පළමු ලෝක මහා සංග්‍රාමයේ ආතතියෙන් වෙළී ගිය ජර්මානු සිනමාව හරහා මිනිස් සිතේ ඇති වන ඇසට නොපෙනෙන අන්ධකාරය රූපයට නැංවීමේ නව රටාවක් ගොඩ නැඟිණ. එය හඳුන්වා දෙන ලද්දේ “ජර්මානු ප්‍රකාශනවාදය” යනුවෙනි. මෙම නව සිනමා ප්‍රවාහය ඇතිවන්නට මූලික හේතුව වුයේ එවකට ජර්මනියේ සිනමාහල් දෙදහසක පමණ වැඩිමනක් තිරගත වූ විදෙස් චිත්‍රපටයි. ඇමරිකාව, ප්‍රංශය, ඉතාලිය, ඩෙන්මාර්ක් ආදි රටවලින් නිෂ්පාදනය වූ චිත්‍රපට ජර්මනියේ ප්‍රේක්ෂකයන් අතර දැඩි ලෙස ඉල්ලුමක් පැවතිණ. එහෙත් ඇමරිකාව සහ ප්‍රංශය තම රටවල ජර්මන් චිත්‍රපට තිරගත කිරීම තහනම් කර තිබුණි. මීට පිළියමක් ලෙස පැමිණි ජර්මන් ප්‍රකාශනවාදය යටතේ ‘ඩෙක්ලා’ නමි බයිස්කෝප් සමාගමක සිටි අප්‍රසිද්ධ වු තිරරචකයන් දෙදෙනකුගේ අසාමාන්‍ය තිර පිටපතක් ඇසුරින් චිත්‍රපටයක් තැනීමට තීරණය කළේය.
ඔවුන් දෙදෙනා නමි කාල් මේයර් සහ හාන්ස් ජනෝවිටිස් ය. මෙම තිර රචකයන් දෙදෙනාට අවශ්‍ය වූයේ චිත්‍රපටය අසාමාන්‍ය , ශෛලිගත ආකාරයකින් පිළිබිඹු කිරීමටයි. ඒ සඳහා පසුතල සැලසුමි ශිල්පීන් තිදෙනකු අනුයුක්ත කරනු ලැබී ය. ඒ අය නමි හර්මන් වෝම්, වෝල්ටර් රයිමාන් හා වෝල්ටර් රෝරිග් ය. චිත්‍රපටය ප්‍රකාශනවාදී ශෛලියකින් නිමැවිය යුතු බවට මෙකී සැලසුම් ශිල්පීහු යෝජනා කළහ. මෙම ප්‍රකාශනවාදී ශෛලිය 1910 පමණ ආරම්භ වූ අතර එය පිළිවෙළින් චිත්‍ර ශිල්පයට, වේදිකා නාට්‍ය, සාහිත්‍යය හා ගෘහ නිර්මාණ ශිල්පය වෙත කාන්දු විය. එකී ශෛලිය සිනමාව සඳහා ද අත්හදා බැලීමට සමාගම තීරණය කර තිබිණි. එයට හේතු වූයේ ප්‍රකාශනවාදී ශෛලියේ චිත්‍රපටයක් අන්තර් ජාතික වශයෙන් ජනප්‍රියත්වයට පත්වේ යැයි ඔවුන් අනුමාන කළ බැවිනි.
මෙහි අරමුණ වූයේ මානව චිත්තාවේග කලාත්මක ලෙස සම්ප්‍රේෂණය කිරීමයි. මෙහි පුරෝගාමින් වශයෙන් වින්සන්ට් වැන්ගෝ, එඩිවඩ් මුන්ච් ආදීන් පෙන්වාදිය හැකිය. බොහෝ විට මෙම කතාවලට තේමා වී තිබුණේ අස්වාභාවික දේවල් ය. මෙම සිනමා ශෛලියට අයත් වැදගත් මෙන් ම පළමු චිත්‍රපටය වන්නේ වර්ෂ 1920දී ‘Robert Wien’ අධ්‍යක්ෂණය කළ “The Cabinet Of Dr. Caligari” චිත්‍රපටයයි. ජර්මන් ප්‍රකාශනවාදයේ පළමු වෙඩිමුරය වූ මෙම චිත්‍රපටය ඇමරිකාව, ප්‍රංශය ඇතුළු රටවල් ගණනාවක ජනප්‍රියත්වයට පත්විය. මරණය, දුෂ්ටත්වය, ජීවිතයේ ඉරණම වැනි මාතෘකා වටා ගෙතුණු කතාවලින් ප්‍රකාශනවාදී චිත්‍රපට බිහි විය. ජර්මන් ප්‍රකාශනවාදය හරහා බිහි වූ චිත්‍රපට අතරින් වැදගත්ම චිත්‍රපටයක් වන්නේ වර්ෂ 1922දී තිරගත කළ එෆ්.ඩබ්ලිව් මුර්නෝ අධ්‍යක්ෂණය කළ ‘Nosferatu: A Symphony of Horror’ චිත්‍රපටයයි. භීම (horror) ශානරයේ සංධ්වනියක් බඳු ‘නොස්ෆෙරාතු’ චිත්‍රපටය එතෙක් සිනමාවේ තිබු සාම්ප්‍රදායික ආඛ්‍යාන කතා කලාව සහ ශෛලිය වෙනසකට ලක් කළේය. ‘නොස්ෆෙරාතු’ චිත්‍රපටය නිර්මාණය වන්නේ බ්‍රැමි ස්ටෝකර්ගේ පරිකල්පනයෙන් නිම වූ සුප්‍රකට ‘ඩ්‍රැකියුලා’ චරිතය පාදක කරගෙනයි. වසර 102ක දීර්ඝ කාලයකට පසුව ‘නොස්ෆෙරාතු’ ජර්මානු චිත්‍රපටය ප්‍රතිනිර්මාණය වන්නේ හොලිවුඩි සිනමාවෙනි.
මුල් චිත්‍රපටයක් නැවත ප්‍රතිනිර්මාණය කිරීම ඕනෑම අධ්‍යක්ෂවරයකුටම සිදු කළ හැකිය. එහෙත් මුල් නිර්මාණය වෙතට සාධාරණය කළ හැකි සාර්ථක ප්‍රතිනිර්මාණයක් කිරීමට සෑම අධ්‍යක්ෂකවරයකුටම සිදු කළ නොහැකිය. ඒ අර්ථයෙන් බැලූ කල ‘නොස්ෆෙරාතු’ චිත්‍රපටය සාර්ථක ප්‍රතිනිර්මාණයකි. චිත්‍රපටයේ අන්තර්ගතය ඩ්‍රැකියුලා පන්නයේ කතාවක ස්වරූපය ගනී. 1800 දශකයේ ජර්මනියේ ‘විස්බර්ග්’ නගරයේ වෙසෙන විවාහ වූ දෙපළකි. ‘තෝමස් හටිලර්’ සහ ‘එලන් හටර් නම් මෙම තරුණ දෙපළ වෙත අත්භූත සිදුවීම් මාලාවක් වෙත මුහුණ පෑමට සිදුවෙයි. ඒ ශාපලත් වංශාධිපතියකු සහ වැම්පයර්වරයකු බවට පත් වූ ‘ඔර්ලොක්’ නම් යක්ෂයාගේ අනර්ථදායක තත්ත්වයයි. ‘ඔර්ලොක්ගේ’ බැල්ම වැටී තිබෙන්නේ රූමත් ‘එලන්’ වෙතටයි. ඔර්ලොක් නම් නපුරු ආත්මය එලන් සොයා විස්බර්ග් නගරය වෙත වසංගතයක් විගසින් පැමිණෙයි. නගරය උඩුයටිකුරු කරමින් නගරවැසියන් ඔර්ලොක්ගේ වසංගතයෙන් තැන තැන මැරී වැටෙයි. චිත්‍රපටයේ ආඛ්‍යානය දිග හැරෙන්නේ මෙම ඔර්ලොක් නමි නපුර පළවා හැරීම උදෙසා කරනු ලබන භයංකාරත්වය කැටි වූ ක්‍රියාදාමය වටායි.
ඇමරිකානු සිනමාකරු ‘රොබට් ඒගර්ස්’ විසින් ‘නොස්ෆෙරාතු’ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය කර ඇති අතර ඔහු Horror ශානරයේ චිත්‍රපට නිර්මාණය කරන්නට වඩාත් ඇලුම් කරන්නෙකි. ඔහු මීට පෙර අධ්‍යක්ෂණය කළ ‘Witch’ (2015) සහ’The Lighthouse’ (2019) චිත්‍රපටය නූතන Horror සිනමාවේ හැඩය වෙනස් කළ චිත්‍රපට ද්විත්වයකි. චිත්‍රපටයේ වඩාත් ප්‍රතිභාව ප්‍රකට කරන රංගනයක් ඉදිරිපත් කරන්නේ එලන් හන්ටර්ගේ චරිතය සඳහා පණපොවන ‘ලිලී රෝස් ඩෙප්’ විසිනි. ලීලි රෝස් යනු සුප්‍රකට සමිමානනීය හොලිවුඩ් නළුවකුවන ‘ජොනී ඩෙප්ගේ’ දියණියයි. තවමත් අවුරුදු 25ක් වයසැති ලීලිගේ ‘නොස්ෆෙරාතු’ චිත්‍රපටය වෙනුවෙන් සිදු කරන අසීරු රංගනය ප්‍රේක්ෂකයන්ගේ සහ විචාරකයන්ගේ ඉහළ පැසසුම් හිමි වී තිබේ.
97 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී, ‘නොස්ෆෙරාතු’ චිත්‍රපටය සඳහා හොඳම කැමරාකරණය , හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම පසුතල නිෂ්පාදන නිර්මාණය සහ හොඳම වේශ නිරූපණය සිදු කිරීම යන සම්මාන සඳහා මේ වනවිට නාමයෝජනා ලබාගෙන තිබේ. එපමණක් නොවේ. මේ වනවිට ප්‍රමුඛ පෙළේ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලවල් රාශියකදි විවිධ අංශ යටතේ නිර්දේශ නාම ලබාගනිමින් සම්මාන පිට සම්මාන හිමිකර ගැනීමට සමත්ව තිබේ.
ජර්මන් ප්‍රකාශනවාදී චිත්‍රපටය බොහෝමයක දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් න ‘මිසෝන් – සේන්’ ශිල්ප ක්‍රමය බහුලව යොදා ගැනීමයි. නළු නිළියන් අසාමාන්‍ය ලෙස වෙස් ගන්වා තිබුණු අතර, ඔවුන්ගේ ඉරියවි පවා තාත්වික බවින් ඉහළ ය. පසුතලයේ හැඩතල පවා අස්වාභාවික හැඩ සමඟ චරිත හා මුසුවෙයි. ‘නොස්ෆෙරාතු’ ප්‍රතිනිර්මාණයේ ද ‘මිසෝන් – සේන්’ ශිල්ප ක්‍රමය භාවිතාව කැපී පෙනෙන අංශයකි. විශේෂයෙන් කැමරාකරණය සහ ආලෝකකරණය ක්‍රියාවලියයි. ආලෝකකරණයේදී චිත්‍රපටය සඳහා යොදාගෙන ඇති මඳ ආලෝකය සහ අඳුරු බව විසින් සමස්ථ ආඛ්‍යානය ශක්තිමත් කරයි. අළු සහ අඳුරු නිල් පැහැයට හුරු වර්ණ මාතිකාවක් චිත්‍රපටය සඳහා යොදාගෙන ඇත. ඉන් ච්ත්‍රපටයේ කතාව තීව්‍ර කරයි. පසුතල නිර්මාණය සහ වස්ත්‍රාභරණ විසින් චිත්‍රපටයේ යථාර්ථය යළි ප්‍රතිනිර්මාණය කරන ප්‍රධාන ආනුශංගික අංශය වෙති.
යහපතට එරෙහිව නපුර නමැති බලවේගයට එරෙහිව සිදු කරන සුක්ෂම මෙහෙයුමක් චිත්‍රපටයේ දැක්වෙයි. ප්‍රේක්ෂකයා භීතියට පත් කිරීම සහ නපුර පිළිබඳ බරපතළ අදහසක් චිත්‍රපටයේ ඉස්මතු කරන්නට අධ්‍යක්ෂවරයා සමත්ව ඇත. මනුෂ්‍යයාගේ විවිධ මානසික ගැටලු ද මනෝභාවයන් ද සියුමි ලෙස අර්ථ ගන්වන්නේ ප්‍රේක්ෂකයාට Horror ශානරයේ නවමු රසයක් ගෙන දෙමින්. හොලිවුඩ් සිනමාකරුවන් ශුරබව සහ නිර්මාණශීලීත්වයට පිළිබඳ දක්වන දැඩ් සැළකිල්ල ‘නොස්ෆෙරාතු’ වැනි චිත්‍රපටයක් දැඩි සේ අවධාරණය කරයි. එය වෙනත් අන් කිසිදු සිනමාවකට ස්පර්ශ කළ නොහැකි ඉන්ද්‍රජාලික ගුණයක් හොලිවුඩ් සිනමාවට ඇති බව ‘නොස්ෆෙරාතු’ චිත්‍රපටය නූතනයේ දැක්විය හැකි කදිම නිදර්ශනයකි.
මලින්ත විතානගේ