේකා, සුනිල් මිහිඳුකුල, ගාමිණී සමරසිංහ, අරුණ ගුණරත්න දක්වා දිවෙන සියලු සරසවිය ප්‍රධාන කර්තෘවරුන්ට හිමිවිය යුතුය.

මෙරට සිනමා පුවත්පත් ඉතිහාසයේ වැඩිම අලෙවියක් වාර්තා කළ සිනමා පුවත්පත සරසවිය වේ. 1972 දී එහි අලෙවිය දෙලක්ෂයද ඉක්ම විය. අද එය නූතන ඩිජිටල් තාක්ෂණය සමඟ අත්වැල් බැඳගෙන ලොවපුරා ග්‍රාහකයන් ලක්ෂ ගණනින් එක්රොක් වී ඇති විද්‍යුත් පුවත්පතකි. මෙරට කලාත්මක සිනමාවෙහි සේම ජනප්‍රිය සිනමා කර්මාන්තයෙහිද ප්‍රමිතිය ඉහළ නැංවීමේ ගෞරවය වැඩිම පිරිවැයක් දරා සංවිධානය කරනු ලබන සරසවිය සම්මාන උලෙළටත් හිමිවන බව අප අමුතුවෙන් සඳහන් කළ යුතුද?

සරසවිය උලෙළ අවසන් වරට පැවැත්වුයේ 2018 වසරේදීය. ඉක්බිතිව, පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුද ආදීය හේතුකොට වසර 5ක් මෙය පැවැත්විය නොහැකිය විය. මෙබඳු පසුබිමක යුනිලිවර් සමාගම (ලක්ස්) 30 වසරකට පසුව යළිත් සරසවිය උලෙළට ප්‍රධාන අනුග්‍රහකත්වයෙන් එක්වීම ශ්‍රී ලාංකේය සිනමාවේ සුබ ලකුණකි. නිල බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුවත් මාධ්‍ය සහකරු ලෙස ස්වාධින රූපවාහිනී නාළිකාවත් (ITN) දායක වීම මෙවර උලෙළෙහි තවත් විශේෂත්වයකි.

සකල කලාවට අධිපතිනි සරස්වතී දේවිය අභිවන්දනය කරනු පිණිස ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සංගීතවත් කොට ගැයූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් විරචිත “ජගන් මෝහිනී” නම් වූ සුවිශිෂ්ට අභිනන්දන ගීතය බිහිකිරීමට මුල් වූ සරසවිය පුවත්පත ඒ අනුහසේ බලයෙන් කලාව මෙරට පවතින තුරු යෙහෙන් වැජඹේවා !

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT