Home » ප්‍රතික්ෂේපවීම් හමුවේ ආ ගමන නතර වුණේ ‘ක්ලැරන්ස්’ ළඟ

ප්‍රතික්ෂේපවීම් හමුවේ ආ ගමන නතර වුණේ ‘ක්ලැරන්ස්’ ළඟ

රංගන ශිල්පී දමිත් විජයතුංග

by Thanushika
July 24, 2025 12:12 pm 0 comment

ශ්‍රී ලංකාවේ සුන්දරතම පළාතක් වන මාතලේ උකුවෙල පදිංචි ශ්‍රියානි වීරකෝන් සහ ආනන්ද විජයතුංග දෙපළට උපන්නේ පුතුන්ම තිදෙනෙක්. මෙම දෙපළගේ ආදරණීය කැදැල්ල සතුටින් පිරී ගියේ මේ පුංචි පුතුන් තිදෙනාගේ කෙළි සෙල්ලම් , දඟකාරකම් වලිනි. දමිත් විජයතුංග, තරිදු විජයතුංග සහ තිලාන් විජයතුංග තිදෙනාගෙන් වැඩිමහල් පුතු වූයේ දමිත්‍ ය. කෙමෙන් කෙමෙන් හිරිමල් යොවුන් වියට පාතැබූ මේ පුංචි කොලු ගැටව් තිදෙනා මව්පියන්ට ඉතා කීකරු දරුවන් තිදෙනෙක් වූහ. අම්මා සහ අප්පච්චි රජයේ රැකියාවල නිරත වෙද්දී මේ පුතුන් තිදෙනා හැදී වැඩුණේ අත්තම්මාගේ තුරුළේය. මේ තිදෙනා අතරින් තම ලොකු පුතා කවදා හෝ මේ මව්බිමේ ජනාකර්ෂණීය රංගන ශිල්පියෙකු වේයැයි මව්පියන් කිසි විටෙකත් නොසිතන්නට ඇත. එහෙත් වර්තමානයේ සිනමා ලෝලීන් කාගේත් මුවග රැව් දෙන්නේ දමිත් විජයතුංග නාමයයි. පුංචි සන්ධියේ සිට දමිත් තරමක් කලාවට බර චරිතයක් විය. කුඩා කළ චිත්‍ර ඇදීමට ප්‍රියතාවයක් දැක්වූ දමිත් පසුව පෙරදිග සංගීතය ඉගෙන ගැනීමට උත්සුක වූයේය. රංගනය පැත්තට ඔහුගේ සිත එතරම් ඇදීගියේ නැත. එහෙත් අද වනවිට දමිත් විජයතුංග නම ලංකාවේ පමණක් නොව සත් සමුදුරෙන් එහා ද කියැවෙන නමක් බවට පත්ව ඇත. එදා ඔහු රංගනයට සිත යොමු නොකළත් අද ඔහු රටම හඳුනන රංගන ශිල්පියෙකි. මේ දිනවල අතිසාර්ථක ලෙස තිරගත වන ‘ ක්ලැරන්ස් ‘ ‘ Rhythm of the Guitar’ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට පණ පොවන්නේ දමිත් විජයතුංග බව කවුරුත් දන්නා කරුණකි. ‘ ක්ලැරන්ස් ‘ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූ තේජා ඉද්දමල්ගොඩ ගේ අපූරු සොයා ගැනීමක් වූ දමිත් ‘ ක්ලැරන්ස් ‘ ‘ Rhythm of the Guitar’ චිත්‍රපටයේ අපූරු රංගනයක නිරත වන බව කිව යුතුය. ක්ලැරන්ස් විජයවර්ධන යනු ශ්‍රී ලංකාවේ කිසිදා නොමැකෙන නාමයක් සනිටුහන් කළ ප්‍රවීණ සංගීතඥයෙක් බව නොරහසකි. ශ්‍රී ලංකාවේ සංගීත කලාව වෙනස්ම ඉසව්වකට ගෙන ගිය ඔහු යුග කිහිපයක ශ්‍රාවකයන් මියුරු ගායනයෙන්, තනුවෙන් මන්මත් කළ සංගීතවේදියෙකි. මියුරු හඬින් ගී ගැයූ ගායන පෞරුෂයකි. ඔහුගේ චරිතය අලළා තේජා ඉද්දමල්ගොඩ අතින් නිර්මාණය වූ ක්ලැරන්ස් ‘ Rhythm of the Guitar’ චිත්‍රපටයේ ක්ලැරන්ස්ට නැවතත් ජීවය දීම සුළුපටු කාරණයක්ද නොවේ. එවන් චරිතයකට පණ දීම දමිත් විජයතුංගට මහත් අභියෝගයක් වන්නට ඇත. එහෙත් ඒ අභියෝග වලට නොසැලී මුහුණ දෙමින් තම රූපකාය සිංහල සිනමා තිරයමත මැවූ දමිත් විජයතුංග සරසවිය සමඟ කතා බහට එක්වූයේ මහත් සුහදශීලී ලීලාවෙනි.

මම මුලින්ම පාසැල් ගියේ මාතලේ විජය විද්‍යාලයට. ඒ පුංචි සන්ධියේ. පසුව මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයටත් , මාතලේ විද්‍යා විද්‍යාලයටත් ගියා. මම උසස් පෙළ කළේ විද්‍යා විෂයයන් වලින්. මම පුංචි කාලේ වැඩි ප්‍රියතාවයක් දැක්වූයේ චිත්‍ර අඳීන්න. එහෙත් පාසැල් සමයේ මම පෙරදිග සංගීතය සඳහා යොමු වුණා. රංගනයට එතරම් අත්දැකීම් තිබුණේ නැහැ. ඒ වගේම කවදා හෝ නළුවෙක් වෙනවා කියන හැඟීමක් සිතේ තිබුණෙත් නැහැ. මගේ අම්මාත් අප්පච්ච්ත්‍ රජයේ සේවකයන්. ඔවුන් මාවත් මල්ලීලා දෙදෙනාවත් යොමු කළේ අධ්‍යාපන කටයුතු සඳහා පමණයි.

උසස් පෙළින් පසු මම කොළඹට පැමිණියේ මගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහායි. උපාධිය සම්පූර්ණ කිරීමට මගේ ඉලක්කය වී තිබුණා. මම නිතරම සිතුවේ ගෙදරින් යැපෙන්නෙක් නොවෙන්න. ඒ අතරේදී තමයි මට දේවින්ද අයියාව මුණ ගැසෙන්නේ. ඔහු මගෙන් ඇහුවා වෙළඳ දැන්වීමකට පෙනී සිටින්නට කැමතිද කියලා. ඒත් ඒ පිළිබඳ මගේ සිතේ පුංචි චකිතයක් තිබුණා. ඒත් ඔහු කෙසේ හෝ එයට මාව යොමුකළා. සැලකිය යුතු පිරිසක් ඒ සඳහා පැමිණ සිටියා. ඒ අතරින් අවසන් 12 දෙනා අතරට මාව තේරීත්වීම මගෙ න් ජීවිතයට ඇති වුණේ සැබෑ වෙනසක්.

ඉන්පසු මට මුණ ගැසුණා නිරූපණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වන සමීර වීරසිංහ කියන චරිතය. නිරූපණ තරඟ වලට යන්න කැමතිද කියල ඔහු මගෙන් ඇහුවා. ඔහු ගේ කීමට මම ඒ සඳහා යොමු වුණා. ඉන්පසු මට නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එයින් මගේ අතට සැලකිය යුතු මුදලක් ලැබුණා. ඉන්පසු මට වෘත්තීය නිරූපණ ශිල්පියෙක් වෙන්න මඟ පෑදුණා. 2016 වසරේදී මම උපාධිය සම්පූර්ණ කළා. මේ අතරේ තමයි පුවත්පත් වල මිස්ටර් ශ්‍රී ලංකා තරඟාවලිය සඳහා ඉල්ලුම් කරන්න කියලා පළකර තිබුණේ. පසුව ඒ සඳහා මමත් සහභාගී වුණා. ඒ සඳහා තරඟකරුවන් 300ක් පමණ සහභාගී වී සිටියා මට මතකයි. එයින් මට ජයග්‍රහණය හිමිවුණා. ඒ 2016 වසරේදී . ඉන්පසුව ප්‍රධාන පෙළේ සන්නාම රැසක් සමඟ සම්බන්ධ වන්නට මට වරම් හිමිවුණා. 2016 වසරේ මිස්ටර් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ ඉදිරි පියවරක් ලෙස 2017 වසරේදී පිලිපීනයේ පැවති මෑන් ඔෆ් ද වර්ල්ඩ් සඳහා සහභාගී වන්නට මට අවස්ථාව උදා වුණා.

නිරූපණ ශිල්පියෙක් ලෙසත් , මගේ වෘත්තීය ජීවිතයත් සමබරව කරගෙන යන අතරතුර තමයි මට ක්ලැරන්ස් චිත්‍රපටය සඳහා සම්බන්ධ වීමට ලැබෙන්නේ.

එය මගේ ජීවිතය වෙනස් මඟකට යොමු වෙයි කියා මා සිතුවේ නැහැ.

දිනක් මා වෙළඳ දැන්වීමක රූගත කිරීමකට සම්බන්ධ වුණා. එහි රූගත කිරීම් තිබුණේ රුවන් කොස්තා ගේ නිවසේ . රූගත කිරීම් අතරතුර ඔහු මාව හොඳීන් නිරීක්ෂණය කර තිබුණා. එය අවසන් වී මම සවස් යාමයේ යාමට සූදානම් වන විට රුවන් කෝස්තා මට කතා කළා. ඔහු ඇහුවා ෆිල්ම් එකක රඟපාන්න කැමැත්තක් නැද්ද කියලා. ඔහු මගේ දුරකතන අංකය ඉල්ලා ගත්තා. ඉන් දින කිහිපයකට පසු තේජා ඉද්දමල්ගොඩ මහතා මට කතා කළා. ඒ අවස්ථාවේ මම පුදුමයට පත් වුණා. තේජා ඉද්දමල්ගොඩ ගැන මම අසා තිබුණේ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් ලෙසින්. ඒ වගේම ආශාවරී චිත්‍රපටය ඔහුගෙ අධ්‍යක්ෂණයක් බව. ඔහු මට ආරාධනා කළා ඔහුගේ චිත්‍රපටය සඳහා. මට ඒ වෙලාවේ හිතුණා මට රඟපාන්න පුළුවන් වෙයිද කියලා. ඒ වන විට මම සාරංග මෙන්ඩිස්ගේ හදවතේ කතාව ටෙලි නාට්‍යයේ පමණයි රඟපාල තිබුණේ.

මගේ හිතේ තිබුණ චකිතය නැති කළේ තේජා ඉද්දමල්ගොඩ අයියා. අපි හුරුවෙමු. ඒ ඔහුගේ මුවින් පිට වු වචන. ඔහු මාව ඔඩිෂන් එකකට කැදෙව්වා. මම ඒ සඳහා සහභාගී වන අවස්ථාවේ චිත්‍රපටයට සම්බන්ධ ප්‍රධාන චරිත කිහිපයක් පැමිණ සිටියා.ඒ වනවිටත් ඒ අය පිටපත කියවා අවසන් කර තිබුණේ. ඔහු මාව වේශ නිරූපණ පරීක්ෂණයකටත් යොමු කළා. මගෙ රැවුල කපලා කොණ්ඩෙ වෙනස් කළයුතු නිසා විග් එකක් පාවිච්චි කළා . මෙහි නිෂ්පාදක තුමාත් එකඟ වී තිබෙනවා මාව ක්ලැරන්ස් චරිතයට සුදුසු බව. මම වෙනත් වෘත්තීයක නිරත වී සිටි නිසා නිවාඩු ලබා ගැනීමේ ප්‍රශ්නයත් තුසිත මහතා විසඳා දුන්නා.

අවසානයේ මා ඉදිරියේ තිබූ අභියෝගය වුණේ ක්ලැරන්ස් චරිතයට හැඩගැසීම. ලැබුණු උපදෙස් අනුව මම මගේ ශරීරයේ ප්‍රමණය අඩු කරගත්තා. මාස දෙකක් පමණ ඒ චරිතය සඳහා පුහුණුවුණා. Home work කළා කිව්වොත් නිවැරැදියි. රූගත කිරීම් වලදී සහෝදර ශිල්පීන්ගෙන් ලැබුණ සහය ඉතා අගය කොට සලකනවා. සාරංග අයියා, දිනක්ෂි අක්කා, නිහාරි, ඉශංකා, රුක්ෂාන්, ප්‍රසංග මේ හැමදෙනාගෙන්ම ලැබුණේ ලොකු සහයෝගයක්. රූගත කිරීම් කරගෙන යන අතරතුර අපි අතරේ ලොකු බැඳීමක් ඇතිවුණා. අපි විනෝදයෙන් වැඩකළා. චිත්‍රපටයේ අධ්‍යක්ෂ තේජා අයියාගෙන් අපිට ලැබුණේ හොඳ උත්තේජනයක්. මේ චිත්‍රපටය දැවැන්ත නිර්මාණයක් කියන දේ අපේ ඔළුවට දැම්මේ නැහැ. රූගත කිරීම් අතරතුර අපි එකතු වෙලා සින්දු කිව්වා. විහිළු තහළු කර ගත්තා. ඇත්තටම එවැනි පසුබිමක අපි හැමෝගෙම රංගනය නිසියාකාරව කරගෙන යන්න ලැබීම වාසනාවක්.

ක්ලැරන්ස් චරිතය රඟපෑමට මුලින්ම මගේ හිතේ පුංචි චකිතයක් තිබුණත් ඒ සියලු දේ මඟහැර ගන්න පුළුවන් වුණේ තේජා අයියා නිසා. ඔහු මට බොහෝ අවවාද, අනුශාසනා ලබා දුන්නා. සිනමාවේ රැදෙන්නේ කෙසේද , පවතින්නේ කෙසේද, සිනමාවේ ඉදිරියට යාමේදී අප තුළ තිබිය යුතු නිහතමානීකම ආදිය ගැන ඔහු මට කියා දුන්නා. ඇත්තටම තාමත් විශ්වාස නැහැ ඔහු අප අතර නැහැ කියලා. ඔහු අසනීප වුණේ එකපාරටම. ඔහු අසනීප තත්වයෙන් පසු වූ විට මා නිතර ඔහුගේ නිවසට ගියා ඔහුව බලන්න. ජීවිතය කොයි මොහොතේ නැති වෙයිද කියන්න බැහැ. ඒත් මට තවමත් සිතෙන්නේ නැහැ ඔහු ජීවිතයෙන් සමුගත්තාද කියල. ඔහුගේ සුන්දර නිර්මාණය සිනමා තිරය මත දිගහැරෙද්දී මගේ සිතට දැනුණේ පුදුමාකාර සංවේගයක්.

තේජා ඉද්දමල්ගොඩ ගැන මතක් කළ වෙලාවේ ක්ලැරන්ස් විජයවර්ධනයන් ගැනත් සටහනක් තැබිය යුතුමයි. ඔහු අපේ රටේ සංගීත කලාවට නව ජීවයක් ගෙන දුන් සංගීත නිර්මාණකරුවෙක්. හැත්තෑව දශකයේ ඔහුගේ සංගීතයෙන් රසිකයන් නැළවූවා. ඒ මියුරු ගීත, මියුරු නාදරටා එදාමෙන් අදටත්, හෙටටත් නොමැකී තියේවි. පුංචි කාලේ ඉදන් මමත් ඒ ගීතවලට ප්‍රියකළා. ක්ලැරන්ස් විජයවර්ධනයන්ව හරි හැටි ඇගයුමට ලක් නොවූ කෙනෙක් ලෙසයි මට සිතෙන්නේ. එහෙත් මෙම චිත්‍රපටය තුළින් ක්ලැරන්ස් විජයවර්ධනයන්ට ලැබුණ ඉහළම ඇගයුම ලැබුණා කියා මා විශ්වාස කරනවා. නැවත නැවත චිත්‍රපටය නරඹන පිරිසක් ඇතිවී තිබෙන්නෙත් ඔවුන්, ඔහුගේ නිර්මාණ වලට මහත්සේ ප්‍රිය කරන නිසා කියල කියන්න පුළුවන්. ඒ ගීත සෑම එකකම කිසියම් කතාවක් ගැබ්වී තිබුණා. ක්ලැරන්ස් චිත්‍රපටයට මම සම්බන්ධ වීමේදී ක්ලැරන්ස් විජයවර්ධන මහතාගේ පවුලේ උදවිය සමඟ කතා කිරීමට තේජා අයියා මට ඉඩකඩ සදා දුන්නා.

ක්ලැරන්ස් Rhythm of the Guitar චිත්‍රපටය පිළිබඳ නැවතත් කතා කළ යුතු විශේෂ කාරණයක් තිබෙනවා. තේජා ඉද්දමල්ගොඩ තුළ සිටියේ සුන්දර නිර්මාණකරුවෙක්. මෙම චිත්‍රපටය තුළ සිටි ඒ සුන්දර මිනිසාව සෑම රූප රාමුවකම දකින්නට පුළුවන්. ඒ ඔහුගේ රුවින් නොවේ. ඒ ඔහුගේ ඇස. චිත්‍රපටයේ බොහෝ රූප රාමුවල තිබුණේ ඉතාමත් සිත්ගන්නා සුලු දර්ශනතල. එයින් චිත්‍රපයට ලැබී තිබුණේ ආලෝකයක්. සුන්දරත්වයක්. මෙහි රූගත කිරීම් සිදුකළේ නුවර, ඇඩිෂන් බංගලාව, කොළඹ ප්‍රදේශයේ විශේෂ ස්ථාන සහ රිවස්ටන් වැනි සුන්දර ප්‍රදේශවල. ඒ තමයි තේජා අයියා සතුව තිබූ නිර්මාණාත්මක හැකියාව.

ක්ලැරන්ස් චිත්‍රපටය මෙතරම් සාර්ථක වෙන්න තවත් හේතුවක් වුණේ එයට දායක වූ සියලුම දෙනා නිසා. මෙහි සාර්ථකත්වය පිටුපස ඔවුනුත් ඉන්නවා. මම ඒ සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මෙහි නිෂ්පාදකතුමා තුසිත ජයසේන මහතාවත් විශේෂයෙන් මතක් කළ යුතුයි.

ක්ලැරන්ස් චිත්‍රපටයේ සාර්ථකත්වයට උරදෙන තවත් පිරිසක් සිටිනවා. ඒ ආදරණීය ප්‍රේක්ෂකයන්. සිනමාශාලා පිරී යන්නේ ඔවුන්ගෙන්. ජංගම දුරකතනයෙන් , ලැප්ටොප් එකකින්, රූපවාහිනි යන්ත්‍රයකින් චිත්‍රපටයක් බලනවාට වඩා රසයක් විදගත හැක්කේ චිත්‍රපට ශාලාවකට පැමිණ එය නරඹනවා නම් පමණයි. 2025 කියන්නේ සිනමාවට වසන්තය උදා වූ වසරක්. එනිසා මම ආදරණීය ප්‍රේක්ෂකයන් ඉල්ලන්නේ සිනමා ශාලාවකට ඇවිත් චිත්‍රපටයක් නරඹන්න.

මගේ ආදරණීය රසිකයන්ට නැවතත් මාව දකින්න අවස්ථාව හිමි වෙනවා. ඒ Hello from the other side චිත්‍රපටයෙන්. එය ජූනි 31 වැනිදා සිට තිරගතවීමට නියමිතයි. ඒ මිනෝෂා කිරිවන්දෙනියගේ අධ්‍යක්ෂණයක්. ක්ලැරන්ස් චිත්‍රපටයේ මගේ ස්වරූපය සම්පූර්ණයෙන් වෙනස්. විග් එකක් පාවිච්චි කරන්නට සිදුවුණා. ක්ලැරන්ස් චරිතයට අදාළ විදිහට මාව විශේෂයෙන් සූදානම් කළේ ඉන්දික උදාර වේෂ නිරූපණය ශිල්පියා. මුල් කාලයේ මගේ සැබෑ ස්වරූපය දුටුවහම බොහෝ දෙනෙක් මාව හඳුනාගත්තේ නැහැ.එහෙත් විශේෂ රූපවාහිනී වැඩසටහන්, මාධ්‍ය හමු සහ පුවත්පත් සඳහා පෙනී සිටි නිසා දැන් බොහෝ දෙනෙක් මාව හදුනනවා.

මගේ ජීවිතයේ වසර දහයක් පමණ නිරූපණ ශිල්පියෙක් ලෙස වැඩකළා. ඒ පැමිණි ගමනේදී විවිධ වූ ප්‍රතික්ෂේප වීම් වලට ලක් වන්නට සිදුවුණා. එත් මම තනිවම ඒවාට මුහුණ දෙමින් මෙපමණ දුරක් ආවා. ඒ ගැන මට තිබෙන්නේ සතුටක්. මේ ගමනේ සාර්ථකත්වයට මගේ අම්මා, අප්පච්චි, මල්ලිලා දෙන්නා, සීයා, අත්තම්මා ශක්තියක් වුණා. අම්මා සහ අප්පච්චි මගේ කුලුඳුල් සිනමා රංගනය දැකීමෙන් බොහෝ සංවේදී වුණා. මල්ලිලා දෙන්නා පුදුම වුණා. විශේෂයෙන් පුංචි කාලයේ සිට මගේ හෙවණැල්ල වූ මගේ ආදරණිය අත්තම්මාත් චිත්‍රපටය නරඹා තිබුණා. දිනක් නොසිතූ මොහොතක මට දුරකතන ඇමතුමක් ආවා. ඒ මගේ නැන්දාගෙන්. ඇය තමයි ඒ බව මට දැනුම් දුන්නේ. ඒ බව තවත් තහවුරු කරන්න ඇය මට අත්තම්මා චිත්‍රපටය බලන්න ගිය වෙලාවේ ගත් ෆොටෝ එකක් එවලා තිබුණා. ඒ වෙලාවේ මා සිටියේ මගේ රැකියා ස්ථානයේ. මගේ ඇස් දෙකට කඳුළක් ආවේ මටත් නොදැනයි. මම ඒ වෙලාවෙම මගේ මුහුණු පොතේ මගේ ආදරණීය අත්තම්මා වෙනුවෙන් මෙන්න මේ විදිහට පුංචි සටහනක් තැබුවා.

ඇති නැති හැම මොහොතකම නිති

නිතිත් මා එනතුරු මඟ බලා සිටී මගේ අත්තම්මා වෙත ලියමි.

තිරය පිටුපස හැම කතවක්ම ලියද්දී මා දැඩි කළේ නුඹයි.

තිරය මත මැවෙන මේ සිනම්ඩ්ස් රූ

ඔබේ දෑසින් විඳින්න අද

ඔබේ උරහිස මත හිස හොවා ඒ

හැම ගිමනක්ම නිවා ගන්නම්.

ආදරණීය මඟ අත්තම්මේ වරු ගණන කී කතා මැද

අපි මැවූ ” සිහින ලොව”

විඳ ගන්න ඔබේ දෑසින් ආදරෙයි හැමදාම.

[email protected]

සේයාරූ – තිලක් පෙරේරා

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT