වෙල් යායකට සමීප වූ මාර්ගයේ උදේ පාන්දර ඹපයින් ඇවිද යන සොඳුරු රුවක් අපට මුණ ගැසේ. වසර හැත්තෑ පහක් වුවද ඔහු ශාරිරික ව්‍යායාම් වල යෙදෙමින් නිතර කාලය ගත කළේය. හිස කෙළින් තබා ගෙන නිහඬව ගමන් කරන මේ පුරුෂයා යුග යුග අප දෙසවන් රසාලිප්ත කරවූ අපුරු මිනිසෙකි
ගැඹුරු ළගන්නා හඬකින් හා ප්‍රතාපවත් දේහධාරී පෞරුෂයකින් යුතු ගායකයින් අතළොස්සෙහි සිටි මේ ප්‍රලබතම ස්වර උරුමය අපෙන් ගිලිහී ගියේ පසු ගිය ජනවාරි 22 බදාදාය. සෑම වෙසක් උත්සවයකදීම බෙග් මාස්ටර් අපට මතකයට නැඟෙන්නේ යම් සේද, නත්තලට සිහි වන්නේ ඔහුගේ හඬයි. එය ඒ් තරමටම ආවේණික ය. බෙත්ලෙහෙම් පුරේ…දිළිදු ගව ලෙනේ…නම්වූ එම ගීතයේ කිසිදා නොමැකෙන හඬ අනිල් භාරතීගේය. ඔහු ජීවන ගමනින් සමු ගත්තද ලංකාවේ නත්තල් උත්සව තිබෙනතාක් ඒ හඬ අමරණීය වේ. ලෝකය පුරාම කිතුනු බැතිමතුන්ට එවැනි ගායන ශිල්පීන් යළි මුණ නොගැසේවි. ලාංකිකත්වයත් ගැඹුරු බටහිර ආරත් එකට මුසුවූ එවැනි අද්විතීය හඬවල් පෙර පින් මහිමයෙන් උරුම වූවක් විය යුතුය.
වසර 50කට අධික කාලයක් මුළුල්ලේ ලංකීය සංගීත කෙත් යාය ඔහුගේ ස්වරයෙන් අස්වැද්දීය.1970 දශකය ආරම්භයේ දී මුලින්ම පාණදුරේ රේන්ජර්ස් සංගීත කණ්ඩායමෙන් ගායන ලෝකයට පිවිසි ඔහු සංගීත ලොව ජය ගත්තේ කණ්ඩායම් සංගීතයෙනි. ඔහුගේ ජනප්‍රියත්වයේ ජය බිම වූයේ ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායමට එක්වීමය. ඒ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ මඟ පෙන්වීමෙනි. ගැඹුරු කිසිදා අනුකරණය කළ නොහැකි කටහඬ නිසාම ඔහුට ඉංග්‍රීසි ගීත හොඳීන්ම ගායනා කළ හැකි විණි. ඒ හඬම වඩා අපූර්වත්වයකින් සිංහල ගීත ගායනා කළේ මනෝ මධුර ස්ථාවර සෘජු ප්‍රකාශනයනි.
ඔහු හැදී වැඩුණේ ජීවත් වුණේ පාණදුර ප්‍රදේශයේය. පාසල් ගියේ පාණදුර ශ්‍රී සුමංගල හා මොරටුවේ වේල්ස් කුමර යන විදුහල්වලටයි. කිතුනු බැතිමතෙක් වුණත් අනිල් භාරතී ජීවත් වුණේ පාණදුරේ වැඩි බෞද්ධ ජනතාවක් වෙසෙන ප්‍රදේශයක හැමදෙනා සමඟම ඉතා සහෝදරත්වයෙනි. ඔහුගේ නිවස සමීපයේම පන්සල් දෙකතුනක්ම තිබුණි. කා සමඟත් හොඳ හිත පතුරවමින් නිස්කලංක ජීවිතයක් ගෙවීම ඔහුගේ ජීවිතයේ අරුමය කියාපායි.
සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ අනිල් අය්යා වූයේ ඔහුයි. කිසිදු ජාති ආගම් කුල මල බේදයක් ඔහුට නොතිබුණි. ඔහු වචනයේ පරිසමාප්තයෙන්ම ගායකයකු විය. පාණදුරේ ගායකයා යන අන්වර්ථයට අනිල් භාරතී ඉතා ප්‍රිය කළේය. පානදුර අවට කොතැන සංගීත ප්‍රසංගයක් තිබුණද ඔහු අනිවාර්යයෙන් එහි පෙනී සිටියේය.
කිසිදා කිසිදු දේශපාලන පිලකට ඔහු නොගෑවුණි. සෑම විටම නිහඬව එහෙත් අන් අය සමඟ සතුටෙන් සිනාසී කල් ගත කළ සෘජු ගායකයෙක් වීමද කැපී පෙනුණි.
ඔහු මෙරට කෘතහස්ත ජ්‍යේෂ්ඨ ගායන ශිල්පී පරපුරේ දැනට සුජීවත්ව සිටි ඉතාම සුළු පිරිසෙන් එක් අයෙකු විය. සංගීත කණ්ඩායම් අනිල්ට පසුබිම් සංගීතය සපයන්නේ ඉතා ආසාවෙනි. ඒ ඔවුන්ගේ භාෂාවෙන් කිවහොත් පර්ෆෙක්ට් සිඟින් වොයිස් එකක් නිසාය. එම පැරණි කණ්ඩායමේ බොහෝ ගායන ශිල්පීන් ප්‍රසංග වල ගීත ගායනා කළේ මුදල් පරමාර්ථයෙන්ම නොවේ. අනිල් භාරතී ද අයත් වනුයේ එම කාණ්ඩයටය. අධි සුඛෝපභෝගී ජිවිත ඔවුන් කෙලෙසවත් බලාපොරොත්තු වූයේ නැත. ඔහු මා කුඩා කල සිටම හැබහින් දැක තිබූ ගායකයෙකි. ඔහුට තිබුණේ කුඩා ඩෙලිකා වර්ගයේ වෑන් රථයකි. එසේම ස්කූටරය ද ඔහු ප්‍රිය කළේය. නිතර කොට කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසී ඔහු එහා මෙහා ගියේය. සරල චාම් බව ඒ ජීවිතය පුරාම බැඳී තිබුණි.
නවක ගායන ශිල්පීන්හට ඔහු සැලකූවේ ආදරණීය පියෙකු ලෙසින් බව බොහෝ දෙනා පිළිගනිති. ඔහු සැමවිටම ඔවුන් දිරිමත් කරමින් කථා කළේය. බොහෝ සංගීත කණ්ඩායම්වල ශීල්පීන්ටද බොහෝ සහෝදරත්වයෙන් සැලකූ බව සංගීත ලෝකයේ අත්දැකීම් ඇති අය හොඳීන්ම දනී.
සෘජු සරල ගායන විලාශය ඔහුගේ බොහෝ ගීත ජනප්‍රියවීමේ රහස වීය. ඔහුට ආවේණික ගීත ශෛලිය සැබවින්ම ළගන්නා සුන්දරත්වයකින් යුතුය. ඔහුට ආදේශක නැත. ඔහුව අනුකරණයද කළ නොහැක. ඔහු අනිල් භාරතී වන්නේ එහෙයිනි. එකසිය පණහක් පමණ ගීත ගයා ඇති ඔහුගේ ජනප්‍රිය ගීත රාශියකි. අද වෙයි හිරු දින…ටිකිරිමලී…සීතල සඳ එළියේ….රෝසී මගෙ රෝසී…මා ආදරෙයි නංගියෙ…සඳයි තරුයි රැයයි හිරුයි… ඉරු දින පමණත් නොව…දෑස විදාලා ඔහු එන පාර බලාලා…හිරු ඉපදෙන විට නෙලුම් පිපෙන ලෙස…බඹරෙකු ඇදුණා….පුංචි ගිරවෝ… වැනි ගීත ඒ හඬ කෙතරම් රැව් පිළිරැව් දුන්නේද යන වග සිහි ගන්වයි.
ඔහුගේ අඩ සිය වසකට වැඩි සංගීත චාරිකාවේ සොදුරු කඩ ඉමක් 2022 වසරේදී සිදු විය. ඒ අනිල් භාරතීගේ 72 ජන්ම දිනය සමරමින් ඔහුගේ නිවස පිහිටි මාර්ගය අනිල් භාරතී පෙදෙස නමින් පාණදුර ජනතාව විසින් නම් කිරීමයි. එදා ඔහු කවරදාටත් වඩා සතුටු වූයේ කෙතරම් සම්මාන ලැබුණද ජනතා සම්මානය ඉතා ශ්‍රේෂ්ඨ බැවිනි. අනෙක් කරුණ කෙනෙකු ජීවත්ව සිටියදී තමන්ගේ නමින් මාර්ගයක් නම් කිරීම දුලබ සිද්ධියක් නිසාය. ඔහු ගැයූ සාමයේ ගීතිකා හෙටටත් සොඳුරු මතක වන්නේ ඔහු කලාතුරකින් බිහිවූ අයෙකු නිසාය.
නිශාන්ත චාමින්ද පීරිස්