නිවස කළා පුවත් පණ්ඩිත් විමල් අභයසුන්දරයන් වෙනුවෙන් සමරු මුද්දරයක්

පණ්ඩිත් විමල් අභයසුන්දරයන් වෙනුවෙන් සමරු මුද්දරයක්

විමල් අභයසුන්දර

by Mahesh
October 10, 2024 12:30 am 0 comment

– කිසිදා අමතක කළ නොහැකි අමරණීය නාමයක්
– සාහිත්‍ය දැනුම ලොවට බෙදා දුන් විද්වතෙක්

සමරු මුද්දර නිකුත් කිරීම සම්භාව්‍ය පුද්ගල සහ සම්භාවනීය අවස්ථාවන් නිමිති කොටගෙන සිදු කරනු ලබන ඓතිහාසික කාර්යයකි. මහා කවියන්, විශිෂ්ට ලේඛකයින්, විද්වත් සාහිත්‍යවේදීන්, ශ්‍රේෂ්ඨ දේශපාලන චරිත, ජනාදරයට පාත්‍ර වූ පුද්ගලයින් උදෙසා සමරු මුද්දර නිකුත් කරනු ලබයි.

මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු මහත් ලොව පුරා රටවල කෙරෙන විශිෂ්ට වූ කාර්යභාරයකි.

එසේම විශේෂිත නිමිත්තක් හෝ වර්ෂ සියයක සැමරුම් උදෙසාද පුද්ගලකාරක මුද්දර නිකුත් කෙරෙයි.

ශ්‍රී ලංකා ඉතිහාසය දෙස බලන විටද මහා කවියන්, විද්වතුන්, සාහිත්‍යවේදීන් සහ සම්භාව්‍ය පුද්ගලයින් සඳහා සමරු මුද්දර නිකුත් කර ඇත.

කලාකීර්ති පණ්ඩිත් විමල් අභයසුන්දර ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ට ගණයේ කවියෙකි. ඔහු කොළඹ යුගයේ ප්‍රවීණතම කවියෙකි, ලේඛකයෙකි, කලා විචාරකයෙකි, ගද්‍ය, පද්‍ය, ගීත නිබන්ධ ක්ෂේත්‍රයේ විද්වතෙකි.

විමල් අභයසුන්දරයන්ගේ කාව්‍ය සාහිත්‍යයට කෙරුණ සේවාව ඇගයීම වෙනුවෙන් 2024 සැප්තැම්බර් මස 27දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේදී පැවති. පොත් ප්‍රකාශකයින්ගේ ප්‍රදර්ශනයේදී රාජ්‍ය නිල තැපැල් මුද්දරය සහ මුල්දින කවරයක් නිකුත් කෙරිණි.

එය නිමිති කොට ගෙන ඔහු වෙනුවෙන් පිදෙන සරසවිය විශේෂාංගයයි මේ.

දකුණේ බෙන්තර වළල්ලාවිට කෝරළයේ බලපිටියේ වැලිතොට වැල්ලබඩ 1921 සැප්තැම්බර් 17 දා උපන් අරුමාදුර විමල් ද සිල්වා අභයසුන්දරගේ පියා අරුමාදුර හරමානිස් ද සිල්වාය. මව පොරවගොඩ ලැයිසොහාමි ද සිල්වාය. සහෝදර සහෝදරයින් හතර දෙනකුගේ යුතු පවුලක බාලයා වූයේ විමල් අභයසුන්දරයන්ය.

වතුරේ ගම සිංහල පාසැලෙන් පස්වැනි පන්තිය දක්වා මූලික අධ්‍යාපනය ලැබූ විමල් අභයසුන්දරයන් ද්වීතියේ අධ්‍යාපනය ලැබුවේ අඹගහපිටිය මූලමහා විහාරයේ සුගත ශාස්ත්‍රෝදය පිරිවෙණෙහිය. අනතුරුව මාලිගාකන්දේ විද්‍යෝදය මහා පිරිවෙණට ඇතුළත් වූ ඔහු එහිදී පාලි සිංහල, සංස්කෘත, හින්දි, ප්‍රාකෘත, ඉංග්‍රීසි යන විෂයයන් හැදෑරුවේය. ඊට අමතරව අගනුවර ලෝරන්ස් විද්‍යාලය, ඕල්කට් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, පේම්බ්‍රොක් යන විද්‍යාලවලින් ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබුවේය. විමල් අභයසුන්දරයන්, විද්‍යාලංකාර පිරිවණේ ශාස්ත්‍රපති උපාධිය හා ප්‍රාචීන පණ්ඩිත විභාගයේ අවසාන පරීක්ෂණයෙන් ද විශිෂ්ට සාමර්ථ්‍ය ලබා ඇත.

ඔහු අධ්‍යාපනය අවසන් වීමෙන් පසු, පුවත්පත් කලාවේදියෙකු ලෙස වෘත්තීය දිවිය ඇරඹුවේය. ඒ 1949 වසරේදීය. සරසවි සඳරැස පුවත්පතේ උපකතුවරයා ලෙස පත්වීමක් ලැබූ ඔහු පසුව ලංකාදීප කර්තෘ මණ්ඩලයට ද සම්බන්ධ විය.

1953 දී දිනමිණ කර්තෘ මණ්ඩලයට බැඳෙන විමල් අභයසුන්දරයන් එවකට දිනමිණ කතුවර පියසේන නිශ්ශංක මහතා යටතේ වසර 2ක් පමණ සේවය කළේය. වසර දෙකක පමණ ඇවෑමෙන් පසුව ඉන් ඉවත් වූ ඔහු සිංහල විශ්ව කෝෂයේ සහකාර සංස්කාර ලෙස පත්වීමක් ලැබීය. ඒ හේතුවෙන් ඔහු මහාචාර්ය ඩී.ඊ හෙට්ටිආරච්චි විද්වතාණන් යටතේ විශ්ව කෝෂකරණය ගැන පුළුල් පුහුණුවක් ලබා ගත්තේය.

රත්නමාලී වංශ කාව්‍ය, දුක්මුසු, සුදු නංගි, සිරිමලී වැනි විවිධ සාහිත්‍ය කෘති ඔහු විසින් රචනා කෙරුණි. විමල් අභයසුන්දරයන් විසින් රචිත ‘නිෂාදි’ නම් කාව්‍ය ග්‍රන්ථය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය. 1958 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි දෙපාර්තමේන්තුවේ සිංහල අංශයේ නිබන්ධන සම්පාදකයෙකු ලෙස පත් වූ ඔහු විධායක තනතුරු වලටද උසස්වීම් ලැබීය. 1964 දී ශිෂ්‍යත්වයක් ලැබ ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ, ගුවන් විදුලි හා රූපවාහිනි මාධ්‍යවල විශේෂ පුහුණුවක් ලබා ගත්තේය. ඒ දැනුම ඇසුරින් ගුවන් විදුලි නාට්‍ය විස්සකට අධික ප්‍රමාණයක්ද ගුවන් විදුලි සංගීත වැඩසටහන් තිහකට අධික ප්‍රමාණයක්ද, ගුවන් විදුලි සංස්ථාව වෙනුවෙන් එළිමහන් සංගීත ප්‍රසංග දහයකට ආසන්න සංඛ්‍යාවක්ද නිර්මාණය කළේය.

විමල් අභයසුන්දරයන් අතින් නිර්මාණය වූ සංගීත සංහිතා කෘතිය පෙරදිග සංගීතය පිළිබඳ පරිපූර්ණ සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස හඳුන්වා දිය හැකිය. එම සුවිශාල කෘතිය පිටු දහසකට අධිකය. එහි ප්‍රථම මුද්‍රණය 1963 දී නිකුත් විය. ඔහු විසින් රචිත ද ග්‍රන්ථ වලින් හතරක්ම රාජ්‍ය සාහිත්‍ය සම්මාන වලට හිමිකම් කී අතර ග්‍රන්ථ පහක් සමස්ත ලංකා ග්‍රන්ථ රචනා තරඟවලින් ප්‍රථම ස්ථාන ලබා ගැනීමට සමත් විය.

විමල් අභයසුන්දර විද්වතා ලෝකයේ රටවල් ගණනාවක සංචාරය කර තමන්ගේ සාහිත්‍ය දැනුම ලොවට බෙදා දීමට සමත් වී ඇත. යුගෝස්ලෝවියාව, චීනය, මැලේසියාව යනාදී රටවල පැවැත්වුණු ජාත්‍යන්තර කවි සහ ලේඛක සම්මේලන වලදී ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

1963 දී පමණ පද්‍යකරණය ආරම්භ කළ විමල් අභයසුන්දරයන්ගේ අලුත්ම කවි පොත් දෙකක් 2005 දී මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කරන ලදී. ජධදඳභඥපඪදඨ ඩඥචපබඵ නම් කෘතිය ඔහු විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කළ ග්‍රන්ථයකි. කාව්‍ය, සාහිත්‍ය, ගීත රචක සංවිධානවල ලේකම් සභාපති ආදී තනතුරු හෙබ වූ විමල් අභයසුන්දර විද්වතා එම සමිති සමාගම් වල ක්‍රියාකාරී වීම හේතුවෙන් අගනුවර තරුණ කවි සම්මේලනය මඟින් “මහා කවි සම්මානය” 2006 දී ඔහු වෙත පිරිනමන ලදී.

විමල් අභයසුන්දරයන්ගේ දක්ෂතා ඇගැයීම සේම ඔහු තුළ තිබූ විශිෂ්ට ගතිගුණද ඉස්මතු කළ යුතුය.

තමා නිරත වන කුමන ක්ෂේත්‍රයක වුවද, විෂයක වුවද, එහි ගැබ්වී ඇති කරුණු සොයා බලා, සක්සුදක් සේ පිරික්සා බලා, ගැටලු තිබේ නම් ඒවා විසඳීම ඔහු සතු ගුණාංගයක් විය. කිසියම් විෂයය කරුණක් ගැන දැනගැනීමට ඔහු සොයා ගිය සෑම කෙනෙක්ටම තමා සතු දැනුම නිර්ලෝභීව දායාද කළේය.

විමල් අභයසුන්දර නාමය කිසිදා අමතක කළ නොහැකි අමරණීය නාමයකි. ඒ නාමයට උපහාර පිණිස පසුගිය සැප්තැම්බර් 27, ඔහු වෙනුවෙන් සුවිශේෂී කටයුත්තක් සිදුවිය. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පරිශ්‍රයේ පැවැති පොත් ප්‍රදර්ශනයේදී එම සුබ කටයුත්ත සිදු කරන ලදී.

විමල් අභයසුන්දරයන් වෙනුවෙන් සමරු තැපැල් මුද්දරය සහ මුල් දින කවරයක් එදින නිකුත් කරන ලදී.

මෙම සුවිශේෂී වූ අවස්ථාවට සම්භාවනීය අමුත්තන් රැසක් සහ කවි කිවිඳීයෝ රැසක් සහභාගි වී සිටියහ.

මිනිමුතු අලුයමක දවසක් ලොවක් දිනා
දසුනක් නයක් චින්තන නියමයක් ගෙතා
කවියෙක් ගොඩ නගන්නෙමු සුබ කලක් අනා
එහි නැත දොම්නසක් සුව සොම්නසක් විනා

(කලාකීර්ති පණ්ඩිත් විමල් අභයසුන්දර)
මිනිමුතුමෙන් කවි පද ගෙතු ශ්‍රේෂ්ඨ කවියාණෙනි,
ඔබට ‘සරසවිය’ උපහාරය මෙසේ පුදකර සිටිමු.

(ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.)

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT