‘All we imagine as light’ ඉන්දියානු චිත්‍රපටය වෙත පසුබිම් වන්නේ ඉන්දියාවේ ඈත ගම්මානයක සිට ජනාකීර්ණ මුම්බායි නගරයේ රැකියාවක් සඳහා පැමිණෙන කාන්තාවන් තිදෙනකු පිළිබඳ කතාවකි. දැනටමත් විවාහපත්ව සිටින මැදිවියේ පසුවන ‘ප්‍රභා’ නගරයේ එක්තරා රෝහලක හෙදියක් ලෙස සේවය කරයි. ඈ සමඟ මිත්‍රශීලිව සේවය කරන ප්‍රභාට වඩා බොහෝ වයසින් බාල ‘අනූ’ නම් තරුණයකි. මොවුන් දෙපළ ජීවත් වන්නේ තාවකාලිකව නවාතැන් ගත් කුලී කාමරයකයි. ප්‍රභාගේ සැමියා සිටින්නේ ජර්මනියේ විදේශගතවයි. ප්‍රභා තම සැමියා සමඟ එතරම් දැඩි සබඳතාවක් නොමැති බව චිත්‍රපටය විසින් ඉඟි කරන්නේ සුළු අවස්ථාවකදී ය. එනම් අනපේක්ෂිත මොහොතකදි කුරියර් සේවාවක් හරහා ප්‍රභාට ලැබෙන පෙට්ටියක් තුළ ඇති බත් පිසින උඳුන (Rice cooker) හරහායි. ඇයට එවැනි ත්‍යාගයක් ලැබෙන්නේ කාගෙන්දැයි කල්පනා කරන විට කිසිදු නමක්, ලිපිනයක් පෙටිටියේ සඳහන් නොවේ. බත් පිසින උඳුන ජර්මනියේ නිෂ්පාදිත එකක් බව තහවුරු වීමෙන් ඈ අවසානයේ මෙය සැමියා විසින් එවන ලද එකක් බව දැනගනියි. මේ අතර ප්‍රභාට ඇය සේවය කරන රෝහලේ වෛද්‍යවරයකු වන ‘මනෝජ්’ ද කැමැත්තෙන් පසුවෙයි. නමුත් ප්‍රභා එවැනි අනියම් සමිබන්ධතාවයක් පවත්වාගෙන යෑමට කැමතිවන්නේ නැත.
‘අනූ’ විසින් ෂියාස් නමි මුස්ලිම් තරුණයකු වෙත රහසිගතව පෙම් කරයි. මේ කාරණය ප්‍රභා දන්නේ නැත. අනුගේ වැඩ මුරය අවසන් වූ විට මොවුන් දෙපළ රාත්‍රියේ මුම්බායි නගරයේ රිසි සේ ඇවිදියි. අනුගේ දිවිය ගෙවන්නේ එලෙසිනි. චිත්‍රපටයේ ප්‍රේක්ෂකයා වෙත හමුවන අනෙක් කාන්තාව වන්නේ ප්‍රභා සහ අනු දෙපළ සේවය කරන රෝහලේ ආහාර පිසින කෝකියා වන ‘පාර්වතී’ නම් මැදිවිය ඉක්ම වූ තලතෑනි ස්ත්‍රීයයි. පාර්වතී තනිකඩ දිවියක් ගෙවයි. ඈ සිටින්නේ ද ගැටලුවකයි. පාර්වතී වෙසෙන නිවස ඉවත් කරන්නට නගරයේ දේශපාලන අධිකාරිය විසින් ඈට නිරතුරුවම තර්ජන එල්ල කරයි. මෙයාකාරයෙන් ‘ප්‍රභා’, ‘අනු’ සහ ‘පාර්වතී’ යන ත්‍රිකෝණ ජීවිත හා බැඳී ඇති අනුවේදනීය අත්දැකීම් චිත්‍රපටය තුළ නිරූපණය වෙයි.
2024 වසරේ තිරගත වූ ‘All we imagine as light’ චිත්‍රපටයහි තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කර ඇත්තේ ‘පයාල් කපාඩියා’ නමි අධ්‍යක්ෂවරිය විසිනි. ඈ ‘All we imagine as light’ චිත්‍රපටය හරහා ස්ත්‍රීවාදීමය ස්වරූපයකින් ඉන්දියානු නූතන කාන්තාවගේ තත්ත්වය පිළිබඳ දෘෂ්ටිවාදීමය අදහස පෙර බිමට රැගෙන එයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන ප්‍රභා ලෙස නිළි ‘කනි කුස්රුති’ සහ ‘අනූ’ ලෙස ‘දිව්‍යා ප්‍රභා’ යන මලයාලම් නිළියන් දෙපළ විසින් පණ පොවයි. චිත්‍රපටයේ වඩාත් වැදගත් වන සිනමා රූප නිර්මාණය වඩාත් අවධානයක් දිනාගන්නා අංශය වෙති. හස්තගත කැමරා (Hand helding Camera) කෝණ හරහා චලනමය ගතියකින් සිනමා රූප නිර්මාණය කර ඇත. මෙම කැමරාගත කර ඇති ශිල්ප ක්‍රමය තුළින් ධිවනිත කරන්නට උත්සාහ ගෙන ඇත්තේ චරිතයන්හි ජීවිතවල ඇති චලනමය ස්වරූපයයි. ඉන් මෙම ජංගම ජීවිතවල ඇති චක්‍රීය බව ඉස්මතු වෙයි. උදෑසන රැකියාවට පිටත් වීම සහ නැවත රැකියාව නිමාකර රාත්‍රියේ නවාතැනට පැමිණීමේ ඒකාකාරීවූත්, චක්‍රීය ස්වභාවය පිළිබඳ යථාර්ථය පිළිබිඹු වෙයි.
පයාල්ගේ පළමු වෘත්තාන්තමය සිනමාපටය ලෙස’All we imagine as light’ වසර 30කට පසුව ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේ තරඟයට ඉදිරිපත් වූ දෙවන ඉන්දියානු චිත්‍රපටය ලෙස වාර්තා පොත්වල ලියවෙයි. පළමු චිත්‍රපටය වනුයේ 1994 වසරේ දී කෑන්ස් සම්මාන උළෙලේ තරඟ වැදුණු ‘සාජි.එන්. කරුන්’ නමැති විශිෂ්ට සිනමාකරුවා විසින් අධ්‍යක්ෂණය කළ ‘Swaham’ චිත්‍රපටයයි. 2024 වසරේ දී කෑන්ස් සිනමා උළෙලේ කීර්තිමත් ‘ග්‍රෑන්ඩ් පික්ස්’ සම්මානය ලැබූ පළමු ඉන්දියානු චිත්‍රපටය ලෙස ද’All we imagine as light’ ඉන්දියානු සිනමා වංශකතාව තුළ නවමු පරිච්ජේදයක් ලියන්නට සමත් වන්නේ එය ජාත්‍යන්තරව ලැබූ ඉහළ ජයග්‍රහණයක් බව සඳහන් වෙමින්. ‘National Board of Review of Motion Pictures’ හෙවත් නිව්යෝර්ක් නුවර ජාතික චිත්‍රපට විචාරක සංගමය විසින් 2024 වසරේ තිරගත කළ හොඳම චිත්‍රපට දහයෙන් එකක් ලෙස’All we imagine as light’ නම් කළේය.
එපමණක් නොවේ. බ්‍රිතාන්‍යයේ සුප්‍රකට චිත්‍රපට සඟරාවක් වන ‘සයිට් ඇන්ඩ් සවුන්ඩ්’ ලොව පුරා විචාරකයින් 100කට අධික සංඛ්‍යාවකගේ මත විමසුමේ දී 2024 වසරේ හොඳම චිත්‍රපටය ලෙස ‘All we imagine as light’ තෝරා ගනී. ඇමරිකාවේ ‘ද නිව් යෝර්ක් ටයිම්ස්’ හි 2024 හොඳම චිත්‍රපට ලැයිස්තුවේ පළමුවැනි ස්ථානයට පත් වීමට ද මෙම චිත්‍රපටයට හැකිවන්නේ ජාත්‍යන්තර වශයෙන් කිත් පැසසුම් සියල්ල නතු කරගනිමින්. බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ජාතික පුවත්පතක් වන ‘The Guardian’ හි Peter Bradshaw’ නමි විචාරකයා විසින් මෙම චිත්‍රපටයට තරු පහක ඉහළ ශ්‍රේණීයේ ඇගැයුමක් ලබා දුන් අතර, ඔහු තම විචාරය හරහා පැවසුවේ ‘මනුෂ්‍යත්වයෙන් පිරුණු හෙදියන් තිදෙනෙකුගේ ඛේදනීය කථාව සිනමාත්මක ඉදිරිපත් කිරීමක්’ ලෙස පැසසුමට ලක් කළේය.
හෙදියක වන ප්‍රභාගේ ජීවිතය ද වෙනත් සමකාලීන වැඩ කරන ගැහැනුන්ගේ ජීවිතවලට වඩා වෙනස්වන්නක් නොවේ. ප්‍රභාගේ සැමියා ඇයව තනිකර දා රට රැකියාවකට ගොසිනි. ඇය තනිව සංකාවෙන් පෙළෙන බව චිත්‍රපටයේ එක් රූප රාමු පෙළක් ඔස්සේ ඉඟි කරයි. ඒ ප්‍රභාගේ සැමියා විසින් ඈ වෙත ජර්මනියේ සිට එවනු ලබන රතු පැහැති බත් පිසින උඳුන දැඩිව බදාගෙන කනස්සල්ලට පත්වන අවස්ථාවයි. එම සිදුවීම ප්‍රභා මානසිකව කඩා වැටී ඇති බව පෙන්වන කදිම රූපයකි.
‘All we imagine as light’ චිත්‍රපටය ජීවිතයෙන් බිඳක් විමසා බැලීමට උනන්දු වන චිත්‍රපටයකි. කාන්තාවන් තිදෙනකුගේ දෘෂ්ටි කෝණය හරහා ආඛ්‍යානය ගෙන ඒම තිර රචනයේ ඇති ප්‍රමුඛ ලක්ෂණයයි. ගැහැනුන් තිදෙනකුගේ ජීවිතයේ ප්‍රකට කරන එකිනෙකාට වෙනස් වූ හැසිරීම් රටාවන්ගේ ස්වභාවය පිළිබඳ ප්‍රේක්ෂකයා නිරීක්ෂකයකු බවට පත් කරයි. මොවුන් තිදෙනා විවිධ වූ වයස් අවධි නියෝජනය කරයි. එනමි තරුණ විය, මැදි විය, මැදි විය ඉක්ම වූ මහලු විය යන තෙයාකාරයයි. අධ්‍යක්ෂවරිය මින් ප්‍රකට කරන්නට උත්සාහ ගෙන ඇත්තේ පරිණත ජීවන දැක්මක් විය හැකි ය. සමකාලීන සමාජයේ වැඩ කරන ගැහැනිය පිළිබඳ හරස්කඩක් කපා පෙන්වන්නකි.’All we imagine as light’ චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයාට හමුවනුයේ නවක සිනමාකාරියක ලෙස නොවේ. ජීවිතය පිළිබඳ පරිණතමය කියවීමක් සහ සිනමාලංකාරය පිළිබඳ හසළ දැනුමකින් හෙබි ප්‍රශස්ත සිනමාවේදිනියක් ලෙස පායාල් කපාඩියා ඉන්දියානු සිනමාව තුළ ස්ථානගත වේ.
ඉමල්ක විතානගේ