නිවස විශේෂාංග නිමක් නැතිව සිනමාවට ඇලුම් කරන නිමේෂ්

නිමක් නැතිව සිනමාවට ඇලුම් කරන නිමේෂ්

by Thanushika
June 27, 2024 12:14 pm 0 comment

ඇඹිලිපිටිය ප්‍රදේශයේ සුන්දර ගම්මානයක ඉපදී හැදී වැඩුණු හුරුබුහුටි කොලු ගැටයෙක්. පසු කාලීනව සිංහල සිනමාවේ නිෂ්පාදන කළමනාකරුවෙක් ලෙස දායකත්වය සපයන කඩවසම් තරුණයෙක්. රංගන හැකියාවද උපතින්ම උරුම කරගත් මේ අපූරු තරුණයා නිමේෂ් උදයන්ත.

නිමේෂ් අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වන්නේ ඇඹිලිපිටිය බෝධිරාජ මධ්‍ය මහා විද්‍යාලයෙනි. ඉන්පසු මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර විද්‍යාලයට පැමිණි නිමේෂ්ට, හොදින් උසස් පෙළ සමත් උවත් විශ්වවිද්‍යාලයට පා තැබීමට වරම් නොලැබිණි. එසේ වරම් නොලැබුණත් කලාවට උපන් හැකියාවක් නිමේෂ්ට ලැබී තිබීම වාසනාවකි. යායුතු මඟ වරද්දා නොගෙන, නියමිත ඉලක්කය කරා ගමන් කිරීමට හැකිනම් ජීවිතය සුන්දර සිනමා සිත්තමක් වැනියැයි නිමේෂ් ට සිතෙන්නට ඇත.

බැලූ බැල්මට සිනමා තරුවක් යැයි කිවහැකි රූපකායක් නිමේෂ් උදයන්තට හිමිවී ඇත. ඔහු හාපුරා කියා සිනමාවට අත්පොත් තබන්නේ ඔහුගේම ඥාතිවරයෙක් ගේ මඟ පෙන්වීම යටතේය. ඒ අප කවුරුත් හොඳීන් දන්නා සිනමා අධ්‍යක්ෂකවරයෙක් සහ නිෂ්පාදන කළමනාකරුවෙක් වන ෂර්ලි සමරසිංහ මහතායි. විසින් අධ්‍යක්ෂණය කරන ලද කෙටි චිත්‍රපටියක චරිතයක් නිමේෂ්ට හිමිවිය. නිමේෂ් ගේ සිනමා ආගමනය සිදුවන්නේ එලෙසිනි. එම නිසා ඔහු නළුවෙක් ලෙසද හැඳීන්වුවාට වරදක් නැත.

නිමේෂ් උදයන්ත මා හා කතා බහට එක්වූයේ ඉතාමත් ප්‍රියමනාප සුහද ලීලාවකිනි. මගේ ඥාතිවරයෙක් වන ෂර්ලි සමරසිංහ මහතාගේ කෙටි චිත්‍රපටයක චරිතයක් තමයි මට මුලින්ම ලැබුණේ. ඒ නිසා තමයි මට සිනමාවට කැමැත්තක්, ආදරයක් ඇති උණේ. මගේ හැකියාව අඳුරගෙන, මම යායුතු ගමන් මාර්ගය තීරණය කරගන්න මට පුළුවන් උනා ඉන්පසුව. ඒ තමයි මගේ මුල්ම රංගනය. පාසැල් කාලයේ මම කළේ නැටුම්. ඒ නිසා මට නටන්නත් පුළුවන්. ඔහු එසේ පැවසුවේ ඔහුටම ආවේණික වූ මද සිනහවක් පාමිනි.

” ඒ කෙටි චිත්‍රපටියට ලංකාවෙන් වගේම විදෙස් රටවලිනුත් සම්මාන සහ ඇගැයුම් ලැබුණා. ඉන්පසුව දක්ෂ සිනමා සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වන දේවින්ද කෝන්ගහගේ මහතාගේ “භවතරණය” කියන ටෙලි නාට්‍යයේ සුළු චරිතයක් කළා. ඒක මාධ්‍යවේදියෙක්ගේ චරිතයක්.

” vv Production house එකකට සම්බන්ධ වෙලත් වැඩ කළා. ඒකේ කරන්න තිබුණේ TV programms. මම Production house එකට සම්බන්ධ උණේ සහාය නිෂ්පාදකයෙක් විදිහට. ඒ හරහා මම හොඳ දැනුමක් ලබා ගත්තා. මම රූපවාහිනී නාලිකා කිහිපයකත් සහාය නිෂ්පාදකයෙක් විදිහටත් වැඩ කරල තියෙනවා. ඒ හැම දේකින්ම මට දැනුමක් ලබා ගත්තා.

ඇත්ත වශයෙන්ම නිමේෂ් අතපය හකුළා ගෙන සිටින තරුණයෙක් නොවන බව ඔහුගේ කතා බහින් වැටහුණි. මන්ද ඔහු පාසැල් අධ්‍යාපනය හමාර වූ සැණින් තමා යායුතු මාර්ගය කුමක් දැයි හඳුනා ගෙන වැඩ කටයුතු කළ නිසාවෙනි.

ඉන්පසුව නිමේෂ්ගේ ගමන් මඟ කෙසේ දැයි කියා ඇසූවිට ඔහු ඒ සම්බන්ධව කතාබහට එක්වූයේ නව පණක් ලැබූ පරිද්දෙනි.

සහාය නිෂ්පාදකවරයෙක් විදිහට වැඩ කරගෙන යන අතරතුරේ තමයි මට විසාකේස චන්ද්‍රසේකරන් කියන දක්ෂ නිර්මාණාත්මක සිනමා අධ්‍යක්ෂවරයාව මුණගැසෙන්නේ. එතුමාගේ කුලුඳුල් චිත්‍රපටය වන “සය පෙති කුසුම” චිත්‍රපටයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ චිත්‍රපටයේත් මම චරිතයක් කළා. ඒ හමුවීම මගේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් උණා. විසාකේස මහතාගේ පාංශු චිත්‍රපටයට ඉන්පසුව සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ එහි සහාය නිෂ්පාදන කළමනාකරුවා විදිහට. ඒක මට මගේ වාසනාවට ලැබුණ දෙයක් කියල තමයි මට නම් හිතෙන්නේ. ඒ හරහා තමයි මාව ක්ෂේත්‍රයේ අය හොඳින් හඳුනා ගත්තෙ. මාව Highlight උණේ පාංශු චිත්‍රපටය නිසා කියල මට කියන්න පුළුවන්.

පාංශු චිත්‍රපටය නිසා චිත්‍රපටයක විවිධ පැති ගැන හොඳීන් ඉගෙන ගත්ත. ඒ හරහා අධ්‍යක්ෂණය, කැමරාකරණය, කලා අධ්‍යක්ෂණය වගේ අංශ ගැන දැනුම ලැබුණා. මම ඒ සියල්ලක්ම ගැන ම විශේෂ අධ්‍යනයක යෙදුණා.

පාංශු චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරු විදිහට වැඩ කරද්දී නිමේෂ් අත්දැකපු අලුත් අත්දැකීම් ගැන පැහැදිලි කළේද මහත් උනන්දුවකිනි.

විසාකේස චන්ද්‍රසේකරන් මහතාගේ අධ්‍යක්ෂණයේ මම වෙනසක් දැක්ක. නළු නිළියන් මෙහෙය වන්නේ කොහොමද කියල. චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමට පෙර සියලුම රංගන ශිල්පීන් ගෙන්වලා පෙර පුහුණුවීම් කළා. අපේ රටේ සිටින සම්මානනීය ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනියක් වන නීටා ප්‍රනාන්දු මහත්මිය පවා කිසිදු පැකිළීමකින් තොරව පෙර පුහුණුවීම්වලට ආවා. ඒ පුහුණු වීම් රූගත කිරීම් වලදි කාටත් හොදින් තමන්ගේ චරිතට සමීප වීමට පහසුවක් උණා. කාලය අපතේ ගියේ නැහැ. නිෂ්පාදන වියදම් නිකරුණේ ඉහළ ගියේ නැහැ.ඒක තමයි මම ලබපු අලුත් අත්දැකීම.

ඉන්පසු ලැබුණ සෑම සිනමා නිර්මාණයක්ම නිමේෂ් විසින් බාරගෙන නැත.

ඒ පිළිබඳව ඔහු පිළිතුරු දුන්නේ මඳ කල්පනාවක ඉන්නා අතරතුරදීය.

” ඔව් ඒ ගැන කියනවානම් පාංශු චිත්‍රපටයෙන් පස්සේ මට චිත්‍රපටි කීපයක් ම ලැබුණා. ඒත් මම පොඩි තෝරා බේරා ගැනීමක් කරන නිසා ඒ ලැබුණ හැම එකක්ම බාරගත්තේ නැහැ.

පසුව මම අපේ රටේ ඉන්න දක්ෂ සිනමා අධ්‍යක්ෂකවරියක් වන ඉනෝකා සත්‍යාංගනී මහත්මියගේ ත් චිත්‍රපටයකට සම්බන්ධ වෙලා වැඩ කළා. ඒකෙත් නිෂ්පාදන කළමනාකරුවෙක් විදිහට. එතුමියගෙනුත් මට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් උණා සිනමාව ගැන. අධ්‍යක්ෂණය ගැන. මම වැඩ කරපු හැම සිනමා නිර්මාණයකින්ම මම ඉගෙන ගන්නව මොනවා හරි දෙයක්. ඒ මගේ හැටි.

සිනමා වැඩකටයුතුවලට අමතරව සම්මානනීය සිනමා සහ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වන ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ “ධවල භීෂණ” වේදිකා නාට්‍යයේ වේදිකා පරිපාලක වශයෙන් වශයෙන් කටයුතු කිරීමටද නිමේෂ්ට අවස්ථාව සැලසී ඇත. ඒ පිළිබඳව ඔහු කතා කලේ මහත් ආඩම්බරයකිනි.

ධර්මසිරි බණ්ඩාරනායක මහතා වැනි ප්‍රවීණයෙක් යටතේ වැඩ කරන්න ලැබුණ එකත් මගේ වාසනාවක්. සිනමාවේ හිටපු මම වේදිකාව ගැනත් ඒ හරහා ඉගෙන ගන්න පුළුවන් උණා.

මේ කඩවසම් තරුණයා සමඟ කතා කරන විට කලාව පිළිබඳව උනන්දුව, කැපවීම, ආසාව කොතෙක්ද කියා සිතුණ නිසාවෙන්ම ඔහුගේ වත්මන් වැඩ කටයුතු ගැනද විමසීමටද මම උනන්දු වුණෙමි.

” මේ දවස් වල තිර පිටපතක් ලියාගෙන යනව. කෙටි චිත්‍රපටයක් සඳහා. ඉන් පස්සේ මම බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඒ පිටපත දිගු පිටපත් විදිහට ලියන්න. ලියල චිත්‍රපටයක් විදිහට එළිදක්වන්න. ඒක තමයි දැන් මට තියෙන ලොකුම හීනේ.

නිමේෂ් සිනමා කටයුතු වලට අමතරව ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙකි.” කලාව ගැන මට තියෙන්නේ ආදරයක් සහ ආශාවක්. කෙටියෙන් කිව්වොත් සිනමාව ගැන උණක්”. ඔහු එසේ පැවසුවේ කෙළිලොල් සිනහවක් ද පාමිනි.

” මටම කියල ව්‍යාපාරයක් තියෙනවා. ඒක ඇඟලුම් ව්‍යාපාරයක්. ඊට අමතරව මම හෝටල් ක්ෂේත්‍රයේ ද වැඩ කලා. මගේ හෝටල් තිබුණා නුවර එළියේ. මට ඒ හැකියාවත් තියෙනවා. ඒ අතරතුර මම කුවේට්වලත් කාලයක් වැඩ කළා. Document Controller කෙනෙක් විදිහට. හැබැයි ඉතින් මම මුල්තැන දෙන්නෙ සිනමාවට. ජීවිතයේ කිසියම් ස්ථාවර බවක් තිබිය යුතු නිසා මම මගේ ව්‍යාපාරයත් හොඳීන් කරගෙන යනව”.

ඒ වගේම තමයි නිමේෂ් තවමත් ඉගෙනීම් කටයුතු අතර සිටින දක්ෂ තරුණයෙක්. ඔහු මේ දිනවල නියැළී සිටින ඒ කටයුත්ත ගැනද කීමට අමතක කළේ නැත.

” මම ක්‍රිස්තියානි ආගමේ. ඒ පිළිබඳව මම මේ දවස් වල ඉගෙන ගන්නවා උපාධියක් අපේක්ෂාවෙන්. මේ හැම දෙයක්ම, හැම හැකියාවක්ම මට ලැබුණේ දෙවියන් වහන්සේගෙන් කියල තමයි මම විශ්වාස කරන්නෙ “.

ඒ කතා බහ අතරේ නිමේෂ් ගේ පවුලේ තොරතුරු ද මා ඉදිරියේ පැවසූවේ සිතේ සෙනහස, ආදරය පුරවාගත් අයුරිනි .

” මගේ පවුලේ ඉන්නෙ අම්මා, තාත්තා, අක්කා සහ ආච්චි අම්මා. ඒ අයගෙන් මගේ කලා කටයුතු වලට, ව්‍යාපාර වැඩවලට, ඉගෙනීමට උපරිම සහයක් ලැබෙනව. ඒක මට ලොකු ශක්තියක්. විශේෂයෙන් මගේ ආච්චි අම්මා තමයි මාව බලාගත්තේ. මගේ තාත්තා කලාවට සම්බන්ධ කෙනෙක් නොවුණත් ඒ සඳහා මට ශක්තිය දෙනව. තාත්තා විදෙස්ගත වෙලා ඉදල මීට දවස් කීපයකට කලින් තමයි ලංකාවට ආවේ.

නිමේෂ් සමඟින් කළ රසවත් කතාව නිමවීමට මත්තෙන් ඔහුට තව කාරණාවක් ගැන කීමට මහත් උනන්දුවක් තිබුණි.

” මම වගේම සිනමාවට එන තරුණ පරපුර ගැන යමක් කිව යුතුමයි. අද සිනමාවට බොහෝ තරුණ පිරිස නැඹුරුවක්, ආසාවක් දක්වනව. රංගනය, අධ්‍යක්ෂණය වගේ අංශවලට. ඒත් ඒ ගැන නිසි අධ්‍යනයකින්, පුහුණුවකින් පසුව ඒ සඳහා යොමු වෙනව න් හොඳයි කියල තමයි මට කියන්න තියෙන්නේ. මම මේ තත්වෙට ආවෙ පුහුණුවීම් කරමින් අධ්‍යයනය කරමින්. තාමත් ඒ ගැන ගැන ඉගෙන ගන්නව. ඒක නවත්වන්නත් බලාපොරොත්තුවක් නැහැ. ඒ විදිහට ක්ෂේත්‍රයට ආවොත් තමන් කරන නිර්මාණය අති සාර්ථකයි. සිනමාව කියන්නෙ සාගරය වගේ. නිමක් නැහැ ඉගෙන ගන්න තියෙන දේවල්”.

” මෙතෙක් ආ ගමන් මගේ ඔහුට සිනමා ලෝකයේ බොහෝ අයගෙන් සහයෝගය, ආශීර්වාදය ලැබුණ බවයි නිමේෂ් පැවසුවේ.

ඇත්තටම ස්තුතියි කියල කියන්න කීපදෙනෙක් ඉන්නවා. ෂර්ලි සමරසිංහ මහතා, විසාකේස චන්ද්‍රසේකරන් මහතා, ධර්මසිරි බණ්ඩාරනායක මහතා, නීටා ප්‍රනාන්දු මහත්මිය, කුමුදු කුමාරසිංහ මහත්මිය ඇතුළු මා හා වැඩ කළ නිෂ්පාදන කණ්ඩායම් වල සියලුම දෙනාට ස්තුති කරනව. ඒ වගේම අපේ ප්‍රධානම සිනමා පුවත්පත වන සරසවිය ට.

කඩවසම් බවින් සහ ඒ හා සමාන රූපකායක් හිමි මේ කඩිසර තරුණයා සිනමාවට සම්පතකි. තරුණ පිරිසට ආදර්ශයට ගතහැකි චරිතයකි.

අනාගතයේදී සිංහල සිනමාව වෙනුවෙන් විශිෂ්ට සිනමා නිර්මාණයක් දායාද කිරීම ඔහුගේ එකම සිහිනයයි. ඒ සිහිනය ඉක්මනින් සැබෑ කරගැනීමට මේ ශූර තරුණයාට හැකියාව ඇත. එමෙන්ම නිමේෂ් උදයන්ත මතු අනාගතයේදී තරුණියන් ගේ සිනමා සිහින තරුවක් වීමටද බොහෝ දුරට ඉඩ ඇත. ඒ සියල්ලටම “සරසවියේ” සුබ පැතුම් එක් කරමින් ඔහුගේ සුහද සුන්දර කතා බහට නිමාවක් නොතියා ” මතු සම්බන්ධයි” යනුවෙන් සටහන් කරමි.

 

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT