Home » නවක නාට්‍යකරුවන්ට සංවිධායකවරු නැහැ

නවක නාට්‍යකරුවන්ට සංවිධායකවරු නැහැ

රංගන ශිල්පී, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ නිහාල් ප්‍රේමචන්ද්‍ර

by Thanushika
July 24, 2025 8:55 am 0 comment

කොපමණ බාධක කම්කටුලු තිබුණත් කලාකරුවන් කලාවේ රැඳී සිටින්නේ කලාවට ඇති ආදරය නිසාමය. ඔවුහු ජීවිතය ඇති තුරාම කලාව වෙනුවෙන් කැපවෙති. කලාවේ පැවැත්ම රඳා පවතින්නේද එවැනි කලාකරුවන්, නිර්මාණකරුවන් නිසාමය. කේ.ඒ. ඩබ්ලිව් පෙරේරාගේ ‘ දුර්ගා’ චිත්‍රපටයෙන් සිනමා ගමන ඇරඹූ නිහාල් ප්‍රේමචන්ද්‍ර කලාවට මහත් සේ ඇලුම් කරන ඒ වෙනුවෙන් කැපවූ රංගන ශිල්පියෙකි. ඔහු සහය අධ්‍යක්ෂකවරයෙක් වශයෙන්ද කටයුතු කර ඇත. ඔහු මේ දිනවල ඔහුගේ නවතම වේදිකා නාට්‍ය සමඟ ජීවත් වෙමින් සිටියි. ඒ පිලිබඳ තොරතුරු හෙළි කිරීමට ඔහු පසුගියදා පත්තර මහගෙදර සරසවියට ගොඩ වූයේය.

මගේ අලුත්ම වේදිකා නාට්‍ය “මේ අහස යට අපි”. මේ මගේ හයවැනි වේදිකා නාට්‍ය නිර්මාණය. මින් පෙර මම වේදිකා නාට්‍ය හතරක් නිර්මාණය කළා. සිහින සිතුවම්, සිඟිති සිහින, තෝන්තු ජල්ලි, මනමාල සුකුමාල සහ රොසෙලියා . මේ දිනවල පෙර පුහුණුවීම් කටයුතු සිදු කරමින් ඉන්නේ මේ අහස යට අපි වේදිකා නාට්‍යයේ. මෙම නාට්‍යයෙන් ප්‍රධාන වශයෙන් කියැවෙන්නේ එකමුතුකම පිළිබඳ.ගමක්, රටක් හැදෙන්න එකමුතු බව තිබිය යුතුයි. අපි ජීවත් වන මේ අහස යට තමයි අපි උපදින්නේ, ජීවත් වන්නේ සහ මිය යන්නේ. අපි ජීවත්වන කාලයේ සක්විති රජ වී සිටියත් අපි මැරෙන බව සිතා ජීවත්විය යුතුයි. ඒ ගැනත් කියැවෙනවා මේ අහස යට අපි නාට්‍යයේ.

මෙය මගේම ස්වතන්ත්‍ර නිර්මාණයක්. මම මගේ රංගන ජීවිතය පටන් ගත්තේ සිනමාවෙන්. කේ. ඒ . ඩබ්ලිව්. පෙරේරා මහතාගේ ‘ දුර්ගා’ චිත්‍රපටයෙන් තමයි සිනමා නළුවෙක් වුණේ. ඒ ඇති වූ ඇල්ම නිසා තමයි මම තවමත් කලාවට ආදරය කරන්නේ. වේදිකා නාට්‍යයක් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එහෙත් අදවන විට වේදිකාවේ නව ප්‍රවණතාවයක් ඇති වී තිබෙනවා. වේදිකාවේ නාට්‍ය බහුලව නිෂ්පාදනය කෙරෙනවා. එය සතුටට කරුණක්. එහෙත් වේදිකාගත කරගන්න සංවිධායකවරු නොමැති වීම ගැටලුවක්. බොහෝ නාට්‍ය මංගල දර්ශනයෙන්ම අවසන් වන්නේ ඒ නිසා. අපේ රටේ ඉන්නවා නාට්‍යවලටම සම්බන්ධ පිරිසක්. ඒ පිරිසගේ නාට්‍ය වේදිකාගත කරන්න සංවිධායකවරු ඉන්නවා. එහෙත් අලුතින් වේදිකාවට සම්බන්ධ වන අයට එවැනි අවස්ථා නැහැ. ඒ ගැන කනගාටුවක් තියෙනවා. මම මගේ අලුත් නිර්මාණය කරන්න විශාල කැපකිරීමක් සහ මහන්සියක් වෙනවා. මම පදිංචි වෙලා ඉන්නේ පිළියන්දල ප්‍රදේශයේ. කැස්බෑව කියන්නේ කලාකරුවන් බොහෝ පිරිසක් ජීවත්වන ප්‍රදේශයක්. අපි නාට්‍ය පුහුණුවීම් වලදී ගැටලු මතුවෙනවා. නිසියාකාරව පුහුණුවීම් කරන්න තැනක් නැහැ. එක ස්ථානයක් තිබුණා. එහෙත් එහි පුහුණුවීම් සඳහා වන වියදම් වැඩියි. අපි දැනට පුහුණුවීම් කරන්නේ බෝකුන්දර ප්‍රදේශයේ තිබෙන විහාරස්ථානයක. මම මේ අවස්ථාවේ එහි නායක ස්වාමීන්වහන්සේට බොහෝම ස්තූති වන්ත වෙනවා. අපිට ඒ අවස්ථාව ලබා දුන්නාට. නාට්‍යයක් නිර්මාණය කළ පසුව එය වේදිකාගත කරගන්න තිබෙන රංග ශාලාවලත් වියදම අධිකයි. ” මේ අහස යට අපි” වේදිකා ගත කරගන්න පිළියන්දල ප්‍රදේශයේ තිබෙන නගර ශාලාවත්, පිළියන්දල මැදි විදුහල් ශ්‍රවණාගාරයේත් අයකිරීම් අධිකයි. අප වැනි නාට්‍යකරුවන්ට එය දරා ගැනීමට අපහසුයි. ඒ නිසා ‘ මේ අහස යට අපි’ වේදිකාගත කරන්න මම තෝරා ගත්තේ පිළියන්දල YMBA ශාලාව.

“මේ අහස යට අපි” කතාව, අධ්‍යක්ෂණය සිදුකළේ මම. ඒ වගේම මම මෙහි ප්‍රධාන චරිතයකුත් රඟපානවා. මෙම නාට්‍යයේ විශේෂත්වයක් තියෙනවා. මෙහි ගීත කලාවට වැඩි ඉඩක් දීලා තිබෙනවා. ඒ වගේම විරිඳු ගායනයට. අපේ රටේ ජනප්‍රිය ගායකයන්ගේ ගීත කොටස් මෙම නාට්‍ය සඳහා ඇතුළත් කර තිබෙනවා. විරිඳුවෙන් මුළු කතාවම කියැවෙනවා. එයයි මෙම වේදිකා නාට්‍යයේ තිබෙන විශේෂත්වය. ඒ වගේම ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක්.

රූපා ගෝමස්, සුජීව සමන්, නිලංගනී පෙරේරා, සංජානා පීරිස්, චන්දු ලියනාරච්චි, මහේන්ද්‍ර විජේරත්න, මයුරි සෝමකීර්ති, නිමල් ඉද්දමල්ගොඩ, ප්‍රේමසිරි දිසානායක සහ දමයන්ති මෙහි රංගනයෙන් දායකත්වය සපයනවා. පෙර කියවීමෙන් ශීලා දමයන්ති, වේශ නිරූපණයෙන් ගාමිණී කෝස්තා සහ සංගීතයෙන් අසංක කුලතුංග දායක වෙනවා.

” මේ අහස යට අපි ” වේදිකා නාට්‍ය රටවටා වේදිකාගත කරන්න අදහසක් තිබුණත් ඒ සඳහා වැයවන මුදල අධිකයි. කොළඹින් පිට පළාත්වලට යන්න ප්‍රවාහන පහසුකම් සඳහා විශාල මුදලක් වැය වෙනවා. නාට්‍යයට සහභාගී වන ශිල්පීන්ටත් ගෙවීම් කළාම ඉතිරි වන දෙයක් නැහැ. ඒ නිසා රජය මැදිහත් වී හෝ කලාකරුවන්ට අත් විඳීන්නට සිදුවන මේ ගැටලු පිළිබඳ සොයා බැලිය යුතුයි. අද කිසිම දෙයක් මුදල් නැතිව කරන්න බැහැ. අතීතයේ නම් කලාකරුවන් මුදල් මතම හඹා ගියේ නැහැ. එහෙත් වර්තමානයේ තිබෙන ආර්ථික අපහසුතා නිසා මුදල් අවශ්‍යමයි.

මට අදහසක් තිබෙනවා කවදා හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට. ඒත් පවතින ආර්ථික ගැටලු නිසා එය අසීරු කටයුත්තක්. එහෙත් මම චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වෙනවා. ප්‍රදීප් මහේෂ් මහතාගේ අධ්‍යක්ෂණයක් වන ” මීටරේ” චිත්‍රපටයට මාව තෝරාගෙන තිබෙනවා. එහි මුහුරත් උලෙළ පසුගියදා පැවැත්වූවා. රංගනයෙන් දායක වූ චිත්‍රපට තවත් කිහිපයක් තිරගත වෙන්න නියමිතයි. මේ වන විට මම චිත්‍රපට 30 ක පමණ රංගනයෙන් දායක වෙලා තිබෙනවා. ඒ වගේම සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් සිනමාවට සක්‍රීය දායකත්වය දැක්වූවා.

මම මුලින් සඳහන් කළාක් මෙන් මම නැවතත් කියන්නේ ” මේ අහස යට ඉපදුණ අපි රටක් හැටියට, ලෝකයක් හැටියට අපි සියල්ලෝම එකතු වුණා නම් කොතරම් වටිනවද.

ඒ අදහස මම මේ අහස යට අපි තුළින් කතා කරනවා. අද අපේ රටටත් මේ එකමුතු බව අත්‍යවශ්‍ය කරුණක් වෙලා. එකමුතුකම නැති කමින් බොහෝ අතපසුවීම් සිදුවෙලා. වංචාව, බල ලෝභය, ඉරිසියාව, වෛරය අපේ සිත් වලින් තුරන් කළ යුතුයි.

මේ සියලු කාරණා කැටි කොට නිර්මාණය කළ “මේ අහස යට අපි” වේදිකා නට්‍යය මෙම ජූලි මස 27 වැනි ඉරිදා පිළියන්දල YMBA ශාලාවේදී සවස 6.30 ට වේදිකා ගත කෙරෙනවා. ඒ සඳහා පිළියන්දල අවට ජනතාවටත් වේදිකාවට ඇලුම් කරන සියල්ලන්ටම මම ආරාධනා කර සිටිනවා ” මේ අහස යට අපි” සමඟ එක්වන්නට පැමිණෙන්න.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT