Home » පාසල් සිසුන්ගේ හරවත් ප්‍රයත්නයක්

පාසල් සිසුන්ගේ හරවත් ප්‍රයත්නයක්

by Mahesh
January 9, 2025 12:30 am 0 comment

වත්මන් යෞවනයන් සිනමා ඇසුරකින් තොරව වෙසෙන්නේය යන්න සැබෑවක් නොවෙයි. ඔවුහු විකල්ප පිවිසුම් ඔස්සේ සිරිලක සිනමාව මතු නොව විදෙස් සිනමාවද දකිති. වරෙක් පෙනී යන්නේ පැරණි තාලයේ හා නව මාදිලියේ සිනමාශාලා සහභාගීත්වයට ඔවුන් එපමණ උනන්දු නොවන බවය. එහෙත් නවතම බටහිර හා ඉන්දියානු ආකර්ෂණීය සිනමාපට සිනමාශාලා ඇසුරෙන් දකින්නට මනාප යෞවන සිනමා රසිකයන් සිටින වග නොරහසකි. මෙයින් දත හැක්කේ වත්මන් සිරිලක යෞවනයන්ගේ සිනමා පෙම ඒකාකාර නොවන අන්දමය. වෙනස් වන තතු සමඟ එය අභිනව හැඩතල පෙන්නුම් කරන අන්දමය.

මේ පසුබිම විෂයෙහි අගනුවරින් බැහැර පෙදෙසක යොවුන් පාසල් සිසු පිරිසකගේ සිනමා නිමැවුමක් ‘රොකට්’ මැයෙන් සිනමාශාලා ගත වීම අරුමයක් දනවයි. ‘රොකට්’ පළමු කොටම සිනමාශාලා ප්‍රදර්ශනය ඉලක්ක කර ගැනීම උක්ත අරුමය තහවුරු කරන්නකි. සිනමාශාලාවක ප්‍රදර්ශනය කළ යුත්තේ කුඩා තිරයක ප්‍රදර්ශනයට උචිත නොවන චලන රූප පද්ධතියක්ය යන අදහස මේ සිසු පිරිස වටහාගෙන තිබෙන ප්‍රමාණය යම් සතුටක් දනවන්නේ පවතින ඇතැම් පසුගාමී ආකල්ප ඉන් අභියෝගයකට ලක් කරන හෙයිනි. තම වයසේ පසුවන්නන් සුදුසු සිනමාශාලා පහසුකම් නොමැති වීමද හේතුවක් කොට ගෙන සිනමාව හැර යාමට දක්වන කැමැත්ත සම්බන්ධයෙන් ඔවුන් සැලකිලිමත් වූයේ යැයිද සිතේ. ඇවැසි නම් මොවුනට රූපවාහිනිය බඳු කුඩා තිරයකට ගැළපෙන අන්දමේ නිර්මාණ කාර්යයකට අවතීර්ණ වීමේ අවස්ථාව තිබිණි. වෘත්තාන්ත සිනමාපටයක් නිමවීම අතිශය සංකීර්ණ ක්‍රියාවලියක අවසන් ඵලයකි.මේ සඳහා සැලකිය යුතු ධනයක්ද ඇවැසි වේ. ප්‍රදර්ශන කාර්යයද ගැටලුකාරීය. ඒ පසුපස හඹා යාම සිසුනට මුළුමනින්ම කළ හැකි කටයුත්තක් නොවේ. මේ තතු යටතේ සිනමාශාලා හැර යන යෞවනයන් ඇමතීමට ‘රොකට්’ කණ්ඩායම් ගත් උත්සාහය නොපමාව අගය කළ යුතුය.

‘රොකට්’ විවරණයට පැමිණිය යුත්තේ මෙය පාසල් සිසු පිරිසකගේ නිමවුමක්ය යන සැබෑව යටපත් නොකරමිනි. එහෙයින් වැඩිහිටි සිනමාව සතු විය යුතු නිපැයුම් ප්‍රමිතිය මෙතැනට කැඳවීම අනුචිතය. එහෙත් මේ සිනමාපටයක්ය යන කරුණ උද්දීපනය කිරීම නම් අවැසිම වේ. මෙහිලා අදියුරු දෙනුවන් සමරසිංහ ඇතුළු ‘රොකට්’ කණ්ඩායම අසමත් වීමේ සීමා අබිබවා යන අයුරු දක්නට පුළුවන. එනම් ‘රොකට්’ වෙතින් යම් වෘත්තීමය බවක් දත හැකි වීමය. සැබැවින්ම ‘රොකට්’ කණ්ඩායම ලද ඉහළම ජයක් වන්නේ මෙයයි. සමකාලීනව සිනමාශාලාවල ප්‍රදර්ශනය කෙරෙන අත්දැකීම් සහිත වූවන්ගේ සහභාගීත්වයෙන් යුතු ඇතැම් සිනමාපට හා සැසඳීමේදීද ‘රොකට්’ හි ප්‍රමිතිය පිළිබඳ අදහසක් සරි කර ගත හැකිය.

‘රොකට්’ හි එන විශේෂත්වයක් වනුයේ අසා පුරුදු, දැක පුරුදු බොහෝ දෑ එක් නොකිරීමට සිනමාකරු හා පිරිවර කටයුතු නොකිරීමයි.මෙයද සිනමාවේ පළපුරුදු අයවලුන් වෙතින් වෙනස් වන ස්ථානයකි. එසේම ප්‍රහේලිකා පන්නයේ ව්‍යාජ සබුද්ධික පිවිසුමක් සහතික කර ගැනීමටද මොවුහු වැර නොදරති. මෙයින් උපදින නැවුම් බව සිනමාපටය නරඹා අවසන් වූ පසුවද රසික ගතේ දැවටෙයි.

පළමු කොටම එන්නේ අන්තර්ජාතික තරගයක් සඳහා ආදර්ශ රොකට්ටුවක් නිර්මාණය කොට ඉදිරිපත් කිරීමේ සිසු ප්‍රයත්නයේ අවස්ථාය. දෙවනුව එන්නේ නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම නිසා සිදුවන හැලහැප්පීම්ය. මේ පුවත් ද්විත්වය එකිනෙකට දුරස්ථව නිරූපණය නොකිරීම සිනමාකරුගේ ජයකි. තේමාව හා පුවත් ද්විත්වයේ එකතුව සිනමාව මතු නොව අන් මාධ්‍ය ඇසුරු කරන්නවුනට අපූර්වත්වයක් ගෙන නොදේ. එනමුදු මේ යොවුන් සිසු පිරිසකගේ කර්යයක්ය යන හඳුන්වාදීම යටතේ එය ඉහළින් සලකා බැලීම සුදුසුය.

‘රොකට්’ හි වඩාත්ම අගය කළ යුතු අනුශාංගික අංග කිහිපය සම්බන්ධයෙන් සටහන් තැබීම ඇවැසිම වේ. මේ යටතේ කුසලතා දැක්වූ සිසුනට හා සෙස්සනට මීළඟ සිනමාවතරණය වඩා පහසු වනු ඒකාන්තය. සැබැවින්ම මෙබඳු ව්‍යාපෘතියක අරමුණ විය යුත්තේ සිනමාවේ අනාගත සමත්කම් සඳහා ප්‍රතිභාසම්පන්න පිරිස් සූදානම් කිරීමය.

කැමරාකරණ වගකීම දැරූ රුක්ෂාන් සංජය විජේසිරි, අංග රචනා වගකීම දැරූ ලෙව්වන්දි බිම්සරා හා පන්සිළුනි ආශිංෂනා , නුවන් නැමැති පළමු චරිතය නිරූපණය කළ නඳුන් දර්ශන පේමතිලක, ඔහුගේ පියාගේ චරිතය නිරූපණය කළ පාසලේ ආචාර්ය මණ්ඩලයේ චතුරංග ඒරාබැද්ද මෙහිලා සඳහන් කළ යුත්තෝ වෙති.

‘රොකට්’ විසින් ජය ගනු ලැබිය යුතුව තිබු අනුශාංගික අංග අතර පළමුවෙන්ම හමුවන්නේ තිරනාටකයයි. මෙය තාර්කික ලකුණු රහිතව පැවතියේ යැයි සිතේ. ඒ ඒ ජවනිකා අතර සබඳතා සහතික කරලීමට තිරනාටකය පිටිවහලක් ලබා නොදෙන තැන් සිනමාපටය ඇරඹුණු මොහොතේදීද දැකිය හැකිය. තිරනාටකය තුළ මෙම තතු නොවූයේ නම් සිනමාකරු දෙනුවන් වඩා සැහැල්ලුවෙන් කටයුතු කරන්නට ඉඩ තිබිණි. මෙතැනට සංස්කරණ කාර්යයද එක්කරලීම සහේතුකය. පාදක වන පුවත් ද්විත්වය අතර දෝලනය වීමේ වුවමනාව සංස්කරණයට හසු වන්නේ රසිකයා නොඉවසුම් අයකු බවට පත් කරමිනි.

සිනමාපටයේ සිනමාත්මක ලකුණු හසු වන්නේ සමීප රූප භාවිතයේදීයි. ඒ ඒ චරිත සතු ලකුණු මැනවින් දකින්නට මේ සමීප රූප මහෝපකාරී වේ. සිසු පිරිසගේ අපේක්ෂා, අපේක්ෂා භංගත්වය, මිතුරු සමාජය නිරූපණයට මෙයින් ලැබෙන්නේ අපමණ අනුප්‍රාණයකි. සෑම ජවනිකාවකම අදිසි ලෙසින් හෝ දත හැකි නුවන්ගේ චරිතය හසුරුවාලීමේදී සිනමාකරු දෙනුවන් පළ කරන සමත්කමද මෙතැනට ගළපා ගත යුතුය.

සිනමාපටයේ එන පළමු පුවත් ද්විත්වය නිරීක්ෂණයේදී පැහැදිලි වන දෙකරුණකි. පළමු වැන්න ආදර්ශ රොකට්ටුවක් නිර්මාණය කිරීමට අදාළවය. යොවුන් පාසල් සිසුන් සිය සීමා තුළ ලබන අත්දැකීම් මෙමඟින් කියැවේ. දෙවනුව එන මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු සිදුවීම් පෙළ දැක්වෙන්නේ යොවුන් පාසල් සිසුනට මදක් දුරස්වූවක් සේය.එහෙත් යම් නිර්භය විලාසයකින් මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ සඳහනකට අවකාශ සැලසී තිබේ. මෙයද අනාගතය උදෙසා කළ යම් පමණක ආයෝජනයක් බඳුය.

තුසිත ජයසුන්දර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT