පසුගිය දා පැවති රයිගම් ටෙලි සම්මාන උලෙළේදී හොඳම ඒකාංගික ටෙලිනාට්‍යයට හිමි සම්මානය හිමිවූයේ ඔහුටය. එහිදී ඔහුගේ නිර්මාණ ද්විත්වයක් සමඟ විශිෂ්ට ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයකු වන ආනන්ද අබේනායකගේ ටෙලිනාට්‍යයක් ද නිර්දේශිත වී තිබුණි. ආනන්ද අබේනායකයන් වැනි අධ්යක්ෂවරයකු සමඟ නිර්දේශ වීමම සම්මානයක් ලබාගැනීමක් හා සමාන යැයි මොහු සෑමවිටම ප්‍රකාශ කරනුයේ සිය නිහතමානීත්වය විදහා දක්වමිනි. ඔහු තරුණ, දක්ෂ නිර්මාණශීලී මෙන්ම නවකයන්හට අතහිත දෙන නිහතමානී අධ්යක්ෂවරයකු වන දිලුක ප්‍රසාද් ගුණතිලකයි. වසර ගණනක් පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් අඛණ්ඩව ටෙලි චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් රූපවාහිනී ප්‍රේක්ෂකයාහට නැවුම්, හරවත් රසවින්දනයක් ලබාදීමට ඔහු සමත් වූයේය. අද වනවිට යූටියුබ් නාළිකාවක් සඳහා ටෙලි චිත්‍රපට තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වන මොහු අධ්‍යක්ෂණය කළ ප්‍රාසංගික ටෙලිනාට්‍යය ද ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලඳගත් බව නොරහසකි. “අළු බඳුන, කළු සෙවණැල්ල, සයුරි” ඊට උදාහරණ ලෙස පෙන්වාදිය හැකියි. ඒ අතරින් “අළු බඳුන” ටෙලිනාට්‍යය ප්‍රේක්ෂක මතකයෙන් කිසිදා අමතක නොවනුයේ එය මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයාගෙන් 90%ක්ම ආදරයෙන් වැලඳගත්තා පමණක් නොව එකී නිර්මාණය මුළු රටේම කතාබහට ලක්වූ නිර්මාණයක් වීම හේතුවෙනි. මෙවර රයිගම් ටෙලි සම්මාන රාත්රියේදී පමණක් නොව මීට පෙර ද කිහිපවරක්ම ටෙලි සම්මාන උළෙලයන්හිදී දිලුක ප්‍රසාද් සම්මානනීය විය. මෙවර රයිගම් ටෙලි සම්මානය පිළිබඳවත් සිය නිර්මාණකරණය පිළිබඳවත් අදහස් දැක්වීමේ අරමුණින් හෙතෙම සරසවිය හා මෙසේ එක්වූයේය.
ඉකුත්දා පැවති රයිගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම ඒකාංගික ටෙලිනාට්‍යයට හිමි සම්මානය ලබාගත්තේ ඔබයි…?
ඔව්, ඇත්තටම ඒ ගැන අවංකවම සතුටුයි. ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වූ “මොහොතකට පෙර” ඒකාංගික ටෙලිනාට්‍යය වෙනුවෙන් මට ඒ සම්මානය හිමිවුණේ. මම එහි අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් දායකවුණා. මෙම සම්මාන උලෙළ පිළිබඳ සුවිශේෂී දෙයක් කියන්න කැමැතියි. මෙහිදී මගේ ඒකාංගික ටෙලි නිර්මාණ දෙකක් සමඟ ආනන්ද අබේනායක මහත්තයාගේ ටෙලි නිර්මාණයකුත් නිර්දේශ වුණා. ආනන්ද අබේනායක කියන්නේ ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ දැවැන්ත, විශිෂ්ට අධ්යක්ෂවරයෙක්. ඔහු වැනි දැවැන්තයකු සමඟ මගේ නම නිර්දේශ වීමම සම්මානයට පාත්රවීමක් හා සමානයි. අනෙක් කාරණය වන්නේ රයිගම් ටෙලි සම්මාන උළෙලට ඒකාංගික ටෙලිනාට්‍ය 46ක් ඉදිරිපත් කර තිබුණා. ඒ වෙනුවෙන් මම ඉදිරිපත් කළ මගේ අධ්‍යක්ෂණයෙන් යුතු ඒකාංගික ටෙලිනාට්‍ය දෙකක්ම නිර්දේශ වීම මා ලැබූ ජයග්‍රහණයක් විදිහට මම දකිනවා…ඒ පිළිබඳ නිහතමානී සතුටක් තිබෙන්නේ
සම්මානය ලද මොහොතේ දැනුණු හැඟීම මොනවගේද ….?
ඒ මොහොතේ ලොකු සතුටක් දැනුණා කිව්වොත් නිවැරදියි.
මීට පෙරත් ඔබ සම්මානිත වූවා නේද….? 2017 වසරේදී රයිගම් ටෙලි සම්මාන උලෙළේදීත් වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලිනාට්‍යයට හිමි සම්මානය මට ලැබුණා. ඒවගේම වසර කිහිපයකදීම වසරේ විශිෂ්ටතම ටෙලි චිත්‍රපටයට හිමි සම්මානයත් මට හිමිවුණා. රාජ්‍ය සම්මාන උලෙළේදී දෙවතාවක් සම්මානයට ලක්වුණා.
කලක් පුරා ඔබ ඒකාංගික ටෙලි චිත්‍රපට මාලාවක් අධ්‍යක්ෂණය කළා. ඒ වටා විශාල ප්‍රේක්ෂක පිරිසකුත් හිටියා….?
ඔව්, අදටත් ඒ ප්‍රතිචාර මට ලැබෙමින් පවතිනවා. විශේෂයෙන්ම පසළොස්වක පෝය දිනට විකාශය වූ, මා අධ්‍යක්ෂණය කළ ටෙලි චිත්‍රපට මාලාවට නව ආකෘතියක් එකතු කිරීමට මා සමත්වුණා කියලා මම සිතනවා. එයට ගොඩක්ම හේතුසාධක වුණේ මගේ අධ්යක්ෂණයට ලක්වුණු තිර පිටපත්. හොඳ මට්ටමේ තිර පිටපත් රැසක්ම එහිදී අධ්‍යක්ෂණය කිරීමට මට හැකිවුණා. ඒ වටා හොඳ ප්‍රේක්ෂක පිරිසක් සිටියා. ඒ ටෙලි චිත්‍රපට මාලාව ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට වගේම විචාරක ඇගැයුමටත් ලක්වුණා
කලාවට අවතීර්ණ වූ අයුරු සිහිකළොත් ….? උසස්පෙළ අධ්‍යාපනයෙන් අනතුරුව මම සිනමාකරණය පිළිබඳ පාඨමාලාවක් හැදෑරුවා. ඉන් පසුව සිරස මාධ්‍ය ආයතනයට සම්බන්ධ වී කාලයක් රැකියාව කළා.. පසුකාලීනව ඉන් ඉවත්වී පූර්ණකාලීනව ටෙලිනාට්‍ය අධ්යක්ෂණයට යොමුවුණා…
අධ්යක්ෂවරයකු ලෙස ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය ගැන ඔබට යම් මතවාදයක් ඇති……?
අධ්යක්ෂවරයෙක් විදිහට මම දරන මතය මත හිඳගෙන නිර්මාණකරණයේ යෙදීමට මම සෑමවිටම කැමැත්තක් දක්වනවා. එසේ කිරීමට නොහැකිවන අවස්ථාවලදී සුදුසුම දේ ඉන් ඉවත්වීම කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා.
ප්‍රාසංගික ටෙලි නිර්මාණ රැසක් ඔබ අතින් අධ්‍යක්ෂණය වුණා. ඒ අතර සුවිශේෂී නිර්මාණත් ඇති….?
” අළු බඳුන, කළු සෙවණැල්ල, සයුරි” වැනි ටෙලිනාට්‍ය ඒ අතර සුවිශේෂී නිර්මාණ ලෙස මට දැනෙනවා. මේ
සෑම නිර්මාණයකම වගේ තිර පිටපත රචනා කළේත් මම විසින්මයි…. “අළු බඳුන” ටෙලිනාට්‍යය ලාංකේය ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයා අතර බොහෝසෙයින් කතාබහට ලක්වුණා වගේම විචාරක ඇගයුමටත් ලක්වුණා.
කලා දිවිය තුළ ගුරුතත්හිලා සැලකිය හැකි පිරිසකුත් ඔබට ඇති……?
එහිදී මෙහෙම කියන්න පුළුවන්, තිර පිටපත් රචනයේදී මට මුලින්ම ඒ පිළිබඳ මුලකුරු කියාදුන්නේ ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා සහ වසන්ත ඔබේසේකර මහතායි. අධ්‍යක්ෂණය නමැති ගැඹුරු විෂය ක්ෂේත්රය පිළිබඳ ආචාර්ය තිස්ස අබේසේකරයන්ගෙන් මනා අවබෝධයක් ලබාගැනීමට මට අවස්ථාව ලැබුණා. එවැනි අවස්ථා ලැබීම මගේ වාසනාවක් ලෙස මම සලකනවා. සහාය අධ්යක්ෂවරයෙක් විදිහට මම වැඩි කාලයක් කටයුතු කළේ සුජිත් පරණවිතාන මහත්තයා සමඟයි. එම කාලය තුළ ලද අත්දැකීම් මගේ නිර්මාණකරණයට බොහෝසෙයින් ඉවහල් වුණා කිව්වොත් නිවැරදියි.
ඔබේ නිර්මාණකරණයට ආභාසය ලද දෙස් – විදෙස් නිර්මාණ පිළිබඳ ආවර්ජනය කරනවානම්…..?
ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ සිනමා අත්පොත වූ ඕෂන් වේල්ස්ගේ “සිටිසන් කේන්” චිත්‍රපටය ඔහු විසින් මට අධ්‍යයනය කිරීමට ලබාදුන් මුල්ම සිනමා කෘතියයි. සිනමාව පිළිබඳ, නිර්මාණකරණය පිළිබඳ උනන්දු වන යම් කෙනෙක් ඉන්නවානම් නැරැඹිය යුතුම නිර්මාණයක් ලෙස මම “සිටිසන් කේන්” සිනමා කෘතිය දකිනවා. එසේම අමෙරිකන්, රුසියන්, ප්‍රංශ සිනමා කෘති අධ්‍යයනය තුළින් මම සිනමාව පිළිබඳ යම්තාක් ගැඹුරින් අධ්‍යයනයක නිරත වී තිබෙනවා. එම නිර්මාණ තුළින් මගේ කලා දිවිය යම්තාක්දුරකට පෝෂණය වූවා යැයි සිතනවා
නිර්මාණයකදී නළුනිළියන් තෝරාගැනීමේදී (ඛ්චඵබඪදඨ) ඔබේ භූමිකාව කවරාකාරද ….?
මම රචනා කළ පිටපතක් නම්, ඇත්තටම ඒ චරිත සඳහා මගේ සිතේ මැවුණු රංගන ශිල්පීන් තෝරාගැනීමට මම පෞද්ගලිකව වඩාත්ම කැමැතියි
ඔබ අධ්යක්ෂවරයකු ලෙස නිෂ්පාදකවරයාව දකින්නේ කෙසේද …..?
ඇත්තටම නිර්මාණකරණයේදී අධ්යක්ෂවරයාට පූර්ණ නිදහස නිෂ්පාදකවරයා ලබාදෙනවා නම් එහිදී වඩාත් සාර්ථක නිර්මාණයක් බිහිකිරීමට අවස්ථාව උදාවෙනවා . නිෂ්පාදකවරයාගේ පිරිවැය පිළිබඳ වගකීම අධ්යක්ෂවරයකු විදිහට ඕනෑම අවස්ථාවක බාරගන්න මම සූදානම්
1990 දශකයේ බිහිවූ විශිෂ්ට ටෙලි නිර්මාණ සහ අද බිහිවන මෙගා ටෙලි අතර වෙනස කොහොමද දකින්නේ……..?
කාලයත් සමඟ ඕනැම දෙයක් යාවත්කාලීන වීම සාමාන්‍ය දෙයක්. තවත් වසර 10කට පමණ පසු කලකදී බිහිවෙන නිර්මාණ දැන් නිර්මාණය වෙන නිර්මාණවලට වඩා හාත්පසින්ම වෙනස් වෙන්නත් පුළුවන්
යූටියුබ් සඳහා ද ඔබ නිර්මාණකරණයේ යෙදෙනවා නේද……?
“එචඵභඬඪ ර්ථපඪථඥ ” නමින් යූ ටියුබ් නාළිකාවක් ඔස්සේ මේ වනවිට මම නිර්මාණ කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා . ඉදිරියේදී ටෙලි චිත්‍රපට මාලාවක් ඒ තුළින් ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතිනවා.
රූපවාහිනී නාළිකා අතර අද තිබෙන ටෙලිනාට්‍ය තරගය ගැන මොකද සිතෙන්නේ ………?
ඒ විදිහේ තරගකාරී රටාවක් පැවතීම නිර්මාණකරණයේ යෙදෙන අයට නව මානයක් ඔස්සේ කල්පනා කරලා නිර්මාණකරණයේ යෙදෙන්න යම් පෙලඹවීමක් ඇතිකරවනවා. ඒනිසා එවැනි තරගකාරී බවක් පැවතීම ඇත්තෙන්ම හොඳයි. එය සුබවාදී ලෙස මම දකිනවා
වඩාත් කැමැත්තක් දක්වන්නේ ප්‍රාසංගික ටෙලිනාට්යකරණයටද? ඒකාංගික ටෙලිනාට්‍ය අධ්යක්ෂණයටද ? ටෙලි චිත්‍රපට නිර්මාණයටද….?
ප්‍රාසංගික ටෙලිනාට්‍යයක් නිර්මාණය කිරීමට ඇත්තෙන්ම කැමැත්තකින් සිටිනවා…ඒ සඳහා පිටපතක් මේ වෙනකොටත් සූදානම් කරගෙන ඉන්නේ. හොඳම ඒකාංගික ටෙලිනාට්‍යය, හොඳම ටෙලි චිත්‍රපටය යන දෙඅංශයෙන්ම මම සම්මාන ලබාගෙන තිබෙනවා. ප්‍රාසාංගික ටෙලි නිර්මාණයක් වෙනුවෙන් සම්මානයක් ලබාගැනීමේ සිහිනයක් ඇත්තටම මට තිබෙනවා
සිනමාව තුළ ඔබේ භූමිකාව මොනවගේද ……?
ඒ වෙනුවෙන් තවමත් අවස්ථාවක් උදාවුණේ නැහැ. ඉදිරියේදී ඒ අවස්ථාවත් උදාවේවි කියන සුබවාදී බලාපොරොත්තුවක් තිබෙනවා
වේදිකාවට ගොඩවෙන්න අදහසක් නැද්ද …..?
වේදිකා නාට්‍යයක් නිර්මාණය කිරීමට කිහිප අවස්ථාවක්ම උත්සාහ කළා. එහෙත් ඒ අවස්ථාවලදී ඒ සඳහා අවශ්‍ය කාලය සොයාගැනීමට අපොහොසත් වීම නිසා යම් යම් පසුබෑම්වලට ලක්වුණා.
නිෂ්පාදන අර්ථපතීත්වයටත් දායක වුණා නේද….?
මේ වනවිට මම ඒකාංගික ටෙලිනාට්‍ය සහ ටෙලි චිත්‍රපට විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබෙනවා
වත්මන් දේශීය සිනමාව ගැන සරලවම කීවොත් …..?
මේ වනවිට සිනමා නිර්මාණ රසවිඳීන්න විශාල පිරිසක් සිනමාශාලා වෙත පැමිණෙමින් සිටිනවා. ඒක යහපත් ප්‍රවණතාවක් . ඒවගේම විවිධ ශානරයේ නිර්මාණ බිහිවෙමින් පවතිනවා. එසේ සිදුවිය යුතුයි. සිනමාව මේ යැයි පවසා එකම ශානරයේ නිර්මාණ බිහිනොවිය යුතුයි…
ක්ෂේත්රයට එන නවකයන් ගැන මොකද සිතෙන්නේ…..?
දක්ෂතාවන් සහිත බොහෝ දෙනෙක් ක්ෂේත්රයට අවතීර්ණ වෙමින් ඉන්නවා. ඒවගේම ඔවුන්ට අවස්ථා බොහෝමයක් උදාවෙලත් තිබෙනවා.
නළු භූමිකාවට ආරාධනා ලැබුණේ නැද්ද …?
අපොයි නැහැ.
මෙරට ටෙලි- සිනමා සම්මාන උලෙළයන් ගැන ඔබේ මතය මොනවගේද කීවොත් ….?
මොනයම් හෝ ආකාරයකින් නිර්මාණය ඇගයීමකට ලක්කරන සම්මාන උලෙළක් පවත්වනවා නම් අපි ඒ පිළිබඳ ගෞරව කළ යුතුයි. කොහොමටත් සම්මාන උලෙළක් තුළින් සෑම කෙනෙක්ගේම සිත් සතුටු කරන්න අපහසුයි . සම්මානයට පාත්රවූ අය සතුටුවෙද්දී සම්මානය නොලැබුණු අය කනගාටු වෙනවා. ඒක තමයි ස්වභාවය
ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන යම් ඉඟියක් දුන්නොත් ….?
ප්‍රාසංගික නිර්මාණයක් වගේම සිනමා නිර්මාණයක් කිරීමට මේ හොඳම කාලය කියා මම විශ්වාස කරනවා. ඒ කාර්යයන් දෙකම සඳහා මගේ යම් සූදානමක් තිබෙනවා.
ඒ සඳහා නිෂ්පාදනයෙන් දායක වෙන්න ඕනෑම කෙනෙක්ට අවස්ථාව තිබෙනවා. කලාවට කැමැති ඕනෑම කෙනෙක්ට මගේත් එක්ක එකතු වෙලා මේ නිර්මාණ සඳහා නිෂ්පාදකවරුවන් විදිහට වැඩ කරන්න පුළුවන්.
මනෝජ් රුක්මල් කුමාරසිංහ