Home » ප්‍රේක්ෂක-විචාරක අවධානය දිනූ දුටුගැමුණු

ප්‍රේක්ෂක-විචාරක අවධානය දිනූ දුටුගැමුණු

උද්දික ප්‍රේමරත්න

by Thanushika
June 26, 2025 12:30 am 0 comment

ඓතිහාසික පසුබිමක් සහිත රජරට පුරවරයේ අනුරාධපුරය ග්‍රාමයේ උපත ලද උද්දික ප්‍රේමරත්න කලා ලොවට අඩිතාලම තබනුයේ නළුවකු වශයෙන් නොව ගායකයකු වශයෙනි. ප්‍රකට සංගීත කණ්ඩායමක නිත්‍ය ගායන ශිල්පියකු ලෙස රසික සිත් ඇදබැඳගත් හෙතෙම ගායකයාගේ භූමිකාව තුළින් ක්‍රමක්‍රමයෙන් සිය රංගන හැකියාව ද උරගා බැලීය. 2005, 2006 වර්ෂයන් වනවිට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ආධුනික, නවක රංගන ශිල්පියකු ලෙස එක්වූ උද්දික ප්‍රේමරත්න සිය රංගන ශක්‍යතාව මනාව විදහා දක්වමින් ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයා අතර වඩාත් කතාබහට ලක්වන ජනප්‍රිය නළුවකු බවට පත්වීමට වැඩි කලක් ගතනොවීය. මොහු රංගනයට පැමිණි මුල් කාලයේ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ “සතර දෙනෙක් සෙන්පතියෝ” ටෙලිනාට්‍යයේ රංගනයේ යෙදෙමින් සිය රංගන වපසරිය නිර්මාණය කර ගැනීමට සමත්විය.

“අමන්දා, කප් සුවහස් කල්, එකගෙයි මිනිස්සු, සිල්ලර කාසි “ ආදී ටෙලිනාට්‍ය රැසකම එකදිගට රංගනයේ යෙදෙමින් පුංචිතිරයේ ස්ථාවරත්වයකට පැමිණීමට ඔහුට වැඩි කලක් ගතනොවුණේ උද්දික ප්‍රේමරත්න තුළ සැබෑ ලෙසම වූ රංගන හැකියාව හේතුවෙනි. පුංචිතිරයේ රසික ආදරය දිනාගනිමින් සිටියදීම උද්දික සිනමවට ද පාතැබීය. සනත් අබේසේකර අධ්‍යක්ෂණය කළ “මහින්දාගමනය” චිත්‍රපටයේ ඔහුගේ රංගනය එකල කා අතරත් කතාබහට ලක්විය. අනතුරුව ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ “මහරජ ගැමුණු “ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ දුටුගැමුණුගේ චරිතය තුළින් උද්දික පිළිබඳ සිනමා ක්ෂේත්‍රයේ ප්‍රේක්ෂක සහ විචාරක අවධානයට ලක්විය. 2016 වසරේ පැවැති 33 වැනි සරසවිය සිනමා සම්මාන රාත්‍රියේදී උද්දික ප්‍රේමරත්න “හොඳම නළුවා” සම්මානයට එම චිත්‍රපටයේම එළාර රජුගේ චරිතයට පණපෙවූ ජැක්සන් ඇන්තනී සමඟ නිර්දේශ වීම ඔහුගේ රංගනයේ සුවිශේෂී සංධිස්ථානයකි. 2024 වසරේ පැවැති 35 වැනි සරසවිය සම්මාන උලෙළේදී 2019 වසරේ ජනප්‍රියතම නළුවාට හිමි සම්මානය හිමිකර ගැනීමට ද ඔහු සමත්විය. පසුකාලීනව උද්දික, රූපවාහිනියේ මෙන්ම සිනමාවේ ද එක ලෙස දස්කම් පෙන්වමින් ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පියකු වශයෙන් නමක් හිමිකර ගැනීමට ඔහුට හැකිවිය.

සිනමා, රූපවාහිනී සම්මාන උලෙළයන් රැසකදීම ජනප්‍රිය නළුවාට හිමි ප්‍රේක්ෂක මනාප විශාල ප්‍රමාණයක් ලබාගැනීමටත්, ජූරි සම්මාන සඳහා නිර්දේශ වීමටත් ඔහු වාසනාවන්තයකු විය. චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ “ආලෝකෝ උදපාදි” චිත්‍රපටයේ වළගම්බා රජුගේ චරිතයත් , ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ “සමනල සංධවනිය” චිත්‍රපටයේ “වගීෂ” චරිතයත්, ජයන්ත චන්ද්‍රසිරිගේම “මිදුණු විශ්වය” චිත්‍රපටයේ කුසලතාපූර්ණ රංගනයත්, මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ “රෂ්” චිත්‍රපටයේ රංගනයත් උද්දික ප්‍රේමරත්නයන්ගේ සිනමා රංගනයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සනිටුහන් කළ හැකියි. රංගන ශිල්පියා, ගායකයා යන භූමිකා ද්විත්වය හැරුණුකොට උද්දික, නිවේදකයකු වශයෙන් ද කලා ක්ෂේත්‍රයේ ස්ථාවරයකට පැමිණ සිටියේය. “හිරු ස්ටාර් “ රියැලිටි වැඩසටහන ආරම්භයේ සිට කාලයක් පුරාම එහි නිත්‍ය නිවේදකයා වශයෙන් කටයුතු කළ මොහු අදටත් දෙස්, විදෙස් සංගීත ප්‍රසංගයන්හි ගායකයකු ලෙස රසික ප්‍රජාව තුළ ආදරය දිනාගනිමින් සිටියි.

 

සේයාරුව ශාන් රූපස්සර

 මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT