Home » ‘නෙලුම’ ප්‍රදර්ශනය සමකාලීන සමාජ දේශපාලනික සංස්ථාවේ සංඥා පද්ධතියක්’

‘නෙලුම’ ප්‍රදර්ශනය සමකාලීන සමාජ දේශපාලනික සංස්ථාවේ සංඥා පද්ධතියක්’

- මහාචාර්ය සුදර්ශන බණ්ඩාර

by Thanushika
April 10, 2025 10:13 am 0 comment

මහාචාර්ය සුදර්ශන බණ්ඩාර වර්තමානයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශයේ අංශාධිපතිවරයා සහ දෘශ්‍ය කලාව (Visual Art )විෂය පිළිබඳ ඉගැන්වීම ද සිදු කරයි. ‘නෙලුම (Lotus)’  යනු ඔහු විසින් නිර්මාණය කරන ලද සිතුවම් එකතුවක් ආකාරයෙන් සංවිධානය කළ එක පුද්ගල සිතුවමි දැක්මකි. ‘නෙලුම’ සිතුවම් ප්‍රදර්ශනය පසුගිය මාර්තු 14 වැනිදා  ‘ATELIER KANDY’ පරිශ්‍රයේ පැවැත්වුණ අතර එය නරඹන්නගේ සහ විචාරකයන්ගේ බොහෝ සේ කියවීමට බඳුන් විය. මහාචාර්ය සුදර්ශන බණ්ඩාරගේ ‘නෙලුම’ චිත්‍ර ප්‍රදර්ශනය පිළිබඳ ඇසුරින් සිදු කළ කතාබහ මෙවර සරසවියෙහි ඉඩ හසර වෙන්වෙනවා.

‘පෙනෙන ආලෝකයේ නොපෙනෙන අඳුර’ හෙවත් ‘කුලුන’ චිත්‍ර ප්‍රදර්ශනය හරහා කියන්නට උත්සාහ දරන්නේ මොකක්ද?

ලෝටස්. නැතහොත් නෙලුම, මාගේ සිතුවම් ප්‍රදර්ශනය මීට වසර තුනකට පෙර චිත්‍රකරණය කරන ලද සිතුවම් එකතුවක් විදියටයි නෙලුම ප්‍රදර්ශනය පැවැත්වුවේ. නෙළුම වැනි ප්‍රදර්ශනයක් පැවැත්වීමට යොමු වීමට මා මුලිකම හේතු වූයේ පසුගිය දශකය තුළ ශ්‍රී ලාංකික දේශපාලනික-සාමාජීය සංස්ථාව විසින් සෙසු සමාජ සංස්ථාවන් සඳහා වන පවුල, අධ්‍යාපනය, නීතිය, කලාව, ආගම, ආර්ථිකය වැනි බහුවිධ සමාජ සංස්ථාවන් සඳහා කෙලෙස තමන්ගේ දේශපාලන දෘෂ්ටිවාදය සහ දේශපාලන බල කේන්ද්‍රය මෙහෙයවූයේ ද යන කාරණය පිළිබඳ යමි ආකාරයක දෘශ්‍යමය විවරණයක් සැපයීම, මෙම ප්‍රදර්ශනයේ මූලික අරමුණ වුණා.

වර්ෂ 2009 සිට 2020 කාල පරාසය දක්වා සක්‍රීය සමාජ පුරවැසියකු ලෙස සහ නිර්මාණකරුවකු ලෙස විවිධ පක්ෂ දේශපාලනය සහ එම පක්ෂ දේශපාලනය තුළ පුද්ගලයන් හැසිරෙන ආකාරය පිළිබඳව, නීතිමය රාමුවට ඔවුන් දක්වන දායකත්වය පිළිබඳ සහ ඉන් සිදු කරන බලපෑම, පවුල වැනි ආයතනයකට බලපාන ආකාරය, අධ්‍යාපනය සඳහා බලපාන ආකාරය, ශ්‍රී ලාංකීය පුරවැසියන්ට සිදු කරන බලපෑම මෙම සිතුවම් තුළින් විවරණය වෙනවා. ශ්‍රී ලාංකේය පුරවැසියකු ලෙස සමාජමය ප්‍රශ්න සහ කතිකාවන් පිළිබඳව විචාරතේමකව බලන්නේ කෙසේද? සහ ඒ දේශපාලන සංස්ථාවන් විසින් තම අධිකාරීත්වය, අධිපතිවාදීමය සමාජ ව්‍යුහයක් ස්ථාපිත කරගන්නේ කෙසේද? යන කාරණා කිහිපය පිළිබඳ හැසිරුණ ආකාරය මෙම සිතුවම්වල තේමාව බවට පත් වී තිබෙනවා.

මෙම නිර්මාණ සමුචිචය දෙස බලනවිට මා ලැබූ අත්දැකීම තමයි මේ දේශපාලන ව්‍යුහයන් විසින් තමන්ගේ සමාජමය ව්‍යුහය සඳහා හසුකරන ලබන බලපෑම අතිශය අන්තගාමී ප්‍රවාහයක් විදියටයි මා දකින්නේ. එම නිසා මෙම ‘නෙලුම’ යන නිර්මාණ සමුචිචය තුළින් උත්සාහ කළේ සැබැවින්ම පසුගිය දශකය තුළ දේශපාලනික සංස්ථාවේ ස්වභාවය සහ එය අනෙකුත් පුරවැසි භූමිකාවන්ට බලපෑ ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමටයි. මීට ‘නෙලුම’ යැයි නම් කරන්න හේතු වූයේ පක්ෂ දේශපාලනය තුළ නෙළුම හැසිරෙන ආකාරය සහ ලාංකික සංස්කෘතික අවකාශය තුළ නෙලුමට ලැබී තිබෙන පවිත්‍රත්වය, පූජනීයත්වය වෙනත් අවකාශයක් තුළ ලැබෙන්නේ කෙසේද? යන්න පිළිබඳවයි.

ඔබ මේ චිත්‍ර ප්‍රදර්ශනයේ අඳීනු ලැබූ සිතුවම් සඳහා යොදාගෙන තිබෙන්නේ කළු – සුදු වර්ණයේ සංකලනයන්. මෙවැනි ශෛලියක් යොදාගන්න හේතුව කුමක්ද?

මා ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස පසුගිය දශකය තුළ ලාංකික දේශපාලනය විසින් හැසිරෙන ලද විවිධ දේශපාලන සංස්ථාවන් සහ එහි අභ්‍යන්තරයේ පවතින පක්ෂ දේශපාලනයෙහි ස්වරූපයේ තිබෙන අන්ත දුක්ඛිත, ස්වභාවය කොයි ආකාරයෙන් ද ශ්‍රී ලාංකික පුරවැසියාට දැක් වූ දායකත්වය සහ බලපෑමේ ස්වභාවය කොයිවගේ ද? යන්න, ශ්‍රී ලාංකික පුරවැසියා එකී දේශපාලන කාල පරාසය තුළ පසුගිය දශකය තුළ ඔහු පුරවැසියකු ලෙස විඳීන ලද අනන්ත දුක් සමුදාය නිසා මා සිතනවා ලාංකේය පුරවැසි භූමිකාවේ දෘශ්‍ය නිර්මාණකරුවකු ලෙස මා අත්විඳී මූලිකම කාරණාව වෙන්නේ කිසිදු ආකාරයක සෞන්දර්යාත්මක ස්වරූපයක් හෝ වර්ණවත් ස්වරූපයක් එම කාල පරාසය තුළ මා දකින්නේ නැහැ.

එම නිසා විශේෂයෙන් මේ කළු සහ සුදු යන වර්ණ දෙකෙහි අන්තරයන් මෙම සිතුවම් සඳහා බෙහෙවින් උපයෝගී කර ගැනීමට අවශ්‍ය වූවා. පසුගිය දශකය තුළ ලාංකේය සමාජ භූමිකාව තුළ සමාජ සත්ත්වයා නැතහොත් පුරවැසියා විඳීන ලද කිසිදු අත්දැකීමක් සෞන්දර්ය ස්වරූපයක් නැහැ. ඔවුන් සැමවිටම අත්විඳීන ලද්දේ අතිශය ශෝචනීය, දුර්භාග්‍යසම්පන්න අත්දැකීම් සමුදායක්. එය සංස්කෘතික, ආගමික, නීතිය, අධ්‍යාපනය ආදී ඕනෑම අවකාශයක සිදුවිය හැකියි. එම නිසා මම නොදුටු සුන්දරත්වය පිළිබඳව, නොදුටු වර්ණවත් අවකාශයක් පිළිබඳව සහ එහි තිබෙන කළු සහ සුදු, හොඳ හෝ නරක පමණට වඩා අන්තගාමී සහ ආන්තික ලක්ෂණ සමුදායක්. ආන්තිකත්වය, සුදු සහ කළු යන වර්ණ ද්ව්ත්වය භාවිතා කරමින් නිර්මාණය කරන්නට උත්සාහ කළා.

චිත්‍ර ප්‍රදර්ශනයේ ‘කුලුන’ නමැති සංකල්පය නිර්මාණය වීමට පසුබිම මොකක්ද?

මාගේ සිතුවම්වල තිබෙන තවත් සුවිශේෂි කාරණාවක් තමයි, මේ සංඥා පද්ධතිය අවබෝධ කරගත්තේ නැතිනම් හුදෙක් මෙම සිතුවම් පුරා තිබෙන්නේ නෙලුම, කපුටන් ආදී රූපමය වර්ණ පදාස ටිකක් පමණයි පෙනෙන්නේ. පැහැදිලවම නරඹන්නා මෙම සිතුවම් පිළිබඳව සහ සමාජ සංස්කෘතික අවකාශයෙහි තිබෙන මොහොත සහ සංඥා පද්ධතිය පිළිබඳ සවිඥාණික වුවහොත් පමණයි ඔහුට හෝ ඇයට සිතුවම් සමඟ යම් ව්ද්වත් කතිකාවතක් ගොඬනඟාගත හැකිවන්නේ. මෙම සිතුවම් පෙළ හුදෙක් දෘශ්‍යමය රූප සංරචනයන් හෝ සංඥා පද්ධතියක් පමණක් නොවේ. මා මෙම සිතුවම් පෙළ හඳුන්වන්නට කැමතියි අනෙකුත් සිතුවම්වලට සාපේක්ෂව මෙය එක්තරා ආකාරයක වියමනක් ලෙස. මෙම සෑම සිතුවමක් සඳහාම ඊට ආවේණික සංස්කෘතික මොහොතක් විසින් අර්ථගන්වන ලද, අර්ථපූර්ණය කරන ලද එක්තරා විදියක පඨිතයක් සහ අදහස් කලාප ගණනාවක්.

චිත්‍ර කලාව ඔස්සේ ඥානය ලබාදීම හැරුණුවිට සමකාලීන දේශපාලනික – සමාජය පිළිබඳ කතිකාවතකට ප්‍රවෙිශ කිරීම ඔබේ චිත්‍රවල දක්නට ලැබෙන සුවිශේෂි නිරීක්ෂණයක්. මේ පිළිබඳව ඔබෙි අදහස මොකක්ද?

ලාංකේය දේශපාලනික-සාමාජීය සංස්ථාව විසින් නීතියේ ආධිපත්‍යය කොයිවිදියට තමන්ගේ දේශපාලනමය බල අධිකාරියට ගොනු කරගෙන හිටියේ සහ ඒ වගේම නීතියේ දෙවඟනට තිබුණ නිදහස් සෛවරී අවකාශය කොයි විදියට ද මැඩලුවේ කියන එක මගේ නිරික්ෂණ වුණා. ආගමික සංස්ථාවට මුවා වී සිදු කරන ලද මිලේච්ජ ස්වරූපය සහ පවුල් සංස්ථාව තුළ බිහිවීමට සිටින දරුවා කෙතරම් දුරට මේ දේශපාලන සංස්ථාව විසින් ණයකර තිබේද? එමෙන්ම අධ්‍යාපනය සහ සමස්ත ශ්‍රී ලංකාවම මොන ආකාරයේ විලාපයකට නැත්නමි ශෝකාන්තයකට ලක්කර තිබෙනවාද? දේශපාලන බලය සංක්‍රමණය වීමේ දී කොයි විදියට ද ශ්‍රී ලාංකේය බලය, අධිකාරිත්වය දරාගෙන සිටින පුද්ගලයන් භාවිතා කරේ ද? යනාදී ඉසව් ගණනාවක් මගේ සිතුවම් හරහා සාකච්ඡා කරනවා. මන්ද සමහර අත්දැකීම් අත්වින්⁣ඳා. ඒ ඒ වස්තුන් මොහොත ඇතුළත විඳීන ලද ස්වභාවය තමයි මම මූලිකවම මෙම සිතුවම් තුළ චිත්‍රණය කළේ.

කූලුන ප්‍රදර්ශනයේ සිතුවමිවල දැකපු සුවිශේෂි ලක්ෂණයක් තමයි ‘සංකේත’ භාවිතාව. ප්‍රකාශන සඳහා බොහෝමයක් ඔබ සංකේත භාවිතා කර තිබෙනවා. නරඹන්නා චිත්‍රය පඨිතයක් විදියට කියවද්දි සංකේත පිළිබඳ අවබෝධය සහ දැනීම කොතරමි දුරට වැදගත්ද?

මෙම සිතුවම් සමුදාය එක්තරා ආකාරයකට සංඥා පද්ධතියක්. සංඥා පද්ධතිය තුළ සැමවිටම අපේ සංස්කෘතික අවකාශයට සහ දේශපාලන සංස්ථාව විසින් සහ පරිසර පද්ධතිය විසින් ගොඩනඟන ලද සංකේත පද්ධතියක් සහ සංඥා පද්ධතියක් භාව්තා කළා. නිදර්ශනයක් ලෙස මහනුවර සම්ප්‍රදායේ අපට හමුවන වෙස්සන්තර ජාතකයේ වංකගිරිය. වංකගිරිය මැදින් පිපෙන නෙලුමක් සහ එහි කොහොමද? කපුටන් වසා තිබෙන කාරණය පිළිබඳව. වංකගිරිය වැනි සිතුවමක තිබෙන ලක්ෂණයක් ගේන්නට සිද්ධ වුණේ මේ දේශපාලන සංස්ථාව තුළ පුද්ගලයන්ගේ හැසිරෙන ආකාරය අනුව ඔවුන්ගේ අරමුණ කුමක්ද? ඔවුන්ගේ දිශානතිය කොයිවගේද? දිශානතිය තුළ පුරවැසියාට ඒ පිළිබඳව අවබෝධයක් තිබෙනවාද? නැතිනමි ඒ ඒ දේශපාලන පක්ෂයට අවබෝධයක් තිබෙනවාද? යන්න පසුගිය දශක කිහිපයේ දී පැහැදිලි අවබෝධයක් දක්නට ලැබුණේ නැහැ. එය කුමක්ද? යන්න නිරූපණය කිරීමට මා මෙවැනි පැරණි කලාවක් උපයෝගී කරගත්තා.

ඒ වගේම වටාපත. බොහෝවෙලාවට අපි හිතනවා බෞද්ධ සංස්කෘතියේ කිසියමි දැනුම් පද්ධතියේ දාර්ශනික ස්වභාවයක් ප්‍රතිනිර්මාණය කරන්නට භාවිතා කරන මෙවලමක්. බෞද්ධ දර්ශනයත් සමඟ නෙලුම අතර සම්බන්ධය විසින් ලෝකය අඳුරකට ඇඳ දමනු ලබනවා. එමෙන්ම මෙහි ‘අරගලය’ යන ⁣තේමාව සිතුවමක් සඳහා පාදක කරගෙන තිබෙනවා. අපි සිතනවා අරගලය කියන්නේ එක්තරා විදියක පැහැදිලි විමුක්තිදායකයන් විසින් ලාංකේය දේශපාලනය තුළ පුරවැසි දෘෂ්ටිවාදයන් වෙනුවෙන් පෙනී හිටපු බලවේගයක් නමුත් මගේ ව්ශ්ලේෂණය අනුව සමාජමය අවකාශය කෑලි කෑලිවලට කඩලා දාන්න පුළුවන් සහ කරපු එක්තරා බලවේගයක් විදියට. විවිධාකාරයේ සංඥා පද්ධති මම ගොඩනැඟුවා නිර්මාණයට ආවේණික වුණු පඨිතයන් ගොඩනැඟීම සඳහා. මගේ ලෝටස් ප්‍රදර්ශනය පුරා වර්ණ, සංඥා පද්ධති මේ සමාජ ව්‍යුහයෙන්ම රැගෙන ඊට වෙනස් විදියේ දේශපාලනමය, සංස්කෘතිමය අර්ථයන් ආරෝපණය කර ප්‍රතිනිර්මාණය කිරීම.

දෘශ්‍ය කලාව පිළිබඳ මහාචාර්යවරයකු විදියට සහ චිත්‍ර ශිල්පියකු වශයෙන් ලංකාවෙි නූතනයේ පවතින දෘශ්‍ය කලාව පිළිබඳ ඔබ දරන අදහස මොකක්ද?

ඉතා වැදගත් ප්‍රශ්නයක්. ඔබ ඇසු ප්‍රශ්නයට කෙටි පිළිතුරක් නමි ශ්‍රී ලාංකේය සමකාලීන කලාවේ භාවිතය සහ සමකාලීන කලාකරුවාගේ භාවිතය පිළිබඳ බැලුවොත් අතිශය ශෝචනීය සහ අතිශය දුක්බරයි. සමකාලීන කලා භාවිතය බැලු බැල්මට අපට පෙනෙනවා පුළුල් පරාසයන්වල ව්‍යාප්ත වෙනවා. මාධ්‍යමය ස්වභාවය වෙන්න පුළුවන්. ආකෘතිමය ස්වභාවය වෙන්න පුළුවන්, සංකීර්ණ ප්‍රශ්නයක් පිළිබඳ වෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ලම පරයා ශ්‍රී ලාංකේය සමකාලීන කලාවේ කලාවේ භාවිතය සහ එහි හැසිරීම, එහි තේමා භාවිතය දෙස බැලුවාම මට පෙනෙන්නේ එක්තරා ආකාරයක වාමවාදී ආස්ථානයක සිට තමන්ගේ පෞද්ගලික සුඛ විහරණයන් සඳහා සමකාලීන කලාවේ යම් යම් ප්‍රශ්න නිර්මාණාත්මක ආකෘතීන් භාවිතා කිරීමේ ස්වභාවයක්. නමුත් කලාව පිළිබඳ විධිමත් අවබෝධයකින් යුක්ත සහ විධිමත් දැනුමකින් යුක්ත ප්‍රායෝගික ක්‍රියාකාරකමිවල නිරත වෙමින් සිටින කලාකරුවන් පිරිසක් අද ලංකාවේ සිටිනවා.

නමුත් ප්‍රශ්නය තිබෙන්නේ එහි කලාකරුවකුන් එක්තරා විධියක තමන්ගේ සමාජමය ආමන්ත්‍රණයන් සහ සමාජමය ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවේදී බොහෝ නිර්මාණකරුවන් ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව එතරම් අවබෝධයක් හෝ එතරම් වැටහීමක් නැතිව ඒ පිළිබඳව කියවීමක් සිද්ධ කරනවා. සමකාලීන කලාවේ භාවිතය පිළිබඳ ගත්විට විස්ථාපන කලාව, එකට ගොනු කර ගැනීමේ කලාව, එසේත් නැතිනම් එක්තරා ආකාරයකට නඥපටධපථඪදඨ චපබ එකක් වෙන්න පුළුවන්.

නමුත් ශ්‍රී ලාංකේය සමකාලීන කලාවේ මා දකින වැදගත්ම දේ තමයි දැනුමක් නැති, අවබෝධයක් නැති කලාකරුවන් පිරිසක් අද සිටිනවා. ඒ වගේම ඒ නිර්මාණකරුවන් තමන්ගේ වාමවාදී දේශපාලන ආස්ථානය ස්ථාවර කර ගැනීමටත් ඒ හරහා තමන්ගේ පෞද්ගලික ආර්ථිකය සුරක්ෂිත කර ගැනීමටත් ඔවුන් තමන්ගේ සමකාලීන කලාව භාවිතා කරනවා. මෙහි ඇති දරුණුතම ලක්ෂණ වන්නේ පෞද්ගලික කලාගාර හිමිකරුවන් විසින් සමකාලීන කලාකරුවන් තමන්ට අවශ්‍ය පරිදි හසුරුවන්න පටන් ගන්නවා. බොහෝ සමකාලීන කලාව සම්බන්ධව පවතින කලාගාර හිමියන් විසින් ඔවුන්ගේ වෙනත් ගෘහ අලංකරණයන් සඳහා ඔවුන්ගේ වෙනත් වෙළඳ ව්‍යාපාර කටයුතු සඳහා සමකාලීන කලාකරුවන්ගේ නිර්මාණ ඔවුන්ට අවශ්‍ය විදියට, ඔවුන්ට අවැසි වර්ණ, ඔවුන්ට අවැසි තේමාවන් විදියට භාවිතා කරන්න ඔවුන් බලපෑමි කරනවා. මොකද? සමකාලීන කලාකරුවා එක්තරා ආකාරයකට ආර්ථික වශයෙන් සුරක්ෂිත නැති වුණාම ඔවුන් ගැලරි මාෆියාවට සෘජු ලෙසම යටත් වෙනවා. ඊළග කාරණය වෙන්නේ ඔවුන් වාමවාදී දේශපාලන සංස්ථාවක සිට ඔවුන්ගේ එකී දේශපාලන වාසි රැගෙන ඔවුන්ගේ කලාව ඉදිරියට ගෙනයන්න උත්සාහ කරනවා.

එවැනි නිර්මාණකරුවන් සමකාලීන කලාවේ අනන්ත අප්‍රමාණ සිටිනවා. එම නිසා සමකාලීන ලාංකේය කලාව පිළිබඳ කිසියමි විවරණයක් සිද්ධ කරනවා නමි පැහැදිලිවම සමකාලීන කලාකරුවා කවුද? ඔහුගේ භාවිතාව කොහොමද? ඔවුන් මෙවැනි ආකාරයෙන් හැසිරෙන්නේ ඇයි? කියන කාරණය පිළිබඳ සමීප කියවීමක් සිද්ධ කළ යුතුයි. එලෙස කියවීමක් සිද්ධ කළොත් පමණයි සමකාලීන කලාවේ ස්වභාවය, භාවිතාව සහ හැසිරීම, ඔවුන්ගේ අරමුණු සහ ලාංකේය දෘශ්‍ය කලාවට යමි ප්‍රගමනයකට දායකවන්නේ. එම නිසා සමාකාලීන කලාව බොහෝවිට බිත්තියක් අලංකරණය කරන සිතුවමක් නැතිනමි බ්ත්තියක අවකාශය පුරවන මෙවලමක් නොවිය යුතුයි. සමකාලීන කලාව ඊට වඩා සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික ප්‍රශ්න ආමන්ත්‍රණය කළ හැකි, ඒ වගේම සෞන්දර්යාත්මක දෘෂ්ටියක්, දෘෂ්ට් කෝණයක් චිත්‍රණය කළ හැකි, යම්කිසි බුද්ධිමය සහ සෞන්දර්යාත්මක සමාජයක් සකස් කිරීමට පිටුවහලක් ලබා දෙන නිර්මාණයක් විය යුතු බවයි මගේ අදහස.

[email protected]

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT