සිංහල නාට්‍ය කලාවට ඇත්තේ දිගු ඉතිහාසයකි. අතීතයේ විසූ ආදී වාසීන්ගේ විවිධවූ චාරිත්‍ර විධි, රඟ දැක්වීම් ආදියෙන් ලාංකික නාට්‍ය කලාවේ මූලාරම්භය සිදුවූ බව පොත පතේ සඳහන් වේ. කාලයත්ම මිනිසා ගස් ගල් වැඳීමට පටන් ගත් නිසා ඒ ආශ්‍රිත ක්‍රියාකාරම් සහ රඟදැක්වීම් තිබූ බව කියැවේ. පසුකාලීනව ගොවි යුගයේ මිනිසා තම අස්වැන්න නෙළාගත් පසු කමත ආශ්‍රිත කොටගෙන විනෝදාස්වාදය පිණිස විවිධ රඟදැක්වීම් කළ බව සඳහන් වේ. මෙසේ ජන සමාජය කෙමෙන් කෙමෙන් වෙනස්වීම් වලට ලක්ව සෝකරි, කෝලම්, නාඩගම්, නූර්ති වැනි අංගයන් බිහිවිය. මේ සැමගේ මිශ්‍රණයෙන් ශ්‍රී ලාංකික නාට්‍ය කලාව බිහිවූ බව කිවහැක. පෙර රජ දවස පළමුවැනි පරාක්‍රමබාහු රජු නාට්‍ය ශාලා පහක් ඉදිකළ බවද ගී ඇසීමට, රැඟුම් නැරඹීමට රත්තරනින් කළ කණුවලින් යුත් මනහර චිත්‍ර කැටයම් කළ සරස්වති මණ්ඩපය ඉදිකළ බව චූල වංශයේ කියැවේ. ඈත අතීතයේ සිට විවිධ හේතූන් මත විවිධ මුහුණුවර ගනිමින් පැවත ආ නාට්‍ය කලාව මේ දක්වා පැවතීම විශේෂත්වයකි. ඉතා දිගු ඉතිහාසයක් ඇති සිංහල නාට්‍ය කලාවේ සමාරම්භය 1956 දී සිදුවූ බව කියැවේ. සිංහල නාට්‍ය කලාවේ පීතෘවරයා ලෙස මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් හැඳීන්විය හැකිය. එතුමා විසින් නිර්මාණය වූ මනමේ නාට්‍ය 1956 නොවැම්බර් 3 දා ප්‍රථමවරට ලයනල් වෙන්ඩ්ට් හිදී වේදිකා ගත වූ බව කියැවේ. එය රඟදක්වා ඇත්තේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල නාට්‍ය මණ්ඩලය මඟිනි. ඉන්පසු විවිධ නාට්‍ය කරුවන් විවිධ ශෛලීන්ගෙන් යුත් නාට්‍ය නිර්මාණ බිහිකර ඇත. එයින් ඇතැම් නාට්‍යකරුවන්, එහි රංගනයේ යෙදුණ ශිල්පීහු රටම හඳුනන පිරිසක් බවට පත්වූහ. එහෙත් ඇතැම් ශිල්පීන් කිසිදු ප්‍රසිද්ධියක් නොලබාම, කිසිදු ඇගයීමක් නොලබාම රඟමඬලින් බැසගොස් ඇත. එය කනගාටුවට කරුණකි. ඔවුන්ගේ නමක් හෝ පොත පතක සඳහන් කර තිබුණා නම් එය ඉතා වැදගත් වනු ඇත. වර්තමානයේ අද මෙන් විවිධ නාට්‍ය උත්සව ඇගයීම්, උපහාර උළෙල ආදී පවත්වා නැත. එවැනි උත්සවයක් ප්‍රථමවරට ශ්‍රි ලංකාවේ පවත්වා ඇත්තේ 1959 දීය. එයට අද වනවිට වසර 65 ක කාලයක් ගත වී ඇත (1959 – 2024). මෙම හැටපස් වසර පුරා රාජ්‍ය මැදිහත් වීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශී‍්‍ර ලංකා කලා මණ්ඩලය සහ සිංහල නාට්‍ය උපදේශක සභාව ඒකාබද්ධ වී නාට්‍ය උළෙල පනහක් පවත්වා ඇති බව සඳහන් වේ. සිංහල නාට්‍ය ශිල්පීන්ට ඔවුන්ගේ රංගනය අගයමින් සම්මාන පිරිනැමීමේ ආරම්භය සිදුවන්නේ 1962 වර්ෂයේදීය. එය සිදුවිය යුතු කටයුත්තකි. 1962 සිට සිදුවූ සම්මාන ප්‍රදානයට වසර 50ක් සපිරියේ 2012 දීය.
නාට්‍ය උත්සව ඉතිහාසයේ සම්මානයට පාත්‍ර වූ නළු නිළියන්ව අගයමින් විශේෂ ලිපි සහිත ග්‍රන්ථයක් ස්වර්ණ ජයන්ති උළෙල වෙනුවෙන් 2023 වසරේ දෙසැම්බර් මාසයේ අභිනය 14 – වෙළුම 1 කලාපය නමින් ජනගත කරන ලදි. එහි දෙවෙනි වෙළුම වන අභිනය 15 දෙවෙනි වෙළුම පනස් වසරක සම්මානනීය නළු නිළියෝ ග්‍රන්ථය මෙම මාර්තු 27 දා (අද දින) ජනගත කිරීමට නියමිතයි. ඒ පිළිබද කතාබහ කිරීමට රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති, අභිනය සංස්කාරක නාට්‍යවේදී චන්ද්‍රසිරි බෝගමුව මහතා ලේක්හවුස් ආයතනයට පැමිණියේය. ඔහු සරසවිය සමඟ එක්වී අභිනය ග්‍රන්ථය පිළිබද කතා කිරීමට මුල පිරුවේය.
අතීතයේ සිට ලංකාවේ නාට්‍ය කලාව පැවතියත් ශිල්පීන් අගයමින් ඔවුන් පිළිබඳව පොත පත ලියවී ඇත්තේ අල්ප වශයෙන්. එදා මෙදා තුර වේදිකාවෙන් දක්ෂ රංගන ශිල්පී ශිල්පිනියන් බිහිවී තිබෙනවා. ඔවුන්ව ඇඟයීමට ලක්කිරීම අපගේ වගකීම සහ යුතුකමක්. 1962 සිට 2012 දක්වා පනස් වසර තුළ හොඳම නළුවා සහ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ ශිල්පීන් සංඛ්‍යාව හැට තුනක්. ඒ අතරින් ශිල්පීන් කිහිප දෙනෙක් වාර කිහිපයකදී හොඳම නළුවා, නිළිය සම්මානය හිමිකරගෙන තිබෙනවා. එම ශිල්පීන්ගේ නිර්මාණ දායකත්වය අගයනු පිණිස 50 වසරක (1962 – 2012) සම්මානනීය නාට්‍ය නළු නිළියෝ නැමති අභිනය කලාපය ප්‍රකාශයට පත්කළා. අභිනය 14 කලාපය 1 වන වෙළුම 2023 වසරේ දෙසැම්බර් මස නිකුත් කරනු ලැබුවා. එම කලාපයෙහි 1962 සිට 1983 දක්වා කාල වකවානුවේදී හොඳම නළුවා සහ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ ජී. ඩබ්ලිව් සුරේන්ද්‍ර රංගවේදියාගේ සිට අවන්ති අපොන්සු රංගවේදිනිය දක්වා 27 දෙනෙකුගේ ලිපි ඇතුළත් වුණා.
මෙවර එළිදක්වන අභිනය 15 (14 කලාපය දෙවන වෙළුම 2) 50 වසරක සම්මානනීය නාට්‍ය නළු නිළියෝ ග්‍රන්ථයේ දෙවන කොටස. එහි 1984 සිට 2005 දක්වා වසර 21 ක කාල වකවානුව ඇතුළත සම්මානයට පාත්‍ර වූ නළු නිළියෝ විසිපස් දෙනෙකු පිළිබද ලිපි එකතුවක් එහි අඩංගුයි.
1984 වසරේ හොඳම නිළිය වූ අනෝජා වීරසිංහගේ සිට 2005 වසරේ හොඳම නළුවා වූ ජගත් චමිල දක්වා ලිපි විසිපහක් මෙම ග්‍රන්ථයට ඇතුළත් වී තිබෙනවා. මෙය ප්‍රබන්ධ කතාවක් මෙන් කියවා රස විඳීය හැකියි. නළු නිළි විස්තර, තොරතුරු සහ ඔවුන්ගේ ජීවන අත්දැකීම් මෙම ලිපිවල අන්තර්ගත වී තිබෙනවා.
අභිනය 15 කලාපය පළකරන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන්. එය සිදුවන්නේ රාජ්‍ය නාට්‍ය සභාවේද යෝජනවක් අනුව. මෙවැනි ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කළ යුතුයැයි මා යෝජනා කළේ මම රාජ්‍ය නාට්‍ය සභාවේ සාමාජිකයෙක් වී සිටි කාලයේ.
කලාකරුවන් පිළිබද තොරතුරු සොයන, ඔවුන්ගේ රංගන ඉතිහාසය පිළිබද කරුණු විමසන අයට මේ ග්‍රන්ථය වැදගත් වෙනවා. ඒ වගේම දේශීය නාට්‍ය කලාවේ ඉතිහාසය, නාට්‍ය උත්සව ඉතිහාසය පිළිබද ප්‍රකට සහ අප්‍රකට තොරතුරු සම්භාරයක් අභිනය ග්‍රන්ථයේ අන්තර්ගත වී තිබෙනවා.
මෙහි එක් එක් ක්ෂේත්‍රවල නියතු විවිධ ලේඛක ලේඛිකාවන් ලිපි සම්පාදනය කර තිබෙනවා. එනිසා රචනා ශෛලියේ සහ භාෂා රටාවේ විවිධත්වයක් තිබෙනවා. මෙය හුදෙක් නළු නිළියන්ගේ ජීවිත කතා පිළිබද තොරතුරු පමණක් නොව ඔවුන්ගේ ජීවිතවල අප්‍රකට රසවත් තොරතුරු එම ලිපිවල අඩංගු වෙලා තියෙනවා.
මෙම ග්‍රන්ථය සකස්කිරීමේදී විවිධ ගැටලුවලට අපට මුහුණපාන්නට සිදුවුණා. නිසි වෙලාවට ලිපි සපයා ගැනීමට නොහැකිවීම, සංස්කරණ කාර්යයේදී ඇතැම් ලිපිවල නළු නිළියන් සම්බන්ධ ජීවන තොරතුරු ප්‍රමාණවත් නොවීම වැනි ගැටලු මතුවුණා. එහෙත් කෙසේ හෝ අප විසින් නිවැරදි තොරතුරු සොයාගෙන ලිපිවල තිබූ දෝෂ ඉවත්කර නිවැරදිව ග්‍රන්ථය සංස්කරණ කටයුතු සිදුකළා.
අභිනය 15 කලාපය ජනගත කිරීම අද දින (මාර්තු 27) උදෑසන 10 ට මරදාන එල්ෆීස්ටන් රඟහලේදී උත්සවාකාරයෙන් පැවැත්වීමට නියමිතයි. එම ජනගත කිරීම සිදුකරන්නේ ලෝක නාට්‍ය දින සැමරුමට සමගාමීව. මෙම අභිනය ග්‍රන්ථයේ ලිපි ඇතුළත් නළු නිළියන්ට ආරාධනා කර ඔවුන්ට මෙම ග්‍රන්ථය බැගින් පිරිනැමීම සිදුකළ යුතුයි කියා මම යෝජනා කළා. මෙම උළෙලට පෞද්ගලික අනුග්‍රාහකභවතුන් නැත. රාජ්‍ය අනුග්‍රයෙන් තමයි එය පවත්වන්නේ. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ටවර් හෝල් පදනම, නාට්‍ය අනුමණ්ඩලය මෙම උළෙල සඳහා අනුග්‍රාහක්තවය දක්වනවා.
මේ ආකාරයෙන් කලා ශිල්පීනට උපහාර දැක්වීම, ඔවුන්ව අගය කිරීම ඉතා වටිනා කටයුත්තකි. ඔවුන් කළ නිර්මාණත් සමඟ ඔවුන්ව මතකයෙන් ඈත් නොකළ යුතුයි. මෙම අභිනය ග්‍රන්ථය සියලුම කලා ශිල්පින් වෙනුවෙන් කළ දිරිගැන්වීමක් ලෙස හැඳීන්විය හැකිය. මෙම ග්‍රන්ථය සම්පාදනය කළ චන්ද්‍රසිරි බෝගමුව ජ්‍යේෂට කථිකාර්චාර්යවරයෙකි. නාට්‍ය සහ රංගකලාව පිළිබඳ කතිකාචාර්‍යවටයෙකි. සිනමාව, රූපවාහිනි ක්ෂේත්‍රය පිළිබඳ හසළ දැනුමක් ඇත්තෙකි. දක්ෂ ඡායාරූප ශිල්පියෙකි. විශේෂයෙන් නාට්‍ය හා රංගකලාව පිළිබඳ කථිකාචාර්‍යවරයකු වූ නිසාම වර්තමාන වේදිකා නාට්‍ය කලාව පිළිබද ඔහුගෙන් කරුණු විමසිය යුතුය. වත්මන් වේදිකා නාට්‍ය කලාවට තරුණ පරපුරේ දායකත්වය කෙසේද යන්න ඔහුගේ අදහස් මෙසේය.
වර්තමානයේ වේදිකා නාට්‍ය කෙරෙහි තරුණ පරපුර උනන්දුවක් දක්වන බව පෙනී යනවා. ඔවුන් වේදිකා නාට්‍ය සමඟ සක්‍රීයවී සිටිනවා. විවිධ ශෛලීන්ගෙන් යුත් වේදිකා නාට්‍ය නිෂ්පාදනය වෙමින් පවතිනවා. මෑතකදී යොවුන් නාට්‍ය උළෙල පැවැත්වූවා. තරුණ පිරිසගේ වැඩි දායකත්වයක් තිබූ බව පෙනී ගියා. කවදත් තරුණ පිරිස වේදිකාවට සමීප බවක් තිබුණා. එහෙත් විශ්වවිද්‍යාලයේ මෙවැනි ගැටලුවක් තියෙනවා. විශ්වවිද්‍යාල මට්ටමින් වේදිකා නාට්‍ය බිහිවෙනවා. එහෙත් පිරිමි චරිත රඟදක්වන්න තරුණයන්ගේ අඩුවක් ඇති බව පෙනී යනවා. ඇතැම් අවස්ථාවලදී පිරිමි චරිත නිරූපණය කරන්න සිදුවී තිබෙන්නේ ගැහැනු ළමයින්ට. පාසැල් මට්ටමින් ගතහොත් නාට්‍ය හා රංගකලාවට යොමු වී ඇති පිරිස අඩුයි. ඒ හේතුවෙන් දරුවන්ට දොස් නැඟිය නොහැකියි. චිත්‍ර නැටුම් සංගීත විෂයටද එය අදාළ වී තිබෙනවා. තාක්ෂණික විෂයයන් කෙරෙහි පාසැල් සිසුන් වැඩි අවධානයක් යොමු කරනවා. කාලීන වශයෙන් සමාජය වෙනස්වීමත් සමඟ බොහෝ දරුවන් තාක්ෂණික විෂයයන් තෝරා ගන්නේ ඒ ඔස්සේ කුමන හෝ රැකියා අවස්ථාවන් තිබෙන නිසා. උදාහරණයක් ලෙස, හෝටල් ක්ෂේත්‍රයට අදාළ පාඨමාලාවක් හැදෑරුවහොත් විදේශීය රටවල බොහෝ රැකියා අවස්ථාවන් විවෘත වී තිබෙනවා. නාට්‍ය හා රංගකලාව කරල විදේශගත වෙන්න නොහැකියි. ඒ නිසා පාසැල් දරුවන් කලා විෂයයන් වලින් ඈත් වීමට හේතුව. එහෙත් නාට්‍ය කලාව හෝ අනෙකුත් කලාවන් ආශ්‍රිතව ලියැවුණු ග්‍රන්ථ පරිශීලනය කිරීමට ඔවුන්ව පෙලඹිය යුතුයි.
අද දින එළිදැක්වෙන අභිනය ග්‍රන්ථයත් කලාවට උනන්දුවක් දක්වන උදවියට වටිනා ග්‍රන්ථයක්. නාට්‍ය විෂයෙහි නියැළිලා සිටින තරුණ පිරිසටත් මෙය අත්වැලක් සපයන ග්‍රන්ථයක්.
ගිය වසරේ ළමානාට්‍ය උළෙලක් පැවැත්වූවා. එවිට රාජ්‍ය නාට්‍ය උළලේ සභාපති වූණේ මම. වසර හතරක් නැවතී තිබුණා.කොවිඩ් වසංගතය හේතුවෙන්. අවසාන වටයට ළමා නාට්‍ය හතළිහක් තෝරගනු ලැබුවා. කෙටි නාට්‍ය සහ දිගු නාට්‍ය වශයෙන් අපි සම්මාන පිරිනැමුවා. රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ මා සභාපති ධූරය දැරුවා 2024 වසරේ දෙසැම්බර් 31 දා දක්වා. ඒ කාල වකවානුවේදී තමයි අභිනය පොත ප්‍රකාශයට පත්කිරීමට කටයුතු සකස් කළේ.
මෙවැනි ග්‍රන්ථයක් සම්පාදනය කිරීම පහසු කටයුත්තක් නොවේ. කලාවට, වේදිකාවට තම ශ්‍රමය, දහඩිය කැපකළ ශිල්පීන්, නිර්මාණකරුවන්ගේ තොරතුරු මතු පරපුරට ලියා තැබීම පිළිබදව මෙහි සංස්කාරක චන්ද්‍රසිරි බෝගමුව මහතාට විශේෂ ප්‍රණාමයක් හිමිවිය යුතුයි. එමෙන්ම අභිනය 15 කලාපය සකස් කර ගැනීමේදී ඔහුට සහය දැක්වූ පිරිසට ස්තුතිය පුද කිරීමට ඔහු අමතක නොකළේය.
මෙම ග්‍රන්ථය මේ ආකාරයෙන් නිමාවට පත් කිරීමට සහයෝගය දැක්වූ සියලුම ලේඛක ලේඛිකාවන්ටත්, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන මහත්මියටත් , සහකාර අධ්‍යක්ෂ කසුන් සෙනෙවිරත්න මහතා මේ සඳහා දැක්වූ සහයෝගය ඉතාමත් වටිනාබව සිහිපත් කළ යුතුයි. එමෙන්ම සංස්කරණයෙන් සහය වෙමින් සෑම අවස්ථාවකදීම මා දිරිමත් කළ ඉනේෂ් කැටිපේආරච්චි මහතාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට සහ නන් අයුරින් සහය දැක්වූ සියලුම දෙනාට කෘතවේදීත්වය පිරිනමනවා.
අද දින ජනගත කෙරෙන අභිනය ග්‍රන්ථය ශ්‍රි ලාංකික නාට්‍ය කලාවේ උන්නතිය උදෙසා මහඟු මෙහෙවරක් ඉටුකළ කලාකරුවන්ට පිදෙන උපහාරයක්. එනිසා පාඨක ඔබත් අභිනය ග්‍රන්ථයේ හිමිකරුවෙක් වීමට උත්සාහ කරයි යන විශ්වාසය අප සිතතුළ තිබෙනවා.
නයනාංජලි දෙහිපිටිය