නිවස කළා පුවත් නර්තන ශිල්පීන් 6000ක් එකම වේදිකාවේ

නර්තන ශිල්පීන් 6000ක් එකම වේදිකාවේ

නර්තන ශිල්පී ලක්ෂ්මන් මංචනායක

by Thanushika
October 10, 2024 1:30 am 0 comment

ලෝකය පුරා විසිරි සිටින දක්ෂ නර්තන ශිල්පීන් එක වේදිකාවකදී මුණගැහේ. ඒ එක්වන දවස විවිධ භාෂාවන් හා සංස්කෘතීන් එකට මුසු කරන දිනයෙකි. ඒ ඒ රටවලට ආවේණික නර්තන ශෛලීන් සංස්කෘතීන් හා බැඳුණු ගායන ශෛලින් එහිදී ඉදිරිපත් කරනු ලබයි. කලාවට ආදරය කරන සියලු දෙනාටම දැක බලා ගන්නටද අවස්ථාව තිබේ. ඒ හතරවැනි වරටත් පවත්වනු ලබන අන්තර්ජාතික නර්තන උළෙලදිය. ලාංකේය නර්තන ශිල්පීන් සහ විදේශීය නර්තන ශිල්පීන් හයදාහක් එකම වේදිකාවක තම හැකියාවන් රසෝගය කරා එදිනට ගෙන එයි. හතරවැනි වරට පවත්වනු ලබන අන්තර්ජාතික නර්තන උළෙල සිදුවන අයුරු එහි සංවිධායක ලක්ෂ්මන් මංචනායක සරසවිය සමඟ පැවසු අයුරුයි.

මේ අන්තර්ජාතික නර්තන උළෙල ගැන පැහැදිලි කිරීමක් කළොත්?

ලෝකය පුරා විසිරී සිටින නර්තන ශිල්පීන් දස දහස් ගණනක් සිටිනවා. ඒ අතරින් අපේ නර්තන කලාවටත් විශේෂ ස්ථානයක් හිමිවෙනවා. විශේෂයෙන් උඩරට පහතරට හා සබරගමු යන නර්තන ශෛලීන්වල නර්තනවලට ලෝකයේ පිළිගැනීමක් ඇති වෙලායි තියෙන්නේ. මම මගේ නර්තන වෘත්තියත් සමඟ ගුරුවරයෙක් හැටියට සහ නර්තන විෂය පිළිබඳ පර්යේෂකයෙක් විදියට රටවල් ගණනාවක සංචාරය කරන්නට අවස්ථාව උදාවුණා. ඒ හරහා ඒ රටවල නර්තනය සම්බන්ධ විෂයේ ප්‍රාමාණික දේවල් ගොඩක් ඉගෙන ගත්තා. මේ ලබපු අත්දැකීම් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක තැනකට මුසු කරන්නට මටත් හිතුණා ලංකාවේ නර්තනය පර්යේෂණය කරන හා රස විඳීන සියලු දෙනාටම අන්තර්ජාතික මට්ටමේ ශිල්පීන්ගේ දක්ෂතාවයන් ගෙනත් පෙන්වන්න. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි 2023 අප්‍රේල් මාසයේ මෙම අන්තර්ජාතික නර්තන උළෙල ලංකාවේ ආරම්භ වුණේ.

ඔබ වෙනත්ම අංශයක ඉඳලා නේද මේ පියවර තබන්නේ?

ගණිත අංශයෙන් උසස් පෙළ කරලා නැවත මම කලා අංශයෙන් උසස් පෙළ කරන්න පටන් ගත්තා. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය තමා අද මම මේ තැනට ගෙනාවේ කියලා කියන්න ඕන. ඉන්පසු මම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයට තේරෙනවා. මේ විශ්වවිද්‍යාල ගමනේදී විශේෂත්වයක් තියෙනවා ඒ බැජ් එකේ හිටපු වයසින් වැඩිම ශිෂ්‍යා වන්නේ මමයි. අනිත් සියලු දෙනාම මගේ නංගිලා මල්ලිලා වුණා. විශ්වවිද්‍යාලේ උපාධිය සම්පූර්ණ කරලා කොරියාවට යනවා භාෂාව හා නර්තනය පිළිබඳ හදාරන්නට. ඒ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණා කියලයි මම හිතන්නේ. ජීවිතයේ ඕනෑම කෙනෙකුට තමන්ගේ ගමන් මඟ වෙනස් වන්නේ කොතනින්ද කියලා කියන්න ටිකක් අමාරුයි. ඒත් ඒ වෙනස් වෙන තැන ඉඳන් තමන්ගේ ගමන තීරණය වෙනවා කියන එක නම් අනිවාර්යයෙන්ම කිව යුතුයි. ඒ වෙනස් වීම මගේ රට වෙනුවෙන් මම බුක්ති විඳින්නේ අනාගතේ බිහිවෙන තවත් ශිල්පීන්ට ගුරුවරයෙක් හා පර්යේෂකයෙක් ලෙස දැනුම බෙදා දීමේ අරමුණෙනුයි.

මේ පවත්වනු ලබන නර්තන උළෙල පර්යේෂණාත්මක නර්තන උලෙළක් කියලා හඳුන්වන්නේ ඇයි?

මෙවැනි අන්තර්ජාතික නර්තන උළෙලක් පවත්වන්නට පළමුව මම රටවල් තිහක විතර සංචාරය කරලා තියෙනවා. ඒ ඒ රටවල පර්යේෂණාත්මක නර්තන හැකියාවන් පෙන්වන උළෙ⁣ලෙවල් ගණනාවකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඒ හරහා මමත් නර්තනය, ජාමිතය, විද්‍යාව හා අංක ගණිතය, භෞතික විද්‍යාව උපයෝගී කරගෙන පර්යේෂණාත්මක නර්තන ශෛලීන් අත්හදා බලමින් ඒවා යොදාගන්නට හා නව නිර්මාණ ශෛලීන් හඳුන්වා දෙන්නටත් මට හැකියාව ලැබුණා. මේ හඳුන්වා දීම නිසා විවිධ අන්තර්ජාතික නර්තන සංවිධාන වලින් අපේ රටේ නර්තන සංස්කෘතිය ලොවට ගෙනියන්නට අවස්ථාවක් හිමි වුණා. අපේ රටට අන්තර්ජාතික මට්ටමේ නර්තන උළෙලක් පවත්වන්නට කිසිවෙකු අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ නිසා මට ඕන වුණා අන්තර්ජාතික මට්ටමේ වේදිකාවක් අපේ ශිල්පීන්ට තනන්නට. ඒ හරහා රටවල් ගණනාවක් ඔවුන්ගේ සංස්කෘතිය හා බැඳුණු නර්තන විශේෂ අංග ගෙන එමින් මෙම උළෙල නියෝජනය කරන්නට එකතු වෙනවා.

පවත්වන ලද නර්තන උළෙලහි සහභාගිත්වය සිදු වුයේ කෙසේද ?

නෙළුම් පොකුණ රඟහලේ පළමු ප්‍රසංගය සමඟ ප්‍රසංග දෙකක් පැවැත්වූ අතර තුන්වන ප්‍රසංගය පැවැත්වූයේ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදීය.

පළමු උළෙල නියෝජනය කරමින් විවිධ රටවල නර්තන ශිල්පීන් 2500ක්ද, දෙවැනි උළෙලට 3500ක්ද, තුන්වැනි උළෙල නියෝජනය කරමින් 5000ක්ද මෙවර හතර වැනි උළෙල නියෝජනය කරන්නට නර්තන ශිල්පීන් 6000ක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයට එළැඹෙන 15 වැනිදා සහ 16 වැනිදා වේදිකාවට ගොඩ වෙනවා.

හතර වැනි වරට පවත්වන ප්‍රසංගය එළඹෙන 15 හා 16 පැවැත්වෙන්නේ කොහොමද?

මේ උළෙල නියෝජනය කිරීම සඳහා ධදතඪදඥ චනනතඪජචබඪධද කෝල් කරපු සියලු දෙනා තමයි පැමිණෙන්නේ, පැවැත්වූ හා පවත්වන

ප්‍රසංගය විවෘත ප්‍රසංගයක් ලෙස ගෙන එන්නේ, ඕනෑම කෙනෙකුට නරඹන්නට එන්නට පුළුවන්. 0773624404 වට්ස්ඇප් හරහා එන ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙලා තමන්ට අවශ්‍ය ආසන ගණන වෙන් කරගන්නට පුළුවන්. අන්තර්ජාතික මට්ටමේ ප්‍රසංගයක් නරඹන්නට ලැබෙන ලොකුම අවස්ථාවක් මෙම උළෙල. ඒ නිසා ඔබ නර්තනයට ආදරය කරන අයෙක් නම් මේ නොමිලේ ලැබෙන අවස්ථාව මඟහරවා ගන්නට එපා කියලයි අන්තර්ජාතික සංවිධායකවරයකු ලෙස මට කියන්න තියෙන්නේ. මේ වන විටත් ආසන 14,000 ක් වෙන් වෙලා ඉවරයි. නර්තන උළෙල ප්‍රසංග තුනක් හැටියට පැවැත්වෙනවා. ප.ව.01.00 සහ ප.ව.04.00ටත් අවසාන ප්‍රසංගය රාත්‍රී 07.00ටයි පැවැත්වෙන්නේ. මේ ආකාරයෙන්ම තමයි දින දෙකේම නර්තන උළෙල පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තිබෙන්නේ. උළෙලේ විශේෂත්වය වන්නේ දින දෙක තුළ විවිධ නර්තන අංශයන් 150ක් පමණ ඉදිරිපත් කිරිමයි.

උළෙල නියෝජනය කිරීම සඳහා පැමිණෙන රටවල් ගැන මතක් කළොත්?

තායිලන්තය, කොරියාව, ඉන්දියාව ඇතුළු මැක්සිකෝව, ඉන්දුනීසියාව ප්‍රධාන වශයෙන් සහභාගි වන රටවල් අතරට එක් වෙනවා. තවත් රටවල් ගණනාවක් උළෙල නියෝජනය කිරීමට ඉදිරි දින වල බලාපොරොත්තුවෙන් සිටිනවා.මේ සියලුම රටවල් ඔවුන්ගේ ආගම සහ සංස්කෘතිය ජාතීන්, භාෂාව පදනම් කරගෙන නිර්මාණ ඉදිරිපත් කරන්නේ, ඉන්දියානු නැටුම් සම්ප්‍රදාය, භරත, ජන නැටුම්, ඒ ඒ ප්‍රදේශවලට ආවේනෙකු වූ ප්‍රාදේශීය සංස්කෘතික ලක්ෂණයන් අලළා සැකසුණු නර්තනද මෙහිදී ඉදිරිපත් කිරිම වෙනවා. ලංකාව නියෝජනය කරමින් සෑම දිස්ත්‍රික්කයක්ම සහභාගී වෙන අතර මෙවර උතුරු පළාත නියෝජනය කිරීම සඳහා යාපනය දිස්ත්‍රික්කයෙන් ශිල්පීන් පැමිණෙන්නේ නැහැ.

උළෙලට සමගාමීව නර්තන වැඩ මුළු පවත්වනවා ද?

මෙයට සහභාගි වන සෑම රටක්ම ඔවුන්ගේ අනන්‍යතාවය පෙන්වීමත්, ජාතීන් අතර භාෂාව නර්තනය හුවමාරු කර ගැනීම පදනම් කරගෙන වැඩ මුළු කිහිපයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.ගම්පහ, කුරුණෑගල, මහනුවර, මාතර යන දිස්ත්‍රික්ක ආවරණය වන අයුරින් වැඩමුළු හතරක් පැවැත්වෙනවා. ඒ සඳහා අපි පෙර සඳහන් කළ වට්ස්ඇප් අංකයට සම්බන්ධ වෙලා වැඩමුළුවලටද සහභාගි වන්නට පුළුවන්. විවිධ රටවල නර්තන පාසල් පවත්වාගෙන යනු ලබන ගුරුවරුන් හා නර්තන ශිල්පීන් මේ සඳහා සහභාගී වනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරන්න සහභාගී වන්නේ කුමන ශිල්පීන්ද?

විශේෂයෙන් ලංකාව අන්තර්ජාතික තලයට ගෙනියපු ශිල්පීන් මේ සඳහා සහභාගී වෙනවා. ඊට අමතරව තෝරාගත්ත විශේෂ ශිල්පීන් රැසක් ද සහභාගී වීම සිදු වෙනවා. උඩරට පහත රට සහ සබරගමු හා නිර්මාණාත්මක ශෛලීන් ගෙනහැර දක්වන නර්තන ලංකාවේ ශිල්පීන් එදාට ඉදිරිපත් කරනවා. ශ්‍රී ලාංකීය සංස්කෘතිය ජන නැටුම් කලාව හා බද්ධ වෙච්ච ජන ජීවිතයේ නැටුම් සම්ප්‍රදායන් එන සියලු දෙනාටම නරඹන්නට හැකියාව තිබෙනවා.

මේ එන සියලුම ශිල්පීන් ඇගැයීමකට ලක් වෙනවාද?

ඔව්, ඒ එන සියලූම ගුරුවරුන් ඇතුළුව ශිල්පීන් ඇගයීමකට ලක්වීම සිදුවෙනවා, අන්තර්ජාතික මට්ටමේ සහතිකයක් සහ ඊට අදාළ පළඳනාවක් පිරිනමනවා. ඒ වගේම ඔවුන් දින 365 කට යටත්ව ඊළඟ උළෙල පැවැත්වෙන තෙක් ජීවිත රක්ෂණයකටද හිමිකම් කියනවා. වෙනත් නර්තන උළෙලවලට සාපේක්ෂව මෙම උළෙල වෙනස් වන්නේ අපි ලබා දෙන විශේෂ වරප්‍රසාදයන් නිසයි. ආධුනික නර්තන ශිල්පියාගේ සිට ප්‍රවීණයා දක්වා ගරුත්වයකින් අපේ නර්තන සම්ප්‍රදායන් සහ රට ඉහළට ඔසවා තබන්නට හැම පියවරක්ම මෙතනදී ගැනීම විශේෂත්වයකි. ශ්‍රී ලාංකීය කලාකරුවන් ඇතුළු විශේෂ ආරාධිතයන් රැසක් සමාරම්භක දිනයට සහභාගි වීමට බලාපොරොත්තුවෙනුයි සිටින්නේ.

ඉදිරි වැඩ කටයුතු සිදුවෙන්නේ කෙසේද?

හතර වැනි වරට පවත්වනු ලබන උළෙල අවසන් වු පසු අපි නැවත 5 වැනි උළෙල පැවැත්වීමටයි බලාපොරොත්තු වෙන්නේ.ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම තමයි සූදානම් වෙන්නේ. කොළඹට පමණක් සීමා වෙච්ච උළෙල අපි පළාත් වශයෙන් පැවැත් විමට බලාපොරොත්තුවක් තිබෙනවා. කොළඹ, මහනුවර, හම්බන්තොට යාපනය යන දිස්ත්‍රික්ක ආවරණය කරමින් පැවැත්වීමට තමයි කටයුතු සූදානම් වෙන්නේ. පස්වැනි වරට රාජ්‍ය ආයතනද සම්බන්ධ කරගැනිමට අදහස් කරනවා.

මෙවර අපට තිබුණු ඉඩකඩත් එක්ක සහ කාලසීමාවත් එක්ක රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගැනීමට නොහැකි වුණා. ඒ නිසා විශේෂ අවධානයක් යොමු කර ගනිමින් ඊළඟ වතාවේදී රාජ්‍ය ආයතනයන් මෙයට සම්බන්ධ කර ගැනීමට අදහස් කරනවා. විශේෂයෙන් කියන්න තියෙන්නේ නැවත වරක් මෙම ප්‍රසංගය නරඹන්න සියලු දෙනාටම පැමිණෙන්න කියලයි.

 

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT