අත්දැකීම් බහුල සම්මානනීය වේදිකා නාට්‍ය නිර්මාණකරුවකු හේමන්ත ප්‍රසාද් සිය නවතම වේදිකා නිර්මාණය සමඟින් මේ දිනවල ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙයි. සෙල්ලන් ද කොල්ලෝ නවතම වේදිකා නිර්මාණය සමඟින් ප්‍රේක්ෂකයන් හමුවන ඔහු සිය නව නාට්‍ය නිර්මාණය සේම සිය නිර්මාණ ජීවිතයේ තොරතුරු පිළිබඳ ද කතා කළේ මෙලෙසිනි.
මේ දිනවල බොහෝ දෙනෙක් කතාබහ කරන ඔබේ අලුත් ම වේදිකා නිර්මාණය පිළිබඳ මුලින්ම කතා කරමු
මේක ප්‍රහසන නාට්‍යයක්. ‘ සෙල්ලන් ද කොල්ලෝ ‘ වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නෙ මේ අවුරුදු විස්සකට පස්සෙ. ඒ අතරතුර කාලයේ නිහඬව හිටියා නෙවෙයි ගොඩක් වැඩ කටයුතුවල නිරත වුණා.
එකක් තමයි ලෝරන්ස් ගෙ මනමාලි නාට්‍යයේ පිටපත රචනය. ඒ වගේම මම වසර දහයක් ඊට රංගනයෙනුත් දායක වුණා. ඊට අමතරව මම වැඩි කලක් විදෙස්ගතවත් පදිංචිව ඉන්න නිසා ලංකාවෙ මෙගා නාට්‍යවලට මම දැන් වැඩිපුර දායක වෙන්නෙ නෑ.
ඉතින් මේ කටයුතු කරන අතරෙ මට අවශ්‍ය වුණා වේදිකා නාට්‍යයක් කරන්න. එය තමයි මේ අවුරුදු විස්සකට පස්සෙ සිදුවන්නෙ.
අතීතයට ගියොත් දෙදහස් දෙක වර්ෂයේ ‘ රශෝමොන්’ නාට්‍යය රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය අතරට නිර්දේශ වීමත් විශේෂයි නේද ?
ඔව්. ‘ රශෝමොන් ‘ සම්භාව්‍ය නාට්‍යයක්. එය තමයි මගෙ දිගු නාට්‍ය අතරින් පළමුවැන්න. එය තමයි හොඳම නාට්‍යය හා නිෂ්පාදනය වශයෙන් ඒ වර්ෂයේ නිර්දේශ වන්නේ. දෙදහස් හතරේදී ඊට හාත්පසින් වෙනස් ප්‍රහසන නාට්‍යයක් කරන්න පෙලඹෙනවා. ‘ මල්සර බිසව්’ නමින්. එය ඉංග්‍රීසි නාට්‍යයක පරිවර්තනයක්. එහිත් මම හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම නාට්‍යය සඳහා නිර්දේශ වනවා.
ඊට අමතරව එය තවත් නිර්දේශ කීපයකට හා සම්මාන කීපයකටත් පාත්‍ර වීම විශේෂ යි. මම නිර්මාණ කාර්යයේ දී ප්‍රහසනයක් හෝ වෙනත් ඕනෑම නිර්මාණයකදී හැමදෙයක් ගැනම ගොඩක් සැලකිලිමත් වීම අනිවාර්ය දෙයක්. එහි ප්‍රතිඵලයක් විදියට තමයි ඒ ඇගැයිම්වලට ලක් වුණේ කියා මා විශ්වාස කරන්නෙ.
ප්‍රහසන නාට්‍යයට ඔබ සමීපයි. ඒ විශේෂත්වය ගැන කතා කරමු.
බොහෝ දෙනෙක් ගැඹුරින් කල්පනා කරන්නෙ සම්භාව්‍ය නිර්මාණ පිළිබඳයි. ඇත්තෙන්ම ප්‍රහසන නිර්මාණ ගැන බොහෝ දෙනෙක්ට ගැඹුරු අවබෝධයක් නැහැ. ඒ නිසාම ඔවුන් කල්පනා කරනවා ප්‍රහසනයක් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්ය කියා. නමුත් ඒක ඇත්ත නෙවෙයි. නිර්මාණයක් සම්භාව්‍ය ද නැද්ද කියන කාරණය නොවෙයි. නිර්මාණ කාර්යයේදී හැම කොටසක්ම වැදගත්. අවධානය යොමු කළ යුතුයි ඉතා සියුම් දේට පවා. ප්‍රහසන නාට්‍යයක් කිරීම පහසු කාර්යයක් යැයි කියන්න බැහැ. ලොකු අවබෝධයකින් කළ යුතු දෙයක්. මගෙ නාට්‍ය ඉතා දීර්ඝකාලයක් පුහුණු වනවා. ඒක හරි වැදගත් . ඒ නිසා නිර්මාණකරුවා කිසිම මොහොතක සිය නිර්මාණයට හානි වන දෙයක් නොකර ගැනීම වැදගත් .
මොකද ප්‍රහසන නාට්‍යයක් ඇතුළෙ ලොකු අර්ථයක් තියෙනවා. ඒ හිනාව ඇතුළෙ තිබෙන්නේ ලොකු සමාජ කියැවීමක්. ඒ වගේම රචකයකු විදියට මම ගොඩක් දේවල්.ගැන සැලකිලිමත්. පවුලක් විදියට ඇවිත් මේ විදිහේ නාට්‍යයක් බලන්න බාධාවක් නොවන විදියට මේ නාට්‍ය ගොඩනැඟෙන එකට මම හරිම කැමැතියි.
අලුත්ම නාට්‍යයේ පසුබිම කොහොමද සැකසී තිබෙන්නේ ?
මේ නාට්‍යයේ ප්‍රවීණයන් හා නවකයන් දෙපිරිස ම සම්බන්ධ වෙනවා.
ඔවුනුත් බොහෝ දෙනෙක් සම්මාන දිනූ අය. මේ දෙපිරිසේම සහභාගිත්වය නිර්මාණයකට ආලෝකයක්. ඒ සහභාගිත්වය එක්ක මේ නිර්මාණය අපි ප්‍රේක්ෂකයන් අතරට ගෙන එනවා.
මේ කාලයේ වේදිකා නිර්මාණයක් කරන්න තිබෙන බාධා මොනවගේද ?
අතීතය එක්ක බලද්දී ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. පළමුවැනි දේ තමයි මේ වගෙ නිර්මාණයක් කරන්න අපි හැමෝම ලොකු කැපකිරීමක් කළ යුතුයි. ඒක අලුත් පරපුර ගොඩක්ම අවබෝධ කරගන්න ඕන කියල මම විස්වාස කරනවා. ප්‍රවීණයන්ට මේ ගැන අවබෝධයක් තියෙනවා. ඔවුන් ඒ හැඟීමෙන් වැඩ කරනවා. නමුත් අලුත් පරපුරේ වගකීම අඩුයි. ඒ නිසා අපට නිර්මාණ කටයුතුවලදී අපහසුතා රාශියකටත් මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා . ඉතින් ඒ නිසා අලුත් පරපුර එක්ක අපට ඒ අභියෝගත් ජය ගනිමින් වගේම බොහෝ අභියෝගවලට මුහුණ දෙමිනුත් තමයි මේ නිර්මාණ කරන්න වෙන්නෙ.
වේදිකා නාට්‍ය කෙරේ ප්‍රේක්ෂකයාගේ අවධානය කොහොමද ?
ඇත්තටම ඒ පැත්තෙන් නම් ලොකු සාධනීය බවක් තිබෙනවා. දැන් මේ වර්ෂය ගත්තොත් කොළඹ සති අන්තයේ ප්‍රධාන පෙළේ රංග ශාලා බොහොමයක් සම්පූර්ණයෙන් ම වෙන් වී අවසන්. ඒකෙන් අපට පැහැදිලි යි මිනිස්සු මේ ගැන උනන්දු බව. උදාහරණයක් විදියට ලෝරන්ස් ගෙ මනමාලි දර්ශන වාර දාහක් පමණ පවත්වන්න පුළුවන් වුණේ ඒ ප්රබෝධය නිසයි. ඒ විතරක් නෙවෙයි එවැනි නිර්මාණ ගණනාවක් ඒ වගේ පෙන්නන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ ප්‍රේක්ෂකය උනන්දුව නිසයි.
නාට්‍යකරුවකු විදියට ඔබ ප්‍රේක්ෂකයන්ව හඳුන ගන්නෙ කොහොමද ?
ඇත්තෙන්ම නිර්මාණකරුවකුට මෙන්න මෙහෙම වෙන්න මෙහෙම හැදෙන්න කියන පරමාදර්ශී නිර්මාණ හදන්න බෑ. නමුත් නිර්මාණයක් ඇතුළෙමත් ඒ පණිවිඩය තියෙනවා. ඒක උකහා ගන්නෙ ප්රේක්ෂකයායි. ඒක ඔවුන් දකින විදිය ගන්න විදිය වෙනස් වේවි. අතීතයේ වේදිකා නාට්‍යවලට ඇලුම් කළ ප්‍රේක්ෂකයන් අද හමු නොවේවි එකපාරටම. නැතිව නෙවෙයි ඔවුන් ඉන්නවා. ඒ අතරෙ අද ඉන්න ප්‍රේක්ෂකයන් කවුද කියන එකත් අපි වෙනම වටහා ගන්න ඕන. අපට යෝජනා කරන්නත් බැහැ. අද පරපුර වෙනම විදිහකට ගොඩනැඟුණ පිරිසක්. ඒ නිසා අපට යෝජනා කරන බැහැ අප තුළ ඇති කරගත් රසඥතාව ම ඔවුනුත් ගොඩනඟා ගත යුතුයි කියල. අද ටෙලිවිෂන් කලාව සිනමාවත් එක්ක බැඳුණු ප්‍රේක්ෂකයන් අපට ඉන්නෙ. ඒ හැමදෙනාමත් රසවින්දනයට කැමැති පිරිසක්. ඒ නිසා තමයි ඔවුන් නිර්මාණ රසවිඳීන්න එන්නෙ. ඔවුන්ගෙ වෙහෙස මහන්සි ය පීඩනය බැහැර කරගන්න ඔවුන් මේ නිර්මාණ බලන්න කැමැති යි. ප්‍රේක්ෂකාගාරයේ අඩුවක් නැහැ. හැබැයි එදා ප්‍රේක්ෂකාගාරය හා අද ප්‍රේක්ශකාගාරය පැහැදිලි ව වෙනස්. ඒ වෙනස එක්ක ඒ අවබෝධයෙන් අද නිර්මාණ ගොඩනැඟෙන්නේ.
ඔබ නිර්මාණ ජීවිතයට ප්‍රවේශ වෙන්නේ කොයි අවධියේ ද ?
අනූව දශකයේ මුල තමයි මම මේ ප්‍රවේශය ගන්නෙ. මම කලාප ගණනාවක විහිදුණු කෙනෙක්. මූලික ව මම ඒ ගමන පටන් ගන්නෙ පිටපත් රචකයෙක් සහ නළුවකු විදියට. ඊට පස්සෙ මම අධ්යක්ෂණයට ප්‍රවේශ වෙනවා. එක්දහස් නවසිය අනූව දශකයේ තමයි මම නාට්‍ය ක්ෂේත්රය ට පිවිසෙන්නේ. මේ වෙද්දී කෙටි නාට්‍ය විස්සක් පමණ කරල තියෙනවා. දෙදාහ වසරේ පැවැත්වු කෙටි නාට්‍ය උලෙළේ ඉදිරිපත් කළ ‘ සයොනාරා ‘ වේදිකා නාට්‍යයට සම්මාන වැඩි ප්‍රමාණයක් (සම්මාන දහයක් පමණ) හිමිකරගන්න පුළුවන් වුණා. ඒ වගේම එම උලෙළේ ම වෙනත් නාට්‍යයක මම හොඳම නළුවා සම්මානය ලැබුවා. ඒ සිදුවීම හරිම විශේෂ යි . මේ කාලය තුළ ලැබූ අත්දැකීම් විශාලයි. සමග එදා සිටි සමකාලීනයන් අද බොහෝ දෙනකු නෑ. ඉනුත් රඟපාමින්, රචනා කරමින්, අධ්‍යක්ෂණය කරමින් මා තවමත් ඉන්නවා. වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය යන අංශ තුනටම සම්බන්ධ වෙමින්. ඒක විශේෂ යි . ඇත්තටම මේ ගමන ගැන සතුටුයි. මේ වෙද්දී මම වේදීකාවේ රංගනයෙන් හා ටෙලි නාට්‍ය රංගනයෙන් ටිකක් විතර ඈත් වෙලයි ඉන්නෙ. කාර්යබහුලබවත් එක හේතුවක්.
නිර්මාණකරුවකුට ආවේණික නිදහස හා සෞන්දර්ය ඔබ වෙනම විදියකට විඳීන බව පැවසුවා
ඔව්. නිදහස හා සෞන්දර්ය උපරිමයෙන් විඳීන්න ආස කෙනෙක්. විඳීන කෙනෙක්. ඒ විඳීම ඇතුළෙම මගෙ කියවා ගැනීමත් ගැඹුරු යි. ඒ සියලු දෙයහි සාරය තමයි මගෙ නිර්මාණවලත් තැවරෙන්නෙ. එතනදි යම් නිර්මාණයක් ප්‍රහසනයක් ද සම්භාව්‍ය එකක් ද කියල වෙන් කර එහි ගැඹුර මනින්න අමාරුයි. මොකද ප්‍රහසන නාට්‍යයක මතුපිට නැඟෙන සිනාවට යටින් පවතින ගැඹුර විශාලයි. එය බොහෝ දෙනෙක් අවබෝධ නොකරගන්නා දෙයක්.
2005 වසරේ ස්කොට්ලන්තයේ දී ඔබේ දායකත්වය සහිතව වේදිකාගත වූ children of the sea නාට්‍යයේ අත්දැකීම් ගැනත් කතා කරමු
ඔව්. 2005 වසරේ ලෝ ප්‍රකට ෆ්රින්ජ් කලා උලෙළ වෙනුවෙන් තමයි අපි ඒ නාට්‍යය ඉදිරිපත් කළේ.එවකට මෙරට බ්‍රිතාන්‍ය කවුන්සිලය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව ස්කොට්ලන්තයේ එඩින්බරෝ හී පැවැත්වුණු ෆ්රින්ජ් කලා උලෙළට children of the sea කියන වේදිකා නාට්‍යය එක්ක අපි සම්බන්ධ වුණා.
මේ නාට්‍යය හදන්න ලෝකයේ ප්‍රකට බ්‍රිතාන්‍ය වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරකු වූ Toby Gough තමයි ලංකාවට පැමිණියේ. ඔහු ඒ අවස්ථාවේදි ලංකාවේ වේදිකා නළු නිළියන් විසිපස් දෙනකු සම්මුඛ පරීක්ෂණයක් ඔස්සේ මේ නිර්මාණ කටයුත්තට තෝරා ගත්තේ. ඒ කණ්ඩායම යොදා ගෙන ඔහු ඉදිරිපත් කළ නිර්මාණය තමයි ‘ Children of the sea’
ඔහු එහි ප්‍රධාන චරිතය වෙනුවෙන් වෙනුවෙන් තෝරාගනු ලබන්නේ මාවයි. මේ නාට්‍යයේ පූරක විදියට කටයුතු කරන්න පැමිණෙන්නේ නවසීලන්තයේ ප්‍රකට වේදිකා/චිත්‍රපට නළුවකු වන Rawiri Paratene. ඒ වගේම එකල ලංකාවේ ඉංග්‍රීසි වේදිකාවේ ප්‍රසිද්ධ රංගන ශිල්පියකු වූ ජෙහාන් ඇලෝසියස්, වෙනුරි පෙරේරා හා අනෝජා වීරසිංහ මහත්මියත් මේ නිර්මාණයට සම්බන්ධ වුණා.
Edinburgh fringe theatre festival එක ස්කොට්ලන්තයේ පැවැත්වෙන්නේ. එපමණක් නොවෙයි එය ලෝකයේ පැවැත්වෙන විශාලම කලා උලෙළ විදියටත් සැලකෙන්නේ. එහි නාට්‍ය අංශයයි අපි නියෝජනය කළේ. එහිදී වසරේ හොඳම නාට්‍යය හා විචාරකයන් විසින් තෝරාගනු ලබන හොඳම නාට්‍යය යන සම්මාන දෙක පමණයි ප්රදානය කරනු ලබන්නේ. එහිදී එම සම්මාන දෙකම අපේ Children of the sea නාට්‍යයට හිමිවීම සුවිශේෂ අවස්ථාවක් වුණා.
ඊට අමතරව මේ උලෙළේ ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහය දක්වන ස්කොට්ලන්තයේ ප්‍රධාන පුවත්පතක් වන ‘ ද ස්කොට්ස්මන් ‘ කියන ජාතික පුවත්පතේ කලා අතිරේකයේ මුල් පිටුවේ ඡායාරූපය විදියට අපේ නාට්‍යයේ මමත් එහි ප්‍රධාන රංගන ශිල්පිනියත් පෙනී සිටින දර්ශනයක ඡායාරූපයක් පළ කර තිබුණා. එය අපේ වේදිකා නාට්‍ය ඉතිහාසයේ විශේෂිත අවස්ථාවක්. ඉතින් ඇත්තටම ඒ අවස්ථා දෙකම රංගන ශිල්පියකු විදියට මගෙ ජීවිතයේ නොමැකෙන අවස්ථා දෙකක් ලෙසයි මම සලකන්නේ.
සේයාරූ – දුෂ්මන්ත මායාදුන්න
සමුද්‍රිකා වර්ණකුල