ඇත්ත වශයෙන්ම කලාකරුවෙක් අගය කළ යුත්තේ ඔහු හෝ ඇය ජිවත්ව සිටියදි බවයි මා නිරතුරුවම සිතන්නේ කියන්නේ සහ ලියන්නේ, බොහෝ අවස්ථාවලදී මගේ ඇගැයුමට පාත්‍ර වූ කලාකරුවන් එලෙස ඇගැයුමට ලක්වූයේ ඔවුන් ජීවත්ව සිටියදීයි. එය මා ලැබූ භාග්‍යයක්. මන්ද සොහොන් කොතේ තබන මල්වඩමට වඩා වැදගත් වන්නේ ඔවුන්ගේ ගෙල වට පලඳන මල්දම බව කුමාරතුංග මුනිදාස මහතා වරක් සඳහන් කළා.
නමුත් අභ්‍යාගයකට ලංකාවේ එබඳු ඇගැයීම් දැකීම ඉතාමත් දුර්ලභයි. ෆ්‍රෙඩී සිල්වා කලාකරුවාණන් සමඟ කෙතරම් නම් නළු නිළියන්, අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්, කාර්මික ශිල්පීන් චිත්‍රපටවලදී කටයුතු කරන්නට ඇත්ද? ෆ්‍රෙඩී ලංකාවේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක රඟපෑ නළුවා. නව පරපුරේ බහුතරයක් ගැන අපට කතා කිරීමට සිදුවී තිබෙන්නේ ඉතා කනගාටුවෙන්. ඔවුන් පෙර පරපුර හොඳින් කියවන්නේ නැහැ. එලෙස පෙර පරපුර නිසි ලෙස හදාරන්නේ නැතිව ඔවුන් කෙබඳු මාවතක් සොයා යාවිද? එයත් ප්‍රහේලිකාවක්.
සමහර කලාකරුවන් ජිවත්ව සිටියදි ඇගැයීමට ලක් වෙන්නේ නැහැ. ඒක ස්වභාවයක්. ඔවුන් ඇගැයුමට ලක්වන්නේ මියගියාට පසුවයි.
එච්.ආර්. ජෝතිපාලයන්, ෆ්‍රෙඩී සිල්වා පමණක් නොවෙයි. පේ‍්‍රමකීර්ති ද අල්විස් පිළිබඳවත් මට එසේ සිතෙනවා. එය ඉතාම අභාග්‍යයක්. මන්ද පසුව අපි කොතරම් කතා කළත්, පිටු ගණන් ලීවත් එය ඔවුන්ට පෙනෙන්නේ දැනෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට ඇගැයීමෙන් ලැබෙන සතුට අත්විඳින්නට බැහැ.
මා පෞද්ගලිකව සතුටට පත්වෙනවා. ෆ්‍රෙඩී කලාකරුවා ජීවත්ව සිටියදි ම විසින් රචනා කළ ‘ශ්‍රී ලාංකේය සිනමා වංශය’ (2005) ග්‍රන්ථයට ඔහු පිළිබඳ විවරණයක් ඇතුළත් කොට ඔහුගේ සම්පුර්ණ චිත්‍රපට නාමාවලිය ඊට එක් කිරීමට හැකියාව ලැබීම ගැන ඒ කාලවකවානුවේ මා ඔහුව සමීපව ඇසුරු කළා. ලංකාවේ මෙතෙක් වැඩිම චිත්‍රපට ගණනාවක රඟපෑ නළුවා ලෙස එහිදී ඔහුව හඳුන්වා ඉතිහාසගත කිරීමට මට හැකි වුණා. පළමුවෙන්ම රඟපෑ ‘තරුණවිය’ විත්ත කථා චිත්‍රපටයේ සිට අවසන් වරට රඟපෑ ‘පිස්සු ඩබල්’ චිත්‍රපටය දක්වා චිත්‍රපට 210ක ඔහු රඟපෑවා. තවමත් ඒ චිත්‍රපට ගණන මෙරට කිසිදු නළුවකු හෝ නිළියක අතික්‍රමණය කොට නැහැ.
අනෙක මගේ පියා (ඒ.ඩි. රන්ජිත් කුමාර) සරසවිය පුවත්පතේ කර්තෘ ධුරය දැරූ සමයේදී තමයි කලාකරුවකුට ජිවිතයේ එක් වරක් පමණක් හිමිවන රණතිසර උපහාර සම්මානය ෆ්‍රෙඩීගේ දෝතට පිරිනැමීමට හැකියාව ලැබුණේ. ඒ කරුණු දෙක සිහිපත් වෙද්දී මේ මොහොතේ පෞද්ගලිකව අපට සතුටක් දැනෙනවා.
ෆ්‍රෙඩී සිල්වා කලාකරුවාණන් මට හඳුනාගැනීමට ලැබුණේ සෙසු කලාකරුවන් හඳුනාගත් ආකාරයටමයි. මා එය නිරන්තයෙන් පවසන දෙයක්. මගේ පරම්පරාවෙන් මා ඉතා භාග්‍යවන්තයි. මන්ද මගේ පියා හා මව සිනමාවෙහිම ක්ෂේත්‍ර දෙකක ක්‍රියාකාරීව සිටි නිසා ඔවුන් අසුරු කළ සියලුම ප්‍රවීණ, කලාකරුවන්, සාහිත්‍යවේදීන් පාහේම කුඩා කාලයේදීම ඇසුරු කළා. ඒ හැම කලාකරුවෙක් පිළිබඳවම සුන්දර මතකයක් මා සතුව තිබෙනවා.
ඒ වනවිට මට වයස අවුරුදු 4ක් විතර ඇති. 1980 වසරේදි වරක් ෆ්‍රෙඩි සිල්වා කලාකරුවා අප නිවසට පැමිණියා. කුඩා කාලයේ සිටම මා සිනමාවට උමතු වී සිටි නිසා ඔහු දුටු ගමන්ම මට හිනා ගියා. එදා ෆ්‍රෙඩී හදිසියේම පැමිණියේ චිත්‍රපට දර්ශනයක් සඳහා ඩොලැක්කියක් උවමනා වෙලා. මා සංගීතයට පි‍්‍රය කළ නිසා තාත්තා අරන් දීපු ඩොලැක්කියක් මා සතුව තිබුණා. ඉතිං ඔහු ‘අනේ මේ ඩොලැක්කිය මට දෙන්න. චිත්‍රපටයේ රූගත කිරීම් නිම වූ වහාම මෙය ආපසු ගෙනත් දෙන්නම්’ යැයි අපට පැවසුවා. නමුත් ඒ ඩොලැක්කිය නම් මට කවදාවත්ම ආපසු ලැබුණේ නැහැ. එය රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ ‘සුමිතුරෝ’ චිත්‍රපටය සඳහා බැව් මට පසුව දැනගන්න ලැබුණා. එහි තිබුණු එච්.ආර්. ජෝතිපාලයන් ගයමින් රඟන ‘රු රුං ගී රඟන්නේ බඹරේ වැල්ලේ’ නමැති ප්‍රකට ගීයට ෆ්‍රෙඩී මේ ඩොලැක්කිය වාදනය කරනවා. ඒ ගීතමය දර්ශනය දුටුවාම මට ඩොලැක්කිය ලැබුණේ නැතත් කමක් නැහැ කියලා හිතුණා.
ෆ්‍රෙඩී සිල්වා උපත ලැබුවේ 1938 පෙබරවාරි 06 වැනිදා මොරටුවේදියි. ගුත්තිල මූසිල, සිවම්මා ධනපාල, තොත්ත බබා, මධුමතී (මෙරට ප්‍රථම විරුදු නාටකය) මන්ත්‍රී යන නාට්‍යවල ඔහු රංගනයෙන් දායක වූයේය. බටහිර රොක් ඇන්ඩ් රෝල් ගායන ශෛලියෙහි ඇසුර ලැබු පුරෝගාමී ලාංකේය ගායන ශිල්පීන් දෙදෙනාගෙන් ඔහු එක් අයෙක්. සී.ටී. ප්‍රනාන්දුත් එහි පුරෝගාමියෙක්. අපරදිග විවිධ ගායන ශෛලීන් පිළිබඳව ෆ්‍රෙඩී අවධානයෙන් සිටි බව ඉන් පැහැදිලි වෙනවා. ඔහු පෙරදිග හෝ අපරදිග සංගීතය විධිමත්ව ගුරුවරයකුගෙන් හදාරා නැහැ. නමුත් පෙර අපර දෙදිග සංගීත ප්‍රවණතා පිළිබඳ යම්බඳු අවබෝධයක් ෆ්‍රෙඩී සතු වූ බවට අපට මෙමඟින් පෙනෙනවා. එය ස්වාධීන හැදෑරීමක්. අධජඬ චදඤ අධතත සංගීත ප්‍රවණතාව 40,50 දශකවල අපරදිග ස්ථාපිත වෙලා එල්විස් ප්‍රෙස්ලි නම් සුපිරි නළුවා හා ගායන ශිල්පීයාගේ රංගනය හා ගායනය ඔස්සේ වඩාත් ප්‍රචලිත වුණා.
ඒ ප්‍රවණතාවෙහි ඇසුර ලබා ඇලන්සන් මෙන්ඩිස් මහතා ‘බාර් බාර් බාර්’ ගීතය මුලින් ගායනා කළත් ඔහුට වඩා හොඳින් රොක් ඇන්ඩ් රෝල් සංගීත ශෛලිය මනාව කුළුගන්වමින් මේ ගීතය 50 දශකයේ මැද ෆ්‍රෙඩී ගායනා කළා. ඔහු ගැයූ මේ ගීතය පසුකලක රෝයි ද සිල්වා චිත්‍රපට ගීතයක් බවට පත් කරමින් තම ‘චෙරියෝ ඩොක්ටර්’ චිත්‍රපටයට ෆ්‍රෙඩීගේ ගැයුමෙන් රැඟුමෙන් යොදා ගත්තා. මේ නිසා එය චිත්‍රපට ගීතයක් බවට පත්වුණා. ඒ හැරුණු විට යූඩ්ලි (කධඤඥතඪදඨ) ගායන ශෛලිය මෙරට සංගීතයෙහි ස්ථාපිත කිරිමටත් ෆ්‍රෙඩී පුරෝගාමී වුණා. යූඩ්ලි ගායන ශෛලිය 50, 60 දශකවල අපරදිග ජිමී රොඩ්ජරස්, ටෙක්ස් මෝර්ටන් වැනි ගායකයන් ඔස්සේ ලොව පුරා ප්‍රචලිත වෙද්දී ලංකාවේ ඒ ශෛලියෙන් මුලින්ම ගීත ගායනා කළේ වින්සන්ට් ද පෝල් පිරීස්. නමුත් ඔහුටත් වඩා යූඩ්ලි යන ශෛලිය මෙරට ජනතාව අතර ප්‍රචලිත කළේ ෆ්‍රෙඩී සිල්වායි. ඉන්දියාවේ මීට සමාගාමීව කිෂෝර් කුමාර් නම් වූ විශිෂ්ට ගායන ශිල්පියා හින්දි චිත්‍රපට ගීතය හරහා මෙකී යූඩ්ලි ගායන ශෛලිය ඉන්දියානු සංගීත ක්ෂේත්‍රයෙහි ස්ථාපිත කළා.
සමකාලීන යුගයේ බොහෝ කලාකරුවන් හා සංගීත ප්‍රවණතා ෆ්‍රෙඩී හැදෑරු බවයි මෙයින් අපට පැහැදිලි වෙන්නේ. විවිධ නළුවන්ගේ ආභාසයත් ඔහුට ලැබුණා. 60 දශකය වන විට බටහිර සිනමාවේ එල්විස් ප්‍රෙස්ලි වැනි නළුවන් හරහා දඟකාර, උමතුª, ප්‍රාසංගික රංගන ශෛලියක් (ර්චඤදඥඵඵ) ස්ථාපිත වූ බව පැහැදිලියි. එහි ආභාසය කිෂෝර් කුමාර්, ශම්මි කපූර් වැනි නළුවන් ඉන්දියානු සිනමාවට රැගෙන ආවා.
ෆ්‍රෙඩී සිල්වා මේ කිසිදු නළුවකුගේ අනුකාරකයකු නොවේ. ඔහු ස්වාධීන, ස්වතන්ත්‍ර රංගන හා ගායන ශෛලියක් තිබූ කලාකරුවෙක්. නමුත් ලොව සියලු කලාකරුවන්ට විවිධ ආභාසයන් ලැබෙනවා. ඒ ඔස්සේමයි තමන්ගේ අනන්‍යතාවක් ගොඩනඟා ගන්නේ.
ෆ්‍රෙඩී ළාබාල වියේදී පි‍්‍රය සම්භාෂණයක ගීත ගයනවා දුටු එවක අග්‍රාමත්‍ය ශ්‍රිමත් ජෝන් කොතලාවල මහතා ගුවන් විදුලියට ඔහුව යොමු කළා. ෆ්‍රෙඩීගේ උප්පැන්න සහතිකයේ සඳහන් නාමය වූයේ හල්පේ ලියනගේ අතුකෝරල මොරිස් ජෝසප් රණබාහුයි. ඔවුන්ගේ පවුලේ සමීප හිතවතියක වූ ජෙනිෆර් බෝමන් නමැති ඉංගි‍්‍රසි ජාතික කාන්තාව ‘ජ්පඥඤඤතඥ ඕධර’ නමින් ඔහුව ඇමැතීම නිසා ෆ්‍රෙඩී සිල්වා’ බවට නම් වෙනස් වුණා. මොරටුවේ මෙතෝදිස්ත, ශා. සෙබස්තියන් වැනි විද්‍යාවලින් ඔහු ඉගෙනුම ලැබුවා. ගුවන් විදුලියේදී එදා ෆ්‍රෙඩී ගැයු පළමුවැන්න පෙර කී ‘බාර් බාර් බාර්’ ගීතයයි.
මේ කාලයේ මොරටුවේ සිටි ඔහුගේ යාළුවෙක් තමයි ඇලන්සන් මෙන්ඩිස්, ඩී.බී. නිහාල් සිංහයන් ඔහුගේ මිත්‍රයෙක්. 50 දශකයේ මැද භාගයේ නිහාල්සිංහයනුත් පදිංචි වි සිටියේ මොරටුවේ. ඒ වන විට ඔහුත් චිත්‍රපටකරණය හදාරමින් සිටියේ. නිහාල්සිංහයන් ‘තරුණ විය’ නමින් මි.මී. 16 ප්‍රමාණයේ විත්ති කථා චිත්‍රපටයක් (1957) නිර්මාණය කළා. ඒ චිත්‍රපටයේ තිර පිටපත රචනා කළේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්. නිහාල්සිංහ සහ සුනන්ද කොළඹ ආනන්ද විද්‍යාලයේ එකට ඉගෙන ගත් යාළුවෝ. ඔවුනුයි, මොරටුවේ යාළුවොයි එකතු වෙලා ‘තරුණවිය’ චිත්‍රපටය නිර්මාණය කළා.
ෆ්‍රෙඩී මුල්වරට සිනමා කැමරාවක් ඉදිරියට ගිහින් රඟපෑ ප්‍රථම අවස්ථාව මෙයයි. ‘තරුණවිය’ චිත්‍රපටයේ ඔහු රඟපෑවේ විශාඛා විජේරත්න නමැති නිළිය සමඟ ප්‍රධාන චරිතයක්. ඇලන්සන් මෙන්ඩිස් ද මෙහි ප්‍රමුඛ චරිතයක් රඟපෑවා. තමන්ගේ දෙමවුපියන්ගෙන් එල්ල වන විරෝධතා මැද්දේ ස්වකීය ප්‍රේමය ජය ගැනීමට වෙර දරන පෙම්වතුන් යුවළක් වටා තමයි මෙහි කතා තේමාව ගොඩනැඟී තිබුණේ. නමුත් මෙය චිත්ති කථා චිත්‍රපටයක් නිසා පේ‍්‍රක්ෂකයන්ගේ අවධානයට එතරම් ලක්වූයේ නැහැ. ‘තරුණවිය’ හි ෆ්‍රෙඩී රඟපෑවේ හාස්‍යෝපාදක චරිතයක් නොවෙයි. පෙම්වතකු ලෙස බෑරූරුම් චරිතයක්. ෆ්‍රෙඩීගේ සිනමා ජිවිතය තුළ එය විශේෂත්වයක්.
ඉන්පසුව කේ.ඒ. ඩබ්ලිව්. පෙරේරා ඔහුට අවස්ථාවක් ලබා දෙනවා ‘සුහද සොහොයුරෝ’ (1963) චිත්‍රපටයේ ගීතයක් ගයමින් රඟපෑමට. මෙහි අධ්‍යක්ෂවරයා එල්.එස්. රාමචන්ද්‍රන්. සම අධ්‍යක්ෂණය කළේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරායි. කරුණරත්න අබේසේකරයන් රචනා කළ එම්.කේ. රොක්සාමි සංගීතවත් කළ ‘දිය රැල්ල වෙරළෙ හැපි හැපි‘ නමැති සුප්‍රකට ගීතය පුෂ්පරාණි ආරියරත්න සමඟ ෆ්‍රෙඩී මේ චිත්‍රපටයට ගැයුවා පමණක් නොවෙයි ඒ ගීතමය දර්ශනයේ ඔහු රඟපෑවා. නමුත් මෙහිදී ෆ්‍රෙඩීගේ පසුබිම් ගී හඬ යොදා ගැනෙන්නේ එල්.එම්. පෙරේරා උදෙසායි. මේ අනුව ෆ්‍රෙඩී ‘සුහද සොහොයුරෝ’ චිත්‍රපටය ඔස්සේ වෘත්තාන්ත සිනමාවට පිවිසෙනවා. නමුත් මේ ගීතය ජනපි‍්‍රය වුණාට ඔහු නළුවකු හැටියට ඉස්මතු වෙන්නේ නැහැ. එසේ වුවත් මේ ගීතමය දර්ශනය නරඹන සිනමා බුද්ධිමතකුට ෆ්‍රෙඩීට අනාගතයක් තිබෙන බව වැටහෙනවා. මන්ද ඒ ගීතමය දර්ශනයේදී පවා ඒ සමුහයේ සිටින අන්‍යයන් අබිබවා එල්.එම්. හා සමානව ඉස්මතුවීමේ ස්වභාවයක් ඔහුගෙන් දිස්වෙනවා.
ෆ්‍රෙඩී හාස්‍යෝපාදක රංග ශිල්පියකු ලෙස සිනමාවේ ස්ථාපිත වන විට විකට නළුවන් ගණනාවක් එහි දක්නට ලැබුණා. කථානාද සිනමාවේ එඩී ජයමාන්නගෙන් තමයි ඒ පරපුර ආරම්භ වෙන්නේ. ඔහුට ගීත ගායනයටත් හැකියාව තිබුණා. ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයෙන්ම සිනමාවට පිවිසි බර්ට්‍රම් ප්‍රනාන්දුත් මුල් යුගයේ විකට චරිත රඟපෑ නළුවෙක්. ‘අශෝකමාලා’ චිත්‍රපටයෙන් සිනමාවට එක් වී විකට චරිත මැවූ සුනිල් පේ‍්‍රමදාස දිගු ගමනක් ගිය නළුවකු නොවෙයි. ඊ.මාෂල් පෙරේරා, සිරිසේන විමලවීරයන්ගේ චිත්‍රපටවල විකට චරිත රඟපෑවා. 1952 ලංකාවේ පළමු විකට චිත්‍රපටය තිරගත වුණා. ‘බණ්ඩා නගරයට පැමිණීම’ නම් වූ ඒ චිත්‍රපටයෙන් බර්නාඩ් පෙරේරා, ජෝසප් සෙනෙවිරත්න, බර්ටි ගුණතිලක වැනි කවටයන් මතු වුණා. ඉන් බර්නාඩ් පෙරේරා අකාලයේ මියගියා. ජෝසප් සෙනෙවිරත්න චිත්‍රපට ගණනාවක රඟපෑවත් විකට රංගනයෙන් වෙසෙස් ප්‍රතිරූපයක් ඔහුගෙන් ඉස්මතු වුයේ නැහැ. බර්ටිගේ හාස්‍ය නිරූපණයෙන් වඩා ඵල නෙළා ගත්තේ ගුවන් විදුලිය හා රූපවාහිනිය බව ඔබ දන්නවා. 50 දශකයේ මැද භාගය වන විට එඩී යාපා හා රිචඩ් ඇල්බට් නම් වූ විකට නළුවන් දෙදෙනා තමන්ටම ආවේණික වූ රංග ශෛලියක් ඔස්සේ කැපී පෙනෙන්නට පටන් ගත්තා. රිචඩ් ‘සුජාතා’ (1953) චිත්‍රපටයේ රඟපෑ ‘ටාසන්’ නමැති චරිතයෙන් කෙතරම් ජනපි‍්‍රය වූයේ ද යත් ඔහු මියයන තුරුම බොහෝ දෙනා ‘ටාසන්’ නමිනුයි ඔහුව වඩාත් හැඳින්වුයේ. එඩී යාපා විකට රංගනයේදී ඔහුටම ආවේණික වූ සිනහවක් භාවිත කළා. එහෙත් මේ දෙදෙනාම විකට රංගනයෙන් බොහෝ දුරක් ගියේ නැහැ.
හාස්‍යෝත්පාදක චරිත රඟපෑවට ඉන් ඔබ්බට ගිය චරිතාංග රංගන ප්‍රතිභාව තිබූ නළුවන් කිහිපදෙනෙක් 50 දශකයේ දක්නට ලැබුණා. ජෝ අබේවික්‍රම ඉන් එක්කෙනෙක්. ජෝ මහත්තයා හාස්‍යෝත්පාදක චරිතවලින් ආරම්භ කොට පසුව මෙරට චරිතාංග නළු රූපණයේ විශිෂ්ටයා බවට පත්වුණා. නමුත් ඔහු අවසානය දක්වාම අවස්ථා ලැබුණු ආකාරයට හාස්‍යයෝත්පාදක චරිතත් රඟපෑවා. එමෙන්ම හියුගෝ ප්‍රනාන්දු, ඩී ආර්. නානායක්කාර, ඩේවිඩ් ධර්මකීර්ති වැනි නළුවන් ඇතැම් විට හාස්‍යයෙන් ඔබ්බට ගොස් චරිතාංග රංගන කුසලතා විදහාපෑවා.
වරද කාගෙද (1954) චිත්‍රපටයෙන් සිනමාවට එක් වූ ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා 50, 60 දශකවල විකට නළුවකු ලෙස කැපී පෙනෙනවා. එමෙන්ම සුරතලී චිත්‍රපටයෙන් (1956) සිනමාවට එන එල්.එම්. පෙරේරා හා සූරයා (1957) චිත්‍රපටයෙන් දොරට වඩින ඇන්තනි සී. පෙරේරා යනාදීන් විකට නළුවන් ලෙස ලබාදුන් වෙසෙස් දායකත්වය වැදගත්. මේ පසුබිම තුළ එකමත් එක රටක (1958) චිත්‍රපටයේ රඟපෑ ටියුරින් ප්‍රනාන්දු සිහිනය (1959) චිත්‍රපටයේ රැඟු විනී රන්වල යනාදීන් සිහිපත් වෙනවා. නමුත් ඔවුන් විකට නළුවන් ලෙස වැඩිදුරක් ගියේ නැහැ. 60, 70 දශක වල කැපී පෙනෙන අනෙක් ප්‍රමුඛතම විකට නළුවන් දෙදෙනා බී. එස්. පෙරේරා හා දොන් සිරිසේනයි. මේ සියල්ලන් අතරට පැමිණෙන ෆ්‍රෙඩීට විකට නළුවකු ලෙස ස්ථාවර වීමෙහිලා තරඟ කිරීමට සිදුවෙනවා.
මීට සමගාමීව ඔහුගේ සුමිතුරු රෝයි ද සිල්වාගේ ප්‍රවිෂ්ටයත් වැදගත් වෙනවා. රෝයි සුජාගේ රහස (1964) චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසිලා පසුව රඟන සැනසිලි සුවය (1966) වාණිජමය අතින් සාර්ථක වුණා. නමුත් එහි ප්‍රමුඛ චරිතයක් රඟපාන්නේ රෝයි පමණක් නොවේ. ගාමිණි ෆොන්සේකා හා අශෝක පොන්නම්පෙරුමත් එහි ප්‍රධාන චරිත රඟපානවා. මේ නිසා රෝයි ෆ්‍රෙඩී යන යහළුවෝ දෙදෙනාටම අවශ්‍ය වෙනවා; එක රැයෙන් ජනප්‍රිය විය හැකි චිත්‍රපටයක්. දැන් මේ මිතුරන් දෙදෙනා එක වගේ ගමනක් යන්නේ. එය ලෙහෙසි පහසු නැහැ. ජෝ දේව් ආනන්ද්ගේ සුජීවා. (1972) චිත්‍රපටයෙන් ඒ භාග්‍ය දෙදෙනාටම හිමි වුණා. මෙය වාණිජමය අතින් අති සාර්ථක වුණා. රෝයි ද සිල්වා කේවල කතා නායකයකු, තරුවක් බවට පත්වන්නේ මේ චිත්‍රපටයෙන්. ඔහුගේ ප්‍රථම අධි සාර්ථක (ඊඩඥ ටඪපඵබ ථචණධප ඩඪබ) චිත්‍රපටය ලෙස මෙය හැඳින්විය හැකියි. එමෙන්ම එක රැයෙන් ජනපි‍්‍රය වන විකට රංග ශිල්පියකු ලෙස ෆ්‍රෙඩී සිල්වාත් ‘සුජීවා’ චිත්‍රපටයෙන් ස්ථාවර වෙනවා. එහි ඇතුළත් වූ ඔහු රඟමින් ගැයු ‘අලුත් කලාවක් සොයා ගත්ත මං. ගීතයෙන් (පද රචනය – ප්‍රේමකීර්ති ද අල්විස් / සංගීතය – ගලගෙදර එම්.එම්.ඒ. හක්. ටී. එෆ්. ලතීෆ්) චිත්‍රපට විකට ගී ගායන ශිල්පියකු ලෙසත් ෆ්‍රෙඩී තම මුද්‍රාව ස්ථාපිත කළා. ප්‍රේමකීර්ති හා සුසංයෝගීව ඔහු උපහාසාත්මක චිත්‍රපට ගී ප්‍රවණතාවකට මෙමඟින් මුල පිරුවා.
අලුත් කලාවක් සොයා ගත්ත මං
දියුණු වෙන්න ඕනෑ නම්
නිකම් ඉන්නෙපා කොහොම කොහොම හරි
ගහපල්ලා බං පෙත්සම්…//
70 දශකයේ ජනප්‍රිය සිනමාවේ ස්වර්ණමය යුගයට සරිලන විකට නළුවාට, විකට ගායකයාට අභිනව අනන්‍යතාවක් ෆ්‍රෙඩී එක් කළා. එය කිසිවකු හටත් අනුකරණය කිරීමට බැහැ. 70 දශකය ඇරැඹෙන විට චිත්‍රපටවල කථානායකයන් අතර විකට ශිල්පීන් බෙදිලා හිටියා. ගාමිණි ෆොන්සේකා වීරය වනවිට මුලින් ඔහු සමඟ බහුලව විකට චරිත රඟපෑවේ ජෝ අබේවික්‍රම, (නිදර්ශන – ගැටවරයෝ) පසුව ඇන්තනි සී. පෙරේරා ඊට සුසංයෝගී වුණා. (උදා – හොඳට හොඳයි) විජය කුමාරතුංග වීරයා වනවිට ඔහුගේ හාස්‍යෝත්පාදක මිතුරා ලෙස මුලින් දකින්නට ලැබුණෙත් ජෝ අබේවික්‍රමයි. (උදා – තුෂාරා) මේ නිසා අලුත් විකට නළුවකුට ඒ අතරට යන්න ලේසි නැහැ. ‘සුජීවා’ චිත්‍රපටයෙන් රෝයි සමඟ ෆ්‍රෙඩී ස්ථාවර වෙමින් මේ දැවැන්තයන් අතරට එක් වෙනවා. ‘සුජීවා’ චිත්‍රපටයේ රැඟුමට, ගැයුමට අවස්ථාව ෆ්‍රෙඩී ලබා ගන්නෙත් විවිධ කැපිල කෙටිලි, කෙනෙහිලිකම් මැද්දේ, නමුත් ඒ ලැබුණු අවස්ථාවෙන් උපරීම ඵලය ඔහු නෙළා ගත්තා. ‘සුජිවා’ චිත්‍රපටයේදී මතු වූ සියලු බාධා ඔහු ‘සුනේත්‍රා’ (1973) චිත්‍රපටයේදී ජය ගන්නවා. එහි ෆ්‍රෙඩී ගයමින් රැඟු ‘ප්‍රංශයෙන් රැජිනක් ආවා’ ගීතය බලන්න. එල්විස් ප්‍රෙස්ලිගේ ආභාසය ලබමින් මනෝභවයන්, ස්වර විචලනයන් (ඍචපඪචබඪධදඵ) සහිතව ෆ්‍රෙඩී කොතරම් නම් අපූර්ව ලෙස මේ ගීතය ගැයුවාද? ඊටම උචිත ලෙස රැඟුවාද? (ඒ ගීතයෙහි පද රචනය – ප්‍රේමකීර්ති ද අල්විස්, සංගීතය – ගලගෙදර එම්.එම්. ඒ. හක් හා ටී. එෆ්. ලතීෆ්)
ලාංකේය සිනමා ගීත වංශයේ විකට ගී ගායන ශිල්පියකු ලෙස ෆ්‍රෙඩී තැබු මං සලකුණු රාශියක් අපට හමුවෙනවා.
01. ‘මගෙ කොමළවතී’ (චිත්‍රපටය – හොඳට හොඳයි, එච්.ආර්. ජෝතිපාල සමඟ සංගීතය – එම්.කේ. රොක්සාමි (1973)
02. ‘පරණ කෝට්’ (චිත්‍රපටය – ලොකුම හිනාව, ගී පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න, සංගීතය – ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස) (1972)
03. ‘ජැක් ඇන්ඩ් ජිල්’ (චිත්‍රපටය – දුලීකා, ගී පද රචනය – පේ‍්‍රමකීර්ති ද අල්විස්, සංගීතය – ආචාර්ය ප්‍රේමසිරි කේමදාස (1974)
04. ගිගිර ජගිරි හඬවනා’ (චිත්‍රපටය – කස්තුරි සුවඳ ගී පද රචනය – පේ‍්‍රමකීර්ති ද අල්විස්, සංගීතය – සරත් දසනායක) (1974)
05. ‘මාමේ මේ බකමුණා’ (චිත්‍රපටය – සුරේඛා, එච්.ආර්. ජෝතිපාල සමඟ, ගී පද රචනය – පේ‍්‍රමකීර්ති ද අල්විස්, සංගීතය – පී.එල්.ඒ. සෝමපාල (1974)
06. ‘රේඛා ඇඳී ඇතේ’ (චිත්‍රපටය – දිනුම් කණුව, ගී පද රචනය – පේ‍්‍රමකීර්ති ද අල්විස්, සංගීතය – සරත් දසනායක) (1974)
07. ‘පණ පලයන් ලබන සුමානේ’ (චිත්‍රපටය – වාසනා, ගී පද රචනය – ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, සංගීතය ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස) (1976)
08. ‘අපි කාටද බය’ (චිත්‍රපටය – ශ්‍රී මදාරා, ගී පද රචනය – ප්‍රේමකීර්ති ද අල්විස්, සංගීතය – ආචාර්ය වික්ටර් රත්නායක) (1977)
09. ‘ජුබිලි සොපානෝ’ (චිත්‍රපටය – ආදර රත්නෙ, මරියසෙල් ගුණතිලක සමඟ, ගී පද රචනය – ආචාර්ය අජන්තා රණසිංහ, සංගීතය – ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස) (1980)
10. ‘ලෝකේ බෝලෙ වගේ’ (චිත්‍රපටය – එක් දවසක් රෑ, සංගීතය – ෂෙල්ටන් පේ‍්‍රමරත්ත (1981)
11. ‘ගහ කොළ මල්’ (චිත්‍රපටය -අංජනා, එච්.ආර්. ජෝතිපාල සමඟ, සංගීතය – සරත් දසනායක) (1981)
12. ‘රාගේ රාගේ මා ගායනා’ (චිත්‍රපටය – රජවැඩකාරයෝ, සංගීතය – සරත් ද අල්විස්) (1987)
13. ‘පාට සරුංගල්’ – (චිත්‍රපටය – නොම්මර 17, විජය කුමාරතුංග සමඟ, ගී පද රචනය – ආචාර්ය අජන්තා රණසිංහ, සංගීතය – අර්නස්ට් සොයිසා) (1989)
එවකට සංගීතය වෙළාගෙන පැවති අනුකාරක තනු ප්‍රතික්ෂේප කොට ඒ හා කරට කර තරඟ වැදිය හැකි ස්වතන්ත්‍ර සංගීත සම්ප්‍රදායක් සිනමා සංගීතය තුළ ස්ථාපිත කළ ප්‍රමුඛ සංගීතවේදීන් දෙපළ වූ ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසගේ හා සරත් දසනායකගේ සංගීත නිර්මාණවලින් ෆ්‍රෙඩීගේ ගායන දිවියට ලැබුණු ආලෝකය සුළුපටු නැහැ. මේ ආකාරයෙන් ඔහු ක්‍රම ක්‍රමයෙන් විකට නළුවකු හා ගායකයකු ලෙස 70 දශකයේ මැද භාගයේදී ස්ථාවර වෙනවා. එවකට පැවැති ප්‍රවණතාව අනුව අනුකාරක තනු ගායනා කිරීමටත් (උදා – මාමේ මේ බකමුණා – ‘සුරේඛා’, දිනේ ලංකා – කවුද රාජා) ෆ්‍රෙඩීට සිදුවුණා. ඔහුගේ චිත්‍රපට පසුබිම් ගායන දිවියේ අමතක කළ නොහැකි මං සලකුණු දෙකක් තිබෙනවා. ෆ්‍රෙඩීට ‘කොළඹ සන්නිය’ (1976) චිත්‍රපටයෙන් සුනිල් සාන්තයන්ගේ තනුවක් ගායනා (දුම්බර බාගේ) කිරීමේ අවස්ථාව ලැබෙනවා. ලාංකේය කලාත්මක චිත්‍රපට ධාරාවේ විකල්ප ප්‍රවණතාව හඳුන්වා දුන් ආචාර්ය ධර්මසේන පතිරාජයන් ‘එයා දැන් ලොකු ළමයෙක්’ (1977) චිත්‍රපටයේ පසුබිම් ගායනයට ෆ්‍රෙඩි දායක කොට ගන්නවා. එහිදී ඔහු ආචාර්ය වික්ටර් රත්නායකයන් සමඟ ‘මහපොළොවෙන් උඩ’ (සංගීතය – සරත් දසනායක) නමැති ගීතය ගායනා කළා. මේවා මෙරට සිනමා විචාරකයන්ගේ අවධානයට යොමු වුණේ නැහැ.
ෆ්‍රෙඩී සිල්වායි, රෝයි ද සිල්වායි, එකම කාසියක දෙපැත්ත වගේ නළුවෝ දෙන්නෙක්. යාළුවෝ දෙන්නෙක්. රෝයි, ස්ටැන්ලි පෙරේරා සමඟ’ සම අධ්‍යක්ෂණය කළ ‘ටොම් පචයා’ (1977) චිත්‍රපටයේ මේ යාළුවෝ දෙන්නා (රෝයි හා ෆ්‍රෙඩී) ගීත ගැයුවා. රෝයිට හොඳ ගායන හැකියාවක් තිබුණා. නමුත් ඔහු එය දියුණු කොට ගත්තේ නැහැ. ‘අහසට බයේ ද පොළවට බයේද’ නෝනා කාගෙද කාගේ නෝනද’ යන ගීත (සංගීතය – වික්ටර් දලුගම) රෝයි – ෆ්‍රෙඩී සුමිතුරන් මේ චිත්‍රපටයට ගායනා කළා. ජනපි‍්‍රය සිනමාවේ රෝයි – ෆ්‍රෙඩී සුසංයෝගය සුවිශේෂයෙන් සඳහන් කළ යුත්තක්.
ගාමිණි ෆොන්සේකා රඟන ජනප්‍රිය රැල්ලේ ඇතැම් චිත්‍රපටවල ඇන්තනි සී. පෙරේරා වෙනුවට නොඑසේ නම් ඊට සමානව විකටයාගේ තැන ලබා ගන්න මඳ කලකින් ෆ්‍රෙඩී (උදා – කවුද රාජා – 1976. චිං චිං නෝනා – 1977) සමත් වුණා. ඉන්පසු විජය කුමාරතුංග වීරයා බවට පත් වෙද්දී ඊට මනාව ගැළපෙන විකටයා බවට ෆ්‍රෙඩී පත්වෙනවා. (උදා – අංජානා – 1981, යුක්තියද ශක්තියද – 1987, නොම්මර 17 – 1989) ඔහුගේ විකට රංගනය පරම්පරා ගණනාවක් පුරා විහිදී ගියා. ගාමිණිගේ විකට මිතුරා වූ ෆ්‍රෙඩී එලෙසම ඔහුගේ පුත් දමිත් ෆොන්සේකා සමඟද රඟපෑවා. (උදා – චණ්ඩි රැජින – 1992)
ගාමිණි, ජෝ, ටෝනි, විජය වැනි මහා නළුවන් සමඟ ෆ්‍රෙඩී සුසංයෝගී වූ ආකාරය ගැන විමසා බැලු විට ඒ මහා රංග පෞරුෂ සමඟ සමාන්තරව ඉස්මතු වී සිටින්නට ඔහුට තිබූ හැකියාව පැහැදිලි වෙනවා. එවැනි ප්‍රතිභාවක් තිබූ හාස්‍යෝත්පාදක නළුවන් අපට සිටියේ ඉතාමත් අල්පයයි.
ෆ්‍රෙඩී රැඟු සුවිශේෂී චරිත කිහිපයක් මට සිහිපත් වෙනවා. කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා වරක් උත්සාහ කළා. ඔහුව විකට චරිතවලින් මුදවා ගන්න. ඒ ‘ළසඳා’ (1974) චිත්‍රපටයෙන්. එහි ෆ්‍රෙඩී රඟපාන්නේ තම නංගී ඇතුළු පවුලේ විසිර යෑමෙන් පීඩා විඳින සොහොයුරකුගේ චරිතයක්. මෙහිදී කේ.ඒ.ඩබ්ලිව්. ‘ජරමර අස්සේ මං’ ගීතය සඳහා ෆ්‍රෙඩී වෙනුවෙන් එච්.ආර්. ජෝතිපාලයන්ගේ පසුබිම් ගී හඬ අත්හදාබලනවා. ෆ්‍රෙඩී ‘ළසඳා’ හි එබඳු උත්සාහයක් දැරුවත් අධ්‍යක්ෂවරු සියලු දෙනාම පාහේ ඔහුව විකට චරිතවලින් මුදවා ගත්තේ නැහැ. මීට හේතුව ලෙස මා දකින්නේ ෆ්‍රෙඩී උප්පත්තියෙන්ම ලැබු බාහිර රූපකායෙන්ම හාස්‍ය දනවන ස්වභාවයක් දිස්වීමයි. ඒ නිසා රංගන හැකියාවෙන් එය වෙනස් කළ නොහැකි වෙන්නට ඇති. අනෙක් අතට පේ‍්‍රක්ෂකයනුත් හාස්‍යයෙන් මුදවා බැරැරෑම් ලෙස ෆ්‍රෙඩී දෙස බැලීමට කැමැති වුණේ නැහැ. ලෝක සිනමාවෙත් මෙලෙස මුළුමනින්ම හාස්‍යෝත්පාදක රංගයටමැ සීමා වූ නළුවන් සිටිනවා.
මෙබදු පසුබිමක් තුළදීත් ෆ්‍රෙඩීගේ රංගන හැකියාවන් ඉස්මතු වූ චිත්‍රපට කිහිපයක් මා මතකයට නැගෙනවා. ‘සූකිරි කෙල්ල’ චිත්‍රපටයේ (1975) ෆ්‍රෙඩී එකිනෙකාට වෙනස් ද්විත්ව චරිත රඟපෑවා. එක් තරුණයෙක් බොහෝම බාල බොළඳ ගති පැවැතුම්වලින් යුක්තයි. අනෙක් තරුණයා එසේ නොවෙයි. එක් දර්ශනයකදී මේ දෙදෙනා එකට මුණ ගැසෙනවා. මේ දර්ශනයේ සුමනා අමරසිංහ මැදි කොටගෙන ෆ්‍රෙඩිලා දෙදෙනා දෙපැත්තේ සිටිනවා. “මට හොඳට දැකල පුරුදුයි. මේ මුණ, හැබැයි මට උඹේ මුණ අල්ලන්නේ නැහැ” එක් ෆ්‍රෙඩී කෙනෙක් කියද්දී අනෙක් ෆ්‍රෙඩී ‘මටත් ඒකමයි හිතෙන්නේ උඹේ මුණ මට පෙන්නන්න බැහැ” යනුවෙන් පවසනවා. ඔහු එහිදී රංගනයෙන් මෙන්ම දෙබස් උච්චාරණයෙන්, හඬ පාලනයෙන් එකිනෙකට වෙනස් ආකාරයෙන් මේ ද්විත්ව චරිත නිරූපණය කළා.
ෆ්‍රෙඩීගේ රංගන ප්‍රතිභාව හඳුනාගත හැකි වැදගත්ම කඩඉමක් තමයි ‘ඔබයි මමයි’ (1975)චිත්‍රපටය. එහි එක් දර්ශනයකට අනුව ෆ්‍රෙඩී හදිස්යේම රඟහලකට ගොඩවදිනවා. ඒ රඟහලේ ආසන සියල්ලම හිස්. ප්‍රේක්ෂකයන් කවුරුවත්ම නැහැ. ඔහුට හදිසියේම පෙනෙනවා එහි නාට්‍යයක් රඟදැක්වෙන ආකාරය. මෙහිදී රාජ සේවකයෙක් මුලින්ම වේදිකාවට පිවිසෙනවා. ඒ ෆ්‍රෙඩී සිල්වා. ඉන්පසු රජතුමා පිවිසෙනවා. ඒත් ෆ්‍රෙඩී සිල්වා රජතුමා මෙලෙස පැමිණෙන්නේ නඩුවක් විසඳීමටයි. කිසියම් ගැමි කාන්තාවකගේ එළදෙනක් මනුස්සයෙක් සොරාගෙන. මේ සඳහා වේදිකාවට පැමිණෙන අර කී ගැමි ගැහැනියත් ඇගේ දෝෂාරෝපණයට ලක්වන මිනිසාත් ෆ්‍රෙඩීමයි. දැන් එකම දර්ශනයේ ෆ්‍රෙඩීලා හතර දෙනෙක් චරිත හතර රඟපානවා. ඔහු ඉතාමත් ශුර අන්දමින් මේ චරිත හතර එකිනෙකට වෙනස් ආකාරයෙන් රඟපෑවා. එනම් ඒ ගීතමය දර්ශනයේදී ෆ්‍රෙඩී එකිනෙකට වෙනස්ව ගැහැනු, පිරිම බව, ගම්භීර බව, බයාදු බව මේ චරිත හතරෙන් ඉස්මතු කරමින් රඟමින් ගැයුවා. අපේ සිනමාවේ මෙබඳු වෙසෙස් හැකියාවක් තිබූ නළු, ගායකයා ඔහු පමණක් විය හැකියි. ‘ඔබයි මමයි’ චිත්‍රපටයේ පෙර කී ගීතමය දර්ශනය අවසන් වෙද්දී පේ‍්‍රක්ෂකාගාරයේ සිට අත්පුඩි ගසන්නේ රෝයි ද සිල්වා හා දොන් සිරිසේන. එනම් ඔහුගේ යාළුවෝ දෙදෙනා පමණයි. මෙවැනි නිදර්ශන ඔස්සේ ෆ්‍රෙඩීගේ රංගන කුසලතාවය පැහැදිලි වෙනවා.
ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ චිත්‍රපටයක රඟපෑමේ ලොකු හීනයක් ෆ්‍රෙඩී තුළ දිගු කලක පටන්ම තිබුණා. ඔහු නොයෙක් අවස්ථාවලදී ඒ ගැන පුවත්පත්වලට පවසා තිබුණත් සිහිනය සැබෑ කර ගැනීමට ෆ්‍රෙඩීට අවස්ථාවක් ලැබුණේ නැහැ. වරක් වසන්ත ඔබේසේකරයන් ප්‍රසිද්ධියේම ‘ෆ්‍රෙඩී ඉතා දක්ෂ නළුවෙකැයි’ කියා සඳහන් කළා. කලාත්මක චිත්‍රපට ධාරාව තුළත් ඔහුට මෙබඳු චරිත ලැබුණා නම් ෆ්‍රෙඩීගේ රංගනයේ වෙනස් මානයක් දකින්නට තිබුණා යැයි මට හිතෙනවා.
ඔහුගේ හාස්‍යෝත්පාදක නළු දිවිය ගැන සිතද්දී මට සිහිපත් වෙනවා වරක් ජෝ දේව් ආනන්ද් නමැති ප්‍රකට අධ්‍යක්ෂවරයා මා සමඟ පැවසූ කියමනක්. 2005 දී ජෝ දේව් ඇමරිකාවේ සිට ලංකාවට ආවා. රෝයි ද සිල්වා මහතා තමයි මට දුරකථනයෙන් ඒ ආරංචිය දැනුම් දුන්නේ. ‘නයනජිත් වෙන කාටවත් මම කියන්නේ නැහැ. ජෝ දේව් ආනන්ද් ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ඔහු හමුවුණොත් ඔබට හොඳ ඉතිහාසයක් දැන ගන්න ලැබේවි’ කියා රෝයි මහතා මට පැවසුවා. ඒ අනුව මම ඔහු හමුවී සංලාපයෙහි යෙදී සරසවිය පුවත්පතට ලිපියක් ලීවා. එහිදී ජෝ දේව් මට කීවා ‘සුජීවා චිත්‍රපටයෙන් ෆ්‍රෙඩීව කලඑළියට ගන්න කැපිලි කෙටිලි මැද ඔහු ගත් දුෂ්කර වෑයම පිළිබඳව ‘සුජීවා’ චිත්‍රපටය පළමුවෙන් තිරගත කළ අවස්ථාවේ සිලෝන් තියටර්ස් සමාගමේ එවක සභාපති ධුරය දැරූ එස්. සෙල්ලමුත්තු මහතා ජෝ දේව්ිගෙන් ඇහුවලු “කවුද අර අලුත් විකට නළුවා. හරියටම ජෙරී ලුවිස් වගේ” කියා.
ඒ කියුමෙහි යම් සත්‍යතාවක් තිබෙනවා. ලෝ ප්‍රකට විකට නළු ජෙරී ලුවිස්ගේ රංගන ශෛලියෙහි, ස්වරූපයෙහි යම් ආභාසයක් ෆ්‍රෙඩීගෙන් දිස්වෙනවා. අතීතයේ තම මිතුරු රෝයි ද සිල්වා සමඟ කොරවක් පැටවු විකුණලා ඒ මුදලින් චිත්‍රපට නරඹලා හරි ෆ්‍රෙඩී රංගනය හදාරා තිබෙන බව තමයි අපට පෙනෙන්නේ. එබඳු හැදෑරීමක් තිබුණොත් තමයි ජෙරී ලුවිස්ගෙන් ආභාසය ලබන්න හැකිවන්නේ. මේ ආභාසය තමයි නව පරපුර ලබාගත යුත්තේ. නමුත් මේ නව පරපුරේ බොහොමයක් චිත්‍රපට නරඹන්නේ නැහැ.
ඉතිං අපට බලා සිටින්න සිදුවන්නේ මේ පරපුර ඉදිරියේදී සිනමාවට මොනවා දායාද කරාවිද කියායි. පෙර පරපුර නැවැත්වු තැන්වලින් පටන් ගන්න මේ පරපුර දන්නේ නැත්නම් ඉදිරියේදී මොනවා කරන්නද? අලුත් දෙයක් කරන්න නම් පෙර පරපුරට කරන්න බැරි වූ දේ අලුත් පරපුර දැන සිටිය යුතුයි. ඒ හැදෑරීම ෆ්‍රෙඩිට තිබුණා.
ඇතැම් අවර ගණයේ චිත්‍රපට නිසා හා එවාහි දුර්වල තිර පිටපත් නිසා පසුකාලීනව ෆ්‍රෙඩීගේ රංගන හැකියාව අපතේ ගිය අවස්ථා තිබුණා තමයි. මේ නිසා සැබෑ හාස්‍යයට වඩා දෙපිට කැපෙන දෙබස්වලින් අසභ්‍ය මතුවීමෙන් එහිදී ෆ්‍රෙඩිට හානියක් සිදුවුණා. ‘චලිත රංගාලි‘ (1985) චිත්‍රපටයට සම නිෂ්පාදනයෙන් දායක වූ (අධ්‍යක්ෂණය – මර්සලීන් එස්. පෙරේරා) ෆ්‍රෙඩී පසුව ‘ඔක්කොම හොඳටයි’ (1994) චිත්‍රපටය නිෂ්පාදනය කොට (අධ්‍යක්ෂණය – හේමසිරි සෙල්ලපෙරුම) එහි ප්‍රධාන චරිතය රඟපාමින් ගීත ගායනා කළා.
ඔහුට පෙරදිග වේවා අපරදිග වේවා විවිධ පරාසවල ගීත ගායනා කිරිමේ හැකියාව තිබුණා. බටහිර රොක් ඇන්ඩ් රෝල්, යුඩ්ලි ශෛලීන්ට අනුව ගීත ගැයූ ෆ්‍රෙඩී පෙරදිග උත්තර භාරතීය රාගධාරී සංගීතයට අනුව නිර්මාණය වූ ගීතවලටත් නිසි සාධාරණය ඉටු කළා. ඔහු ගැයු ‘කුªණ්ඩුමණී නමැති ප්‍රකට ගීතය (පබැදුම – පේ‍්‍රමකීර්ති ද අල්විස්) ආචාර්ය වික්ටර් රත්නායකයන් නිර්මාණය කළේ භූපාලි රාගය ඇසුරු කොට ගෙනයි. ප්‍රවීණ ගායන ශිල්පී අබේවර්ධන බාලසූරිය මහතා ඉතා ගෞරවයෙන් මේ මොහොතේ අනුස්මරණය කළ යුතුයි. ඔහු තමයි තෙලදසුන් මාධ්‍යයට ෆ්‍රෙඩීව හඳුන්වා දුන්නේ. තෙලදසුන මෙරට ස්ථාපිත වූ පසුව ජාතික රූපවාහිනිය ඔස්සේ මැදිරියක රූගත කෙරුණු ගීත රූපරචනය ආරම්භ කළේ අබේවර්ධන බාලසුරිය මහතායි. ‘නන්දන වින්දන’ නම් ඒ වැඩසටහන ඔස්සේ ෆ්‍රෙඩී ගැයූ ‘කුන්මුණී’ ‘තේ කුඩය පිටේ බැඳන්’ (කලාවතී සමඟ ගැයූ – පබැඳුම – හේමසිරි හල්පිට, සංගීතය – ස්ටැන්ලි පීරිස්) වැනි ගීත මුල්වරට රූපරචනයට නැඟුණා. ප්‍රාසංගික කලාකරුවකු ලෙස තෙලදසුන් මාධ්‍යයේත් ඔහු කැපී පෙනුණේ ඉන් ඉක්බිතිවයි.
සිරිල් ඒ. සීලවිමලයන් තමයි ප්‍රේමකීර්ති ද අල්විසුන්ට සමගාමීව උපහාසත්මක ගීත රාශියක් ෆ්‍රෙඩීට ලියා දුන්නේ. හේමසිරි හල්පිට කරුණරත්න අබේසේකර, ඇලන්සන් මෙන්ඩිස්, මහාචාර්ය සුනිල් ආරියරත්න, ධර්මසිරි ගමගේ, ආචාර්ය අජන්තා රණසිංහ, පි‍්‍රයානන්ද විජේසුන්දර, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, ලයනල් විජේසිංහ, හඩ්සන් සමරසිංහ, කරුණාරත්න ඩී. පිලිප්, හර්බට් රංජිත් පීරිස්. එච්.එස්. පෙරේරා, චන්ද්‍රා දේවාදිත්‍ය, ශ්‍රී නිහාල් ජයසිංහ යනාදී ගීත රචකයන් ෆ්‍රෙඩී උදෙසා ගීත රචනා කළා. ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස, සරත් දසනායක, ආචාර්ය වික්ටර් රත්නායක, මහාචාර්ය සනත් නන්දසිරි, ලාල් හීනටිගල, පී.එල්.ඒ. සෝමපාල, අර්නස්ට් සොයිසා, සරත් ද අල්විස්, ෂෙල්ටන් පේ‍්‍රමරත්න, සුනිල් සාන්ත, ෂෙල්ටන් පෙරේරා, සුනිල් ධර්මසේන, ස්ටැන්ලි පීරිස්, ගලගෙදර එම්.එම්.ඒ. හක්, ටී. එෆ්. ලතීෆ්. මොහොමඩ් සාලි, රංජිත් පෙරේරා. එම්.කේ. රොක්සාමි, උපේන්ද්‍ර ප්‍රනාන්දු, සරත් වික්‍රම, පැට්‍රික් දෙනිපිටිය, ලාල් සිල්වා, වින්සන්ට් ප්‍රේමසිරි, ග්‍රේෂන් ආනන්ද, සුමේධ හේවාවිතාරණ, වික්ටර් දලුගම, ක්ලැරන්ස් විජේවර්ධන, සරත් බාලසුරිය, හර්බට් රංජිත් පීරිස්, ජීප්සීස් සංගීත කණ්ඩායම යනාදිය ෆ්‍රෙඩී ගැයූ ගීත සංගීතවත් කළා. උපහාසාත්මක ගීත කලාවක් මෙරට ස්ථාපිත කිරීමට ඔහු පුරෝගාමී වුණා. සමාජ අසාධාරණය, කැපිලි කෙටිලි මේ ගීත බොහොමයකට වස්තු විෂය වූ බැව් පෙනෙනවා. ‘බොරුකකුල්කාරයා’ (පබැඳුම – පේ‍්‍රමකීර්ති ද අල්විස්, සංගීතය – මහාචාර්ය සනත් නන්දසිරි) ‘ආරොන් මාමා’ (පබැඳුම – පේ‍්‍රමකීර්ති ද අල්විස්, සංගීතය – ෂෙල්ටන් පෙරේරා) වැනි ගීත ඔස්සේ අව්‍යාජ ගැමි චරිත ඔහු වස්තු විෂය කොට ගත්තා.
ෆ්‍රෙඩී, මොරීස් දහනායක සමඟ ගැයූ අපුර්ව ගීතයක් (පබැඳුම – සිරිල් ඒ. සීලවිමල. සංගීතය – ලාල් හීනටිගල, මොහොමඩ් සාලි) මට සිහිපත් වෙනවා. මේ ගීතය එදාටත් වඩා අදට ගැළපෙනවා.
මො – ගායක පට්ටම් අහකට දාලා – හොලිවුඩ් පුරය බලා හිටි හැටියේ අපි නළුවන් වෙන්නට – ගියානෙ නැව් නැගලා
ෆ්‍රෙඩී – නිළියක් බැඳලා රජකම් කරලා – හිතුවත් ඉන්ට එහේ
ගිය පොට වැරදී හැරෙන තැපෑලෙන් -ආපහු එන්ට උණේ
මො – මෙහෙ බැහැ – ඉඩ නැහැ.
ආපු පාරෙන් යන්න යනවා කීවනේ
ෆ්‍රෙ – වැරදුණා – පැරදුණා – මෝඩයින් මෙන් ආයෙ ආපහු ආවනේ
මේ ගීතයේ කියවෙන ආකාරයේ ආකල්ප දරන ඇතැම් ගායකයන් නව පරපුරේ ඉන්නවා. ඔවුන් ගීත රැප් කරලා සංකර කරලා ඉන් පසුව අපට අන්තර්ජාතික වෙළඳපොළේ මහා ඉල්ලුමක් තිබෙනවා යැයි කියමින් පුරසාරම් දොඩනවා. නමුත් සත්‍යය නම් ඒ විදෙස් රටවල් මෙබඳු අනුකාරකයන් තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. මන්ද ඔවුන් තමන්ගේ දේශයට ඒ සංස්කෘතියට කලා සම්ප්‍රදායන්ට ආදරෙයි. ඒ නිසා ඔවුන් ලංකාවේ සිටින මෙවැනි අනුකාරකයන්ට හිනාවෙනවා. නමුත් මේ අනුකාරක ගායකයන් බොරුවට මේ මවාපෑම් කරලා අලුත් පන්නයේ ගීත අපි රසිකයන්ට දෙනවා කියා අහන් ඉන්න බැරි කන්දොස්කිරියාවල් ගීත හැටියට ඉදිරිපත් කරනවා. අද දක්නට ලැබෙන එබඳු අය උපහාසයට ලක් කෙරෙන ගීත අතීතයේදී ෆ්‍රෙඩී ගායනා කොට තිබෙනවා.
මෙරට ගීත සාහිත්‍යය විමසා බැලුවහොත් ආචාර්ය වික්ටර් රත්නායකයන් හා ප්‍රේමකීර්ති ද අල්විසුන් අතර පැහැදිලි සුසංයෝගයක් හඳුනාගත හැකියි. ඒ බහුතරයක් ගීතවලට වස්තු විෂය වූයේ ප්‍රේමයයි. ප්‍රේමකීර්ති තම ජීවිතයේ අත්දුටු ප්‍රේමය පිළිබඳ අත්දැකීම් වික්ටර් ලවා ගීතයෙන් පැවසුවා. ඒ වගේම ප්‍රේමකීර්ති තම ජීවිතයේ අත්විඳී සමාජ අසාධාරණකම්, කෙනෙහිලි ෆ්‍රෙඩී ලවා ගීතයෙන් ඉදිරිපත් කළා. ෆ්‍රෙඩී ප්‍රේමකීර්ති සුසංයෝගයෙන් උපහාසාත්මක ගීත ප්‍රවණතාවක් බිහිවූයේ මෙහි ප්‍රතිඵලයක් හැටියටයි.
පාන් කිරිත්තා ගීතයෙහි (සංගීතය වික්ටර් රත්නායක). ෆ්‍රෙඩී ගැයූ ප්‍රේමකීර්ති ලියූ මේ පද පෙළ බලන්න.
පාන් කිරිත්තා නැටුම නවත්තා කේන්තියෙන් ආවා
අනුන්ගේ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා //
මනු සත්ත්වයාගේ භයානකකම ගැන ප්‍රේමකීර්ති ලියා (සංගීතය රංජිත් පෙරේරා) ෆ්‍රෙඩී මෙසේ ගැයුවා.
හිනැහෙයි නම් බුම්මයි නම්
මාමේ ඌ මිනිහා
ලෙඩ දෙයි නම් කොටවයි නම්
මාමේ ඌ මිනිහා
නැන්දේ මාමේ බලාගෙනයි විපතක් වේව් උන්ගෙන් නම්
අතිභයානකයි මිනිහා
ෆ්‍රෙඩී- ප්‍රේමකීර්ති සුසංයෝගයෙන් බිහි වූ තවත් ගීතයක් (සංගීතය උපේන්ද්‍ර ප්‍රනාන්දු) ඇරැඹෙන්නේ මේ ආකාරයටයි.
ලෝකය නැමති ගමේ යහගුණ මාවතේ පළවෙනි තැන සිටියා ඔහු
ගුණ යහපත් නම් මිනිසා
ආ ගිය අතක් නැනේ
ප්‍රේමකීර්ති ලියූ දිය යට විස්කම් ගීතය (සංගීතය වික්ටර් රත්නායක) තවත් නිදර්ශනයක්.
දුලීකා 1974 චිත්‍රපටයට ඇතුළත් වූ ජැක් ඇන්ඩ් ජිල් ගීතය ෆ්‍රෙඩී- ප්‍රේමකීර්ති සුසංයෝගයේ සන්ධිස්ථානයක්. සංගීතවත් කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස. එදා මේ ගීතය බිහි වූ යුගයටත් වඩා අද්‍යතනයේ මෙබඳු ආත්මාර්ථකාමී මිනිසුන් බහුලයි.
සුරේඛා (1974) චිත්‍රපටයට ඇතුළත් වූ ප්‍රේමකීර්ති විසින් විරචිත ෆ්‍රෙඩී එච්. ආර්. ජෝතිපාලයන් සමඟ ගැයූ මාමේ මේ බකමූණා (සංගීතය පී. එල්. ඒ. සෝමපාල), නැළවිලි ගීතයක් වුණාට අවසානයේ සමාජයේ කටුක අමිහිරි අත්දැකීම් පිළිබඳ මෙලෙස එහි ඉඟි කෙරෙනවා.
“කටු ගසනා අය හුඟක් ඇතේ නුඹ ඒ වැන්නෙක් නොවන් පුතේ
ෆ්‍රෙඩී සරල ගීත ගායනා කළ බොහෝ අවස්ථාවලදීද ඒවා බහුතරය ගැයුවේ ස්වකීය රංගන විලාසයද ඊට මුසු කරමින්. එමඟින් නිතැතින්ම ඊට ප්‍රාසංගික බවක් එක්වුණා. ප්‍රේමකීර්ති ලියූ ෆ්‍රෙඩී ගැයූ එන්න එන්න වාඩිවෙන්න උපහාසාත්මක ගීතය විමසා බලන්න. සංගීතවත් කළේ මොහොමඩ් සාලි
සුපුරුදු උපහාසයෙන් බැහැර වූ අනුවේදනීය අනුභූතීන්ගෙන් සැදුම්ලත් ගීතද ප්‍රේමකීර්තිගේ පබඳුමෙන් (සංගීතය ස්ටැන්ලි පීරිස්) ඇතැම් අවස්ථාවලදී ෆ්‍රෙඩී ගායනා කළා.
මේ ගීතය ඊට නිදර්ශනයක්
පාන්දරින් පාන්දරින් කුකුළො හඬන්නා අපි තැටිය අරන් පෝලිමේ යන්නා
ෆ්‍රෙඩී හා සිරිල් ඒ සීලවිමල සුසංයෝගයෙනුත් උාපහාසාත්මක ගීත රාශියක් බිහිවුණා. ඒවා අතර මේ ගීතය (සංගීතය පැට්‍රික් දෙණිපිටිය) ඉතා ප්‍රකටයි..ෆ්‍රෙඩී මේ ගීතය ගැයුවේ බටහිර යූඩිලි ගායන ශෛලියෙන්.
උපන් දිනය මගේ ළඟ හින්දා මාවත් ඇදගෙන උන්දා
සාරි ගන්නලු අනෙ මන්දා සාප්පු ගානේ ගියා.”
1977 සිට විවෘත අර්ථ ක්‍රමය මෙරට ස්ථාපිත වීමත් සමඟ විවිධ රැකියා සොයා මැද පෙරදිග බලා පිටත් වූ කාන්තාවන් සංඛ්‍යාත්මකව වර්ධනය වුණා. විශාල සමාජ ප්‍රශ්න රාශියකට මෙය මුල පිරීමක් වූ සෙයින්ම එසේ මැද පෙරදිග ගොස් පැමිණි කාන්තාවන්ගේ ආකල්ප, ජීවන රටාව විපර්යාසයකට ලක්වුණා. සිරිල් ඒ සීලවිමල පබැඳූ ප්‍රෙඩී ගැයූ (සංගීතය සරත් වික්‍රම) මේ ගීතයෙන් උපහාසයට ලක් වූයේ එකී විපර්යාසයයි.
“අපේ මයියා ඩුබායි ගිහින් ඇවිල්ලා බොහොම ජාති ගෙනල්ලා”
ෆ්‍රෙඩී ගැයු උපහාසාත්මක ගී අතර බල්ලා ප්‍රමුඛයි. මෙය රචනා කොට සංගීතවත් කළේ හර්බට් රංජිත් පීරිස්. හුදු උපහාසයෙන් ඔබ්බට දිවෙන ගැඹුරක් මේ ගීතයෙහි දක්නට ලැබෙනවා.
ෆ්‍රෙඩී සිල්වා කලාකරුවාණන්ගේ ජීවිතයේ අවසාන කාලය වන විට රෝයි ද සිල්වාත් වැඩිහිටි වියට පැමිණ කථානායකයාගෙන් මිදී අධ්‍යක්ෂණයට වැඩියෙන් නැඹුරු වෙනවා. ගාමිණි ෆොන්සේකා සූරීනුත් වැඩිහිටි වියේදී සිනමාවෙන් ක්‍රමිකව දුරස් වෙනවා. විජය කුමාරතුංගයන් අකාලයේ අපෙන් සමුගෙන යනවා. මා නම් සෘජුවම නිල ලත් විකට රජු ලෙස ෆ්‍රෙඩීව හඳුන්වනවා. මන්ද සිව් දශකයක කාලයක් අඛණ්ඩව නොවැටී නොගිලිහුණු ජනප්‍රියත්වයෙන් පෙරකී ගාමිණි, ජෝ, ටෝනි, විජය වැනි මහ නළුවන් සමඟ ජනප්‍රිය සිනමාවේ කරට කර වැජඹුණු අවශේෂ විකට නළුවෙක් රෙඩි හැරුණු විට ලාංකේය සිනමාවේ නැහැ. මෙරට වැඩිම චිත්‍රපට ගණනක රඟපෑ නළුවා ලෙස අඛණ්ඩව චිත්‍රපට 210ක රඟපෑමට ඔහුට අවස්ථාව ලැබුණේ ඒ නිසයි.
ලාංකේය සිනමාවේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම හාස්‍යෝත්පාදක ගායන ශිල්පියා ෆ්‍රෙඩී සිල්වායි. හාස්‍ය උපහාසය දැන්වීම සඳහා ඔහුට ගැහැනු පිරිමි තරුණ වැඩිහිටි භේදයකින් තොරව තම හඬ සුඛනම්‍ය ලෙස හැසිරවීමට, පෘථල ස්වර පරාසයක විවිධ වර්ගගේ ගීත ගැයීමට ප්‍රතිභාවක් තිබුණා. රජවැඩකාරයෝ (1987) චිත්‍රපටය සඳහා ෆ්‍රෙඩී රඟමින් ගැයූ “රාගේ රාගේ මා ගයනා” නම් වූ ගීතය සංගීතවේදී සරත් ද අල්විසුන් නිර්මාණය කළේ උත්තර භාරතීය රාගධාරී සංගීතය ඇසුරු කොටගෙනයි. එනම් එය එක අතකින් හාස්‍යෝත්පාදක ගීතයක් වුණාට අනෙක් අතට එහි ශාස්ත්‍රීය ලක්ෂණ ගැබ්වී තිබෙනවා.(මෙහි කතාව අනුකරණය වුවත්) අධජඬ චදඤ පධතත රධඤඥතඪදඨ ගීත ගැයූ ගායකයාම තමයි ඒ ශාස්ත්‍රීය ගීතයත් ගැයුවේ.
ෆ්‍රෙඩීගේ අවසාන කාලයේ චිත්‍රපටවල ඔහුට ගැළපෙන කථා නායකයන් සිටියාද යන පැනය මා සිත තුළ ජනිත වෙනවා. සරසවිය සම්මාන උලෙළේදී ගාමිණි ෆොන්සේකා අඛණ්ඩව යම් කාලයක් ජනප්‍රිය නළුවා ලෙස සම්මානනීය වෙනවා.
ඉන්පසු විජය කුමාරතුංගයන් ඒ කිරුළ දිනාගෙන මිය යනතුරු අඛණ්ඩවම ජනප්‍රිය නළුවා ලෙස සම්මාන ලැබූ ඉක්බිතිව ජනප්‍රිය නළුවන් ස්ථාවර නොවන ස්වභාවයක් ඒ යුගයේදී දිස් වුණා. එනම් එක වසරක ජනප්‍රිය නළුවා සනත් ගුණතිලක නම් ඊළඟ වසරේ එය දිනා ගත්තේ ජීවන් කුමාරතුංගයි. ඉන්පසු එක වසරක කථානායකයන් පසෙකට තල්ලු වී විකට නළු ෆ්‍රෙඩී සිල්වා ජනප්‍රිය නළුවා ලෙස 1991 සරසවිය සම්මානය දිනාගන්නවා. ලාංකේය සිනමා ඉතිහාසයේ කථානායකයන් අබිබවා විකට නළුවා ප්‍රමුඛත්වයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වූ අතර ෆ්‍රෙඩී ඊට පුරෝගාමී වුණා. මා සිතන්නේ මේ කඩඉමෙන් පසුව තමයි විකට නළුවන්ට කථා නායකයන් සේ ඉස්මතු වීමට වෙළඳපොළක් මෙරට ජනප්‍රිය සිනමාවේ ස්ථාපිත වුණේ. බන්දු සමරසිංහ හා ටෙනිසන් කුරේ වැනි විකට නළුවන් චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපාමින් ඉනික්බිතිව ගමන් කළේ ෆ්‍රෙඩී මෙලෙස ඉදි කළ ඒ පුරෝගාමී මාවතේ බව අමුතුවෙන් මා කිව යුතු නැහැ. ෆ්‍රෙඩීට අභියෝග කළ හැකි මට්ිටමේ හාස්‍යෝත්පාදක නළුවන් පසුව පහළ වුණා නම් ඒ දෙදෙනා නිහාල් සිල්වා හා විජය නන්දසිරි පමණයි කියායි මා සිතන්නේ. නිහාල්, ෆ්‍රෙඩී සමඟ තරඟාකාරීව කරටකර ඉස්මතු වෙමින් සිටිද්දීයි ඔහු අකාලයේ අහිමිවුණේ. ඉන්පසුව ඒ මට්ටමට ළඟා වුණේ විජය නන්දසිරි පමණයි. අභාග්‍යයකට ඒ ප්‍රවීණ ශිල්පියාත් අද අප අතර නැහැ. මේ නිසා නිහාල් සිල්වාටත් විජය නන්දසිරිටත් විකට රංග ශිල්පින් ලෙස ෆ්‍රෙඩී ගිය තරම් දුරක් ගමන් කිරීමට නොහැකි වුණා. එය අභාග්‍යයක්. ජනේෂ් සිල්වා, චාන්දනී සිල්වා, ප්‍රගීත් සිල්වා යන ෆ්‍රෙඩීගේ දූ දරුවෝ කලා ලොවට පිවිසුණාහ.
ෆ්‍රෙඩී අපූර්ව පුද්ගලයෙක් බවට පත් වූ එක් වෙසෙස් සිදුවීමක් මට අවසන් වශයෙන් සිහිපත් වෙනවා. කිසියම් කලාකරුවකුට ජිවත්ව සිටියදීම තමන්ගේ මරණය ගැන අසන්නට ලැබුණොත් කොහොමද? එනම් තමන්ගේ මරණය ජනමාධ්‍යවල වාර්තා කර තිබෙන ආකාරය දකින්න හෝ අහන්න. මෙය භාග්‍යයක් ද, අභාග්‍යයක් ද යන්න වෙනම සිතා බැලිය යුත්තක්. අද සමාජ මාධ්‍යවලින් බොහෝ කලාකරුවන් ජීවත්ව සිටියදීම මරා දමනවා.
කෙසේ නමුත් ෆ්‍රෙඩීට ඒ අවස්ථාව ලැබුණා. අවසාන කාලයේ ෆ්‍රෙඩී රෝගාතුර වී රෝහල් ගත වෙලා සිටියදී වැරැදි ප්‍රචාරයක් නිසා ඔහු මිය ගිය බවට ප්‍රවෘත්තියක් කිසියම් ගුවන් විදුලි නාළිකාවකින් ප්‍රචාරය වුණා. අභාග්‍යයකට ඒ ප්‍රවෘත්තිය අහඹු ලෙස ෆ්‍රෙඩීගේ සවනත වැකුණා. පසුව ඔහු වහාම ඒ ගුවන්විදුලි නාලිකාවේ බලධාරින්ට කතා කරලා ‘අනේ මහත්තයෝ තවම මම මැරුණේ නැහැ. ජීවතුන් අතර සිටිනවා.’ යැයි කනගාටුවෙන් පැවසුවා. තවත් එක කලාකරුවකුට එයම සිදුවුණා. ඒ සිසිර සේනාරත්නයන්ට. නමුත් වසානාවකට ඒ ප්‍රවෘත්තිය අහන්නවත් දකින්නවත් ඔහුට අවස්ථාව නොලැබෙන්න ජන මාධ්‍යවලින් ඈත්කොට තබමින් ඉන්ද්‍රාණි විජයබණ්ඩාර මහත්මිය ඇතුළු පවුලේ සැමම ඉතා දක්ෂ ලෙස වගබලා ගත්තා. මේ නිසා සැබැවින්ම මියයන තුරුම සිසිර ඒ බව දැනසිටියේ නැහැ. ප්‍රවෘත්තියක සත්‍යවාදි බව නොවිමසා එය හිතුමනාපෙට ප්‍රචාරය කරන විකාශය කරන. පළ කරන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන්ට සමාජ මාධ්‍ය හසුරුවන්නන් හට මේ නිදර්ශන ද්වය අමතක නොවන පාඩමක්.
කෙසේ නමුදු ෆ්‍රෙඩීට ලැබුණු ඒ අවස්ථාව ගැන සිතන විට මට ඔහු ගැයූ ගීතයක් සිහිපත් වෙනවා. මෙය මරණයට මිනිසා තුළ ඇති බිය ගැන කියැවෙන (පද රචනය – සිරිල් ඒ. සීලවිමල, සංගීතය – ප්‍රැටික් දෙණිපිටිය) හාස්‍යෝත්පාදක ගීතයක්.
“මට නම් හරියට මැරෙන්න බයනේ
මැරිලත් හුරු නැහැනේ – පණ ගියත්
නාඩි දුවනකං මැරෙන්න බැහැනේ
හුස්ම ඩිංග හොඳනේ – ඇත්තමයි
මැරුණොත් ඉඳලා – මොකටද මැරිලා
හැමදාම රෑට මට ඇෙ¾ඩයි අනේ”
ෆ්‍රෙඩී මියගියේ 2001 වසරේ ඔක්තෝබර් 29 වැනිදා. එනම් ඔහු මියගොස් දැන් 25 වසරකට ආසන්නයි. ෆ්‍රෙඩී සිල්වා වැනි කලාකරුවන් තව තවත් මෙරට පහළ වේවා කියාත් මේ හිඩැස් පුරවාලන්නට තරුණ පරපුරට ශක්තිය ලැබේවා කියාත් මං ප්‍රාර්ථනා කරනවා.
(ෆ්‍රෙඩී සිල්වා කලාකරුවාණන්ගේ උපහාර උලෙළේදී මවිසින් පවත්වන ලද දේශනයෙහි ලිඛිත පිටපතකි.)
ආචාර්ය නුවන් නයනජිත් කුමාර