අපූර්ව, රසාලිප්ත හෝ රසික දිවි සැබවින්ම පොහොසත් කරවන සිනමාපටයක් නිර්මාණය සඳහා සුලබ තේමාවක් තෝරා ගැනීම අනුචිත නොවේ. එසේම සුලබ තේමා නිරතුරුවම හෝ වරින්වර තෝරා නොගත යුතුය යන්නද මුසාවකි. කෙසේ නමුදු මෙබඳු විටෙක සිනමාකරුවකු හා ඔහුගේ පිරිවර වැඩිදුරටත් සැලකිලිමත් විය යුත්තේ අදාළ සුලබ තේමා නවමු පිළිවෙත් හා ලකුණු සහිතව රසිකයා විෂයෙහි විදාරණය කිරීමටය. මෙහිලා අනුගමනය කළ යුතු ප්‍රකාශන රීති සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම සවිඥානක සිනමාකරුවකුට අපහසු නොවන වග සැබෑවකි.
මේ දිනවල සිනමාශාලා කරා පැමිණ තිබෙන ‘ගොවි තාත්තා’ මෙකරුණු සිහිපත් කරන්නේ පළමු රූප රාමු සමුච්චය ගෙවා දැමීමටත් පෙරාතුවය. සිනමාකරු දර්ශන රුවන් දිසානායක සිනමාකරණයට නවකයකු වීම හා සංගීතයට සුරු විරුකම් පෑම යන අදහස් ද්විත්වය මෙතැනදී ගළපා ගත යුත්තේ කල්පනාකාරීවයි . ඔහුගේ අභිප්‍රාය සංගීතමය සිනමාපටයක් නිමවීම නොවන බව සැබෑවකි. එහෙත් සිය සංගීතමය සමත්කම සිනමාපටයේ වඩාත්ම කැපී පෙනෙන අනුශාංගික අංගය වනු දැකීම ඔහුගේ බලාපොරොත්තුවක් නොවූ බවක් නම් නොපෙනේ. සංගීතමය සිනමාපටයක් සඳහා ගොවි දිවි ඇසුර වුව භාවිත කළ හැකිය. ඇතැම් රළු හා ප්‍රචණ්ඩ දේශපාලනික සිනමාපට පවා සංගීතමය මැදහත්වීමකින්ද, අන්තර්ගතයකින්ද සමන්විත බව ජගත් සිනමාව පැවසුවේ බොහෝ කලකට පෙරාතුවයි. සිනමාපටයක් සංගීතයෙන් නැහැවීම පිළිබඳව සිනමාකරු දර්ශන යම් හැදෑරීමක නිරතව සිටියේ යැයිද සිතේ. ඔහුගේ පසින් මෙය අවදානම් අවතීර්ණ වීමකි.
‘ගොවි තාත්තා’ හි එන සුලබ තේමාව වන්නේ වස විස නැති ගොවිතැනකින් නිරෝගී දිවියක් සහතික කළ හැකිය යන්නය. සිනමාපටය නිමා කරන්නේද රෝගීව මිය ගිය වියපත් ගොවි තාත්තා තුරුණු වෙස් ගෙන පැමිණ වස විස නැති මහ පොළොවක ආදරය වපුරමුය යන්න බිරිඳ අමතා පවසන අවස්ථාවෙනි. සිනමාපටයේ සමුදයාර්ථය මෙතැන තිබෙන බව පැහැදිලිය. බැලූ බැල්මට මේ සඳහනේ වරදක් නොමැති බව පෙනේ.
පළමු චරිතය වන ගොවි තාත්තාද, ගොවි පිරිසද නිරතව සිටින්නේ කාබනික පොහොර පමණක් යොදන ගොවිතැනකය. ඔවුනගේ දිවි සැරිය ඛේදජනක ලෙස ගෙවී යන්නේ වැඩි අස්වනු අරමුණු වෙනුවෙන් රසායනික පොහොර හා කෘමි නාශක භාවිතය නිසාවෙනි. සිනමාකරු දර්ශන කාබනික පොහොරම යොදන ගොවිතැන අත්‍යන්තයෙන්ම සඵලදායී වන බව අවධාරණය කරමින් සිනමාපටය නිම කරයි. එනමුදු තමාට විෂය වූ කාල වකවානුව තුළ දත හැකි වූ පෙරළි වෙතින් කියවෙන දෑ බැහැර කරන පිළිවෙතක් අවධාරණය නොකිරීමට ඔහු ප්‍රවේශම් වන සැටියකි. සිනමාපටය කල්පිතයක් බවට පත් නොකිරීමට මෙයින් ලැබෙන ඉඩ කඩ අරභයා ඔහු දැක්වූ මෙම අවධානය අගය කළ යුත්තේ සැණෙකින් නොවේ. ඔහු හා සිනමාව අතර නව සබඳතා ගොඩ නැංවෙන්නේද යන්න මෙතැනදී විසඳා ගත යුතු පැනයකි.
ගොවි තාත්තා ඇතුළු පිරිසගේ උක්ත ඉරණම නිරූපණයට සමාන්තරව සිනමාකරු දර්ශන කරුණු ගණනාවක්ම සනිටුහන් කරන්නේ පෙර කී පිළිවෙත යථාර්ථයක් කරලනු පිණිසය. පළමුව ගොවි තාත්තා ඇතුළු ගොවි පිරිස තුරුණු වියේය. රුවැති බිරින්දෑවරු හා දඟකාර – හුරුබුහුටි දරු පිරිස ඔවුන් වටා සිටිති. මේ 1980 දශකය ගෙවී යන සමයේ සිරිලක වියළි කලාපයට අයත් දුෂ්කර ගම්මානයකි. රාජ්‍ය විරෝධී තුරුණු අරගලය නිමාවී ඇත. ඉතිරි වූ තරුණයන්ට ආරක්ෂක අංශ වෙත භාර විය හැකි බව ගුවන් විදුලි පුවත් වෙතින් කියැවේ. බහු ජාතික සමාගම් කෘෂි රසායන ද්‍රව්‍ය සමඟ පැමිණෙමින් සිටිති. රූපවාහිනී අත්දැකීම් ගම්මුන්ට නැත. ළඟම නගරයේ පිහිටි සිනමාශාලාවේ ප්‍රදර්ශනය කෙරෙන විජය, මාලිනී ප්‍රධාන චරිත නිරූපණය කරන, එච්.ආර්. ජෝතිපාල ගී ගයන ‘වරදට දඬුවම්’ සිනමාපටය නැරඹීමට ගොවි තාත්තා මනාපය. සිංහල හා මුස්ලිම් දරුවන් කෙළි සෙල්ලම් කරන්නේ කිසිදු බෙදීමකින් තොරවයි. පවිටු ප්‍රාදේශීය දේශපාලන බලවතා හා සහචරයන් තැත් කරන්නේ රසායනික පොහොර හා කෘමි නාශක භාවිතය ප්‍රවර්ධනයටය.
මේ සිදුවීම් අතරට සිනමාකරු දර්ශන එක් කරන සංගීතය හා ගීතද, ඊට අදාළ ජවනිකාද කාබනික ගොවිතැන හා බැඳුණු පැරණි තාලයේ ගැමි දිවිය බැහැර කරන්නේ යම් බලපෑම් සහගත ආකාරයකිනි. සංගීතය හා ගීත ඉඟි කරන්නේ ‘ගොවි තාත්තා’ සංගීතමය සිනමාපටයක්ද විය හැකිය යන අදහසය. සංගීතය හා ගීත හසුරුවාලීම සංස්කරණ කාර්යයට විෂය වූ බවක් එහෙමටම නොපෙනේ. මෙය සිනමාපටයේ ප්‍රමිතිය ඉහළ නැංවීමට තුඩු නොදුන් බව වටහා ගැනීම රසිකයනට පහසුය. සිනමාකරු දර්ශන විමසිලිමත් විය යුත්තේ මෙහිලා පැන නැඟෙන රසික ප්‍රතිචාර නිසිව විවරණයටයි. රසිකයනටම අවැසි පරිදි සිනමාපට නිර්මාණය ස්වීයත්වයක් සපුරා ගත් සිනමාකරුවකුගේ පිළිවෙතක් විය යුතු නොවේ. එනමුදු සිනමාපටයක රුව ගුණ පැවසීමේදී සිනමාත්මක ප්‍රමිතිය සතු වැදගත්කම සම්බන්ධයෙන් සැලකිය යුතු අවධානයක් යොමු කරලීමේ වගකීම අත්හැර දමන්නට ස්වීයත්වය පෙරටු කර ගන්නා සිනමාකරුවකුට නුපුළුවන. දර්ශන ‘ගොවි තාත්තා’ හිදී කියා සිටින්නේ ස්වීයත්වයක් සපුරා ගත්,සිනමානුරූපී පිළිවෙත් හා එකඟ වන සිනමාකරුවකු වීම සඳහා ඇති වුවමනාවයි.
කාබනික ගොවිතැනේ අරුමය හා රසායනික පොහොර භාවිතයේ අනිටු ඵල ගෙන හැර පාන්නට සිනමාකරු කටයුතු කරන්නේ බැහැර කළ නොහැකි පැනයක් නඟමිනි. මෙයින් මිදීම සඳහාද ඔහු තැත් කරන බව පෙනේ. මේ සඳහා ඔහු උපයෝගී කර ගන්නේ වකුගඩු ආශ්‍රිත රෝගය. ගොවි තාත්තා ඇතුළු පිරිස සමඟ ඔහු පවසන්නේ කාබනික පොහොර භාවිතයෙන් වඩා ඉහළ අස්වැන්නක් නෙළා ගැනීම අසීරු බවයි. ඊට ප්‍රතිපක්ෂව රසායනික පොහොර භාවිතයෙන් වඩා ඉහළ අස්වැන්නක් නෙලා ගත හැකි වග රහසක් නොවේ. ජනයාගේ ආහාර අවශ්‍යතා ප්‍රමාණවත්ව ඉටු කරලනු වස් මෙයින් තෝරා ගත යුත්තේ කවරක්ද යන්නයි සිනමාකරු නඟන පැනය වනුයේ. ඒ විනා රසායනික පොහොර හා කෘමි නාශක භාවිතයේදී අනුගමනය කළ යුතු ආරක්ෂිත පියවර පිළිබඳ යමක් ඉඟි කරන්නට ඔහු එපමණ උත්සාහයක් නොදරයි. මුහුණු ආවරණ ආදිය නොමැතිව කෘමි නාශක ඉසීම, කෘමි නාශක ඇළ දොළ ආදියේ ගිල්වා සේදීම, සීනි බඳු පොහොර දරුවන්ගේ අත පොවනා මානයේ තැබීම බඳු අවස්ථා සනිටුහන්ව ඇත්තේ උක්ත වෑයම තීව්‍ර නොකරමිනි.
මෙයින් අදහස් කෙරෙන්නේ සිනමාකරු දර්ශන පරස්පරතා අනූන තිරනාටකයක් සමඟ අනවරත අරගලයක නිමග්නව සිටියේය යන්නය. නව සිනමාකරුවකුට මෙය අභියෝගයකි. මීළඟ සිනමා අධ්‍යක්ෂණය වෙනුවෙන් මෙම අත්දැකීම භාවිත කරලීමේ හැකියාව හා ඕනෑකම ඔහු සතුය. අනුශාංගික අංග සිනමාපටයක ඒකමිතිය වෙනුවෙන් ගළපා ගැනීමේ ආකාර කෙරෙහිද ඔහුගේ අවධානය යොමු විය යුතු යැයි සිතේ. මෙතැනදී පළමුව දත හැක්කේ අංග රචනයයි. වියපත් ගොවි තාත්තා හා බිරිඳ දැක්වෙන රූපරාමු දුටු මොහොතේම හැඟෙන්නේ යම් අනුශාංගික අංගයකට යම් සිනමාපටයක් දුබල කරලීමේ හැකියාවක් පවතින බවය.
තිරනාටකය, සංගීතය, අංග රචනය හා සංස්කරණය අතර නොපෑහීම් පරිපාලනයේදී සිනමාකරු වෙත සහය ලබා දීමට රූපණ පක්ෂය උත්සුක නොවන බව පෙනේ. මෙයද සිනමාකරු විසින් සිය ඉදිරි නිර්මාණ විෂයෙහි සලකා බලනු ලැබිය යුතු වන්නක් යැයි සිතේ. ගොවි තාත්තා උත්තම පුරුෂයකු සේ ඉස්මතු කරලීමේ සිනමාකරුගේ වුවමනාව ජගත් චමිල වෙත සංජානනය නොවූ සැටියකි. ඔහුද, හිමාලි සයුරංගි හා ධර්මප්‍රිය ඩයස්ද සිනමාකරු පැටලුණු දැලේම පැටලී සිටිති. සනත් විමලසිරි පමණක් මේ දැලෙන් රිංගා යාමට මාන බලමින් සිටී.
තුසිත ජයසුන්දර