නර්තනාචාරිනි ඉරෝෂිණි ජයසුන්දර යටතේ රාගම, බටුවත්ත ‘ලසිනි රංගායතනයේ’ ශිල්ප හදාරන සිසුවියන්ගේ ‘නූපුර මේලා’ නර්තන ප්‍රසංගය පසුගියදා (ජූනි 20) සන්ධ්‍යාවේ කොළඹ නාලන්දා විද්‍යාලයීය මලලසේකර ශාලාවේදී මහාචාර්ය මුදියන්සේ දිසානායක සහ චන්ද්‍රකාන්ති ශිල්පාධිපති යන ජ්‍යෙෂ්ඨ කලාවේදීන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ලසිනි රංගායතනයේ 25 වැනි සංවත්සරයට සමගාමිව එහි සිසුවියන් 76කගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු ප්‍රසංගය සාම්ප්‍රදායික හා බටහිර ශෛලීන් පාදක කරගෙන නිමැවූ විචිත්‍ර නර්තනාංග 20කින් වර්ණවත් විය.
ප්‍රවීණ කලාශිල්පි කුලසිරි බුදවත්තයන් සෙවණේ ශිල්ප හැදෑරූ ඉරෝෂිණි, බුදවත්ත රංගායතනයේ ආචාර්යවරියක ලෙස දීර්ඝ කාලයක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසකට නර්තන උරුමය බෙදා දුන් අතර, මේ වන විට මට්ටක්කුලිය ආවේ මරියා විදුහලේ සේවය කරමින් සිටින්නීය. ප්‍රදේශයේ කීර්තිමත් කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන කෝලිත ජයසුන්දරගේ භාර්යාවද වන ඇයගේ කැප වීම මත ‘ලසිනි රංගායතනය’ ප්‍රදේශයේ සිසුවියන්ගේ සහජ කලා කුසලතා ඔප් නංවමින්, ඔවුන් ජාතික හා අන්තර්ජාතික මට්ටමට ගෙන යෑමට ඉමහත් මෙහෙවරක් ඉටු කරමින් තිබේ. මෙවර පැවැත්වුණේ ‘නූපුර මේලා’ සිව්වැනි ප්‍රසංගය වන අතර, මේ වන විට ලසිනි රංගායතනයේ සිසුවියන් 40 දෙනකු පායිම්පත් මංගල්‍යයන් දෙකකදී රංගාභිෂේක ලබා ඇත.
- නයනාංජලී දෙහිපිටිය