සිනමා නිර්මාණයක් හෝ ටෙලි නිර්මාණයක් තිරය මත මැවීම පිටුපස සිටින්නේ දැවැන්ත චරිතයකි. එහෙත් එම නිර්මාණය නරඹන විට ඒ දැවැන්ත චරිතය අමතකය. ප්‍රේක්ෂකයන් තිරය මත නෙත් අයා සිටින විට ඔවුන්ට දැකගත හැකි වන්නේ කතා තේමාව අනුව රඟන නළුනිළි පිරිස පමණි. තිරය මත දිස්වන නෙක නෙක වර්ණයෙන් මැවෙන සුන්දර පසුතල, දුටුවන්ගේ සිත් පැහැර ගන්නා සුරඟනන් බඳු නිළියන්, කඩවසම් බවින් පිරිපුන් නළුවන්, දක්ෂ චරිතාංග නළුවන්, සිනමාවේ දුෂ්ටයන්, කවටයන් කා ප්‍රේක්ෂකයන්ගේ සිත්තුළ රඳවන්නට තිරය පිටුපස සිට මහන්සි වෙමින් ශක්තියක් වෙමින් සිටින පිරිස බොහෝ අයට අමතකය. එම පිරිසෙන් අර්ථපතිට හිමිවන්නේ මූලික ස්ථානයකි. එහෙත් සිනමාපටය පිළිබඳ කවුරුත් කතාබහ කළත් අර්ථපති පිළිබඳ වැඩි කතාබහ නැත. කෙසේ වෙතත් ඔහු හෝ ඇයගේ මුදල කලාව වෙනුවෙන් වෙන් කරන්නට සිතෙන්නේ කලාකාමී හදවතක් ඇති නිසා පමණි.
හිරිමල් යෞවනයේ පටන්ම සිනමාවට ඇලුම් කළ අපූරු තරුණයෙකු පසු කාලයක සිනමාපට කිහිපයක් නිෂ්පාදනය කිරීමට පෙලඹිම ඔහු සිනමාවට ආදරය කළ බවට පෙන්වීමට ඇති කදිම සාක්ෂියකි.
ඔහු ෂමාල් ඩිල්ෂාන්. ෂමාල් චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙක් ලෙස දොරට වඩින්නේ 2013 වසරේදීය. එතැන් පටන් මේ දක්වා ආ ගමන් මඟ පිළිබඳ කතා කිරීමට පසුගිය දිනෙක ඔහු පත්තර මහගෙදර එකම සිනමා පුවත්පත වන සරසවිය සමඟින් එකතු විය.
පුංචි කාලේ ඉඳන්ම සිනමාවට , ටෙලි නාට්‍යකලාවට මගේ හිතේ පුදුම ආසාවක් තිබුණා. මම ඉගෙන ගත්තේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ. පාසැල් යන කාලේ ඉඳන්ම චිත්‍රපට නරඹන්න ලොකු ආසාවක් තිබුණා. පාසැල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනය සඳහා මට නවසීලන්තයට යෑමට සිදුවුණා. ඒත් සිනමාවට තිබුණ උනන්දුව අඩු වුණේ නැහැ. නවසීලන්තයේදී මට අපූරු මිත්‍රයෙක් මුණ ගැසුණා. ඔහු සහන් අබේවර්ධන. ඔහුටත් මට වගේම සිනමාව ගැන ලොකු උනන්දුවක් තිබුණා. අපි හමුවූ සෑම මොහොතකම කතා කළේ සිනමාව ගැන. අපි දෙන්නා හමුවන අවස්ථාවල කතා කළේ කවදා හරි ලංකාවට ගිහින් සිංහල සිනමාව වෙනුවෙන් යමක් කරන්න. ලංකාවට පැමිණියාට පසු අපි දෙන්නා තීරණය කළා චිත්‍රපටයක් කරන්න. ඒත් අපිට චිත්‍රපටයක් කිරීමට තරම් මූලික ධනයක් තිබුණේ නැහැ. ඒ වුණත් අපි අපේ ආසාව, බලාපොරොත්තුව අත් හැරියේ නැහැ. පිටපතක් තිබුණත් අධ්‍යක්ෂවරයෙක් සොයා ගැනීමේ ගැටලුවට අපි මුහුණ දුන්නා. ඒ කාලේ අපි ගොඩක් ලාබාළ වයසේ. ක්ෂේත්‍රය ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. ඒ නිසා ඇතැම් අධ්‍යක්ෂවරුන්ගෙන් අපි බලාපොරොත්තු වුණ දේ ලැබුණෙ නැහැ.
පුංචි කාලේ ඉඳන් මගේ සිනමා වීරයා වුණේ රන්ජන් රාමනායක. අපි චිත්‍රපටයක් කරන්න සැලසුම් කරමින් සිටින විට මගේ හිතේ තිබුණේ රංජන් අයියාව සම්බන්ධ කරගෙන චිත්‍රපටයක් කරන්න. අපි අධ්‍යක්ෂවරයෙක් සොයමින් සිටින විට රංජන් අයියා ලීඩර් චිත්‍රපටය කරල විරාමයක් අරගෙන හිටියේ. අපි ගිහින් රංජන් අයියාව හමුවුණා. කුමන වර්ගයේ චිත්‍රපටයක් කළත් රංජන් අයියාව සම්බන්ධ කරගන්නවාමයි කියන කාරණය මගේ ඔලුවේ තැන්පත් වෙලා තිබුණා. අපි ඔහු සමඟ කතා කළා. අවසානයේ ඔහු කැමැති වුණා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න. එය තමයි ‘නවරියන්’ චිත්‍රපටය. 2017 දී අපි ඒක රිලීස් කළා. ඒක අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් බවට පත්වුණා. ඇත්තටම එය මගේත් සහන්ගෙත් සිහිනයක් සැබෑ වුණා වගේ දැනුණා.
මගේ සිනමා වීරයා වුණ රන්ජන් අයියාගේ චිත්‍රපට නරඹන කොට මම උසස් පෙළ ඉවර වුණා ගමන් වගේ. ඔහු රඟපෑ ලීඩර් බලන්න මම ගියා. එදා ඔහු දෙස ඇසිපිය නොහෙලා බලන් හිටපු මම කවදාවත් හිතුවේ නැහැ ඔහු අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක මට නිෂ්පපාදකයා වෙයි කියලා.21
අපි එතනින් අපේ ගමන අවසන් කළේ නැහැ. අපි දෙන්නා තීරණය කළා දිගටම සිනමාවේ රැඳී ඉන්න.
ඉන්පසුව අපිට මුණගැසුනා සිනමාවට දැඩි ආදරය කරන අපි වගේම තරුණ අධ්‍යක්ෂවරයෙක්. ඔහු හර්ෂ උඩකන්ද. අපි ඔහුත් සමඟ එකතු වෙලා තවත් චිත්‍රපට කිහිපයක් කළා. ඒ චිත්‍රපට එක පෙළට තිරගත වුණා. කොළඹ සන්නිය රිටන් (2018) දීත්, ෆේස් ටු ෆේස් ( 2019) දීත් තිරගත වුණා.
ඔය අතරතුරේ තමයි මුළු ලෝකයම වෙලාගෙන කොරෝනා වසංගතය පැතිරුණේ. ජනජීවිතය උඩුයටි කරන්න තරම් කොවිඩ් වසංගතය ප්‍රබල වුණා. කලා ක්ෂේත්‍රයටත් එය දැඩි ලෙස බලපෑම් එල්ල කළා. සිනමා ශාලා වැසී ගියා. චිත්‍රපට රූගත කිරීම නතර වුණා. අපි ඒ කාලේ තීරණය කළා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටත් සම්බන්ධ වෙන්න. ඒ සඳහා දෙරණ නාලිකාවත් සමඟ අත්වැල් බැඳගත්තා. ලොක්කී, ලොක්කිගේ කතාව, දියණී වැනි ටෙලි නිර්මාණ අපිට බිහිකරන්න පුළුවන් වුණේ දෙරණ සමඟ එක්වූ නිසා. මේ වෙලාවේ මම ලක්සිරි වික්‍රමගේ මහතාව ඉතා ආදරයෙන් මතක් කරනවා. එතුමා මට ගුරුවරයෙක් වගේ. අදටත් මගේ කලා කටයුතු වලට ගුරුහරුකම් ලබා දෙන්නේ එතුමා.
ෂමාල් විසින් නිෂ්පාදනය කරන ලද කොළඹ සන්නිය රිටන් 2018 වසරේ තිරගත වූ ජනප්‍රිය චිත්‍රපටයක් වුවත් ඒ සඳහා සමාජයෙන් විවිධ වර්ගයේ ප්‍රතිචාර ලැබුණ බවයි ඔහු සරසවිය සමඟින් කළ කතාබහේදී හෙළි කරනු ලැබුවේ. ඒ පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ ෂමාල් මෙසේ කියා සිටියේය.
කොළඹ සන්නිය රිටන් සඳහා හර සහ බැර වශයෙන් ප්‍රතිචාර ලැබුණා කියල කියන්න පුළුවන්. හැබැයි අතීතයේ නිර්මාණය වූ කොළඹ සන්නිය නරඹලා තිබුණ අයගෙන්නම් නොසෑහෙන්න බැණුම් ඇහුවා. අපි කොළඹ සන්නිය රිටන් කළේ සිනමාවට පා තැබූ අලුත. ඒ කාලේ තරුණ අපිත් ආවේගශීලියි. ඒ ලැබුණ විචාර දරාගන්න බැරුව ගියා. අපිත් වාද විවාදවල පැටලුණා. එහෙත් මූල්‍යමය වශයෙන් අපි සාර්ථක වුණා. ලාභ ලැබුවා. දැන් නම් ක්ෂේත්‍රය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන නිසා පරිස්සමෙන් තමයි නිෂ්පාදනයන් සිදු කරන්නේ. කොළඹ සන්නිය රිටන් නිෂ්පාදනය කිරීමෙන් පළමු චිත්‍රපටයට ආසාධාරණයක් වුණාද කියන හැඟීමක් හිතේ තියෙනවා. එහෙත් විශාල ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් නව නිෂ්පාදනය නැරඹුවා.
සිනමාවට නිෂ්පාදකවරයෙක් ලෙස දායක වුවත් ෂමාල් ගේ රුව කඩවසම් නළුවෙක් හා සමානයි. නිෂ්පාදනය කටයුතුවල යෙදී සිටින අතරම රංගනයට පිවිසීමට බලාපොරොත්තුවක් නැතිදැයි සරසවිය ඇසූ ප්‍රශ්ණයට ඔහු පිළිතුරු දුන්නේ සිනහවක්ද සමඟිනි.
දැනට නම් එහෙම අදහසක් නැහැ. මෑතකදී උදයකාන්ත මහත්මයාත් ඇහුවා රඟපෑමට කැමැති නැද්ද කියලා. තවත් කිහිපදෙනෙක්ම ඒ ප්‍රශ්නයම ඇහුවා. කරන හැම දේකටම දැනුමක් තිබිය යුතුයි කියන දේ මම විශ්වාස කරනවා. රඟපෑම ආවාට ගියාට කළහැකි දෙයක් නෙවෙයි. බොහෝ අය සිතන්නේ රඟපාන එක ලේසියි කියලා. ඒත් එහෙම නැහැ. රඟපෑම කියන දේ මනා ලෙස අධ්‍යයනය කළ යුතුයි. හැදෑරීමක් කළ යුතුයි. මම තාම සිනමාව ගැන හැදෑරීමකින් ඉන්නේ. නිෂ්පාදකවරයෙක් ලෙස වැඩ කරන්නත් ඒ පිළිබඳ දැනුමක් තිබිය යුතුයි. යම්කිසි නිර්මාණයකට සල්ලි යොදවල මදි. නිෂ්පාදකවරයෙක් විදිහට මොන වගේ නිර්මාණයකටද අපි මේ මුදල් යොදවන්නේ , මොන වගේ කතා තේමාවක් ද, රංගන ශිල්පීන් පිළිබඳ නිෂ්පාදකයා විදිහට මටත් දැනුමක් තිබිය යුතුයි. අපි හැම දේ ගැනම නිතරම යාවත්කාලීන වියයුතුයි. ආලෝකකරණය , කැමරාකරණය ගැනත් මට හොඳ අවබෝධයක් තියෙනවා. ඇතැම් අය අහනවා අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙන්න කැමැති නැද්ද කියලා. මම කිසිම දෙයක් අධ්‍යයනය නොකර , දැනුමකින් තොරව කරන්න කැමැති නැහැ.
වත්මන් සිනමාව දෝලනයකට ලක්වෙලා තියෙන්නේ නිසි දැනුමකින් තොරව ඇතැම් අය සිනමාවට පැමිණීම නිසා. චිත්‍රපටයක් කරන්න අත තබනවානම් අනිවාර්යයෙන් සිනමා තාක්ෂණය දැනුමක් තිබිය යුතුයි. කුමක් හෝ වීඩියෝ කරල සමාජ මාධ්‍යයට මුදාහළ පමණින් , යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය පමණින් සිනමාකරුවෙක් වෙන්න බැහැ. සමහර අය හිතනවා තමන්ගේ යූ ටියුබ් එක විශාල පිරිසක් නරඹා ඇති නිසා එය සුදුසුයි කියල සිනමා සහ ටෙලිනාට්‍ය නිර්මාණකරුවෙක් වෙන්න. සිනමාව කියන්නේ පුළුල් ක්ෂේත්‍රයක්. ඒ ගැන නිසි අවබෝධයක් නොමැතිව කරන නිර්මාණ නිසා හරවත් නිර්මාණයකට තියෙන තැනත් නැති වෙනවා.
නිෂ්පාදකයෙක් ලෙස යන ගමනේදී බොහෝ බාධකවලට ලක්වන බවද ඔහු පැවසීය. ඒ ගැන ෂමාල් මෙසේ අදහස් දැක්වීය.
නිෂ්පාදකයෙක් කියන්නේම අවදානමක් දරන පුද්ගලයෙක්. මම ආපු මේ ගමන් මඟේදී අත්දැකීම් රාශියක් ලැබුවා. වැටෙන්න තියෙන උපරිම තැනට මමත් මගේ යාළුවත් වැටුණා. ඒත් අපි සැලුණේ නැහැ. ඒ වෙලාවේ අපි දෙන්නට අපි දෙන්නා විතරයි හිටියෙ. සමහර අවස්ථාවන් තිබුණා කරපු වැඩ අවසන් කරගන්න බැරුව. මුදල් නොමැතිකම නිසා. මම මේ දේ කියන්නෙ කා එක්වත් අමනාපයක් ඇතිව නෙවෙයි . අධ්‍යක්ෂකවරු වුණාම නිෂ්පාදකයාවත් රැකගත යුතුයි. ඒත් ඇතැම් අවස්ථාවල අධ්‍යක්ෂකවරු චිත්‍රපටය අවසන් වුණාට පසු නිෂ්පාදකයාව අමතක කරනවා. සුළු ප්‍රමාණයක් තමයි නිෂ්පාදකයාවත් රැකගෙන කටයුතු කරන්නේ. නිෂ්පාදකයා රැකගන්න නව ක්‍රමවේදයක් සකස්විය යුතුයි.
මම මේ කියන දේ සත්‍යයක්ද බලන්න, හැකිනම් චිත්‍රපටයක් කරන්න ආයෝජනය කරන්න. එවිට ඔබට තේරුම් යයි නිෂ්පාදකයා ගන්න අවදානම කොතරම් ද කියලා. ඇත්තටම සිනමාවේ ප්‍රශ්න තියෙනවා. ශාලා ප්‍රශ්න, මණ්ඩලවල තිබෙන ප්‍රශ්න නිසා සිනමාකරුවන් කලකිරීමකට පත්වෙලා ඉන්නවා. එසේ වියයුතු නැහැ. සිංහල සිනමාව රැක ගන්න නම් නිසි ප්‍රමිතියක් අනුව සිනමාව පවත්වාගෙන යන්න ක්‍රමවේදයක් සකස් විය යුතුයි කියලා මම කියන්න කැමතියි නිෂ්පාදකයෙක් විදිහට මම කාටවත් ණය නැහැ.හැබැයි මට ණය නොගෙවපු අය ඉන්නවා.
අද සිනමාව, ටෙලි නාට්‍ය කලාවට පිවිසෙන රංගන ශිල්පි ශිල්පිනියන් ගැනත් යමක් කිව යුතුයි. මෝස්තර නිරූපණය කළ පමණින් ලස්සන වූ පමණින් රංගනයට පිවිසෙන්න බැහැ. ඒ ගැන දැනුමක්, පුහුණුවක් තිබිය යුතුමයි. ඒත් නවකයින් ඒ ගැන හිතන්නේ නැහැ. ජ්‍යේෂ්ඨයන්ට ගරු කිරීමක් නැහැ. මට වැඩ කරන්න ලැබිලා තියෙනවා රෙක්ස් කොඩිප්පිලි, ශ්‍රියාණි අමරසේන වැනි ප්‍රවීණ රංගවේදීන් සමඟ. අපි ඔවුන්ට නිසි ගරුත්වය ලබා දුන්නා. මම නම් හිතන්නේ එවැනි අය සමඟ වැඩ කිරීමට ලැබීමත් වාසනාවක්. එහෙත් එවැනි අය අතරේ ප්‍රවීණයන්ට ගරු කරන දක්ෂ, රංගන හැකියාවන් ඇති තරුණ ශිල්පීන් පිරිසකුත් ක්ෂේත්‍රයේ ඉන්නවා.
ෂමාල් ඩිල්ෂාන් යනු සිනමාව, ටෙලි කලාව පිළිබඳ දැනුම් තේරුම් ඇති නිෂ්පාදකවරයෙක්. ඔහු වෘත්තීය වශයෙන් යොමු වී සිටින්නේද එවැනිම ක්ෂේත්‍රයකයි. ඒ පිළිබඳ තවත් තොරතුරු ඔහු සරසවිය කතාබහේදී පවසා සිටියේය.
මම නිෂ්පාදකවරයෙක් වශයෙන් කටයුතු කරන අතරම ඉඹ්ඊ ර්‍ථඥධ බම හි චිත්‍රපට අංශයට සම්බන්ධ රැකියාවක නිරත වෙලා ඉන්නවා. ඒ නිසා මගේ වැඩි සම්බන්ධතා තිබෙන්නේ සිනමා නිෂ්පාදකවරු සහ අධ්‍යක්ෂවරු සමඟ මගේ වෘත්තීය පැත්තෙන් කළහැකි දෙයින් මම ඔවුන්ට උදව් කරනවා.
අපේ ඉඹ්ඊ ර්‍ථඥධ බම මඟින් මලයාලම්, තෙළිඟු චිත්‍රපට දිනපතා විකාශය කෙරෙනවා. මලයාලම් චිත්‍රපට අද වනවිට බොහෝ ඉදිරියට ඇවිත් තියෙනවා. ඊට හේතුව ලෙස මා දකින්නේ එහි ලස්සන කතාවක් ගැබ්වෙලා තියෙනවා. සාම්ප්‍රදායික කතා වට්ටෝරු එහි නැහැ. මලයාලම් චිත්‍රපට ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දැනෙනවා. එම චිත්‍රපට අපිට බොහෝ සමීපතාවයක් තියෙනවා. ඒ තත්වයටම අපේ සිනමාව පත්කරන්න අපිටත් පුළුවන්. ලංකාවේ දක්ෂ තරුණ නිර්මාණකරුවන්, දක්ෂ පිටපත් රචකයන් ඉන්නවා. ඔවුන්ට ඉදිරියට එන්න අතහිත දියයුතුයි.
ඉදිරියේදී මම තවත් සිනමාපටයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගේ ඊළඟ ටෙලි නාට්‍යයත් දෙරණ නාලිකාව සමඟ එකතු වෙලා කළ නිර්මාණයක්. තවමත් නමක් යොදලා නැහැ. එය ප්‍රේක්ෂකයන්ට ලස්සන විනෝදාත්මක ටෙලි නාට්‍යයක් වේවි.
ෂමාල් ඩිල්ෂාන් තරුණ නිෂ්පාදකවරයා සමඟ අදහස් හුවමාරු කරගැනීමේදී ඔහු සිනමාවට, ටෙලි නාට්‍යයට මහත් සේ ආදරය කරන චරිතයක් බවට සනාථ විය. වත්මන් සිනමාවට, ටෙලි කලාවට අවශ්‍ය මෙවැනි තරුණ නිෂ්පාදකවරු සිටීම සිංහල සිනමාවට, ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට මහත් රුකුලකි.
එහෙත් බාධක නිසා, කලකිරීම්වලින් තොරව නිෂ්පාදකයාට සිනමාවේ නියැළීමට ඔවුන්ට ඉඩහසර ලබාදිය යුතුයි. ඔහු පවසන පරිදි නිෂ්පාදකවරුන් රැක ගැනීමට ද නිසි ක්‍රමවේදයක් සැකසිය යුතුය.
දඟකාර තරුණ වියේදීම සිංහල සිනමාවට නිෂ්පාදකවරයෙකු ලෙස දායකත්වය ශක්තිය සැපයු ෂමාල් ඩිල්ෂාන් …..
ඔබට සරසවිය පුවත්පතින් සුබ පැතුම් !
නයනාංජලි දෙහිපිටිය