සංයම නර්තනයේ පරිණත නූතනය තේමා කොට නර්තනාචාරිනී ගයනි කරුණාරත්න මීමනගේ පවත්වනු ලබන ප්‍රාතිහාරි නර්තන ප්‍රසංගයේ තෙවැනි දිගහැරුම අගෝස්තු මස 17 වැනිදා කොළඹ මියුසියස් විද්‍යාලයේ රංග ශාලාවේදී වේදිකා ගත වන්නට නියමිතය. ඒ නිමිත්තෙන් නර්තනාචාරිනී ගයනි කරුණාරත්න මීමනගේ හා කෙරෙන කතාබහකි මේ,
‘ප්‍රාතිහාරි’ ඔබේ තෙවැනි දිගහැරුම කොයි ආකාරයෙන් ද මෙවර පවත්වන්නේ?
මගේ නර්තන පන්ති තලවතුගොඩ. කොළඹ 07, කිරිබත්ගොඩ, පිළියන්දල. මොරටුව, කටුබැද්ද ප්‍රදේශවල පැවැත්වෙනවා ගයනි ඩාන්ස් ස්ටුඩියෝ නමින් මේ පන්තිවල ඉගෙනුම ලබන ළමයි දෙසිය පණහකට වැඩි පිරිසක් සහභාගිත්වයෙන් තමයි මේ ප්‍රංසගය පැවැත්වෙන්නේ. මෙවර පැවැත්වෙන්නේ මගේ තුන්වෙනි ප්‍රසංගය. මීට කලින් කොවිඩ් කාලයේ මාර්ගගත ප්‍රසංගයක් විධියට තමයි මේ ප්‍රාතිහාරි මුලින්ම ආරම්භ වුණේ. මේ ප්‍රසංගය තමයි ලෝකයේ පළමුවරට කළ සජීවී මාර්ගගත නර්තන ප්‍රසංගය. හුදෙක් මෙය රෙකෝඩින් එකක් වුණේ නෑ. සජිවී ප්‍රසංගයක් ලෙසින් තමයි මාර්ගගතව පැවැත්වුණේ 2021 වසරේ.
ඊට පස්සේ අපේ දෙවැනි ප්‍රාතිහාරි ප්‍රසංගය පැවැත්වුණා 2023 වසරේ කොළඹ නාලන්ද විද්‍යාලයේ මලලසේකර ශ්‍රවණාගාරයේ මෙවර කොළඹ මියුසියස් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ පැවැත්වෙන්නේ අපේ තුන්වැනි ප්‍රාතිහාරි ප්‍රසංගය.
ප්‍රාතිහාරි මුල් දිගහැරුම ළමුන් කීයකගේ සහභාගිත්වයෙන්ද මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වෙන්නේ?
මගේ අධ්‍යාපනය ලබන දරුවෝ 71ක් මේ සඳහා සහභාගි වුණා. ඊට පස්සේ 2023 වසරේ පැවැත්වු ප්‍රසංගයට ළමුන් 138ක් සහභාගි වුණා. මෙවර ළමුන් 250කට අධික සංඛ්‍යාවක් සහභාගි වෙනවා. මුල්ම ප්‍රාතිහාරි දිග හැරුමට ලංකාවේ විතරක් නොවෙයි පිටරටවල සිට පවා දරුවෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රසංගයට එකතු වුණා.
ඔබේ ශිෂ්‍ය ප්‍රජාව වෙත මොන වගේ දැනුම් සම්භාරයක් ද ලබා දෙමින් ඉන්නේ?
මම සාම්ප්‍රදායික නර්තන ශිල්පිනියක්. කුලසිරි බුදවත්ත කියන නර්තනයේ දැවැන්ත වෘක්ෂය යටතේ හැදුණු වැඩුණු කෙනෙක් මම. මම එතුමා යටතේ අවුරුදු විසිතුනක් නර්තනය ප්‍රගුණ කළා. උඩරට නර්තන සම්ප්‍රදාය තමයි මම මගේ ශිෂ්‍ය ප්‍රජාවට ප්‍රධාන වශයෙන් මුලික කරගෙන කරන්නේ. බෙර වාදනය, ජන ගායනා, පහතරට නර්තන සම්ප්‍රදාය ප්‍රධාන කොට ප්‍රාසංගික නර්තන කලාව නර්තනයට අදාල වේශ නිරූපණය ආදිය දැනුම මම මෙහිදි දරුවන්ට ලබාදෙනවා.
ප්‍රාතිහාරි ගොඩ නැගෙන්නේ කොහොමද?
එකම ක්ෂේත්‍රයක් තුළ කටයුතු කිරීම තුළ පොඩි ඒකාකාරීබවක් නිසාවෙන් එපාවීමක් දැනුණා. මේ නිසාම මම කොවිඩ් කාලයේ කැලණි විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව හැදැරුවා. මේ වෙනකොට මම මගේ මාස්ටර් එක වෙනුවෙන් මනෝවිද්‍යාව හදාරමින් ඉන්නවා. ඒ ඇසුරත් සමඟ තමයි මම මේ නම මගේ ප්‍රසංගයට යොදාගන්නේ.
කුලසිරි බුදවත්තයන්ගේ නර්තන කණ්ඩායමේ ප්‍රධාන රංග ශිල්පිණියක් ලෙසත් ඔබ කටයුතු කළා නේද?
ඔව්. මං එතුමන්ගේ නර්තන කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළා. ප්‍රධාන රංග ශිල්පිනිය ලෙස විදෙස් සංචාර බොහොමයක් එතුමන්ගේ කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වුණා. කළක් එතුමන්ගේ රංග ආයතනයේ ගුරුවරියක් ලෙසත් මම වසර ගණනාවක් කටයුතු කළා.
බුදවත්තයන්ගේ ශිෂ්‍යාවක් ලෙස නර්තනයට ඔබ අත්පොත් තබන්නේ?
මට අවුරුදු හතරයි. බුදවත්තයන් ළඟ නර්තනයට යනකොට මගේ පාසල් කාලයේම මම බුදවත්නයන් ළඟ සහාය ගුරුවරියක් ලෙසත් වැඩකළා. පසුව මගේ වයසත් සමඟ ක්‍රමයෙන් මම එතුමන්ගේ කණ්ඩායමේ නායකත්වයට පත්වුණා. ඊට පස්සේ එතුමාගේ නර්තන පන්තිවල ගුරුවරියක් ලෙසත් කටයුතු කළා. බුදවත්ත සර්ගේ නර්තන කණ්ඩායම සමඟ මම විදෙස් සංචාර තිහකට පමණ සහභාගි වුණා.
බුදවත්තයන්ගෙන් ඔබ සමුගෙන යන්නේ?
2010 වසරේ මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයට තේරීමත් සමඟ මම එතුමන් ළඟින් ඉවත් වෙනවා. ඊට කලින් මා පෞද්ගලික පාසල් කිපයකමත් නර්තන ආචාර්යවරියක් ලෙස කටයුතු කළා. 2010 දී මම බුදවත්තයන්ගෙන් සමුගෙන මගේම කියල නර්තන කණ්ඩායමක් හදාගන්නවා. ගයනි ඩාන්ස් ස්ටුඩියෝ නමින්. ඊට පස්සේ 2019 පටන් මම නර්තනය ඉගෙන වීම් කටයුතු ආරම්භ කරමින් විවිධ ප්‍රදේශවල පන්ති ආරම්භ කරනවා.
ගයනි ඩාන්ස් ස්ටුඩියෝත් විදෙස් ප්‍රසංග වෙනුවෙන් සහභාගිත්වයක් සිදුකරනවාද?
ඔව් අපි ආරම්භයේ සිට අදටත් ඒ කාර්ය කරගෙන යනවා මගේ ක්ලාස්වලට අමතරව.
නර්තනය ඉගෙන්වීම ඔබ අතිනුත් ඉටුකරන්න බලාපොරොත්තු වුණේ ආර්ථික වාසි තකා ද?
එහෙම නෑ. මට යමක් බුදවත්ත සර් ලබලාදුන්නා නම් එතුමන් ඒ තුළින් බලාපොරොත්තු වෙන්න ඇත්තේ මේ කලාව තවත් පරපුරක් වෙත ගෙනයාම. මම හිතුවා මමත් දෙයක් නව පරපුරකට තිළිණ කළ යුතුයි කියලා. ඒ අනුව මා ලැබු දැනුම තවත් පරපුරක පෝෂණයට මම තවත් පැත්තකින් දායක විමට මේ ආකාරයේ දැනුම් තක්සලාවක් ආරම්භ කළා.
ප්‍රාතිහාරි ඔබේ නර්තන හදාරන ශිෂ්‍ය ප්‍රජාවගේ කළඑළි මංගල්‍යයද?
එහෙම කියන්න බෑ. මගේ පන්තිවල දරුවන්ගේ දක්ෂතා එළිදක්වන සුවිශේෂී අවස්ථාවක් කිව්වොත් හරි. මේ ප්‍රසංගය තුළ සුවිශේෂ කටයුත්තකුත් සිද්ධ කරනවා. අපිට මේ කලාව රැගෙන ආ විශේෂ කලාකරුවෙක් මෙහිදී ඇගැයීමටත් අපි ලක්කරනවා. අද ප්‍රසිද්ධියේ නැති නුවර පෙරහැරේ අති විශිෂ්ඨ දස්කම් පෑ වයෝවෘද්දභාවයෙන් පසුවෙන ශේෂ්ඨ ශිල්පියෙක් තමයි අපි මෙවර ඇගැයීමට තෝරාගෙන ඉන්නේ. ඒ තුළින් මම ළමයින්ට පණිවියක් දෙනවා. තමන්ගේ ගුරුවරයා විතරක් නොවෙයි මේ ක්ෂේත්‍රයේ ඉන්නේ අනෙකුත් ගුරුවරුත් අපිට ගුරුවරු කියන සිතුවිල්ල. මට දරුවන්ට දෙන්න ඕනේ. මේ කලාව අදටත් පවතින්නේ ඒ නිසා. මම හිතනවා ඒ ගුරුවරුන්ට අපිත් බුහුමන් කළ යුතුයි. ඔවුන් මෙය රුක ගෙන එන්න කළ මහා කැපකිරිම වෙනුවෙන් කියල.
ප්‍රාතිහාරි තුළ දකින සුවිශේෂීතා මොනවද?
මගේ ප්‍රසංගයේ පුර්ව භාගයට ඇතුලත් වෙන්නේ සාම්ප්‍රදායික නර්තනයන් ඒ කිසිවකට අපි ට්‍රැක්ස් යුස්කරන් නෑ සජීවි බෙර වාදනයට තමයි සියල්ලන්ම නර්තනය මුසු කරන්නේ. මේ ප්‍රසංගයේ සියලු නර්තනයන්ගේ නිර්මාර්තෘවරිය මම. මේ ප්‍රසංගයේ දෙවන භාගයට සාම්ප්‍රදායික නර්තනයෙන් එහා ලෝකය දකින දරුවාගේ නර්තන හැකියාවට ඉඩකඩ සැලසීම තමයි මෙහිදී අපි සිද්ධ කරන්නේ පළමු වරට එය අපි මෙවර තේමාකොට ගෙන තියෙනවා මනෝ විද්‍යාත්මක තේමාවක් වෙත.
ප්‍රාතිහාරි මුල්ම අත්දැකීම මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙය කොතරම් දුරට සාර්ථකභාවයක් ගෙන දුන්නාද?
කෝවිඩ් සමයේ මගේ පන්ති නතර කරන්න සිදුවුණා. ඒ අඩුව පුරවන්න තමයි මම මාර්ගගත ක්‍රමයෙන් ඉගෙන්වීම සිදුකළේ. ඒ අතරේ ආපු අදහසකට තමයි මුල්ම ප්‍රසංගය මාර්ගගතව පවත්වන්න සැලසුම් කළේ. හැමතැනම ඔන්ලයින් ප්‍රසංග තිබුණාට ඩාන්සින් ෂෝ එකක් සජීවීව ගියේ නෑ. අපි සජීවීව තමයි මේ ප්‍රසංගය සිදුකළේ. ළමයින්ට මම හදල දෙන නර්තනය පුුහුණුවෙලා පසුබිම තමන්ගේම නිවෙසේ හදාගෙන තමයි. ළමයි නිවෙස්වල ඉදල තමයි මේ සඳහා සම්බන්ධ වුණේ. අපි ඒ දේවල් අලුත් ටෙක්නොලොජි එක භාවිතා කරල එකම තැනකින් විකාශය කළා. යුටියුබ් එකේ අන්න ඒ වෙලාවේ තමයි අපිට මේ තේමාව එන්නේ. සංයම නර්තනයේ පරිණත නූතනය කියලා.
නර්තනයට මෙතරම් ඇලුම් කරන්නට පවුල් පසුබිමන් බලපෑවාද?
මගේ කවුරුවත් නර්තනයට පවුලෙන් සබඳතාවයක් දක්වල නෑ මගේ මව මාව නර්නයට යොමු කරන්න ඉඳල තියෙන්නේ. භාරත නාට්‍ය සම්ප්‍රදාය පැත්තට. නමුත් මගේ මවගේ අක්ක කෙනෙක්ගේ යාළුවෙක් තමයි යෝජනා කරල තියෙන්නේ. මාව බුදවත්ත සර් ළඟට නර්තනය හදාරන්න යොමු කරන්න කියලා. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ.
මෙවැනි කාර්යක් කිරීමේ ඔබේ අරමුණ පැහැදිලි කළොත්?
අවුරුදු හතරේ ළමයාගේ ඉඳලා මම දරුවන්ට නර්තනය උගන්වනවා. වර්තමානයේ ළමයි හරිම යාන්ත්‍රිකයි. මෙයින් මිදෙන එකම මාධ්‍ය කලාව කියල මම හිතනවා මගේ ප්‍රධාන අරමුණ මේ නර්තන සම්ප්‍රදාය ඉදිරි පරපුරට තවත් ඉදිරියට ගෙනයන්න පවතින්න කියල. දරුවන්ට මානසික ලිහිලනයක් ලබාදෙන්න. දරුවන්ගේ සබකෝලය නැති කරන්න. කණ්ඩායමක් විධියට වැඩකරන්න. ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙන්න. ප්‍රාසංගික වේදිකාවක අත්දැකීම් ලබාදෙන්න. කියන දේ තමයි මෙවැනි ප්‍රසංගයක මගේ ප්‍රධාන අරමුණවෙන්නේ.
වර්තමානයේ හෑන් ෆෝන් එකත් සමඟ ජීවත්වෙන දරුවන් සිටින යුගයක සාම්ප්‍රදායික නර්තනයක් වෙත දරුවන් යොමුවීම කොයි ආකාරයෙන් ද සිද්ධ වෙන්නේ?
යොමුවීම ඇත්තටම අඩුයි. ඒ අඩුව පුරවන්න මම යොදාගත්ත උපක්‍රම තියනවා. සම්ප්‍රදාය ඇතුළේ දරුවෝ රඳවා ගන්න මම විවිධ උපක්‍රම යොදාගන්නවා. දරුවා සෑම පන්තියකටම ගෙන්වා ගැනීමට මගේ පන්තියකට ගන්නේ මට හසුරුවන්න පුළුවන් ප්‍රමාණය විතරයි. ඒ හැම පන්තියකටම මම පුද්ගලිකව සහාභාගි වෙනවා. මට අසනීපයක් නොහැදුණොත් සහයට මට තව අය හිටියත් මගේ අරමුණ මාත් සමඟ දරුවන් ශිල්පය හදාරනවා දකින්න.
බෙරේ නැතුව මගේ පන්තියක් නෑ. බෙර සද්ද නැතුව මම පන්ති කරන්නත් බෑ. බෙරගහන ගුරුතුමන් නැත්තම් මම හරි බෙරය ගහල තමයි දරුවන්ට තාලෙ අල්ලන්නේ. මම දරුවන්ට දැනුම දෙන විධිය වෙනස්. මට මගේ ගුරුතුමන්ගෙන් ලබාගත් හැඩ තල මගේ නර්තනයේ ඇති. නමුත් ඒ තුළ මගේ කියල මට අනන්‍යවූ කොටසකුත් ඇතුළත්. මනෝවිද්‍යාව පිළිබඳ මම හැදැරීමක් කරන නිසාවෙන් මට ගොඩක් පහසුවෙලා තියනවා දරුවන්ගේ විවිධ සිතුම් පැතුම් හඳුනාගන්න. ඒ සිතුම් පැතුම් වලට අවශ්‍ය දේ ලබාදෙන්න. ඔවුන්වෙත මගේ ඥානය ලබාදෙන්න. මම හිතනවා ළමයින්ට කියවීම ඇතුළේ මම ගොඩක් ඉහළ තැනක ඉන්නවා කියල ඒ දේ මට දැනිල තියනවා. මගේ නිර්මාණය ළමයින් තුළින් ගන්න පුළුවන් හැකියාව මට ලැබිල තියනවා.
ප්‍රාතිහාරි නරඹන ප්‍රේකෂකයකුට කොතරම් කාලයක් ඔබේ නර්තනයන් හා එක්වෙන්න. ඉඩහර සර වෙන් කරල ද තියෙන්නේ?
මේ ප්‍රසංගය පැය දෙක හමාරක් පුරාවට දිග හැරෙනවා. ඒ අතරේදී තමයි මම කිව්ව සුවිශේෂී කටයුත්ත සිද්ධ වෙන්නේ. මෙවැන්නක් බොහෝ විට සිදුවෙනවා අඩුයි. තමන්ගේ ගු රුවරයාට කළත් වෙනත් අයකු වෙනුවෙන් සිදුකරන පළමු අවස්ථාව මෙය විය හැකිය. මෙය සම්මාන ඇගැයුමක් නොවෙන අතර මගේම ධන පරිත්‍යාගයෙන් සිදු කෙරෙන මුල්‍යම ත්‍යාගයක් තමයි මෙහිදී ලබා දීමත් සිද්ධ කරන්නේ.
වර්තමානයේ මාධ්‍ය ආයතන මගින් දිගහැරෙන නර්තන රියලැටි ගැන මොකද හිතෙන්නේ?
මම ඒ දේ උචිත නෑ කිව්වොත් කවුුරුහරි අහයි ඇයි පාසල්වල තියන සමස්ත ලංකා තරඟත් හොඳ නැද්ද කියල. ඒක වෙනස් මේක වෙනස් පාසල් මට්ටමේ සමස්ත ලංකා තරඟවලට යනවා කියන්නෙම එතනදී අපේ ගුරුවරු ඔළුව හදනවා. පුතේ ජය පරුදුම නිතැතින්ම දරාගෙන තමයි අපි මෙතැනට එන්න ඕනේ කියලා. ජයගත් කණ්ඩායමට සුබ පතන්නේ අපි පරාජය භාරගෙන එන්නත් ඕනේ. ඒ තමයි අපි කලා ලෝකය ඇතුළේ ජය පැරදුම ලබන මුල්ම තැන. මම කියන්නේ කණ්ඩායමක් ඇතුළේ සමස්ත ලංකා තරඟ අවශ්‍යයි කියලා. නමුත් මාධ්‍යයේදී රියැලිටි ප්‍රෝගෑම් එකක් වෙනුවෙන් දරුවෙක් විශාල වියදමක් දරා ඒ සඳහා යනවා. ගුරුවරු ඒ වෙනුවෙන් කියල විශාල මුදලක් ලබනවා. නමුත් මට කියන්න රියලැටි වැඩසටහන් වලට ගිහින් මාධ්‍යයෙන් උදවු කරල ඉහළට ගිය කෙනෙක් එහෙම අය නෑ. ඒ ළමයි කරන්නේ තමන්ට තමන් තුළින් ඉහළට යාමක්. මෙතනදී දරුවා තුළ වෛරයක් ඇති වෙනවා. සමහරවිට දරුවා ඒ නිසාම කලාව දාල යනවා. මම කියන්නේ කලාව කියන්නේ තරගයක් නොවෙයි. අපි ප්‍රගුණ කළ යුතු දෙයක් කලාව කියන්නේ කාවවත් වින්දනය කරන දෙයක් නොවෙයි. තමන්ව තමන් වින්දනය කරගැනීමක්.
ඔබත් අද කලාව තුළ බිස්නස් එක්ක ද මේ කරන්නේ?
නෑ. මගේ කණ්ඩායම තුළ ඉන්නේ වෘත්තීමය නර්තන ශිල්පීන් ඒක සහ මේ පන්තිවල ඉන්න දරුවන් මම පටලවා ගන්නෑ. මම මගේ ශිෂ්‍ය ප්‍රජාවට කවදාවත් කියන්නේ නෑ හොඳ ඩාන්සර් කෙනෙක් වෙන්න කියල. මම කියන්නේ ඔවුන්ට හොඳට ඉගෙන ගන්න කියල. අපේ ප්‍රධාන අවිය ඉගෙනුම. සමහරවිට මාළඟ ඉගෙන ගන්න දරුවන්ගෙන් කවුරුවත් කවදාවත් ඩාන්සර් කෙනෙක් නොවෙන්න පුළුවන්. ඒත් මට තියෙන්නේ දරුවන්ට දරුවනේ ඔයාලට මේ ඉගෙන ගන්න දේ කවදා හරි ආභරණයක් වෙයි කියල විතරයි. අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ඩාන්සින් කරන්න කියල මම දරුවන්ට කවදාවත් කියන්නේ නෑ.
ඔබගේ ඇකඩමි හරහා බිහි වූ ගෝල පරපුරක් මේ වනවිටත් බිහිවෙලා ඇති නේද?
ඔව්. එහෙම අය ඉන්නවා. මගෙන් නර්තනය හදාරල ඒ අය අදවෙන කොට ශිල්පය උගන්වන ඇකඩමි කරන අයත් ඉන්නවා.
ශිෂ්‍ය ප්‍රජාව ගැන ආපසු හැරිල බලනකොට ඔබට හැගෙන්නේ?
ලොකු සතුටක් දැනෙනවා. අදටත් මට මේ ප්‍රසංගයේදී ඒ අයගේ උපරීම දායකත්වය ලැබෙනවා. අපිට අහන්න දකින්න ලැබෙන්නේ මේ කලා ක්ෂේත්‍රයේ ගුරුගෝල ගැටුම්නේ. ඒ සම්ප්‍රදාය අපේ කාලයත් සමඟ තුරන් වෙලා ගියා. අද ගුරුවරයා අබිබවා ගෝලයා ගියත් ප්‍රශ්නයක් නෑ. මම කියල මුළු රටටම උගන්වන්න බෑ.
‘ප්‍රාතිහාරි’ කොළඹින් එළියට ගෙන යන්න අදහසක් නැද්ද?
මේක විශාල වැඩක්. අවුරුදු දෙකෙන් දෙකට තමයි මම මේ වගේ ප්‍රසංගයක් සංවිධානය කළේ. නමුත් ලබන වසරේ වෙනස්ම වැඩක් කරන්නත් මගේ අදහසක් තියනවා. මම වටා සිටින විශාල දක්ෂයෝ ගොන්නක් ඉන්නවා මගේ දරුවෝ ටික හැරෙන්න. 1990 නර්තනයට පා තබන මම 2010 ගුරුවරියක් ලෙස ගමනක් අරභනවා. මේ ගමන තුළ මම ලබපු පන්නරය මම කොළඹට සීමා කරන්න අදහසක් නෑ. මෙවැනි දැවැන්ත ප්‍රසංගයක තියන අභියෝග සුළු පටු නෑ. ඒ අභියෝග ජයගන්න කොළඹින් පිටස්තරව තියන පහසුකම් එක්ක මට තවම අමාරුයි. ඒ අභියෝගය මට ජයගන්න හැකිවුණු මොහොතක මම ලැහැස්තියි ප්‍රාතිහාරි කොළඹින් පිට සංවිධානය කරන්න.
ප්‍රාතිහාරි’ ප්‍රාතිහාර පාන්න තවත් අය ඔබේ සහයට මේ වනවිටත් ලොකු බරක් කරට ගෙන ඇති?
ඔව් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ ආයතනයේ ආචාර්ය මණ්ඩලය දිනුක චාමිකර, මේනූ සෙව්වන්දි, තරුෂි කාවින්දි, නිමන්ත මධුභානු, චමිදු අලුත්ගේ මේ අයගෙන් මට විශාල කැප කිරිමක් ශක්තියක් ලැබෙනවා. මේ ප්‍රාතිහාරි තෙවැනි දිග හැරුම සාර්ථක කරගන්න.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
චන්දන දයාසිරිවර්ධන