Home » නූතනයේ වඩා වැදගත් වෙන්නේ දේවල් සම්බන්ධයෙන් කතිකාමය නිෂ්පාදනයක්

නූතනයේ වඩා වැදගත් වෙන්නේ දේවල් සම්බන්ධයෙන් කතිකාමය නිෂ්පාදනයක්

- ලේඛක රන්දික රාජපක්ෂ

by Thanushika
January 2, 2025 11:27 am 0 comment

වර්තමානයේ කවි කලාව සමිබන්ධයෙන් ගත්විට කවියන් සහ කිවිඳියන් බොහෝමයක් තම කාව්‍යමය ප්‍රකාශන හරහා පාඨකයා කවි පිළිබඳ ආශාව අවුළුවමින්, අනුරාගය ඇති කරන්නට වෙර දරන බවක් නිරික්ෂණය වෙයි. මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහාය කථිකාචාර්යවරයකු වන රන්දික රාජපක්ෂ ස්ථානගත වන්නේ කවියකු වශයෙනුත් කවිය සමිබන්ධ ප⁣ර්යේෂණයන්හි නිරත වන ශාස්ත්‍රාලීයකු ලෙසිනි. ඔහු කුලුඳුලේම රචනා කරන ‘ඒ කොටුවත් හතරැස්’ කාව්‍ය සංග්‍රහය හරහා මෙරට කවියට ලොබ බඳීන පාඨකයන් අතරට පැමිණෙයි. ඉනුත් නොනැවති ඔහු කවිය සම්බන්ධයෙන් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ද රචනා කරයි. ඒ ‘අභිවහන කවි කලාවේ ඉතිහාසය සහ වර්තමාන භාවිතය’ කෘතිය. මෙවර සරසවිය අවකාශය හරහා ඉඩ වෙන්වන්නේ ලේඛක රන්දික රාජපක්ෂ සමඟ සිදුකළ සාහිත්‍යමය කතාබහ සමඟයි.

ඔබේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය වන ‘ඒ කොටුවත් හතරැස්’ කවි පොතට බලපෑ අත්දැකීමි කවි බවට පත් කිරීමට ගත් පරිකල්පනාත්මක වෙනස ගැන මුලින්ම කතා කරමු?

මන් හිතන්නෙ මේ ලෝකෙ මනුස්සයෙකුට ලැබෙන ලොකු ම වාසනාව තමයි හිතන්න පුළුවන් හිතක් හිමිවීම. හිතන්න පුළුවන් මනුස්සයෙකුට පරිකල්පනය දුර නෑ. නමුත් අත්වින්ද අත්දැකීම කවියක් කරන වැඩේ ලේසි නෑ. අපේ පරිකල්පන ශක්තිය අවදි කරන වැඩෙත් පහසු නෑ. ඒක ක්ෂණික ව උපදිනවා වගේ ම නිරන්තරයෙන් පුහුණු කරන්න ඕන දෙයක්. වැදගත් ම දේ තමයි නිදහස. මට කවියේ රස මුලින් ම හමුවෙන්නෙ දිලිප් කුමාර නමැති මගේ සිංහල ගුරුවරයාගෙන්. ඉතින් මං පන්තියේ කොළ කෑලිවල කවි ලියලා චිට් විදියට ඉස්සරහට යවනවා. සාධනීය කවි සර් කියවනවා. එළියෙ ලෝකෙ මොන වස්තුවක් වුණත් මොන සිද්ධියක් වුණත් “ඒක කවියකට අත්දැකීමක් ද ?” කියන නිරීක්ෂණය මට මුල් අවදියේ තිබුණා. එහෙම තමයි කවියට තියෙන උනන්දුව වැඩි වුණේ. කවිය ගැන හදාරද්දි ලියන එක අඩු වුණා. ඒ නිසා මං අර්ථකථනය කරගන්නෙ නිරායාසී ව කවි ලීවෙ කැම්පස් එන්න කලින්. ඊට පස්සෙ විවිධ බුද්ධිමය සංකථනවලට මගේ චින්තනය වගේ ම කවියත් ගොදුරු වුණා. මන් වැඩිපුර ම ආදරේ කරන්නෙ මං කවි ලියන්න පටන් ගත්ත මුල් කාලෙට. ඉතින් මේ යුග දෙකේ ම අඩුවැඩි සුසංයෝගයකින් බිහිවුණු කවි එකතු කරලා පොත මුද්‍රණය කරන වැඩේට ප්‍රවේශ වුණේ 2018 දී. අමරකීර්ති සර් පෙරවදනක් ලියලා දුන්නා ඒ කාලෙ දී ම. නමුත් පොත මුද්‍රණය කළේ ඊට අවුරුදු 6කට පස්සේ. සක්නද ප්‍රකාශන ආයතනයේ මැදිහත් වීම අගය කළ යුතු ම යි.

ඔබේ කවි පොතේ එන ‘විශාදය හැදුණ යාළුවෙක්’ කවිය ටිකක් විශේෂයි මේ යුගයට. ඒ කවිය ගැන පොඩිඩක් අපි කතා කරමුද?

ඒ කවිය මම ලීවෙ 2016 අග දී. මගේ යාළුවගෙ ප්‍රේමය බිඳීලා සෑහෙන අමාරුවෙන් ගත කරපු කාලයක් තිබුණා. මට ඒ කාලෙ ලව් ගැන ලොකු අවබෝධයක් තිබුණ් නෑ. නමුත් මගෙ මිත්‍රයාගෙ විරහා වේදනාව මං දැක්කා. එක දවසක් රෑක මිත්‍රයා මට කෝල් කරලා අඬන ගමන් “මචන් මට විශාදය මොන වගේ ද ? මට විශාදය ද කොහෙද බන් ?” කීවා. අන්න මගේ කවි සිත කෙනිත්තුවා. විශාදය වගේ මානසික තත්ත්වයන් වර්තමානය තරම් ප්‍රසිද්ධ නෑ ඒ කාලෙ. දැන් වගේ ඒ සිද්ධිය වුණා නම් මගේ ප්‍රවේශය වෙනස් වෙන්න ඉඩ තියෙනවා.

ඔබ කවි පොතක් විදියට රචනා කරලා ඉන් නොනැවතී ශාස්ත්‍රීය ශානරයේ කෘතියක් පවා රචනා කරනවා ‘අභිවහන කවි කලාවේ ඉතිහාසය සහ වර්තමාන භාවිතය’ නමින්. මේ ශාස්ත්‍රීය කෘතිය තුළින් ඔබ ගෙන එන නිරික්ෂණ මොනවද?

වර්තමානයේ කවි ලියන එක සහ කවි පොත් ප්‍රකාශ කරන එක සෑහෙන්න සිදු වෙනවා. නමුත් අපට තියෙන්නේ කවි කීව ඉතිහාසයක්. මගේ පළවෙනි කවි පොත මුද්‍රණය කරන්න සැරසුණේ 2018 දි. එතනදි මං අභියෝග කීපයකට ම මුහුණ දුන්නා. කවි නොකවි වාදය සහ ආර්ථික කාරණා එහි දී විශේෂ යි. ඇත්තට ම අතීතයේ මිනිස්සු පොත් ගහන්න වද වෙවී ඉඳලා නෑ නෙ. අත්දැකීම කවියක් විදියට එවෙලෙ ම කියලා තියෙනවා. රාජ සභා ආශ්‍රිත ව සහ ගැමි ප්‍රාදේශීය කවියකුත් නැගී ඇවිත් තියෙනවා. මගේ පවුල් පසුබිමත් කවි කීව සහ කවියත් එක්ක බැඳුණු එකක්. අපේ අත්තා ගෙදරින් තරහාවෙලා ගියා ම කිරිඅම්මා කවියෙන් ලියුම් යවලා ආපහු ගෙදර ගෙන්නගෙන තියෙනවා. මේ නිරීක්ෂණ අතිපිහිත වෙමින් තියෙද්දී ආචාර්ය සුදේශ් මන්තිලකගෙන් මට දැනගන්න ලැබුණා රුසියාව වගේ රටවල්වල කවි ඉදිරිපත් කිරීමේ කලාවක් තියෙනවා කියලා. එතනින් ආරම්භ කළ පර්යේෂණය තමයි කෘතියක් වීම දක්වා වර්ධනය වුණේ. තාම අවසන් නෑ.

ලංකාවේ නූතන කවි කිවිඳීයන් අතින් ලියවෙන කවි ගැන බහුතරයක් දෙනා විවේචන ගෙන එනවා. ඉන් එක් චෝදනාවක් තමයි ‘කවිය විකෘති කරනවා’ යැයි කියන චෝදනාව. ඔබ මීට එකඟද? ඔබ කවියෙක් විදියට නූතන කවිය ගැන කියවීම මොකක්ද?

කවුරු හරි මොන යම් ම හෝ ලියන දේකට තහංචි දාන්න කාටවත් බෑ. එහෙම අයිතියකුත් නෑ. මොකද මනුස්සයෙක් ලියන්නෙ ලියන්න තරම් දේවල් තියෙන නිසා. හිතෙන නිසා. ඒක එළියෙ තියෙන කවි හෝ මොන යම් ම සාහිත්‍ය ආකෘතියක මිම්මකට අනුව ලියවෙන්න ඕන කියලා නියමයක් නෑනෙ. නමුත් ඒ හැඟීම් ප්‍රකාශනයෙන් ඔබ්බට ගිහින් යම් හැදෑරීමක් ද සහිත ව කවිකරණයට ද්විතීයික වශයෙන් ප්‍රවේශ වෙනවා නම් ඒක අගය කළ යුතු යි. එහෙම වෙන්නෙ හරි අඩුවෙන්. නූතනය තුළ හැමදෙයක් ම අතිරික්තය දක්වා වර්ධනය වෙලා තියෙන එකේ කවිවලටත් එහෙම වෙන එක පුදුමයක් නෙවෙයි. දැන් ලංකාවට වැදගත් වෙන්නෙ දේවල් නෙවෙයි. ඒ දේවල් සම්බන්ධයෙන් කතිකාමය නිෂ්පාදනයක්; සංවාදයක්.

ඔබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන නිසා වර්තමානයේ දී විශ්වවිද්‍යාල අවකාශය තුළ කවියට ඇති ඉඩ පිළිබඳ දකින නිරික්ෂණ මොනවද?

අපේ විද්‍යාර්ථීන් කවිය සම්බන්ධයෙන් බොහෝ හොඳ උත්සාහයන් ගන්න බව පේනවා. ලියන්න, සංවාද හදන්න, දේශන සංවිධානය කිරීම් වගේ ඒවා. නමුත් කෙටිකාලීන යි. එහෙම නැත්නම් මොකක් හරි සංගමයක වැඩක් විදියට අනවබෝධයෙන් කියවීමක් රහිත ව කෙරෙන වැඩක්. එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාලය තුළ ඉන්නකන් විතරයි. සාහිත්‍ය කලාව වෙනුවෙන් අවංක ව කැපවෙන කෙනෙකුට ඉන්න තැන මොකක් වුණත් අර කැපකිරීම නොකර ඉන්න පුළුවන් ද ? “අපිත් ඒ කාලෙ ඕවා කරා” කියන වර්ගයේ වැඩිහිටියො අනාගතයේ බිහි නොවෙන්න නම් විශ්වවිද්‍යාල මීට වඩා සක්‍රීය විය යුතු යි. ප්‍රදර්ශනකාමීත්වය පසෙකලා අවංක ව වැඩ කරන්න ඕන.

ඔබ වඩාත් ප්‍රිය කරන කෘති මොනවද? කියලා ඇහුවොත්?

මං හිතන්නෙ මගේ කියවීමේ රුචිය යුගයෙන් යුගයට වෙනස්. එක යුගයක කවි පොත්. ආපහු නවකතා, කෙටිකතා. ඊටත් පස්සෙ ශාස්ත්‍රීය කෘති. දැන් පුරාතන සම්භාව්‍ය සාහිත්‍ය පැත්තට වැඩි නැඹුරුවක් තියෙන්නේ. සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය, ජාතක පොත, අමාවතුර වගේ කෘති උනන්දුවකින් කියවනවා.

රන්දිකගේ සාමාන්‍යයෙන් එදිනෙදා ලිවීම කියන කර්තව්‍යය සිද්ධවෙන්නේ කොහොමද? ලියන කාලෙට හැසිරීම මොනවගේද?

පර්‍යේෂණයක් ලියනවා වගේ නම් මගේ හැම වැඩක් ම පැත්තකට දානවා. එතකොට මං වැඩ කරන මේසය තමයි මගේ තර්ක විතර්ක සංග්‍රාම භූමිය බවට පත්වෙන්නේ. කවි වගේ යමකට ප්‍රවේශ වෙද්දී තැන අදාළ නෑ. මුලින් ම ෆෝන් එකේ පොඩි නෝට් එකක් දාගෙන පස්සෙ විකාශනය කරගන්න අවස්ථා තියෙනවා. වැඩිපුර ම මං ආස මගේ මේසයට. මන් සාමාන්‍ය ජීවිතෙත් අමතක වීමේ ස්වභාවය වැඩි මනුස්සයෙක්. ලියද්දී ඒක උග්‍ර වෙනවා. ඒ නිසා ලියන, කියවන වෙලාවට මට ගොඩක් දේවල් ඇහෙන් නෑ. ඒ තත්ත්වය අම්මා හරියට ම දන්නවා. ජීවිතයට අලුතින් එකතු වුණ කෙනා ඒ ගැන තාම දන් නෑ මං හිතන්නෙ.

 

[email protected]

ඉමල්ක විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT