Home » පදනම දැනගත්තොත් වටිනාකම වැඩියි

පදනම දැනගත්තොත් වටිනාකම වැඩියි

ප්‍රකට නර්තන ශිල්පිනි ප්‍රදීපා ආරියවංශ

by Thanushika
March 27, 2025 12:44 pm 0 comment

‘ අභිනය නර්තන 8 ‘ නර්තන ප්‍රසංගය එළැඹෙන විසි නවවැනිදා සවස හයට මහරගම ජාතික අධ්‍යාපන පීඨයේ දී පැවැත්වීමට නියමිත ය. ප්‍රවීණ තර්තනාචාරිනි ප්‍රදීපා ආරියවංශ නර්තන ඇකඩමියේ ශිෂ්‍යාවන් විශාල පිරිසක් එදින සන්ධ්‍යාව අලංකාර නර්තනාංග ගණනාවකින් වර්ණවත් කිරීමට ද නියමිත ය.

භරත නාට්‍යම් ශිල්පිනියක ලෙස මෙරට රසිකයන් අතර ප්‍රසාදයට පත් නර්තන ශිල්පිනි, නර්තනාචාරිනි ප්‍රදීපා ආරියවංශ මෙම ප්‍රසංගය එනම් ‘අභිනය නර්තන 8 ‘ ප්‍රසංගය පවත්වනු ලබන්නේ සිය සිසු දැරියන්ගේ නර්තන ප්‍රතිභාව හා දක්ෂතා ඉදිරිපත් කිරීමේ සුවිශේෂ අරමුණ ද පෙරදැරිවය. නර්තන ක්ෂේත්‍රයේ දශක ගණනාවක අත්දැකීම් සහිත ප්‍රවීණ නර්තන ශිල්පිනියක වන ප්‍රදීපා ආරියවංශ මේ වන විට නර්තන විෂයෙහි ප්‍රගුණ කොට ක්ෂේත්‍රයට දායාද කොට ඇති දරු පිරිස විශාල ය. මේ ඈ ඒ පිළිබඳ කළ කතාබහකි.

ජනාදරය දිනූ නර්තන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ලෙස මේ අවස්ථාව දකින්නේ කොහොම ද ?

හරිම ප්‍රීතිමත් අවස්ථාවක්. ඇත්තෙන්ම හැම දරුවකුටම තිබෙනවා වේදිකාවක් මත නර්තනයක් ඉදිරිපත් කිරීමේ හීනයක්. නර්තන ගුරුවරුන් විදියටත් ඒ වගේම ක්ෂේත්‍රයේ කටයුතු කරන නර්තන ශීල්පීන් විදියටත් අපට හැකි විය යුතුයි ඔවුන්ටත් යහපත් අවස්ථා උදා කර දෙන්න මූලික වී කටයුතු කරන්න. මෙය ඊට හොඳ අවස්ථාවක්. මේ වගෙ ප්‍රසංගයක් ගත්තොත් නර්තනයේ යෙදෙන සියලු ම දරුවන් ඉතාම ප්‍රශස්ත මට්ටමින් නර්තනයේ නොයෙදෙනවා විය හැකියි. නමුත් ඒ අවස්ථාව ඔවුන්ට මිල කළ නොහැකි අවස්ථාවක් වේවි. ලෝකයක් හඳුනා ගන්න. ඔවුන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න. ඒ නිසා මම විශ්වාස කරනවා මෙවැනි ප්‍රසංගයක් ඔස්සේ ඔවුන්ට වේදිකාවක් හදල දෙන්න ලැබීම ගුරුවරියක් විදියට මගේ භාග්‍යයක් කියල. එහිදී මගේ සිසු දරුවන් දෙසියයකට අධික පිරිසක් එදින නර්තනයේ යෙදීමට නියමිත යි. ඒ අතර උඩරට නර්තනය, පහතරට නර්තනය, භරත නාට්‍යම්, ඉන්දියානු ගැමි නර්තන, ගීතානුකූල නර්තන ඇතුළු නර්තනාංග රැසක් මේ ප්‍රසංගයට ඇතුළත් වනවා. ඒවගේම මගේ ආදි ශිෂ්‍යාවන් කිහිප දෙනකුත් මේ ප්‍රසංගයට සහභාගි වෙනවා.

ඔබේ නාට්‍ය සම්ප්‍රදාය පිළිබඳත් අපි ටිකක් කතා කරමු

මගේ නර්තන සම්ප්‍රදාය වන්නේ භරත නාට්‍යම් කියන සම්ප්‍රදාය. නමුත් මගේ නර්තන ඇකඩමියේ භරත නාට්‍යම් සම්ප්‍රදාය වගේම උඩරට නර්තන සම්ප්‍රදායත් උගන්වනවා. ඒක දරුවකුට ලැබෙන ලොකු වටිනාකමක් විදියටයි මම සලකන්නෙ. ඒ නිසා උඩරට න‍ර්තන විෂය පිළිබඳ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් ඇසුරේ මගේ ඇකඩමියේ දරුවන්ට උඩරට නර්තනය හදාරන්නත් අවස්ථාව ලබා දී තිබෙනවා. හැමවිටම මගෙ විශ්වාසය වෙන්නේ ඕනෑම නර්තන සම්ප්‍රදායක පදනම අවබෝධ කරගැනීම ඉතා වැදගත් කියන කාරණයයි. මොකද නිර්මාණාත්මක නර්තන කලාවේ යෙදෙන කෙනකුගේ පවා වටිනාකම වැඩි වන්නේ ඒ මූලික පදනම හඳුනාගෙන නර්තනයේ යෙදුණොත් පමණයි. ඒ වගේම එබඳු හැදෑරීමක් නර්තනයේ යෙදෙන සෑම දරුවකුටම ලබා දීම ඉතා වැදගත් ය කියන පණිවිඩය මෙහිදී මව්පියන්ට දෙන්න කැමැති යි.

මම අවුරුදු පහමාරේ සිට භරත නාට්‍යම් ඉගෙන ගන්නෙ. මගේ මව තමයි මේ ගැන ගොඩක්ම උනන්දුවක් දැක්වූයේ. මොකද ඇය ඉන්දියානු සම්ප්‍රදායට ගොඩක් ආස කළ කෙනෙක්. ඒ අනුව තමයි ඇය මාව පද්මිණි දහනායක ගුරුතුමිය වෙත යොමු කළේ භරත නාට්‍යම් ඉගෙනගන්න. එතුමිය යටතේ වසර දහයකට අධික කාලයක් භරත නාට්‍යම් සම්ප්‍රදාය හැදෑරුවා. එදා අප ලැබූ අධ්‍යාපනයේ ලොකු වෙනසක් තිබුණා. මොකක්ද කියනවා නම් අපි නොකඩවා දීර්ඝකාලයක් ඒ ශාස්ත්‍රය හැදෑරුවා. එහි පරිණත වුණා. අපට ලැබෙන අත්දැකීම්වලින් පෝෂණය වුණා. නමුත් අද දරුවන් වෙනස්. ඔවුන් දීර්ඝව හැදෑරීම් කරන්න යොමු වීම දකින්නෙ ඉතා අඩුවෙන්. නමුත් මෙවැනි විෂයක් එසේ කෙටිකාලීනව හදාරා සුදුසුකම් සපුරන්න බැහැ . මෙවැනි දෙයක් හෝ ඕනෑම දෙයකට කැපවීම ඉතා වැදගත් වනවා. අපි අදටත් ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. මොකද මේ විෂය කෙරේ අපේ හදවත්වල තිබෙන ආදරය භක්තිය ඉමහත්. මම ඒ හැම දෙයක් ගැනම සාධනීයව බලන කෙනෙක්. මම නිතරම හිතන්නෙ මේ තරම් මේ කලාවට ළැදි වීමට හේතුව මගේ භාග්‍යයක් ලෙසයි.

භරත නාට්‍යම් සම්ප්‍රදාය යනු කුමක්ද ?

භරත නාට්‍යම් යනු ඉන්දියානු නැටුම් සම්ප්‍රදායක්. තමිල්නාඩු ප්‍රාන්තයේ ඉතා ප්‍රචලිත සාම්ප්‍රදායික නර්තන ශෛලීයක් තමයි භරත නාට්‍යම් සම්ප්‍රදාය. ‘භාව ‘රාග’ ‘තාල’ අවස්ථා ත්‍රිත්වයේ එකතුවෙනුයි භරත කියන වදන නිර්මාණය වෙන්නෙ. ඉන්දියාවේ හරිම පෝෂණීය නර්තන ශෛලීයක්.

නමුත් ලංකාවේ අදහසක් තිබෙනවා භරත නාට්‍යම් යනු ඉගෙන ගැනීමට අසීරු විෂයක්ය කියන අදහස. නමුත් එය වැරැදි යි . භරත නාට්‍යම් ඉගෙන ගැනීමට අසීරු විෂයක් නොවෙයි. ඔව්. ඒ නර්තන විලාසය දකින කෙනකු ට ඒ චලන විලාසයන් දුටු විට එසේ සිතෙන්න පුළුවන් . නමුත් එය අසීරු නර්තන කලාවක් නොවේ. ඒකට ඕනෑ හොඳ පුහුණුවක්. හොඳ ගුරුවරයෙක්. මුහුණේ හැඟීම් ප්‍රකාශ කළ හැකි තියුණු ම නර්තන ක්‍රමයත් මෙය කියලයි මම විශ්වාස කරන්නෙ. භාව ප්‍රකාශනය මේ නර්තන සම්ප්‍රදායේ උපරිම යි. ඒ වගේම රස නවයම මේ නර්තන ශෛලියේ තිබෙනවා. මේ නර්තන ශෛලිය හදාරන දරු දැරියන්ට දක්ෂ රූපණවේදින් වීමේ හැකියාවක් තිබෙනවා. නර්තනය හදාරන දරුවකු හරි සුන්දර යි. මව්පිය ගුරුවර භක්තියෙන් යුක්ත යි. ඒ දරුවාගේ අදහස් හරි සුන්දර යි. කතා බහ සුන්දර යි. ඇවිදිනකොට හරි සුන්දරයි. ඒක වෙනම පෞරුෂයක්. ඕනෑම සෞන්දර්ය විෂයක් හැදෑරීම දරුවකුට ආභරණයක්. එවැනි දරුවකු කිසි දිනෙක ජීවිතය විනාශ කරගන්නේ නැ. මොකද ඔවුන් පළමුව තමන්ට ආදරය කරන්න ඉගෙන ගන්නා නිසා. පුහුණුව ඔස්සේ ලැබෙන විනය ඒකයි. එවැනි දරුවකු තමයි සමාජයට යන්නේ. එවැනි වටිනාකම් බොහොමයක් මේ නර්තන සම්ප්‍රදායන්වල අපට හඳුනාගන්න පුළුවන්. මම

දෙදහස් දහඅටෙන් පසු කරන ප්‍රසංගයයි මේ. ඒ පැමිණි ගමන ගැන තිබෙන්නේ ලොකූ සතුටක්. සිතට එකඟව අවංකව කැපවීමෙන් පැමිණි හොඳ ගමනක් නිසා ගොඩක් සතුටුයි.

වර්තමානයේ නර්තන කලාව ගැන කතා කළොත් නිදහස් නර්තන ශෛලීන් අද ගොඩක් ජනප්‍රිය යි. නැටුම් යනු මෙයද කියා ලෝකය හිතන තරමට ම මේ ශෛලීන් අද ප්‍රචලිත වී තිබෙනවා . නමුත් මම නිතරම විශ්වාස කරන්නේ අර මුලින් කී ලෙසම හොඳ පදනමක් සහිතව මේ ශිල්පය ප්‍රගුණ කිරීම වැදගත් බවයි. ගුරුවරියක් විදියට මම නිතරම දරුවන්ව මෙහෙයවන්නේ ඒ විදියටයි. ඔවුන් හොඳ පදනමක් සහිතව මේ ශිල්පය හැදෑරිය යුතු සේම විනයවත් පිරිසක් බවටද පත් විය යුතුයි . නර්තනය හැදෑරීමට මා වෙත එන සෑම දරුවකුම හොඳ නර්තන ශිල්පියකු විදියට ගොඩනඟනවා සේම විනයවත් නිර්මාණකරුවකු ලෙස ගොඩ නැඟීම හොඳ ගුරුවරයකුගේ වගකීමක්. මා එය ඉටු කරනවා.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT