ජාතික රූපවාහිනිය යනු ශ්‍රී ලංකාවේ කවුරුත් පිළිගත් ප්‍රමුඛතම විද්‍යුත් මාධ්‍ය ආයතනයකි. ශ්‍රී ලාංකීක ජන සමාජයට නිරන්තරයෙන් ගුණාත්මක වැඩසටහන් ඉදිරිපත් කරන විද්‍යුත් මාධ්‍ය ආයතනයක් ලෙස ජාතික රූපවාහිනිය හඳුන්වා දිය හැකිය. තත්වයෙන් ඉහළ, ගුණාත්මක බවින් පිරි ළමා වැඩසටහන් ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමුඛස්ථානයක් අත්කර ගැනීමට ජාතික රූපවාහිනිය මේ වන විට සමත් වී ඇත. ළමුන් සඳහා වැඩසටහන් තැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ළමා මනස හොඳීන් හඳුනාගත් නිර්මාණකරුවන් ඒ සඳහා සිටිය යුතුය. එවැනි චරිතයක් මෙවර සරසවිය පිළිසඳරට කැන්දාගෙන ඒමට හැකිවිය. ඇය ළමා පරපුර අතර ජනප්‍රිය චරිතයක් වන ජාතික රූපවාහිනියේ මාලතී නැන්දා නමින් හඳුන්වන මාලතී වීරසිංහයි. ඇය ජාතික රූපවාහිනියේ ළමා ඒකකයේ මුල් පුටුව හොඹවන්නීය. මෙතැන් සිට දිගහැරෙන්නේ ඇගේ හඬින් ඇගේ කතාවයි.
මම මුලින්ම ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ නිවේදිකාවක් විදිහට. මම පාසැල් යන වයසේ ශිෂ්‍යාවක් විදිහට ඉන්න කාලේ මම ජාතික තරුණ සේවා සභාව මඟින් සංවිධාන කළ ජාතික මට්ටමේ තරඟාවලියක් වූ තුරුණු ශක්ති තරඟාවලියට සහභාගී වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට ජාතික රූපවාහිනියේ විකාශය කෙරුණු වැඩසටහන් කිහිපයකට මට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා. මම අධ්‍යාපන වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙස කලක් සේවය කළා. එහිදී මම ලයිව් බෑන්ඩ් ෂෝ, නුගසෙවණ, අධ්‍යාපන වැඩසටහන්වලට සම්බන්ධ වුණා. පසුව මම ළමා වැඩසටහන් ඒකකයට මාරු වුණා. වර්තමානයේ ජාතික රූපවාහිනියේ ළමා ඒකකයේ ප්‍රධානී විදිහට වැඩ කටයුතු කරනවා. අවුරුදු ගණනාවක සිට ළමා අධ්‍යාපන වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කළා.
මුලින්ම අධ්‍යාපන වැඩසටහන් වලට සම්බන්ධ වෙලා හිටපු මම පසුව නිවේදිකාවක් ලෙස නැවතත් කටයුතු කරන්න ගත්තේ කොවිඩ් වසංගත සමයේදී. ඒ කාලේ අපිට ළමයින්ව රූපවාහිනී මැදිරියට ගෙන්වා වැඩසටහන් කිරීමට නොහැකි තත්වයක් උදා වුණා. ඒත් ළමා වැඩසටහන් සඳහා අපට ලබා දී තිබූ කාලය දිගටම තබාගත්තා. කුමන ගැටළු බාධා මතු වුවත් අපි ළමුන් සඳහා කළ වැඩසටහන් නතර කළේ නැහැ. වට්ස්ඇප් මාර්ගයෙන් මම දරුවන්ගේ නිර්මාණ ගෙන්වා ගත්තා. ඒ අවස්ථාවේ වැඩසටහන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ කටයුතු කළේ සුමේධ අතුලසිරි මහත්මයා. ඔහු මට කිව්වා නිවේදනයට හැකියාව තිබෙන නිසා ළමා වැඩසටහන් මෙහෙය වන්න කියලා. වට්ස්ඇප් හරහා ගෙන්වා ගත් නිර්මාණ අරගෙන මම නිවේදන කටයුතු කරමින් වැඩසටහන් පවත්වාගෙන ගියා. දෙවෙනි අවස්ථාවේ නිවේදිකාවක් වුණේ ඒ විදිහට.
නිවේදිකාවක් ලෙස වැඩ කිරීමේදී ලැබෙන ප්‍රතිචාර ගැන ලොකු සතුටක් දැනෙනවා. වැඩිහිටි වැඩසටහන් කරන කාලේ එතරම් ප්‍රතිචාර ලැබුණෙ නැහැ. ඒත් ළමා වැඩසටහන් නිවේදිකාවක ලෙස කටයුතු කරන විට ලැබෙන ප්‍රතිචාර ඉහළයි. දැන් දරුවන් මාව හොඳීන් අඳුරනවා. මාලතී නැන්දා කියලා මට කතා කරන්නේ. ජාතික රූපවාහිනියේ නැණ මිහිර වැඩසටහන සඳහා නිවේදන කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. එය සතියේ දවස් පහේම විකාශය වන ජනප්‍රිය හරවත් ළමා වැඩසටහනක්. දේවිකා කුමාරසිංහ මහත්මිය තමයි මාව ඒ සඳහා සම්බන්ධ කරගත්තේ. සතියේ දින පහේම විකාශය වන වැඩසටහනේ දවස් තුනක් මම නිවේදන කටයුතු කරනවා. ඒ හරහා මම නැවතත් දරුවන් අතරට යනවා. මාලතී නැන්දා විදිහට මාව ළමා පරපුර අතර වඩා ජනප්‍රිය වුණා නැණ මිහිර නිසා. ලොකු සතුටක් ආදරයක් දැනෙනවා එහෙම කතා කරද්දී. ඔවුන් එසේ කතා කරන්නේ හදවතින්මයි. විශේෂයෙන් මේ ගැනත් කියන්න අවශ්‍යයි. මීට අවුරුදු ගාණකට කලින් කළේ වැඩිහිටි වැඩසටහන්. ඒ අවුරුදු විස්සකට පමණ කලින්. එතකොට මම ගොඩක් තරුණයි. ඒත් ඒ කාලේ නොලැබුණු විදිහේ ප්‍රතිචාර දැන් ලැබෙනවා. නැණ මිහිර සඳහා මට වඩා තරුණ, රුමත් නිවේදිකාවන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒත් මේ විදිහට මට ලැබෙන ප්‍රතිචාර ගැන පුදුමයි. මාලතී නැන්දේ කියාගෙන ඇවිත් මල් දෙනවා. ලියුම් දෙනවා. ඇත්තටම ඒක නම් හරිම සුන්දර අත්දැකීමක්.
නැණ මිහිර කරද්දී මුහුණ දෙන්නට සිදුවූ විශේෂ සිද්ධීන් තියෙනවා. මම දවසක් වැඩසටහනකදී කියල තියෙනවා පුතේ දුවේ පොතක් කියවන්න. කියවල ඒ පොතේ කර්තෘ කවුද, පොතේ නම මොක්ක්ද ලියල තියාගන්න කියලා. සාහිත්‍ය මාසය වෙනුවෙන් තමයි එහෙම කිව්වේ. මම සාමාන්‍යයෙන් වැඩසටහන ආරම්භයේදීම විශේෂයෙන් යමක් කියල තමයි පටන් ගන්නේ. ඒ දිනයේ වැදගත් කමක් තියෙනවා නම් ඒකත් කියනවා. ඒත් කාලයක් ගියාම අපිට ඒ කියූ දේවල් අමතක වෙන්න පුළුවන්. ඒත් පුංචි දරුවන්ට අපි කියන වචනයක්ම මතකයි.
දවසක් අපි ගියා මාතර ප්‍රදේශයට. නැණ මිහිර වැඩසටහනේ සම්මන්ත්‍රණයක් සඳහා. දේවිකා කුමාරසිංහ ඇතුළු කණ්ඩායම සහභාගී වුණා ඒ අවස්ථාවට. එදා පුංචි ළමයි මා ගාවට ඇවිත් පොත් දෙන්න පටන් ගත්තා. මෙන්න මාලතී නැන්දේ නැන්දා හදන්න කියපු පොත. ඒ කියපු විදිහට අපි හැදුවා. එහෙම තමයි ඔවුන් කිව්වේ. ඒ වෙලාවේ මට ඒක ප්‍රේහ්ලිකාවක් වුණා. මට මතකයකුත් නැහැ. පොතක් හදන්න කිව්වා කියලා. ඒ දරුවන් තමයි කිව්වේ ගොඩක් කලින් දවසක මාලතී නැන්දා එහෙම උපදෙස් දුන්නා කියලා. එතකොට තමයි මට මතක් වුණේ. බලන්න පුංචි දරුවන්ගේ මතකය. ඒ නිසා අපි යමක් පවසද්දී ඒ ගැන පරිස්සම් වෙන්න ඕන. මට සතුටකුත් දැනුණා. එදා මම කියපු දේ හිතේ හොඳීන් ධාරණය කරගෙන තිබීම ගැන. ඔවුන්ට මම කියපු දේ දැනිලා තිබුණා. ඒ වගේම අපි ගැන ඔවුන්ට විස්වාසයක් තියෙනවා කියලා දැනුණා.
ළමා වැඩසටහන් කරද්දී ඉතා පරිස්සම් වියයුතුයි. මට මනෝ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් තියෙනවා. ඒ වගේම ජනසන්නිවේදනය ගැනත් උපාධියක් හිමියි. විශේෂයෙන් මට පුළුවන් ළමා මනස හඳුනගන්න. මා ලබා ඇති අධ්‍යාපනය නිසා දරුවන්ගේ මොළය වර්ධනය වීම, ඔවුන්ගේ හැසිරීම් රටා ගැන අවබෝධයක් මා සතුව තිබෙනවා. ළමා වැඩසටහන් කරද්දී අපේ පරිණතභාවය තමයි අංක එක. ළමා වැඩසටහන් කිරීම ලෙහෙසි නැහැ. දරුවන්ට බොරු කරන්න බැහැ. ඔවුන්ට යමක් ඉගැන්වීමේදී පරිස්සම් විය යුතුයි. අපි කතා කරන වචන ගැන පවා පරිස්සම් වියයුතුයි. ඔවුන්ට අපි තරුණද, ලස්සනද කියන දේ වැදගත් නැහැ. දරුවන්ට අවශ්‍ය ආදරය, කරුණාව, සිනහව, සරලකම. සමහර දරුවො ඇවිත් කියනවා මාලතී නැන්දා කතා කරන විදිහට, හිනා වෙන විදිහට අපි ආසයි කියලා. අපේ අව්‍යාජ බවට ඔවුන් ආසයි. සමහර නිවේදක නිවේදිකාවන් ඉන්නවා තිරයට පමණක්, කැමරාවට පමණක් හිනාවෙන අය. පිටතදී ඔවුන්ගේ මුහුණේ හිනාවක් නැහැ. ආදරයක් නැහැ.
වර්තමානයේ ප්‍රේක්ෂකයන් බුද්ධිමත්. දරුවන් ඊට වඩා බුද්ධිමත්. ඔවුන්ට තේරෙනවා ඇත්තටමද මේ හිනා වෙන්නේ, බොරුවටද කියලා. ඒ නිසා ළමා වැඩසටහන් කරද්දී කල්පනාකාරී විය යුතුයි. දරුවන්ගේ මතක ශක්තිය වැඩියි. අපි කුමන වැඩසටහනක් කළත් එය ආදරයෙන් කරුණාවෙන් දරුවන්ට දැනෙන විදිහට ඉදිරිපත් කළ යුතුයි කියල මම විස්වාස කරනවා.
මාත් සමඟ පෞද්ගලිකව කතා කරන දරුවන් ඉන්නවා. මව්පියන් ඉන්නවා. ඒ ගැනත් විශේෂ සිද්ධියක් මතකයට ආවා. දවසක් වැඩිහිටි යුවළක් රූපවාහිනියට කතා කරල, මගේ දුරකතන අංකය සොයාගෙන මාව මුණගැහෙන්න රූපවාහිනී සංස්ථාවට ආවා.මට පුදුම හිතුණා. ඔවුන් ඇවිත් තිබුණේ මාතර ඉඳන්. ඔවුන්ගේ දරුවා අපේ ළමා වැඩසටහන් බලන දරුවෙක්. ඒ දරුවා සමඟ අම්මත් වැඩසටහන් බලන්න පුරුදු වෙලා. එහෙම දිගටම බලන කොට ඇයට මා ගැන පැහැදීමක් ඇති වෙලා තියෙනවා. ආදරයක් දැනිලා තියෙනවා.
ඉන්පසුව තමයි ඇය ඇගේ මහත්මයාට කියල තියෙන්නේ මාව මුණගැහෙන්න අවශ්‍ය බව.
ඒ තාත්තා මට මෙහෙම කතාවක් කිව්වා. මගේ බිරිඳ දැඩි මානසික පීඩනයකින් හිටපු කෙනෙක්. දරුවා ටීවී බලන කොට ඇයත් ඒ වැඩසටහන බැලුවා. ඊට පසුව ඇය මාත් සමඟ කතා කරනව වගේ මාව මවාගෙන කතා කරන්න පටන් ගත්තලු. එහෙම ඉන්න විට තමයි එයාට හිතිලා තියෙන්නේ ඇයට මා මුණගැහෙන්න ඕන කියලා. ඒ නිසා ඇයගේ සතුට වෙනුවෙන් ඇයව එක්කගෙන ඇවිත් තිබුණේ. ඇයගේ ප්‍රශ්න වලින් සෑහෙන ප්‍රමාණයක් විසඳුනාලු මම කියූ දේවල් බලලා. මට ඒ අවස්ථාව හරිම සංවේදී අවස්ථාවක් වුණා.
තවත් සිදුවීමක් තියෙනවා අපි නැණ මිහිර කරද්දී කියනව ඊළඟට අපි වැඩසටහන පවත්වන ප්‍රදේශය. දවසක් මම කිව්වා අපි ඊළඟට එන්නේ ගාල්ලට බව. ඒක අහගෙන හිටපු පුංචි දරුවෙක් තාත්තට බල කරල තියෙනවා එයාට මාව බලන්න ගාල්ලේ යන්න ඕන කියලා. ඒ තාත්තා ඒ දරුවත් අරගෙන ගාල්ලට ඇවිත් තිබුණා. ඒ වගේ සිදුවීම් මගේ මේ කාලය තුළ බොහෝ තිබුණා. තවත් දරුවෝ මට ලියුම් ලියනවා. එක් දරුවෙක් ඉන්නව මට නොනවත්වා ලියන. ඒ වගේම නිතරම කෙටි පණිවිඩත් එවනවා.
මම කුරුල්ලන්ට ගී කියලා වැඩසටහනක් කළා. රසවින්ඳන වැඩසටහනක්. ඒ සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්න, තිලකරත්න කුරුවිට බණ්ඩාර, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, බණ්ඩාර ඇහැළියගොඩ වගේ ප්‍රවීණයන් සම්බන්ධ වුණා. එය නරඹන්න කියල කොළඹ ආනන්ද විද්‍යාලයේ සහ ඩී.එස් වගේ පාසැල් වල උදෑසන රැස්වීමේදී සිසුන්ට දැනුම් දීලා තියෙන බව මට ගුරුවරුන් පැවසුවා.
ළමා වැඩසටහන් කරද්දී කනගාටුදායක තත්වයක් තියෙනවා. අනුග්‍රාහකයන්ගේ අඩුවක් තියෙනවා. අපි කරන්නේ ළමා වැඩසටහන්. ඒවාට අනුග්‍රාහකත්වය දක්වන්නේ ළමයින්ට ගැළපෙන භාණ්ඩ හෝ ආහාර පාන නිෂ්පාදනය කරන ආයතන. සමහර එවැනි ආයතන අපේ ළමා වැඩසටහන්වලට අනුග්‍රාහකත්වය දක්වන්න කැමැති වුණා. ඒත් ඇතිවූ ගැටලු නිසා ඒ අවස්ථා මඟහැරී ගියා. එය ඉතා කණගාටුදායක තත්ත්වයක්. ඒත් ඇතැම් නාලිකාවල විකාශය කරන අවර ගණයේ වැඩසටහන් සඳහා අනුග්‍රාහකයෝ ඕනෑ තරම් ඉන්නවා.
ලෝකයේ නම් දරාපු මාධ්‍ය ආයතන දරුවන් ලවා නිෂ්පාදන ප්‍රවර්ධනය කරන්නේ නැහැ. සමහර වෙළෙඳ ආයතන අපිට කියනවා ඔවුන්ගේ නිෂ්පාදන ළමයි අතට දීලා ඔවුන් ලවා ඒවා ගැන කියන්න කියලා. එයකළ නොහැකියි. අද වෙළෙඳ පොළෙ තියෙන කෑම ජාති විස සහිතයි. පිළිකා කාරක අඩංගුයි. ජාතික රූපවාහිනිය කවර අවස්ථාවකවත් එවැනි ක්‍රියා කරන්නේ නැහැ. අනුග්‍රාහකයන්ගේ අඩුවක් තිබුණත් ජාතික රූපවාහිනිය ළමා වැඩසටහන් වල තත්වය පහළ දමා නැහැ. එහි ගුණාත්මක බව දිගටම තියෙනවා. මෙය උඩුගම් බලා පිහිනා යාමක් වගේ. අසීරුවෙන් හරි කරගෙන යනවා.
මම වඩාත් කැමැති වැඩසටහන් නිෂ්පාදනය කරන්න. සමාජයේ කතාබහ කළ හැකි වැඩසටහන් හදන්න. නිර්මාණශීලීව ලියන්න. මුල් කාලයේ නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කළත් පසුව මගේ විවාහය සිදුවීම නිසාත්, ඉන්පසු දරුවන්ගේ වැඩ කටයුතු නිසාත් නිවේදන කටයුතු කරන්න බැරි වුණා. ඒත් දැන් මම නිවේදනයටත් යොමු වෙලා ඉන්නේ. මම නිවේදිකාවක් වුණේ මට ඒ සඳහා සුදුසුකම් තියෙන නිසා. ඒත් අද සිදුවන දේ දුටුවහම කනගාටුවෙන් වුවත් මේ දේ කිව යුතුයි. අද ගායිකාවන්, නිළියන්, මෝස්තර නිරූපණ ශිල්පිනියන් නිවේදිකාවන් බවට පත්වෙලා. ප්‍රවෘත්ති නිවේදිකාවන් බවට පත්වෙලා. ඔවුන්ව යොදා ගන්නේ ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම් නිසා නෙවෙයි. ඔවුන් ඉල්ලනව කියල හිතන නිසා. මෙය සමස්ත නිවේදක වෘත්තියටම කරන අගෞරවයක්. ජනප්‍රිය වූ පමණින්, රූමත් වූ පමණින් නිවේදිකාවක් වෙන්න බැහැ. නිවේදකයකයන්ටත් මෙය අදාළයි. නිවේදකයක් හෝ නිවේදිකාවක් වෙන්න නිසි පුහුණුවක්, සුදුසුකමක් තිබිය යුතුයි. අකමැත්තෙන් වුවත් මේ දේ සඳහන් කළ යුතුයි. අද නිවේදකයා හෝ නිවේදිකාව නිෂ්පාදකයාගේ අතේ දෝලනය වන තත්වයකට පත්වෙලා. එසේ නොවිය යුතුයි. වැඩසටහන් ඉදිරිපත් කරන්නා තුළ ප්‍රමිතියක් තිබිය යුතුයි . ඔවුන් තමයි වැඩසටහනේ ආකෘතිය එළියට පෙන්වන්නේ. එහි අන්තර්ගතය ගැන කතා කරන්නේ . වැරදි පූර්වාදර්ශ ලබා දීමෙන් වෙන්නෙ ප්‍රවීණත්වයට පත්වී සිටින නිවේදක නිවේදිකාවන් හෑල්ලුවට ලක් කිරීමක්.
මම මෙතෙක් කළ වැඩසටහන් සඳහා සම්මාන රාශියක් ලබා ගෙන තියෙනවා. රාජ්‍ය සම්මාන, සුමති සම්මාන සහ රයිගම් සම්මානයෙන් මම නිෂ්පාදනය කළ වැඩසටහන් සම්මානනීය වෙලා තියෙනවා. මම නිෂ්පාදනය කළ සෙල්ෆි සහ මේ මගේ ඉස්කෝලේ කියන ළමා වැසටහන් දෙක සඳහා අන්තර්ජාතික වශයෙන් සහතික පත් දෙකක් හිමි වී තිබෙනවා. ලෝකයේ හොඳම ළමා වැඩසටහන් සඳහා සම්මාන පිරිනමන ර්‍ථපඪය බ්භදඥඵඵඥ ධ්දඥබපදචබඪධදචත තමයි එය හිමිවුණේ. මම බොහෝ රටවල සංචාරය කරල අත්දැකීම් ලබාගෙන ඒ අත්දැකීම් මම නිෂ්පාදනය කරන වැඩසටහන් සඳහා උපයෝගී කර ගෙන තියෙනවා.මුලින් සඳහන් කළාක් මෙන් මම මේ වන විට ජාතික රූපවාහිනියේ ළමා ඒකකයේ ප්‍රධානී ලෙස කටයුතු කරනවා. ඒ අතර ජාතික පාසැල, නැණ මිහිර වැඩසටහන් වලට නිවේදිකාවක් විදිහට සම්බන්ධ වෙනවා. සෙනසුරාදා සවස විකාශය වන ස්මාට් පොඩ්ඩෝ, සිකුරාදා සවස විකාශය වන අපේ පැය කියන වැඩසටහන් දෙක නිෂ්පාදනය කරනවා.
මම මගේ වෘත්තීයත් සමඟ ඉතා කාර්‍යබහුලයි. මම අම්මා කෙනෙක්. බිරිඳක්. ඒත් සමබරව රැකියාවත්, ගෘහ ජීවිතයත් පවත්වාගෙන යනවා. මගේ ස්වාමිපුරුෂයා රසික කරුණාරත්න. ඔහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජ්‍ය ලේකම්. මට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා . මගේ ලොකු පුතා මයූ මංජිත, අනෙක් පුතාලා දෙන්නා සුදුල් දක්ෂිත, නිසූ සස්මිත.ඔවුන් තුන්දෙනාම ඉගෙන ගන්නෙ කොළඹ ආනන්ද විද්‍යාලයේ. මම අම්මා කෙනෙක් නිසා දරුවන්ව හඳුනාගන්න පහසුයි.මම දරුවන්ගෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා ජාතික රූපවාහිනියේ ළමා වැඩසටහන් සමඟින් එකතු වෙන්න කියලා. ජාතික පාසැල, නැණ මිහිර, ස්මාට් පොඩ්ඩෝ, අපේ පැය වගේ වැඩසටහන් සමඟ එකතු වීමන් දරුවන්ට විශාල දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ මඟින් පාසැල් විෂයයන් ඉගෙනීමේදී ඉතා පහසුවක් වෙනවා. වර්තමානයේ රියැලිටි වැඩසටහන් සඳහා මව්පියන් තම දරුවන් යොමු කිරීමට පෙලඹිලා තියෙනවා. ඒ ගැන තවදුරටත් හිතල බලන්න. වැඩිහිටියන් වගේ අන්දලා, වැඩිහිටියන්ගේ ගීත ගායනා කිරීමෙන් දරුවන්ට වෙන්නේ හානියක්. ඒ නිසා දරුවන්ට සුදුසු ගුණාත්මක බවින් යුත් වැඩසටහන් සඳහා තම දරුවන් යොමු කරන්න කියල මම ඉතා ආදරයෙන් මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ළමුන් හරි සුන්දරයි. ඔවුන්ට ආදරය ලබා දෙන්න. කරුණාව දක්වන්න.
අනාගතය ජය ගන්නට වෙර දරන ළමා මල් කැකුළු පුබුදන්නට ශක්තිය ලබා දෙන්න මාලතී වීරසිංහට සරසවියෙන් සුබ පැතුම් !
නයනාංජලි දෙහිපිටිය