Home » පද්ධතියේ දෘෂ්ටිවාදීය දම්වැලින් සිරගත වීම

පද්ධතියේ දෘෂ්ටිවාදීය දම්වැලින් සිරගත වීම

- The Miseducation of Cameron Post

by Thanushika
July 24, 2025 11:30 am 0 comment

සමලිංගිකත්වය යන සමාජය ⁣විසින් ගොඩ නඟන ලද ප්‍රපංචය මානව ශිෂ්ටාචාරයෙහි අනාදිතමත් කාලයක සිට පැවත එන එක්තරා ජීව විද්‍යාත්මක වූ චර්යාවකි. සමලිංගිකත්වය ආදිතම ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරවල දී අස්වාභාවික චර්යාවක් ලෙස හැඳීන්වූයේ නැත. ග්‍රීක ඉතිහාසඥයෙකු වන හෙරෝඩෝටස් ග්‍රීක සමාජයේ පැවති සමරිසි චාරිත්‍ර ගැන තම රචනාවල පවා ලියා තිබේ. පිතෘ මූලික සමාජයක් වූ රෝම සමාජයේ ද සමරිසි බව පිළිගෙන තිබුණි. රෝම කවියකු වූ වර්ජිල් විසින් සමරිසියන් අතර තිබූ ප්‍රේමය පිලිබඳ කව් පවා ලියුවේය​. අප්‍රිකානු සහ උතුරු ඇමරිකානු ස්වදේශිය ජන සමාජවල සමලිංගිකත්වය දේවත්වයෙන් සැලකිණ. රතු ඉන්දියානුවන් අතර සමලිංගිකයන් හඳුන්වන ලැබුවේ ද්විත්ව ආත්මයක් ඇති (Two-spirited)) තැනැත්තන් ලෙසටය. ​

රෝම ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසුව නැගී ගෙන ආ නව ආගමික ප්‍රවණතා සම ලිංගිකත්වය ප්‍රතික්ශේප කරන ලදි. ආදි ක්‍රිස්තියානි දේශකයෙකු වූ ටර්ටූලියන් (කි.ව 155-ක්‍රි.ව 240) සමලිංගිකත්වය අස්වාභාවික සහ දුරාචාර ක්‍රියාවක් බව දේශනා කළේය​. බයිබලයේ සඳහන් වන පරිදි දෙවියන් වහන්සේ විසින් සොඩාම් සහ ගොමෝරා නගර දෙක විනාශ කර දමන්නේ ඔවුන් සමලිංගිකත්වය පරිචාරය කළ බැවිනි. ඉස්ලාම් දහමට අනුව සමලිංගිකත්වය පාපයක් විය. ඒ සඳහා දඬුවම් කළ යුතුය​. ඉස්ලාමික ශරියා නීතියට අනුව සමලිංගික සේවනය සඳහා හිස ගසාදැමීමෙන් හෝ ගල්ගැසීමෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලැබේ. යුදෙව් ටෝ‍රා ග්‍රන්ථයේ ද සමලිංගිකත්වය ප්‍රතික්ෂේප කරයි.

ආගමික මති මතාන්තර නිසා බොහෝ අවස්ථාවලදි සමරිසියන් කෙරෙහි වෛරයක් මෙන්ම දැඩ් විරෝධයක් මතු විය. 13 වන සියවසේදී ක්‍රිස්තියානි ආගම සම්බන්ධ පූජකයකු සේම චින්තකයකු වූ තෝමස් ඇක්වයිනාස් සමලිංගිකත්වය ස්වභාවධර්මයට එදිරිව යන අස්වාභාවික ක්‍රියාවක් බව අදහස විය. මධ්‍යතන යුගයේ යුරෝපයේ ක්‍රිස්තියානි පල්ලිය විසින් සමරිසියන් ඝාතනය කිරීමට අනුබල දෙන ලදි. එංගලන්තයේ වික්ටෝ‍රියානු සමාජය තුළ සමලිංගිකත්වයට නෛතික තහනමක් තිබූ අතර සමලිංගික චෝදනා ලද සාහිත්‍යධර ඔස්කා වයිල්ඩ් සිරගෙට පවා නියම විය​.ආගමික කාරණා සහ දෘෂ්ටිවාද විචාරයට ලක් කිරීම කලාව තුළ නිරතුරුව සිදුවන්නකි.

මෙවන් තත්ත්වයක් තුළ “The Miseducation of Cameron Post(2018)නමැති හොලිවුඩ් සිනමාපටය තුළ සාකච්ජාවට ලක් කරනුයේ “කැමරන්” නම් තරුණවියේ පසුවන සමරිසි යුවතියක් පිළිබඳව ය. කැමර⁣න්ගේ මංගල විවාහ උත්සවය අතරතුර ඈ විසින් හොර රහසේම තමාගේ සමරිසි මිතුරිය සමඟ ලිංගික සබඳතාව පවත්වනා දුටු කැමරන්ගේ පෙම්වතා එය හෙළිදරව් කිරීමත් සමඟ ඈ විශාල වියවුලකට පත් වෙයි. සිනමාපටයේ කතාන්දරය ඇරඹෙනුයේ ඉන් අනතුරුව ය. ඉන්පසුව කැමරන්ගේ භාරකාර නැන්දනිය වන රූත් විසින් කැමරන්ව නේවාසිකව පවත්වාගෙන යන ක්‍රිස්තියානි ආගමනාකූල ලිංගික වෙනස්වීමි සුව කරන ස්ථානයක ඇයව නවත්වන්නට කටයුතු කරයි. එය යමිකිසි විදියකට පුනරුත්තාපන මධ්‍යස්ථානක් ලෙස හැඳීන්වුවාට වරදක් නැත.

නමුත් චිත්‍රපටයට අනුව ක්‍රිස්තියානි ආගමානුකූලව බයිබලයේ නාමයෙන් සමලිංගිකව හැසිරීම අධික පවක්වනුයේ කෙසේද? සිනමාපටය ප්‍රේක්ෂකයාගෙන් විමසන පැනය එයයි. කැමරන් ඇතුළු ඇගේ යහළු යෙහෙළියන් සියල්ලෝම මෙම ගැටයට සිරගත වෙයි. ඔවුන් අත්විඳීන ලිංගික නිදහස තදින්ම මෙම ආගමේ නාමයෙන් කරනු ලබන දුර්මත හරහා දැඩ් ආතතියකට හසු වෙයි. අවසානයේ කැමරන්ගේ යහළුවෙක් සියදිවි නසාගන්නා තත්ත්වයට පවා ඇද වැටෙයි.

Emily M. Danforth නම් ඇමරිකානු ලේඛිකාව විසින් 2012 වසරේ රචනා කළ ‘The Miseducation of Cameron Post’  නවකතාව ඇසුරින් සිනමාපටය නිර්මාණය කැ ඇත. සිනමාපටයේ තිරපිටපත ලියා අධ්‍යක්ෂණය කරන්නේ ‘ඩෙසිරී අඛවාන්’ නමැති ඇමරිකානු ජාතික අධ්‍යක්ෂවරිය විසිනි. ඇය ද්විලිංගික කාන්තාවක් ලෙස හැඳීන්වේ. එම නිසාම ඇය විසින් ‘The Miseducation of Cameron Post’  සිනමාපටය හරහා සමරසි ප්‍රජාවගේ ආන්තිකභාවය පිළිබඳ අවධානය යොමු කරන්නට උත්සාහ දරයි. ඇය විසින් 2014 වසරේ දී අධ්‍යක්ෂණය කළ ‘Appropriate Behavior’   සිනමාපටයේ ද්විලිංගික තරුණියක් මුහුණ දෙන ගැටලු පිළිබඳ කතාව ගෙතෙයි. ‘ඩෙසීරි’ මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරයි.’The Miseducation of Cameron Post’  සිනමාපටය චරිත නිරූපණය කරන්නේ ‘ක්ලෝයි ග්‍රේස් මොරෙට්ස්’, ‘සාෂා ලේන්’, ‘ෆොරස්ට් ගුඩ්ලක්’, ‘ජෝන් ගැලගර් ජූනියර්’, ‘ජෙනිෆර් එතන්’, ‘එමිලි ස්කෙග්ස්’, ‘ඕවන් කැම්බල්’ සහ ‘ක්වින් ෂෙපර්ඩ්’ යන නළු නිළි සමූහය විසින්.

නමුත් සියලු අයෙක් ම තේරුම්ගත යුතු දෙයක් තිබේ. සමලිංගික සබඳතාව කිසිදු පාපයක් සිදු නොවන්නක් යන වග. අනෙකාගේ ලිංගික රුචිකත්වය බලහත්කාරී ලෙස ආගමානුකූල ප්‍රතිකාර මඟින් වෙනස් කිරීම මුග්ධ ක්‍රියාවකි. සමලිංගිකයන් විෂමලිංගිකයන් කිරීම මුග්ධ ක්‍රියාදාමයක් සේම අවඥාවට ලක්වන ක්‍රියාදාමක් බව ”The Miseducation of Cameron Post” සිනමාපටය පුරාවටම සාකච්ඡා කෙරේ. සමලිංගිකබව යනු හුදෙක් රෝගී තත්ත්වයක් නොව, අවඥාවට ලක් කළ යුතු හැසිරීමක් ද නොවෙි. එය ජීව විද්‍යාත්මක තත්ත්වයකි. ආගමට වඩා විද්‍යාව ඉදිරියෙන් සිටින බව ස්ත්‍රීවාදය සම්බන්ධ දාර්ශනිකයකු වන ජූඩිත් බට්ලර් සඳහන් කරයි.

ලිංගික දිශානතිය (Sexual Orientation)  සහ සමලිංගිකතාව පිළිබඳ බොහෝ මත තිබේ. මෙම මත බිඳ දැමීමට සිනමා කලාව පෙරට පැමිණ තිබේ. සිනමා කලාව යනු පවතින අහිතකර තත්ත්වයන්ට එරෙහිව අභියෝග කරන ප්‍රතිරෝධකයකි. සමලිංගිකත්වය සඳහා ජාන , හෝමෝන සහ පරිසර සාධක බලපවත්වන බව පෙනී යයි. සත්ව ලෝකයේ ද සමකාමීත්වය වාර්තා වී ඇත. සමකාමීන් හෙවත් එල්.ජී.බී.ටී ප්‍රජාව ( lesbian, gay, bisexual or transgender -LGBT) නොහොත් සමලිංගික, ද්වි ලිංගික සහ ලිංග විපර්‍යාසිකයන් කෙරෙහි වර්තමානයේ බොහෝ සමාජ දක්වන්නේ එදිරිවාදී බවකි. ඉරානයේ සෞදි අරාබියේ , යේමනයේ සමලිංගිකයන් මරණ දඞුවමට යටත් වෙති එසේම උගන්ඩාව නයිජීරියාව, රුසියාව ඇතුළු රටවල් 77 තුළ (ශ්‍රී ලංකාවද ඇතුළුව​) සමරිසියන්ට එරෙහිව නීති පනවා තිබේ.

සමරිසියන් කෙරෙහි දක්වන බිය සහ එදිරිවාදී බව හෝමෝෆෝබියාව (Homophobia) ලෙස හැඳීන්වේ. ඇතැම් විට යම් පුද්ගලයෙකුට අවිඥානිකව මතු වන සමකාමී ආශයන් නිසා ඔහු හෝ ඇය සමකාමීන් කෙරෙහි වෛරයක් අනුගත කල හැකි බව විද්වතුන් පවසති උදාහරණයක් ලෙස ඇඩොල්ෆ් හිට්ලර් තුළ අවිඥානිකව සමකාමී ආශයන් මතුවූ අතර ඔහු එය යටපත් කිරීමට මහත් වෙහෙසක් දැරීය​. මෙම අවිඥානික සමකාමී ආශය නිසා ඔහු සමලිංගිකයන් ගෑස් කාමර වෙත යැවීය.​ඇමරිකානු මනෝ විද්‍යාඥයෙකු වන හෙන්රි මරේ ඇඩොල්ෆ් හිට්ලර් තුළ පැවති පරපීඩාකාමී අවිඥානික සමකාමී ආශය පිළිබඳව සඳහන් කොට ඇත.​ තවද ඇමරිකාවේ සමකාමී පුද්ගලයන් දඩයම් කළ එෆ්.බී.අයි ආයතනගේ එඩ්ගා හූවර් ද රහසිගත සමලිංගිකයෙකු විය​. මතුපිටින් ඔහු සමකාමීන් කෙරෙහි දැඩි විරෝධයක් දැක්වීය​.

මානව හිමිකම් පාර්ශවයෙන් සහ මානවවාදී ලෙසින් සලකා බලන විට වැඩිහිටියන් දෙදෙනකු ස්වකැමැත්තෙන් කිසියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන්නේ නම් සංස්කෘතිය හෝ සදාචාරාත්මක හේතු පදනම් කරගනිමින් ඔවුන්ව පීඩාවට පත් නොකළ යුතු ය. මන්ද එය ලිංගින නිදහස බැවිනි. එය රෝගයක් නොවේ. එය ස්වාභාවික පැවැත්මකි. කෙසේ නමුත් පුද්ගලයකුගේ ලිංගික දිශානතිය සහ ලිංගික අනන්‍යතාවය මත ප්‍රචණ්ඩත්වය, හිංසා කිරීම, විවේචනය, බැහැරකිරීම, ගර්භාවට පත්කිරීම මානුශිකවාදී ද කියා සිතීමේ කාලය එළැඹි තිබේ. සිනමාව යනු අත්‍යන්තයෙන්ම ජීවිතය දෙස එබී බලන කවුළුවකි. ආගමේ නාමයෙන් හෝ වේවා, කිසියම් හුදු ලියැවිල්ලක් නාමයෙන් ඒ මත උදුමිමාගෙන සිටිනවා නම් සමලිංගිකත්වය දෙස වපරැසින් බලන්නට තවමත් පෙලඹ සිටිනවා නම් ”The Miseducation of Cameron Post” නරඹන්න යැයි යෝජනා කරම්. එය ලිංගත්වය පිළිබඳ සවිඥානකව නිර්මාණය කළ අපුරු සිනමාපටයකි.

(ඇතැම් තොරතුරු උපුටා ගැනීම අන්තර්ජාලයේ පළ වු ලිපි ආශ්‍රයෙනි)

[email protected]

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT