නිවස සංවාද පාට කුරුල්ලෝ හැඩ කරන නිම්නාවිය

පාට කුරුල්ලෝ හැඩ කරන නිම්නාවිය

යොවුන් රංගන ශිල්පිනී පියුමාලි එදිරිසිංහ

by Thanushika
September 19, 2024 12:30 am 0 comment

සුන්දර රූ සපුවකට හිමිකම් කියන ඇය රූ කිරුළක් පැළැඳී සුන්දර යොවුන් රංගන ශිල්පිනියකි. 2016 දී ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය ලෙසින් කිරුළ දැරූ ඈ යොවුන් රංගන ශිල්පිනි පියුමාලි එදිරිසිංහයි. මේ දිනවල ටෙලි තිරය මත දිග හැරෙන පාට කුරුල්ලෝහි නිම්නාවි ලෙසින් රඟන්නේ ඇයයි.

ඇගේ රංගන ජීවිතයේ ඇරඹුමත් සමගින් ඈ සරසවිය කතාබහට එක් වූවාය.

මම ඉගෙන ගත්තෙ සපුගස්කන්ද විශාකා බාලිකාවේ. පුංචි කාලේ ඉඳන් මම කලාවට ආස කරපු කෙනෙක්. පොඩි පන්තිවල ඉඳන්ම පාසලේ කෙරුණු කලා කටයුතුවලට මම නිතර සම්බන්ධ වුණා.

පියුමාලිට ඇගේ රූ සපුව නිසා වාසනාව උදා වූයේ 2016 දීය. එයට හේතුව අවුරුදු කුමරියක ලෙස අභිෂේක ලබන්නට හැකි වූ නිසයි.

මගේ යාළුවෝ මට නිතරම කිව්වා ඔයාට නම් තියෙන්නේ ලස්සන රූපයක්. හැඩැති සිරුරක් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා පුංචි ආසාවක් ඇති වුණා අවුරුදු කුමරියක් හරි වෙන්න පුළුවන්නම් කියලා.

ඉතින් ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය සඳහා අයැදුම් කරන්න තීරණය කළා.

එම තරඟයේ තරගකාරී බවක් තිබුණා. ලස්සන තරුණියන් ඇවිත් හිටියා. ඒත් මට මං ගැන විශ්වාසයක් තිබුණා. මට යම්කිසි ස්ථානයක් ලැබෙයි කියන සිතුවිල්ල මගේ හිතේ තදින් පැළපදියම් වෙලා තිබුණා. ඒ අධිෂ්ඨානය ඇතුව මම තරගයට ඉදිරිපත් වුණා. අවසානයේ තියුණු තරගයකින් පසු මට රූපවාහිනී අවුරුදු කුමරිය 2016 කිරුළ පලඳීන්න හැකි වුණා. ඒක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා. මගේ ජීවිතයේ ආයෙත් අලුතින් ඇරඹුණා වගේ හැගීමක් මට ඇති වුණා.

අවුරුදු කුමරිය ලෙසින් අභිෂේක ලැබූ ඇයගේ ගමන් මග ඉන් පසු වෙනස් විය.

අවුරුදු කුමරිය වුණාට පස්සේ මට රඟපෑම සඳහා ආරාධනා ලැබුණා. ඒත් ඉගෙනීමේ කටයුතු වලට මුල්තැන දිය යුතු නිසා මම රඟපාන්න ලැබුණු අවස්ථා භාර ගත්තේ නැහැ. මම ඒ වෙනකොට පාසලේ ශිෂ්‍ය නායිකාවක් ඉතින් අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දිය යුතු නිසා මම ඒ පිළිබඳ තමයි උනන්දු වුණේ. 2016න් පස්සේ මම අවුරුදු පහක් පමණ නිර්මාණ කටයුතු භාරගත්තේ නැහැ.

පියුමාලි එදිරිසිංහ නම් වූ සුන්දර තරුණිය රූපවාහිනී ප්‍රේක්ෂකයින්ට දැක ගත හැකි වූයේ පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයෙනි. එය ඇයගේ කුලුඳුල් ටෙලි නාට්‍ය රංගනයයි.

මගේ යෙහෙළියක් ඉන්නවා නිරෝෂා රණසිංහ කියලා. එයා තමයි මාව හඳුන්වලා දුන්නේ පාට කුරුල්ලෝ නිෂ්පාදක චාමර සමරවික්‍රම අයියට. චාමර අයියා මට ආරාධනා කළා එම ටෙලි නාට්‍යයේ නිම්නාවි කියන චරිතයට.

මට මුලින්ම ඵජපඪනබ එක ලැබුණා. මම ඒක කියවගෙන යනකොට මට ආසාවක් ඇති වුණා ඒ චරිතය ගැන නිම්නාවි කියන චරිතයට මම ආස කළා. ඒ අනුව තමයි මම ඒ චරිතය බාර ගත්තේ. පාට කුරුල්ලෝ මගේ කුලුඳුල් ටෙලි නාට්‍ය රංගනය මුලින්ම ටිකක් බය හිතුණා කැමරාව ඉදිරියේ රඟපාන්න දෙබස් කියන්න. ඒත් පසුව ඒ බය නැතුව ගියා. පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණ එක මගේ වාසනාව.

පාට කුරුල්ලෝ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්න ජ්‍යේෂ්ඨ ශිල්පීන්ගෙන් මොනවගේ සහයක්ද ඔබට ලැබෙන්නේ?

මට ලොකු සහයෝගයක් ලැබෙනවා ඒ සියලු දෙනා මම තමයි එතන ඉන්න නවකයා. දර්ශන තලයට ගියාම මට ඕන ගුරුහරුකම් දෙනවා. මගේ චරිතය ගොඩනගා ගන්න ඕන කොහොමද කියල. මම රංගනය ගැන විශේෂ හැදෑරීමක් කරලා නැහැ. ඒත් පාට කුරුල්ලෝ නාට්‍යයෙන් මම මට අවශ්‍ය ගොඩක් දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන් රඟපෑම ගැන. මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා යම්කිසි අධ්‍යයනයක් පුහුණුවීමක් කරන්න. මගේ මේ මුල්ම ටෙලිනාට්‍ය කණ්ඩායමත් මට උදව් දෙනවා අඩුපාඩු හදාගන්න මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න ඕන නම් රංගනය ගැන හැදෑරීමක් කළ යුතුමයි.

පාට කුරුල්ලෝ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණාට පසුව තවත් ටෙලි නිර්මාණ ලැබුණද ඔබට?

ආරාධනා නම් තියෙනවා පාට කුරුල්ලෝ ටෙලිනාට්‍ය භාරගත චරිතයට උපරිම සාධාරණයක් කරන්න අවශ්‍ය නිසා ඒ රංගනය වෙනුවෙන් තමයි මම මේ දිනවල කැපවෙලා උනන්දු වෙලා ඉන්නේ.

පියුමාලි පාසල් සමයේ දක්ෂ නර්තන ශිල්පිනියක්. පාසලේ කාලයේ ප්‍රසංග වලදී ඇය කැපී පෙනෙන චරිතයක්. මම පාසල් යන කාලේ ඉගෙන ගත්තේ නර්තනය ඒ නිසා නර්තනය පැත්තෙන් මම නිර්මාණවලට දායක වෙලා තියෙනවා. පියුමාලි එදිරිසිංහ තවමත් අපට දැක ගත හැක්කේ ටෙලි තිරයෙන් පමණයි එහෙත් ඇය සිනමා නිළියක් ලෙසින් කවදා හෝ කලඑළි බසින්නට සූදානමින් පසු වන්නීය.

මට සිනමා නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. මම ලැබෙන පිටපත ගැන සැලකිලිමත් වෙනවා. මුලින්ම පිටපත බලලා ඒ චරිතය මට ගැලපෙනව නම් මගේ වයසට ගැළපෙනව නම් මම ඒ නිර්මාණය අනිවාර්යෙන් බාර ගන්නවා. ආසයි සිනමා නිළියක් වෙන්න.

පියුමාලිගේ කලා කටයුතු වෙනුවෙන් ඇගේ පවුලෙන් හොඳ සහයෝගයක් ලැබෙන බව පැවසුවේ අපූරු සිනහවක් ද මුවගේ රඳවා ගෙනය.

මම නිළියක් විදිහට කටයුතු කරන එකට පවුලේ අයගෙන් විරුද්ධත්වයක් නැහැ. මගේ අම්මා තමයි මට හැමදේමටම උදව් කරන්නේ. මගේ පිටුපසින් ඉන්නේ. මගේ තාත්තා යුද හමුදා නිලධාරියෙක්. තාත්තා හරි කැමතියි මම නිළියක් වුණාට තාත්තාගෙනුත් හොඳ සහයක් ලැබෙනවා මගේ හැමදේටම එයා හමුදා නිලධාරියෙක් වුණාට අපට නීති රීති දාලා නැහැ. මගේ පවුලෙන් මම විතරයි කලාවට සම්බන්ධ මට ඉන්නේ නංගිලා දෙන්නෙක්. මගේ පුංචි නංගි මට වඩා අවුරුදු 18ක් බාලයි. මගේ දෙවෙනි නංගිත් මට සහයෝගය දෙනවා.

පියුමාලී රංගන ශිල්පිනියක් පමණක්ම නොවේ. රඟපෑමට පෙර සිට ඇය මෝස්තර නිරූපණ ශිල්පිනියක්.

ඔව් මම රඟපාන්න එන්න කලින් ඉඳන් තමයි නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. මේ අවුරුදු දෙක ඇතුළත මම වෙළෙඳ දැන්වීම් තිහකට පමණ දායකත්වය සපයලා තියෙනවා.

ලෝකයේ ඉහළම පෙළේ නිෂ්පාදන සඳහා නිරූපණයෙන් දායක වෙන්න ලැබුණ එකට තියෙන්නේ නිහතමානී සතුටක්.

ඒ වගේම තමයි මම මියුසික් වීඩියෝ වලට රංගනයෙන් දායක වෙනවා. විශේෂ දෙයක් කියන්න තියෙනවා music video  සම්බන්ධව. මෑතකදී මම ඉන්දියාවේ නිපදවන මියුසික් වීඩියෝවක් සඳහා සම්බන්ධ වුණා. ඒ සියලු දෙයින්ම මගේ රංගනය වැඩිදියුණු කරගන්න පුළුවන් මට.

පියුමාලි එදිරිසිංහ ළාබාල රංගන ශිල්පිනියක්. එහෙත් කලාව වෙනුවෙන් ඇගේ උනන්දුව කැපවීම ඉතා ඉහළයි. ඇය රඟපෑමටම සීමා නොවුණු තරුණියකි පියුමාලි දැන් ව්‍යාපාරයක හිමිකාරියෙකි. ඒ පිළිබඳ ඇය සරසවියට කියන්නට අමතක නොකළාය.

මම රංගන ශිල්පිනියක් වුවත් මට හිතුණා ජීවිතේ ස්ථාවර කරගන්න ඕන කියන හැඟීම ඒ නිසා මම ඇඟළුම් ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරයක් පටන් ගත්තා. විශේෂයෙන් තරුණියන්ට ගැළපෙන විලාසිතා මන්දිරයක හිමිකාරියක් මම.

සුන්දර තරුණියක් ලෙස ජීවිතය ජයගන්නා ඇය රංගන ගමන ආරම්භ කළේ අවුරුදු කුමරියක් ලෙසින්ය ඈ ආ මඟ කෙටිය. එහෙත් යා යුතු දුර බොහෝය.

සමාජයට කැපීපෙනෙන ලද බොළඳ තරුණියක් නොවී ඇය තම ගමන මනා අවබෝධයකින් ගමන් කරන්නියකි. මම බලාපොරොත්තු වෙන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න රසිකයින්ට දැනෙන චරිත වලින් ඉදිරියට එන්න තමයි කැමති. දඟකාර තරුණියකගේ චරිතයක් රඟපාන්න ආසාවෙන් ඉන්නවා. ඒ සිහිනයත් සැබෑ වෙයි කියලා හිතෙනවා.

ඇගේ ඒ සුන්දර සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා. ඇගේ රුවින් ඇය බැබළෙන්නා සේම ඇගේ රංගනයෙන් ටෙලි තිරයත් සිනමා තිරයත් බබළවන්නට හැකි වේවා!

මගේ රංගන ජීවිතය ජය ගන්න උදව්කරන හැමදේනාටම ස්තුතියි. විශේෂයෙන් පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා සහ නිෂ්පාදක චාමර සමරවික්‍රම මහතාටත් මම ස්තූතිවන්ත වෙනව මාව නිම්නාවි චරිතය සඳහා තෝරා ගත්තට. ඒ වගේම පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වෙන සියලුම ශිල්පී ශිල්පිනියන්ට මම සුබ පතනව.

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT