නිවස විශේෂාංග පළමුවැනි රසිකයා මගේ සැමියා

පළමුවැනි රසිකයා මගේ සැමියා

ගායන ශිල්පිනී මායා රොඩ්රිගු

by Thanushika
September 5, 2024 12:20 am 0 comment

අනෙකෙකු වෙනුවෙන් යුතුකම් වගකිම් ඉටුකිරීමට කැපවෙන මිනිසුන් මෙලොව සිටින්නේ අතළොස්සකි. තමන්ගේ කාලය. ශ්‍රමය, ධනය කැප කරමින් අනෙකකුගේ සුබ සිද්ධිය වෙනුවෙන් කැප වෙන මිනිසුන් තවමත් මෙලොව වාසය කරනවා යන්න අසන්නට ලැබිමද සතුටට කාරණයකි. මෙවන් ආරම්භයක් සනිටුහන් කරන්නට සිත් වූයේ කලකට ඉහතදි මෙරට ගුවන් විදුලියේ ළමා පිටියෙන් බිහිවූ ගායන ශිල්පිණියක වූ, වත්මනේ ඉතාලියේ මිලානෝහී ජිවත්වන ගායන ශිල්පිනි මායා රොඩ්රිගු විසින් සිදු කරන්නට යෙදවුණු සුවිශේෂ කටයුත්තක් නිසාවෙනි.

මායා මෙරට ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ගුවන් විදුලියේ ළමා පිටියේ ළමා ගායිකාවක් වශයෙනි. එතැන් සිට ඇය දශක ගණනාවක් තිස්සේ මෙරට මෙන්ම විදේශීයවද. තම ගායන හැකියාවෙන් බොහෝ රසික පිරිසක් ඇය වටා එක් රොක් කර ගත්තාය. මෙරට සංගීත ක්ෂේත්‍රෙය් විවිධ කාල වකවානුවලදී කැසට් පට, සංයුක්ත තැටි මෙන්ම යූ ටියුබය හරහාද තම නිර්මාණ ඉදිරිපත් කළ ඇය, අද මේ මොහොත දක්වාම නිර්මාණකරණයේ නියැළෙමින් සිටින්නීය.

පසුගිය මාර්තු මාසයේ ඇය විසින් ඉතාලියේ මිලානෝ නුවරදී පවත්වන්නට යෙදුණු තුන්සිතක ගී ප්‍රසංගයේ සම්පූර්ණ ආදායම ඇය වෙන්කර ලූයේ මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් වෙනුවෙන් දහවල් දානය පිරිනැමිම වෙනුවෙනි. ඒ සදහා පෙර දිනක ඇය ශ්‍රී ලංකාවට පැමිණ පසුගිය අගෝස්තු 20 වැනිදින අපේක්ෂා රෝහලේ සියලුම රෝගින් සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් දහවල් ආහාරය පිරි නැමුවාය.

“තුන්සිතක ගි ප්‍රසංගය පසුගිය මාර්තු 16 වැනිදා මිලානෝ නගරයේදි පැවැත්වුවා. එහිදි ගීත ගායනා කළේ මම, රාජ් වික්‍රමසිංහ සහ මැණික් අබේනායකයි. අපි තුන්දෙනා අති සාර්ථක ලෙස මේ ප්‍රසංගය පැවැත්වූවා. මම මගේ ස්වාමියා සිඩ්නි නැති වුණාට පස්සේ සම්බන්ධ වුණු පළවෙනි ප්‍රසංගය තමයි මේ ප්‍රසංගය. මැණික් මම මේ ප්‍රසංගයට සම්බන්ධ කර ගත්තේ ඇයට කරන අත දීමක් ලෙසයි. රාජ් අපි ඉතාලියට ගෙන්වා ගත්තා. මේ ප්‍රසංගය ට ඇතුල්වීම සදහා අපි අය කළේ යූරෝ පහක මුදලක් පමණයි. ඉතින් අපි හිතුවා ඒ මුදල අපි මහරගම අපේක්ෂා රෝහලට දානයක් දෙනවා කියලා. මේ ප්‍රසංගයේදි මම මගේ ගීත හතක් විතර ගායනා කළා. රාජ් රාජ් ගේ සෙබලාණෙනි ගීතය ගායනා කළා. ඒ ගීතයට පුදුම ප්‍රතිචාරයක් තිබුණේ. රාජ් ඒ වනවිට හිටියේ නවසීලන්තයේ. එයා මගේ මේ ප්‍රසංගය වෙනුවෙන්ම එහේ ඉදලා ඉතාලියට ආවා.”

මාර්තු මාසයේ ඉතාලියේදි පැවැත්වුණු ‘තුන්සිතක ගී’ ප්‍රසංගයෙන් ලැබුණු මුදල් ඇය සුරක්ෂිතව වෙන්කර ගත්තේ ලංකාවට පැමිණ අපේක්ෂා රෝහලට දානයක් පිරිනැමිම වෙනුවෙනි. බොහෝවිට වසරකට දෙවතාවක් හෝ තුන් වතාවක් මායා ලංකාවට පැමිණෙන්නීය. ඒ එන හැම වතාවකම ඇයට කුමන හෝ කාර්යයක් වෙනුවෙන් කාලය වැය කරන්නට සිදුවෙන්නේය. එක්කෝ එය ගීත නිර්මාණයක් වෙනුවෙනි. නැතහොත් දානමය පුණ්‍ය කර්මයක් වෙනුවෙනි. ඇගේ කලා ජීවිතයේ ඇය පසුපස සිටි නිබද සෙවණැල්ල වූයේ ඇගේ ආදරබර සැමියා සිඩ්නිය. එහෙත් මීට වසර කීපයකට පෙර ඔහු හදිසියේම ඇය හැර ගියේය. එතැන්සිට ඇගේ කලා ජීවිතේද බොහෝ ආපස්සට ගිය බව නොරහසකි. වසර කිහිපයක් යනතුරුම ඇය ප්‍රසිද්ධ වේදිකාවට හෝ වෙනත් කලා කටයුතු කිසිවකට සම්බන්ධ නොවූවාය. සැමියාගේ වියෝවෙන් පසු ඇය ප්‍රසිද්ධ වේදිකාවකට නැඟි ගැයු ප්‍රථම අවස්ථාව වූයේද මේ තුන්සිතක ගි ප්‍රසංගයයි.

‘‘ මම පසුගිය ජූලි මාසේ තමයි ලංකාවට ආවේ. අපේක්ෂා රෝහලින් මට දානය සදහා දිනය දුන්නේ අගෝස්තු 20 වැනිදා. සමස්ත රෝහලේ සිටින රෝගින්ට සහ සේවක මණ්ඩලය එක්දහස් එකසිය පණහකට මේ දානය අපි පිරිනැමුවා. රසවත් කෑම වේලක් අපි මේ අයට පිරිනැමුවා. ඒ අතරම ළමා වාට්ටුවේ ප්‍රතිකාර ලබන දරුවන් සදහා තෑගි පිරිනැමුවා. මේ සියල්ලම කළේ තුන්සිතක ගි වලින් ලැබුණු මුදලින් සහ මගේ පෞද්ගලික මුදලුත් යොදවලා.

ඒ එක්කම මම පෞද්ගලිකව අගෝසතු 19 වැනිදා අපේක්ෂා රෝහලේ එක වාට්ටුවකට දානයක් දුන්නා. ඒ මගේ මියගිය සැමියා සිහිපත් කරලා. ඔහු මිය ගිහින් දැනට වසර හයක් වෙනවා. ඒ වෙනුවෙන් තමයි මම ඒ දානය පිරිනැමුවේ. එතැනදි මට ලොකු අවස්ථාවක් ලැබුණා මගේ ගායන හැකියාවෙන් ප්‍රයෝජන ගන්න. මම ගීත ගායනා කරලා රෝගීන් සතුටට පත් කරන්න මට අවස්ථාව ලැබුණා. මම හිතන්නේ අන්තිම අදියරේ ඉන්න රෝගීන් ටිකක් තමයි මේ වාට්ටුවේ හිටියේ රෝගීන් 28 දෙනෙක් එතැන හිටියා. ඔවුන් අපහසුතා මධ්‍යයේ වුණත් මගේ ගීත රස විදිමින් සතුටු වුණා. ඒක මට ජිවිතේ ලැබුණු ලොකු සතුටක්. “මේ අවස්ථාවට මම වෙනුවෙන් රූපා ඉන්දුමතී, මැණික් චන්ද්‍රිකා සහභාගි වුණා. මේ සඳහා මට ගොඩාක් උදව්කළේ ගුවන්විදුලියේ විශාරද චන්ද්‍රකාන්ති මුණවීරයි. මේ හැම දෙනාම මේ මොහොතේ ඉතාම ආදරයෙන් සිහිපත් කරන්න ඕන.

අතීතයේ මායා ගුවන්විදුලිය තුළ ප්‍රකට ගායිකාවක් වූවා සේම ඉන්පසු කැසටි ගීත, සංයුක්ත තැටි ආ යුග වලදිද ඒ ඒ අංශවලින් ඇය තම නිර්මාණ ඉදිරිපත් කරමින් ජනප්‍රිය වුවාය. එසේම වර්තමානය වනවිට ඇය වඩාත් ප්‍රකටව සිටින්නේ සමාජ මාධ්‍යය තුළය. විවිධ කාලවකවානුවලදි සිදුවන වෙනස්විම් හරහා ඇයද තම නිර්මාණ වෙනස් කර ඉදිරිපත්කරන්නට උත්සුක වූවාය.

‘‘මම ජිවත් වෙන්නේ රටවල් දෙකක නිසා සමාජ මාධ්‍ය හරහා මගේ නිර්මාණ ඉදිරිපත් කිරීම මට පහසුයි. ඇත්තටම වර්තමානය වනවිට වඩාත් ජනප්‍රිය වෙලා තියෙන්නෙත් මේ මාධ්‍යයනේ. දැන් ඉතින් සීඩී විකිණෙන්නේ නෑ. දැන් මම කරන්නේ එක එක ගීතය කරලා මුදා හරින එක තමයි. හැම අවුරුද්දෙම ඒක කරන්න බැරි වෙයි. නමුත් මේ අවුරුද්දේ එකක් කරනවා. ඒ ගීතය කළේ ප්‍රියන්ත නාවලගේ. ගීතය රචනා කළේ මම විසින්මයි. ඒක ඉදිරියට අහන්න දකින්න ලැබෙයි.

ඇත්තටම මගේ ජිවිතේ පළවෙනි රසිකයා වුණේ මගේ ස්වාමියා. එයා නැති වුණාට පස්සේ මම ලොකු බිඳ වැටීමකට ලක්වුණා තමයි. මාව හැමෝටම හඳුන්වලා දුන්නේ ඔහු. මම ගීත ගායනා කරත්දි මාව ස්ටේජ් එකට අරන් යන්නේ එයා. ඉතින් එයා නැති වුණෙත් මම සින්දු කියමින් ඉන්න අවස්ථාවක. අපි ලංකාවට ඇවිත් මම ටී.න්.එල් එකේ වැඩසටහනක සින්දු කියමින් ඉන්න වෙලාවක තමයි එයාට හාට් ඇටැක් එක හැදෙන්නේ. ඒ 2018 අගෝස්තු 18 වැනිදා. ඒක මට දරා ගන්න බැරි කම්පනයක් වුණා. කොයි තරම් කම්පනයක්ද කියනවා නම් මම අවුරුදු පහකට වැඩි කාලයක් කිසිම දෙයක් කරන්නේ නැතුව ඔහේ හිටියා. ඊට පස්සේ තමයි මේ තුන්සිතක ගී ප්‍රසංගය කරන්න පෙලඹුණේ. ඒ කරපු දෙයිනුත් සත පහක්වත් මම තියා ගත්තේ නෑ මගේ අතිනුත් දාලා මම මේ පිංකම් කළා.

හැබැයි මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා යම් වැඩ කොටසක් කරන්න. දැන් මම බලාපොරොත්තු වෙනවා 2025 දි මිලානෝ නගරයේදි කරන්න ‘සිඩ්නි උපහාර කුසලාන’ කියලා එල්ලේ තරගාවලියක් කරන්න. ඒක එළිමහන් ප්‍රසංගයක් විදියට. මේ ආරංචිය ගියාම එහේ ඉන්න ගොඩාක් දෙනෙක් මගෙන් ඇහුවා ඇයි මායා එයා ගීත ප්‍රසංගයක් කරන්නේ නැතුව මේ වගේ දෙයක් කරන්න හිතුවේ කියලා. ඇත්තටම ඒකට හේතුව සිඩ්නි කියන්නේ හොඳ ක්‍රීඩකයෙක්. එයා ඉස්කෝලෙ යන කාලේ රෙකෝඩ් තියපු ක්‍රීඩකයෙක්. ඒ නිසා තමයි මම ක්‍රීඩාව පැත්තෙන් මේ තරගාවලගිය තියන්න සුදානම් කළේ.”

මායා සිය දරු දෙදෙනා වන දුෂ්මා සහ ස්ටිව් සමග ඉතාලියේ ජිවත් වන්නීය. ඇය ලංකාවට පැමිණෙන්නේ නිවාඩුවකටය. දැන් ඇගේ කලා ජිවිතයට සහයෝගය දක්වන්නේ ඇගේ දරුවන් දෙදෙනාය. ඔවුන් දෙදෙනා කලාව පැත්තට යොමු නොවුණද , මුදලින් සහ ශ්‍රමයෙන් ඇයට සහයෝගය දක්වන්නේ ඇගේ දරු දෙදෙනාය.

 

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT