Home » පෑනක් අතට අහුවුණොත් යමක් ලීවිමේ ගතිය එදා සිටම මට තිබුණා

පෑනක් අතට අහුවුණොත් යමක් ලීවිමේ ගතිය එදා සිටම මට තිබුණා

ලේඛිකා අනුෂ්කා පතිරාජ

by Thanushika
April 24, 2025 12:18 pm 0 comment

භාරධූර වෘත්තියමය වගකීම් රැසක් ඉටුකරමින් සිටින ඇය සාහිත්‍යකරණයට ද ඇලුම් කරන්නීය. විශ්වවිද්‍යාල අවධියේ සිංහල භාෂාව හා සාහිත්‍යය හදාළ ඕ කුඩා කල සිටම නිරන්තරයෙන් ඇගේ සිතට එන අදහස් කොළ කැබලි තුළ ලේඛනගත කරන්නට පෙලඹුණාය. සාහිත්‍ය කලාවට, ලේඛනයට ආසක්ත වූ ඇය නමින් අනුෂ්කා පතිරාජය. “හිතාදර” යනු අනුෂ්කාගේ නවතම යොවුන් නවකතාවයි. “හිතාදර” පිළිබඳත්, සිය ලේඛන කලා දිවිය පිළිබඳත් කතා කිරීමට ඇය මෙසේ සරසවිය හා සම්මුඛ වූවාය

ඔබේ පළමු නවකතාව “හිතාදර” ලිවීමට සිතුවිල්ල පහළවූ ආකාරය පැහැදිලි කළොත්….?

කොරෝනා සමයේදී මා අතින් නවකතාවක් ලියවෙනවා පන්නල ඥානප්‍රදීප පුස්තකාලයේ පිටුවට. (ජ්චජඥඕධධඬ පිටුවකට) ඒ පුස්තකාලයේ චමිලා දිල්හානි මෙනවියගේ ඉල්ලීමකට. ඒ නවකතාවට ලද ප්‍රතිචාර සමඟ මට නැවත ලියන්න හිතුණා. පාසල් සමයේත් මම නිසදැස් ලිව්වා. යම් යම් සිද්ධි මනසට ආවම ඒවා කොළයක කටුසටහන් කරගන්නා පුරුද්දක් මට කුඩා කල සිටම තිබුණා. දිනපොත කියනදේ අදටත් මම දැඩි සේ ඇබ්බැහිවුණු දෙයක්. පොතක් ලිවීම ගැන මනසේ අදහස තිබුණට එයට ඝෘජුව, පිළිවෙළකට සැකසීමට කාලයක් ගතවෙනවා. උසස්පෙළින් පසු විශ්වවිද්‍යාල සමය, රැකියාව, විවාහය, පවුල් ජීවිතය වැනි දේවල් හේතුවෙන් මගේ නිදහස් සිතුවිලි සීමා කිරීමකට ලක්වුණා. එහෙත් මට ඉලක්කයක් තිබුණා වයස 40 වෙද්දි නවකතාවක් ලියනවා කියලා. ඒවගේම චමිලා දිල්හානි මෙනවියගේ පෙරැත්ත කිරීමක් තිබුණා නවකතාවක් ලියන්න කියලා. පුස්තකාල පිටුවට ලියූ (මුද්‍රණය නොකළ) පළමු නවකතාවට ලද ප්‍රතිචාරත් සමඟ තමයි “හිතාදර” යොවුන් නවකතාව ලියන්න පෙලඹුණේ.

මෙහි යම් සත්‍ය සිද්ධියකට පරිකල්පනය එක්කර ලියවී ඇතැයි මට සිතෙනවා…..?

චමිලා දිල්හානි මෙනවියගේ ඉල්ලීම තිබුණත් මට ලියන්න වස්තුබීජයක් තිබුණේ නැහැ. ඔය අතරේ කාර්යාලයේ හිතවත්, හරිම අහිංසක මල්ලි කෙනෙක්ට සිදුවුණු ශෝචනීය සිදුවීමක් මට තදින්ම හිතට වැදුණා. ඔහු බස් එකේ ගමන් කරද්දි බ්‍රේක් පාරකට ලිස්සා ගිහින් වැටුණු අවස්ථාවේ ඔහුගේ අතට හසුව තිබුණේ එක්තරා වයසක කාන්තාවකගේ පශ්චාත්භාගය. එම සිදුවීමේදී ජනයා ඔහුව වැරදියට වටහාගෙන ඔහුට පහරදී තිබුණා. ඒ සිද්ධිය ඔහු කාර්යාලයේදී පැවසුවා. ඔහු එය සිතාමතා කළ දෙයක් නෙවෙයි. ඒ තරුණ මල්ලි හරිම අහිංසකයි වගේම හැමෝටම උදව් කරන කෙනෙක්, රූපශ්‍රීයෙන් අඩු කෙනෙක්. මට එකී සිද්ධිය ඉතා වේදනාකාරී සිදුවීමක් වුණා. ඉහත කී තරුණයාගේ සත්‍ය සිදුවීම හා වේදනාකාරී සත්‍යයන්ට මගේ පරිකල්පනය එකතු කිරීමක් සිදුකළා.

“හිතාදර” චරිත හඳුන්වාදීමේදී ඔබ සුවිශේෂී උපක්‍රමයක් යෙදුවාද…….?

මම සිතනවා මම එවැනි උපක්‍රම භාවිත කළේ නැහැ කියලා

මෙකී නවකතාව රචනයට ඔබ භාවිත කළේ උත්තමපුරුෂ දෘෂ්ටිකෝණය ද…..?

මට අවශ්‍ය වුණා කතාවේ චරිත ස්වාධීනව නිරූපණය කිරීමට. කතාව ඇතුළේ සිටින චරිතයත් එයා විසින්ම කතාව විස්තර කරනවාට වඩා කතාවේ පරිබාහිරව සිට චරිත නිරූපණය කිරීමට තමයි මට හැකියාවක් තිබුණේ. මම හිතන්නේ මම ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය භාවිත කළා කියලා.

පරිකල්පනය භාවිතයේදී එය කොතෙක්දුරට සාර්ථක වූවාදැයි සිතන්නේද….?

මම මෙහිදී කළු මුදල් පනත, 1970 ගණන්වල ජනතාවගේ සඟවා තිබූ මුදල්, බැංකු පද්ධතියට ගෙන්වා ගත් ආකාරය, මම පරිකල්පනය එක් කළා. මා සිතනවා මා යම් දුරකට සාර්ථක වුණා කියලා.

“මේ අහිංසක යෞවනයා ඔබට දෘශ්‍යමානය” යැයි ඔබට මෙහිදී සඳහන් කරනවා. ඉන් අදහස් කරනුයේ මෙකී තරුණයා අප අතරම සිටින අයකු කියාද…..?

මෙහි සමහර සිද්ධිවලට මා ඉහත කී තරුණයා තමයි විද්‍යමාන වෙන්නේ.

මෙහි යම් දේශපාලන කියවීමකට යෑමක් සිදුකෙරෙනවාද…..?

දේශපාලන පසුබිමක කතාව ගලාගෙනයාමක් විතරයි සිදුවන්නේ.

මීට පෙරත් ඔබ ග්‍රන්ථයක් සම්පාදනය කළා. එකී ග්‍රන්ථය පිළිබඳ හඳුන්වා දුන්නොත් ….?

විශ්වවිද්‍යාල සමයේ ලියූ කතාවක් මුද්‍රණය කරගත නොහැකිවුණා. කොළඹ විශ්වවිද්‍යාලයේදී සිංහල විශේෂවේදී උපාධිය දෙවන පෙළ සාමර්ථ්‍යයක් මට තිබෙනවා. එහිදී මට පර්යේෂණ නිබන්ධනයක් කළා. එය සාර්ථක නිබන්ධනයක්. ඒ කාලයේ අපි ඒවා ටයිප් කරගන්නේ වෙනත් තැනකට දීලා. අවසානය තෙක් එම ස්ථානයෙන්ම මුද්‍රණ කටයුතු කරගන්න සිදුවුණා. පර්යේෂණ නිබන්ධන 03ක් බයින්ඩින් කරගන්න වුණා. දෙවැනිවරට මට එය කියවගන්න බැරිවුණා. මා සිතුවා අක්ෂර වින්‍යාසය නිවැරදිව ඇති කියලා. එහෙත් අක්ෂර වින්‍යාසයේ දෝෂත් තිබුණා. මහාචාර්ය අනුර දිසානායක මහතා මට කතා කර කිව්වා, ඔයාට ඒ+ එකක් ගන්න තිබ්බ පර්යේෂණ නිබන්ධය. මුද්‍රණ දෝෂ නිසා ඒ මයිනස් එකක් දෙන්න වෙනවා කියලා. මට එහිදී කරගන්න දෙයක් තිබ්බේ නැහැ. මම කලකිරීමට පත්වුණා. සෑහෙන කාලයකට මට සිතට එන දේ ලිවීම තුළින් දුරස්වුණා.

පාසල් අවධියේත් ලේඛනයට ඇල්මක් දැක්වුවාද…..? එකල තරග සඳහා නිර්මාණ ඉදිරිපත් කර තිබේද ….?

කුඩා කාලයේ මගේ ඉදිරිපත්වීමේ සම්භාවිතාව අඩුයි. පෑනක් අතට අහුවුණොත් යමක් ලිවීමේ ගතියයි මට තිබුණේ. ඒ ලිවීම ගැන මගේ

ගුරුවරුන්, සමීපතමයින් දන්නවා. තරගවලට නම් මම ඉදිරිපත් වුණේ නැහැ. එකල සාහිත්‍ය තරග ලොකුවට තිබුණද කියා මතකයක් නැහැ. අවුරුදු 14දී අ.ත.ක.ස. (අගනුවර තරුණ කවි සමාජය) තුළින් මට කුසලතා සම්මානයක් ලැබුණා. එහිදී ප්‍රවීණ හිටිවන කවියකු වන අජිත් මහතා අතින් ඒ සම්මානය ගත්තේ. පාසල් සමයේ නවකතා, කෙටිකතා ලිවීම කළේ නැහැ.

මගේ පුරුද්දක් තමයි අතට අහුවෙන ඕනෑම අවස්ථාවක කොළයක යමක් ලියනවා. ඒ ලියන්නේ මගේ මනසේ මැවෙන කතන්දර. ඒවා හරි අපූරුවට ලියවෙනවා. ඒවා මගේ මිතුරු මිතුරියන් අදටත් අගයනවා

අනුෂ්කා පතිරාජ නමැති තරුණ ලේඛිකාවගේ භූමිකාව ඔබට දැනෙන්නේ කෙසේද ….?

මට කියන්න තියෙන්නේ කවුරු, කොහොම කිව්වත් පවුරු වළලු බැන්දත් නවත්වන්න බැහැ, හීනවලට අරන්‍ යන්න කෙටි පාරක් නැහැ. පාර දිගුයි. ඉවසීමෙන් මේ දිගු ගමන යා යුතුයි. මා සිතන්නේ අනුෂ්කා පතිරාජ කියන්නේ ඉවසීමෙන්, බොහෝ සෙමින් ගමනක් යන ශක්තිමත්, අභියෝග සරලව භාරගන්න මවක්. මාතෘ සෙනෙහස ඉදිරියේ අනෙක් සියලු දේ අලුයම ලූ කෙළපිඬක් සේ පමණයි

නවකතාකරණයට ඔබේ කැපවීම කොහොමද ….?

නවකතාකරණයට මට විශාල වශයෙන් සිතන්න වෙනවා. නවකතාව නිරායාසයෙන් මගේ මනසේ දෝලනය වෙනවා. මා සිතනවා මම නවකතාකරණයට තමයි දක්ෂ කියලා.

නවකතාව-කෙටිකතාව අතර වෙනස පිළිබඳ ඔබේ අර්ථකථනය කවරාකාරද ….?

මා දරන මතය නම් කෙටිකතාව, නවකතාවට වඩා කුඩා ප්‍රභේදයක් යන්නයි. එහෙත් මේ මාධ්‍ය දෙකම ව්‍යාජ ක්‍රියාවන්ගෙන් තමයි සමන්විත වෙන්නේ. මේ ක්‍රියාවන් දෙකෙහි අගයන් එකිනෙකට වෙනස් වෙනවා. නවකතා සහ කෙටිකතා යන මාධ්‍ය හෙවත් ප්‍රභේද දෙකෙහි ඊට ආවේණික වූ අගයන් තිබෙනවා. නවකතාව ගත්තොත් කේන්ද්‍රීයව කතාව පුළුල් පරාසයකට වර්ධනය කළ හැකියි. කෙටිකතාව මට හරිම සංකීර්ණයි. නවකතාවේ සහ එහි චරිත ඇතුළේ ලේඛකයා සදාචාරාත්මකව, මානසිකව බොහෝසෙයින් වර්ධනය වෙනවා. කතාව අතරතුර සිදුවෙන සිදුවීම් මනාව විස්තරාත්මකව නවකතාව තුළින් දැක්විය හැකියි. එහෙත් කෙටිකතාවේදී චරිතයක් පිළිබඳ අදහස් දෙන්නේ ඉතාම කෙටියෙන්. කෙටිකතාවට ඉබාගාතයේ යන්න බැහැ. සංයමයක් තිබිය යුතුයි. නවකතාව කියවද්දි වුණත්

සෞන්දර්ය බලපෑමට අඩුවක් නොවෙන්න අපට පුළුවන් කෙටි විරාමයක් තියලා නැවත විවේකයක් ගෙන කියවන්න. මගේ “හිතාදර” නවකතාව කියවූ අපේ දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරයෙක් කිව්වා එය දෙවරක්ම කියෙව්වා, ඒක තවත් වරක් කියවමින් ඉන්නේ කියලා. ඒ කියන්නේ කෙටි විරාමයක් තබා නැවත රසවිඳලා එහි සෞන්දර්ය බලපෑම අඩු නොකර නවකතාව කියවන්න පුළුවන්. කෙටිකතා සාහිත්‍යයේ කඩඉමක් සේ අපි සලකන්නේ ජී.බී.සේනානායක සූරීන්ගේ “දුප්පතුන් නැති ලෝකය’ කෙටිකතාවනේ. ප්‍රථම කලාත්මක කෙටිකතාව වශයෙන් “වෙසක් පහන” හඳුන්වන්න පුළුවන් . මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක, ගුණදාස අමරසේකර, කේ.ජයතිලක, මඩවල ඇස්. රත්නායක, නන්දසේන රත්නපාල වැන්නන් මේ ක්ෂේත්‍රය නියෝජනය කරනවා. විශේෂයෙන් ජී.බී. සේනානායක මහතාගේ කෙටිකතාවල අරපිරිමැස්මෙන් වචන තෝරාබේරාගෙන අතිශය නිර්මාණාත්මක ලෙස භාෂාව හසුරුවන්නේ. එසේ නිර්මාණාත්මක කෙටිකතා බිහිකිරීමට ඔහු සමත් වෙනවා. ඒක තමයි කෙටිකතාව කියන්නේ. නවකතා සාහිත්‍යයේදී “ගම්පෙරළිය” සමඟ සසඳද්දි යථාර්ථවාදී නවකතාවත් සමඟ සිංහල සාහිත්‍යය අත්වැල් බැඳගන්නවා. ඒ අතර ගුණදාස අමරසේකර, සිරි ගුණසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, කේ. ජයතිලක, ඇරැව්වල නන්දිමිත්‍ර, ජයසේන ජයකොඩි, එරික් ඉලයප්ආරච්චි, ජයතිලක කම්මැල්ලවීර යන ලේඛකයන්ද මේ මාර්ගයේ ගමන්ගන්නා පිරිසයි. නවකතාව සිදුවීම් මාලාවක් ඉදිරිපත් කරන්නේ. ඒ ඔස්සේ චරිත රැසක්ම සම්බන්ධිතයි. නවකතාවක් නිශ්චිත කාලයක හෝ විශේෂ මොහොතක හෝ පිහිටා රචනය වීමක් වන්නේ නැහැ

ඔබ වෘත්තියෙන් රාජ්‍ය සේවිකාවක්. රැකියා සහ ලේඛන දිවිය සමබරව ගෙනයෑම අභියෝගයක් වුණාද…..?

රාජ්‍ය සේවයටත් වඩා, මම ගෘහණියක් යන කාරණයේදී බොහෝ කාර්යබහුලයි . රාජකාරි වපසරියේදී ඉතා කාර්යබහුලයි. දරුවන් උස්මහත්වීමත්, රාජකාරි දිවියේ වසර ගණනක පළපුරුද්දත් මූලික කරගෙන මානසික සමබරතාව පවත්වාගැනීම මම කාලයත් සමඟ ඉගෙනගන්නේ. වයස සහ අත්දැකීම් අපව මුහුකුරායාමකට රැගෙන යනවා කියා මම සිතනවා….

ගුරුතත්හිලා ඔබ සලකන මෙරට සාහිත්‍ය ලොවේ විශිෂ්ටයන් කවුද…? ඔබ වඩාත් කැමැත්තක් දක්වන ලේඛකයෙක් සිටිත්ද….?

ඇත්තෙන්ම මගේ විශ්වවිද්‍යාල පර්යේෂණ නිබන්ධනය වුණෙත් “සිංහල නවකතාවට බලපෑ ජපන් සෙන් කතාවේ ආභාසය”. මට මතකයි මහාචාර්ය ලතා ගුරුසිංහ මහත්මිය, මහාචාර්ය අනුර දිසානායක මහතා මට මේ පර්යේෂණයට බොහෝ සේ උදව් කළා. ජපන් සෙන් කතා ආභාසය බොහෝසෙයින් වැලඳගෙන තිබුණේ ජයසේන ජයකොඩි සූරීන්.

මම අදටත් එතුමාගේ “අසත් ආරම්මණයන්ගේ ගැටෙන්නේ නෑ” ඒ කතා විලාසයට ලොකු කැමැත්තක් තිබෙනවා.

එකී විශිෂ්ට ලේඛකයන්ගේ ආභාසය ඔබේ ලේඛන කලාවට බලපෑම් කරන ආකාරය පැහැදිලි කරනවා නම් …….?

ලේඛනය මටම ආවේණික ශෛලියක් කියා මම සිතනවා. පාසල් කාලයේ ගුරුවරුන්ගෙන් පවා මාව ඇගයීමට ලක්වුණේ මම ලියන ක්‍රමය නිසයි. මගේ සමීපතමයන් ඒක දන්නවා. මම ජයසේන ජයකොඩි හෝ වෙනත් විදග්ධයන්ගේ ආභාසය ලබන්නේ නැහැ. මටම ආවේණික ක්‍රමයකට තමයි පෑන අතට ගත්තම මට ලියවෙන්නේ

මෙරට සේම විදෙස් ලේඛකයන්ගේත් ආභාසය සහ විදෙස් (රුසියන්, අමෙරිකාන්, ප්‍රංශ) නවකතාවන්හි ආලෝකය ඔබේ සාහිත්‍යකරණයට කොතෙක්දුරට ඉවහල් කරගන්නේ දැයි කීවොත්…?

කුඩා කාලයේදී “ගුරු ගීතය , අම්මා, පෙරළුණු නැවුම් පස” වැනි පරිවර්තන කෘති කියවා තිබෙනවා. ලියෝ තෝල්ස්තෝයි, මක්සිම් ගෝර්කි, ඇන්ටන් චෙකෝෆ්, චිංගීස් ආයිත්මාතව්” වැනි විශිෂ්ට ලේඛකයන්ට මම ගෞරව කරනවා. අදටත් මගේ නිවෙසේ තිබෙන කුඩා පුස්තකාලයේ මක්සිම් ගෝර්කිගේ “අම්මා” නවකතාව තියෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අවධියේ මිලදී ගෙන එය කියෙව්වට අද මගේ දරුවෝ තවම ඒ පොත කියවීම උනන්දුවක් නැහැ. එයාලා ඒක බලලා ලොකු වැඩියි වගේ දෙයක් තියනවා. විදෙස් පරිවර්තනවලින් මම බොහෝම කැමැතියි චින්තා ලක්ෂ්මි සිංහආරච්චිගේ “අපූගේ ලෝකය” ඇතුළු කතාවලටත් “ඇනා කැරනිනා” වැනි විශිෂ්ට කෘතිවලටත්. විදෙස් ලේඛකයන්ගේ ආභාසයක් මට නැතත් ඒ පොත්වලට මම ඉතා කැමැතියි.

සාහිත්‍ය තරග සඳහා “හිතාදර” ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවාද……?

“හිතාදර” නවකතාව කියවපු බොහෝ අය එම යෝජනාව මට කළා. සම්මාන උලෙළවලට ඉදිරිපත් කරන්න කියලා. තවම එයට අවස්ථාව ලැබුණේ නැහැ.

ඉදිරි ලේඛන කාර්යයන් පිළිබඳ යම් ඉඟියක් දුන්නොත්….?

මම හුඟක් කැමැතියි ළමයින්ට පොත් ලියන්න. ළමා සාහිත්‍යයට කැමැතියි. ළමුන්ගේ ලෝකය හරිම සුන්දරයි. ”හිතාදර” නවකතාවත් යොවුන් නවකතාවක්. ඉදිරියේදී ළමා කතන්දර කිහිපයක්, යොවුන් නවකතාවක් ලියන්න බලාපොරොත්තු වෙනවා

ඔබට මේ මොහොතේ සිහිපත් කළ යුතු පිරිසකුත් ඇති?

මගේ රාජකාරි ජීවිතය සමබර කරගන්න උදව් කරන මගේ ලේකම්තුමිය (ප්‍රාදේශීය සභා ලේකම්තුමිය) සුජීවනි ජයසිංහ මහත්මිය මේ අවස්ථාවේ සිහිපත් කරනවා.

 

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT