ලංකාවේ නූතන සාහිත්‍ය තුළ හෂාන් රන්දික ඩයස් තම කුලුඳුල් කෘතිය ලෙස ‘ළා රත් පැහැති දෙතොලක සිනහවක්’ කාව්‍ය සංග්‍රහය හරහා පාඨක අවධානය දිනා ගැනීමට සමත් වෙනවා. ඉන් අනතුරුව හෂාන් කවියෙන් නොනැවතී ‘සතුට විතරයි සතුට උතුරයි’ සහ ‘මැදියමි රෑ පුස්තකාලේ’ යන පරිවර්තන කෘති ද්විත්වය ලංකාවේ පාඨකයන් වෙත දායාද කරයි. ‘මැදියමි රෑ පුස්තකාලේ’ පරිවර්තන කෘතිය ලංකාවේ පාඨකයන් අතර බහුල කියවීමකට ලක් වූ කෘතියක් විය. මෙවර සරසවිය අවකාශයෙහි ඉඩ වෙන්වන්නේ හෂාන් රන්දික ඩයස් නමි යොවුන් ලේඛකයා සමඟ සිදු කළ කතාබහ සමඟයි.
රන්දිකට ලිවීමේ ආශාව මුලින්ම ඇති වෙන්නේ කොහොමද?
මම කුඩා කාලේ ඉඳන්ම කියවීමේ පිපාසාවකින් පෙළුණා. මේ පිපාසය සංසිඳුවා ගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය අපේ ගෙදරම තිබුණා. මම කුඩා කාලෙ සති අන්ත පුවත්පත් සහ නොයෙක් මාසික සඟරාවන් මට බහුලවම කියවන්න ලැබුණා. විශේෂයෙන්ම සමුදුර, විජය වගේ පුවත්පත් සහ මුතුහර, මනහර, සිව්දෙස වගේ සඟරාවන් ගැන මතක් කරන්න කැමැතියි. ඊළඟට මගේ මනදොළ සැපිරූව අනෙක් තැන තමා පාසල් පුස්තකාලය. මම අධ්‍යාපනය ලැබුවේ කඳාන ද මැසනඩ් විද්‍යාලයේ. පාසල් පුස්තකාලය එක්ක මට ලොකු බැඳීමක් තිබුණා. අපේ රටේ පමණක් නොවෙයි ලෝක සාහිත්‍යයේත් මාහැඟි අගයක් ගන්නා කෘතීන් මගේ සමීපතම හිතමිත්‍රයන් බවට පත්වෙන්න පටන් ගන්නෙ එතැනින්. පවුලේ එකම දරුවා විදිහට මට වැඩි කාලයක් හුදෙකලාවේ ගතකරන්න ලැබුණා. මේ මිත්‍රයන් මගේ හුදෙකලා ලෝකය විස්මයන්ගෙන් පිරෙව්වා. අද යම් දෙයක් මම ලියනවනම් ඊට මූලික වශයෙන්ම බලපෑමක් ඇති කළේ මෙන්න මේ දේවල් කියවීමෙන් ලැබුණ රසවින්දනය තමා.
රන්දිකගේ කුලුඳුල් කෘතිය විදියට එළිදක්වන්නේ කවි පොතක් විදියට. පළමු කෘතිය විදියට ‘ළා රත් පැහැති දෙතොලක සිනහවක්’ කෘතිය ලියවෙන්නේ කොහොමද? මොකක්ද ඊට පසුබිම?
කවිය ගැන විශාල ආදරයක් කුඩා කාලෙ පටන්ම මා තුළ වැඩෙමින් තිබුණා. නම් වශයෙන් කිව්වොත් රත්න ශී‍්‍ර, මොනිකා රුවන්පතිරණ, පරාක්‍රම කොඩිතුවක්කු, ආරියවංශ රණවීර වගේ කවි කිවිඳීයන්ගේ කවි වගේම කවිය ගැන නොයෙක් අදහස් මට ඒ යුගයෙදි පුවත්පත් සඟරා හරහා කියවන්න ලැබුණා. ඒ කවි සහ කවිය පිළිබඳ රචනයන් කියවලා මම විශාල රසයක් අත්වින්දා. වරින් වර දින පොතක ඇතුළේ කවියක් වගේ දෙයක් කටු ගානවා ඇරෙන්න කාව්‍ය සංරචනාව පැත්තට මම වැඩිපුර යොමුවෙලා හිටියේ නෑ. සමාජ මාධ්‍ය කියන දේ අපේ ජීවිතවල කොටසක් බවට පත් වෙන්න පටන් ගන්නේ ඔය අතර. විශේෂයෙන්ම Facebook එක. මගෙ අතින් ලියවෙන කවි වගේ දේවල් Facebook වල පළ කරන්න මම යොමු වුණා. නමුත් එක් අවස්ථාවක යම් වේදනාකාරී අත්දැකීමකට මුහුණ දෙන්න මට සිද්ධ වුණා. මම ලියූ කවියකට යම් කණ්ඩායමක් සෑහෙන අවඥාවෙන් අපහාස උපහාස කරමින් හාස්‍යට ලක්කරන ආකාරය මට දැකගන්න ලැබුණා. ඒ කවිය මම ලියූ එකක් බව සඳහන් නොවී තමයි මේ දෙය සිදු වුණේ. ඇත්තටම කවිය ඇතුළේ මම ඉන්නෙ කොතනද කියන ගැටලුව මට ඇති වුණා. ඒ අනුව තමා මම ගොඩගේ අත්පිටපත් තරගයට ඉදිරිපත් වෙන්නෙ. මාත් සමඟ මේ අවකාශෙ කවි ලිව්ව අදහස් හුවමාරු කරගත්ත හිතමිත්‍රයන් තමා වැඩි වශයෙන් මාව දිරිමත් කළේ. ඉතින් මම සමාජ මාධ්‍ය ඇතුළේ කාලයක් තිස්සේ ලියූ කවි කිහිපයක් මගේ මිත්‍රයන්ගෙ උදව්වෙන් එකතු කරගෙන ඒ කවි අතරෙ තිබුණ කවියක්ම මාතෘකාව විදිහට යොදලා ගොඩගේ ආයතනය විසින් පවත්වන අත්පිටපත් තරගයට 2020 අවුරුද්දේ දි යොමු කළා. මගේ අත් පිටපත එතැනදි ප්‍රශස්ත ඇගැයීමකින් පිදුම් ලැබුවා.
ලංකාවේ පාඨකයන් අතර මෑතකදී සෑහෙන කියවීමකට ලක් වුණු පරිවර්තනයක් තමයි ඔබ පරිවර්තනය කරපු ‘මැදියමි රෑ පුස්තකාලේ’. ජීවිතය සමිබන්ධ ගැඹුරු කියවීමක් තියෙන කෘතියක් විදියට මැදියම් රෑ පුස්තකාලේ කෘතිය සමිබන්ධ අදහස මොකක්ද?
කවියෙන් පස්සෙ මම යොමුවෙන්නේ පරිවර්තනයට. ඒක සිද්ධ වෙන්න එක්තරා ආකාරයට මගේ කුඩා කාලේ ඒ රසබර මතකයන්ට ආපහු ගමන් කරන්න ගත් උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට. සංක්ෂිප්ත පරිවර්තනයක් විදිහට ඒ කාලේ මම ඉතා ආශාවෙන් කියෙව්ව කතාවක පරිපූර්ණ සිංහල පරිවර්තනයක් කරන්න තදබල උවමනාවක් මට එක්තරා අවස්ථාවක දී ඇති වුණා. මගේම ආත්ම තෘප්තිය වෙනුවෙන් දිගු කාලයක් තිස්සේ වෙහෙසක් අරගෙන ඒ කතාව මම සිංහලට පරිවර්තනය කළා. ඒ වෙද්දී මම ඇම්.ඩී.ගුණසේන ආයතනයේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙකු විදිහට රැකියාව කරමින් හිටියේ. ලිවීම අතින් මා තුළ යම් විභවයක් ඇති බව දුටුව ඒ ආයතනයේ කළමණාකාරිත්වය මට ගුණසේන සමාගම වෙනුවෙන් කෘතින් දෙකක් සිංහලට පරිවර්තනය කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ අතරThe Midnight Library නම් දෙවන කෘතිය තමා ‘මැදියම් රෑ පුස්තකාලේ’ නමින් සිංහලට පරිවර්තනය වී ප්‍රකාශයට පත්වෙන්නේ.
The Midnight Library කියවූවාම මට හිතුණේ මෙය කියවන්නෙකු ඇතුළේ විශාල වශයෙන් ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි කෘතියක් බව. ජීවිතය සම්බන්ධයෙන් දොම්නස් සහගතව බවින් පිරිලා, ජීවිතයට අරමුණක් සොයාගන්න බැරිව ඉන්න කෙනෙකුට පණගහලා නැගිටින්න හයියක් දෙන ප්‍රබන්ධයක් බව. මෙය රචනා කළ Matt Haig ඉතා සූක්ෂමව මේ කතාව ගෙඩනංවා තිබෙනවා. මට ලොකු සතුටක් ලොව පුරා මිලියන ගණනින් අලෙවි වුණු සහ විශාල පාඨක පිරිසක ගේ ආදරය දිනාගත් කෘතියක් සිංහල භාෂාවෙන් කියවන පාඨකයාට හඳුන්වා දෙන්න ලැබීම ගැන.
සාහිත්‍ය තුළ පරිවර්තකයා කියන්නේ කවුද? එහි භූමිකාව සහ වගකීම මොකක්ද? කොහොමද? පරිවර්තකයකු විදියට මොකක්ද ඔබෙි කියවීම මෙි සමිබන්ධයෙන්?
පරිවර්තකයා තමයි රටින් රටට බසින් බසට එකිනෙක යා කරමින් පාලම් ගොඩනගන්නා. ඔහු තමා එක් සංස්කෘතියක් තවත් සංස්කෘතියකට හඳුන්වා දීමේ පෙරගමන්කරුවා. එහෙම සඳහන් කළාම පරිවර්තකයාගේ කාර්යභාරය කොයිතරම් පුළුල් එකක්ද? කියන දේ ගැන අදහසක් ගන්න පුළුවන්. සාහිත්‍යමය පරිවර්තනය කියන්නෙ සරලවම යම් කෘතියක් එක් බසක් තවත් බසකට පෙරළිමෙන් සෑහෙන එහාට යන වැඩක්. ඕනෑම භාෂාවක තියෙනවා හුදු වචනාර්ථයෙන් අල්ලා ගන්න බැරි නමුත් හැඟවුම් කාරක ගුණයෙන් යුතු වුණු යෙදුම්. උදාහරණයකින් කිව්වොත් ඉංග්‍රීසි බසින් Bread and Butter කියන්නේ කෙනෙකුගේ ප්‍රධාන ජීවන වෘතිය, මූලික ආදායම් මාර්ගය කියන දෙයට. නමුත් ඔය යෙදුම හුදු වචනාර්ථයෙන් ගන්න කෙනෙකු This is my Bread and Butter කියන වාක්‍ය ‘මේ මගේ පානුයි බටරුයි’ කියලා සිංහලට පරිවර්තනය කරන්න ඉඩ තියනවා. එතනදි ඒ යෙදුමේ අර්ථය සහමුලින් විකෘති වෙලා කියලා තේරුම්ගත හැකියි. මෙවැනි දෑ සිදුවීම හැකිතාක් අවම කරගැනීම සාහිත්‍ය පරිවර්තකයෙකුගේ වගකීම බව මම අමුතුවෙන් කිව යුතු නෑ.
සාහිත්‍ය පරිවර්තනයේදි පරිවර්තකයෙක් මුහුණදෙන මූලිකම අභියෝගය තමා භාෂාව තෝරා ගැනීම. එනම් කෘතියක් එක් බසකින් තවත් බසකට පෙරළද්දී යොදා ගන්නේ කොයි විදිහේ භාෂා රටාවක් ද කියන දෙය තීරණය කිරීම. මෙතනදි ඔහු මුල් කෘතියේ කතුවරයාගේ බස් වහර සහ ආකෘතිකමය ගොඩනැංවීම සිදුකර ඇති ආකාරය හඳුනාගත යුතුයි. වෙනත් ආකාරයකින් කියනවා නම් ඔහු කතුවරයාව වටහාගත යුතුයි. එක් එක් කතුවරයාටම අනන්‍ය වුණු භෂා රටාවන් තියනවා. උදාහරණ විදිහට Mark Twain, Ernest Hemingway වගේ අය සැලකෙන්නේ ඉතාම සරල බස් වහරක් යොදාගන්නා කතුවරු විදිහට. අනෙක් පැත්තෙන්Virginia Woolf, William Faulkner, James Joyce වගේ අය ප්‍රකට වෙන්නේ අතිශ්‍ය සංකීර්ණ ලෙස භාෂාව භාවිත කරනා කතුවරුන් විදිහට. ඔවුන්ගේ කෘති වටහා ගැනීම දුෂ්කර බවයි පොදුවේ පිළිගැනෙන්නේ. පරිවර්තකයෙක් මේ වෙනස වටහා ගත යුතුයි. පරිවර්තනය කළ යුතු වෙන්නේ මේ මුල් කතුවරයාගේ භාෂා ව්‍යවහාරයේ අනන්‍යතාවන් ඉස්මතු වන ආකාරයෙන් ඊට අනුරූපවයි.
ඔබ සාහිත්‍ය කෘති පරිවර්තකයකු විදියට ලංකාවෙි නුතන පරිවර්තන ක්‍රියාවලිය සහ කෘතිවල ගුණාත්මකබව ගැන තියෙන්නේ මොන වගේ අදහසක්ද?
වර්තමාන යුගය ගැන කියනවා නම් තාක්ෂණය කියන දේ ඉතාම ප්‍රබල සාධකයක්ව මතු වී තිබෙන බව මම අමුතුවෙන් කිව යුතු නෑ. පරිවර්තන කාර්යයේදී මේ තාක්ෂණ දියුණුව සම්බන්ධයෙන් මම දකින ධනාත්මකම කාරණාව තමා තාක්ෂණය භාවිතාවෙන් අක්ෂර සංයෝජනයට සහ නැවත සංස්කරණයට ඇති පහසුව. නමුත් අනෙක් පැත්තට, තාක්ෂණය දියුණු වුණ පමණින් සාහිත්‍ය කියන දෙය එහෙම ලෙහෙසියට පහසුවට බිහිකරගත හැකිද කියන ගැටලුව එනවා. මොකද? සාහිත්‍ය කියන්නේ කෙනෙකු ජීවිතය ඇතුළේ ආයාසයෙන් ගොඩනගා ගත යුතු දෙයක්. ඒකට ගෙවිය යුතු මිල තමා අත්දැකීම්, කාලය සහ නිරන්තර පොතපත ඇසුර කියන්නේ. ඉතින් තාක්ෂණය දියුණු වුණා කියලා සාහිත්‍ය ෆැක්ටරි දාලා නිෂ්පාදනය කරන්න හැකියාවක් නැහැ.
පරිවර්තනය කියන මාතෘකාවට එනවා නම් ඔබ මම අපි කවුරුත් දන්නවා දැන් Google Translate නිසා ඕනැම කෙනෙකුට ලේසියෙන්ම පරිවර්තනය කරන්න පුළුවන්කම ලැබිලා තියන බව. තාක්ෂණික ලියවිල්ලක් වැනි යමක් අපිට ඒ ක්‍රමයට පරිවර්තනය කරගන්න පුළුවන්. නමුත් සාහිත්‍යට ආවම තත්ත්වය වෙනස්. සාහිත්‍ය කියන්නේ මානව පරිකල්පනයේ නිර්මාණාත්මක නිමැවුමක්. මිනිස් හැඟුම්, බසක තියෙන ඉඟි කාරක යෙදුම් වගේ අමුද්‍රව්‍ය වලින් සැදුම් ලත් සාහිත්‍යයක් මේ වගේ පරිගණක වැඩසටහනකට හසු කරන්න පුළුවන් තරම් සියුම් කමක් මේ යන්ත්‍රවලට කවදාවත් ලබා ගන්න හැකියාවක් තියෙනවද කියන දේ ප්‍රශ්නයක්. අනාගතයේ දවසක එහෙම හැකියාවක් ට්ධධඨතඥ වලට අත්පත් කරගන්න හැකිවේවිද? කියන්න මම දන්නෙ නෑ. නමුත් දැන් තියන තත්ත්වය අනුව නම් සාහිත්‍ය පරිවර්තනයක් සාධනීය මට්ටමකින් යාන්ත්‍රිකව කරගන්න අපිට හැකියාවක් නෑ. ප්‍රශ්නය ඇතුළේ ඔබ අහලා තියනව කෘතිවල ගුණාත්මක බව ගැන. ඒකට පරිපූර්ණ උත්තරයක් දෙන්න නම් නූතනයෙ පළවන කෘති ගැන ලොකු විමර්ශනයක් කරන්න අවශ්‍ය වෙනවා. නමුත් පාඨකයෙක් විදිහට කලින් උදාහරණයක කියා තිබුණා වගේ පරිවර්තනය වුණු තැන් සමහර පරිවර්තන ඇතුළේ මුණ ගැහෙනවා. ඒ කියන්නේ පරිවර්තනය යාන්ත්‍රීකරණයේ ප්‍රතිඵලයක් නිසා මෙහෙම සිදුවෙනවාද? කියන ගැටලුව මතුවෙනවා. ඒවගේම මෙතන තවත් පැතිකඩක් තියනවා. අපි දකිනවා සැප්තැම්බර් මාසයේ පොත් ප්‍රදර්ශනය මුල් කරගෙන බොහොමයක් පොත් පළවෙනවා. බොහෝවිට ප්‍රකාශකයන් සැප්තැම්බර් මාසයේම කෙසේ හෝ පොත් පළ කරන්න උත්සාහ දරනවා. එය ගැටලුවක් නෑ මොකද? පොතක් පළ කරන්නේ පොත් ප්‍රදර්ශන සංවිධානය වෙන්නේ පොත් විකුණාගන්න තමා. නමුත් එතැනදී රචකයාගේ පැත්තෙන් නිදහස සීමා කිරීමකට ලක්වෙනවා නම් එය නොවිය යුතු දෙයක් විදිහටයි මම දකින්නේ.
ඔබ වඩාත් ප්‍රිය කරන කෘති මොනවද කියලා මම ඇහුවොත්?
එතනදි මට සිද්ද වෙනවා ආපහු මගේ කුඩා කාලයට යන්න. ඒ යුගයෙදි මට වතාවක් එඩ්ගාර් ඇලන් පෝ ගේ The Black Cat කෙටි කතාවේ සිංහල පරිවර්තනයක් කියවන්න ලැබෙනවා. අභිරහස් සහ අත්භූතමය රසයෙන් සපිරි ඒ කතාව තදින්ම මගේ හිතට කාවැදුණා. ඇලන් පෝ ගේ තවත් කෙටි කතා කීපයක් මට කියවන්න ලැබුණා. ඒවා මාව විස්මපත් කරන්න සමත් වුණා කිව්වොත් නිවැරදියි. පෝගේ අසාමාන්‍ය පරිකල්පනය ගැන ප්‍රේමයක් මා තුළ ඇතිවෙන්න පටන් ගත්තේ ඒ ආකාරයටයි. පසුකාලීනව ඔහුගේ ජීවන පුවත කියවා බලද්දී ඒ හැඟීම තවත් වැඩි දියුණු වුණා කිව්වොත් හරි. ඇලන් පෝ කියන්නේ ජීවිතේ දුක්ඛදායී බව අසීමාන්තිකව අත්විඳීමට සිදුවුණු තැනැත්තෙක්. සාහිත්‍යම පමණක් තම ජීවින වෘත්තීය කරගත්තු පළමු ඇමරිකානුවා විදිහට සැලකෙන්නේ ඔහුවයි. ඔහු වෑන්ගෝ වගේ තම කලාව වෙනුවෙන් තම මුළු ජීවිතයම කැප කළ අයෙක්. පරීක්ෂණය, නිරීක්ෂණය මගින් නිගමනවලට එළඹෙන ලොව පළමු රහස් පරික්ෂක චරිතය වුණු ඕගස්ට් ඩුපින්ව නිර්මාණය කරන්නේ ඔහු. රහස් පරීක්ෂක කතා සහ භයානක රසයක් දනවන කතා ශානරයට ඇලන් පෝ ගෙන් ඇතිවුණු බලපෑම සුවිශාලයි. මම හිතනවා එක අතකින් ඔහුට ගෙවන්නට සිදුවුණ දුක්ඛදායී ජීවිතය මේ ආකාරයේ කතා රචනා කරන්න ඔහුට බලපෑමක් කළා කියලා. ඒ රචනා මිනිස් සන්තානයේ අඳුරු පැතිකඩ නිරූපණය කර පෙන්වනවා. Thriller ශානරයට මම ප්‍රිය කරන්න පටන් ගත්තේ ඔහුගේ කතා කියවලා.
පසුකාලීනව කියපු ප්‍රබන්ධ අතරින් අරුන්දතී රෝයි ගේ The God of Small Things, සුබා රණවීර පරිවර්තනය කළ වෑන්ගෝ චරිතාපදානය, ‘අම්මා මට කියාදුන් ගී’ නමින් පළවුණු මාලන් බ්‍රැන්ඩෝ ජීවන පුවත, ශෙහාන් කරුණාතිලකගේ චයිනමන්, මුරකමි ගේ කෆ්කා මුහුදු වෙරළේ, වගේ කෘති මාව විස්මපත් කරන්න සමත් වුණා. දැන් කියවන්නේ බොහෝවිට ප්‍රබන්ධමය නොවන පොත්.
රන්දිකගේ සාමාන්‍යයෙන් එදිනෙදා ලිවීම කියන කර්තව්‍යය සිද්ධවෙන්නේ කොහොමද? ලියන කාලෙට හැසිරීම මොනවගේද?
මට වැඩි වශයෙන්ම පරිවර්තනයේ යෙදෙන්න අවස්ථාව ලැබුණේ රැකියාව සහ ලිවීම කියන දෙකම එකිනෙක සමපාතවී පැවතුණු කාලෙක. ඒ නිසා ලිවීම වෙනුවෙන් කාලය සොයාගැනීම ඒතරම් ලොකු ගැටලුවක් වුණේ නැහැ. නමුත් මගේ මුල්ම පරිවර්තනය මම සිදුකරද්දී එවැනි තත්තවයක් නොවෙයි තිබුණේ. රැකියාවෙන් පසුව ඉතිරි වෙන අමතර කාලයකදී තමා මම පරිවර්තනයේ යෙදුණේ. ඒ වෙනුවෙන් සෑහෙන කාලයක් වැය කරන්න මට සිදු වුණේ ඒ නිසා. කවිය ගැන කියනව නම් කවි නිමිත්තක් පහළ වෙන්නේ කොයි වෙලාවකද? කියලා හිතාගන්න බැහැ. කතාවක් තියනවා නෙ මරණ මොහොතයි හොඳ අදහසක් ඔළුවට එන මොහොතයි දන්නෙ දෙවියො පමණයි කියලා. කොයිම වෙලාවක හරි කවිමය අදහසක් එනව නම් මම හැකියාව තියන විදිහ අනුව එසැණින්ම එය දුරකථනේ ව්ධබඥනචඤ එකේ ටයිප් කරගන්නව. පසුව තමා ඒ අදහස කවියක් විදිහට වැඩිදුරටත් විහිදුවලා ලියවෙන්නේ. සමහර කවි ඒ විදිහට විහිදුවා ලියන්න අවශ්‍ය නැහැ. සමාජ මාධ්‍යකට හරි වෙනත් කොහෙට හරි ඒ කවිය පළ කරන්නෙ ඉන් පස්සෙ. කවි විදිහට උපත නොලබා කළල අවධියෙන්ම නතර වෙන කවි නම් අනන්තයි අප්‍රමාණයි.
ලංකාවේ කවිය, කෙටිකතාව, නවකතාව කියවන පාඨකයා සමිබන්ධයෙන් සමහරුන්ගේ අදහස් තියෙන්නේ එතරමි සුබවාදී තැනක නෙමෙයි. සබුද්ධික කියවීමක් නෑ. විශ්ලේෂණාත්මක කියවීමක් නැ කියන එක තමා විවෙිචනය. රන්දිකගේ අදහස මොකක්ද? මෙි ගැන?
ඔය ප්‍රශ්නයට පරිපූර්ණ පිළිතුරක් දෙන්න හැකි වෙන්නේ නම් පාඨක සමාජය ගැන පුළුල් හැදෑරීමක් ඇතුළේ තමා. නමුත් සරලව අපි මේ කාරණාව පැහැදිලි කරගන්න උත්සාහ කරමු. ඒ වෙනුවෙන් මම කැමතියි කියවීම ආකාර තුනක් යටතට බෙදන්න. පළමු කාණ්ඩය වෙන්නේ රසාස්වාදය අරමුණු කරගත්ත කියවීම. එතනදී කියවීමේ අරුතට වඩා රසවිඳීමයි මූලික වෙන්නෙ. දෙවනි ආකාරය තමා කියවීම වින්දනය කරන අතර අරුත් විමසමින් කියවීම. මෙතනදී කියවන්නෙකු තමන් කියනව කෘතිය එක්ක වඩා ගැඹුරු ජීවිත ගණුදෙනුවක් ඇති කරගන්නවා. රසය සේම අර්ථයත් මූලික වෙනවා. මීළඟට තුන්වෙනි ආකාරය වෙන්නේ සාහිත්‍යයක ගුණාංගයන් සමග භාෂාවේ තාක්ෂණික ශිල්ප ක්‍රම පිරික්සා බලමින් කියවීමකට. පාඨක සමාජය දිහා බැලුවාම සාමාන්‍යයෙන් අපිට දැකගන්න ලැබෙන්නේ පළමු කාණ්ඩයේ කියවන්නන් වැඩි බවක්. දෙවන කාණ්ඩයේ කියවන්නන් සාපේක්ෂව තරමක් අඩුයි. තුන්වන කාණ්ඩයෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් භාෂාව හා සාහිත්‍ය විෂයක් විදිහට ඉගෙනගන්න අය තමයි. මේ විදිහට කියවීම වර්ගීකරණය කරන්න මම උත්සාහ කළේ කවුද? උසස් කවුද? පහත් කියලා බෙදීමක් ඇති කරන්න නොවෙයි. ෂර්ලොක් හෝම්ස් වගේ පොත් අපි කොච්චර ආසාවෙන් කියෙව්වද? ඒවා අපිට කොච්චර රසයක් දුන්නද? එයත් අවශ්‍යයි. සාහිත්‍ය පරිශීලනයෙන් පමණක් කෙනෙක් උසස් වෙන්නෙ නැහැ. නමුත් ක්‍රම වෙනසක්, සමාජ විපරිණාමයක් ගැන කතිකාවතක් රට තුළ ඇති වෙලා තියන මේ වගේ මොහොතක, විමර්ශනශීලී පුරවැසි සමාජයක් ඇති කරන්න නම් අර්ථාන්විතව කියවන්නට පුහුණු වුණු පාඨක සමූහයක් මේ රට ඇතුළේ බිහි කර ගැනීම අවශ්‍යයි. නමුත් අපි නිතර ඇසුරු කරන ලියන කියවන මිතුරු කවවලින් මිදිලා මේ පොළවේ යථාර්ථය දිහා බැලුවා ම පෙනෙන දෙය තමා මිනිස්සු කියවීමෙන් සෑහෙන දුරස්ථ බව. නමුත් විදෙස් රටවල එහෙම දෙයක් අපි දකින්නෙ නෑ. මිනිස්සු මඟ යන එන ගමන් පවා සෑහෙන තරම් කියවනවා. ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නෙ? අපේ රටවල තියන ආර්ථික පීඩනය නිසා ද? අපේ අධ්‍යාපන ක්‍රමයේ වරදක් ද? සාහිත්‍ය කියන්නෙ සංදේශ කාව්‍ය, ජාතක කතා කටපාඩම් කර විභාගයට පිළිතුරු සැපයීම වැනි පාසල් දරුවන්ට ඉතාම නීරස දෙයක් බවට පත්කරමින් විශය නිර්දේශ සකසා තිබෙන බලධාරීන් ද මෙයට වගකිව යුතු වෙන්නෙ? එතන ඉතුරු වෙනවා ලොකු ප්‍රශ්නාර්ථයක්.
ඔබේ කෘති රචනා කිරීම, පරිවර්තනය කිරීම, භාෂාව හැසිරවීම ඔබටම ආවෙිණික වුනු එකක්. ඔබෙි සාහිත්‍යමය කටයුතුවලට බලපාන ලද පුද්ගලයන් හෝ සාහිත්‍ය කෘති මොනවාද?
මම කලිනුත් සඳහන් කළා පරිවර්තනයක භාෂාව මුල් කෘතියට අනුරූප විය යුතු බව. The Midnight Library කෘතියේ කර්තෘවරයා අනුගමනය කර තිබුණේ සරල බස් වහරක්. ඒ වගේම ඔහු කතාව ගොඩනංවා තිබුණේ කියවන්නට පහසු වන ආකාරයට කුඩා ඡේදවලට වෙන්කළ ආකෘතියකට. ඒ අනුව කෘතිය පරිවර්තනයෙදි මම සරල භාෂා විලාසයන් යොදාගත්තා.
කවිය ගැන කියනව නම් මම ඉතාම ආශාවෙන් කියවන සහ මටත් ලියන්න පෙළඹුමක් ඇති කළ කවියන් කිහිප දෙනෙක් ඉන්නව. ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ, මංජුල වෙඩිවර්ධන, රුවන් බන්දුජීව වගේ අයගේ කාව්‍ය ධාරාවන් මට ලිවීමෙදි අනුප්‍රාණය සැපයුවා. කවිය හරහා ඔවුන් පළකළ ජීවන දැක්ම මගේ සිත් ගත්තා. ජීවිතය කියන්නේ සොබාදහම නම් සුවිශාල පැවැත්මේ එක් කුඩා කොටසක් විදිහට දකින්න පටන් ගත්තා, ජීවිතය නම් ඍතුවෙන් ඍතුව පත් හලන යළි වැඩෙන තුරු ගොමුවක් විදිහට, විටෙක වර්ෂාවත් තව විටෙක උණුහුම් ගිම්හානයත් අරගෙන එන අහසක් විදිහට, මතුපිට රළ නැගෙන නමුත් අනන්තයක තරම් ගැඹුරක් සඟවාගත්ත සයුරක්ව දකින්න මා හුරු වුණා. කවිය කියන්නේ රචනා විලාසයක්ම නොවෙයි. කවිය කියන්නෙ චින්තන ක්‍රමයක්. කාව්‍යමය දිවි පැවැත්මක එක් අතුරු ඵලයක් විදිහටයි කවියක් සංරචනා වෙන්නේ. මූලිකම කාරණාව නම් මෙන්න මේ ජීවිත පැවැත්ම අත්පත් කර ගැනීම බවයි මගෙ වටහා ගැනීම.
ඉමල්ක විතානගේ