– නූතනයේ හොඳ කවි බිහිවෙනවා කවි භාවිතාවත් හොඳ මට්ටමක තිබෙනවා
– මිනිස්සුනට පැණි මුලක් ගැන මිහිරි හැඟීමක් තියෙනවා
පුරාතණයේ සිටම කවීන් සිය කවි වියමන් වඩා ආකර්ෂණීයව ඉදිරිපත් කරන්නට හපන්නු බව ඒ බොහෝ කාව්‍ය නිර්මාණ දකින විට වැටහේ. එබඳු කාව්‍ය නිර්මාණ එකතුවක් එළිදැක්වීමේ පෙරළියක් ඇති කරමින් පාඨකයන්ට නවතම කවි එකතුවක් පිළිගැන්වීමට නව නිර්මාණකරුවකු සමත් වී තිබේ.
පාමංකඩ පී. ධම්මික ද්‍රමේන්ද්‍ර නව කවියකු ලෙස ඉදිරිපත් කර ඇති පැණි මුලක ලියූ කවක් නම් කාව්‍ය එකතුව ඔහු පාඨකයාට ඉදිරිපත් කර ඇති ආකාරය අපූර්වත්වයක් සහිතය. මම නවීන ලෝකයේ රසවතුන් හට පැණි නොමැති, පැරැණි දෙය වෙනස් නොකර, කවි රසයක් එක් කරමින් ‘පැණි මුලක ලියූ කවක්’නමින් නවතම පර්යේෂණාත්මක නිර්මාණයක් දැක, කවි රසයක් විඳීමට සලස්වන්නෙමි. ඔහු සිය පූර්විකාවේ එලෙස සඳහන් කරයි.
‘පැණි මුලක ලියූ කවක්‘ පිළිබඳ කතා කරන මොහොතේ ඔබේ කලා දිවියේ ඇරැඹුම ගැන ප්‍රථමයෙන් කතා කරමු.
මගෙ කලා ජීවිතයට මේ වසරට වසර තිහක් සම්පූර්ණ වෙනවා. 1994 වර්ෂයේ දී වගෙ තමයි මගේ මුල්ම නිර්මාණයක් පුවත්පතක් ඔස්සේ පාඨකයන්ට දකින්න ලැබෙන්නෙ. ඒ අතරිනුත්, සරසවිය පුවත්පතේ ‘කවි සරසවිය’ පිටුවේ තමයි මගේ කවි නිර්මාණ වැඩිපුර ම පළ වුණේ. ඒකත් විශේෂයි.
ඒ අතරෙ මේ වගේ දෙයක් කරන්න ඕන කියන එක මට වෙනම හිතුණ දෙයක්. ඒ අනුව තමයි පැණිමුලක ලියූ කවක් කියන කාව්‍ය එකතුව ජනගත කරන්න හිතුවේ.
පැණි මුලක බහාලු කවි එකතුවක් පාඨකයාට පිළිගන්වන්න හිතුණේ ඇයි?
මේක කොළ පතකින් තැනූ පැණි මුලක ආකෘතියේ බහා පිළිගන්වන කවි එකතුවක්. ඇත්තටම ඒක අලුත් සංකල්පයක්. මා විශ්වාස කරනවා මින් පෙර එවැන්නක් සිදු වී නෑ කියා.
මේ සංකල්පයකම තමයි විශේෂ. මිනිස්සුනට පැණි මුලක් ගැන මිහිරි හැඟීමක් තියෙනවා. ඉතින් මට අවශ්‍ය වුණා ඒ මිහිරි හැඟීම තුළ මේ කවි එකතුවක් විදිහට පිළිගන්වන්න.
මේ කවි එකතුව මඟින් කුමනාකාර බලපෑමක් වේ යැයි විශ්වාස කරනවාද?
මානව ජීවිතයේ සෑම අවස්ථාවකටම අදාළ වූ මෙන්ම සොබාදහමේ සුවිශේෂ අවස්ථා ගැන මම මගේ කවිවලින් කතා කරනවා. ඉතින් ඒවා මිනිස්සුන්ට දැනෙනවා කියා හිතනවා.
කැලැමලේ කතන්දරේ
ආදර හැඟුම් සඟවාගෙන හිඳින රැය
ලස්සන දෙතොල් නා දල්ලක සැඟව ගිය
කම්මුල් දෙකෙන් මුව හසරැල් පාන ලිය
ලන්තෑරුමෙන් සොයනවා නුඹ අනන්තය
අමාවකට සඳ ගුවනේ සැඟ වුණාදෝ
පාලු ගතිය පැල තුළ රජ වුණාදෝ
පැල් රකින පි‍්‍රය හිමි සිහි වුණාදෝ
ආල වත්ත හිත ළඟ නැව තුනාදෝ
ඇතින් ඇසෙනවා ලස්සන සී පද රාවේ
ගොම්මන් අඳුරේ ආදර සිතුවිලි පැවේ
සේපාලිකා මල් සුවඳින් සෙනෙහස පිදුවේ
කැලැ මලට රොන් ගන්නට බඹරුන් නාවේ
රස්තියාදුකාර කවිකාරයාත් එබඳු ද?
රස්තියාදුකාර කවිකාරයා කියන්නෙ 1994 සිට 2004 දක්වා පුවත්පත්වල පළ වුණ මගෙ කවි එකතුව.
ඒවා එක ගොන්නකට ගෙන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන කාව්‍ය කෘතිය තමයි ‘රස්තියාදුකාර කවිකාරයා.’ එය ඉදිරියේදී එළි දකිවි.
ඔබේ කවි ප්‍රවේශය සිදුවන්නෙ කොහොමද?
පාසල් අවධියේදිමයි. මුල් යුගයේ නාට්‍යයට තමයි ටිකක් වැඩි නැඹුරුවක් තිබුණේ. කවියට යොමුවුණේ පසුකාලීනවයි.
ඔබ ගුරුකොටගත් කවීන් කවුද?
සුනිල් සරත් පෙරේරා, මහාචාර්ය සුනිල් ආරියරත්න ආදීන්ගේ කාව්‍ය නිර්මාණ ගැන මගෙ වැඩි අවධානයක් තිබුණ කියල මට හිතෙනවා.
ඔබේ කවි පෝෂණය කරගන්න උපයෝගී වන සාධක මොනවාද?
බොහෝ විට පොත පත ඒ වගේම පුස්තකාලය. මගෙ කවි පෝෂණයේලා සමීපතම සාධක තමයි ඒවා.
නූතන කවි භාවිතාව හා ඊට ඇති පසුබිම කොයි වගේ ද?
නූතනයේ හොඳ කවි බිහිවෙනවා. කවි භාවිතාවත් හොඳ මට්ටමක තිබෙනවා. විශේෂයෙන් නව නිර්මාණකරුවන්ගෙ.
ඔවුන්ට මාධ්‍යයෙන් ඉඩක් ඕන. හැබැයි මුහුණු පොත ප්‍රමුඛ සමාජ මාධ්‍යය ඔවුන්ට හොඳ තෝතැන්නක්. ඔවුන්ගේ නිර්මාණ කුසලතාව දියුණු කරගන්න. මුහුණු පොත තමාට වර්ධනය වෙන්නත් ඒ වගේම තමාව ලෝකයට හඳුන්වා දෙන්නත් හොඳම වේදිකාවක්. අපේ නිර්මාණ කොහේ හෝ පළ කරන්න ඕන. එහෙම වුණාත් තමයි ඒවා අවධානයට ලක්වෙන්නේ. ඒ වගේම ඊට වටිනාකමක් හිමි වන්නෙත්. ඒ නිසා අපේ නිර්මාණ පාඨක ඇසට යොමු කළ යුතුමයි.
සමුද්‍රිකා වර්ණකුල සේයාරූ - නිශ්ශංක විජේරත්න