Home » නව පරපුරකට මඟ පෙන්වීම සතුටක්

නව පරපුරකට මඟ පෙන්වීම සතුටක්

ජෙෂ්ඨ මා‍ෙව්දී අශෝක කරුණානායක

by Thanushika
January 23, 2025 9:47 am 0 comment

අසූව දශකයේ ඔහු තම අභිප්‍රාය ඉෂ්ට කරගැනීම සඳහා තම අක්මුල් විහිදා ලන්නට පටන් ගනු ලැබීය. අසූව දශකය ඇරඹුමත් සමඟ පාසල් ජිවිතයට සමුදුන් ඔහු නිරන්තරයෙන් උත්සාහ ගනු ලැබුවේ නිවේදකයකු වීමේ සිහිනය සැබෑ කරගන්නටය. කොළඹ නාලන්දා විද්‍යාලයේ සිප්සතර හදාරමින් නිවේදන කලාවට අසීමාන්තිකව ආදරය කළ ඔහු පාසල් කාලය තුළ ඒ ආදරණීය සිතුවිල්ල සමඟ නිරන්තරයෙන් ජීවත් වූයේ පන්තියේ ගුරුවරයෙක් නොමැති වේලාවක ක්‍රිකට් විස්තර ප්‍රචාරණයේ නිරතවෙමිනි. ක්‍රීඩා විස්තර ප්‍රචාරණයට වඩාත් ඇල්මක් දැක්වූ ඔහු සහන නිවේදකයකු ලෙසින් ගුවන් විදුලිය හා අත්වැල් බැදගන්නේ ද ගුවන් විදුලියේ ක්‍රීඩා විකාශයත් සමඟය.

ක්‍රීඩා විස්තර ප්‍රචාරණයට තිබූ දැඩි ආශාව නිසාම ක්‍රීඩා විකාශයේ නිවේදකයකු ක්‍රීඩා වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙසින් කටයුතු කළ ඔහු ලක්හඬ ගුවන්විදුලිය.ඇරඹූමත් සමඟ එයට සම්බන්ධ වනුයේ ක්‍රීඩා වැඩසටහන් සහකාර කළමනාකරුවකු ලෙසිනි. ඉන්පසු ලක්හඬ ගුවන් විදුලියේ වැඩසටහන් කළමනාකරු ලෙසින්ද කටයුතු කරන ඔහු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලක්හඬ ලෙසින් දිගු කාලයක් කටයුතු කර සේවයෙන් විශ්‍රාම යන්නේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රේඩියෝ ලෙසිනි. මෙරට ගුවන් විදුලි ශ්‍රාවකයන් සේම රූපවාහිනි පේ‍්‍රක්ෂකයන් අතර ජනපි‍්‍රය හඬක් වූ ඔහු නමින් අශෝක කරුණානායකය.

සේවයෙන් විශ්‍රාමගොස් විවේක සුවයෙන් කල්ගෙවන අශෝක කරුණානායක හා මෙලෙස අපි කතාබස් කරමු.

විශ්‍රාම සුවයෙන් කල්ගෙවන මෙවන් වකවානුවක ඔබේ මාධ්‍ය ජිවිතයේ අතීතයට ගියොත්?

මගෙ පාසල වුණේ කොළඹ නාලන්ද විද්‍යාලය මම වඩාත් ආශාවක් දැක්වුයේ නිවේදන කලාවට. පාසලේ උත්සවලත් මම නිතර මේ වෙනුවෙන් කටයුතු කළා. මෙහිදි මම විශේෂත්වයක් දැක්වූයේ ක්‍රීඩා විස්තර ප්‍රචාරයට පාසලේ පන්ති කාමරයේ ගුරුවරයෙක් නැතිව ඉන්න අවස්ථාවක මගේ විනෝදාංශය වුණේ ක්‍රිකට් විස්තර ප්‍රචාරණයෙන් නිවේදන කටයුතු කිරීම 1981 වන කොට මම පාසලෙන් ඉවත් වෙලා ඔයවෙනකොට මොනයම් හෝ කටයුත්තක නිවේදන කටයුතු වෙනුවෙන් ආරාධනයක් ලැබුණු මොහොතක මම ඒ සඳහා යමින් සිටි කාලයක්. දවසක් මගේ යාළුවෙක් ගෙදරට ඇවිත් කිව්වා මචං උඹ කැමතියිනේ මේ ෆීල්ඩ් එකට අන්න පත්තරයේ දාල තියනවා සහන නිවේදකයන් ගන්නවා කියලා. මට ඒ දැන්වීම දාල තිබුණු පත්තරයක් ගෙනත් දුන්නා. ඔහු නමින් රංජිත් වසන්ත පසුකාලයක බැංකුªවක මැනේජර් කෙනෙක් හැටියටත් රංජිත් වැඩකළා. අපි දෙන්නා එකට තමයි පාසලේ එක පන්තියේ හිටියේ. මම දැන්වීම අනුව අයදුම්පතක් දැම්මා. මාස නමයක් විතර බලන් හිටියා. ඒත් පිළිතුරක් නෑ. මම බලාපොරොත්තුව අතහැරල දැම්මා. ඔහොම ඉන්නකොට දවසක් මට ලියුමක් ආවා. ගුවන් විදුලි සංස්ථාවෙන් සහන නිවේදකයන් බදවා ගැනිමට ඔබව තෝරාගෙන තියෙනවා සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න කියලා. මම ෂුවර් කළේම නෑ. නමුත් ආශාව තිබුණා අඩුම තරමින් ගුවන් විදුලිය තියන බෞද්ධාලෝක මාවතේ මම ඒ වෙනකොට ගිහිල්ලා තිබුණේත් නෑ. එච්.එම්. ගුණසේකර, බර්ටි ගලහිටියාව, චිත්‍රානන්ද අබේසේකර මහත්වරු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ හිටියා. පළමු පරීක්ෂණය ඕකේ එක පියවරක් පැන්නා ඊට මාසයකට පස්සේ නැවතත් දෙවන ලියුම ආවා. නැවත දෙවන සම්මුඛ පරීක්ෂණයට එන්න කියල ඒකටත් ගියා. අර නිලධාරීන් පිරිසමයි හිටියේ. මට අවමඟුල් දැන්වීම් කියන්න දුන්නා. මම ගෙදර ආවා. ඊට පස්සේ සති දෙකකට පස්සේ තුන්වෙනි ලියුම ආවා ඔබ දෙවන පරීක්ෂණයෙන් සමත් තුන්වෙනි පරීක්ෂණය සඳහා පෙනී සිටින්න කියලා ඒකටත් ගියා. ඒකෙන් පාස්වුණා. දැන් මගෙ ඇගට ගැම්මක් ආවා ගෙදර ඇවිත් රේඩියෝ එක උදේ ඉදල රෑ වෙනකන් අහන්න පටන් ගත්තා. පත්තර අරන් කියවන්න පටන් ගත්තා. ඔය අතරේ මම ගුවන් විදුලියට ලිපි ලිව්වා. පාසල් කාලයේත් මම නිතර ලිපි ලිව්වා. ගුවන් විදුලියට පුවත්පත්වලට නාලන්ද විද්‍යාලයේ අශෝක කරුණානායක කියල තමයි මම ලිව්වේ. දිනමිණ, දවස, ලංකාදීප, ජනතා වගේ පත්තර වලට මම විවිධ මාතෘකා යටතේ ලිපි ලිව්වා. විවිධ පුද්ගලයන්ගේ චරිත පිළිබඳවත් ලිපි සම්පාදනය කළා. මේ දේවල් මම කොච්චර කළත් ගුවන් විදුලියේ නිවේදකයකුවීමේ ආශාව තමයි මා තුළ දිගටම තිබුණේ. ඔය අතරේ මට ලිපියක් ආවා ගුවන් විදුලි සංස්ථාවෙන් ඔබව සහන නිවේදකයෙක් හැටියට තෝරාගත් බව සතුටින් දන්වනවා ඒ සඳහා පුහුණුවක් ලැබීමට පැමිණෙන්න කියලා. ඒකටත් මම ගියා. මාස තුනක් ඒ පුහුණුව ලැබුවා. ප්‍රායෝගික පුහුණුව ඇඟට පත්තියන් වෙනකොට අපිට තිබුණ ආශාව නිසාම පුහුණුව ලබන අපි පාලන අධිකාරියෙන් ඉල්ලිමක් කළා. තවත් මාසයක් අපිට පුහුණුව ලබන්න අවසර දෙන්න කියල ඒ ඉල්ලිමටත් අවසර ලැබුණා. ඊට පස්සේ අපිට සහන නිවේදක පත්විම් ලබාදුන්නා.

සහන නිවේදක පත්විම් ලබන ඔබ ස්ව කැමැත්තට රජරට සේවය තෝරාගන්නවා නොවේද?

ඒක වෙන්නේ මෙහෙමයි මමත් සමඟ පුහුණුව ලැබුව අජිත් විජේසේන මට මෙහෙම කතාවක් කිව්වා. මචං මෙතන සහන කට්ටිය වැඩියි. ඔක්කොම කට්ටිය ඇවිත් ඉන්නේ කොළඹට අපි දෙන්න ඈත රේඩියෝ ස්ටේෂන් එකකට මාරුවක් අරන් යන් රජරට වුණත් රුහුණු වුණත් කමක් නෑ කියල අපි දෙන්නම තීරණය කළා. රජරට ගුවන් විදුලියට යන් කියලා. පාලන අංශය දැනුම්වත් කරල අවසරය ලබාගෙන අපි දෙන්නා හනික ගියා. රජරට සේවයට එවක රජරට සේවයේ අධ්‍යක්ෂවරයා වුණේ තිලක සුධර්මන් මහතා හරිම හොඳ පුද්ගලයෙක් එන්න පුතා ඔයාල තරුණයෝ ඉදිරියට මේව කරගෙන යන්න ඉන්නේ ඔයාල කියල අපිව සුහදව පිළිගෙන අපි දෙන්නට දුන්නා අසන්නන්ගේ ඉල්ලීම් ආපු තැපැල් පත් තෝරන්න. ඒවා එක එක අංශවලට වෙන් කරල රාක්ක වලට දාන්න.

රජරට සේවයට යන අශෝක කඩිමුඩියේ කොළඹ එනවා නේද?

තකහනියක් අපේ ඇම්මට රජරට සේවයට ගියාට අපිට ඉදුම් හිටුම් ප්‍රශ්න තිබුණා. කෑම බීම වුණත් කඩෙන් ළඟ තිබුණු මුදලුත් ඉවරවේගෙන ආවා. ආර්ථික ප්‍රශ්නය දැඩිව දැනෙන්න ගත්තා. දවසක් තිලක සුධර්මන් මහතා අජිත්ට කතා කරල කිව්වා මහියංගණ පන්සලේ පෙරහර තියනවා ඒක වාර්තා කරන්න යන්න කියලා. ඒකට එයා ගියා. මම කල්පනා කළා මම මෙතන ඉදීම මට හොඳ වුණත් මගේ ආර්ථික ප්‍රශ්න වලට මට මුහුණ දෙන්න බෑ ඒ නිසා මම මෙතනින් යා යුතුයි කියලා. ක්ෂණිකව මම තීරණය කළා කොළඹ යා යුතුයි කියලා. මම අලුත් නිසා ආයතනයක පරිපාලන කටයුතු ගැනත් එතරම් අවබෝධයක් නෑ. මම මෙතනින් යන්න හේතුවක් හදාගන්න ඕනෙ නිසා අද වගේ ඒ කාලේ හෑන්ඩ් ෆෝන් එහෙමත් නෑ. මම ගියා. තැපැල් කත්තෝරුවට ගිහින් ගත්තා රජරට සේවයට කෝල් එකක් ගෙදරින් කතා කරනවා වගේ අශෝක කරුණානායක කියල කෙනෙක් ආවා නේද ගෙදර පොඩි ප්‍රශ්නයක් එයාට එන්න කියන්න කියලා මම දුන්නා කෝල් එකක් හේතුවක් හදාගත්තා. කෝල් එක ගත්ත කෙනා කිව්වා පුතා දැන් නෑ කෑමට ගිහින් ද කොහෙදෝ මම ආපුවහම පණිවිඩේ දෙන්නම් කියල ෆෝන් එක තිබ්බා. මම කඩේකින් රුපියල් දහයක් දීල කෑම එකක් කාල බබා වගේ ආයතනයට ආවා. එනකොට මගේ කෝල් එක ගත්ත මහත්තයා හිටියා. මා දැකපු මහත්තයා එයි කොල්ලෝ අන්න ගෙදරින් කෝල් එකක් දුන්නා ගෙදර පොඩි කරදරයක් කියලා උඹ පලයං පුතේ කියල ඒ වචනෙ මට ඉබ්බා දියට දැම්මා වගේ මට කියල කරගන්න බැරි චාන්ස් එකක්. මම යන්නම් කිව්වා. ගත්ත බෑග් එක රෙදි දෙක තුන දාගත්තා. එතනින්ම නැග්ගා කොළඹ එන්න බස් එකකට ගෙදර ඇවිත් පහුවදාම කොළඹ ගුවන් විදුලි කාර්යාලයට ගියා. ඒ කාලේ සිංහල අංශයෙන් තමයි නිවේදකයෝ සම්බන්ධීකරණය කළේ තමුසේ රජරට සේවයට ගියා නේද තමුසෙට ඕනෙ විධියට මෙහෙට එන්න බෑ. ආයතනයක පරිපාලනයක් තියනවා කියල එතන හිටිය ප්‍රධානියෙක් මට කියාගෙන ගියා. ඒ පාර මම ඇහුවා මොකක්ද මම කරන්න ඕනේ කියල ඒ පාර කිව්ිවා. ඇඩ්මින් එකට ගිහින් පාලන අංශයේ අධ්‍යක්ෂක එක්ක කතා කරල කරන දෙයක් කරනවා. හැබැයි මේ පැත්ත පළාතේ එහෙම එනවා නොවෙයි කියල මට කිව්වා. කතාව ඇත්ත. මම ගියා. පාලන අංශයට රත්නසේන ඩයස් කියල පරිපාලන නිලධාරියෙක් හිටියේ. මම එතුමන්ගේ පෞද්ගලික ලේකම්වරිය හමුවුණා. මම කිව්වා රජරටසේවයට මාරුවක් ඉල්ලන් ගියා. දැන් මට ආයෙ කොළඹට එන්න ඕනේ කියල මාසයක්වත් තවම ගිහින් නෑනේ හරි යයි ද දන්නෑ මල්ලි මම සර් ළඟට දාන්නම් කියලා. මා ඇතුල් කළා. පරිපාලන නිලධාරියාගේ කාමරයට එතුමා වැඩ. මම ඔළුව කහ කහ ඉන්නවා. මාව ගණන් ගත්තේ නෑ. ටික වෙලාවකින් තමාගේ ප්‍රශ්නය මොකක්ද ඇහුවා. මම කිව්වා කතාව ඒ පාර මට එතුමා කිව්වා තමුසෙට ඕනෙ විධියට මාරු වෙන්න බෑ හලෝ තමුසෙ මේක ඉල්ලගෙනනේ ගියේ කියල ඒ පාර මම කිව්වා සර් තාත්තා අසනීපෙන් ගෙදර කවුරුත් නෑ කියල මම දිහා කණ්ණාඩිය යටින් බැලුවා. මගේ ඉල්ලීම් ලිපියට අනුමතයි කියල අත්සන් කළා. ආයෙත් දෙයියනේ කියල කොළඹ වැඩ කරන්න ලැබුණා.

ක්‍රීඩා විස්තර ප්‍රචාරණයට අසීමාන්තිකව ආදරය කළ ඔබට ක්‍රීඩා විකාශයේ කොටස් කරුවෙකු වෙන්න ලැබුණේ කොයි ආකාරයෙන්ද?

සහන නිවේදකයකු ලෙස වැඩකරන කාලේ විකාශන කටයුත්තකට දායක වුණොත් පැයක් වෙනුවෙන් අපිට ලැබුණේ රුපියල් හතරක මුදලක් සහන කට්ිටිය වැඩිපුර සිටි නිසා බීම් එකක ලැබෙන ඉඩත් බොහොම අඩුවෙන් ලැබුණේ. වැඩි වශයෙන් ලැබුණේම මරණ දැන්වීම් කියන්න. රෑට එහෙම මරණ දැන්වීම් කියන්න වැඩි වශයෙන් ලැබුණා. ඔය අතරේ සාමාන්‍ය වැඩසටහන් පවා කරන්න ලැබුණා අඩු වැඩි වශයෙන් ඔහොම ඉන්නකොට දවසක් ක්‍රීඩා විකාශය භාරව සිටි අධ්‍යක්ෂවරයකු වූ කාල්ටන් සෙනෙවිරත්න මහතා මට දවසක් කතා කරල ඇහුවා ඔයා නාලන්දේ නේද ඔයාට පුළුවන්ද පුතා ස්පෝට් ප්‍රෝග්‍රෑම්වලට සපෝට් එකක් දෙන්න කියලා මම කිව්වා. එන්නම් සර් කියල ක්‍රීඩා සේවයේ ස්පෝට් ප්‍රෝග්‍රෑම් කටයුතු කළේ සමන් අතාවුද හෙට්ටි. මම එතුමන් සමඟ සහයෝගයෙන් ක්‍රීඩා සංග්‍රය කරගෙන ගියා. ඒ අතරතුර එතුමන් අමාත්‍යාංශයක වැඩකටයුතු වෙනුවෙන් එයින් ඉවත් වී ගියා. ඔහුගේ නික්ම යාමත් සමඟ කල්ලමරේ වගේ මට සෙට් වුණා. තනිකරම ක්‍රීඩා සංග්‍රහය මම ඇදගෙන ගියා තනියම වැඩසටහන් ටික කරනකොට මගේ දක්ෂතාවය ගැන ආයතනයේ කතාබහක් ඇති වී තිබුණා. කවුරුත් මට ආදරයට කිව්වේ ස්පෝට්කරු කියලා. ඔහොම අවුරුදු කීපයක් කටයුතු කරමින් ඉන්නකොට මාව කොන්ත්‍රාත් පදනමට බදවා ගැනීමක් කළා.

ස්ථිර නිවේදකයෙක් බවට පත්වන්නේ?

ස්පෝට් ඩිවිෂන් එකේම මම අවුරුදු දහයක් විතර වැඩකරගෙන ඉන්නකොට වසර 2000දී පමණ මාව ස්ථිර නිවේදක තනතුරට බඳවාගත්තා.

ක්‍රීඩා වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙසත් ඔබ කටයුතු කරනවා නොවේද?

මට උසස්වීමක් ලෙස මේ තනතුර ලැබුණා. සාෆ් ගේම්ස්, ඒෂියන් ගේම්ස් වගේ ලොකු ඉවෙන්ට් මට කවර් කරන්න ලැබුණා. මැලේෂියාව, තායිලන්තය, චීනය, ඉන්දියාව, ප්‍රංශය, එංගලන්තය වගේ රටවල මම විවිධ ක්‍රීඩා වැඩසටහන් සඳහා සහභාගි වුණා. ලංකාවේ පැවති සාෆ් ගේම්ස් තරගාවලියේදි. මම ස්ටුඩියෝ ප්‍රොඩියුසර් හැටියට කටයුතු කළා.

ගුවන් විදුලියේ රැකියාව කරමින් සිටි ඔබ ලක්හඬ හා අත්වැල් බැද ගත්තේ ඇයි?

ලක්හඬ නමින් ගුවන් විදුලි සේවයක් පටන්ගන්න යනවා කියල නිවුටන් ගුණරත්න මහත්තයා මට ආරාධනාවක් කළා. කැමැති නම් එන්න කියලා මම ආරාධනාව භාරගත්තා මම කරමින් සිටි තැනට ආදේශකයෙක් පත්කරල ලක්හඬ පටන් ගත්තේ ගුවන් විදුලියේම තවත් නාලිකාවක් විධියට නිවුටන් ගුණරත්න මහතා ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා වීමත් සමඟ එතුමන් ලක්හඬ එම ආයතනයට රැගෙන ගියා. එතනදී අපෙන් ඇහුවා ගුවන් විදුලියෙන් ස්ථිර පත්වීම් අතහරින්න කැමති ද කියලා අපි කැමැති වුණා ගුවන් විදුලියේන් අයින් වෙන්න ඊටපස්සේ අපිට ස්වාධීන රූපවාහිනියේ ස්ථිර පත්වීම් ලැබුණා.

ලක්හඬ හා එක් වුණේ ඔබ කවුරුන් හැටියටද?

සහකාර කළමනාකරුවෙක් හැටියට තමයි මම මුලින්ම ලක්හඬට සම්බන්ධ වුණේ. ඊට පස්සේ කළමනාකරු වැඩසටහන් ඊටත් පස්සේ උසස්විම් ලැබ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ලක්හඬ ලෙස කටයුතු කළා. විශ්‍රාම ගන්න විට මම කටයුතු කළේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රේඩියෝ හැටියට.

ක්‍රීඩා පැත්ත ලක්හඬට පැමිණිමත් සමඟ අමතක කරනවද?

මුල් කාලයේ ඒ වැඩකටයුතු කළා. තනතුරුවලින් ඉහළට යනකොට හැමදෙයක් ගැනම මට බලන්න සිද්ධ වුණා. අවශ්‍ය අවස්ථාවලදී නිවේදන කටයුතු කළා. ප්‍රවෘත්ති කියන්න ගියේ නෑ. හැබැයි මම ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති කිව්වා. අවුරුදු පහක් හයක් විතර ජාතික රූපවාහිනියේ ක්‍රීඩා විකාශන වැඩසටහන් සඳහාත් මම සහභාගි වෙලා තියනවා.

විස්තර ප්‍රචාරණයේ අභියෝග ජයගත්තේ කොයි ආකාරයෙන් ද?

අද වගේ පහසුකම් එදා අපිට තිබුණේ නෑ. සමහර විස්තර ප්‍රචාර අපි කළේ වෙනත් මාධ්‍යයක වෙනත් භාෂාවකින් යන දේ පරිවර්තනය කරල සමහර අවස්ථාවලදී විදෙස් සංචාර වලදී අපි ඒ මැච් එකේ විස්තර සජීවීව ඉදිරිපත් කිරිම කළේ වෙනත් භාෂාවකින් ඒ රටේ යන විකාශය ඒ භාෂාව දන්නා කෙනෙක් ලවා පරිවර්තනය කරගනිමින් ඒ මොහොතේ අපේ භාෂාවෙන් ඉදිරිපත් කරමින්. ඒවගේ අඩු පහසුකම් යටතේ අපි මේ නිවේදන කලාව අඩුපාඩුවක් නොදැනෙන්න කරගෙන ගියා. දැන්නම් තියන පහසුකම් එක්ක හරිම ලේසියි. වැඩ කරගෙන යන්න.

පරිපාලනමය වගකීම් ලැබුණට පස්සේ. ලක්හඬ තුළ ඔබ වෙනසක් ඇති කළාද?

වැඩසටහන්වල වෙනසක් ඇතිකළා තරඟකාරි ගුවන් විදුලි මාධ්‍ය තුළ ගමනක් යන්න සාම්ප්‍රදායික රේඩියෝ කලාවෙන් අපි අත්මිදෙන්න උත්සාහ කළා. අලුත් වැඩසටහන් අපි හඳුන්වා දුන්නා. පරණ වැඩසටහන්වල ගුණාත්මක භාවය රදවාගනිමින් ලක්හඬ පේ‍්‍රමතටාකය, වෙඩිල්ල නමින් කාලින තොරතුරු අලළා වැඩසටහන්, කාල හංදිය ආදි වැඩසටහන් ගොඩක් මම හඳුන්වා දුන්නා.

ඔබේ රාජකාරි ජිවිතයේ වඩාත් තෘප්තිමත් කුමන තනතුරේ වැඩ කිරීමේදීද?

හැම තනතුරක් එක්කම තෘප්තිමත් භාවයක් තියනවා. වැඩි වශයෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තනතුරත් එක්ක මට ගොඩක් දෙයක් කරන්න අවස්ථාව ලැබුණා. පාලන අධිකාරිය අපිට පුර්ණ නිදහස දිලා තිබුණා. වැඩ කරගෙන යන්න. ඇගිලි ගැසිම් බලපෑම් කළේම නෑ. අපිට නිදහස දුන්නා අපේම දෙයක් කරගෙන යන්න. නිවේදකයන් කාර්මික ශිල්පින්, නිෂ්පාදකවරුන් එක මිටට අරන් තමයි අපි චැනල් එක කරගෙන ගියේ. ඒ සාමුහික ප්‍රයත්න මගේ කාලය තුළ සාර්ථක වුණා. කියලා මට හැගෙනවා මම කලේ ඕඩර් දෙන එක නොවෙයි. පහළම තැනට ගිහින් කරට අතදාල අපි මේක කරමු කියල දිරිමත් කරන එක ඔවුන්ට මානසික නිදහසක් දුන්නා. මම කාමරයේ ඉදල ඕඩර්ස් දුන්නේ නෑ. කොළඹින් කතා කරමි කියල කිව්ව ගුවන් විදුලියේ නොවෙයිනේ අද තියෙන්නේ කාලයාට අනුරූපිව අපිත් ගුවන් විදුලිය වෙනස් කළා සංස්කෘතියට හානි නොකර.

ලක්හඬ පටන්ගත්තේ ගුවන් විදුලියට අභියෝග කරන්නද?

නෑ. කොටුවෙලා හිටිය ගුවන් විදුලිය මැදමාවතේ ගෙනයන්න තමයි ලක්හඬ බිහිවුණේ. ගුවන් විදුලිය සාම්ප්‍රදායික ක්‍රමවේදය තුළ කොටු වී සිටි නිසාවෙන් අනෙකුත් පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවන්ට අභියෝගයක් කරන්න තමයි ලක්හඬ ඇරඹීමේ එක් අරමුණක් වුණේ. අපි මැද මාවත තියාගෙන තවත් නැවුම් මාවතක් ලක්හඬ ඔස්සේ හඳුන්වා දුන්නා. ගුවන් විදුලියේ මුල් ආභාසය අරන් අපි වෙනසක් අපේක්ෂා කළා. ඒක එහෙම විය යුතු වුණා.

ඔබේ රාජකාරි කාලය තුළ අලුත් පරපුරකට දොරටු විවර වුණා නේද?

ඔව් මම අලුත් පරපුරකට ඉඩකඩ විවර කරල දුන්නා. ඔවුන්ගේ දක්ෂතා හඳුනාගෙන නිවේදකයෝ හැටියට ඉදිරියට එන්න. තරුණ දරුවන්ගේ දක්ෂතා මම හඳුනාගෙන. පෞද්ගලිකව මැදිහත් වී මම ඔවුන්ට නිවේදන කටයුතු කරන්න අවස්ථාව හදල දුන්නා. ඔලිවර් රොඩ්රිගෝ, චතුර දිවාශන එවැනි අයට හොදම උදාහරණ.

ස්පෝට් පැත්ත ඔබ බොහොම ආසාවෙන් කරගෙන ඇවිත් පසුවට එය අතහැර දමනවාද?

මම වෙනත් වැඩසටහන් වෙනුවෙන් යොමුවෙන කොට ඒ අංශය තරුණ පිරිසකට භාර කරල ඔවුන්ගේ අතට මගේ අතේ තිබුණු බැටන් එක භාර කළා.

එලෙස ඔබ අතරැදී තිබූ බැටන් එක කවුරුන්ගේ අතට ද පත් කළේ?

නුවන් කරුණාරත්නට, රවිමල් හඳුවලට, ධම්මික බණ්ඩාර තෙන්නකෝන්ට.

සේවයෙන් විශ්‍රාම ගියත් මාධ්‍ය මෙහෙවරේ ඉදිිරියට යෙදෙන්න අදහසක් නැද්ද?

ඕනෙම කෙනෙක් එක්තරා තැනකදී නතර වෙන්න ඕනේ. මගේ තියරිය තමයි නිසි කලට බැටන් එක දීල නිශ්ශබ්දව ඉන්න එක.

වෙනත් පෞද්ගලික නාළිකාවලින් ආරාධනා නැද්ද?

ලැබුණා. නමුත් මම කිව්වා ඔවුන්ට මට නිහඬ කාලයක් ගතකරමින් ඉන්න ඕනෙ කියලා. ගුවන් විදුලියෙනුත් නැවත ආරාධනාවක් ආවා. ක්‍රීඩා විකාශයට අලුත් මුහුණුවරක් ලබාදෙන්න එන්න කියල මම ඒ ආරාධනයත් ප්‍රතික්ෂේප කළා.

අද මේ ක්ෂේත්‍රයට එන්න ඉන්න ආශාවක් දක්වන පිරිස් වෙත ඔබේ අත්දැකීම් දැනුම හුවමාරු කරගැනීමේ වැඩපිළිවෙලක් වෙත යොමුවෙන්න අදහසක් නැද්ද?

මම පෞද්ගලිකව අදහස් කරනවා ක්‍රමවත් ක්‍රමවේදයකට මාධ්‍ය ඇකඩමියක් ආරම්භ කරන්න.

අද ගුවන් විදුලි මාධ්‍ය කොයිබටද?

අද ත්‍රීවිලර් පාක් වලට ගාමන්ට් වලට ඉලක්ක කරගෙන ගුවන් විදුලි මාධ්‍ය කතාකරන්නේ එදා ගුවන් විදුලි මාධ්‍ය කතා කළේ බුද්ධිමත් ශ්‍රාවක පිරිසකට අද ආර්ථික වටිනාකම හැමදේටම මුල්වෙලා තියෙන්නේ පෞද්ගලික නාළිකා තමන්ගේ නාළිකාව ඇහුවොත් රුපියල් මිලියනයක් දෙනවා. රුපියල් ලක්ෂයක් දෙනවා මේ තැනට පත්වෙමින් අද පරිහානිය කරා මේ මාධ්‍ය ගමන් කරනවා නොවෙයි දැනටමත් පරිහානියට ගිහින්.

නිවේදන කාර්යට එක්වන නවකයන්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වූ ඔබට මොනවද කියන්න තියෙන්නේ?

අද අලුත් පරපුරට නිසි මඟපෙන්විමක් තිබිය යුතුයි. ඔවුන්ගේ කාර්යන් පහසු කරන්න අවශ්‍ය වටපිටාව අපි සකස් කර දෙන අතරේ ඔවුන්ගේ අඩුපාඩුකම් හදාගන්න අපි උදවු කරන්න ඕනේ. නිවේදනය කරන්න පුළුවන් වුණාට අත්දැකීම් නැත්නම් ඒක කරන්න එක පාරටම අපහසුයි. අපි වුණත් මාස තුන හතර පුහුණුවක් ලබල තමයි ශ්‍රාවකයන්ට ආමන්ත්‍රණය කළේ. අද සතියෙන් දෙකෙන් එනකෙනාට වැඩසටහන් බාර දෙනවා. එදා අපි ගීතයක් ප්‍රචාරය කළේ ගායකයා පද රචකයා සංගීතඥයා කවුද කියල දැනගෙන ශ්‍රාවකයන් දැනුම්වත් කරල අද බොහෝවිට මේ නිර්මාණකරුවෝ කවුද කියල නෑ. සිංදුව ප්‍රචාරය වෙනවා. හැම තිස්සේම අපි දැනුම්වත් වෙලා ඉන්න ඕනේ. අපේ ශ්‍රාවකයෝ දැනුම්වත් කරන්න.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT