Home » ප්‍රහසන චරිතවලටම මම කොටුවෙලා නැහැ

ප්‍රහසන චරිතවලටම මම කොටුවෙලා නැහැ

රංගන ශිල්පිනී කුමාරි සේනාරත්න

by Thanushika
September 11, 2025 11:40 am 0 comment

වේදිකාව, සිනමාව, පුංචි තිරය ඇගේ රංගනයේ තිඹිරිගෙය වුවද ය ඈ අදත් අසීමාන්තිකව ආදරය කරනුයේ වේදිකාවට මේ වනවිට වේදිකාව ඔස්සේ ඉමහත් ජනපි‍්‍රයත්වයක් ලබාඇති ඈ පුංචි තිරයෙන් ද සිනමාවෙන් ද ඒ හා ජනපි‍්‍රයත්වයක් ලැබ ඇත්තේ ඇගේ රංග පෞර්ෂයේ සුවිශේෂී හැකියාවන් නිසාමය. මේ දිනවල දෙරණ නාළිකාව ඔස්සේ විකාශය වන සැලෙනා නුවන් ටෙලි නාට්‍යයේ ඉෂාරාටත් ප්‍රාර්ථනා ටෙලි නාට්‍යයේ පුර්ණිමාටත් ජීවය එක්කරන කුමාරි සේනාරත්න හා මෙලෙස කතාබහට එක්වෙමු.

වේිදිකාවෙන් රිදීතිරයෙන්, පුංචි තිරයෙන් නිරන්තර සබැදියාවක් ගොඩනඟාගෙන සිටින කුමාරිගේ මේ දවස්වල කලා තොරතුරු කොහොමද?

චිත්‍රපට තුනක විතර ෂුටින් ඉවර කරල දැන් ඒවායේ ඩබින් වලට සුදානම් වෙනවා. චංචල රේඛා. ඔබ මගේ සඳයි ටෙලි නාට්‍යවල ෂුටින් වලත් මේ දවස්වල යෙදිල ඉන්නවා. ඊට අමතරව මම රඟ පෑ සැලෙනා නුවන්, ප්‍රාර්ථනා ටෙලි නාට්‍ය දෙක මේ දවස්වල දෙරණ නාළිකාවේ විකාශය වෙනවා ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ.

රිදී තිරයේ මේ දවස්වල නැද්ද?

මම රඟ පෑ අර්ජුන කමලනාත්ගේ ‘දඩස්’ බුද්ධික ගුණසේනගේ සංක්‍රාන්ති චිත්‍රපට දෙක සියලු වැඩ ඉවර කරල ඉදිරියේදී තිරගත වෙන්න සුදානමින් තියනවා.

කුමාරි සිනමාවට එක්වන්නේ?

2013 වසරේ ටැංකියු බර්ටි චිත්‍රපටයත් සමඟ මේ වෙනකොට මම චිත්‍රපට දහයක විතර රඟපාල තියනවා. අර්ජුන කමලනාත් ගේ කුසල් චිත්‍රපටයේ රංගනයත් සමඟ තමයි මාව සිනමා පේ‍්‍රක්ෂකයන් අතර ජනපි‍්‍රය වුණේ.

ඔබ අසීමාන්තිකව ආදරය කරන වේදිකා රංගනය කොයි ආකාරයෙන් ද දිග් විජය ගමනක් බවට පත් කරගන්නේ?

ප්‍රසිද්ධ වේදිකාවට මම මුලින්ම පියවර තබන්නේ 2010 වසරේ මල්වඩම් අනවශ්‍යයි, රූ කඩ රාජ්‍ය, සාක්කි, රයිගමයයි, ගම්පලයයි. අලුත් හොරක් ඕනේ. එකට යටින්, දයාබර සොමී, සල්ලි අරන් හොරු ඇවිදින්, සුදු ඇදගෙන හොරු ඇවිදින් ආදී නාට්‍ය රැසක විවිධ නිර්මාණකරුවන්ගේ නිර්මාණ සඳහා රංගනය එක්කරලමින් වේදිකාවේ දිගු ගමනක් අරභනවා.

කුමාරි ප්‍රහසනාත්මක ගණයේ නිර්මාණ පමණක් රඟපාන නිළියක්ද?

නෑ මගේ ළඟ තෝරා බේරාගැනීම තිබෙනවා. නමුත් මම ප්‍රහසන නිර්මාණ තුළ කොටුවෙලා නෑ. මම චරිතාංග නිළියක් එකට යටින් – සුමනා, මල්වඩම් අනවශ්‍යයි, සිල්වියා, රූ කඩ රාජ්‍ය – බිසව, සාක්කි – පෙළෙති චරිත මම කියන දේට හොඳම උදාහරණ නිළියක් වුණාම එකම වපසරියකට කොටුවෙලා බෑ අපි විවිධ චරිත රඟපාන්න ඕනේ.

වේදිකාව වගේම පුංචි තිරයෙත් ඔබ පේ‍්‍රක්ෂක සිත් දිනාගෙන අවසන්

රැල්ල වෙරළට ආදරෙයි හි ඇනීටා, සැලෙන නුවන් හි ඉෂාරා ප්‍රාර්ථනා හි පුර්ණිමා පේ‍්‍රක්ෂක හදවත් වල මම කොච්චර ජීවත් වෙනවද කියල කියන්න හොඳම උදාහරණ.

මාධ්‍ය ත්‍රිත්වයේම හරඹ කරන ඔබ වඩාත් පි‍්‍රයතාවක් වේදිකාවට දක්වන්න විශේෂ හේතුවක් තියනවාද?

වේදිකාව කියන්නේ සජීවී අත්දැකීමක් ලබන්න පුළුවන් මාධ්‍යයක් අපි කරන දේට එහි ප්‍රතිඵලය ඒ මොහොතේම ලබන්න පුළුවන් මාධ්‍යයක්. වේදිකාව සජීවී මාධ්‍යයක් නිසා ඒ තුළ ඒ මොහොතේම ලබන්න තියන ප්‍රතිචාරය හරි ඉහළයි. මේ දේ ටෙලි නාට්‍යයකින් චිත්‍රපටයකින් ලබන්න බෑ. ඒක කරල ඉවර වෙලා ප්‍රචාරයක් වුණාට පස්සේ තමයි එවැන්නක ප්‍රතිචාර අපේක්ෂා කළ හැකිවන්නේ එතකොට කාලයක් ගිහින් ඉවරයි. නමුත් වේදිකාව තුළ ලබන ඒ පේ‍්‍රක්ෂක ප්‍රතිචාරය තමන් කළ රංගනයේ ඊළඟ දර්ශනයට අඩුපාඩු හදාගන්න හොඳ අවස්ථාවක්.

කුමාරි පවසන වේදිකා පෙම් පලහිලව්ව තාවකාලික දෙයක්ද?

නෑ. කොහෙත්ම නෑ. මම හැමදාම වේදිකාවට ආදරෙයි මම හැදුණෙත් වේදිකාවෙන් මම මුල්ම ජනපි‍්‍රයත්වය ලැබුවෙත් වේදිකාවෙන් මට මුල හොදට මතකයි. මම දන්නවා වේදිකාවෙන් අපිට ලබන්න පුළුවන් දැනුම අති විශාලයි. මම උඩට නැග්ගේ වේදිකාව කියන ඉනිමගේ. මේ මට නගින්න උදව් කළ ඉනිමඟට පයින්ගහන කෙනෙක් නොවෙයි කුමාරි සේනාරත්න.

වේදිකාවට පෙම් කරන ඔබට ටෙලි නාට්‍යයක් චිත්‍රපටයක් සඳහා හදිසියේ හෝ ආරාධනයක් ආවොත් වේදිකා නිර්මාණය අතහරිනවද?

කොහෙත්ම නෑ. අදටත් මම වේදිකා නිර්මාණයක් භාරගෙන කටයුතු කරනවා නම් මට මොන ආකාරයෙන් ආරාධනයක් ලැබුණොත් ඒ නිර්මාණය අතරමඟ දමල ගහල පැනල යන තුට්ටු දෙකේ වැඩ මම කරන්නේ නෑ. වේදිකාවේ ෂුටින් නැති දවසක මම අනෙක් මාධ්‍ය දෙකේ නිර්මාණ සඳහා දායකවෙනවා. අඩුම තරමින් වේිදිකා නාට්‍යයක රිහසල් එකක්වත් මඟ හරින්න මම වෙන නිර්මාණයක්වත් භාරගන් නෑ.

ටෙලි නාට්‍ය රංගනයේ ඔබේ රංගනයේ වෙනස්ම අත්දැකීමක් අත්විඳි නිර්මාණත් ඇති?

අනිච්ජාවත සංඛරා, සිටුවර පුවත, ටෙලි නාට්‍ය රංගනය පේ‍්‍රක්ෂකයා මගෙන් වෙනස්ම ආකාරයේ රංගනයක් දුටු අවස්ථාවක්.

කතාබහක් තියනවා කුමාරි සේනාරත්න නමට වඩා පේ‍්‍රක්ෂක ප්‍රජාව අතර ඇනීටා නමින් ප්‍රසිද්ධයි කියලා

ඒ කතාවත් බොරුවක් නොවෙයි. හුුගක් පිටපලාත්වලට ගියහම මට ගොඩක් අය කතා කරන්නේ ඇනීට කියල රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ ඇනීට නේද මේ කියල අත්දෙකෙන් අල්ල ගත්ත අවස්ථාත් තියෙනවා. මම චරිතයේ ස්වරූපයෙන් නොවූවත් පාර තොටේදී බස් එකේදී හඳුනගත්ත අය බොහෝවිට අපෙන් අහන්නේ කරපු චරිතයේ මතකයන් තුළ ඉදිමින් සමහරු හිතනවා අපේ පෞද්ගලික ජීවිතයත් අපි කරන චරිත වගේ කියලත්.

කුමාරි සේනාරත්න රඟපාන්න ගිහින් පානදුරේ පැත්තේ ගෑනු කටිට්යකින් ගුටි නොකා බේරලා තියෙන්නේ නිෂ්පාදක කණ්ඩායමේ මැදිහත් වීමෙන් කියල ආරංචියක් තියනවා මේක ඇත්තද?

ඇත්ත. ඇත්ත. මේක සිද්ධ වුණේ පානදුර බස් නැවතුම්පළේ ප්‍රසන්න ප්‍රදීප් කුමාර අධ්‍යක්ෂණය කළ පිපෙන සිහින ටෙලි චිත්‍රපටයේ ෂුටින් වලදී තමයි මේ අකරතැබ්බය සිද්ධ වුණේ. මේ දර්ශනයට පෙනී හිටියේ මාත් සමඟ සශිකා මාරසිංහ සංජුල දිවාරත්න මේකෙ තිබුණ තවත් විශේෂත්වය තමයි සංජුල දිවාරත්න මගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා අපි දෙන්නට මේ දර්ශනයේදී එකට රඟපාන්නත් තිබුණා. කතාවේ හැටියට සශිකාගේ ස්වාමි පුරුෂයා සංජුල මගේ චරිතෙ හැටියට සංජුල මගේ අනියම් පුරුෂයා දර්ශනය රූපගත කිරිම තිබුණේ පානදුර බස් නැවතුම් පොළේ මම මගේ අනියම් පෙම්වතා වූ සංජුලගේ අතේ එල්ලිලා කෙලිලොලින් පාරේ ඇවිද ගෙන ආවා. මේ සීන් එක දකින සංජුලගේ නිත්‍යානුකුල බිරිය සශිකා කේන්තියෙන් අපි දෙන්නා ළඟට කඩා පැනලා මට දිගට හරහාට ගහනවා. අතින් පයින් ගහගන්නවා. කෙහෙවලු පටලවාගෙන එකම කලබැගෑනියක් දර්ශනය රූගත කෙරෙනවා. ඔය අතරේ බස්ටෑන්ඩ් එකේ හිටිය ගැහැනු කීප දෙනෙක් අපේ රංඩුවට පැනල දිගට හරහට මට බැන වදින්න වුණා පවුල් කඩන ගැහැනියක් තොට හොඳක් වෙන්න එපා. තොට මිනිස්සු නැතුව මේ අහිංසක ගෑනිගේ මිනිහ උදර ගන්න හදන්නේ කියල කොහොම හරි මේ ගෑනු කට්ිටියගෙන් මාව බේරගත්තේ අපේ නිෂ්පාදක කණ්ඩායම ඒ අය නොසිටින්න මට සශිකගෙන් විතරක් නොවෙයි. අහක හිටිය ගෑනුන්ගෙනුත් හොඳට පාරවල් ටිකක් කන්න තිබුණා.

ඔබේ ස්වාමි පුරුෂයාත් සමඟ එකට රඟපාන්න තව අවස්ථාව එහෙම උදාවෙලා තිබුණාද?

ඔව්. ටෙලි නාට්‍ය කීපයකට අපි දෙන්නට එකට රඟපාන්න ලැබිල තියනවා.

ඔබ ආ ගමන් මඟ දෙස ආපසු හැරිල බලනකොට මොනවගේ හැඟීමක්ද ඔබට දැනෙන්නේ?

මෙතෙක් මට ලැබුණු නිර්මාණ වල ලැබුණු චරිත එක්ක මම ජිවත් වුණා. ඒ රඟ පෑ නිර්මාණ විකාශයත් සමඟ මට ලැබුණු පේ‍්‍රක්ෂක ප්‍රතිචාර අනුව මට හැඟී ගියා මම ඒ ලැබුණු චරිත වලට ඉහළ සාධාරණයක් කරල තියනවා කියලා.

චරිත ලැබුණාම තව දුරටත් ඔබේ සිතේ ආශාවක් ඇති නොලැබුණු චරිත ගැන?

මම බොහොම ආශාවෙන් හිටියා. කලක් කන්‍යා සොයුරියකගේ චරිතයක් කරන්න. ඒ අවස්ථාව මා නොසිතූ මොහොතක උදාවුණා. බුද්ධික ගුණසේකරගේ සංක්‍රාන්ති චිත්‍රපටයේ තවත් මගේ ආශාවක් තියනවා මෙහෙණින් වහන්සේ කෙනෙක්ගේ චරිතයක්. මීට කලින් ඒවැනි චරිතයක් මට ලැබිලා ඒ දේ කරගන්න බැරි වෙලා මගෙන් ගිලිහිලා ගියා. මම කවදහරි දවසක් ඒ ගිලිහි ගිය මෙහෙණින් වහන්සේගේ චරිතය මට ආයෙත් මොන නිර්මාණයකින් හරි ලැබෙයි කියල බලාපොරොත්තු දල්වාගෙන බලා සිටිනවා.

අද වෙනකොට කුමාරි නිර්මාණ හොයාගෙන යන නිළියක්ද? එසේ නොවන්නේ නම් නිර්මාණකරුවෝ කුමාරි හොයාගෙන එන වටපිටාවක්ද තියෙන්නේ ?

මම මේ කලා ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහලොවක් විතර වෙනවා. මේ කාලය පුරාවට මම කවදාවත් මට චරිතක් දෙන්න කියලා. නිර්මාණකරුවන්ගෙන් ඉල්ලා සිටලා නෑ. මාධ්‍ය ත්‍රිත්වයෙන්ම නිර්මාණකරුවෝ මෙහෙම චරිතයක් තියනවා. කැමතිද භාරගන්න කියල විමසීමක් කරල ලැබුණු චරිත විතරයි. මම මේතාක් කරල තියෙන්නේ.

මම කවුරුවත් කපාගෙන එන්න කවදාවත් උත්සාහ අරගෙන නෑ. වේදිකා නාට්‍යයක වුණත් දීර්ඝ කාලයකට පස්සේ නළු නිළියෝ වෙනස් වෙනවා. ඒ වෙලාවකදී මට කවුරුහරි කරපු චරිතයකට කතා කළොත් මම එවැනි චරිතයක් බාරගන්නේ මුලින් චරිතය කරපු කෙනාට කතා කරලා ඒ චරිතයෙන් යන්න හේතුව දැනගෙන ඒ චරිතය කළ කෙනාගේ කැමැත්ත ඇතුව මිසක් මම නිර්මාණකරුවෙක් කතා කළ පමණින් තව කෙනෙක්ගේ කැරැන්ටර්යක් මම කොහෙත්ම භාරගන්නේ නෑ.

ඔබේ පවුලේ පසුබිමක් සමඟින් කලාවට අවතීර්ණ වීමක්ද? ඔබේ රංගන චාරිකාව තුළ තියෙන්නේ?

නෑ. මගේ කවුරුත් කලාවට සම්බන්ධ නෑ. පාසල් යන කාලයේවත් මම වේදිකාවට ගොඩවුණේ නැති කෙනෙක් කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ මම ඉගෙන ගන්න කාලේ වුණත් කිසිම කලා කටයුත්තකට දායක වීමක් කළේ නෑ. පාසල් අධ්‍යාපනය අවසන් කරල ගෙදරට වෙලා ඉන්නකොට අපේ ගෙවල් කිට්ටුව හිටිය රුක්මණී දේවි උපහාර උත්සව සංවිධායනය කරන නුවන් විජය ශ්‍රී අයියා දවසක් මට කතා කරල මම ප්‍රවේශමෙන් කියල වේදිකා නාට්‍යයක් කරනවා කැමැති ද රඟපාන්න කියල මට කිව්වා. අයියේ මම රඟපාන්න දන්නෑ කියල ඒත් අයිය කිව්වා අපි පුළුවන් ද බැරිද කියල කරල බලමු කියලා. ඒ ආරාධනයට තමයි මම මුලින්ම රඟපෑමට එන්න හිතුවේ.

වේදිකා රංගනය ඔබ හාපුරා කියල පටන් ගන්නේම ප්‍රධාන චරිතයකින්වීමත් සුවිශේෂයි නේද?

නුවන් විජය ශ්‍රී ගේ ප්‍රවේශමෙන් නාට්‍යයේ වාසනා කියන ප්‍රධාන චරිතය තමයි මම මුලින්ම රඟපාන්නේ. ඊට පස්සේ චන්ද්‍ර ශ්‍රී වික්‍රමගේ රතු එළිය – බියුලා චරිතය. සජීව මල්මාල ආරච්චිගේ රොම්බ තෑන්ක් තරුණියකගේ චරිතය මේ රඟපෑම දකින ප්‍රියන්ත රංජන් මල්වඩම් අනවශ්‍යයි. නාට්‍යයේ සිල්වියා චරිතයට මාව ගන්නවා. ඊට පස්සේ තමයි හවුසොෆ් ඩ්‍රාමා ජුඩ් ශ්‍රිමාල්ගේ නාට්‍ය නිෂ්පාදන සඳහා දායක වීම ආරම්භ වෙන්නේ…

වාසනා චරිතය ප්‍රධාන චරිත සමඟින් ඔබට වාසනාව ගෙන එන අතරේ නාට්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයන් ඇසුරේ ඔබට පෝෂණය වන්නත් අවකාශ උදාවෙනවා නොවේද?

සරත් කුලාංග, විජය නන්දසිරි, කුමාර තිරිමාදුර,වසන්ත විට්ටච්චි වගේ දැවැන්තයන් සමඟ වැඩකරන්න ලැබීමත් සමඟ මට ඔවුන්ව රංග පාසලක් වෙනවා. මේ ප්‍රවීණ ඇසුර මට මගේ රංගනය ඔපවත් කරගන්න මහා ශක්තියක් වෙනවා. ඔවුන්ගේ මඟපෙන්වීම් දැනුම්වත් කිරීම් මට මේ ගමනේ යෝධ ශක්තියක් එක්කරලනවා. ඔවුන් පිළිබඳ ගෞරවයක් වටිනාකමක් මට දැනෙනවා වගේම එවැනි අයගේ මාර්ගෝපදේශය මේ තාක් එන්න මට මහා රැකුලක් ගෙන දුන්නා.

වේදිකාවෙන් ඔබේ ආගමනය සිද්ධ වෙන්නේ සිනමාවට ද පුංචි තිරයට ද?

පුංචි තිරයට වේදිකාවේ දැවැන්තයන් හා හරඹ කරන මම ඔවුන්ගේ හඳුනාගැනිම් මත තමයි මාව පුංචි තිරයට එක්කගෙන යන්නේ ගිහාන් රෝහණගේ බත් අම්මා ටෙලි නාට්‍ය තමයි මගේ මුල්ම ටෙලි නාට්‍ය, කොරළ වැල්ලේ තමයි ෂුටින් කළේ. අමිල අබේසේකරගේ පෙම්වතියගේ චරිතය තමයි මට කරන්න තිබුණේ. වේදිකාව තුළ මම රංගනය පිළිබඳ ලබා තිබු අත්දැකීම නිසා මට කැමරාව ඉදිරියේ රඟපෑම ගැටලුවක් වුණේ නෑ.

මේ වනකොට කොපමණ ටෙලි නාට්‍ය ප්‍රමාණයක රංගනයන් එක් කරල තියනවද?

ටෙලි නාට්‍ය හතළිහක පමණ මම රඟපාල තියනවා.

පුංචි තිරයේ ඔබේ ටෙලි රංගනය උරගා බැලූ අධ්‍යක්ෂවරුන් අතරේ සුවිශේෂී චරිතත් ඇතිනේද?

ත්‍රිෂුලදීප තඹවිට, තුසිත ද සිල්වා, හර්ෂ උඩකන්ද, ශ්‍රියන්ත රත්නායක, නිවන්ත ප්‍රසාර මේ වගේ අයත් එක්ක මට බොහොම සුහදව ගෞරවාන්විත විදියට අපේ ගෞරවයන් රැක ගෙන කටයුතු කරන්න ලැබිල තියනවා. බොහෝවිට ඒ ගෞරවාන්විත බැදීම නිසාම සමහරවිට ඔවුන්ගේ අලුත් ටෙලි නිර්මාණ සඳහාත් අවස්ථාව උදාවෙන අවස්ථා තියනවා.

වසර පහළොවක අත්දැකීම් ලැබු ශිල්පිනියක් ලෙස මේ ක්ෂේත්‍රයට එන නවකයන්ට දෙන පණිවිඩය මොකක්ද?

මේක හරි සුන්දර කලාවක් ලෝකයක් ආදරය කරන කලාවක්. ඒ කට එන අපිත් දැනගන්න ඕනේ ඒ ආදරය දිනා ගෙන රැකගන්න. සදාකාලිකව අපි මිනිස්සුන්ගේ හිත් තුළ ඉන්න ඕනේ. නිහතමානී ගුණය විශේෂයි. ඒ දේ අද මේ ක්ෂේත්‍රයට එන අය තුළ අඩුයි. අද මේ ක්ෂේත්‍රය ගැන ලබාගන්න තියන දැනුම් පරාසයන් වැඩියි. අඩුම තරමින් ක්ෂේත්‍රයට එන්න කලින් වේදිකාවෙන් හරි යම් දැනුමක් ලබා පැමිණියොත් ඒක දිගු ගමනකට හොඳ මුලාරම්භයක් කියන දේ මම අත්දැකීමෙන් ලබාගත්ත දෙයක්.

තිබ්බා ගැහුවා ටෙලි නාට්‍ය තනන කාල වකවානුවක හරි හමන් පිටපතක් නැතුව පවා නිර්මාණ හැදෙන වටපිටාවක ඔබත් පිටපතක් නැති නිර්මාණ සදහාත් දායක වීමක් කරනවද?

කොහෙත්ම නෑ. මට රඟපාන්න පිටපත ඕනේ. පිටපතක් කියවල චරිතය අවබෝධ කරගන්නැතුව කොහොමද රඟපාන්නේ. කරන වැඩට හරි සාධාරණයක් කරන්ටනම් ඒ චරිතය ගැන හොඳ අධ්‍යයනයක් තිබිය යුතුයි. ෆොන් එකට සීන් එක ආවට මම කරන්නේ නෑ. හැබැයි මම අදත් සතුටු වෙනවා මට ලැබුණු හැම නිර්මාණයක්ම ලැබුණේ පිටපතක් සමඟ රංගනය කරන කෙනා සීන් එකත් දැනගන්න ඕනේ අපි ඒ සීන් එක කැපෙන තැනත් දැනගන්න ඕනේ.

අද සමහරුන් කලාවට එන්නේ සීමා මායිම් දාගෙන?

එහෙම අයත් ඉන්නවා කියල ඔවුන්ගේ කතා බහතුළ දකින්න තියනවා. මම නම් කියන්නේ කොයි මාධ්‍යතුළත් අත්දැකීමක් ලබන්න එක දේකට කොටු නොවී. සිනමාව පමණක් කියල වේදිකාවට පය නොතියා ඉන්න එපා. රිදී තිරයේ අපි දකින ඒ දැවැන්ත කම හා සමානයි වේදිකාව උඩ අපි සජීවීව කරන රංගනයත්.

රංගවපසරිය තුළ ඔබට අමතක නොවන චරිතත් ඇති?

එහෙම අය කීප දෙනෙක්ම ඉන්නවා. ඒ අතරින් කෙනෙක් තමයි අජිත් මෙන්ඩිස් නිර්මාණයක් කරන්න යනවා නම් නංගි මම මෙහෙම දෙයක් කරන්න යනවා. ඔයාට මේ දවස්වලට දින තියනවද කියල අහල ඒ නිර්මාණයන්ට දායක කරගන්න තරම් නිහතමානී වීමක් දකින්න තියන කෙනෙක්.

අද කුමාරි වෘත්තියෙන් රංග ශිල්පිනියක් පමණක්මද?

මම වෘත්තියක් හැටියට රංගනයේ නියැලෙනවා. ඊට අමතරව මගේම කියල කොස්මැටික් ව්‍යාපාරයක් බත්තරමුල්ලේ කරගෙන යනවා. කෝරෝනා කාලයේ අපිට රඟපාන්න තිබුණු ඉඩකඩ බොහෝ සේ ඇහිරුණා. ඒ මතම යැපීම අපහසු වුණ නිසා මම ව්‍යාපාරයක් කරන්න යොමුවුණා. දැනට අවුරුදු අටක විතර කාලයක් මේ ව්‍යාපාරයේ කටයුතු කරමින් ඉන්නවා. මට ඕනේ කාටවත් කරදරයක් නැතුව ජිවත් වෙන්න. මගේ අදහසක් තියනවා තවත් මේ වගේම තවත් තැනක කුමාරි කොස්මැටික් ආයතනයක් ආරම්භ කරන්න. වෘත්තියක් හැටියට රංගනයේ නියැළීම මත තමයි මම මටම කියල කාර් එකක් ගත්තෙත් ඒ වේදිකාවෙන් මට ලැබෙන මුදල් වලින් එතැනදී මට ගැරන්ට් කෙනෙක් විධියට ලිපි වලට අත්සන් කරන්නෙත් විජය නන්දසිරි අයියා. මල් වඩම් අනවශ්‍යයි නාට්‍යයෙන් තමයි මම මුලින්ම විජය නන්දසිරි අයියාව හඳුනගන්නේ.

පවුලේ තොරතුරු කොහොමද?

මගේ සැමියා සංජුල දිවාරත්න, ඔහුත් කලාවට සම්බන්ධ රංගන ශිල්පියෙක්. ඔහුව මට හම්බවෙන්නෙත් කලාව නිසා. නුවර එළියේ සිංදුවක් විෂුවල් කරගන්න ගිහින් තමයි මුලින්ම සංජුලව මට මුණ ගැහෙන්නේ. කීර්ති රත්නායක ගේ කැරොකි ස්ටයිල් එකේ සිංදුවකට තමයි අපි දෙන්නාට රඟපාන්න තිබුණේ. ඒ සිංදුවේ කපල් එක අපි දෙන්නා ඊට පස්සේ මගේ ජිවිතයේ සහකරු වුණා සංජුල මම ඔහුට සහකාරිය වුණා. සංජුල 2012 ලෝක විනාශය කියල වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. ඒ වගේම සිත් නමින් ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා, එයා දැනට නිව්ලින්ක් නමින් යුටියුබ් චැනල් එකකුත් කරගෙන යනවා. අපි දෙන්නා සහයෝගයෙන් වැඩ කටයුතු කරගෙන අපේ ගමන අපි යනවා.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT