Home » නවමු ආස්වාදයක් ගෙන එන චිත්‍රපටයක්

නවමු ආස්වාදයක් ගෙන එන චිත්‍රපටයක්

by Thanushika
July 31, 2025 12:10 pm 0 comment

අදට වඩා හෙට හොඳ වන බව පැවසීම උපකල්පනයකි. බලාපොරොත්තුවකි. පැතුමකි. හැම යුගයකදීම ජන මතය හා මෙකරුණ අතර සුහද හා සමීප ගිවිසුම් පවතින වග රහසක් නොවේ. මෙහි අනෙක් පස අන් ආකාරයක් ගනී. එනම් අදට වඩා පෙර දින හොඳ වන බවය. අද ඇත්තේ පරිහානියක් බවත් පෙර දින ඇවතුම් පැවතුම් ඊට වග කිව යුතු වුවද පෙර දින හොඳ අපමණ බවත් ඉන් කියැවේ. සිරිලක ජන මනස මෙකරුණු සමඟ නිරන්තරයෙන්ම බැඳී පවතී.

මේ අනුව සිරිලක කලාවේ සොඳුරුතම හා විශිෂ්ටතම කාල වකවානුව සේ අදින් දශක සයකට හෝ පහකට පමණ පෙර උදාවූ සමය හඳුනා ගැනෙන අවස්ථා ගණනාවකි. වෙසෙසින්ම 1960 හා 1970 යන දෙදශකය විෂයෙහි සිරිලක සිනමා, නාට්‍ය, සාහිත්‍ය, සංගීත යනාදී කලාංගයන්ගේ වැඩුණු අවස්ථා බොහොමයක් දත හැකි වූ වග ඉන් උද්ධරණය කෙරේ. බැලූ බැල්මට හා එය ඉක්මවා යන විවරණ ඔස්සේ මෙකරුණ සහේතුක නොවන බවක් නොපෙනේ . එනමුදු වත්මන් යුගයේදී සිරිලක සිනමා, නාට්‍ය, සාහිත්‍ය හා සංගීත පෙරට ඒම් පිරික්සීමේදී එසමය අබිබවා යන පිවිසුම් නොමැති බව කිසිවිටෙකත් කිව හැකි නොවේ. කෙසේ නමුදු අතීතය අගනේය යන පාරම්පරික අදහස තවදුරටත් පවතින පසුබිමක 1960 හා 1970 දෙදශකයේ සිරිලක කලාව බැහැර වන සෙයක් දක්නට නුපුළුවන.

තේජා ඉද්දමල්ගොඩ ‘රිදම් ඔෆ් ද ගිටාර්’ මැයෙන් වූ සිනමාපටය තමන්ගේම තිරනාටකයක් මත රැඳෙමින් නිමවන්නට පියවර ගන්නේ එසේ 1960 හා 1970 දෙදශකයේ සිරිලක කලාව සම්බන්ධයෙන් පවතින ආකල්පයේ එන ආස්වාදජනක කියැවීම මහෝපකාරී කොට ගනිමිනි. මෙතැනදී ඔහු වරණය කොට ගන්නේ සිනමා වෙළෙඳ පොළද ජය ගත හැකි නිමිත්තක්ය යන්න පැහැදිලිය. මෙය සිනමාපටයේදී උත්කර්ෂයට නංවන එසමයේ සක්‍රිය වූ පොප් සංගීත කණ්ඩායම් පිළිබඳ පුවතක් සේ පමණක්ම සලකා බැලීම උචිත නොවේ. මෙම සංස්කෘතික මැදිහත්වීම සේම සමකාලීන තුරුණු විය පිළිබඳ කරුණු සනිටුහන් කිරීම සඳහා එයින් ඉඩ හසර සැලසෙන බව පැහැදිලිය.

මෙතැනදී 1960 හා 1970 දශකය පිළිබිඹු කරලන ලකුණු සමඟ අන්‍යොන්‍ය සබඳතා දිගින් දිගටම වගා කර ගැනීමේ අභියෝගයකට සිනමාකරු තේජා මුහුණ දුන්නේ යැයි සිතේ. නිමැවුම් කටයුතු අතරතුර ඔහු ගිලන්ව නික්මුණු බව මෙහිලා සනිටුහන් කරන්නේ ඔහුට සේම අනතුරුව සිනමාපටය රැක දුන්නවුන්ටද යුක්තිය ඉටු කරලනු පිණිසය. මේ දෙවන පිරිස තේජා මුහුණ දුන් උක්ත අභියෝගයට මුහුණ දෙමින් සිනමාපටය සැබෑවක් බවට පත්කරලීමේ කාර්යයෙහි වෙහෙසකරව නියැළුණු වග පෙනේ.

තේජා ලියූ තිරනාටකයේ ස්වරූපය හා ස්වභාවය නිර්ණය කර ගත යුත්තේ නිම කළ සිනමාපටය ඔස්සේයි. සිනමාපටයේ අදියුරු තනතුරේ ඔහුගේ සහභාගීත්වය හා දායකත්වය මුළුමනින්ම නොපෙනෙන හෙයින් මේ කටයුත්ත තරමක් දුරට සංකීර්ණ වන බව නොඅනුමානය. සිනමාපටයක පළමු වගකිවයුත්තා වනුයේ සිනමාකරුවාය යන පොදු අදහස හමුවේ මෙකරුණ නොතකා හැරීම සාවද්‍ය අදහස් ජනනයට අගනා පිටිවහලකි. කෙසේ නමුදු විමසුම් කාර්යයේදී නිම කළ සිනමාපටයේ රුව ගුණ හසු කර ගැනීමයි අත්‍යන්තයෙන්ම වැදගත් වන්නේ.

සිරිලක පොප් සංගීතය ජනාදරප්‍රාප්ත කරලනු වස් විසල් අවතීර්ණ වීමක් පෙන්නුම් කළ ක්ලැරන්ස් විජේවර්ධනගේ මුල් සමය ඇසුරු කර ගැනීම නිසා නිර්මාපක අරමුණ කැපී පෙනෙන බවයි දත හැක්කේ. ක්ලැරන්ස් පනස් තුන් වසක් ආයු වළඳා අදින් වසර විසි නවයකට පෙරාතුව නික්ම ගියේ තවත් බොහෝ කලක් සිය මතකය නිරුපද්‍රිතව සිරිලක ජන හදවත් තුළ තැන්පත් කරමිනි. මෙබඳු ජනාදරප්‍රාප්ත නිර්මාණකරුවන් පිළිබඳ ශාස්ත්‍රීය විමසුම් පෙරට එන්නේ ඔවුනගේ නික්ම යාමෙන් අනතුරුවය යන්න සැබෑවකි. විජය කුමාරතුංග, එච්.ආර්.ජෝතිපාල, නිහාල් නෙල්සන්, මිල්ටන් මල්ලවආරච්චි , ඇන්ජලින් ගුණතිලක, නෙවිල් ප්‍රනාන්දු, රුක්මණී දේවි ඉන් කිහිප දෙනෙකි. ක්ලැරන්ස් හා ඔහු නියෝජනය කළ සංගීත ආර අරභයා වූ ශාස්ත්‍රීය විමසුම්ද දැකිය හැකිය. තේජා ඇරඹු මේ ‘රිදම් ඔෆ් ද ගිටාර්’ සිනමාපටය මෙසේ ක්ලැරන්ස් විජේවර්ධන හෝ සිරිලක පොප් සංගීතයේ උපත හා හැදී වැඩීම පිළිබඳ ගැඹුරු හැදෑරීමක ප්‍රතිඵලයක් සේ හඳුන්වා දීම සුදුසු නොවේ. සැබැවින්ම ‘රිදම් ඔෆ් ද ගිටාර්’, ක්ලැරන්ස් විජේවර්ධන, ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රානි පෙරේරා සමඟ 1960 හා 1970 දශකයේ නාගරික තුරුණු විය නිරූපණයට ආ වර්ණවත් හා රසවත් සිනමාපටයක්ම වේ. ක්ලැරන්ස්, ඇනස්ලි ඉන්ද්‍රානි සේම ඔවුන් නියෝජනය කළ මූන්ස්ටෝන්, ගෝල්ඩන් චයිම්ස්, සුපර් ගෝල්ඩන් චයිම්ස් හා ත්‍රී සිස්ටර්ස් ආදී පොප් සංගීත කණ්ඩායම් මෙහිලා නිර්මාපකයන් විසින් උපයෝගී කොට ගනු ලබන්නේ සිනමාපටයේ චමත්කාරජනක බව උත්සන්න කරලිමේ චේතනාවෙනි.

සිනමාකරු තේජා ඇතුළු නිර්මාපකයන් ක්ලැරන්ස් විජේවර්ධන, ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රානි පෙරේරා එදවස ගැයූ අදටත් සවනත වැකෙන ගී රැසක් සිනමාපටයට එක්කරන්නේ රසික සහභාගීත්වය සඳහා ඉන් මහත් පිටුබලයක් ලැබෙනු ඇතැයි යන විශ්වාසය නිසාය. මොවුනගේ අතීත සංගීත හා ගීත නිමැවුම් ප්‍රිය කරනන්නවුන් මෙම පිළිවෙත අනුමත කරන්නට ඇති අවකාශය පුළුල්ය යන්න නිර්මාපකයන්ගේ අදහස වී තිබේ. මෙනිසා කෙමෙන් ගලා යන පුවතක් සරි කර ගැනීම ඔවුනට අසීරු වී ඇති සැටියකි. මෙය තිරනාටකය හා සිනමාපටයේ නිමැවුම අතර එකඟතා අවම වීමේ ප්‍රතිඵලයක් සේ නම් කරලීමටද පුළුවන. වෙසෙසින්ම ක්ලැරන්ස්ගේ ප්‍රමුඛ ආදර සබඳතාව නිරූපණයේදී නිර්මාපකයන් කිසියම් දුරස් වීමක් පෙන්නුම් කළ බවයි පෙනී යන්නේ. කෙසේ වුවත් ඔවුන් පවසන්නේ ක්ලැරන්ස් හා ශීලා නමැති ඔහුගේ ප්‍රමුඛ පෙම්බරිය අතරැ’ති සබඳතාව පරමාදර්ශී වූවක්ය යන්නයි. නිරතුරුවම ගීත එක්කිරීම නිසා සිදුව ඇත්තේ මෙය මඳ පමණින් දියාරු වීමය.මෙනිසාම හුදෙක් රූපරාමු සරසන මගක් බවට ක්ලැරන්ස් – ශීලා පෙම පත්වන සෙයකි. රසික බහුතරයක් මෙයින් දුර්මුඛ නොවීම සිනමාපටය උදා කරගන්නා වාසනාවක් වේ. මන්ද රසික බහුතරයකගේ සිතුම් පැතුම් නන් අයුරින් ඉටුකරන බොහෝ අංග සමඟ නොකඩවාම රැඳී සිටින්නට නිර්මාපකයන් අසමත් නොවන නිසාවෙනි.

‘රිදම් ඔෆ් ද ගිටාර්’ ක්ලැරන්ස් විජේවර්ධන හා ඔහුගේ සමීපතමයන්ගේ දිවි සැරිය එලෙසින්ම නිරූපිත සිනමාපටයක් සේ හඳුන්වා දීම අසීරු වුවද 1960 හා 1970 දෙදශකයේ සිරිලක පොප් සංගීතය හා තුරුණු කල්පනා කල් ඉකුත් නොවන මතකයක් බව හඟවන සිනමාපටයක් සේ හඳුනා ගැනීම පහසු බව පෙනේ.

වඩාත් විශ්වාසනීය අන්දමින් රූප රචනය දක්වන්නට තේජා ඇතුළු නිර්මාපකයක් උත්සුක වූ බව සඳහන් කළ හැක්කේ ඇතැම් නොඑකඟතාද සහිතවය. මෙයින් පළමු තැනට එන්නේ සංගීත ප්‍රසංග හමුවන අවස්ථායි . 1970 දශකයේ මුල් සමයේදී සිරිලක පොප් සංගීතය වටා නාගරික සේම තදාසන්න තුරුණු පිරිස් රොද බැඳ ගෙන සිටි වග ඊට අකැමැත්ත පළ කළ පිරිස්ද පවසති. සිනමාපටයේ එන පොප් සංගීත ප්‍රසංග අවස්ථා වෙතින් දැකිය හැක්කේ සීමිත රසික පිරිස්ය. මෙය සිරිලක පොප් සංගීත කණ්ඩායම් පිළිබඳ මතකය හා නොගැටෙන්නේ යැයි කිසිවකුටත් කිව හැකි නොවේ. නිර්මාපකයන් සිනමාපටයේ බොහෝ අංග වෙත ලබා දුන් පළමු හෝ දෙවන තැන මේ වෙතද ලබා දීමට පියවර ගත යුතුව තිබිණි.

තවත් අතකින් ‘රිදම් ඔෆ් ද ගිටාර්’ තුරුණු පෙළ කළඹන විවෘත විලාසිතාගාරයක් බඳුය. නිර්මාපක වෑයමක් වී ඇත්තේ 1960 හා 1970 දෙදශකය මේ මඟ ඔස්සේද වත්මනට ගෙන ඒමයි. මේ සිනමාපටය නැරඹීමෙන් වත්මන් තුරුණු පෙළ එදවස විලාසිතා අනුගමනයට පෙළඹෙනු ඇතැයි යන්න හිතලුවකි. එහෙත් මෙය උදා කර ගත නොහැකි කැමැත්තක් සේ ඔවුන් තුළ පවතින බව පෙනේ. ඇඟලුම් පමණක්ම මෙහිලා කැපී නොපෙනේ. ගෘහ භාණ්ඩ, ස්ථාවර දුරකථන බඳු උපකරණ, යාන වාහන ආදියද මෙතැනට එක් කළ යුතුය. එහෙත් සිනමාපටයේ රසාලිප්ත බවම උද්දීපනය ක‍රන නිසා මෙවැනි එක්කරලීම් වෙතින් ජනනය වන නොපෑහීම් කෙමෙන් යටපත් වීම නිර්මාපකයන්ගේ වාසියට හේතු වන්නකි. අතීතය ප්‍රතිනිර්මාණයට අදාළව සිරිලක සිනමාකරුවන් මුහුණ දෙන අපහසුතා සිහිපත් කරලීමක් ලෙසින්ද මේ අදහස සලකා බැලිය හැකිවේ.

සිනමා තිරයට හඳුන්වා දෙන දමිත් විජයතුංග හා නිහාරි පෙර්රා පෙන්වන තරු ගුණය අනාගතය උදෙසා කෙරෙන යම් ආයෝජනයක් බඳුය. සිනමා රූපණයේ යම් අත්දැකීම් සහිත සාරංග දිසාසේකර හා දිනක්ෂි ප්‍රියසාද් සමඟ එක පෙළට රැඳෙන්නට දමිත් හා නිහාරි සමත් වෙති. කෙසේ නමුත් මේ කියමන සහතික කොට ගත හැක්කේ නව සිනමා රූපණ අවස්ථා ඔවුන් වෙත හිමිවීමට සාපේක්ෂවය.

මූන්ස්ටෝන්, සුපර් ගෝල්ඩන් චයිම්ස්, ත්‍රී සිස්ටර්ස් සිහිගන්වන අයුරින් පසුබිම් සංගීතය ප්‍රතිනිර්මාණයේදී ඇතැම් පසුබෑම් මඟ හරවා ගැනීමට සුරේෂ් මාලියද්දේ සැලකිය යුතු අන්දමින් සමත් වෙයි. රූප නිර්මාණයේදී රුවන් කොස්තා වරෙක සැහැල්ලු හා තවත් වරෙක තරමක බරසාර පිළිවෙතක පිහිටයි. සිනමාපටයේ රසාලිප්ත ලකුණු අභිවර්ධනයට ඔහු ලබා දෙන සහය තීරණාත්මකය. ක්ලැරන්ස් – ශීලා ආදරණීය සමිපවීම්, ප්‍රසංග වේදිකාවේ ගායනා විලාස කැමරාගත කිරීමේදී ඔහුගේ මෙම දෙයාකාර පිළිවෙතේ අරුත පසක් කර ගත හැකිය.

මෙසමයේ සිරිලක සිනමා කලාපය තුළ පවතින්නේ විටෙක දරා ගත නොහැකි උණුසුමකි. මේ පසුපස නිපැයුම්කරුවන්ගේ නොපැකිළීම කැපී පෙනේ. රසික නැණැස අවදි කරන සබුද්ධික කියැවීම් බහුල එබඳු සිනමාපට අතරට තේජා ඇතුළු නිර්මාපක පිරිස සමඟ නිපැයුම්කරු තුසිත විජේසේන ‘රිදම් ඔෆ් ද ගිටාර්’ රැගෙන පැමිණෙන්නේ ‌උක්ත උණුසුම දරා ගත හැකි නවමු හා ආස්වාදජනක අරමුණු සහිතවය.

 

[email protected]

තුසිත ජයසුන්දර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT