Home » නිර්මාණකරුවකුට නිර්මාණයක් නොකර සිටීම හුස්ම නැවතුණා වගේ දෙයක්

නිර්මාණකරුවකුට නිර්මාණයක් නොකර සිටීම හුස්ම නැවතුණා වගේ දෙයක්

- ලේඛිකා වයලට් ප්‍රියදර්ශනී විතානගේ

by Mahesh
January 9, 2025 12:30 am 0 comment

– පොතක_පුවත්පතක තීන්ත සුවඳ විඳීම රසවින්දනයේ වෙනම කලාපයක්
– මා වඩාත් ප්‍රියකරන්නේ සංක්ෂිප්ත කවි ආරටයි
– කාව්‍යකරණයේ ආරම්භය සිදුවන්නේ කුඩා කල තිබූ කියවීමේ පුරුද්ද නිසයි

ගීපද රචනයට පාසල් අවධියේ සිටම යොමුව සිටි ඇය, අද වනවිට පුවත්පත් මාධ්‍යවේදිනියක ලෙස ද කටයුතු කරන්නීය. වයලට් ප්‍රියදර්ශනී විතානගේ නම් වූ ඇය ලියූ නවතම කාව්‍ය සංග්‍රහය වන “කෝ මට කවියක්” පිළිබඳවත් ඇගේ නිර්මාණකරණ දිවිය පිළිබඳවත් මෙසේ අදහස් පළකළාය.

ඔබේ නවතම කාව්‍ය සංග්‍රහය වන “කෝ මට කවියක්” රචනා කිරීමට පෙලැඹුණු අයුරු පැහැදිලි කළොත් ….?

මම කවි ලියන්න පටන්ගත්තේ මීට වසර 7කට පෙරයි. පුංචිකාලයේ සිටම පොත් කියෙව්වා. කවි කියෙව්වා. පොතක මුද්‍රිත පිටුවක කවියක් දැකීම, පිටු එකිනෙක පෙරළමින් ඒ කවි විඳීම කියන්නේ වෙනම හැඟීමක්. ඒ හැඟීම මම හොඳීන්ම හඳුනනවා. පොතක්, පුවත්පතක් තුළින් එන ඒ තීන්ත සුවඳ රසවින්දනයේ වෙනම කලාපයක්. මටත් අවශ්‍ය වුණා මගේ අතින් ලියවෙන කවි කිහිපයක් මේ විදිහට පොතකට ගන්න. තවත් රසික පරපුරකට මගේ අත්දැකීම් තිළිණ කිරීමේ අවශ්‍යතාව මට තිබුණා. ඒ අනුව පසුගිය සාහිත්‍ය මාසයේදී “කෝ මට කවියක්” ජනගත වෙනවා

“කෝ මට කවියක්” හි අන්තර්ගතය ගැන කීවොත් …..?

විවිධ අනුභූතීන් ඇසුරින් ලියවුණු කවි පන්ති 35ක් “කෝ මට කවියක්” හි අන්තර්ගතයි. ඒ ඒ ආකෘතීන් ඉල්ලා සිටි කවි කිහිපයක් මෙහි අන්තර්ගත වෙන්නේ. එසේම මම වඩාත් ප්‍රියකරන සංක්ෂිප්ත කවි ආර මේ තුළ වැඩියෙන් මුණගැසේවි.

ඔබේ කාව්‍යකරණය සඳහා ප්‍රස්තුත වන්නේ ඔබේ ජීවන අත්දැකීම් ද…..?

නිර්මාණකරණයේදී ඕනෑම නිර්මාණකරුවෙක් ප්‍රස්තුත කරගන්න කරුණු 02ක් තිබෙනවා. එකක් සිය ජීවන අත්දැකීම්. ඒ කියන්නේ තමන් තුළ සහකම්පනයක් ඇති කළ බාහිර ලෝකයෙන් උගන්වන යම් යම් සිදුවීම්. අනෙක තමන්ට අත්විඳීන්න සිදුවූ දේවල්.ඒවා අත්දැකීම්. එපමණකින් සෑහෙන්න බැහැ. අපි ඊට පරිකල්පනයත් එකතු කරගත යුතුයි. එවිටයි නිර්මාණයක් අපූර්ව වෙන්නේ. මගේ කාව්‍යකරණය සිදුවන්නේත් මේ ආකාරයට කියා මම සිතනවා

කාව්‍යකරණය තුළ ඔබේ ආරම්භය සිදුවුණේ කොහොමද ….?

මම කුඩා කාලයේ සිටම කියවීමට තදින්ම ඇබ්බැහිවූ කෙනෙක්…අහක දාන පත්තර කොළයකටවත් මගෙන් බේරී ඉන්නබැරිවුණා. අහුවෙන සෑමදේම කියෙව්වා. මුහුණු පොතේ ලිවීම ආරම්භ කරන්නේ මෑතකදීයි. එතැනදී මටත් නොදැනීම කවිය මතුවී ආවා..මම විශ්වාස කරනවා මගේ කාව්‍යකරණයේ ආරම්භය සිදුවන්නේ කුඩා අවධියේ සිට තිබූ මගේ කියවීමේ පුරුද්ද නිසා කියලා.

නවකතා, කෙටිකතා රචනය තුළ ඔබේ භූමිකාව මොනවගේද …..?

කවියෙන් පසු මම සමීපවෙන්නේ කෙටිකතාවට. මේවෙද්දී කෙටිකතා පොතක් ලියා අවසන්. නවකතාවක් ලියමින් පවතිනවා. ඉදිරියේදී ඒ ගැන කතා කරමු

ඔබේ සාහිත්‍යකරණ දිවියේ ආරම්භක අවධියට ගියොත්…..?

මෙහි ආරම්භක අවධිය මගේ පාසල් අවධියටත් පෙර අවධිය තෙක් දිවයනවා. මට මතකයි මගේ තාත්තා ඒ කාලයේ තිබූ ළමා පුවත්පත්, ළමා කතන්දර පොත් නොවැරදීම මට ගෙනවිත් දෙනවා. මගේ මව මට කවි, සින්දු කියාදුන්නා. ඒවගේම මගේ දහම් පාසල වන තලවකැලේ ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසල මගේ සාහිත්‍යකරණයට අපූරු තෝතැන්නක් වුණා. මම අධ්‍යාපනය ලද තලවකැලේ සුමන මධ්‍ය මහා විද්‍යාලයත් අනතුරුව බණ්ඩාරවෙල විශාඛා බාලිකා විද්‍යාලයත් මගේ සාහිත්‍යකරණ දිවියට මූලික අඩිතාලම වුණා

පුවත්පත් මාධ්‍යවේදිනියක ලෙස ඔබේ වපසරිය පැහැදිලි කරනවා නම් …..?

2021වසරේදී මම දෙරණ මාධ්‍ය ආයතනය සංවිධානය කළ සාහිත්‍ය විචාර තරගයකට ඉදිරිපත් වෙනවා. එතැනදී ලැබූ ජයග්‍රහණත් සමඟ මට දිවයින පුවත්පතින් ආරාධනාවක් ලැබෙනවා එහි සාහිත්‍ය ලිපි ලිවීමට. එසේ කටයුතු කරමින් සිටියදී ඉරුදින මවුබිම පුවත්පතේ විශේෂාංග ලිපි ලියන්න ප්‍රවීණ මාධ්‍යවේදී උදේනි සමන් කුමාර මහතා මට අවස්ථාව ලබාදෙනවා. සමාජීය කරුණු මෙන්ම සාහිත්‍යයේ නොයෙක් ඉසව් ද මගේ පෑන්තුඩට මම හසුකර ගන්නවා. මාධ්‍ය වෘත්තිය මම ඉතා ආසාවෙන් සිදුකරන දෙයක්….

රංගනයට ආරාධනා ලැබුණේ නැද්ද …..?

රංගනයට ආරාධනා ලැබුණු අවස්ථා තිබුණත් යම් යම් හේතු නිසා ඒ අවස්ථා මඟහැරුණා රංගනයට කැමැත්තක් තියෙනවා

නිර්මාණකරණයට පාසලෙන් ලද ආභාසය මොනවගේද …..?

ඒක ධනාත්මකව එකක් කිව්වොත් නිවැරදියි.. මා තුළ යම් හැකියාවක් ඇති බව මගේ ගුරුවරුන් දැනගෙන හිටියා කියා මම සිතනවා.ඔවුන් මට පාසලේ සාහිත්‍ය තරගවලට සහභාගි වෙන්න අවස්ථාව ලබාදුන්නා. ඒ තරගවලට සහභාගි වීම පසුකාලීනව නිර්මාණකරණයට හරිම වැදගත්. පාසලෙන් මම ලද ආභාසය මගේ සාහිත්‍යකරණයට ආලෝකයක් වුණා

ලේඛන දිවියේ දී ඔබ ගුරුතත්හිලා සලකන පිරිසක් වේ නම්…..?

පුවත්පත් ලේඛන දිවිය ගැන කියද්දි මගේ ගුරුවරයා වෙන්නේ සිළුමිණ පුවත්පතේ නව කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී උදේනි සමන් කුමාර මහතා.එතුමා යටතේ තමයි මම ජාතික පුවත්පතක විශේෂාංග ලිපි ලියන්න ආරම්භ කළේ. මුලදී මට ඒ පිළිබඳ තිබූ තිගැස්ම දුරුකරගන්න එතුමාගේ ගුරුහරුකම් වැදගත් වුණා. මගේම ශෛලියකින් ලිවීමට ඔහු මට නිදහස ලබාදුන්නා. කවිය ගැන කතා කළොත් මහගමසේකරගේ සිට රත්න ශ්‍රී විජේසිංහයන් දක්වා පිරිස මගේ කාව්‍ය නිර්මාණ දිවියේ ගුරුවරුන් වූවා කියා මම විශ්වාස කරනවා. ඒවගේම ආරියවංශ රණවීර සහ නන්දන වීරසිංහ දෙදෙනාගේ සංක්ෂිප්ත කවියට මම ඉතා ප්‍රිය කරනවා. මගේත් බොහෝ කවි ලියවෙන්නේ සංක්ෂිප්ත කවි ලෙසයි

නවකතා-කෙටිකතාකරණය සහ පද්‍ය සාහිත්‍යය අතර වෙනස ඔබට දැනෙන්නේ කොහොමද …..?

සුදුසු තැනට පද යොදා මනාව බැඳී පද පබඳයි.කවිය භාවප්‍රකාශනයේ ඉසියුම්ම මාධ්‍යයයි.බොහොම අරපිරිමැස්මෙන් සංක්ෂිප්ත ලෙස අදහස් ප්‍රකාශනයයි කවියකින් සිදුවන්නේ. කවියේදී රස උත්පාදනයට හේතුවන්නේ එළිපිටම කියන වාච්‍යාර්ථයට වඩා ව්‍යංග්‍යාර්ථයයි. එහිදී රසිකයාට සිතාගැනීමට සලස්වන මේ ධවනිථාර්ථය කවියකට ඉතා වැදගත්. කෙටිකතාවේදී මූලික ශිල්පීය ලක්ෂණයක් ලෙස විචාරකයන් හඳුන්වන දෙයක් තමයි ඒකීය ධාරණාව හෙවත් ධාරණාවේ ඒකීයත්වය යන ලක්ෂණය. එමෙන්ම තවත් විද්වත් මත තිබෙනවා. එක්තරා තැනකදි කියවෙනවා කෙටිකතාව යනු ජීවිතයේ එක් පෙත්තක් ලෙස, නැතහොත් ජීවිතයේ අංශුමාත්‍රයක් කියලා. එමෙන්ම තවත් විද්වත් මතයක් තිබෙනවා කෙටිකතාව යනු ජීවිතයේ සමීපරූපයක් කියලා. එහිදී අපට සීමාවක් තුළ සිටයි කෙටිකතාවක් රචනා කරන්නට සිදුවන්නේ. එතැනින් එහාට අපට නිදහසක් ලැබෙන නිර්මාණ ශානරයක් තමයි නවකතාව වශයෙන් හැඳීන්වෙන්නේ. එතැනදී බොහෝ සිද්ධීන්, චරිත එකතුකරගෙන නවකතාව ගොඩනඟාගෙන යාම සිදුකළ හැකියි. එහිදී නවකතාවට එක් එක් රේඛා අපට එකතු කරන්න පුළුවන්. මුලින් එකතු කරගත් රේඛා මැදදී අහෝසිවීමට පුළුවන් ..අලුත් රේඛා එකතු වෙන්නත් පුළුවන්. අහෝසි වන රේඛා අගදී යළි එකතු වෙන්නත් පුළුවන්. නිදහස් සමාජීය ජීවිතය පිළිබඳ ලොකු වපසරියක කතා කළ හැකි මාධ්‍යයක් තමයි නවකතාව කියන්නේ.

මෙතෙක් පැමිණි ඔබේ නිර්මාණ දිවිය තුළ සුවිශේෂී වූ නිර්මාණත් තිබෙන්න ඇති…..?

කවිය හැරුණුකොට මගේ නිර්මාණාත්මක ජීවිතයේ සුවිශේෂී නිර්මාණ වශයෙන් ගීපද රචනය කතා කළහැකියි. මේ වනවිට මම ගීපද රචනා කළ ගීත 02ක් එළිදක්වා තිබෙනවා. ප්‍රවීණ ගායන ශිල්පි රෝහණ බෝගොඩයන් එක් ගීතයක් සංගීතවත් කර ගායනා කළා. එසේම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය නිහාල් රාජපක්ෂ මහත්තයාට මම ලියා දුන් ගීතයක් එතුමා සංගීතවත් කළා. එය මා විසින්ම ගායනා කරනු ලැබුවා. තව කිහිපදෙනෙක්ට මම ගීත රචනා කරදී තිබෙනවා. මේ වෙද්දි ගීතයක් නිර්මාණය කිරීම ලෙහෙසිපහසු කටයුත්තක් නෙවෙයි.

ටෙලිනාට්‍ය-චිත්‍රපට තිර පිටපත් රචනයට අදහසක් නැද්ද ….?

තිර පිටපත් රචනය පිළිබඳ මම යම් හැදෑරීමක් කර තිබෙනවා. ආරාධනාවක් ආවොත් තිර පිටපත් ලියන්න කැමැත්තක් තිබෙනවා. වේදිකා නාට්‍ය පිටපතකුත් මම මේ වෙද්දි ලියා අවසන් කර ගෙදර තියාගෙන ඉන්නවා.

ඉදිරි නිර්මාණ මොනවාද ….?

මගේ අදහසට අනුව නිර්මාණකරණය කියන්නේ දිය උල්පතක් වගේ දෙයක්. එය වැසි කාලයේදී දියෙන් පිරෙනවා. පෑවිල්ලකදී දියේ යම් අඩුවක් සිදුවෙනවා. එසේ උස්පහත් වෙවී යන ගමනක් තිබෙන්නේ. යම් දිනකදී දිය උල්පත සිඳී යනවා. ඒ නිර්මාණකරුවා භෞතිකව මියයන අවස්ථාවේදී. තමන් තුළ නැගෙන අරගලය හේතුවෙන් ශුන්‍යතාව සොයාගෙන යන නිර්මාණකරුවකුට නිර්මාණයක් නොකර ජීවත්වීම යනු හුස්ම නැවතුණා වගේ දෙයක්. මම යම් නිර්මාණ ඔස්සේ මේ නිර්මාණ කාර්යයේ දිගටම රැඳේවි.

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT