Home » නිර්මාණ මගේ කියලා බදාගන්න මම කැමැති නැහැ

නිර්මාණ මගේ කියලා බදාගන්න මම කැමැති නැහැ

ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක

by Thanushika
August 1, 2024 12:30 am 0 comment

ඇයි කළු අයියා ඔච්චර කළු? රේණුකා පවා අසන්නට පුරුදුව සිටියාය. ඇගේ ළමා බැල්ම ඔහුගේ නොරිස්සුම අකා මකා දමයි.වයසින් හා සිරුරින් වැඩුණද ඇගේ සිත එක් නිශ්චිත වකවානුවකට පසු නොවැඩෙන සෙයකි.

‘‘ නංගී….යි කියන්නට ඔහු බෙහෙවින් ආශා කළේය.එහෙත් ඒ කරුණාපාලට නොඇසෙන්නටය.

සුනිමල්ට හෝ රේණුකාට අයියේ … නංගියේ කියා කතා කරනු ඇසුණහොත් ඔහු පරල වෙයි.

උඹට මෙහේ ඇති අයියෙක් නංගියෙක් නෑ…. තේරුණාද? ඒ ටික හොඳට මතක තියාගනිං….. යි කරුණාපාල කියා ඇත්තේ වරක් දෙවරක් නොවේ.

ඔහොම කතා කරන්න එපා …. අනේ දෙයියනේ ඔහොම කතා කරන්න එපා. ඒ තුන්දෙනාම මගේ බඩිං වැදු එකේ ඔහොම අපරාද කතා කියන්ඩ එපා” යි පළිගු මැණිකේ ආයාචනා කරන්නේ ඉවසිය නොහැකි සංවේගයකිනි.

‘‘තුන් දෙනාම වැදුවේ ඔහේ තමා. හැබැයි ඔය කළු දෑවා මගේ දරුවෙක්ද? මට ජාතක වෙච්ච එකෙක්ද?……..

කාට ජාතක වුණත් මේ කියන ‘කළුවා’ ගැන මේ දිනවල කා අතරත් කතා බහ වෙනවා. ඒ මේ දිනවල ජාතික රූපවාහිනයෙන් විකාශය වන ‘වියළි’ ටෙලි නාට්‍යය නිසා. ටෙලි නළුව තුළ කළුවා මැවෙන්නට කලින් කළුවාට රුව ගුණ තේජස දුන් තැනැත්තියක් වෙයි. ඇය කළුවා නිර්මාණය කරනුයේ ඇගේ ‘දඩමංකඩ’ නවකතාව ඔස්සේය. ඇය ශාන්ති දිසානායකය. කළුවා වැනි තවත් බොහෝ චරිත අපේ ආලින්දයට රැගෙන එන්නට ඈ නොයෙක් වර සමත් වූවාය. ඇගේ නිර්මාණ ජීවිතේ පුරා ඇත්තේ විවිධාකාර ගුණාංගයන්ගෙන් සමන්විත වූ අපූරු මිනිසුන්ය. අව්‍යාජ ගැහැනුන්ය. විටෙක ඔවුන් සතුවන ගුණාංගයන් පිළිබඳ අපට සිතා ගන්නට බැරිය. තවත් විටෙක ඇගේ ගැහැනුන් ගැහැනුකම ඉක්මවා යන්නියන්යැයි සිතන තරමට හිතුවක්කාරය. එහෙත් මේ ගැහැනුන් මිනිසුන් තුළින් ඇය කියන්නට යන කතාව අමුතුය. හැමදාමත් අමුතු දේවල් කරන්නට, අමුතු දේවල් දකින්නට, අමුතු දේවල් සොයා යන්නට කැමැති ඇය සමඟ අපේ පිළිසඳර ඇගේ දඩමංකඩ වෙනුවෙනි. ඉදිරියේදි අපේ ඇස් ඉදිරිපිට මැවෙන තවත් කෙතෙකුත් ගැහැනු මිනිසුන් වෙනුවෙනි.

‘‘වියළි නිර්මාණය වෙන්නේ මගේ ‘දඩමංකඩ පොතෙන්. මේ පොත ලියන්න හේතුවෙන්නේ තවත් අපුරු සිද්ධියක් නිසා. මීට කලින් මගේ අතින් රචනා වුණු ‘ගිරිදේවි’ පොත ටෙලි නිර්මාණයක් බවට පත්වුණා. එහි ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මගේ වීඩියෝ දර්ශනයක් ගන්න ඕන වුණා. ඒ නිෂ්පාදන කණ්ඩායම අපේ ගෙදර ආවම, ලස්සන පරිසරයක මේක කරන්න ඕන නිසා අපි කලා ඔයට යන්න තීරණය කළා. අපිට කලා ඔය බොහොම කිට්ටුයි. අපි සියලු දෙනාම කලා ඔයට ගිහින් මේ වීඩියෝ දර්ශනය කරන්න සූදානම් වෙනකොට මම ලිස්සලා වැටුණා. ඒ මොහොතේ මට අමාරුවක් නැති වුණාට පස්සේ බලනකොට මගේ ඉල ඇට හතරක් බිඳීලා එකතැන් වෙලා ඉන්න සිද්ධ වුණා. මේ සිද්ධිය වුණ ගමන්ම තමයි කෝවිඩ් ප්‍රශ්නයත් ආවේ. ඊට පස්සේ ඇඳීරි නීතිය දාලා කොහෙටවත් යන්න එන්න බැරි වුණා. මට සිද්ධ වුණේ ප්‍රතිකාර අරගෙන ඇඳටම වෙලා ඉන්නයි.

අනිත් පැත්තෙන් මේ ඉල ඇට බිඳීම හරිම වේදනාත්මකයි. ගෙදර වැඩ සියලු දේම මගේ මහත්මයා සහ දරුවෝ කරනවා. නමුත් මට ඇඳට වෙලා ඉන්න අමාරුයි මේ වේදනාවත් එක්ක. ඉතින් මම හිතුවා මේ වේදනාව අමතක වෙන්නත් එක්ක මොනවා හරි ලියන්න ඕන කියලා. ඒ අනුව තමයි මම දඩමංකඩ ලියන්න පටන් ගත්තේ.

අකුරු වලට ඇබ්බැහිවුණ ජිවිතවලට වේදනාවලට වේදනා නාශක වෙන්නෙත් අකුරු. ශාන්ති ගේ ජිවිතේත් එහෙමයි. දුක, සතුට, ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය, වගේම වේදනාවටත් ඇගේ එකම බෙහෙත අකුරු එක්ක ගනුදෙනු

කිරීමය. ශරීරයෙන් නැඟඑන දරුණු වේදනාවන් මධ්‍යයෙන්

ඇගේ මනසේ මැවුණු චරිත අද රූපවාහිනි මාධ්‍යයෙන් ජීවමාන වී ඇත. ‘ජාතියක් ජම්මයක් නැති අවජාතක පරයා‘ යනුවෙන් ගැරහුම් ලබන කළුවේ, වගේම අප්‍රමාණ දාරක ස්නේහය රහසේම සඟවාගෙන ස්වාමිපුරුෂයාගේ ගැරහුම් විඳීන පළිගුමැණිකේ, කිරිනෝනි, කරුණාපාල, හීනා, මාලා, නයෝමි ආදීන් බිහිවනුයේ බිඳුණු ඉල ඇට මධ්‍යයේ ශාන්තිට දැනුණ මේ වේදනාවල් අස්සේය. අද අපි ඇගේ දඩමංකඩ නවකතාවෙන් මෙන්ම, රූපවාහිනියේ දිගහැරෙන ‘වියළි’ ටෙලිනාට්‍ය ඔස්සේද විඳීනුයේ එදා ඈ තුළ මැවුණු ඒ අනේක විධ ගැහැනු හා පිරිමි චරිතය.

‘‘ඇත්තටම දඩමංකඩේකළුවා වැනි චරිත මම දැකලා තියෙනවා. අපි බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ඒ වගේ චරිත ඕන තරම් අපේ සමාජයේ තියෙනවා. පිතෘත්වය පිළිබඳ සැක සංකා තියෙන දරුවෝ ඉන්නවා. සමහර වෙලාවට ඒක කිසිම පදනමක් නැතුවත් එනවා. සමහර අවස්ථා තිබෙනවා පරම්පරා හතක ජාන ඉස්මතු වෙන අවස්ථා. ඒ අනුව කෙනෙකුට ඈත පරම්පරාවක කෙනෙකුගේ පෙනුම එන්න පුළුවන්. එහෙම නැතුව වෙනත් සබඳතා නිසාත් ඒ පෙනුම එන්න පුළුවන්. මම දැකලා තියෙනවා අපේ ගම් ප්‍රදේශවලට ගොයම් කපන කාලවලට ඈත ප්‍රදේශවලින් විවිධ පුද්ගලයින් එනවා.හුඟක් වෙලාවට අපේ පැත්තට එන්නේ නැඟෙනහිර පැත්තෙන්.ඒ අය දවස් ගණන් ඇවිත් ඉඳලා වැඩ කරලා මුදල් හොයාගෙන යන අවස්ථා තිබෙනවා. සමහර විට එවැනි අවස්ථාවල වෙනත් සබඳතා ඇතිවීමේ ඉඩ කඩත් තිබෙනවා. ඉතින් මම එවැනි අවස්ථා දැකලා තිබෙනවා. බොහෝ වෙලාවට එවැනි අවස්ථාවල ඒ දරුවා ප්‍රතික්ෂේප වෙනවා. ඇත්තටම ඒ වගේ අවස්ථාවක් කියන්නේ හරිම සංවේදි අවස්ථාවක්. මේ අත්දැකීම් සමඟ තමයි මම දඩමංකඩ ලියන්න පටන් ගත්තේ. කොහොම හරි මට මේ පොත ලියලා ඉවරවෙනකොට සනීපත් වුණා. මොකද මාස දෙකක් යනකම් මට වෙන වැඩක් කරගන්න බැරිවුණා. ඒ නිසා ඉක්මනින්ම මේ පොත ලියලා ඉවර කළා. ඇත්තම කිවුවොත් මේ කතාව නිසා මගේ ශරීරයෙන් නැඟුණු බොහෝ වේදනා මට අමතක වුණා. සමහර අවස්ථාවල වේදනාව වැඩියෙන් දැනෙනකොට බෑ මෙක මම නවත්වනවා කියලත් හිතුණා. නමුත් ටිකෙන් ටික චරිත ගොඩ නැඟෙනවිට ඒ චරිත වලින් බේරුමකුත් මගේ හිතට තිබුණේ නෑ. චරිත හිමින් හිමින් ඇවිත් මගේ කනට කොඳුරන්න ගත්තා ලියන්න ලියන්න කියලා.

ශාන්ති ගේ නිර්මාණ ගොන්න තුළ ඈ ආදරය කරන චරිත ගොන්නක් ඇත. ඒ ඈ ඒ තරමටම බොහෝ මිනිසුන් සහ ගැහැනුන් ජිවමාන කර ඇති නිසා . එහෙත් දඩමංකඩේ නිර්මාණය කරන ගැහැනුන් සහ මිනිසුන් අතරින් ඇගේ හිත වඩාත්ම දිනාගෙන ඇත්තේ මාලා විසින්ය. බොහෝ විට මෙය කියවන අපගේ හද සන්තානයේ වැඩිපුර තැනක් හිමි වන්නේ කළුවාටය. එහෙත් මේ චරිතයන්හි සැබෑ අයිතිකරුවා වන ශාන්ති පෙම් බඳීන්නේ මාලාටය. ඒකටත් ඇයට හේතුවක් ඇති?

‘‘ ඇත්තටම මාලා ගේ චරිතයට මම ගොඩාක් කැමැති වෙන්නේ ඇය ප්‍රේමය වෙනුවෙන් අති විශාල කැප කිරීමක් කරපු කාන්තාවක් නිසා. ඇය විවාහ වෙන්නේ අහිකුණ්ඨික තරුණයෙක් සමඟ.ආදරය වෙනුවෙන් ඇය විශාල පරිත්‍යාගයක් කරලා එයා යන්නේ ලොකු අනතුරකට. අවදානමක් ගන්නේ. මාලා එයාගේ අයියා ළඟ හොඳ ජීවිතයක් ගෙනගිය තරුණියක්. අහිගුණ්ඨික ජීවිතයක් මාලා බාර ගන්නේ අර තරුණයට තිබුණ ආදරේ නිසයි. එහෙම නැතුව ඇයට වෙන කිසිම දෙයක් මේ තරුණයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අඩුම තරමින් ඉන්න ස්ථිර වාසස්ථානයක් වත් ඔහුට නෑ. ඒ සියල්ල දැනගෙන තමයි මාලා මේ අහිකුණ්ඨික තරුණයා සමඟ පැනලා යන්නේ. නමුත් අවසානයේදි ඒ තරුණයාත් මාලාට ද්‍රෝහි වෙනවා. මාලා රැවටීමකට ලක් වෙනවා. ඒ කේන්තිය නිසාම තමයි මාලා කැලය ඇතුලේ ජීවත් වෙන්නේ. ඇයට ආපසු ගෙදර යන්න පසුබිමක් තිබුණෙ නෑ. එයා රැවටුණා කියන එකත් දරාගන්නේ හරිම කේන්තියකින්. ඒ සියල්ල ඇය පිරිමහා ගන්නේ කැලේ ඇතුලේ ජීවත් විමෙන්. ඇත්තටම මම මාලාට ආසයි.

ශාන්තිගේ කාන්තා චරිත තුළ බොහෝ විට තිබෙන්නේ අමුතු ගතිගුණ. ඒ අමුතු ගතිගුණ මවන්නේ කොහොමද කියලා වෙලාවකට අපට හිතාගත නොහැකිය. නමුත් ඇගේ ජිවිතයේ බොහෝ විට ඇ විඳී සංවේදනාවන් මේ බොහෝ චරිත වලට හේතු වන්න ඇති කියා අපිට සිතෙයි.

මම දකින ගැහැනු චරිත අමුතුයි තමයි. විශේෂයෙන් පළිඟු මැණිකා වගේ චරිත. දැන් අපි ගැහැනු ළමයි නව කතාවේ ‘කුසුම් වගේ චරිතයක් ගමු. එයා පුදුම තරමින් ඉවසන චරිතයක්. එයා එයාගේ ජීවිතේ සතුට පිළිබඳ කිසිම හැඟීමකින් කටයුතු කරන කෙනෙක් නොවෙයි. හැම වෙලාවෙම හිතන්නේ අනුන් ගැන. එයා කරන්නේ කැප කරනවා විතරයි.ගැහැනු ළමයි කියවන කාලේ මට හිතුණ දෙයක් තමයි ඇයි කුසුම් මෙහෙම ඉන්නේ? කියලා. ඒ වගේම තමයි මගේ ජීවිතයේ මට සමීප චරිතයක් වන මගේ කිරි අම්මා ගත්තොත් ඇය මීට වඩා වෙනස් චරිතයක්. ඇය අපේ කිරි අත්තා කියන කිසිම දෙයක් අහන්නේ නැති කෙනෙක්. එයා මට මතකයි මාත් එක්ක චිත්‍රපට බලන්නත් ගියා. එයා හරියට ජිවිතේ විඳපු කෙනෙක්. ඇය සාමාන්‍යයෙන් සම්ප්‍රදාය කඩාගෙන ගිය කෙනෙක්. ඒ වගේම මම දැකලා තියෙනවා සමහර අය සුරුට්ටු බොනවා. ගස් නඟිනවා. ඉතින් ඒ වගේ අය දැක්කම මට හරි ආසයි. ඒ අය කාන්තාවෝ කියලා පැත්තකට වෙලා ඉන්නේ නෑ. පිරිමි පරද්දලා වැඩ කරනවා. ඒ නිසා වෙන්න ඇති මගේ අතින් එවැනි චරිත නිර්මාණය වෙන්න ඇත්තේ. මේ වගේ චරිත දැක්කම මට හරි ආසයි. සුපුරුදු කාන්තා චරිතවලින් වෙනස්. ඉතින් මම ඒ අයට ආස වුණා. ඒ වගේම මගේ ජීවිතේ ගත්තත් අඩු වැඩි වශයෙන් මේ ලක්ෂණ තිබෙනවා. මමත් පොඩි කාලේ ඉඳන්ම හිතුවක්කාර, මුරණ්ඩු ගති තියෙන කෙනෙක්. කියන දේ අහන්නේ නැති කෙනෙක් විදියට හංවඩු ගැහුණු කෙනෙක්. මට හිතෙනවා ඒ නිසා මගේ අතින් එවැනි චරිත නිර්මාණය වෙන්න ඇති කියලා.

ශාන්ති ගේ බොහෝ නිර්මාණ කාර්යයන් ඇය අත්විඳීන, ඇය ජීවත්වන පරිසරයට සමගාමීය. බොහෝ දෙනෙක් මේ ප්‍රශ්නය ඇයට චෝදනා මුඛයෙනුත් පවසනු අපි දැක තිබේ. ඇයි ඇය මේ පරිසරයෙන් අත්මිදෙන්නේ නැත්තේ. ඇත්තටම ඇයට එවැනි අවශ්‍යතාවයක් නොමැතිද? එසේත් නොමැති නම් ඇය හිතාමතාම මේ තුළම තම නිර්මාණ කාර්යයන් එක් රැස් කරනවාද? ඒ පිළිබඳ ඇගේ අදහස වෙනමම විදියකි.

එහෙම මගේ පරිසරය තුළම ඉන්න ඕනකමක් මට නෑ. නමුත් මට වෙලාවකට හිතෙනවා ඇයි මම මගේ පරිසරයෙන් මිදෙන්නේ කියලා. මොකද මට මේ පරිසරය තුළම තව ලියන්න ඕන තරම් දේවල් තියෙනවා. මම හිතනවා මට හොඳටම ග්‍රහණය වෙන්නේ මම ඉන්න පරිසරය කියලා. මට මේ පරිසරය පාදක කරගෙන ලියන්න තව ගොඩාත් දේවල් තියෙනවා. මගේ පරිසරය තුළ වර්තමානය මගේ නිර්මාණ තුළ නෑ. මම මගේ නිර්මාණවලට මේ පරිසරය පාදක කරගෙන තිබෙන්නේ එක්දහස් නමසිය තිස් ගණන් වල සිටයි. ගොවි ජනපදයේ කාලය තමයි මගේ නිර්මාණ වල බොහොමයක් තියෙන්නේ. නමුත් දැන් මේ පරිසරය බොහොමයක් වෙනස්. වසර 2000න් පස්සේ මේ පරිසරය පාදක කරගෙන මම මුකුත් ලියලා නෑ. ඒ අනුව බලන කොට මට මේ පරිසරය පාදක කරගෙන තව කප්පරක් දේවල් ලියන්න පුළුවන්. හැබැයි මම ලියපු ‘නාඩි’ කියන පොතට මම පාදක කර ගත්තේ රත්නපුරය. කඳුකර පළාතක්. එහෙම ලියන්න බැරි කමක් නෑ පරිකල්පනය කරමින් ලියන්න පුළුවන්.

මම විශ්වාස කරන්නේ පරිසරය කුමක් වුණත්, කොතනත් ඉන්නේ ගැහැනු සහ මිනිස්සු කියන කාරණාව. අනිත් පැත්තෙන් මේ හැම දෙනාම මුහුණ දෙන ප්‍රශ්න එකයි. ජීවන අරගලය එකයි. සුඛ දෝමනස්සයන් එකයි. ඒවා ප්‍රතිනිර්මාණය කරන එක තමයි නිර්මාණ කරුවෙක් අතින් කෙරෙන්නේ. මම ජීවත්වෙන පරිසරය තුළ ඉන්න මිනිස්සුන්ට නිර්මාණකාරියක වශයෙන් මගෙන් යම්කිසි මෙහෙවරක් ඉටුවිය යුතුයි කියන කාරණාවත් මගේ හිත තුළ තිබෙනවා. මම කියන්නේ තනි පුද්ගලයෙක් වුණාට මාව නිර්මාණය වෙන්නේ ඒ හැම දෙයකින්මනේ.

ශාන්ති අතින් ලියවුණු දඩමංකඩ රූප මැවෙමින් අපේ රූපවාහිනී තිරය මත පතිත වේ. එමෙන්ම මීට ඉහතත් ඇගේ අතින් නිර්මාණය වුණු චරිත කොතෙකුත් රුපවාහිනි තිරයෙන් අපි නරඹලා ඇත්තෙමු. ඒ අතර ඇගේ වරාමල් නව කතාව ඇසුරින් කළ ‘වියසිදුර’ , හැන්දෑව නව කතාව ඇසුරින් කළ ‘හැන්දෑව’, අගිනි නවකතාව ඇසුරින් කළ ‘කවිය නුඹ’, ගිරිකුල නව කතාව ඇසුරින් කල ‘ගිරිකුළ‘, හිරුමඩල නව කතාව ඇසුරින් කළ ‘මද්දහන’, වාලුකා නව කතාව ඇසුරින් කළ ‘මහපොළොව’, ගිරිදේවි නව කතාව ඇසුරින් කළ ‘ගිරිදේවි’, පරඬැල් නව කතාව ඇසුරින් කල ‘සකර්ම’ ආදිය වේ. මේ චරිත මැවුණු නිර්මාණ කාරිය වශයෙන් ඇයටත් මේ ගැන යමක් කියන්න ඇති.

මගේ හිතේ මැවුණු දඩමංකඩ මගේ. නමුත් ඒ ඇසුරින් කෙරුණු වියලි ටෙලිනාට්‍යය එය නිර්මාණය කළ අධ්‍යෂවරයාගේ සහ ඒ නිර්මාණ කණ්ඩායමේ. ඒක සාමුහික ප්‍රයත්නයක්. ඇයි ඒ අය මගේ නිර්මාණයට සාධාරණයක් කරන්නේ. ඒ අය ඒ තේමාව අරගෙන යම් යම් වෙනස් කම් කරමින් වෙනම නිර්මාණයක් කළා. අනිත් එක මේක මාධ්‍ය දෙකක්. නවකතාවේ තිබෙන දේ එහෙම පිටින්ම අපට රූපයට ගන්න බෑ. විවිධ ප්‍රායෝගික ගැටලු තිබෙනවා. නමුත් මට හිතෙන්නේ මගේ නිර්මාණයකින් එවැනි වෙනත් නිර්මාණයක් කළාම තවත් ලොකු පිරිසකගේ දක්ෂකම් සහ ප්‍රතිභාවන් එළියට එනකොට මට ලොකු සතුටත් ඇති වෙනවා. හරියට අම්ම කෙනෙක් දරුවෝ දිහා බලනවා වගේ. ඒ මිසක් මගේ පොතේ තිබුණු අරදේ නැ. මේ දේ නෑ කියමින්, මගේ පොත වෙනස් කරලා කියමින් ප්‍රශ්න නගන්න පටු අදහස් තිබෙන කෙනෙක් නොවෙයි. මගේ නිර්මාණ ගණනාවක් ඇසුරින් මේ විදියට ටෙලිනිර්මාණ නිර්මාණය වුණා ඒ හැම නිර්මාණයක්ම සම්මානනීය වුණා. ඔවුන්ගේ ක්ෂේත්‍රෙය් ඔවුන් දක්ෂතා දක්වන විට මට ලොකු සතුටක් දැනෙනවා. නිර්මාණයක් කියන දේ පෞද්ගලිකව මගේ කියලා ගන්න හොඳ නැ. මම ලිව්වට මගේ පිටි පස්සෙන් තව කොච්චර දෙනෙක් ඉන්නවද?. ඒ හැම දෙනාටම මම ණය ගැතියි. ඒනිසා මම මගේ කියලා බදා ගන්න කැමැති නෑ. අනිත් එක නිර්මාණයක් කළාට පස්සෙ ඒක අතහරින්න ඕන. නැත්නම් ඊළඟ නිර්මාණයට යන්න බෑ.

දඩමංකඩින් පස්සෙත් ඈ නිර්මාණ කිහිපයක්ම මෙරට පාඨකයන්ට තිළිණ කළා.

ඇගේ නවතම කෘතිය ‘කන්‍යා’ ය. අවිවාහක මවක් සමාජයේ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය මෙයට පාදක කරගෙන ඇති අතර ඇගේ දුක්ඛ දෝමනස්සයන් අඩු වැඩි වශයෙන් ඈ මෙම කෘතිය හරහා ගෙනහැර දක්වයි. ඇගේ නවතම නිර්මාණය නුදුරු දිනයකදි ‘නිම්නා’ නමින් සරසවි පොතක් ලෙස එළි දකිනු ඇත.

ඉතින් තව නිර්මාණ ගොන්නකින් ගැබ්බරව සිටින ඇයට මේවා එකින් එක බිහිකරන්නට ශක්තිය ධෛර්යය පතමින් අපි සමුගතිමි.

සේයාරූ – මාලන් කරුණාරත්න

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT