Home » නුඹ සඳ නොවී මිණි පහන වී මට අයිති වෙනවද රාවණා

නුඹ සඳ නොවී මිණි පහන වී මට අයිති වෙනවද රාවණා

by Thanushika
March 13, 2025 10:22 am 0 comment

මමම මන්දෝදරී
හිරිමල් වියේ
පෙම් කවි එවු නුඹ සෝබනා

හිත නින්ද බිඳ දුක් ගේන හීනෙට
අදත් එනවද රාවණා

ලෝ දම ලියා ඇති නමුත් අහසට
සඳේ අයිතිය පායනා
සඳ එළිය දුර දෙරණත ඉඹිද්දී
අහස උහුලයි වේදනා

මම මන්දෝදරී
අහසක් නොවී
ගෙපැළක් වුණොත් කිම කාරණා
නුඹ සඳ නොවී මිණි පහන වී
මට අයිති වෙනවද රාවණා

හැඩ මල් පිපී නෙක සුවඳ දෙන විට
බිඟුන් නොවඩයි භාවනා
මල් කැකුළු විතරක් ගහක රන්දන
ලොවට කරනෙමි චෝදනා

මම මන්දෝදරී
කුසුමක් නොවී
මල් ලියක් වන්නට පේවෙනා
සෙනෙහෙන් වෙළෙන්නට බිඟු නොවී
තුරු හිසක් වෙනවද රාවණා

හැඩැති කවියක ඇති සෞන්දර්ය නිරීක්ෂණය කළ හැකි රසවතුන් ඒ කවි නෙළාගැනීමට පමා නොවෙති. ඒ කවි මල් ඉනික්බිති ඔවුන් අලංකාර නිර්මාණ බවට පෙරළන්නේ ඉතා විස්මිත අයුරිනි. නූතන කවිය මෙන්ම සුභාවිත ගීතය සොයන ඉසව්වල මෙබඳු අගනා නිර්මාණ නෙත ගැටීම සතුටට කරුණකි. නූතන පරපුර සුභාවිත ගීතයෙන් ඈතය යන අදහස බිඳීනට පෙළ ගැසී ඇති කවි හා සුභාවිත ගී ගණනාවකි. මේ දිනවල සමාජ මාධ්‍යයේ යොවුන් පරපුරේ සිත් දිනා ගනිමින් ඉහළ ප්‍රතිචාර ලබන ‘ මම මන්දෝදරී ‘ නම් සුවිශේෂ ගීතය ගයන්නේ වෛද්‍ය චාපා ජයරුක්‍ ය. තවද එය විශේෂත්ව ගණනාවක් සහිත ගීත නිර්මාණයකි. වෛද්‍යවරුන් රැසකගේ දායකත්වයෙන් නිර්මාණය වී ඇති ‘ මම මන්දෝදරී ‘ පිළිබඳ කෙරෙන විමසුමකි මේ.

කවිය මට සමීපයි. ඒ නිසා දැනෙන කවි ළඟ නතර වෙන්න තිබෙන කැමැත්තත් වැඩියි.

‘ මම මන්දෝදරී’ මට හමුවන්නෙ එහෙම. මුහුණු පොතෙන්. කවි අතර සරන සිත් ඇති කවීන් මුණගැසෙන පිටු අතරෙ දුලානි ජයසිංහ කියන කිවිඳීය ලියා තිබුණු ‘මම මන්දෝදරී ‘ කියන අමුතු කවිය මගෙ සිතට කතා කරන්න පටන් ගන්නෙ එය දුටු පළමුවැනි වතාවෙමයි.

මේ කතාවට තේමා වෙන්නෙ රාවණා කතා පුවතෙ අපට කියවන්න ලැබෙන රාවණා සහ මන්දෝදරී චරිත දෙක ඇසුරෙන් යළි කියා පෑ නූතන පරපුරේ යුවතියකගේ ආදර හැඟුමයි. එනම් ආදරය පිළිබඳ සදා වෙනස් නොවන ගැහැනු මනෝභාවයයි. තවද ගැහැනියකගේ සිතේ සදා රහසේම පවතින නොකී කතාව ම නොවේද යන්න හොඳීන් තේරුම් ගන්න දුලානිගේ පද ටික වටපිටාවක් නිර්මාණය කර දුන්නා. “මම මන්දෝදරී” කතා කරන්නෙ ඇගේ රාවණාට. ඇය සිය පෙම්බරාගේ ප්‍රේමය තමා වෙත පමණක් වනු දැකීම අපේක්ෂා කරන සියලු ගැහැනුන් නියෝජනය කරනවා. ඒ වෙනුවෙන් ඈ කරන ප්‍රේමනීය ආයාචනයයි දුලානි වියමන් කරන්නේ. දුලානි දක්ෂ කිවිඳීයක්. මම මට දැනුණ තැනින් මෙය කියවා ගනිද්දී මම විශ්වාස කළා මා වාගේම තව බොහෝ දෙනෙක් ඔවුන්ට දැනුණ තැන් ඔස්සේ මෙය කියවා ගන්නවා ඇතැයි කියල.

මම කැමැති යි මේ කවියේ මට දැනුණු තැන් කීපයක් ඉස්මතු කරන්න. මේ එහෙම තැනක්.

මම මන්දෝදරී
අහසක් නොවී
ගෙපැළක් වුණොත් කිම කාරණා
නුඹ සඳ නොවී මිණි පහන වී
මට අයිති වෙනවද රාවණා

මම මේ ගීය තෝරා ගන්නෙ මේ වගෙ ප්‍රේමනීය හැඟීම් පෙළගැස්මක් නිසා. ඒවායින් නැඟෙන බරැති හැඟුම නිසා. ඇය මේ ගැඹුරු පණිවිඩය වියමන් කරන්නේම ගැහැනු සිතක ස්වභාවය අපට මැනැවින් මතු කරමින්. ඇය ලියන බස මටසිලිටුයි. හද බැඳෙනසුලුයි. ඒ ආකර්ෂණීය වියමන ඔස්සේ අපව රැගෙන යන්නේ ම ගැඹුරු පණිවිඩයක් කියන්නයි. කිවිඳීයකට ඒ සඳහා මනා පරිචයක් තිබිය යුතුමයි. දුලානි ඒ පරිචය සහිත කිවිඳීයක බව පැහැදිලි යි.

මේ කතාව පුරා ගලා යන ප්‍රස්තුතය වන්නේ ඔබ මට පමණක් හිමි වනු මිස අන් හදවත්වල කිරුළු හිමි රජිඳකු වනු දකිනු නොරිසියෙමි යන ගැහැනුකමයි. මන්දෝදරී ගේ කෝණයෙන් පමණක් මෙය දකිනවාටත් වඩා මම දකින්නෙ මිහිමත පොදු ගැහැනියකගෙ හද පතුළේ ඇති හැඟීම් කියවා ගැනීමක් විදියට. ඒ ගැහැනිය ඇතූළෙ මමත් ඉන්නවා. කුමන තරාතිරමක් කුමන අධ්‍යාපන මට්ටමක් නියෝජනය කළද හැම ගැහැනියක් තුළම ඇත්තේ එක් ගැහැනු හිතක් බවයි දුලානි ලිව්වේ. මා ගැයුවේ එයයි.

තම පෙම්බරාගේ ප්‍රේමයේ තනි අයිතිය නොමැති ගැහැනු සිතකට කිසිදා සැනසුමක් තිබිය හැකි වේද ? ඈ අසන්නේ එයයි.

හැඩ මල් පිපී නෙක සුවඳ දෙන විට
බිඟුන් නොවඩයි භාවනා
මල් කැකුළු විතරක් ගහක රන්දන
ලොවට කරනෙමි චෝදනා

ඇත්තෙන්ම දුලානිගේ කවි හැඟුම ගීතයක් බවට හරවන තෙක් ම ඉන්පසුව මට නිදහසක් ලැබුණෙ නෑකීවොත් නිවැරැදියි.

මෙහි තනුව නිර්මාණය කරන්නේද මවිසින්මයි. සංගීත ගුරුවරුන් වූ මගෙ මව්පියන්ගේ ආභාසය ඔස්සේ මට මේ සඳහා ලස්සන ප්‍රවේශයක් ගන්න පුළුවන් වූ බව හිතනවා. රාගධාරි සංගීතය මුසු තනුවක් ඔස්සේ මෙහි මූලික අදහස ලස්සන ට ඉස්මතු කරන්න පුළුවන් වේවි කියා මා හිතුවා. ඒ තනුවත් එක්ක මේ වචන ගැළපුම ප්‍රියාන් කාරියවසම් සොහොයුරා අතට පත් කළ විට ඔහු නූතන සංගීතය සමඟ ගළපමින් හරිම ලස්සන ට මේ ගීතයේ සංගීතය සම්පූර්ණ කර දුන්නා.

මෙහි අලංකාර විඩියෝව කර දුන්නේ වෛද්‍ය ප්‍රමෝද් රත්නායක සොහොයුරා. ඔහු මගේ පෙර නිර්මාණ කාර්‍යයන් හි සම්බන්ධ වී වැඩ කළ දක්ෂ නිර්මාණකරුවෙක්. රාවණා – මන්දෝදරී පුවතෙන් ඔබ්බට ගොස් නූතන යොවුන් පරපුරේ කතාව ද ලෙස රූප රචනයක් විදියට අපූර්ව ප්‍රතිනිර්මාණයක් කරන්න ප්‍රමෝද් සමත් වී තිබෙනවා කියල මම විශ්වාස කරනවා.

මන්දෝදරීගේ හැඟීම් කියවන්න උත්සාහ කළා

මන්දෝදරි කියන නම මුලින්ම මං දැන ගන්නෙ ඉස්කෝලෙ හය වසරෙ විතර ඉන්න කාලෙ. ඒ වාල්මීකිගෙ රාමායණයේ සිංහල පරිවර්තනයක් කියවද්දි. රාමායණයේ රාවණා ගැන හරිම අවලස්සන ප්‍රතිරූපයක්නෙ අපට හසුවන්නෙ. විකෘති රූපයක් ඇති = (හිස් දහසක්, රතු ඇස් ආදි වශයෙන්) යක්ෂ රජ කෙනෙක් විදිහටයි අපෙ මනසෙ රාවණා මැවෙන්නේ. රාමායණයේ මන්දෝදරි කියන්නේ හරිම විශේෂ චරිතයක්. මට මතක විදිහට මන්ද්‍ර වූ උදරයක් ඇති බැවින් මන්දෝදරි නම් විය වගේ හැඳීන්වීමක් විතරයි එහි තිබුණේ ඉතින් ඒ ලස්සන නම හැර වෙන විශේෂයක් මට මන්දෝදරී වෙතින් හමු වුණේ නැහැ.

2018 අවුරුද්දෙ විතර මට කියවන්න ලැබෙනව භද්‍රජි මහින්ද ජයතිලක මහත්මයාගෙ ශ්‍රී රාවණ්ණා පුවත කියන පොත. මේක ගවේෂණ ඇසුරෙන් ලියපු පොතක්. රාමායණයෙ තිබුණු ෆැන්ටසියට එපිටින් රාම රාවණා කතාව විශ්වාස කරන්න පුළුවන් යථාර්ථයක් විදිහට මං දැක්කෙ මේ පොතෙන්.

කොහොම හරි මට මේ මන්දෝදරී කියන චරිතය තදින් හිතට දැනෙන්න ගත්තේ එයින් කියා මට හිතෙනවා. මන්දෝදරීගෙ හිතේ මොන තරම් සිතුවිලි ගොඩක් කැළඹි කැළඹි තිබෙන්න ඇතිද යන්න මට දැනුණෙ ඉන් පස්සෙ. මොකද රාවණා සීතාව පැහැර ගත්ත හේතුව වෙනස් ලෙසකින්නෙ කියන්නෙ. රාමායණය කියන විදිහට රාවණා සීතාගෙ රූපයට වශී වී ඈ පැහැර ගන්නවා. රාවණ්නා පුවතෙ තියෙන විදිහට රාම, ලක්ෂ්මණ දෙන්නා රාවණාගෙ සහෝදරියට කරපු අකටයුත්තකට පළිගැනීමක් විදිහට සිදුවන පැහැර ගැනීමක්.

නමුත් අවසානයේදී බොහෝ බලසම්පම්පන්න රජකුගේ ඇස් පනාපිට රූපසුන්දරියක වූ සීතා හිරකාරියක් ලෙස අසරණ ව ඉන්න අයුරුයි අප දකින්නෙ.

එබඳු වෙලාවක පිරිමි හිතක් කොච්චර කැළැඹිමට පත් විය හැකිද යන්න අමුතුවෙන් කිව යුතු නෑ. මොකද ලස්සනට මල් පිපෙද්දි මී මැස්සො ඒ දෙසට ඇදෙන බව රහසක් නොවෙයි.එය ස්වභාවධර්මය තීරණය කළ දෙයක්. එසේමයි ලස්සන ස්ත්‍රී රූපයක් දකින පිරිමි හිතකටත් නිදහසක් නොමැති වන්නේ. එසේ වුවත් ආදරය කරන කෙනකුට තමන් ආදරය කරන පෙම්බරා හෝ පෙම්බරියගේ ඇසේ තව රූපයක් ඇඳුණොත් හිත චංචල වීම නවතාලිය නොහැකියි. එයින් කියවෙන්නෙත් නැහැ අවිශ්වාස කිරීමක් කියන එක. නැතිනම් ඒ ආදරය ව්‍යාජයි කියන එක. නමුත් කැලඹීම වැළැක්විය නොහැකියි. එයයි මානව ස්වභාවය.

ඉතින් මම හිතින් මවා ගන්නවා මන්දෝදරී කියන ගැහැනිය. මට දැනුණ හැඟීම ඇයටත් දැනෙන්න ඇති කියල. ඇයට සමහර විට හිතෙන්නත් ඇති රාවණා කියන තමන්ගෙ ස්වාමිපුරුෂයා බලසම්පන්න රජ කෙනෙක් නොවී සාමාන්‍ය මනුස්සයෙක් වුණා නම් මටම විතරක් අයිති කර ගන්න හැකි නොවේද යන්නත්.

හරියට මිනිස්සු හඳ අහසට අයිතියි කීවද හඳ එළිය අහසට තනි අයිතියට ගන්න බෑ වගේ.

ඉතින් මේ විදිහට හිතන මට,

“මම මන්දෝදරී ” කියන වචන දෙක තමයි මුලින්ම මනසට එන්නෙ. ඒ වචන දෙක කවියක් විදිහට මීට වසරකට පමණ කලින් මුහුණු පොතට යොමු වුණේ. ඒ පළ කිරීම තමයි මේ තරම් හැඩ වැඩ නිර්මාණයක් විදියට හැමෝටම රසවිඳීන්න ලැබී තිබෙන්නෙ.

අර්ථවත් අදහසක් වචනවලින් සියුම්ව වියමන් කළ අවස්ථාවක්

මට මේ ගීතය ගැන මුලින්ම දැනගන්න ලැබෙන්නේ අපේ සංගීත කණ්ඩායමේ දිල්ශාන් දසරත් සොහොයුරාගෙන්. චාපව මට හඳුනගන්න ලැබෙන්නෙ ඒ ඔස්සේයි. චාපා මට මේ ගීතය ගැන කිව්වම මම කිව්ව මට තනුව එවන්න කියල.

ඒ තනුව හා ගායනය ඇසු පසු මම තේරුම් ගත්තා චාපා කියන්නෙ හොඳ ගායන පරාසයක් තිබෙන කෙනෙක් බව. එහි ඇය යොදාගෙන තිබුණෙ රාගධාරි සංගීතය ඇසුරෙන් නිර්මාණය කළ ලස්සන තනුවක්. ඒවගේම හරිම අර්ථවත් අදහසක් වචනවලින් ඉතා සියුම්ව වියමන් කර තිබුණු අවස්ථාවක්. ඒ වගෙ පසුබිමක මට ලැබුණ අභියෝගය වුණේ ඒ රාගයේ තිබෙන හැඟීමත්, ඒ වචනවල අර්ථයත් අහිමි නොකරන විදියේ සංගීතාංගවලින් එය පොහොසත් කරන එක. විශේෂයෙන් චාපාට අවශ්‍ය වුණා මේ ගීතයට අලුත් ශබ්ද ඒ වගේම නූතන යෞවන යෞවනියන් අතරට යන්න පුළුවන් විදිහේ සංගීතයෙන් පොහොසත් ගීතයක් හදන්න.

එක් අතකින් මෙය රාගධාරි සංගතීය ඇසුරු කරගනිමින් ගොඩනැඟුණු ගීතයක්. අපි මේක ඉදිරිපත් කරන්නේ පොදු ජන සමාජයේ මිනිස්සුන්ට රස විඳීන්න. ඒ වගේම යොවුන් පරපුරේ ආදරය දිනා ගන්නත්. ඒ අභියෝග ටික එක්ක මට යම් කාලයක් ගත වුණා මේ නිර්මාණ කටයුත්ත සම්පූර්ණ කරන්න. එහිදී ඒ වෙනුවෙන් කළ සංගීත නිර්මාණ කර්‍යය පිළිබඳ සෑහීමට පත් වීමෙන් පසුව මා එය ඔවුන් අතට පත් කළා.

මේ කටයුත්තේදී තරිඳු මධුශාන්ත, දිල්ශාන් දසරත්, සොහොයුරන් ඇතුව පිරිස මට විශාල සහයක් ලබා දුන්නා. මම නිතරම විශ්වාස කරන දෙයක් තමයි අපි තනිව දෙයක් කරනවාට වඩා සාමුහික ක්‍රියාවලියක ලස්සන ගොඩක් වැඩියි කියන එක. මෙයත් ඒ වගේ.

එනිසා මට ගොඩක් සතුටුයි මෙවැනි සුවිශේෂ ගායනයකට තනුවකට, පද රචනාවකට එහි ගුණය නංවන ආකාරයෙන් ලස්සන අර්ථාන්විත ගීයක් නිර්මාණය කරන්න එහි සංගීත නිර්මාණ කාර්‍යයේලා දායක වන්න ලැබීම ගැන.

අතීත කතාවක් වර්තමානයට ගැළපෙන සේ කළ ප්‍රතිනිර්මාණයක්

සමාජයේ පොදු මතය වන්නේ වෛද්‍යවරු වාගේම වෛද්‍ය සිසු සිසුවියන් යනු විෂයටම අදාළ පොත පතත් සමඟම ගැටෙන, ඒවාටම නතු, කලාව ගැන අවබෝධයක් නොමැති යාන්ත්‍රික කොටසක් ලෙසය.ඊට ප්‍රධානම හේතුවක් වනුයේ ඔවුන්ට පාසල් සමයේදී එසේම විශ්වවිද්‍යාල සමයේ ඇති අධ්‍යයන කටයුතුවල අඩංගු විෂය කරුණු ප්‍රමාණය හා වෛද්‍යවරුන් බවට පත් වූ පසු ඇති කාර්යබහුල බවය.

ඒ අදහසට අභියෝග කරන, ඒ මතය වැරැදි බව කියවෙන අවස්ථා අපට නොයෙක් විට මුණගැසේ. ඒ විශ්වවිද්‍යාලයේදී මෙන්ම ඉන් පිටතදිත් වශයෙනි. ඒවැනි අවස්ථාවකට හොඳම උදාහරණයක් ලෙස ‘මම මන්දෝදරී’ ගීත නිර්මාණය හඳුන්වාදිය හැකි වේ.

එහි අලංකාර වචන හරඹය නැත්නම් පද ගැළපුම දුලානි ජයසිංහ නම් වෛද්‍යවරියගේය. ඇය ඉතා දක්ෂ කිවිඳීයකි. ඇයගේ නිර්මාණ මුහුණ පොතේ නිතර දක්නට ලැබේ. ඉමිහිරි ගායන දායකත්වය තවත් වෛද්‍යවරියක වන චාපා ජයරුක්ගේය. මේ ඇයගේ තවත් සාර්ථක ගීත නිර්මාණයකි. අතීත කතාවක ප්‍රතිනිර්මාණයක් වර්තමාන සමාජ භාවිතයට ගැළපෙන සේ කළ එහි වීඩියෝ පට නිර්මාණය තවත් වෛද්‍යවරයකුගෙනි.

ඔහු නමින් ප්‍රමෝද් රත්නායකය. මෙයට පෙරද ඔහු ගේ ඉතා සාර්ථක ගීත වීඩියෝ කීපයක්ම කතාබහට ලක් වීමද විශේෂ ය. මෙය ඉතා සිත්ගන්නාසුලු සේ ඉදිරිපත් කර ඇති ගීත නිර්මාණයකි. තවද භාෂාව නොතේරෙන බැවින් ගීතය පිළිබඳ නෙතේරෙන කෙනකුට වුවද රසවිඳීයහැකි කෙටි චිත්‍රපටියක් වැනි ගීත වීඩියෝවකි.

ඒ නිසාම මෙය ඉතා විශිෂ්ට නිර්මාණයක් බවට කිසිදු පැකිළීමකින් තොරව හඳුන්වා දිය හැකිය.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT